විධායක ජනපති ධුරය අහෝසි කිරීම ජනපතිගෙත්-අගමැතිගෙත් වගකීමයි


ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

වර්තමාන දේශපාලන වටපිටාව පිළිබඳ මේ අදහස් දැක්වීම ජවිපෙ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසිනි. 


පහුගිය පළාත් සභා මැතිවරණයෙන් පස්සේ පටන් ගත්තු දේශපාලන කුණාටුව තාම ඉවරයක් නෑ.....?


ඡන්දෙන් පස්සේ රටේ අරාජිකත්වය එන්න එන්නම වැඩි වුණා. රටේ අර්බුද එන්න එන්නම වැඩි වුණා. එක පැත්තකින් ආර්ථිකය ආපස්සට තල්ලු වෙලා. අනිත් අතට අද ආණ්ඩුවක් නැති ගාණට රට යන්නේ. ආණ්ඩුවක් තියෙනවා වගේ පෙනුනට ඇත්තටම ආණ්ඩුවක් නෑ වගේ. මේක ජනාධිපති අගමැති බල පොරයක ප්‍රතිඵලයක්. ආණ්ඩු කරන්න එකතු වෙච්චි පක්ෂ දෙකේ හවුලේ අවුල තමයි දැන් රටේ තියෙන්නේ. එකම ආණ්ඩුවෙ ඇමැතිවරු අතර ගෝරි. පිරිසකට යන්න කියල තව පිරිසක් තියෙනවා. ආණ්ඩුවේ ඉඳගෙනම ඇමැතිවරු පිරිසක් ඒ ආණ්ඩුවෙ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගවලට සහාය දෙනවා. 


මේක මහ අවුලක්. ලෝකෙ කොහේවත් අවුල් ආණ්ඩුවක් නෑ. මේ තරම් දුරට මේ අර්බුදය දුරදිග ගියේ පහුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ. මේ විදියට රටට තවදුරටත් ඉස්සරහට යන්න බෑ. 


අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් එන අතරෙම තමයි ජේ.වී.පී. එක කිව්වේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කතාව. දැන් කවද්ද 20 වෙනි සංශෝධනය ගැන කතාව ප්‍රායෝගික වෙන්නේ? 


මේක මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව. එක්සත් ජාතික පක්ෂයත් පහුගිය මැතිවරණවලදි කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. 2015 ජනවාරි 8 මෛත්‍ර්‍ීපාල සිරිසේන මේ රටේ ජනාධිපති විදියට පත් කළේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඒ නිසා මේක අහෝසි කිරීම ජනාධිපතිවරයාගෙත් අගමැතිවරයාගෙත් වගකීම. ඒත් ඔවුන් තාමත් මේ ගැන අවධානය යොමු කරලා නෑ. ඒ නිසාම තමයි මේක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට පාර්ලිමේන්තුවට ගේන්න තීරණය ක​ෙළ්. ඇත්තටම අපි ඡන්දෙ ඉවර වෙච්ච ගමන් තමයි මේක ගේන්න හිතාගෙන හිටියේ. නමුත් විශ්වාසභංගය ආපු නිසා අපි මේක ටිකක් පස්සට ගත්තා. අලුත් අවුරුදු ඉවරවෙලා නැවත පාර්ලිමේන්තුව පටන් ගන්න අවස්ථාවෙ 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 


මේ හරහා යහපත් වෙනසක් ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? 


පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ 2020 ජනාධිපතිවරණ සිහිනය බිඳ වැටුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙත් 2020 ජනාධිපතිවරණ සිහිනය බිඳ වැටුණා. 


මහින්ද රාජපක්ෂට කොහොමත් තව ඉල්ලන්න බෑ. ඒ නිසා දැන් තමයි මේකට හොඳම අවස්ථාව. ජනතාවගෙ පැත්තෙන් පහුගිය කාලය පුරාම මේ ඉල්ලීම ආවා. 


ඒක ක්‍රියාවට නගන්න මේක හොඳම අවස්ථාව. මේක ජනතාව වෙනුවෙන් පැහැර හරින්නෙ නැතුව ප්‍රයෝජනයට ගත යුතුයි. අපිට විශ්වාසයක් තියෙනවා යූ.එන්.පී. ය ප්‍රතිපත්තියක් විදියට විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ නම් මේකට සහාය දේවි කියලා. මහින්ද රාජපක්ෂට නැවත තරග කරන්න බැරි නිසා කොහොමත් මේකට සහාය දෙන්න ගැටලුවක් නෑ. අනිත් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයට මේකට කොහොමවත් එරෙහි වෙන්න බෑ. මොකද මේක ඔවුන්​ෙග් සටන් පාඨය. ඒක නිසා පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක සහාය මේ සඳහා ලබාගන්න බැරි නෑ. 


පාර්ලිමේන්තුවෙ සෙසු පක්ෂවල සහාය මේ සඳහා ලබාගන්න ඔබල සාකච්ඡා කරල තියෙනවද? 


නොනිල මට්ටමෙන් සාකච්ඡා කරලා තියෙනවා. නිල මට්ටමෙන් ඉදිරියේදී සාකච්ඡා කරනව. මේ කෙටුම්පත සකස් කරල ඉවර වුණාට පස්සේ අපි පාර්ලිමේන්තුවෙ හැම දේශපාලන පක්ෂත් එක්කම මේ ගැන නිල මට්ටමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට නොනිල මට්ටමෙන් කරපු සාකච්ඡාවලදී බොහෝ දෙනාගේ එකඟතාවක් දකින්න තියෙනවා. 


 දැනට තියෙන තත්ත්වය උඩ යහපාලන ආණ්ඩුවෙ අනාගතය ගැන ඔ​ෙබ් කල්පනාව කොයි වගේද? 


මේ ආණ්ඩුව ගැන නම් අනාවැකි කියන්න බෑ. මොකද අද තියෙන තත්ත්වය නොවෙයි හෙට. අද කියන දේ නෙවෙයි හෙට කියන්නේ. දවසින් දවස ආණ්ඩුවෙ ස්වරූපය වෙනස් වෙනවා. වෙනද නම් රටේ ආණ්ඩුවක ගමන් මග ගැන යම් යම් අනුමාන කිරීම් කරන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව කොයි වෙලාවෙ කොයි පැත්තට කඩාගෙන වැටෙයිද කියන්න බෑ. ඒක අපි තියා කැබිනට් එකේ ඉන්න අයවත් දන්නේ නැ. මේක ඒ තරම් අස්ථාවර ආණ්ඩුවක්. ඒක රටටයි අහිතකර. 


මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකකම සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය තමත් සතු කරගැනීමේ වෑයමක ඉන්නව. මොකද වෙන්නේ එහෙම වුණොත්...? 


පහුගිය මැතිවරණයේදී ඔවුන් ජනතාවට කිව්වේ ඡන්දෙට පස්සෙන්ද ඉඳලා මහින්ද රාජපක්ෂ රටේ අගමැති කියලා. ගොඩක් අය ඡන්දෙ දුන්නෙත් එහෙම හිතාගෙන. ඒ අය දිගටම කිව්වෙත් එහෙමයි. ඡන්දෙන් පස්සේ අගමැතිකම ඉල්ලුවා. ඇමැති මණ්ඩලේට එන්න කැමැතියි කිව්වා. ඒත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ තමයි විපක්ෂ නායකකම ඉල්ල ඉල්ල යන්නේ. එ්කත් දැන් අසාර්ථක වෙලා. මේ කිසිම දෙයක් ලැබෙන්නේ නැති බව දැන ගත්තම විශ්වාසභංගයක් ගෙනාවා. ඒකත් පරාද වුණා. මහින්ද පාර්ශ්වය කරපු කරපු දේ වැරදුණා. කරපු කරපු දෙයින් පැරදුණා. ඒ නිසා ඒ අයට ඡන්දෙ දීපු අයගෙ විශ්වාසය බිඳවැටිලා. ඒ අය දිගටම නතුකරගෙන තියාගන්න ඕනැ නිසා මොන මොනවා හරි කියනවා. 


විශ්වාසභංගය පරදිනවා කියලා දැන දැන ඇයි ජවිපෙ මහින්ද රාජපක්ෂලගෙ කරේ එල්ලු​ෙණ්? 


මේ විශ්වාසභංගයට ප්‍රතිපත්තිමය කාරණාවක් උඩ ඡන්දය දුන්නේ අපි විතරයි. අපිට මේක දිනනවද පරදිනවද කියන එක නොවෙයි වැදගත් වුණේ. විශ්වාසභංගය එද්දිම තමයි අපි මේකට පක්ෂව ඡන්දෙ දෙනවා කියලා කිව්වෙ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සම්බන්ධයෙන් අපිට තිබුණු ප්‍රතිපත්තිමය විරෝධතාව නිසා තමයි අපි එහෙම කිව්වේ. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් අපිට ලොකු විවේචනයක් තියෙනවා. ඒකට හේතු රාශියක් තියෙනවා. ඒ ගැන එදා විවාදයේදී අපේ පක්ෂෙ නායකයා ඇතුළු පිරිස කරුණු කිව්වා. විශ්වාසභංගයට ප්‍රතිපත්තිමය කරුණුවල ඉඳලා ප්‍රතිචාර දක්වපු එකම පිරිස අපි විතරයි. ජනතාවගෙ පැත්තේ ඉඳලා කෙළින් වැඩ කළේ අපි විතරයි. 


ජනතා විමුක්ති පෙරමුණ විශේෂ අවධානයක් යොමු කරන දෙයක් තමයි මැයි දිනේ සැමරුම. මේ සැරේ ඒක දින කීපයක් පස්සට ගිහින්. වමේ පක්ෂ කීපයක් ඒකට විරුද්ධව අදහස් පළකරලා තිබුණා. ජවිපෙ අදහස මොකක්ද මේ ගැන? 


නොහිතපු විදියට මැයි දිනය යෙදෙන දවස්වලටම වෙසක් සතිය වැටිලා තියෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව වෙසක් සතිය ක්‍රියාත්මක වෙද්දී මැයි දින ක්‍රියාකාරකම් ඒ මැද්දේ කිරීම ප්‍රායෝගික ගැටලු රැසක් ඇති කරවන වැඩක්. අපි ඒ ගැන අවධානය යොමු කළා. විශේෂයෙන් ත්‍රෛනිකායික ස්වාමින්වහන්​ෙස්ලාගේ පැත්තෙන් මේ ගැන ඉල්ලීමක් ආවා. මේ කරුණු සැලකිල්ලට අරගෙන මැයි දින සැමරුම් කල් දාන්න ගත්තු යෝජනාවට අපි විරුද්ධ නෑ. 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි