විශ්වවිද්‍යාලවල තියෙන්නේ මහා ම්ලේච්ඡ සංස්කෘතියක්


උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති 
විජයදාස රාජපක්ෂ   

උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විශ්වවිද්‍යාල පද්ධතියේ සංස්කෘතිය සම්බන්ධයෙන් අන්දෝලනාත්මක කරුණු රැසක් ඉකුත්දා අනාවරණය කළේය. මේ කතාබහ ද ඒ වෙනුවෙනි.   

ප්‍රශ්නය: ඔබ කියලා තිබුණා මේ රටේ විශ්වවිද්‍යාලවල පාතාල මාෆියාවක් තියෙනවා කියලා?   


පිළිතුර: ඔව්. ඇත්තටම සරසවි දේවියගේ සළුපිළිවලින් වසාගෙන මේක ඇතුළේ අඩු වැඩි වශයෙන් තියෙන්නේ පාතාලයක් තමයි.   


ප්‍රශ්නය: ඔබට එහෙම කියන්න තියෙන සාධක?


පිළිතුර:  අලුතෙන් එන ළමයින්ට විශ්වවිද්‍යාලවල පළමු මාස හයේ සමහර විශ්වවිද්‍යාලවල මාස අටේ සමහර විශ්වවිද්‍යාලවල අවුරුද්දක්ම පුස්තකාලයටවත් යන්න තහනම්. එතකොට දෙන වධ වේදනා බැලුවම හරිම භයානකයි. දැන් සමහර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ වෙනම නිවාස කුලියට අරන් තියෙනවා ‘සේෆ් හවුස්’ කියලා. ඇත්තටම ඒවා ‘ටෝචර් හවුස්’. හැන්දෑවට අලුත් ළමයි ගෙන්නගෙන වද දෙනවා. ලිංගික හිංසන කරන එකේ සීමාවක් නෑ. වැඩිය ඕනෑ නෑ අපි හාමුදුරුවරු හය නමක් රුහුණු විශ්වවිද්‍යාලයට යැව්වා. භික්ෂු නේවාසිකාගාරයට හාමුදුරුවරු 30ක් 40ක් ඇවිත් ඒ හාමුදුරුවරු හය දෙනාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර වධ දීලා තියෙනවා. කායික හා ලිංගික වධ දීලා තියෙනවා. එක හාමුදුරු නමක් සියදිවි නසාගන්න යනකොට අපිට ආරංචි වෙලා හොයලා බලලා නීතිය ක්‍රියාත්මක කළේ. අර නයිවල උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යයාට කළ පහරදීම ගත්තොත් ඒ අලුත් ළමයින්ට උදේ හතර වෙනකම් ටෙලි​ෙෆා්න් එක ඕෆ් කරන්න තහනම්. ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් මිස් කෝල් එකක් දුන්නොත් විනාඩි 5ක් යන්න කලින් රිප්ලයි කරන්න ඕනෑ. නැත්නම් පසුවැනිදා ගිහින් ගහනවා. ඒ ළමයින්ට උදේ හතරෙන් පස්සේ තමයි නිදාගන්න පුළුවන් වෙන්නේ. නයිවල තියෙනවා වෙනම ටෝචර් හවුස් එකක්. ඒගොල්ලෝ කියන ජාතියෙ ඇඳුම් විතරයි අඳින්න පුළුවන්. සමහර වෙලාවට යට ඇඳුම් අඳින්න තහනම් ගැහැනු ළමයි පිරිමි ළමයි දෙ​ෙගාල්ලන්ටම. ඉතින් මේ වගේ මහා ම්ලේච්ඡ සංස්කෘතියක් තමයි විශ්වවිද්‍යාලවල තියෙන්නේ.   


ප්‍රශ්නය: ඔබ ප්‍රවෘත්ති සාකච්ඡාවකට නයිවල උසස් අධ්‍යාපන ආයතනයේ ළමයෙක් ගෙන්නුවා.   


පිළිතුර: නෑ. නෑ. මම ගෙන්නුවේ නෑ. ඒ දරුවා මාව සොයාගෙන ඇවිල්ලා අහම්බෙන් වෙච්ච දෙයක්.   


ප්‍රශ්නය: ඒක පිටපතකට අනුව වෙච්ච දෙයක් නොවෙයිද?   


පිළිතුර: නෑ. නෑ. මම ඒ දරුවා දැනගෙන හිටියේ නෑ. ඒ දරුවා දවස් දෙකක් රෝහලේ ඉඳලා මාව හොයාගෙන එනකොට මම ප්‍රවෘත්ති සාකච්ඡාවක හිටියේ. එතකොට එයා කෙළින්ම මං ළඟට ආවා. මම එයාව කලින් දැකලවත් මුකුත්ම නෑ.   


ප්‍රශ්නය: ඔය ඔබ කියන දරුවාට විරුද්ධවත් පොදු ශිෂ්‍යයෝ පොලිසියට පැමිණිලි කරල තියෙනවා. තර්ජනය කිරීම් සම්බන්ධයෙන්?   


පිළිතුර: එහෙම කිසිම පැමිණිල්ලක් නෑ. ඔය සිද්ධියෙන් පස්සේ තමයි පැමිණිලි කරලා තියෙන්නේ. ඒකනේ විහිළුව. මේ ළමයා අලුතෙන් ආව ළමයෙක්. මොන තර්ජනය කරන්න ද රස්තියාදුකාරයන්ට විරුද්ධව.   


ප්‍රශ්නය: විශ්වවිද්‍යාල ඉතිහාසය ගත්තොත් බලයෙ ඉන්න දේශපාලන පක්ෂයේ විවිධ අතකොළු පොදු ශිෂ්‍යයන් සමග ගැටුම් ඇතිකර ගන්නවා. දේශපාලන බලය අරන් ඔවුන් තමයි මැරයෝ විදියට හැසිරෙන්නේ?   


පිළිතුර: දැන් නැහැනේ. ඉස්සර ශ්‍රී ලංකා එකේ ශිෂ්‍ය සංගම් තිබුණා. යූඑන්පී එකේ සමාජවාදී ශිෂ්‍ය සංගමය තිබුණා. දැන් ඒවා දියවෙලා ගිහිල්ලා. දැන් තියෙන්නේ පෙරටුගාමීන්ගේ ඒවා තමයි. සමහර තැන්වල ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවා. මම කියන්නේ ආණ්ඩු කරන පක්ෂ විශ්වවිද්‍යාල ඇතුළේ දේශපාලනය කරනවා නම් ඒකත් වැරදියි. කොහොම වුණත් ඉස්සර තිබුණ ක්‍රමය තුළ තිබුණා කිසියම් සදාචාර සම්පන්න භාවයක්. ප්‍රතිපත්තිමය කරුණු තිබුණේ. දැන් එහෙම ප්‍රතිපත්ති නෑ. තනිකරම දැන් තියෙන්නේ ප්‍රචණ්ඩත්වය.   


ප්‍රශ්නය:ඔබ ඇයි කෙළින්ම පෙරටුගාමීන්ට චෝදනා කරන්නේ?   


පිළිතුර: ඉතින් වෙන කවුරුවත්ම නෑනේ. වෙන කවුද ඉන්නේ ඕවා කරන්නේ.   


ප්‍රශ්නය: පෙරටුගාමින් ඔබට එන්තරවාසියක් එවනව කියලා කිව්වා?   


පිළිතුර: මම කිව්වනේ නඩු දාන්න කියලා. නඩු දාන්න මම සල්ලිත් දෙන්නම් කියලා කිව්වා. එතකොට මට ලේසියි මේවා දිගහැරලා පෙන්වන්න රටට ලෝකයට. අනික් එක පෙරටුගාමින්වත් නොවෙයි නම් මොකද ඔච්චර කලබල වෙන්නේ? රිදෙන්නේ ඇයි? රිදෙන්නේ තමන් ඒවා කරන නිසයි.   


ප්‍රශ්නය: ලංකාවේ උසස් අධ්‍යාපන අැමැතිවරයා රටේ විශ්වවිද්‍යාලවල පද්ධතිය හෑල්ලු කරනවා කියලා කිව්වොත්?   


පිළිතුර: හෑල්ලු කරනවා නොවෙයි. මානව වර්ගයාටම අවමන් කරන මිනිසුන්ගේ හොර තක්කඩිකම් ගැන, වනචරකම් ගැනයි මම රටට කිව්වේ.   

 

සමහර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ වෙනම නිවාස කුලියට අරන් තියෙනවා ‘සේෆ් හවුස්’ කියලා. ඇත්තටම ඒවා ‘ටෝචර් හවුස්’. හැන්දෑවට අලුත් ළමයි ගෙන්නගෙන වධ දෙනවා. ලිංගික හිංසන කරන එකේ සීමාවක් නෑ. වැඩිය ඕනෑ නෑ අපි හාමුදුරුවරු හය නමක් රුහුණු විශ්වවිද්‍යාලයට යැව්වා. භික්ෂු නේවාසිකාගාරයට හාමුදුරුවරු 30ක් 40ක් ඇවිත් ඒ හාමුදුරුවරු හය දෙනාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර වධ දීලා තියෙනවා. කායික හා ලිංගික වධ දීලා තියෙනවා. එක හාමුදුරු නමක් සියදිවි නසාගන්න යනකොට අපිට ආරංචි වෙලා හොයලා බලලා නීතිය ක්‍රියාත්මක කළේ.


ප්‍රශ්නය: විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කැටවලට වැටෙන සල්ලිවලින් රෑට අරක්කු බොනවා කියලත් ඔබ කිව්වා?   


පිළිතුර: ඔව් එහෙම බීලා තමයි. අරක්කුයි ගංජයි දෙකම බීලා ඊයේ පෙරේදා කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ තුන් දෙනෙක් ගොඩනැගිල්ලක් කුඩු කරලා.   


ප්‍රශ්නය: ඔබ කියනවද ඒකත් පෙරටුගාමින්ගේ වැඩක් කියලා?   


පිළිතුර: පෙරටුගාමින්ගේ සාමාජිකත්වය තියෙනවද නැද්ද කියලා කියන්න මම දන්නේ නෑ. හැබැයි අරක්කුයි ගංජයිනේ බීලා තියෙන්නේ. මේගොල්ලෝ මහපොළෙන්නෙ ජීවත් වෙන්නේ. කැට එකතු කරලා ඕවා තමයි කරන්නේ. නයිවල කැටවලින් එකතු කරපු සල්ලිවලින් තමයි ටෝචර් හවුස් එහෙම අරගෙන තියෙන්නේ. දෙහිවල උසස් තාක්ෂණ ආයතනයෙත් එහෙම තියෙනවා. රුපියල් පනස්දාහ හැටදාහ දීලා තමයි ගෙවල් අරන් තියෙන්නේ.   


ප්‍රශ්නය: ඇමැතිවරුන්ටත් නැති සුඛෝපභෝගී වාහනවල තමයි ශිෂ්‍ය නායකයන් යන්නේ කියලා ඔබ කිව්වා? 

 
පිළිතුර: පෙරටුගාමි ශිෂ්‍ය නායකයෝ තමයි එහෙම යන්නේ.   


ප්‍රශ්නය: අධිකරණයේදී ඔබට ඕවා ඔප්පු කරන්න වෙයි?   


පිළිතුර: අධිකරණයට ඔප්පු කරන්න මම සූදානම්. පාරේ යන මිනිසුන්ට මම සාක්ෂි ඉදිරිපත් කරන්න සූදානම් නෑ. මම මේ බොහොම කැමැත්තෙන් ඉන්නේ නඩු පවරනවා නම්.   


ප්‍රශ්නය: ශිෂ්‍ය සටන් ඇවිළී යන්නේ සාධාරණ හේතු මත කියලා ඔබ හිතන්නේ නැද්ද?   


පිළිතුර: ශිෂ්‍යයෝ නිකරුණේ සටන් කරන්නේ නැත්නම් මුලින්ම ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුයිනේ. මොනවද ඉල්ලීම්. මම රුහුණු විශ්වවිද්‍යාලයට යනකොට ශිෂ්‍යයන් 200ක් විතර ඇවිත් උද්ඝෝෂණයක් කළා විශ්වවිද්‍යාලයෙන් පිට. මොකක්ද ඉල්ලීම. අද වෙනකම් මුකුත් නෑ. අන්තිමට ගමේ මිනිසුන්ගෙන් යන්තම් ගුටි නොකා බේරුණා. මම සිග්නල් එකක් දුන්නා නම් එහෙම ගමේ මිනිස්සු ගහනවා.   


ප්‍රශ්නය: සයිටම් සටන අවුරුදු දෙකකට වැඩියෙන් ඇදුණා. පාලකයන් මේවා විසඳන්නේ නැති වුණාම තරුණ ශිෂ්‍යයන් ආවේගශීලිවීමත් සාධාරණයි.   


පිළිතුර: සයිටම් ප්‍රශ්නයට අවුරුදු දෙකයි මාස 10ක් ගියා. එහෙම වීම වැරැද්දක්. ශිෂ්‍යයෝ කුපිත වෙන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි. ඕක මේ ශිෂ්‍යයන්ට එල්ලෙන්න වැලක් නැති වුණාම එල්ලෙන්න හොයා ගත්ත එකක්. ඒක සම්බන්ධයෙන් ඒගොල්ලන්ට ගායක් තිබුණේ නෑ. ඒක ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි වගකීමෙන් කටයුතු කරන්න ඕන. ඒගොල්ලෝ විරෝධතා දැක්වූවා. ඔබ කිව්වා වගේම ප්‍රශ්න විසඳීම ආණ්ඩුවෙත් වගකීමක්. කාගේ හරි වැරැද්දක් නිසා එතැන ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා මම ඇවිල්ලා සතියක් යන්න කලින් ඒ ප්‍රශ්නය විසඳුවා. ඒක මේ පෙළපාළි ආව නිසා විසඳුවා නොවෙයි. පෙරටුගාමියෝ මම දැක්කා කියනවා ඒක ඒගොල්ලන්ගේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් කියලා. මගේ කාලයේ එහෙම එක පෙළපාළියක්වත් එන්න හමුවුණේ නෑ. පෙළපාළි එන්න කලින් මම අවශ්‍ය පියවර අරගෙන තිබුණේ. මම කළේ ආණ්ඩුවක වගකීමක් ඉටු කිරීමයි.   


ප්‍රශ්නය: ඔබ විසඳුවේ සයිටම් ප්‍රශ්නය. නමුත් ශිෂ්‍යයෝ කියන්නේ නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා, ඒකත් පරාජය කළ යුතුයි කියලා?   


පිළිතුර: නිදහස් අධ්‍යාපනය පෞද්ගලික අංශයට දීලා ඉවරයි. මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල 19ක් තියෙනවා. මුදල් අරගෙන උගන්වන කොතලාවල විශ්වවිද්‍යාලය තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල දහනවයේම වෛද්‍ය උපාධිය හැර අනෙකුත් උපාධි දෙනවා. ඉතින් පෞද්ගලික අංශයට දීලා තියෙන්නේ. මේක මේ අද ඊයේ කරපු දෙයක් නොවෙයි. ජාත්‍යන්තර පාසල් තියෙනවා. ප්‍රාථමික ද්විතියික තෘතියික හැම අංශයක්ම පෞද්ගලික අංශයට දීලා තියෙන්නේ.   


ප්‍රශ්නය: පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩදීලා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දිය කර හැරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා?   


පිළිතුර: රාජ්‍ය විශ්වවිද්‍යාල බිඳ වට්ටන්නේ මේ අයමයි. හෙට අනිද්දා වෙනකොට කට්ටියට තේරෙයි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන ශිෂ්‍යයොයි ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න ශිෂ්‍යයොයි රජයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයොයි සම්මුඛ පරීක්ෂණවලට ගියාම සියයට 99ක්ම ගන්නේ අර පෞද්ගලික අංශයේ ඉගෙන ගත්ත ළමයි. ඇයි රජයේ විශ්වවිද්‍යාලවල ළමයින්ට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඉංග්‍රීසි කතා කළොත් පෙරටුගාමියෝ ගහනවා කනට. ඉතින් අද පෞද්ගලික අංශයේ රස්සාවක් දෙන්නේ නැහැ ඉංග්‍රීසි නැතිව. පළමු අවුරුද්දම නැතිකරනවා. සහජ ප්‍රවීණතාවය එහෙම ඇති කරගන්න පළමු මාස හය හත වෙන්කරන්න ඕනෑ. ඒව මොකක්වත් කෙරෙන්නේ නැහැ අපේ විශ්වවිද්‍යාවල. ඒවාකරන්න දෙන්නේ නෑ පාලකයන්ට.   


ප්‍රශ්නය: ශිෂ්‍යයන්ට දීලා තියෙන පහසුකම් ප්‍රමාණවත්ද? ඔබ ඒ සම්බන්ධයෙන් දැනුම්වත්ද?   


පිළිතුර: ඇත්තෙන්ම තෘප්තිමත්. මම ඔය සම්බන්ධයෙන් හොයලා බැලුවා. ප්‍රශ්න තියෙන තැන් තියෙනවා. ඒක ඇත්ත. සමහර තැන්වල කැපවීම ප්‍රමාණවත් නෑ. ඒවා පුළුල් කරලා හදන්න අවශ්‍ය ප්‍රතිපාදන අපි දුන්නා. සමහර ආහාරවල ප්‍රමිතිය මදි. ඒකත් ඇත්ත. ඒ නිසා ඒකටත් අවශ්‍ය පියවර ගන්න උපදෙස් දීලා තියෙනවා. ඔය සුබසාධන කටයුතු ඇමැතිවරයාගේ වැඩක් නොවෙයි. ඒකට අවශ්‍ය මුදල් දීලා තියෙනවා. ඔය පහසුකම් හදන්න තමයි උපකුලපති ඇතුළු පාලක මණ්ඩලයක් ඉන්නේ. එතැනින් විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි අපිට එන්න ඕනෑ. පරිප්පු එකේ ලුණු අඩු ද වැඩි ද කියලා බලන්න නොවෙයි අමාත්‍යාංශය තියෙන්නේ.   


ප්‍රශ්නය: ඔබ කියනවා රජයේ විශ්වවිද්‍යාලවලින් එන උපාධිධාරීන්ට රස්සා නැහැ කියලා. ඒ තත්ත්වයට වගකියන්න ඕනෑ ආණ්ඩු?   


පිළිතුර: ඔය ප්‍රශ්නය තියෙන්නේ කලා උපාධියට හා කළමනාකරණ උපාධියට පමණයි. මම උපදෙස් දීලා තියෙනවා ඒවත් අදට ගැළපෙන විදියට නවීකරණය කරන්න කියලා. නමුත් ඕවායින් ප්‍රයෝජන ගන්නේ නෑ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ.   


ප්‍රශ්නය: උපාධියක් තිබුණාට රස්සා නැහැ. රස්සාවක් ගන්නත් මාරාන්තික උපවාස කරන්න ඕනෑ. මේ අපේක්ෂා භංගත්වය තරුණ ශිෂ්‍යයන් ප්‍රචණ්ඩත්වයට පත්කරනවා.   


පිළිතුර: ඒක ගත්තොත් ඉදිරියේදී කොහොමත් රජයේ රැකියා බලාපොරොත්තු වෙන්න බෑ. දැන් අපේ රට ගත්තොත් සංවර්ධනයේ ඉහළ ප්‍රමිතිය තමයි රටේ ජනගහනයෙන් සියයට 3කට තමයි රජයේ රැකියා තිබිය යුත්තේ. එතකොට අපේ රටේ රජයේ සේවකයන් සිටිය යුත්තේ ලක්ෂ 6යි. නමුත් ලක්ෂ 15ක් ඉන්නවා. දැනටමත් උපාධිධාරී පත්වීම් ගත්ත උපාධිධාරීන් ලක්ෂයක් විතර ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුටුවක් නැතිව වාඩිවෙන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සතියකට වරක් ඇවිත් අත්සන් කරලා තමයි පඩිය ගන්නේ. ලක්ෂ 6 ලක්ෂ 15 වුණාම රජයේ සේවකයකුට හරිහමන් පඩියක් දෙන්න බෑනේ.   


ප්‍රශ්නය: ඒක ආණ්ඩුවල ප්‍රශ්නයක් මිසක් උපාධිධාරීන්ගේ ප්‍රශ්නයක් නොවෙයිනේ?   


පිළිතුර: පැහැදිලිවම බංකොලොත් දේශපාලනඥයන් ඇතිකරපු ප්‍රශ්නයක්. දේශපාලනඥයන් ඒ වගකීම ගන්න ඕනෑ.   


ප්‍රශ්නය: පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ප්‍රශ්නයට තියෙන උත්තරය මොකක්ද?   


පිළිතුර: ඇයි පේරාදෙණිය වහන්න වුණේ. ඉංජිනේරු පීඨයේ 1640ක් ඉන්නවා. ඒ අයගෙන් සියයට 80 පැමිණීම බලන්න එපාලු. ලෝකයේම අපේ උපාධිය පිළිගන්නේ අපි ජාත්‍යන්තර ප්‍රමිතිය රකින නිසයි. සියයට 80 බලන නියයි. අපි ඒක ඉවත් කළොත් එහෙම අපේ වෛද්‍යවරයකුට පිටරට ගිහින් විශේෂඥ වෛද්‍ය උපාධිය ලියන්න වෙන්නේ නෑ. මොකද උපාධිය පිළිගන්නේ නැහැ. 1640න් 48ක් ඉන්නවා සියයට 80 නෑ. එතැන ඉන්න නායකයන් හතර දෙනාගේ පැමිණීම බිංදුවයි. ඒ අයට විභාගය ලියන්න දුන්නොත් නාට්ටාමි කෙනෙක් ඇවිල්ලා ඉංජිනේරු උපාධිය ලියන්න ඕනෑ කිව්වොත් දෙන්න වෙනවා.   


ප්‍රශ්නය: ඒ කියන්නේ අර ශිෂ්‍යයන්ට විභාගය ලියන්න දෙන්නේම නැහැ?  


පිළිතුර: ඔවුන්ට දෙන නොදෙන එක නොවෙයි. අපි විශ්වවිද්‍යාලයේ නීති පද්ධතිය ආරක්ෂා කරන්න ඕනෑ. ඒක ඔවුන් නොවෙයි දෙවියන් වහන්සේ කිව්වත් වෙනස් කරන්නේ නෑ.   


ප්‍රශ්නය: ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක හැප්පුණ දේශපාලනඥයන්ගේ දේශපාලන සෞඛ්‍ය සෑහෙන්න පිරිහුණා?   


පිළිතුර: මගේ දේශපාලන සෞඛ්‍ය කොයි පැත්තට ගියත් මට එකයි. මගේ වගකීම තමයි මම දරන තනතුරේ වගකීම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන එක. මට ඇමැතිකම් නැති වුණා කියලා මට තියෙන පාඩුව මොකක්ද? මාව දේශපාලනයෙන් යැව්වා කියලා මට තියෙන පාඩුව මොකක්ද? ඕක තමයි අපේ රටේ හෙනේ. දේශපාලනඥයෝ තමන්ගේ මන්ත්‍රීකම තනතුර රැක ගන්න රටට අහිතකර හැම තීන්දුවක්ම ගන්නවා. ජනප්‍රිය වෙන්න තමයි තීන්දු ගන්නේ. මට එහෙම ජනප්‍රිය වීමේ මානසික රෝගයක් හෝ ආශාවක් නෑ. ඉන්නෙ මාසෙ ද අවුරුද්ද ද මගේ වගකීම මම හරියට කරනවා. ඒ නිසාම මාව කැපෙනවා. ප්‍රහාරයට ලක් වෙනවා. කෝප් එකේ ඉන්නකොට මට මරණීය තර්ජන පවා ආවා. ඒත් මම සැලුනේ නෑ.

 

 

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්