විනය ක්‍රියාමාර්ග ගන්න දෙයක් නෑ: මේක ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය


 

ඒකාබද්ධ විපක්ෂයේ “ගෝල්ෆේස්” පණිවිඩය නිවැරැදිව කියවා ආණ්ඩුව වහා මැතිවරණයකට යා යුතු බව පවසමින් ‘ඉරිදා ලංකාදීප’ය සමඟ සංවාදගතවූ හිටපු අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ හඬ මෙසේ සටහන් කර තබමු.

 


ප්‍රශ්නය:- කොහොමද මැයි දිනය?
පිළිතුර:-
අපේ රටේ මැයි දින ඉතිහාසයේ දේශපාලන පක්ෂ සියල්ලටම මේ තරම් එකසේ වැදගත් වුණු මැයි දිනයක් නෑ.


ප්‍රශ්නය:- ඇයි ඔබ එහෙම කියන්නේ?
පිළිතුර:-
හැමෝම බලාගෙන හිටියනේ මීට අවුරුදු විසි තුනකට විසි හතරකට කලින් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වුණාට පස්සේ ගෝල්ෆේස් පිට්ටනියේ මැයි දිනයක් තිබ්බේ මෙවරයි. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලු ආණ්ඩු විරෝධි බලවේගවලට මේ මැයි දිනය ඉමහත් ආශ්වාදයට හේතුවක් වුණා.


ප්‍රශ්නය:- මේ පාර මැයි දිනය කළේ ඒකාබද්ධ විපක්ෂයද? පොදුජන පෙරමුණද?
පිළිතුර:-
ඉතාම පැහැදිළිවම ඒකාබද්ධ විපක්ෂය ඔවුන් තමයි නායකත්වය ඒ වගේම යම් යම් කාර්යයන් වගකීම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද පවරලා තිබුණා.


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් මෛත්‍රී පාර්ශ්වය කිව්වේ මේක පොදුජන පෙරමුණේ මැයි රැළියක්. ඒ නිසා ඒකට යන ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලයි.
පිළිතුර:-
මේක ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය. අපේ පොදුජන පෙරමුණට මාස හය සම්පූර්ණ වුණෙත් මැයි 1 වැනිදායි. ඒ පක්ෂය ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නිල වශයෙන් සහභාගිවුණා. ඒ නිසා විනය ක්‍රියාමාර්ග ගන්න දෙයක් නෑ. 


ප්‍රශ්නය:- ගෝල්ෆේස් මැයි රැලියෙන් නික්මුණ පණිවුඩයක් ගැන දේශපාලන විචාරකයන් කතා කරනවා. ඒ පණිවිඩය ඔබ කොහොමද හඳුනාගන්නේ?
පිළිතුර:-
විශේෂයෙන්ම කිව යුතුයි. ඔව්! ඇත්ත වශයෙන්ම අපට අභියෝගයක් තිබුණ. සමහරු කට හදාගෙන හිටියේ “ඇණ ගත්තා කියලා කියන්න. අපට තිබුණ අභියෝගය අපටත් කලින් ජනතාව බාරගත්තා. අවශ්‍යතාවය තියෙන්නේ කාටද කියන එක ඒකෙන් පෙන්නුවා. ඒ වගේම අපේ මැයි දින පණිවිඩය විවිධ විදියට හඳුනාගන්න පුළුවන්. මම මේක විශේෂයෙන්ම හඳුනාගත්තේ මේ රටේ පොදු මහජනතාව ආණ්ඩුවට විරුද්ධයි. නියමිත කාලයට ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ නොපැවැත්වීම නිසා ජනතාව ඉන්නේ අසහනයෙන්. ඒක ජනතාවගේ අයිතිය. එක්සත් ජාතීන්ගේ විශේෂ ප්‍රඥප්තියේ 21 වැනි වගන්තියේ සඳහන්වෙලා තියෙනවා රටවල් තමන්ගේ පාලකයව ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගැනීමට නිසි කලට නිත්‍යානුකූලව දූෂණයෙන් තොරව නිදහසේ මැතිවරණ පැවැත්විය යුතුයි කියලා. ඒකේ ප්‍රධානම දේ තමයි නියමිත වෙලාවේ ඡන්ද පැවැත්වීම. එහෙම මැතිවරණ නොතියා ඉන්නකොට ජනතාවගේ අදහස ප්‍රකාශ කරන්න බැරි වෙනවා. ඉතින් ඒ විරෝධය පෙන්වන්න අපි මේ මැයි දිනය යොදාගත්තා. 


ප්‍රශ්නය:- කොහොම වුණත්?
පිළිතුර:-
පොඞ්ඩක් ඉන්න. මේකේ විශේෂ කාරණය තමයි මේ පාර ආණ්ඩුව තියපු රැලි තුනම අසාර්ථකයි.


ප්‍රශ්නය:- ආණ්ඩුවේ මැයි රැළි තුනක්?
පිළිතුර:-
ඔව්. ගැටඹේ මැයි රැළිය. යූඑන්පී එකේ කැම්බල් රැළිය. ජේ.වි.පී. එකේ බී.ආර්.සී. රැළිය. ඒවා ඔක්කොම එකම ආණ්ඩුවනේ. ගිය අවුරුද්දත් එක්ක සන්සන්දනය කරනකොට ඒ අය අසාර්ථකයි. ඒ පක්ෂ දෙකටම ගෝල්ෆේස් එකේ අපේ රැළියත් එක්ක සන්සන්දනය කරන්න බැහැ. ඒකට එහෙම අයිතියකුත් නෑ. අපිට තියෙන්නේ ගියවර මැයි දිනත් එක්ක මේක සන්සන්දනය කරන්නයි. ජේ.වී.පී එකට ගිය පාර ගෙන්වා ගත්ත පිරිස ගෙන්වා ගන්න බැරි වුණා. කැම්බල් එක ගිය පාරට වඩා අට ගුණයකින් විතර අඩුවුණා. ගාල්ලේ තිබුණ එක ගැටඹෙත් එක්ක සන්සන්දනය කළොත් මම හිතෙන්නෙ විසි ගුණයකින් විතර අඩුවුණා. මේ අනුව ආණ්ඩුව බරපතළ විදියට පල්ලම් බැහැලා තියෙනවා. ආණ්ඩු විරෝධය ඉතා තියුණු විදියට රළ ගසන බව පේනවා. ආණ්ඩුවේ සියලුම දේවල් ජනතාව ප්‍රතික්ෂේප කරන බව පෙන්නලා තියෙනවා. ඒ නිසා මේ අපි කියන එක වැරැදි නම් ඒක පෙන්වන්න ආණ්ඩුවට එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මැතිවරණයක් ඉතා ඉක්මණින් තියන එක. අවුරුදු දෙකක් පරක්කු වෙලා තියෙන පළාත් පාලන මැතිවරණය වහාම තියන්න පුළුවන්. ඒ වගේම පළාත් සභා තුනක මැතිවරණ තියන්න තියෙනවා. අපි කියනවා මේ මැතිවරණ තියලා ආණ්ඩුවට ජනතාව හිතන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්.


ප්‍රශ්නය:- මැතිවරණ නොතිබ්බොත් හර්තාල් කරනවා කියලා ගෝල්ෆේස් වේදිකාවෙන් කියැවුණා”
පිළිතුර:-
ඔව්, මම තාම කියන්න දන්නේ නැහැ ඊළඟට මොකද්ද කරන්නේ කියලා. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්වෙලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනීවි. ගන්න තීරණය ක්‍රියාත්මක කරන්න අපේ පක්ෂයත් සම්පූර්ණයෙන්ම කැපවෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදි රැස්වෙලා තීරණයක් ගනීවි.


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා - යූඑන්පී ජාතික ආණ්ඩුවේ ගිවිසුම සැප්තැම්බරයෙන් අවසන් වෙනවා. ඔබට ආරංචි හැටියට කුමක් වෙයිද?
පිළිතුර:-
සැප්තැම්බර් කෙසේ වෙතත් මේ මැයි දිනයත් එක්ක මේ ආණ්ඩුවට ලොකු පණිවිඩයක් ගියානේ. මෙතැන ප්‍රධාන විකල්ප 2ක් තියෙනවා. පළමු විකල්පය තමයි මැයි දිනයේදී ජනතාව දීපු පණිවිඩය හරියට අරගෙන තමන්ගේ වැරැදි නිවැරැදි කර ගන්න එක. ඒකට පළමුවෙන් ඡන්දය තියන්න. මේ රටේ අනාගත දූ පුතුන්ට ඉතිරි කළ යුතු ජාතික සම්පත් විකිණීම වහාම නතර කළ යුතුයි. මේ ආණ්ඩුව මේ රට විදේශිකයන්ට විකුණනවනේ.


ප්‍රශ්නය:- ගිය ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ඔබයි. ඔබ දැන් ජාතික සම්පත් විකිණීම ගැන කතා කරනවා. ඔබේ ආණ්ඩුව කාලේ වරාය නගරය චීනයට වික්කා. ෂැංග්‍රිලා එකට කොළඹ වටිනාම ඉඩම් වික්කා?
පිළිතුර:-
ඒක වැරැදියි. පළමුවෙන්ම කියන්න ඕනෑ අපි ඉතාම පැහැදිලිව මහින්ද චින්තනේ කිව්වේ රටේ ආර්ථික මර්මස්ථාන කිසිවක් පෞද්ගලීකරණය කරන්නේ නෑ කියලා. මොකද ඒ වෙලාවේ තිබුණේ පෞද්ගලීකරණ රැල්ල. ප්‍රේමදාස ආණ්ඩුවෙන් ආරම්භ වෙලා චන්ද්‍රිකා ආණ්ඩුවෙන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම වේගවත් කරලා තිබුණේ. අපි ආපු ගමන් අපි පැහැදිලිව කිව්වා රටේ කිසිම ආයතනයක් විකුණන්නේ නෑ කියලා. කිව්වා විතරක් නෙවෙයි අපි ඒක කරලා පෙන්නුවා. ඒ විතරක් නොවෙයි අපි එතැනින් නතරවුණේ නෑ. විකුණලා තිබ්බ ඒවා රාශියකුත් අපි ජනතා සන්තක කළා. ශ්‍රීලන්කන් ගුවන් සේවය, ටෙලිකොම් එකේ කොටස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. සෙවණගල හා හිඟුරාණ සිීනි කර්මාන්ත ශාලා, ෂෙල් ගෑස් එකට දීලා තිබුණ ගෑස් කර්මාන්තය, ඒ වගේම වරායේ ටර්මිනල් එක. වෝටර්ස් එජ් එක වගේ ආයතන ගණනාවක් අපි නැවත පවරා ගත්තා. නිකම් නොවෙයි. උසාවි නියෝග අනුව තක්සේරු කරලා සල්ලි දීලා ගත්තේ.


ප්‍රශ්නය:- එතකොට පෝර්ට් සිටිය, ෂැංග්‍රිලා එක. 
පිළිතුර:-
මම ඒකටත් උත්තර දෙන්නම්. පෝර්ට් සිටි එක අලුතෙන්ම හැදුවේ. අපට අයිති නැති භුමියක් අලුතෙන් ඉදිකළා. ඒ කරන එකෙන් අක්කර දෙසීයක් රජය තියාගෙන ඒ අයටත් යම්කිසි කොටසක් ඒ අයගේ වියදමට ගැලපෙන්න දුන්නා.


ප්‍රශ්නය:- අපේ මුහුදු සීමාව?
පිළිතුර:
- මුහුදු සීමාවන් තියෙනවා. හැබැයි අපේ මුහුද නිසා අපේ භූමිය එන්න එන්නම අඩු වුණා. අපේ සිතියම ගත්තොත් හැම අවුරුද්දකම අපේ භූමිය අඩුවෙලා තියෙනවා. ඉතින් අපේ රටේ පළමු වතාවට මෙවැනි වරාය නගරයක් හැදුවෙ. විදේශ ආයෝජන නේ. කවුරුත් පිළිගන්නවා විදේශ ආයෝජන රටකට අවශ්‍යයි කියලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් පිළිගත්ත. මේක ආයෝජනයක්. ෂැංග්‍රිලා හෝටලය ගත්තොත් ඒක ආයෝජනයක්. ෂැංග්‍රිලා හෝටලය විතරක් නොවෙයි තව හොඳ හොඳ ආයෝජකයෝ එනවා නම් රජයක් පහසුකම් සපයන්න ඕනෑ. ඕනැම රටකට ආයෝජකයෝ එනවා නම් ආණ්ඩුව ඒ පහසුකම් දෙන්න ඕනෑ.


ප්‍රශ්නය:- හම්බන්තොටට එන ආයෝජකයන් එනකොට මහින්දවාදීන් ඒකට එරෙහිව ජනතාව උසිගන්වනවා?
පිළිතුර:-
නෑ... නෑ... නෑ... එතැනදි වෙන්නේ මහින්ද රාජපක්ෂ මේ ජාතියට පවරා දීපු වරාය විකුණන්නනේ යන්නේ. බණ්ඩාරනායක අගමැතිතුමා වරාය ජනසතු කළා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික ගත්තා. මහින්ද රාජපක්ෂ වරාය හැදුවා. හදපු වරායයි මේ දෙන්නේ. මේක මේ රටේ ජනතාවගේ සම්පතක්. තව වරායක් හදලා ඒකෙන් රටට ආයෝජන ගේනවා නම් කිසිම වරදක් නෑ. මේ කරන්නේ තියෙන එක විකිණීමයි. මේවා පටලවා ගන්න එපා. ආයෝජකයෝ එනවට අපි විරුද්ධ නෑ. ෆොක්ස්වැගන් කම්හල දාන්න කියන්න අපි පක්ෂයි. ආයෝජන කියන්නේ එකක්. විකිණීම කියන්නේ තව එකක්. අපි කිසිම දෙයක් විකුණුවේ නෑ. ඒ කාලේ ලෝකයෙ ප්‍රවණතාවක් තිබුණා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විතරක් නොවෙයි ලෝකය පුරාම ගිය මතය තමයි රාජ්‍ය සම්පත් පරිපාලනය සඳහා පෞද්ගලික අංශයටම දිය යුතුයි කියල. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්තිය නිසා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් කර ගත්තා. අපි කරපු විප්ලවය ඒකයි. දැන් උපදෙස් දෙන්න එන්නේ නෑ පෞද්ගලිකරණය කරන්න කියලා. ඔවුන් උපදෙස් දෙන්නේ ජනතාවට බරක් නොදී මේවා පවත්වාගෙන යන්න කියලයි. ඒ නිසා අපේ කාලයෙ කිසිම දෙයක් විකුණුවේ නැහැ කියලා බොහොම ආඩම්බරයෙන් කියන්න පුළුවන්.


ප්‍රශ්නය:- වැඩ වර්ජන පිටිපස්සේ රාජපක්ෂ කල්ලිය ඉන්නේ කියලා ආණ්ඩුව කියනවා. ඇයි රට අස්ථාවර කරන්න හදන්නේ?
පිළිතුර:-
එකක් පිළිගන්න ඕනෑ වැඩ වර්ජනය කිරීම ජාත්‍යන්තර නීතිය අනුවත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් තියෙන මූලිකම අයිතිවාසිකමක්.


ප්‍රශ්නය:- ඇයි ආණ්ඩුව කරන කාලේ ඔහොම කල්පනා නොකළේ.
පිළිතුර:-
ඒ කාලේ අපි කටයුතු කළේ එහෙම තමයි.


ප්‍රශ්නය:- නමුත් ඒ කාලේ?
පිළිතුර:-
ඔව් මම පිළිගන්නවා. ඔබ මතක් කරන්න හදන දේ ගැන. සමහර තැන්වල අවාසනාවන්ත සිදුවීම් වුණා. ඒවා අපේ ප්‍රතිපත්තිය නිසා වෙච්ච දේවල් නොවෙයි. ඒ මොහොතේ එතැන ඇති වෙච්ච ඇති කරපු තත්ත්වය මත තමයි යමක් වුණා නම් වුණේ. ඒ සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා. කොහොම වුණත් වැඩ වර්ජනය කිරීමේ අයිතිය කම්කරු පන්තිය දිනා ගත්තේ සටන් කරලා. ජීවිත පරිත්‍යාග කරලා. ඒ නිසා ඒ අයිතිය කාටවත්ම නැති කරන්න බැහැ. වෘත්තීය සමිති යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නකොට ඒක කාගේ හරි ගිණුමකට බැර කරලා මර්දනය කරන්න හදනවා නම් එහෙම කරන්න කිසිම රජයකට අයිතියක් නෑ.


ප්‍රශ්නය:- කොහොම වුණත් වර්ජනවලට මුහුණ දෙන්න ආණ්ඩුවත් සූදානම් වෙනවා?
පිළිතුර:-
ඔව්, මේ අය කියපු යහ පාලනයට නොවෙයි සම්මත ක්‍රමයටත් විරුද්ධයි.


ප්‍රශ්නය:- රාජපක්ෂලාට බොහොම සම්බන්ධ සරත් ෆොන්සේකා ඒ සම්බන්ධයෙන් වගකීමක් ගන්න සූදානමින් ඉන්න බවක් කියනවා?
පිළිතුර:-
එයා ගැන මම කතා කරන්නේ නෑ. එයා යම්කිසි කටයුත්තකට දක්ෂයෙක් බව අපි හැමෝම පිළිගන්න ඕනෑ. නමුත් මම දන්න විදියට තමන් යටතේ ඉන්න අය පාලනය කිරීම සම්බන්ධයෙන් නම් එයාගේ ඉතිහාසය බොහොම නරකයි. ඒ නිසා ඒ ගැන මම වැඩිය කතා කරන්න යන්නේ නෑ.


ප්‍රශ්නය:- මැයි දිනයෙන් පස්සෙ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් එහෙම ඔබට කතා කළාද?
පිළිතුර:-
අපොයි ඔව්. ගැටඹේ ඉඳගෙනත් සමහරු මට කතා කළා. කැම්බල් ගිය අයත් කතා කළා.


ප්‍රශ්නය:- මොනවද කිව්වේ?
පිළිතුර:-
ම්... ම්... ඒවා මාධ්‍යයට කියන්න බෑනේ.


ප්‍රශ්නය:- මැයි දිනයත් ඉවරයි. ඊළඟට මොකද්ද?
පිළිතුර:-
අපිට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපිට නම් ඉලක්කයක් තිබුණා. මුල්ම ඉලක්කය වුණේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච විධ බලවේගය එදා බණ්ඩාරනායක මහත්තයා ගොනා කරලා සමාජ පරිවර්තනයක් කළා. ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළේ. අද ඒ පක්ෂය ඒ මූලික රාමුවෙන් බැහැරව යනකොට ගොවියව අතරමං කරනකොට මහා සංඝරත්නය අල්ලලා හිරේ දානකොට කම්කරු අයිතින් අමු අමුවේම උල්ලංඝනය කරනකොට රාජ්‍ය සම්පත් විකුණනකොට පාසල් දරුවගේ අයිතිවාසිකම් කප්පාදු කරනකොට නිදහස් අධ්‍යාපනය කප්පාදු කරනකොට, නිදහස් සෞඛ්‍ය කප්පාදු කරනකොට ඒ වගේ වැඩවලට එරෙහිවන්න ඒ ජනතාව නියෝජනය කරන්න පක්ෂයක් ඕනෑ වුණා.


ප්‍රශ්නය:- එතකොට ඒකාබද්ධ විපක්ෂය? 
පිළිතුර:-
ඒකාබද්ධ විපක්ෂය බලවේගයක්. ආණ්ඩු විරෝධය ඔවුන් ඉහළ මට්ටමින් නියෝජනය කළාට ගම් මට්ටමට සංවිධාන ව්‍යුහයක් තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් තමයි අපි අපේ පක්ෂය බිහි කළේ. මැයි දිනයෙදි අපි අපේ දෙවැනි පියවර තිබ්බා. අපි දැනට ගම්වල 10, 20 කමිටු හදලා තිබුණේ. නමුත් විස්සේ කමිටු හදන්න ගියාම හයසිය, හත්සීය ආපු අවස්ථා තිබුණා. ඉදිරියේදී අපි නිල ශාඛා පිහිටුවීම ආරම්භ කරනවා. දැනට ජාත්‍යන්තර ශාඛා චීනයෙ, මහා බි්‍රතාන්‍යයෙ, එංගලන්තයෙ වගේ රටවල පිහිටුවලා තියෙන්නේ. අපේ වෘත්තීය සමිති සම්මේලන තුනක් තියෙනවා. ලංකාවේ දැවැන්තම ගොවි සම්මේලනය අපි පිහිටුවලා තියෙනවා. භික්ෂු සංවිධානය ආසන මට්ටමින් පිහිටුවාගෙන යනවා. ඔය අතරෙදි ඒකාබද්ධ විපක්ෂය ගන්නා තීන්දු තීරණත් සමඟ සම්බන්ධ වෙමින් වැඩ කරනවා. මැයි දිනයෙන් දුන්න පණිවිඩය යථාර්ථයක් කරගන්න අපි වෙහෙසෙනවා.


ප්‍රශ්නය:- සෙනඟ පෙන්වලා හොරා අල්ලන මෙහෙයුම් අඩාල කිරීමේ කුමන්ත්‍රණයක් මෙතැන තියෙනවා කියලත් කියනවා?
පිළිතුර:-
හොරු අල්ලන මෙහෙයුම වැඩි කර ගැනීම තමයි අපේ උත්සාහය. හොරු අහුවෙලා තියෙනවා. නමුත් හොරුන්ට දඬුවම් කිරීම තමයි දැන් ප්‍රමාද? දැන් බැඳුම්කර හොරු හෙළිවෙලා තියෙනවා. අපේ මහින්දානන්ද අලුත්ගමගේ  මන්ත්‍රීතුමා .ඔධඡ 10. කියලා හොරු හෙළි කළා. නමුත් ක්‍රියාමාර්ග නැ. ඒ නිසා අපි කියන්තේ හොරු අල්ලන මෙහෙයුම වේගවත් කරන්න කියලා තමයි.

සාකච්ඡා කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්