වසංගතය වසන්තයක් වෙනකම් තමයි විපක්ෂය බලාගෙන හිටියේ


ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය 
චන්න ජයසුමන

 

  • රජයේ මුදල් යොදවලා මේ රැපිඩ් ටෙස්ට් කට්ටල ගෙන්වලා නෑ
  • කොවිඩ් මරණ භූමිදානය නොකළ යුතු බවයි රජයේ තීන්දුව

 

ආණ්ඩුව කොවිඩ් 19 මාරක වසංගතය වසන්තයක් බවට පත්කර ගෙන ඇතැයි විපක්ෂය චෝදනා කරයි. මේ ඒ ගැන විමසමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සමග කළ සාකච්ඡාවකි.  

ප්‍රශ්නය: බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඉවත් කළේ අනතුර අඩු නිසාද? එහෙම නැත්නම් වෙන කරන්න දෙයක් නැති නිසාද?   


පිළිතුර: රට ඇරීම හෝ වැහීම තීරණය ගන්නේ සෞඛ්‍ය අංශයෙයි, ආරක්ෂක අංශයෙයි නිර්දේශ මත. ඒ අංශ දෙකෙහි නියෝජනය තියෙනවා කොවිඩ් ජනාධිපති කාර්ය සාධන බළකායට. ඒ බළකාය දිනපතා රැස්වෙනවා. ඒ නිර්දේශ මත තමයි තීරණ ගන්නේ. සමහරු කියනවා ‘ ඇයි රට වහන්න පරක්කු වුණේ.’ එහෙම නැතිනම් කියනවා ‘දැන් රට අරින්න පුළුවන් නේද?’ කියලා. එක එක අයට දැනෙන විදියට විවිධ අදහස් පළ වුණත් පොදුවේ රටක් හැටියට අපිට තියෙන පරණ අත්දැකීම් අනුව තමයි අපි තීන්දු තීරණ ගන්නේ. සෞඛ්‍ය අංශය හා ආරක්ෂක අංශ නිර්දේශ මත මිසක් වෙනත් කවර සාධකයක් මතවත් තීන්දු තීරණ ගන්නේ නෑ.  
 
ප්‍රශ්නය: සමහරු නම් කියන්නේ ආණ්ඩුව දැන් වැඩේ අතහැරලා. ‘පුළුවන් නම් බේරියන්’ නාට්‍ය රඟ දක්වනවා කියලා.   


පිළිතුර: නෑ නෑ. කිසිසේත්ම එහෙම නෑ. වගකිවයුතු රජයක් හැටියට මෙම ක්‍රියාවලිය ගැන මාස 8ක පමණ අත්දැකීම් තියෙන රජයක් හැටියට එහෙම අතහැරලා දාන්න කිසිම හේතුවක් නෑ. මීට වඩා තත්ත්වය දරුණු වුණත් එහෙම අතහැරලා දාන්න හීනෙන්වත් හිතලා නෑ.   


ප්‍රශ්නය:නමුත් හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න කියනවා ‘මම හිටියා නම් ප්‍රශ්නය මෙච්චර දරුණු ​වෙන්න අරින්නේ නෑ’ කියලා.   


පිළිතුර: පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන් කටයුතු කරපු ආකාරය අපි හොඳින්ම දැක්කා. පාස්කු ප්‍රහාරය ඒකට හොඳම උදාහරණයයි’ මම හිටියා නම් මෙහෙමයි’ කියන ඇමැතිවරු ඒ කාලේ කටයුතු කළේ කොහොමද? ඔබට මතක ඇති එක පාරක් කොළඹ නගරය පුරා සති ගානක් කුණු කඳු ගොඩ ගැහුණා. ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඉතා විශාල කාලයක් ගත්තා. මහ බැංකු කොල්ලය වෙලාවේ, රාජ්‍ය සම්පත් විකිණීමේදී ඔය ඇමැතිවරු හැසිරුණ හැටි රටට තවම මතකයි.   


ඒ ආණ්ඩුවේ තිබුණ බල විභේදනය අනුව ඔළු දෙකකින් වැඩ කළේ. රණවිරුවන්ගේ ප්‍රශ්නවලදී, ජිනීවා ප්‍රශ්නවලදී මේ ඇමැතිවරු හැසිරුණේ කොහොමද? එහෙම ආණ්ඩුවක හිටපු ඇමැති කෙනෙක් කියන දේවල් ගැන අපි සැලකිල්ලක් දැක්විය යුතු නෑ.   


අද රාජිත සේනාරත්න මේ රටේ සෞඛ්‍ය ඇමැතිවෙලා හිටියා නම් මම හිතන්නේ අපිට දෙවැනි රැල්ලක් ගැන කතා කරන්න වෙන්නේ නෑ. පළමු වැනි රැල්ලෙන්ම මැච් එක ඉවර වෙන්න තිබුණා. පළමු රැල්ල ලෝකයේ සෙසු රටවල්වලට සාපේක්ෂව අපි ඉතාම හොඳින් කළමනාකරණය කළා. දෙවැනි රැල්ලත් අද ලෝකය පුරාම පැතිරිලා යනවා. රටක් විදියට අපි පළමු රැල්ලට වඩා තරමක පීඩාවකට පත්වෙලා තියෙනවා. ලෝකයේ හැම රටකම තත්ත්වය ඒකයි. අද තියෙන තත්ත්වය එක්ක ගත්තත් ලෝකයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව අපි යම් හොඳ තැනක ඉන්නවා.   


රෝගීන් ගණන මෙන්ම මියයන සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. අපි ඒ ගැන කනගාටු වෙනවා වගේම ඒක නතර කර ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ඒ ගැන සැකයක් තියා ගන්න එපා.   


ප්‍රශ්නය:විපක්ෂය කියන්නේ ආණ්ඩුව වසංගතයම වසන්තයක් බවට පත් කරගෙන කියලයි?  


පිළිතුර: වසංගතය වසන්තයක් වෙනකම් තමයි විපක්ෂය බලාගෙන හිටියේ. ඒගොල්ලෝ පළමු අදියරේදීත් ඒක බලාපොරොත්තු වුණා. නියත දේශපාලන පරාජය හමුවේ මේ වසංගතය පිට දාලා දේශපාලන වාසි ගන්න බැලුවා. ඡන්දෙ කල් දාගන්න බැලුවා. රට පීඩාවට පත් වෙයි කියලා හිතුවා. ඒ වෙලාවෙ ඒක හරි ගියේ නෑ. දැන් අපිට පේනවා මේ අයගේ පාර්ලිමේන්තුවේ හැසිරීම ගත්තත්, සමාජ මාධ්‍ය තුළ ඔවුන් ලියන කියන දේවල් දිහා බැලුවත්, රූපවාහිනී වැඩසටහන්වලට ඇවිත් කතා කරන හැටි බැලුවත් විපක්ෂයේ යම් කණ්ඩායමක් ඉන්නවා මේකෙන් චිත්ත ප්‍රබෝධයට පත්වෙලා ඉන්නේ.   


ඔවුන් බලනවා කෙටි කාලීනව හරි යම් දේශපාලන වාසියක් ගන්න. ඔවුන් තමයි දිනපතා විවිධ කාරණා මතු කරමින් වාසි ගන්න දඟලන්නේ. අපි රජයක් හැටියට දේශපාලනය කරන්නේ නෑ. අපි හැම තීන්දුවක්ම ගන්නේ ජනතාවගේ පැත්තෙන් බලලා. හැබැයි අපට යම් වෙහෙසක් තියෙනවා විපක්ෂයේ සමහරු මතු කරන යම් ප්‍රශ්න නිසා ​අපෙන් සැලකිය යුතු කාලයක් ඔවුන්ට උත්තර දෙන්න වැය කරන්න වෙලා තියෙනවා.   


ප්‍රශ්නය: නමුත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම අතිශයින්ම දූෂිත බව තමයි කියන්නේ?   


පිළිතුර: පසුගිය සති දෙකේදී ඔය චෝදනාව කරනවා. මම ඔබේ චෝදනාව පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා. මම ඉතාම වගකීමෙන් ඔබට මේ උත්තරය දෙන්නේ විෂය බාර රාජ්‍ය ඇමතිවරයා හැටියට. මිලදී ගැනීම් කරන්නේ මගේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන්. අද මේ මොහොත වනතෙක් අප කිසිදු පෞද්ගලික සමාගමකින් කිසිම මිලදී ගැනීමක් කරලා නෑ.   


වෙන විදියකට කියනවානම් රජයේ මුදල් යොදවලා මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක ගෙන්වලා නෑ. නමුත් අවශ්‍යතාව මත අපි ටෙන්ඩර් කැඳවීමක් කරලා තියෙනවා. ඒ ටෙන්ඩර් පටිපාටිය ඔබත් එක්ක කතා කරන මේ මොහොත වනතුරු අවසන් වෙලත් නෑ.   


ප්‍රශ්නය: නමුත් ඒ පරීක්ෂණ කට්ටල පෞද්ගලික අංශයෙන් ගෙන්වලා තියෙනවා. ආණ්ඩුව ඒවා මිලදී ගන්නවා?   


පිළිතුර: අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දෙන කමිටු කිහිපයක් තියෙනවා. දැන් මාස දෙකක පමණ කාලයක සිට අපට නිර්දේශ ලැබුණ ඔය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල දැන් ලෝකයේ නිෂ්පාදනය කරමින් පවතිනවා. ඒවා මිලදී ගන්න සූදානම් වෙන්න කියලා. ඒ කමිටුවේ නිර්දේශය මත සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග මර්දන ඒකකය මගින් අපෙන් ඉල්ලීමක් කළා. ලක්ෂ දොළහමාරක කට්ටල අවශ්‍යයි කියලා. එතැනදී අපි බැලුවා කොහෙන්ද මේවා ගන්නේ කියලා.  


අපි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කළා අපට මේවා ලබා දෙන්න කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි ඉල්ලීමක් කළා අපට මේකට උදව් කරන්න කියලා. ඒ අතර අපි පෞද්ගලික අංශයට තියෙන හැකියාව ගැනත් බැලුවා. මේ ක්‍රියාවලි තුනම ඉදිරියට ගියා. ඒ යන අතරේ ලෝක සෞඛ්‍ය සංවිධානය අපට කිව්වා ආරම්භක පියවරේදී ඉන්දියානු කාර්යාලය හරහා මෙම පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ලබා දෙන්න පුළුවන් කියලා.  


ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවත් අපට යම් ප්‍රමාණයක් ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒත් ලක්ෂ දොළහමාරට ඒක ප්‍රමාණවත් නෑ. ඒ නිසා අපි පෞද්ගලික අංශය හරහා මේක ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු පටන් ගත්තා. ඒ කාර්ය​යේදී ටෙන්ඩර් පටිපාටියක් තියෙනවා. මුලින් අපේ වෛද්‍ය සැපයුම් ඒකකය දැනුම් දෙන්න ඕන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට මෙම මිලදී ගැනීම් කළ යුතුයි කියලා. එතකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ටෙන්ඩර් කැඳවීමක් කරනවා. ඒක තාක්ෂණික ඇගයීම් කමිටුවකට යොමු කරනවා.   
එතැනින් නිර්දේශ ලබා දුන්නාට පස්සේ තමයි ඒ ටෙන්ඩරය ප්‍රදානය කරන්නේ. මේ වනතුරු ඒ ටෙන්ඩරය ප්‍රදානය වීමක් කරලා නෑ. සමාගම් 28ක් පමණ මේකට ලංසු තියලා තියෙනවා. නිර්ණායකවලට ගැළපෙන සමාගම් කවුද කියලා බලල අඩුම මිල තියෙන කෙනාට ටෙන්ඩරය හිමිවෙයි. අපට දැනට කියන්න බෑ කාටද ඒක හිමි වෙන්නේ කියලා.   


ප්‍රශ්නය:එහෙම නම් කොහොමද පෞද්ගලික සමාගමක් ඒ උපකරණ කට්ටල ගෙන්වන්නේ?  


පිළිතුර: ඔය ප්‍රශ්නයම තමයි විපක්ෂය වැරදි විදියට ගත්තේ. ඔය කියන උපකරණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනා ගත්තා. ප්‍රධාන නිෂ්පාදකයෝ දෙපළක්, එකක් ඇමෙරිකානු සමාගමක්. අනිත් එක දකුණු කොරියානු සමාගමක්. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කරලා ඔවුන් ප්‍රසිද්ධියට පත් කළා අපටත් ඒක දැනුම් දුන්නා. ඔවුන්ගේ නිර්දේශය මත ඒ සමාගම් දෙකෙන් මිලදී ගැනීමක් කරනවා නම් වසරක කාලයක් සඳහා ඒ ඒ රටවල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඔවුන්ගේ නිර්දේශය ප්‍රමාණවත් කියලා. පූර්ව තත්ත්ව පරීක්ෂණවලින් මේ සමාගම් දෙකේ නිෂ්පාදන සමත් වෙලා තියෙන්නේ.   


ලෝකයේ ඕනෑම රටක ඒ රටේ රජයේ අවසරය මත පෞද්ගලික අංශයට පුළුවන් මේ නිෂ්පාදන ගෙනල්ලා පාවිච්චි කරන්න. එතකොට ලංකාවේ පෞද්ගලික සමාගමක් මේ සමාගම් දෙකේම නියෝජිතයෙක් හැටියට වසර ගණනාවක් තිස්සේ ක්‍රියාකරනවා. ඒක මේ රජය පත්වුණාට පස්සේ දීපු ලියාපදිංචියක් නොවෙයි. ඒ පෞද්ගලික සමාගම අර දකුණු කොරියානු සමාගමෙන් ඒ උපකරණ කට්ටල ටික ගෙනාවා. ඕනෑම ඖෂධයක්, වෛද්‍ය උපකරණයක් හෝ පරීක්ෂණ කට්ටලයක් ගේනවා නම් රජයේ ඖෂධ නියාමන අධිකාරියේ අවසරය පිට තමයි ගෙන්විය යුත්තේ.   


ප්‍රශ්නය: ඔය කියන පෞද්ගලික සමාගමට ඒ අවසරය දීලද තියෙන්නෙ?   


පිළිතුර: ඔව්. ඔවුන් ලියාපදිංචිය අරගෙන තමයි ඔය උපකරණ කට්ටල ලංකාවට ගෙන්නුවේ. හැබැයි එහෙම ගෙන්නුවේ රජයේ ඉල්ලීමකට නොවෙයි. අපි ඒ සමාගමෙන් ඉල්ලීමක් කළේත් නෑ. පෞද්ගලික අංශයේ පරිහරණය සඳහා තමයි මේක ගෙන්නුවේ.    


ප්‍රශ්නය: කොවිඩ් අරමුදල කෝ කියලා අහන අයත් ඉන්නවා. 

 
පිළිතුර: ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා කොවිඩ් අරමුදලේ මුදල් කොහොමද කියලා. විශේෂයෙන්ම අපි දන්නවා නිරෝධායන කටයුතුවලට, පරීක්ෂණ කටයුතු සඳහා අධික වියදමක් යනවා. හැමෝම කියනවා පීසීආර් පරීක්ෂණ වැඩි කරන්න කියලා. පීසීආර් ඉබේ පහළ වෙනවා නොවෙයි. ඒවා මිලදී ගන්න ඕනා.   


රටේ තිබුණ ප්‍රධාන ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් ඇණහිටලා තියෙන්නේ. ඒ නිසා පරිත්‍යාගශීලීන්ගෙනුත් ලැබුණු මුදල් පාවිච්චි කරලා තමයි මේ සියල්ලම කරන්නේ. දේශපාලනිකව වාසි ගන්න හදන කුහකයන්ට ඇරෙන්න අනිත් අයට මේවා ප්‍රශ්න නොවෙයි.   


ප්‍රශ්නය:කොවිඩ් ආසාදිත මුස්ලිම් ජාතිකයකු මියගියහොත් භූමිදානය කරන්න රජය අවසර දීලා තියෙනවා?   


පිළිතුර: සෞඛ්‍ය අමාත්‍යංශයෙ මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි ප්‍රකාශයක් කළා එහෙම අවසරයක් මේ වනතුරු ලබාදිලා නැහැ කියලා. පැහැදිලිවම කියන්න ඕන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය හැටියට අපි බලන්නේ මළ මිනිය හින්දුද, බෞද්ධ ද ඉස්ලාම්ද නිරාගමිකද කියලා නොවෙයි. අපි මෙතැනදී බලන්නේ සෞඛ්‍යමය කාරණා ගැන පමණයි.   


ලංකාව තුළ කොවිඩ් හේතුවෙන් මිය යන අය ආදාහනය කළ යුතුයි කියන එක සෞඛ්‍ය අංශ මගින් ලබාදීපු නිර්දේශයක්. ඒ නිර්දේශය මේ වනතුරු වෙනස් වෙලා නෑ. ඒ නිර්දේශය වෙනස් වෙනවා නම් වෙනස් විය යුත්තේ සෞඛ්‍ය අංශයේ නිර්දේශ මත.  


ප්‍රශ්නය: මුස්ලිම් දේහයන් මිහිදන් කරන්න සුදුසු භූමියක් බලන්න කියලා ජනාධිපතිවරයා නියෝග කරලා තියෙනවා.   


පිළිතුර: ඇත්තටම යම්කිසි ඉල්ලීමක් විවිධ පාර්ශ්ව වලින් ලැබිලා තියෙනවා. එහෙම ඉල්ලීම් ආවට පස්සේ සෞඛ්‍ය අංශයෙන් විමසන්න වෙනවා මොකක්ද කරන්නේ කියලා. මාගේ පැත්තෙන් කියන්න තියෙන දේ තමයි මේ වනතෙක් මුලින් ගත්ත තීරණය වෙනස් කරල නෑ.   


ප්‍රශ්නය:කොවිඩ් වැලඳුණු බෞද්ධයෙක් මැරුණොත් පාංශුකුලයවත් නොදී තමයි ආදාහනය කරන්නේ  


පිළිතුර: ඔව්. පැහැදිලිවම. කොවිඩ් මරණය කොවිඩ් මරණයක් මිසක් ආගමික මරණයක් නොවෙයි. ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා තමයි තීරණ ගන්නේ. දැනට අරගෙන තියෙන තීන්දුව තමයි කොවිඩ් මරණයක් භූමිදානය නොකළ යුතුයි කියන එක. ඒක තමයි දැනට තියෙන තීන්දුව.

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්