විස්සේ තියෙන්නෙ රටේ තියෙන අවශ්‍යතාවක් නෙවෙයි


පාර්ලිමේන්තු මන්ත්‍රී විජයද‌ාස රාජපක්ෂ   

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තම විරෝධය ගැන කරන මේ අදහස් දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී විජයද‌ාස රාජපක්ෂ ගෙනි. 

 
ආණ්ඩු පක්ෂෙ ඉඳගෙන විස්සට විරුද්ධ වෙන්නෙ ඇයි ?   


විස්සට විරුද්ධ මේකයි. විස්සෙ තියෙන්නේ රටේ තියෙන අවශ්‍යතාවක් නෙවෙයි. 19 සංශෝධනය නිසා යම්කිසි අනුශාංගික ගැටලු කීපයක් තිබුණා. ඒවා ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු නිසා වෙච්ච දේවල් නෙවෙයි. ඒවා අපේ රටේ තියෙන වෛරක්කාර දේශපාලන සංස්කෘතියේ වරද සහ ඒ තනතුරු හොබවන්න පරිණත බවක් නැති, රටට ආදරය නැති නායකයෝ පත්වීම නිසා වෙච්ච වැරදි. ව්‍යවස්ථාවේ තියෙන්නේ ක්‍රමවේදය පිළිබඳ ගැටලුවක් විතරයි. මම කරුණු එකින් එක කියන්නම්.   


ව්‍යවස්ථාද‌ායක සභාව ස්වාධීන නෑ කියල මතයක් රටේ ඇතිවුණා. පොලිස්පතිවරයා පත්කිරීමේ දී මම දැඩි ලෙස විරෝධයක් පෑවා. පාස්කු ප්‍රහාරය වළක්වාගන්න බැරි වුණේ හරි පොලිස්පති කෙනෙක් නොහිටපු නිසයි. ඒ වගේම ජනාධිපතිට අමාත්‍යාංශ දරන්න බෑ කියන කාරණය. 

 
අපි පිළිගත්තා ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති යටතේ තියෙන්න ඕන කියන එක. ඊළඟ එක තමයි ඇමැතිධුර කවුද කියලා නම් කරන්නෙත් අගමැති, විපක්ෂය තීන්දු කරන්නේත් ජනාධිපතියි කියන එක. ඒකෙන් ප්‍රශ්නයක් නෑ. ඒත් ගිය ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් මතු වුණා. ඒක පැන නැගුණෙ වෛරක්කාර පක්ෂ දෙකක නායකයෝ රට පාලනය කරපු නිසා. දැනුත් එහෙම වෙනව ද දන්නේ නෑ. ඒත් එහෙම වෙයි කියන්න හේතුවක් පේන්න නෑ. එක අම්මගෙ දරුවෝ දෙන්නෙක්නේ. ජනාධිපතියි අගමැතියි අනික් කාරණය තමයි කොමිෂන් සභාවලට පත්කිරීම, වගකීම සහ ඉවත් කිරීමේ ක්‍රමවේදයේ දුර්වලතාව මේවා මේ පිටුවකින් දෙකකින් ගේන්න පුළුවන් සුළු සංශෝධන.   


රට ආර්ථික වශයෙන් අද ඉතිහාසයේ කවද‌ාවත් නැති විදියට කඩා වැටිලා තියෙන වෙලාවක්. මේ වගේ තත්ත්වයක් තියෙද් දී මේ වගේ ව්‍යාකූල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ද‌ාල අර්බුදයක් හදන එක නෙවෙයි ආණ්ඩුවක් විදිහට අපි කරන්න ඕනෑ. සියලු දෙනාම අපේ පැත්තට දිනාගෙන එකමුතුව රට වැටිච්ච තැනින් ගොඩගන්නයි ඕන.   


අනික විස්ස තුළ භයානක කමකුත් තියෙනවා. ඒක මම උද‌ාහරණයකින් කියන්නම්. ජේ.ආර්. ඉන්නකම් විධායක ජනාධිපතිකම විවේචනය කළාම ඒකෙ භායානක කමත් දැනුණෙ නෑ. ඒත් ප්‍රේමද‌ාස ජනාධිපතිතුමා අතට ගියාට පස්සේ මුළු රටේම ඉල්ලීමක් ආව විධායක ජනාධිපතිකම එපා කියලා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. 

 
තව විදියකට පැහැදිලි කළොත් විධායක ජනාධිපති එද‌ා ප්‍රේමද‌ාස නොවුණා නම් ලලිත් ගාමිණී වගේ රටට වැඩද‌ායි පුද්ගලයො තාම ජීවතුන් අතර ඉන්න ඉඩ තිබුණා. ඒ වගේ භයානක ජනාධිපති කෙනෙක් අපිට වුවමනා නෑ. අපිට ඕන ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ජනාධිපති කෙනෙක්. ඉතා සුළුවෙන් නිරාකරණය කරගන්න පුළුවන්කම තියෙද්දී විශාල අවුල් ජාලාවක් කරගෙන මේ විස්ස එක්ක කරන සෙල්ලම තේරුමක් නැති වැඩක්.   


අනික පාර්ලිමේන්තුවෙන් මූල්‍ය බලය ඉවත් කරන එක හරි භයානක දෙයක්. ඒ වගේම අවුරුදු විස්සක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ජනාධිපති කරන්න කියල අපි පොරොන්දු වුණේ නෑ. කවුරුවත් එහෙම ඉල්ලුවෙත් නෑ.   


ද්විත්ව පුරවැසියෙකු මේ රටේ මන්ත්‍රීලා ජනාධිපතිලා කරන්න ඉඩ දෙනවා කියලා අපි කිව්වෙත් නෑ. ඒ නිසා මේක ආණ්ඩුව අප්‍රසාදයට ලක් කරන්න අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව වට්ටන්න කරපු දෙයක්.   


කවුද දෙයියනේ එතකොට මේක හදල තියෙන්නේ?   


ඒක තමයි ප්‍රශ්නෙ. මේක කරපු කෙනා කවුරුවත් දන්නෙ නෑ. යම රජ්ජුරුවොත් දන්නේ නෑ කරපු කෙනා. ඕන තැනක මොන දේ වුණත් වගකීමක් ගන්න කෙනෙක් ඉන්නවානේ. මේකට එහෙම කෙනෙක් නෑ. අධිකරණ ඇමැති කියනවා එයා දන්නෙත් නෑ කියලා. තව සමහරු කියනවා ඒකට හදපු කෙනෙක් ඕන නෑ. කර්තෘ ආඥ‌ාන වුණාට කමක් නෑ කියලා. ඒක හරි පුදුම කතාවක්නේ. ඇමරිකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ කවුද කියල ඇහුවොත් අපි දන්නවා ජේම්ස් ප්‍රෙඩිසන් තමයි ඒක හැදුවෙ කියලා. ඉන්දියාවේ ව්‍යවස්ථාව හැදුවේ කවුද ඇහුවොත් අපි දන්නවා ඩොක්ටර් අම්බේඩ්කාර් තමයි හැදුවේ කියලා. මේ රටේ 48 ව්‍යවස්ථාව සෝල්බරි සාමි හැදු​වේ. 72 ව්‍යවස්ථාව හැදුවේ කොල්වින් ආර්. ද සිල්වා, 78 දී හැදුවෙ ඒ.ජේ. විල්සන්, 19 සංශෝධනය හැදුවෙ ජයම්පති වික්‍රමරත්න. ඒත් ඒක මට ඕන විදියට තමයි හදලා දැම්මේ.   


ව්‍යවස්ථා සම්පාදනය ගැන දැනුමක් තියෙන ඔබ මේ මතු කරන දේවල් ජනාධිපති හෝ අගමැති අහන්නේ නැත්තේ ඇයි?   


මටත් ඒක නම් තේරෙන්නේ නෑ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් මට තියෙනවා. මම දන්න තරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් කරපු කෙනෙක් නෑ. මම ලෝකෙ බොහෝ රටවල්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ගැන අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා තමයි මට මේ විෂය ගැන කතා කරන්න පුළුවන්. මම ආණ්ඩුවට කිව්වා මේක කලබලයක් කරගන්නෙ නැතුව සියලු දෙනාගෙ සහාය අරගෙන අවශ්‍ය සංශෝධන ටික කරමු කියලා. 

 
ව්‍යවස්ථාව අපි සකස් කරන්න ඕන කාටවත් විරුද්ධ වෙන්න බැරිවෙන්න. ඒව හදන්නෙ පාලකයෝ වෙනුවෙන් නොවෙයි. ජනතාව වෙනුවෙන්. පනත් කෙටුම්පත් සම්පාදනය කරනවා කියන එකත් කලාවක්. ඒව කරන්න ඕන හරි පිළිවෙළකට. ඒක වෙනම විෂයක් ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.   


අාණ්ඩුක්‍ර්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ඒක හදපු කෙනෙක් හොයාගන්න නෑ කියන්නේ මහ පුදුම කතාවක්නේ.   


ඒක ආණ්ඩුවක් ලැජ්ජාවට පත්විය යුතු කාරණයක්. මේකත් හරියට පාස්කු දින ප්‍රහාරය වගේ. වගකීම ගන්න කෙනෙක් නෑ.   


ඔබ කියන්නේ ජනාධිපතිට හෝ අගමැතිට මේකෙ අනතුර තාම තේරෙන්නේ නෑ කියල ද?   


තාම තේරුම් අරගෙන නෑ. කොහොම වුණත් තව අවුරුදු හතරකින් ජනාධිපතිවරණයක් තියෙනවා.

ගෝඨාභය දෙවෙනි වතාවට එනව ද? දිනනව ද? කියන එක ගැන කිසිම සහතිකයක් නෑ. අනිවාර්යෙන්ම ඊළඟට එන කෙනා මේක ගෙනාපු අයට තමයි පාඩම උගන්නන්නේ.   


මේ ගැන හොයන්න අගමැති කමිටුවක් පත්කරලා තියෙනවා.   


එතුමට ගැටලුවක් නැත්නම් මේ ගැන විමර්ශනය කරන්න කමිටු ද‌ාන්නෙ මොකට ද? එතුමාටත් මේකෙ ගැටලුවක් තියෙනවා. මේකෙන් වැඩිපුරම බලය කපා හරින්නෙ අගමැතිගෙ. අගමැති ආපහු පියන් කෙනෙකුගෙ තත්ත්වයකට ගේන එකක් මේක.   


විස්සට අනුව ගෝඨාභය රාජපක්ෂට මොක ද වෙන්නේ?   


මේකෙන් ඔහුත් අමුතු බලවත් වීමක් වෙන්නෙ නෑ. ව්‍යවස්ථාවෙ තිබුණත් නැතත් දැනටත් ඔහු ආරක්ෂක අමාත්‍යාංශ​ රාජකාරි කරනවා. ව්‍යවස්ථාවෙන් දුන්න කියල කරන්නෙත් එ්කමනේ. අගමැතිගෙන් අහන්නෙ නැතුව වුණත් ඇමැතිවරු පත් කරන්න පුළුවන්. අයියගෙන් අහන්නෙ නැතුව මල්ලිට ඕන කෙනෙක් ද‌ාන්න පුළුවන් ඇමැති මණ්ඩලේට එච්චරයි.   


ඔබ දිගින් දිගටම බැසිල් රාජපක්ෂ ගැන විවේචනාත්මක දේවල් ප්‍රකාශ කරනවා. මොකක්ද ඒ ආරෝව. 

 
මම කවුරුවත් එක්ක ආරෝවක් නෑ. මට ගොඩක් අයගෙන් කරදර හිරිහැර වෙලා තියෙනවා. ඒත් මම කා එක්කවත් ආරෝවක් නෑ. මගේ ගෙදරට පවා වෙඩි තිබ්බනේ සැරයක්. මට අපහාස කිරීම් කරලා තියෙනවා. මං ගැන චිත්‍රපටි හදල පෙන්නල තියෙනවා රජයේ මාධ්‍ය ආයතනවලින්. ඒත් ඒ කරපු අය එක්කවත් මම තරහක් නෑ. බැසිල් රාජපක්ෂ ගැන මම කිව්වේ මේ රටේ සංඝරත්නය මාත් එක්ක කියන දේ. ඒක රටේ මතය.   
මොකක්ද බැසිල් ගැන හාමුදුරුවරු කියන්නේ?   


උන්වහන්සේලා බොහොම කම්පාවට පත්වෙලා ඉන්නේ. විශ්වාසය බිඳිලා තියෙන්නේ. උන්වහන්සේටත් රට ගැන කියපු අපිටත් ඒකට උත්තරයක් නෑ. අපිත් රටට ලොකු බලාපොරොත්තු රැසක් දුන්නා. දැන් ඒවාට මොකක් ද වෙන්නේ?   


බැසිල් හදපු පොහොට්ටුවෙන්නෙ ඔබත් ඡන්දෙ ඉල්ලුවෙ. දැන් ඇයි මේ විරසක?   


මේක තනි පුද්ගලයෙකුගෙ ජයග්‍රහණයක් නෙවෙයි. මම හදපු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්නෙ මහින්ද රාජපක්ෂලා බැසිල්ලා ඔක්කොම ඉල්ලුවෙ. 2005 එක්සත් ජනතා නිදහස් සන්ධාන ව්‍යවස්ථාව මහින්ද දැකලවත් තිබුණෙ නෑනේ. ඒක මමයි හැදුවේ. අපි හය දෙනෙක් ඒකට සම්බන්ධ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් චන්ද්‍රිකා කුමාරතුංගත්, ලක්ෂ්මන් කදිරගාමරුයි, මංගල සමරවීරයි, අනුර බණ්ඩාරනායකයි, ශ්‍රීපති සූරියආරච්චියි, මමයි.   


පක්ෂයක් හදනවා කියන්නේ ගෙයක් හදනවා වගේ වැඩක් නෙවෙයි. නම පුරවල ෆෝම් එක ඉලෙක්ෂන් කොමිෂන් එකට දුන්නම ඒක ලියාපදිංචි කරනවා. මේක බැසිල්ගෙ දිනුමක්, ගෝඨාභයගෙ දිනුමක් මහින්දගෙ දිනුමක් කියලා තනි ක්‍රෙඩිට් එකක් ගන්න බෑ. මේකට කවුරුත් හවුල් වුණා.   


බැසිල් නිසා ආණ්ඩුව අර්බුදයකට යනවා කියලා ද ඔය කියන්නේ?   


 ආණ්ඩුව ඒ නිසා අර්බුදයකට ගිහින් වැටෙනව කියලා තමයි ඒ අය කියන්නේ. ඒකට හේතුව දැන් ආණ්ඩුවෙ සියල්ල තීන්දු කරන්නේ බැසිල් රාජපක්ෂ කියන මතය. කවුරු හරි දෙයක් ජනාධිපතිට, අගමැතිට කිව්වම එයාලා කියන්නෙත් ඒක බැසිල් එක්ක කතා කරන්න ඕන කියලා.   


මොකක්ද ඒ අමුතු බලය ?   


මම දන්නේ නෑ මොකක්ද ඒ බලය කියන එක. කතා කරන ගොඩක් අය කියන්නේ දැන් විධායක බලය පාවිච්චි කරන්නේ බැසිල් රාජපක්ෂ කියලා. ආණ්ඩුව ඇතුළෙ මේ ගැන ගොඩක් කතා වෙනවා. තාම අර්බුදයකට ගිහින් නෑ. මේක නිවැරදි නොවුණොත් අර්බුදයකට යාවි.   


ඔබ අධිකරණ ඇමැතිකම බලාපොරොත්තුවෙන් හිටිය ද ?   


නෑ. මම කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් හිටියෙ නෑ. මම හිතුව රට වෙනුවෙන් මට වගකීමක් බාර දෙයි කියලා.   


ඔබට මොකක් හරි කැබිනට් ඇමැතිකමක් දුන්න නම් ගන්නව ද රාජ්‍ය ඇමැතිකමක් නැතුව?   


එහෙම බාරගන්නෙ නෑ. අනිත් අය වගේ එහෙම දෙන දෙයක් බාරගන්නෙ නෑ මම. මට ගැළපෙන එකක් දුන්නොත් විතරක් මම බාරගන්නවා. ගැළපෙන්නෙ නැති එකක් නම් මම බාරගන්නෙ නෑ. මගෙන් රටට වෙන්න තියෙන සේවය රාජ්‍ය නායකයෙක් වළක්වනව නම් ඒක ඔහුට සාපයක් වෙනවා මිසක් මට සාපයක් වෙන්නෙ නෑනේ.   


කනස්සල්ලක් ද තියෙන්නේ ඒ ගැන ?   


මම හොඳ බෞද්ධයෙක්. මට අටලෝ දහමෙන් කම්පා නොවී ඉන්න පුළුවන්. කිසිම කනස්සල්ලක් නෑ. රටේ මතයක් තිබුණා මට ප්‍රබල ඇමැතිකමක් දෙනවා කියලා. මම කාටවත් ඒක කියලා තිබුණේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කියලා තිබුණා මට වුවමනා ඇමැතිකමක් දෙනවා කියලා.   


ඔබට ගෝඨාභය රාජපක්ෂ එහෙම පොරොන්දු වුණා ද?   


මම ඉල්ලල නෑ. ඒත් ඔහු මට එහෙම ප්‍රකාශ කළා. ඔහුම තමයි මට කොළඹින් තරග කරන්න කියලා දැඩි ලෙස ඉල්ලීම් කළේ. නැත්නම් මම මැතිවරණයෙන් අයින්වෙලා ගෙදර හිටියේ. ඒ නිසා තමයි මම හිතුවේ මට වගකීමක් දේවි කියලා. නමුත් එතුමට හිතෙනව නම් මම ඇමැතිකමක් දරන්න සුදුසුකම් නෑ කියලා ඒක එතුමාගේ අයිතිය.   


රාජ්‍ය ඇමැතිකම ප්‍රතික්ෂේප කරද්දී ජනාධිපති හෝ අගමැති ඔබත් එක්ක මේ ගැන කතාබහ කළේ නැද්ද? 

 
මම දැනගත්තම මට ලැබෙන්නේ රාජ්‍ය ඇමැතිකමක් කියලා එවෙලෙම මම දුරකතනයෙන් ජනාධිපතිතුමාට කතා කරලා කිව්වා, ‘‘මම රාජ්‍ය ඇමැතිකම බාර ගන්නේ නෑ’’ කියලා. ඔහු දිගින් දිගට ඉල්ලීම් කළා, ඒක ගන්න කියලා. මමත් කිව්ව මම තීන්දුවක් ගත්තොත් වෙනස් කරන්නේ නෑ කියලා.   


දැන් ඔබ ආණ්ඩුවෙ ද? විපක්ෂෙ ද?   


මම ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරයෙක් විදියට ජනතාවට වගකීම ඉටු කරනවා. 

 
ජනාධිපති ගැන බලාපොරොත්තු කඩවීමකින් ද ඔබ ඉන්නේ?   


හුඟක් බලාපොරොත්තු කඩවෙලා තියෙනවා. මොකද ආපු ක්‍රමයට නෙවෙයි දැන් යන්නේ. උගතුන්, වියතුන් කැබිනට් එකට දානවා කිව්වා. පාර්ලිමේන්තුවට ගේනවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? 

 
ඔබ එක එක පැත්තට වරින් වර යනවා. ඊළඟට යන පැත්ත මොකක් ද?   


ගෙදර. මම ගිය සැරෙත් ගෙදර ආවේ. මම පක්ෂවලට වඩා ජනතාව එක්ක ඉන්න කෙනෙක්.   


ඒ කියන්නේ මේ ගෙවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඉන්න අන්තිම ටර්ම් එකද?   


එහෙම කියන්න බෑ. මේ රටේ ජනතාවට අවශ්‍යතාක් කල් මම ජනතා සේවයට කැපවෙනවා. ඒක තීන්දු කරන්නෙ මම නෙවෙයි ජනතාව. 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි