විශ්වාසභංගයට කුමක් වේද ?


පක්ෂ-විපක්ෂ අය  කියන කතා   

 

 

චෝදනා 14ක් මූලික කර ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පසුගිය බදාදා සවස කතානායක කරු ජයසූරිය මහතාට භාරදී ඇත. මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් 55ක් ඇතුළත් කර තිබේ.   


අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව කළ විමසීම් මෙසේය.   


ජයග්‍රහණය ස්ථිරයි   


ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා,   


රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම අනිවාර්ය කරැණක් වන අතර එය මෙරට දේශපාලනයට අතිශයින් වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කීය.   


ඔහු මෙසේද කීය.   


ප්‍රශ්නය- විශ්වාසභංගයක් ගෙන ඒමට හේතුව?   


පිළිතුර- ප්‍රධාන වශයෙන්ම විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට හේතු වූයේ හදිසියේ පැන නැගුණ තත්ත්වයක් නිසා නෙවෙයි. අපි ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන අවස්ථාවේ අගමැතිවරයාට එරෙහිව මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණා.   


මෙයට ප්‍රධානම හේතුව සුප්‍රසිද්ධ මහා බැඳුම්කර වංචාවයි. එමගින් රටට අති විශාල මූල්‍යමය හානියක් සිදුවුණා. රටේ කීර්තිනාමයට විශාල හානියක් වුණා. කොටස් වෙළෙඳ පොළ කඩාවැටීමට මෙය හේතුවක් වී තිබෙනවා.   
රුපියලේ අගය පහළ වැටීමට මේ බැඳුම්කරය හේතුවක් වී තිබෙනවා. රජය විසින් ගෙවිය යුතු ණය මුදල් ගෙවීමේදි විශාල පරතරයක් ඇතිවී තිබෙනවා. ආනයන අපනයන වෙළෙඳාම කඩා වැටිලා. මේවායින් රටට සිදුවූ මූල්‍ය හානිය පිළිබඳව දිර්ඝ වශයෙන් කරුණු විමසා බැලීමේදී වංචාවට අදාළ විත්තිකාරයන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් අගමැතිවරයා විසින් ඇතිකළාය යන සාධාරණ සැකයක් රටේ ජනතාව තුළ තිබෙනවා.   


මෙතෙක් කලක් මහා භාණ්ඩාගාරය පැවතුණේ මුදල් අමාත්‍යාංශය සමඟයි. මේ අග්‍රාමාත්‍යවරයා එය තමන් වෙත පවරා ගත්තා.   


රටේ පුරවැසිභාවය නැති පුද්ගලයෙක් ලංකාවට හඳුන්වා දුන්නේ අගමැතිවරයා. ඔහුට මහ බැංකු අධිපති තනතුර ලබාදීමට අකමැතිවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. අගමැතිවරයගේ ඉල්ලීම මත එම පත්වීම කළ බව ජනාධිපතිවරයාම ප්‍රකාශ කළා. මේ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂ්‍ය ලෙස අප ප්‍රශ්න කරන විට රටට හිතවත් දැනුම්වත් උගත් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් රටේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය නිසා ඒ සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවය අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. රටේ ආර්ථිකය ඉහළ මට්ටමට ගෙන එන බවත් ඊට රාජපක්ෂ කල්ලියේ දැඩි ඊර්ෂ්‍යාවක් පවතින බව කිව්වා.   


අර්ජුන් මහේන්ද්‍රන් ගැන අපි ප්‍රශ්න කළා. එයට දීපු පිළිතුර වූයේ අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳව වගකීම භාර ගන්නා බවයි. 


රටේ ජනතාව තුළ විරෝධයක් ඇතිවන විට කොමිෂන් සභාවක් පත් කළා. ඒ වාර්තාව අපට නොදී සිටියා. මේ ගැන පාර්ලිමේන්තු විවාදය හරියාකාරව ලබා දුන්නෙත් නැහැ.   


භාණ්ඩාගාර වංචාව පිළිබඳව වාර්තාව භාෂා තුනෙන් දුන්නෙත් නැහැ. දෙමළ මුද්‍රණය නොදුන් නිසා සුමන්තිරන් මන්ත්‍රීවරයා විරෝධතාවක් දැක්වුවා. විවාදය කල් දැම්මා. දැන් කියන්නෙ දෙමළ භාෂාවෙන් වාර්තාව දෙනතුරු විවාදය කළ නොහැකි බවයි. පළාත් පාලන මැතිවරණය අවසන්වී මාස 1 1/2ක්. මෙතෙක් පරිවර්තනය එවල නැහැ.   


අග්‍රාමාත්‍යවරයා හා රජය මේ වංචාව වසන් කිරීමට දැවැන්ත උත්සාහයක් ගත්තා. මේ තත්ත්වය තුළ වංචනිකයින් ආරක්ෂා කිරීම ඔවුන්ට රැකවරණ්‍ය ලබාදීම හා ජාතික ආර්ථිකය විනාශ කිරීම යන චෝදනාවලට ප්‍රධාන චූදිතයා අග්‍රාමාත්‍යවරයායි. ඔහුට එරෙහිව භාණ්ඩාගාර වංචාව හා එහි ප්‍රතිවිපාක සඳහන්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍වාසය කඩවී ඇතිනිසා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආවා.   


ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට තෙල්දෙණිය හා දිගන සිද්ධධීන් මැඩ පැවැත්වීමට රජය අපොහොසත්වීම යන කරුණුත් පාර්ලිමේන්තුවේ නායකයා ලෙස අගමැතිවරයා නිසි පියවර නොගැනීම යන කරුණු ද ඔහුට චෝදනාවී තිබෙනවා.   


පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරු කීප දෙනෙක් පවා එක්සත් ජාතික පක්ෂයේ පරාජයට මේ බැඳුම්කර සිද්ධිය හේතුවූ බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයත් බැංකු හොරු අල්ලන්න කිව්වා. රැස්වීමක් ගානෙ කිව්වා. සතෙන් සතේ ඉතිරි කරල හැදූ බැංකු ටික හොරුන්ගෙන් ආරක්ෂා කරන එක ගැන එතුමා කතා කළා. රාජ්‍ය බැංකු ආරක්ෂා කර ගන්න බුලත් කොළේට ඡන්දය දෙන්න කියලයි කිව්වෙ.   


එහෙම නම් රජයේ සිටින අය පවා රනිල් වික්‍රමසිංහ මේ වංචාවට වගකිවයුතුය යන මතයේ ඉන්නවා.   


මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මෙරට සිටින සියලු දෙනා අත්සන් කරල අවසානයි. 50 කට වැඩි පිරිසක් අස්සන් කළා.   


ප්‍රශ්නය- හිටපු ජනාධිපතිතුමා අත්සන් නොකළේ ඇයි?   


පිළිතුර- එතුමාගේ අත්සන දැනට ගත්තෙ නැහැ. ඒක අනිවාර්යයි කියල අපේ මතයක් නැහැ. විශ්වාසභංග යෝජනාව සාර්ථක කර ගැනීමට අවශ්‍ය මෙහෙයවීම එතුමා කරනවා. ඡන්දය පාවිච්චි කරනු ලබන අවස්ථාවේදී සියලු කටයුතු කරාවි.   


ප්‍රශ්නය- එක්සත් ජාතික පක්ෂයෙන් අස්සන් කරල නැහැ.   


පිළිතුර- ඔවුන් යම් ප්‍රමාණයක් වෙනම ලේඛනයකට අස්සන් එකතු කරමින් ඉන්නවා. තවත් අය අස්සන් නොදී ඡන්ද විමසීමේදී ස්ථිරවම සහාය දෙන බවට සහතිකය දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මේ වනවිට ජනාධිපතිවරයාද දැනුම්වත් කර අවශ්‍ය සහාය දීමට සූදානමින් ඉන්නවා.   


ප්‍රශ්නය- විශ්වාසභංගයට කරුණු කීයක් අයත්ද?   


පිළිතුර- කරුණු 14යි.   


භාණ්ඩාගාර බැඳුම්කර වංචාවට උදව් උපකාර වන ආකාරයට කටයුතු කිරීම, අර්ජුන් මහේන්ද්‍රන් හඳුන්වාදීම, මහ බැංකුව තමන් යටතට ගැනීම, ආර්ථිකය කඩා වැටීම, අ​යෝජකයින් ආපසුයාම, මහනුවර ප්‍රදේශයේ තත්ත්වය මැඩ පැවැත්වීමට අපොහොසත්වීම යන කරුණු මූලික කරගෙන විශ්වාසභංගය ඉදිරිපත් කළා.   


නමට යහ පාලන රජයක් තිබුණත් හැම දෙනාටම එක සමානව සැළකුවේ නෑ.   


රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති 

සුසන්ත පුංචි නිලමේ,   


යහ පාලන රජය නමට තිබුණත් සියලු දෙනාට එකලෙස සැළකීමක් නොවූ බව නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතා කීය.   


ඒ මහතා මෙසේද කීය.   


ප්‍රශ්නය- ඔබ විශ්වාසභංග යෝජනාවට අස්සන් කරල තියෙනවා.   


පිළිතුර- ඔව්, මම විශ්වාසභංග යෝජනාවට අස්සන් කළා.   


ප්‍රශ්නය- යහ පාලන රජයේ සාමාජිකයෙක් ලෙස අගමැතිට එරෙහි විශ්වාසභංගයට අස්සන් කිරීම ප්‍රශ්නයක් නොවන්නේද?   


පිළිතුර- යහ පාලන රජයේ අපි කොටස්කාරයන් ලෙසට එකට ඉන්නවා නම් හැම දෙනාටම මහජනතාවට සේවය කිරීමට සම්පත් හරියාකාරව බෙදා දිය යුතුයි. රැකියා ලබාදෙනවා නම් ඒවා හැමෝටම බෙදිල යන්න ඕනෑ. තනි රජයක් කරනවට වඩා ජාතික රජයක් කරන විට හැමෝටම එකවගේ සළකන්න අවශ්‍යයි. නමුත් එහෙම දෙයක් වූයේ නැහැ.   


අපිට සංවර්ධන කටයුතුවලට විමධ්‍යගත මුදල් ලැබෙන බව අමතරව එක්සත් ජාතික පක්ෂයෙ සංවිධායකට විශාල මුදලක් ලැබුණා. පාරවල් හදන්න වෙනම සල්ලි දුන්නා. වෙන වෙන සංවර්ධන කටයුතුවලට වෙනම මුදල් දුන්නා. රැකියා ලබාදීමේදිත් මන්ත්‍රී නොවූ සංවිධායකවරයාට විශේෂ අවස්ථා දුන්නා.   


ප්‍රශ්නය- මේ තත්ත්වය ගැන කතා කළේ නැද්ද?   


පිළිතුර- අපි මුල සිටම ජනාධිපති දැනුවත් කළා. ඒවයේ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ.   


ප්‍රශ්නය- ඉදිරි දේශපාලන ගමන යන්නෙ කොහොමද?   


පිළිතුර- මේ විදියට දේශපාලන ගමනක් යන්න බැරි නිසා විශ්වාසභංගයට අස්සන් කළා. ඉදිරි වසර දෙකහමාරක කාලයටත් අපි හරි ගමනක් නොගියොත් මුළු රටම අමාරුවෙ. ඒ නිසා අපි නිවැරැදි ගමනක් යා යුතු වෙනවා. අස්සන් කරන්න පුළුවන් නම් අස්සන් සීයක් හරි මේ විශ්වාසභංග යෝජනාවට ගහනවා.   


අනිවාර්යයෙන්ම පරාජයට පත්කරනවා   


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්   


අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන්ම පරාජයට පත් කරන බව කී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මෙසේද කීය.   


ඔය විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රිවරු 225න් 55 ක් අස්සන් කර තියෙනවා. ඒ කියන්නෙ හතරෙන් එකක් විතර. එහෙම නැතිව බහුතරයක් ගන්නෙ කොහොමද? දැනටම පරාජය වෙලා ඉවරනේ.   
ප්‍රශ්නය- දැන් අස්සන් නොකළත් ඡන්දය පාවිච්චි කළොත්. 

 
පිළිතුර- පාර්ලිමේන්තුව 106ක් එක්සත් ජාතික පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ 42ක් ඉන්නවා. ද්‍රවිඩ සන්ධානයෙ 16ක් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ 6ක් ඉන්නවා.   


ප්‍රශ්නය- එක්සත් ජාතික පක්ෂයෙනුත් පිරිසක් මේ විශ්වාසභංගයට සහාය දක්වන බව කියවෙනවා.   


පිළිතුර- ඒක කියන්නෙ ඒකාබද්ධයෙන් නේ. එහෙම නොකිව්වොත් ඒකාබද්ධයට ඔය වැඩේ ප්‍රවර්ධනය කරගන්න ලැබෙන්නෙ නැහැ. එක්සත් ජාතික පෙරමුණේ ඉන්න අයගෙන් කතානායකතුමාට ඡන්දය දෙන්න බැහැ. දෙන්නෙක් විතරක් ඕන නම් එහා මෙහා වේවි.   


චෝදනා ලබල තනතුරු අහිමිවූ කෙනකුයි ජාතික ලැයිස්තුවෙන් සිටින කෙනෙකුයි හැර අනිත් අය කිසිවෙක් නැහැ.   


ප්‍රශ්නය- විශ්වාස භංගය පරාජය කිරීමට මොනවද කරන්නෙ?   


පිළිතුර- අග්‍රාමාත්‍යවරයා ගැන විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් කතානායකවරයාට භාරදෙනවා අප්‍රේල් 4 වැනිදා. ඒක ඡන්දයට අරගෙන විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. එවිට මේ තුවාලය ඉවරයි.   


ප්‍රශ්නය- එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රති සංවිධාන කටයුතු කඩිනම් වෙනවද?   


පිළිතුර- පක්ෂය ප්‍රතිසංවිධානයයි, විශ්වාස භංගයයි දෙකක්. මේ දෙක පටලවන්න හැදුවට එහෙම වෙන්නෙ නැහැ. විපක්ෂයෙ න්‍යාය පත්‍රයට අපි වැඩ කරන්න සූදානම් නැහැ.   


ප්‍රශ්නය- අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා 14ක් තියෙනවා.   


පිළිතුර- පොලිසියෙ පැමිණිල්ලක් කරන්න ගියත් එහෙම තමයි. දිග හෑල්ලක් දානවා. අපි ඒවා පෙරළ ගන්න එපා.   


ප්‍රශ්නය- මහනුවරට විධිමත් ආරක්ෂාවක් දුන්නෙ නැහැ කියල කියනව.   


පිළිතුර- ඒ පිළිබඳව මටත් ගැටලුවක් තියෙනවා. යම් යම් දේ පිළිබඳව අවශ්‍ය වෙලාවට නීතිය ක්‍රියාත්මක නොවූ අවස්ථා තියෙනවා. ඒ වගේම මහින්ද මහත්තයත් උදයංග වීරතුංග ඉන්න තැකනික් ගෙනැත් දෙන්න අවශ්‍යයි.   
ප්‍රශ්නය- අර්ජුන් මහේන්ද්‍රන් අවශ්‍ය වූ කෙනෙක්.   


පිළිතුර- අපි කියන්නෙ උදයංග ගෙනැත් දෙන්න රට රටවල ගියාම හමුවෙනවනේ. මහේන්ද්‍රන් නැති එකත් ප්‍රශ්නයක්. එයාටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. දැන් ඔහුට වරෙන්තු නිකුත් කරල තියෙන්නෙ. ඔහුටත් දඬුවම් දිය යුතුයි. ඒකෙ තර්කයක් නැහැ.   


ප්‍රශ්නය- හොයා ගන්න නැහැනේ.   


පිළිතුර- නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් ඒක කළ යුතු දෙයක්. උපදෙස් දෙන අය උපදෙස් දීල එයාව ගේන්නත් ඕනෑ. උදයංග අවුරුදු 3ක් තිස්සෙ අල්ලන්න බැහැ. මාස 3ක එකකට ප්‍රමුඛතාව දීල තියෙනවා. මේ දෙන්නම ගේන්න ඕනෑ. බදු මුදල් හොරා කෑ අයගෙ මුදල් ලබාගෙන ජනතාවට සාධාරණය ඉටු කළ යුතුයි. ඒවා කරුණු දෙකක්.   

 

 

 

දයාසිලි ලියනගේ