වැඩ බැරි ආණ්ඩුව ජනතාවට කොපමණ එපාවෙලාද කියලා පස්වැනිදාට පෙනේවි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
ප්‍රසන්න රණතුංග

 

ලබන 5 වැනිදාට ආණ්ඩු විරෝධී ජනී ජනයාගෙන් කොළඹ නගරය පුරවන බව ඒකාබද්ධ විපක්ෂය කියයි. මොකක්ද අරමුණ? මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සමග කළ සාකච්ඡාවකි.

  ප්‍රශ්නය: සැප්තැම්බර් 5 මොකද වෙන්නේ?   


පිළිතුර: මේ වැඩ බැරි ආණ්ඩුව මිනිසුන්ට මොන තරම් එපා වෙලාද කියන එක රටටම පෙනේවි එදාට ගලන ජන ගඟ දිහා බැලුවාම. මේ ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්න සියලුම දෙනාට අපි ආරාධනා කරලා තියෙනවා සැප්තැම්බර් 5 වැනිදා කොළඹට ඇවිල්ලා මේ විරෝධතාවට සහයෝගය දෙන්න කියලා.   


 ප්‍රශ්නය: ඇයි ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ. දැන් ගම්පෙරළිය පටන් අරන් තියෙන්නේ?   


පිළිතුර: මේ රටේ සම්පත් විකිණීමට එරෙහිව, රාජ්‍ය සේවාව අර්බුදයකට ලක් කිරීම වගේම වැටුප් විසමතා තුරන් නොකිරීමට එරෙහිව, කෘෂිකර්මාන්තය ගත්තොත් මේ රටේ ගොවියාට දීපු පොරොන්දු කඩ කරලා ගොවිතැන විනාශ කිරීමට එරෙහිව, සමෘද්ධි ප්‍රතිලාභ කප්පාදුවට එරෙහිව, බඩු මිල ඉහළ යාමට එරෙහිව, ව්‍යාපාර බිඳ වැට්ටවීමට එරෙහිව, පාතාලය හිස ඔසවන හැම තැනම මිනී මැරුම්. මේ විදියට සරු බිමක්ව, වැඩ බිමක්ව තිබුණු මේ රට මුස්පේන්තු මුඩු බිමක් කිරීමට එරෙහිවයි අපි මේ විරෝධතාව දියත් කරන්නේ. ‘වැඩ බැරි මොංගල් ආණ්ඩුව ගෙදර පලයන්’ කියන පණිවිඩයයි අපි මේ හරහා දෙන්නේ.   


 ප්‍රශ්නය: මේ අවුරුදු තුනට කොයි තරම් නම් විරෝධතා ව්‍යාපාර කළා ද? පෙළපාළි පා ගමන් ගියා ද? ඒත් ආණ්ඩුව සීගිරි ගල වගේ?   


පිළිතුර: මං හිතන්නේ සිහි මද ගතියෙන් පෙළෙන කෙනෙක් මිසක් වෙන කිසිම කෙනෙක් මේ ආණ්ඩුව ගැන එහෙම හිතන්නේ නෑ. අපි පළාත් පාලන ඡන්දයට කලින් ගෝල්​ෙෆ්ස් එක පිරෙව්වා. පාද යාත්‍රා ගියා. ඒ විදියට ආණ්ඩු විරෝධී ජනයා හරි විදියට පෙළ ගස්වපු නිසා තමයි පළාත් පාලන මැතිවරණයේ දී අපිට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණේ. මේ ආණ්ඩුව කරවන ප්‍රධාන පක්ෂ දෙකම පළාත් පාලන මැතිවරණයේ දී පරාජයේ කුණු බක්කියටම වැටුණා. විකල්පය ලෙස පොහොට්ටුව මේ රටේ ජනතාව පිළි අරගෙන තියෙනවා. ඒනිසා තමයි අපි ඒ ජයග්‍රහණය ලැබුවේ. ඒ වගේම ඊළඟ මාස 14 තුළ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමේ ශක්තියයි අපි මේ නිපදවා ගන්නේ. ‘එක්කෝ පලයන් - නැත්නම් මැතිවරණ තියපං’ කියන පණිවිඩය තමයි අපි මේ දෙන්නේ.   


 ප්‍රශ්නය: උදේට කොළඹට ඇවිත් හවසට විසිරිලා යයි. ආණ්ඩුවට තියෙන්නේ හවස් වෙනකම් බලාගෙන ඉන්න විතරයි.   


පිළිතුර: ආණ්ඩුව කොහොම බලාගෙන ඉඳියි ද කියන්න අපි දන්නේ නෑ. මේ වගේ උද්ඝෝෂණ එනකොට රටේ පාලකයෝ දැන ගන්න ඕනෑ රටේ ජනතාව මොකක්ද මේ කියන්නේ කියලා. ඒක ​​හොඳට තේරුම් අරගෙන මැතිවරණ නියමිත කාලයට තියලා ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න ඒගොල්​ෙලා් දැන ගන්න ඕන. එහෙම නැති වුණොත් ඉතාම භයානක තත්ත්වයක් ඇති වෙයි කියලා පාලකයන් තේරුම් ගත යුතුයි.   


 ප්‍රශ්නය: විශේෂ මහාධිකරණ පිහිටුවලා මහ හොරු අල්ලන මෙහෙයුම පටන් ගත්තම ඒකාබද්ධය කලබල වෙලා කියලයි ආණ්ඩුව කියන්නේ?   


පිළිතුර: නෑනේ. අපි මේ උද්ඝෝෂණ වැඩපිළිවෙළ පක්ෂයක් විදියට ක්‍රියාත්මක කරන්නේ අපේ දේශපාලන වැඩපිළිවෙළට අනුකූලවයි. මේ උද්ඝෝෂණ අපි කරන්නේ අපේ ඕනෑකමකට නොවෙයි. පීඩාව, වේදනාව දරා ඉවස ගන්න බැරි පොදු ජනයාගේ තෙරපුමටයි මේ උද්ඝෝෂණ කෙරෙන්නේ. අපි ඒ ජනතාවට දේශපාලන නායකත්වය දෙනවා. ඔය මහාධිකරණ පිහිටෙව්වා කියලා නඩුකාර හාමුදුරුවරු වෙනස් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ඕනෑම ප්‍රශ්නයක දී කියන්නේ ඔන්න මහාධිකරණ පිහිටෙව්වා. මහාධිකරණ හරහා හොරු අල්ලනවා කියලයි. එහෙම කියනවා මිසක් බඩු මිල ඉහළ යන එකට දෙන්න උත්තරයක් ආණ්ඩුවට නැහැ. රටේ ආර්ථිකය ගොඩනංවන්න වැඩපිළිවෙළක් නෑ. රුපියල මස්තබාල්දු වෙලා. රටේ පාතාලය ඇමැතිවරුන්ගේ රැකවරණය මැද මිනී මරණවා. මහා පරිමාණ මත්ද්‍රව්‍ය පාසල් දරුවා අතට පවා පත් වෙනවා. අම්මලා අද ළමයින්ව පාසල් යවන්නේ බස් එකේ. වෑන් එකක යවන්න සල්ලි නැහැ. වේල් තුන කාපු මිනිස්සු වේල් දෙකෙන් ජීවත් වෙන්න පටන් අරගෙන. දරුවන්ව ටියුෂන් යවා ගන්න විදියක් නැතිව අම්මලා හූල්ලනවා. මේ හැම දෙයක් ගැනම අපි පාලකයන්ට කිව්වම පාර්ලිමේන්තුවේ කතා කළාම මහාධිකරණයක් ගැන කතා කරනවා.   


 ප්‍රශ්නය: ඒකාබද්ධ විපක්ෂය කලබල වෙන්නෙත් ඒ නිසාම තමයි.   


පිළිතුර: නෑ නෑ. හොරු අල්ලන්න ඕනෑ තමයි. එහෙම හොරු අල්ලනවා කියලා ආපු ආණ්ඩුවනේ මහ බැංකුව හොරා කෑවේ. මහ බැංකු හොරාගෙන් සල්ලි ගත්ත ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද? කෝ ඒ අයට විරුද්ධව කටයුතු කරනවා. හොරු අල්ලනවා නම් සද්භාවයෙන්ම මහ බැංකුව හොරා කාපු අයවත් අල්ලන්න. ඔය මහාධිකරණය පත් කරලා තියෙන්නේ හොරු අල්ලන්න නෙවෙයි. දේශපාලන පලිගැනීම්වලට. ඒකට තමයි මේගොල්ලෝ මේක පාවිච්චි කරන්න හදන්නේ. එහෙම කළැයි කියලා අපේ දේශපාලන වැඩපිළිවෙළ අපි නවත්වන්නේ නැහැ.   


 ප්‍රශ්නය: ආණ්ඩුව එලවන්න කතා කළාට සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනාපු දවසේ ආණ්ඩුවයි ඒකාබද්ධ විපක්ෂයයි එකට එකතු වෙලා ඒක පරාජය කළා.   


පිළිතුර: මෙහෙමයි. අපි මුල ඉඳලම ඔය සීමා නිර්ණ වාර්තාවට විරෝධය පළ කළා. ඔය පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තේ පැයකටත් වැඩියෙන් වැඩිපුර කාලයක් පාර්ලිමේන්තුව තියාගෙන ඉඳලා. එදා ජනතා විමුක්ති පෙරමුණ පවා උදම්අැනුව, සහතික දුන්නා. මාර්තු මාසයේ ඡන්දය තියනවා කියලා අගමැතිවරයා කිව්වා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා. ආණ්ඩුවේ උවමනාව ඉටු කරන්න ජනතා විමුක්ති පෙරමුණ එදා කටයුතු කළා. ඒ වෙලාවේදීත් ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි විරුද්ධ වුණා. ඒ වගේම මේ සීමා නිර්ණය වැරදියි. මේකෙන් ජාතිවාදය ඇවිස්සෙනවා. අාගම්වාදය ඇවිස්සෙනවා. මේකෙන් කුලවාදය ඇවිස්සෙනවා. මේක රටට හොඳ ක්‍රමයක් නොවෙයි කියලා අපි මුල ඉඳලම කිව්වා. ආණ්ඩුව තමයි ඔය සීමා නිර්ණ කොමිසම පත් කළේ. එහෙම කොමිසමක් පත් කරලා ඇමැතිවරයාට වාර්තාවක් දීලා, ඇමැතිවරයා සෑහීමකට පත්වෙච්ච නිසා ඒ වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මා. එහෙම දැම්මම ආණ්ඩුවේම කොටස්කාර පක්ෂ මේකේ භයානකකම තේරුම් ගත්තා. සුළු පක්ෂවලට මේකෙන් වෙන අසාධාරණය දැක්ක නිසා ඔවුන් මේකට විරුද්ධයි කියලා කිව්වම තමයි එක්සත් ජාතික පක්ෂයත් මේකට විරුද්ධ වුණේ. ඡන්දය ගන්න ගිය දවසේ උදේත් මේකට පක්ෂව ඡන්දය දෙනවා කියලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වේ. හැබැයි හවස් වෙනකොට ඒගොල්ලෝ දැන ගත්තා වැඩේ අවුල් කියලා. ඒනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ පැනලා ගියා. එහෙමනම් විෂය භාර ඇමැතිවරයා ෆයිසර් මුස්තාපා ඉල්ලා අස්විය යුතුයි. මේ ආණ්ඩුවේ නොහැකියාව තවදුරටත් ඕකෙන් පැහැදිලි වුණා. පළාත් පාලන මැතිවරණ ක්‍රමය වගේම ආසාර්ථක ක්‍රමයක් තමයි මේ ගේන්න හැදුවේ. පළාත් සභාවල ස්ථාවරයක් ගොඩනැගෙන්නේ නෑ මේ ක්‍රමය ගෙනාවා නම්. අපි ඒ තත්ත්වය කලින්ම දැක්කා. මේ ආණ්ඩුව දවස ගාණේ මිනිස්සු හිනස්සන අංජබජල් මොංගල් ආණ්ඩුවක්. ඒක තමයි මෙතැනදිත් ඔප්පු කළේ.   


 ප්‍රශ්නය: ජාතිවාදී පදනමින් පක්ෂ බිහිවෙන එක නතර කරන්න එම වාර්තාවෙන් පුළුවන්කම තිබුණා කියලා ජවිපෙ කියනවා?  


පිළිතුර: නෑ මේකෙන් තමයි ජාතිවාදය ඇවිස්සෙන්නේ. මේකෙන් තමයි වෙනම මුස්ලිම් කලාප හැදෙන්නේ. රටක ව්‍යවස්ථාවක් නීතියක් හදන්න ඕනෑ හැම දෙනාටම සාධාරණ විදියට. මේගොල්ලෝ 19 වැනි ව්‍යවස්ථාව ගෙනාවේ රාජපක්ෂවරුන්ට බයේ. රාජපක්ෂවරුන් එක එක්කෙනාට ගැළපෙන විදියට තමයි 19 වැනි සංශෝධනයට වගන්ති ඇතුළත් කළේ. සීමා නිර්ණය ගෙනාවේ ආණ්ඩුවට සහාය දෙන සුළු පක්ෂවල අවශ්‍යතාවයන් ඉටු කරන්න. ඒකෙන් සංහිඳියාවක් ඇති වෙන්නේ නෑ. ඒකෙන් වෙනම බෙදීමක් ඇතිවෙලා කලාප හැදිලා ලොකු ප්‍රශ්නයක් වෙන විදියට තමයි මේගොල්ලෝ මේක ගෙනාවේ. උතුරෙත් නැගෙනහිරත් සිංහල මන්ත්‍රී කෙනෙක් එන්නේ නෑ. මේක සියලු ජාතීන්ට සමාන වෙන එකක් නොවෙයි. රට බෙදීමේ ආරම්භයක් හැටියට තමයි මම මේක දකින්නේ.   


 ප්‍රශ්නය: සැප්තැම්බර් 5 උද්ඝෝෂණය සංවිධානය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද?   


පිළිතුර: ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය තමයි මේ උද්ඝෝෂණය මෙහෙයවන්නේ.   


 ප්‍රශ්නය: නමුත් මේ වනවිට පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ලංකාවේවත් නෑ.   


පිළිතුර: එතුමා වෛද්‍ය ප්‍රතිකාර ගන්නයි විදේශගත වුණේ. නමුත් මේ උද්ඝෝෂණයට අවශ්‍ය සංවිධාන ව්‍යුහය හදලා තමයි එතුමා විදේශගත වුණේ. එතුමා රට යන්න කලින්නම් කිව්වේ සැප්තැම්බර් 5 වෙනකොට එන්න වෙන්නේ නෑ කියලයි. ඒත් අපි බලමු. අලුත් තත්ත්වයත් එක්ක එතුමා ඊට කලින් එන්නත් ඉඩ තියෙනවා.   


 ප්‍රශ්නය: ඒකාබද්ධ විපක්ෂය කරන හුඟාක් වැඩවලට බැසිල් රාජපක්ෂගේ එ්තරම් මනාපයක් නෑ?  


පිළිතුර: නෑ ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. එතුමා රට යන්න කලින් ලංකාවේ ඉන්න සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා නියෝජිතයන් දිස්ත්‍රික් මට්ටමින් නෙළුම් මාව​ෙත් පක්ෂ මූලස්ථානයට කැඳවලා සංවිධාන ව්‍යුහය හදලා කොමිටි ගහලා ඒ කොමිටි හරහා දිස්ත්‍රික්කවලට ගිහිල්ලා ජනතා හමු පවත්වලා ඒ හැම දෙයක්ම කරලා තමයි එතුමා ගියේ.   


 ප්‍රශ්නය: සැප්තැම්බර් 5 වැනිදාට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? සටන් පාඨ කියලා විසිරිලා යනවා.   


පිළිතුර: මාධ්‍යවේදීන් හැටියට ඔබතුමන්ලට අපි ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න මොනවද වෙන්නේ කියලා. රටේ ජනතාව මොනතරම් කලකිරිලද, ජනතාව ඉල්ලන්නේ මොකක්ද කියලා එදාට ඇවිල්ලා බලන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම මේක තානාපති කාර්යාලවලට හොඳ පණිවිඩයක් වේවි. මේ ආණ්ඩුව බලයට ගේන්න මේ ආණ්ඩුවට උදව් කරන තානාපතිවරුන්ට තේරුම් ගන්න පුළුවන් වේවි අද මේ ආණ්ඩුවට අත්වෙලා තියෙන ඉරණම මොකක්ද කියලා. ජනතා මතයට ආණ්ඩුව ඇහුම්කන් දිය යුතුයි. එහෙම නොවුණොත් ආණ්ඩුවට ඉතාම බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙයි.   


 ප්‍රශ්නය: මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියන මතය ගොඩනගමින් ඉන්නේ පොහොට්ටුවේ අර්බුදය තාවකාලිකව හෝ වහ ගන්න?   


පිළිතුර: නෑ එහෙම කිසිම අර්බුදයක් නෑ. මහින්ද මහත්තයාට ඉල්ලන්න පුළුවන්නම් අපි හැමෝගෙම ප්‍රාර්ථනය ඒක තමයි. ජනතාව ඉල්ලන්නේ ඒක තමයි. මේ ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මුළු රටේම ජනතාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තියෙන්නේ. ඒක ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. මේ ජනඅරගල උද්ඝෝෂණ හරහා අපි බලාපොරොත්තු වෙන්නෙත් ජනතාවට අහිමි කරලා තියෙන ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දීමයි.   


 ප්‍රශ්නය: මහින්ද රාජපක්ෂට යළිත් ඉල්ලන්න බැරි වුණොත්?   


පිළිතුර: මහින්ද මහත්තයාට එන්න බැරි වුණොත් මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා දිනවන්න අපි සියලු වැර යොදා කටයුතු කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ අපිට අවශ්‍ය වෙන්නේ මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන් මහින්ද මහත්තයා එක්ක වැඩ කරන්න පුළුවන් නායකයෙක් පත්කර ගන්නයි. ඒනිසා අපි පැහැදිලිවම කියනවා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න. එදාට අපේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනවා.   


 ප්‍රශ්නය: ඇයි එක පාරටම ගෝඨභය රාජපක්ෂගේ නම අකුල ගත්තේ?  


පිළිතුර: එහෙම අකුලා ගැනීමක් නෑ. එක එක පාර්ශ්වවලින් විවිධ නම් කියවුණා. නොකියවෙච්ච නම් පවා තියෙනවා. කවුරු මොන මොන නම් කිව්වත් ඒ හැම කෙනෙක්ම අවසානෙට කියන්නේ මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා තමයි අපේ අපේක්ෂකයා කියලා. ආණ්ඩුව මෝඩ චූන් එකක් ගන්නවා අපි අතර බෙදීමක් තියෙනවා කියලා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න කියන්න. එතකොට තමයි ආණ්ඩුවට තරු විසිවෙන්නේ.   


 ප්‍රශ්නය: ආණ්ඩුවට තරු පෙන්වන්න කතා කරන්නේ කොළඹට සෙනග ගෙන්වලා?   


පිළිතුර: අපි සෙනග ගෙන්වන්නේ නෑ. සෙනග ස්වෙච්ඡාවෙන්ම එන්නේ. මේ ආණ්ඩුව ජනතාවට වහ කදුරු වෙලා ඉවරයි. බඩ ගැන විතරක් නොවෙයි මේ ජනතාව හිතන්නේ. රට ගැනත් මේ ජනතාව හිතනවා. රටේ ජාතික ආරක්ෂාව මුළුමනින්ම පාවාදීලා ඉවරයි. හම්බන්තොට වරාය චීනයට දෙනකොට ඒක බැලන්ස් කරන්න මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට දෙනවා. ඒ අස්සේ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කරලා ලංකාව සිංගප්පූරුවේ කොළණියක් කරන්න හදනවා. ත්‍රිකුණාමලයත් පලාලි ගුවන් තොටුපලත් ඉන්දියාවට දෙන්න යනවා. මේ රටේ මිනිසුන්ට මොනවද වෙන්නේ? මේ රටේ මිනිසුන්ට මොනවද ඉතුරු වෙන්නේ? අද මේ රටේ ජනතාව මේ ගැන බොහොම වේදිනාවෙන් ඉන්නේ. රණවිරු දඩයම වේගවත් කරලා. රට බේරල දීපු රණවිරුවන් දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න බිල්ලට දීලා තියෙනවා. මව් කිරි බීලා හැදුණු සුජාත දූ පුතුන්ට එහෙම පාවාදීම් කරන්න බෑ. නමුත් මේ ආණ්ඩුව ඒ පාවාදීම් ඉතාම නින්දිත විදියට කරනවා. මේ සියල්ලටම එරෙහි ජනතා වෙඩි මුරය තමයි සැප්තැම්බර් 5 වැනිදාට මුළු රටටම ඇහෙන්නේ.   


 ප්‍රශ්නය: මොන වෙඩි මුර තිබ්බත් ආණ්ඩුව දිගටම යනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් වන මහින්ද අමරවීරත් දුමින්ද දිසානායකත් කිව්වා.   


පිළිතුර: මේ ආණ්ඩුවට ජනතා දුකවත් ජනතාවගේ හද ගැස්මවත් තේරෙන්නේ නෑ. දැනෙන්නේ නෑ. දුම්රිය වැඩ වර්ජනයේ දී රටේ නායකයා කිව්වේ මේ වැඩ වර්ජන කළාට ආණ්ඩුවට රිද්දන්න බැහැ කියලයි. එතකොට මිනිස්සු නොවෙයි ද රජය කියන්නේ. ඔය කියන ඇමැතිවරුන්ට රිදෙන්නේ නැති බව ඇත්ත. ඇමතිවරුන්ට සියලු පහසුකම් තියෙනවා. සුළු අසනීපයක් හැදුණත් සිංගප්පූරුවේ යනවා. රටේ මොන ප්‍රශ්න තිබුණත් ඇමතිවරුන්ට අවශ්‍ය සැප වාහන ටික ගෙනත් දෙනවා. පළාත් සභික මන්ත්‍රීවරුන්ට වාඩිවෙන්න ලක්ෂ හය හමාරේ පුටු ගෙනත් දෙනවා. මේ මැති ඇමැතිවරුන්ට ජනතාවගේ දුක තේරෙන්නේ නෑ. ඇමති කටු සූප්පු කරන අයට මේ දුක තේරෙන්නේ නෑ. ඔය අයට ගමේ මළ ගෙයකටවත් යන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. සැප්තැම්බර් 5 වැනිදායින් පස්සේ තත්ත්වය තවත් දරුණු වේවි.

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්