විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුද ?


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සූදානම් වෙයි. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම සංශෝධනය මැයි මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මේ පිළිබඳව ප්‍රධාන පක්ෂ කිහිපයකින් කළ විමසීම මෙසේය. 

 

බහුතර කැමැත්තෙන් 
තුනෙන් දෙකේ බලය ගන්න පුළුවන් 
ජවිපෙ නායක 
අනුර කුමාර දිසානායක
 


පාර්ලිමේන්තුවේ බහුතරය විධායක ජනාධිපති ක්‍රමයට එකඟ නැති නිසා මෙම යෝජනාවට තුනෙන් දෙකක කැමැත්ත ලබාගැනීමට හැකිවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය. 
ඒ මහතා මෙසේද කීය. 


විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කර දැනට වසර 40 ක පමණ කාලයක් ගත වෙනවා. රටේ සමගිය වර්ධනය කිරීමට හෝ ආර්ථික වර්ධනයට විධායක ජනාධිපති ධුරයෙන් කිසිදු සෙතක් සැලසී නැහැ. මේ රටේ යුද්ධ ඇති වුණෙත් අරගල ඇති වුණෙත් විධායක ජනාධිපති ධුරය ද මූලික කර ගනිමින්. වමේ ව්‍යාපාර, ප්‍රගතිශීලි සංවිධාන, සිවිල් සංවිධාන, ජනතා ව්‍යාපාර, මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස අරගල ගණනාවක් සිදුකළා. 1992 ජනාධිපතිවරණයේ සිට ප්‍රධාන සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහායි. 


පොදු අපේක්ෂකයා තෝරා පත්කර ගැනීමේ සටන් පාඨයක් වූයේත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ඒ සඳහා ලක්ෂ 62 ක ජනතාවක් ජනවරමක් ලබාදුන්නා. ඒ ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයගෙ තෝම්බුවෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව සඳහන් වුණා. ඊට පෙරත් 2010 දීත් විධායක ජනාධිපති ධුරය ඉවත් කරන බවට පොරොන්දු වී තිබුණා. මේ රටේ ජනතාවගෙන් අතිබහුතරයක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සිය ඡන්දය පාවිච්චි කළා. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැත්තෙන් ඒ සඳහා යෝජනාවක් ඒවි කියල බලාපොරොත්තු වුණා. නමුත් දැන් අවුරුදු 3 ක් ගිහිල්ලත් එවැනි දෙයක් සිදුවූයේ නැහැ. 


එක්සත් ජාතික පක්ෂයත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ බහුතරය විධායක ජනාධිපති ධුරයට එකඟ වී නොසිටින නිසා භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබාගන්න පුළුවන්. 


එබැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාව මේ වන විට ජනතා විමුක්ති පෙරමුණෙත් කෙටුම්පත් කර අවසානයි. ලබන පාර්ලිමේන්තුවේදී එය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. 
අපේ මූලික අරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. ඒ පිළිබඳව පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කළ යුතු වෙනවා. ඒ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඇතුළත ක්‍රියාවලියක් තිබෙනවා. භාෂා තුනට පරිවර්තනය කළ යුතු වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු වෙනවා. විවාදයට යොමුවී අනුමැතිය ගතයුතු වෙනවා. තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත විය යුතුයි.​ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහොත් ජනමත විචාරණයක් පැවැත්වීමට නියම කිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. පාර්ලිමේන්තුවේ 2/3 ක හා ජනමත විචාරණයෙන් සංශෝධනය සිදුකළ හැකියි. 


ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් පමණක් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගත නොහැකියි. රටටත්, ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරගැනීම වෙනුවෙන් එම ප්‍රතිසංස්කරණවලට යා යුතුයි. මෙම අවස්ථාවේ මතුවී තිබෙන ව්‍යාකූල තත්ත්වය මත තම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීමට වාසිදායක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. පවතින රජය ශක්තිමත් වූ සෑම අවස්ථාවකම ඉදිරිපත් වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යන සංශෝධනයි. ආණ්ඩුව දුර්වල වන විට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් නීති සම්පාදනය වෙනවා. උදාහරණයක් හැටියට 2001 දී චන්ද්‍රිකා රජය අර්බුදයට ගිය අවස්ථාවේ ජවිපෙ මන්ත්‍රීවරු 10 දෙනා ඒ වෙලාවෙ බලතුලනය කළමනාකරණය කර 17 වැනි සංශෝධනය සම්මත කර ගත්තා. 19 වැනි සංශෝධනයත් සම්මත කර ගැනීමට හැකි වූයේ මෙම ආණ්ඩුවේ බල තුලනය මතයි. 


රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයත්, ආණ්ඩුවේ බලයත් තිබුණා නම් 19 වැනි සංශෝධනය එන්නේ නැහැ. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති බලයත් ආණ්ඩුවේ බලයත් තිබුණා නම් 19 සම්මත වෙන්නේ නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂට මන්ත්‍රීවරු 162 ක බලය තිබුණ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය හකුලන 18 වැනි සංශෝධනය සම්මත කර ගත්තා. 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවේ පවතින මෙම බල තුලනය ඉතාම වාසිදායක තත්ත්වයක් වේවි කියලා විශ්වාස කරනවා. 

 
අහෝසි කළ යුතුමයි 
නියෝජ්‍ය ඇමැති ආචාර්ය 
හර්ෂ ද සිල්වා


විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය. ඒ මහතා මෙසේද කීය. 


අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ප්‍රකාශ කරමින් අප ඡන්දයට ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තුවට වගකියන නායකයෙක් පත් කරන බවට පොරොන්දු වුණා. අපේ ඡන්ද ප්‍රකාශනයෙත් එය සඳහන් කර තිබුණා. සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වන වැඩ පිළිවෙළත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සඳහන් වී තිබුණා. උන්වහන්සේගේ ආදාහන උත්සවයේදීත් ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට සෝභිත හිමියන් දැරූ මතය ක්‍රියාවට නගන බවයි. මගේ අදහසත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වහාම කළ යුතු බවයි. 


එය සිදුකළ යුතුම දෙයක්. රටේ ජනතාව අපට ඡන්දය ලබා දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. ඒක රටේ ජනතාවට ලබා දුන් පොරොන්දුවක්. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් දේවල් ඉටු නොකර අපිට අනාගත ජයග්‍රහණයක් ලැබීම දුෂ්කර කරුණක්. ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවට වගකියන නායකයෙක් අවශ්‍යයි. ඒ සඳහා මාස ගණනාවක් කතා කරමින් නොයෙක් අදහස් ​ෙද්ශපාලන පක්ෂවලින් ඉදිරිපත් වී තිබෙනවා. මේක තවම විවාදයකට ලක් කරලත් නැහැ. අපිට මෙය පාර්ලිමේන්තුවෙ විවාද කර යම් තැනකට පැමිණිය හැකියි. අධිකරණයෙන් ජනමත විචාරණයකට යන්න කිව්වොත් ඒකත් කළ හැකියි. 


පක්ෂ නායකයන් සියලු දෙනා එකතු වී සාකච්ඡා කර තීන්දුවක් ගත හැකියි. සියලුම පක්ෂවල තීරණය ‘විධායක ජනාධිපති ධුරය වෙනස් කළ යුතුයි’ කියලයි. මැතිවරණ පොරොන්දුවලදිත් ඒකම කිව්වා නම් එය ඉටු කිරීමට කිසිම බාධාවක් නැහැ. 


ජනාධිපතිතුමා පවා කියන්නෙ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලනේ. රාජපක්ෂ මහත්තය කී පාරක් කිව්වද? ඒත් කළේ නැහැ. ජනවාරි 8 ඡන්දෙදි අපි හැමෝම ජනතාවට කිව්වා. එක පාරට ආවට ගියාට ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැහැ. ඒ නියමිත ක්‍රමවේදයට අනුව අප කටයුතු කළ යුතුයි. රටේ ස්​ෙ​ෙවරීභාවය, ඒකීයභාවය රැකගැනීමට ජනාධිපතිට ඇති බලතල ඒකාරයෙන් තබාගෙන අවශ්‍ය පරිදි බලතල අහෝසි කිරීමට පියවර ගතයුතු වෙනවා. 


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවෙ බහුතරය අනුමත කරාවිද? 


පිළිතුර:- මම හිතනවා අනුමත කරාවි. ඒකාබද්ධ විපක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ ජාතික සන්ධානත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට එකඟ නම් සියලු පක්ෂ එයට එකඟතාව දක්වාවි. 


ප්‍රශ්නය:- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙ පොදු මතය කුමක්ද? 


පිළිතුර:- කෘත්‍යාධිකාරි මණ්ඩලය හෝ විධායක සභාව හෝ මෑතක දී මේ කරුණ ගැන සාකච්ඡා කරල නැහැ. නමුත් මගේ මතය නම් පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විසුරුවා හැරීමේ බලය නැහැ. ඒ වගේ අනිත් අසීමිත බලතලත් විධායක ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි. ප්‍රශ්නයක් ඇති වෙන්න​ හේතුවක් නැහැ. විරුද්ධව කවුරුවත් නැහැ. 


ප්‍රශ්නය:- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු නැහැ කියලා කියන අයත් ඉන්නවා කියල තොරතුරු තියෙනවා නේද? 


පිළිතුර:- ඔය කතා කරන්නේ උදය ගම්මන්පිල නේ. උදය ගම්මන්පිල කියන්නෙ රට නෙවෙයිනේ. එයාලට ඕනෑ දේ අප කළ යුතු නැහැ. එයාලගෙ අන්තවාදී අදහස්වලට අපි එකඟ නැහැ. එයාගෙ ජාතිවාදි අදහස්වලට අප විරුද්ධයි. අපේ රට මේ රටේ ජීවත්වෙන සියලුම පුරවැසියන්ට අයිති දෙයක්. ජාතිවාදී කල්ලිවලට මේ රට අයත් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම රට අයිතියි. ශ්‍රී ලාංකිකයො. 


ප්‍රශ්නය:- ජේවීපී එක මෙම යෝජනාව ගෙනෙනවට පොදුවේ එක්සත් ජාතික පක්ෂය එකඟ වේද? 


පිළිතුර:- ජේවීපී යට මේක ගෙනා යුතු නැහැ. මේක හැමෝම කතා කරන එක මතයක තියෙන දෙයක්. ඒ නිසා කවුරු ගෙනාවත් කමක් නැහැ. අගමැතිවරයට වුවත් අවශ්‍ය නම් ගේන්න පුළුවන්. ආණ්ඩු පක්ෂයට ගේන්න පුළුවන්. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසටම ගෙන ආ යුතු නැහැ. 


ප්‍රශ්නය:- පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙවැනි යෝජනාවක් ගෙන ආ හැකිද? 


පිළිතුර:- එවැනි අවුලක් නැහැ. පෞද්ගලික මන්ත්‍රී යෝජනා බොහෝ විට ක්‍රියාත්මක වෙන අවස්ථා අඩුයි. ජනතා විමුක්ති පෙරමුණ මෙම යෝජනාව ගෙන එන බව කියනවා. රජයයි, විපක්ෂයයි මෙම යෝජනාවට එකඟයි. එහෙම නම් රජයටම මෙම යෝජනාව ඉදිරිපත් කළ හැකියි. 


අහෝසි කරන යෝජනා 
ජවිපෙට ගේන්න බෑ 
පාර්ලිමේන්තු මන්ත්‍රී 
කෙහෙළිය රඹුක්වැල්ල 


විධායක ජනාධිපති ක්‍රමයෙ යම් යම් වෙනස්කම් කළ යුතු වෙනවා. ඒ සඳහා වන යෝජනා ජනතා විමුක්ති පෙරමුණට ගෙන ඒමට නොහැකි බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය. 


ඒ මහතා මෙසේද කීය. 


ජනාධිපති විධායක බලතල අහෝසි කිරීමේ යෝජනාව ගෙන එනු ලබන්​ෙන් ජනතා විමුක්ති පෙරමුණ විසිනුයි. ඒ පක්ෂයෙත් මේ යෝජනාව ගෙන එන්නේ රනිල් වික්‍රමසිංහගෙ අවශ්‍යතාවය මතයි. අනිත් කරුණ නම් ඔය යෝජනාව ගෙනෙනවා නම් ගෙන ආ යුත්තේ ඒකාබද්ධ විපක්ෂයයි. විධායක ජනාධිපති ක්‍රමයේ යම් යම් වෙනස්කම් සිදුවිය යුතු බවට මුල සිටම යෝජනා කරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයයි. 


ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට පක්ෂව ඡන්දය පාවිච්චි කළා. අපි ස්ථිර කොන්දේසි පිට මැතිවරණය කල් දැමීමට ඡන්ද දුන් බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. දැන් ඔය කොන්දේසි කොහේද? දැන් මාස ගණනක් ගත වෙලා සීමා නිර්ණයත් ගෙනැල්ලා. බොරුව රට ඉදිරියේ දිග ඇරුණා. ඒක රනිල්ට අවශ්‍ය වැඩ පිළිවෙළක් බව පැහැදිලි වුණා. 


දහතුන් වැනි සංශෝධනය ගෙන එන අවස්ථාවේදී කණ්ඩායමක් උසාවියට ගියා. සුප්‍රිම් උසාවියෙ විනිසුරුවන් 9 දෙනාම එකට වාඩි වුණා. තීන්දුවට 4 දෙනෙක් පක්ෂ වුණා. හතර දෙනෙක් විරුද්ධ වුණා. නව වැන්නා පාරින්ද රණසිංහ මහතා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමය තිබෙන නිසා පමණක් හදිසියේ යම් වාසියක් ලෙස පිළිගැනීමට හැකි වුවොත් එය පිළිගන්නේ විධායක ජනාධිපතිවරයෙක් සිටියොත් පමණයි යනුවෙනි. ඒ පදනම මත අත්සන් කරන බව ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව 13 වැනි සංශෝධනය ආවා. 13 ගැන කතා නොකර 20 වැනි සංශෝධනයට යන්න බැහැ. 


වර්ධරාජා පෙරුමාල් ඒකපාක්ෂිකව ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළා. ඒක වැළැක්වීමට හැකි වූයේ විධායක ජනාධිපතිවරයාට පමණයි. හෙට දවසේ මේ කිසිවක් ගණන් නොගෙන කටයුතු කළොත් ජනතා විමුක්ති පෙරමුණටත් රටෙන් කෑල්ලක් ගන්න පුළුවන්​ වේවි. රනිල් වික්‍රමසිංහ ඩයස්පෝරාවට හා බටහිරට දුන් පොරොන්දු ඉටු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ යොදාගෙන ඉන්නවා. එබැවින් අපි මේ ගැන කල්පනා කළා. 
විධායක ජනාධිපති ක්‍රමයේ යම් යම් ප්‍රශ්න තිබෙන බව ඇත්ත. හැබැයි එය විසදා ගත යුත්තේ ඔය ආකාරයට නෙවෙයි. වක්‍රව, හිත ඇතුළේ වෙනත් අරමුණක් ඇතිව මෙය ඉදිරිපත් කරනවා. දේශපාලන පක්ෂ කතා කරාලු. එකට එකතු වෙනවලු. මේවා ලොකු රචනාවක් වගෙයි. කෙළවරේ ඉන්නෙ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කොන්ත්‍රාත්තුව බාර දීල තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. 


ප්‍රශ්නය:- ඔබ කියන්නෙ විධායක ජනාධිපති අහෝසි නොකළ යුතු බවද? 


පිළිතුර:- විධායක ජනාධිපති ක්‍රමයේ යම් යම් ප්‍රශ්න තියෙනවා. ඒක සියයට 5 ක් ඡන්ද ගත්ත ජනතා විමුක්ති පෙරමුණට ගේන්න බැහැ. යටි අරමුණු ඇතිව ක්‍රියාත්මක වෙන්න හදනවා. අපේ ඒකාබද්ධ විපක්ෂයෙ පක්ෂ නායකයො රැස්වුණා. ලබන 3 වැනිදා කණ්ඩායම රැස්වෙනවා. විධායක ජනාධිපති ක්‍රමයෙ යම් යම් බලතල අහෝසි කිරීමේ එකඟතාවක් අපිට තියෙනවා. 


ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන යෝජනාව අපි දැකලත් නැහැ. මේක බළල් අතක් ලෙස එන යෝජනාවක්. 


විධායක ජනාධිපති ධුරයේ බලතල 
අඩු කිරීමක් අවශ්‍ය නෑ 
රාජ්‍ය ඇමැති 
පියසේන ගමගේ 


විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමක් අවශ්‍ය නොවන අතර මේ වන විට අවශ්‍ය අඩු කිරීම් කර අවසන් බව රාජ්‍ය ඇමැති පියසේන ගමගේ මහතා කීය. 


ඒ මහතා මෙසේද කීය. 


විධායක ජනාධිපතිවරයා සතුව තිබූ අසීමිත බලතල 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරල තියෙන්නෙ. ඒක කළෙත් පොදු එකඟතාවයෙන්. දැන් ඒක කරල තියෙන්නෙ. අසීමිත බලතල කප්පාදු කර අවසන්. දැන් එතැනින් එහාට ඉවත් කරන්න කියල දෙයක් නැහැ. දැන් තියෙන බලතල තිබිය යුතුයි. එහි ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ තවත් දෙයක් ඉතිරි වෙලා නැහැ. මේ බලතල විධායක ජනාධිපතිවරයාට තිබෙන්න අවශ්‍යයි. ඒක රටට අවශ්‍යයි. 


ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියල පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන්න යනවා. ඒක ඒතරම් ගණන් ගත යුතු දෙයක් නොවෙයි. පෞද්ගලික මන්ත්‍රී යෝජනා කොයිතරම් ඉදිරිපත් වෙලා තියෙනවද? මේකත් එතරම් ගණන් ගතයුතු දෙයක් නෙවෙයි. විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි. මීට වඩා තව කොයිතරම් දේවල් රටට කරන්න තියෙනවද? ඒ සඳහා කොයි තරම් නම් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්ද? ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා ගැන අපි කලබල විය යුතු නැහැ. මේ වගේ නිෂ්ඵල යෝජනා නොව රටේ දියුණුවට යෝජනා ඉදිරිපත් කළ හැකියි. 


මේ තියෙන මැතිවරණ ක්‍රමය තුළ රට අරාජිකවීම වැළැක්වීමට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි. මේ වගේ විවිධ ප්‍රශ්න ඇතිවී තිබෙන අවස්ථාවට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි. 


දැන් සංශෝධනය කරල ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණට එල්ලෙන්න මාතෘකාවක් අවශ්‍යයි. ඔවුන් මාතෘකා සොයමින් යනවා. ඔවුන්ට මොකක් හරි අවශ්‍යයි. ජනතාව රැවටීමට දෙයක් කාලයෙන් කාලයට හොයා ගන්නවා. 

 

 

 

 

 

 

දයාසීලි ලියනගේ