වහාම ලොක්ඩවුන් එකකට යන්න වෙනවා


සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න

  • මේ ආණ්ඩුවට දුවන්න සල්ලි නැහැ 

රට පුරා කොවිඩ් - 19 පොකුරක් නිර්මාණය වී තිබේ. මෙම පසුබිම රටේ දේශපාලනයට බලපාන්නේ කෙසේද? මේ ඒ ගැන විමසමින් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ද වන සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- රටේ යළිත් වරක් කොරෝනා පොකුරක් මතුවෙලා. ඔබ හිටපු සෞඛ්‍ය ඇමැති. මොකක් වෙයි ද?


පිළිතුර:- මේ පිළිබඳව සමහර වෛද්‍යවරු මුල ඉඳලම දැනුම් දුන්නා, අපිත් කිව්වා කොරෝනාව මේ විදියට ඉවර වෙන්නේ නෑ. නමුත් ආණ්ඩුව උදම් ඇනුවා ලෝකයේ තියෙන දෙවැනි හොඳම රට කියලා. එහෙම කියමින් ඔවුන් විනෝද වුණා. අනික් කාරණය තමයි මහ මැතිවරණය පැවැත්වීම. මේ මහ මැතිවරණය පැවැත්වීම තුළින් සිද්ධ වුණ දේ තමයි මේ රටේ ජනතාව කොරෝනාවට තිබුණ බියෙන් ඉවත් වෙලා කොරෝනාව ගැන බොහොම සැහැල්ලුවෙන් හිතන්න පටන් ගත්තා. කොරෝනා වසංගතයට මුහුණ දෙන්න සෞඛ්‍ය අංශ දුන් උපදෙස් ටික ටික ලිහිල් වුණා. රජයත් ලිහිල් වුණා. රජයට අවශ්‍ය වුණේ තමන්ගේ බලය තහවුරු කරගැනීම මිසක් ජනතාව ගැන රට ගැන හිතුවේ නෑ. අපි දිගින් දිගටම කිව්වා මැතිවරණය පහ කරන්න කියලා.


ප්‍රශ්නය:-එහෙම කිව්වේ නම් කොරෝනා ගැන හිතලා නොවෙයි. ප්‍රතිඵලය ගැන හිතලයි?


පිළිතුර:- නෑ. ප්‍රතිඵලය මොකක් වුණත් ජනතාවගේ මළ කඳන් උඩින් යන්න අපට අවශ්‍ය වුණේ නෑ. අපි කිව්වා ඉස්සෙල්ලා මේ වසංගතයට මුහුණ දෙමු. අපි ඒකට අවශ්‍ය සහයෝගය දෙන්නම් කියලා. ඒ වගේම මේ සම්බන්ධයෙන් තිබුණ වෛද්‍ය මතයට පහර ගහමින් ඉතාම අනවශ්‍ය සුබවාදී තත්ත්වයකින් තමයි ආණ්ඩුව කටයුතු කළේ. කොරෝනා වසංගතය ගැන පැහැදිළි අධ්‍යයනයක් රජයට නෑ. විශේෂයෙන්ම එම්.ආර්.අයි. එකේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැහැදිළිවම මේ ගැන කිව්වා. වසංගත රෝග අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර පැහැදිළිව කිව්වා. මේ ඔක්තෝබර් - නොවැම්බර් වෙනකොට මේක නැවත උත්සන්න වෙනවා කියලා. මේ එක මතයකටවත් රජය ඇහුම්කන් දුන්නේ නැහැ. මුල ඉඳලම රජය කොරෝනාව පාලනය කරන්න හැදුවේ දේශපාලන අධිකාරියෙන් මිසක් සෞඛ්‍ය අධිකාරියෙන් නොවෙයි. ඒක තමයි අපි දැක්ක මූලිකම දේ. ඒ නිසා තමයි මේ තරම් දුරට කොරෝනාව ආවේ.


ප්‍රශ්නය:- කොහොම නමුත් පළමු වටයේ දී ආණ්ඩුව සාර්ථක ලෙස තත්ත්වය කළමනාකරණය කළා?


පිළිතුර:- දූපත් රාජ්‍යයකට මේ කොරෝනාව පාලනය කරන්න කොහොමත් පහසුයි. රටට ඇතුළු වෙන්න තියෙන්නේ එක තැනයි. වටෙන්ම වතුර. එතකොට යුරෝපය, ඉන්දියාව වගේ රටවල් වගේ එහෙන් මෙහෙන් ගොඩබිමෙන් මිනිසුන්ට එන්න බෑ. ඒ නිසා ගුවන් තොටුපළ හරි විදිහට කළමනාකරණය කළා නම් මේක පාලනය කරගන්න තිබුණා.


ප්‍රශ්නය:- ඔබ කියන්නේ එහෙම වුණේ නැහැ කියල ද?


පිළිතුර:- ගුවන් තොටුපළේ දී මුල් කාලෙදි පී.සී.ආර්. පරික්ෂණවත් හරි විදයට කළේ නෑ. මුල් කාලයෙදිම අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමද‌ාස මහත්මයා පාර්ලිමේන්තුවේදි කිව්වා ‘ගුවන් තොටුපළ වහන්න’ කියලා. ඊට පස්සේ මම මාධ්‍ය හරහා මේ ගැන කතා කළා. නමුත් ඒ කිසිම දෙයක් ගණන් ගත්තෙ නෑ. ගුවන්තොටුපළ වැහුවේ නැහැ. ඒ නිසා පිරිස ඇතුළට ආවා. එතකොට මම කිව්වා ‘රට ලොක්ඩවුන් කරන්න’ කියලා. එතකොට ආණ්ඩුව විහිළු කළා. ජනාධිපතිවරයා කිව්වා ‘ලෙඩ්ඩු විසිතුන් දෙනෙක් හමුවුණා කියලා රට ලොක්ඩවුන් කරන්නේ කොහොමද? දහද‌ාහක් මැරුණත් යුද්දෙදි රට ලොක්ඩවුන් කළේ නෑ’ කියලා. ඒ විදියට යුද්ධයයි කොරෝනාවයි අතර වෙනස දැනගෙන හිටියෙ නෑ.


ප්‍රශ්නය:- මේ මොහොතෙ ආණ්ඩුව කළ යුත්තේ කුමක්ද?


පිළිතුර:- මේ මොහොතෙත් කරන්න වෙන්නේ ‘ලොක්ඩවුන්’ එකට වහාම යන්න වෙනවා. එහෙම නැතිව මේක කන්ට්‍රෝල් කරගන්න බෑ. ගිය පාර පහුවෙලා හරි ලොක්ඩවුන් කළානේ. ඒ නිසා තමයි මහජනයාගේ සංචරණය අඩු වුණේ. වෙන කරන්න දෙයක් නෑ මේකෙන් බේරෙන්න.


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් පහ වසර ශිෂ්‍යත්ව විභාගයත් උසස් පෙළ විභාගයත් සුපුරුදු පරිදි තියන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා?


පිළිතුර:- ඒක ඉතාමත්ම නරකයි. ඒ වගේම භයානකයි. මොකද එතැනට එන්නේ ඔක්කොම කුඩා දරුවෝ. දරුවන්ට වයිරසය යනවා කියන්නේ ඒක හැමතැනම පැතිරෙන්න පුළුවන්. සමහර අයට ​රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. එතකොට දරුවන්ට හැදුණොත් දරුවෝ කොච්චර කට්ටියක් එක්ක මිශ්‍ර වෙනවද? එහෙම වුණොත් මේකේ කෙළවරක් නැති වෙයි.


ප්‍රශ්නය:-වසංගතයක් ආවම රට ලොක්ඩවුන් කරන්නට ආණ්ඩුවක් මොකටද කියලා විපක්ෂය අහයි?


පිළිතුර:- විපක්ෂය අපිනේ කියන්නේ රට ලොක්ඩවුන් කරන්න කියලා.


ප්‍රශ්නය:-නමුත් ලොක්ඩවුන් කළොත් කියන්නේ අර කතාව?


පිළිතුර:- නෑ නෑ මුල ඉඳලම අපි ඒ ප්‍රතිපත්තියෙ හිටියනේ. එයාර්පෝට් වහන්න, ලොක්ඩවුන් කරන්න කියලනේ අපි කිව්වේ. මම සෞඛ්‍ය ඇමැතිවෙලා හිටියා නම් මම කැබිනට් එකට වහාම ගිහිල්ලා එයාර්පෝට් එක වහනවා. කොච්චර පාඩු වුණත් ප්‍රශ්නයක් නෑ එයාර්පෝට් එක වහනවා. සීමිත පිරිසක් හරි ගෙන්වනවා නම් පී.සී.ආර්. පරික්ෂණයකින් තොරව කිසි කෙනෙක් රට ඇතුළට ගන්නේ නෑ. මේ පී.සී.ආර්. පරික්ෂණය ආණ්ඩුව මුල ඉඳලම හරියට කළේ නෑ. දවසට පන්ද‌ාහක් පී.සී.ආර්. පරික්ෂණ කරන්න පුළුවන් වුණත් ආණ්ඩුව කළේ තුන්හාරසීයයි. ඉතාමත් අඩුවෙන් කළේ. අදත් පී.සී.ආර්. පරික්ෂණ කරන්න කිට් නෑ. පහුගිය කාලේ පී.සී.ආර්. පරික්ෂණ කරන්න තිබුණ සියලුම ටෙන්ඩර් ආණ්ඩුව නැවැත්තුවා. මොකද කොරෝනාවෙන් දැන් නිදහස් කියලා හිතලා. දැන් ඒ කිට් නෑ. අද හොයාගෙන තියෙනවා දවස් 6කට විතරක් පී.සී.ආර්. කිට්. පිටරටින් ගෙන්වන්න තවත් කල් යනවා. ඉතින් මෙහෙම කොහොමද කරන්නේ? වෛද්‍යමය දේවල් බලන්නේ නැතිව වෙන වෙන දේවල් බැලුවේ. දැන් බලන්න මුස්ලිම්වරුන්ගේ දේහයන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කිව්වා භූමිද‌ානය කරන්න ඉඩ දෙන්න කියලා. නමුත් ආණ්ඩුව ගත්​තේ දේශපාලන තීන්දුවක්. සියලුම විශේෂඥවරු කියද්දී වෙනම දේශපාලන තීන්දුවක් ගත්තේ. ඒ විදියට හැම එකේදීම මොවුන් පෙරට ගත්තේ දේශපාලනය. ඒ සාකච්ඡාවලට යන වෛද්‍යවරු පවා, විශේෂඥවරු පවා කියනවා ඔවුන්ට කතා කරන්න දෙන්නේ ඉතාම සීමිත දෙයක් කියලා. අනික් අය තමයි කතා කරන්නේ. අනික් එක හැම කෙනා තුළම බයක් ඇතිවෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂට. ඒ නිසා කතා කරන්න ඉන්න කෙනාත් කතා කරන්නේ නැහැ. මෙන්න මේ භය අපේ කාලයේ තිබුණේ නෑ. ඒ නිසා ඔවුන්ගේ අදහස් නිදහස්ව ප්‍රකාශ කළා. ඒක හුඟාක් පහසුවක් වුණා මට තීරණ ගන්න. ඔවුන් මාව පවා විවේචනය කළා. එතකොට වැරැදි නිවැරදි කරගන්න පුළුවන්.


ප්‍රශ්නය:-ආණ්ඩුවට එරෙහිව දේශපාලන විවේචන නැති නිසා විපක්ෂය කොරෝනා එකේ එල්ලිලා?


පිළිතුර:- ඕකම අනික් පැත්තට ඇහුවොත්? 20 ට අනාගෙන ඉන්න ආණ්ඩුව.... ආණ්ඩුව ඇතුළෙන්ම 20 ට එරෙහිව විරෝධයක් එද්දී 150 හොයාගන්න බැරිව ඉන්දද්දී ඒකට එරෙහිව විපක්ෂයෙන් මතුවෙන විරෝධතා ව්‍යාපාර නතර කරගෙන කොරෝනාවට පින්සිද්ධ වෙන්න 20 පාස් කර ගනීද? එහෙම සැකයක් අද ජනතාවට ඇතිවෙලා තියෙනවා. හැබැයි මම ඔය තැන් දෙකේම නැහැ.


ප්‍රශ්නය:-ආණ්ඩුවට තුනෙන් දෙක නැතිව ඉන්නවා කියලා ඔබ කිව්වත් ඔබලාගේ සමගි ජන බලවේගයේම පිරිසක් ආණ්ඩුවට සහයෝගය දෙන්න ඉන්නවා කියලා ආරංචියි?


පිළිතුර:- පැහැදිළිවම නෑ.


ප්‍රශ්නය:- ඔබ වගකීමෙන් ද කියන්නේ?


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. ඔය සැකකටයුතු පුද්ගලයන් පවා කියනවා ‘නැහැ‘ කියලා. මොකද ඒ අයටත් දැන් තේරිලා තියෙනවා මේ ආණ්ඩුවට ගමනක් නැහැ කියලා. මේ ආණ්ඩුවට දුවන්න සල්ලි නැහැ. ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයක ගිලිලා ඉන්නවා. මොවුන්ට උදව් කරන්න කිසිම ජාත්‍යන්තර සංවිධානයක් හෝ ප්‍රධාන පෙළේ රටක් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒකට හොඳම උද‌ාහරණය තමයි කොරෝනා වසංගතයට මුහුණ දුන් රාජ්‍යයන්වලට උදව් උපකාර කිරීමට සකස් කළ ආර්ථික ව්‍යූහය. ඒකෙන් රටවල් 100 ක් විතර ආධාර ඉල්ලුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම රටවල් 100 න් රටවල් 89 කට ඒ ආධාරය දුන්නා. රටවල් 11 කට දුන්නේ නෑ. එයින් එක රටක් තමයි ශ්‍රී ලංකාව. අපට ශත පහක්වත් හමුවුණේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු කිසිම ජාත්‍යන්තර සංවිධානයක් මොවුන්ට මුදල් දෙන්නේ නෑ. ඊට අමතරව මොවුන් ඔක්කොමත් එක්ක හැප්පෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියනවා ‘ඒකෙන් අයින් වෙනවා’ කියලා. එහෙම අයින් වුණා කියල එක්සත් ජාතීන්ගේ සංවිධානයට තියෙන පාඩුව මොකක්ද? මෙන්න මේ වගේ මෝඩ තකතීරු තත්ත්වයක තමයි ආණ්ඩුව ඉන්නේ. ජාත්‍යන්තරයෙන් ඉවත්වෙලා මේ කිසිම දෙයකට මුහුණ දෙන්න බෑ.


ප්‍රශ්නය:- මන්ත්‍රී රිෂාද් බදුර්දීන් කියනවා ඔහුගේ පක්ෂය තවම තීරණයක් අරගෙන නෑ කියලා?


පිළිතුර:- නමුත් ඔහු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ දී කිව්වා කිසිම හේතුවක් නිසා රජයට සහාය දෙන්නේ නෑ කියලා?


ප්‍රශ්නය:-නමුත් රිෂාද්ගේ මල්ලී නිදහස් වෙනවා. චමල් රාජපක්ෂ ඔහුට අතට අත දෙනවා. සමහරු නම් කියන්නේ ‘වැඩේ හරි’ කියලයි.


පිළිතුර:- එහෙමනේ. ඔය ඔක්කොම අය වර්ණනා කරන්නේ අතට අත දෙන්නේ ඇතුළට ආපුවම බණිනවා. එළියට ආවම අතට අත දෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ දේශපාලනය.


ප්‍රශ්නය:-සමගි ජන බලවේගය විදියට ඔබලා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?


පිළිතුර:- අපි එක පැත්තකින් 20 ට එරෙහිව පහුගිය සඳුද‌ා කළු කොඩි ව්‍යාපාරයක් කළා. කොරෝනාව හින්දා අපට ඒක නවත්වන්න වුණා. පහුගිය බ්‍රහස්පතින්ද‌ා හයිඩ්පාක් පිටියේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සූදානම් කරලා තිබුණේ. ඒ එක්කම දීපව්‍යාප්ත වැඩපිළිවෙළකට යන්න හිටියෙ දෙවැනි අදියරේදී. ඒ එක්කම අපි පක්ෂ සංවිධාන වැඩපිළිවෙළ ආරම්භ කළා. එක සති අන්තයක දී දිස්ත්‍රික්ක දෙකක් ආවරණය කරමින් හැම ඡන්ද මධ්‍යස්ථානයකම කමිටුවක් පත් කළා. ඒක අතිශයින්ම සාර්ථකයි. අපි පටන් ගත්තෙත් අපට අවාසිද‌ායකම දකුණෙන්. ඊට පස්සේ අපි අනුරාධපුරයට, පොලොන්නරුවට ගියා. කුරුණෑගලටත් පුත්තලමටත් ගියා. ඉතාමත්ම සාර්ථකයි. පාක්ෂිකයෝ ඉතාම උනන්දුවෙන් මේ වැඩේට සම්බන්ධ වුණා. එක පැත්තකින් විපක්ෂයේ යාන්ත්‍රණය හදනවා. අනික් පැත්තෙන් සියලු බලවේග ඒකරාශී කරගනිමින් ආණ්ඩු විරෝධී බලවත් ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩ නගනවා.


ප්‍රශ්නය:-ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තියෙනවා. පුළුවන් වෙයිද රිද්දන්න?


පිළිතුර:- පැහැදිලිවම පුළුවන්. මේ ආණ්ඩුව අනාගන්නා හැටියට මේ ආණ්ඩුවට දිගුකාලීන ගමනක් නෑ. හැමද‌ාමත් තුනෙන් දෙකක බලය කෙළවර වුණේ හයෙන් පහක බලයෙන්. එද‌ා මැතිනියට වෙච්ච දේම තමයි මෙද‌‌ා මේ අයට වෙන්නෙත්. එද‌ා මැතිනිය කළේත් මේ විදියටම ආනයනය නවත්වලා, සීමා කරලා දේශීයත්වය කියලා පම්පෝරි ගහගෙන මැතිනියට ඕනෑ විදියට අඳින්නයි කන්නයි ජනතාවට නියෝග කළා. ඉවර වුණේ මැතිනිය ඉවර වෙලා. මැතිනියටත් තුනෙන් දෙකක බලයක් තිබුණා. ගමන අවසන් වුණේ හයෙන් පහක බලයෙන්. මේ පාරත් එහෙම තමයි වෙන්නේ.


ප්‍රශ්නය:-ආණ්ඩුවට එන්න කියලා ඔබට කාගෙන්හරි ආරාධනාවක් තාම ආවේ නැද්ද?


පිළිතුර:- නෑ. මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මෙවැනි ආණ්ඩුවක් එක්ක මගේ ප්‍රතිපත්තිත් එක්ක යන්නත් බෑ. මම හැමද‌ාම ගියා නම් ගියේ ප්‍රතිපත්තියක් අනුව. ආණ්ඩුවෙන් එළියට බැස්සෙත් ප්‍රතිපත්තිය අනුවමයි.

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්