ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් මේ විදිහට පිල් මාරු කරලා නෑ


එක්සත් ජාතික පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සෞඛ්‍ය හා පෝෂණ ඇමැති 
රාජිත සේනාරත්න   

 

රටේ දේශපාලනය ත්‍රාසජනක සටන් සපිරි බටහිර චිත්‍රපටයක් බඳුය. මේ ඒ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය - රටේ දේශපාලනය එහෙම් පිටින්ම විගඩමක් බවට පත් වෙලා?   


පිළිතුර - පැහැදිලිවම, ජනාධිපතිවරයා විසින් මුළු රටම විගඩමක් බවට පත් කරමින් ඉන්නවා.   


ප්‍රශ්නය - ඔහු ඒ තත්ත්වයට පත් කළේ කවුද?   


පිළිතුර - ජනාධිපතිවරයාම තමයි ඒ තත්ත්වයට පත් වෙමින් ඉන්නේ.   


ප්‍රශ්නය - ඔබ ගෙනාපු පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයට මෙහෙම අරියාදු කරයි කියලා ඔබ හිතුවද?   


පිළිතුර - මම ගෙනාපු පොදු අපේක්ෂකයෙක් නොවෙයි. ලෝකයේ කිසිම අපේක්ෂකයෙක් මෙහෙම හැසිරිලා නෑ. ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් මේ විදියට පිල් මාරු කරලා නෑ. මේ තමයි පළමු වතාව.   


ප්‍රශ්නය - ජනාධිපතිවරයාව ඒ තත්ත්වයට තල්ලු කළේ කවුද?   


පිළිතුර - කවුරුවත් නොවෙයි. එකම හේතුව මම දකින්නේ ඔය එකක්වත් නොවෙයි. එතුමා අන්තිම කාලේ වෙනකොට බය වුණා. රාජපක්ෂවරුන්ට විරුද්ධව තියෙන නඩු හබ ඉවර කරගන්න බැරි වෙනවා. එතකොට මැතිවරණයක් ඇවිත් පැරදුණොත් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට රාජපක්ෂවරුන් අතින් විශාල ආපදාවලට ලක්වෙන්නට වේවි. මෙන්න මේ නිසා තමයි ඔහු අංශක 180ක් කැරකැවිලා ඒ රාජපක්ෂවරුන් වෙතම ගිහිල්ලා රාජපක්ෂවරුන්ගෙන් විසඳුමක් බලාපොරොත්තු වුණේ. 

 
ප්‍රශ්නය - ඔබ කියන ඒ කතාව ඇත්තක්නම් ජනාධිපතිවරයා එහෙම හිතපු එක සාධාරණයි. මොකද ඔබේ කඳවුරෙන් ඔහු ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලත් කියනවනේ?   


පිළිතුර - ඔය වගේමනේ එදා එයා කිව්වේ...... එතුමාව ඝාතනය කරන්න රාජපක්ෂවරු හිටියා. ඒ නිසා එළියට බැස්සා කියලා. හරිද! ඉතින් එදත් දුන්නේ ඔය හේතුව.   


ප්‍රශ්නය - ඒ කියන්නේ අද වගේම එදත් ඝාතනය කිරීමේ සැලසුමක් තිබුණේ නෑ කියලද?   


පිළිතුර - එදා නම් තියෙන්න ඇති, අද නම් නැහැ. මම කියන්නේ එතුමා කියපු ​දේ. අන්තිමට අද ඝාතකයන් කී අය ළඟටම ආරක්ෂාවට ගිහින් තියෙනවා. දැන් කියනවනේ ඔය නාමල් කුමාර කියන හාදයා දැන් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලනවා කියලා. ඉතින් මේ වගේ පහත් හෙවත් නන්නත්තාර නිර්ධන පංතියේ සාමාජිකයකු වන නාමල් කුමාර වගේ පුද්ගලයකුගේ පැමිණිල්ලක් උඩනේ මේ කතා කරන්නේ. දැන් ඔය කතාවේ ඇත්ත නැත්ත හෙළි කරන්න එපැයි.   


ප්‍රශ්නය - ඒක බොරු කතාවක්නම් මොකටද නියෝජ්‍ය පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගත්තේ?   


පිළිතුර - ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත්තේ අපි රජයේ ඉන්න කොටනේ. ජනාධිපතිතුමා නොවෙයිනේ අත්අඩංගුවට ගත්තේ. ඔය ටේප්වල කිසිම එකක ඝාතනය කිරීමක් ගැන සඳහන් වෙන්නේ නැහැනේ.   


ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රී කිව්වා හිටපු අගමැති රනිල් සමනළ ජීවිතයකට ගියා කියලා?   


පිළිතුර - ඉතින් එතකොටම ඒ වගේම චෝදනාවක් එතුමාට කරනවනේ හිරුණිකා. අනික් පැත්තෙන් සමනළියන් ඉන්නවා කියලා. ඇයි මේ තත්ත්වයට දේශපාලනය ගේන්නේ? පෞද්ගලික ජීවිතවල ප්‍රශ්න කතා කරන්නේ ඇයි? අපි යහපාලනයේ දේශපාලනයක් කරන්න ආවානම් ඒවා නොවෙයිනේ කතා කරන්න ඕනෑ. යහ පාලනයේ තිබුණ අඩුපාඩුනේ කතා කරන්න තිබුණේ. ඒකේ අඩුපාඩු තිබුණා කියලා මමත් පිළිගන්නවා. නමුත් ඒක නොවෙයිනේ අද සංවාද කරන්නේ. සමනළයන් ගැනනේ කතා කරන්නේ.   


ප්‍රශ්නය - ජනාධිපතිවරයාට මේ තරම් දැඩි තීරණයක් ගන්න කියපු කතාවලට අමතරව නොකියපු කතාත් ඇති?   


පිළිතුර - ඒක තමයි මම කිව්වේ. තමන්ට මරණ බය ඇති වුණා කියලා තමන්ට හා තමන්ගේ පවුලේ අයට මරණ බය ඇති වුණාම ඒක සරළ කාරණාවක් නොවෙයිනේ.   


ප්‍රශ්නය - දැන් ආණ්ඩුව කාගෙද?   


පිළිතුර - දැන් ආණ්ඩුව නීතිය අනුව ව්‍යවස්ථාව අනුව අපේ. පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂට ආපු විශ්වාසභංගයෙන් එයා පැරදුණානේ. මහින්ද රාජපක්ෂ ළඟ ඉන්න සාධාරණව හිතන අයත් ඒක පිළිගන්නවා. පාර්ලිමේන්තුවේ 122ක් අත්සන් කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ අගමැති හැටියට පිළිගන්න බෑ කියලා.   


ප්‍රශ්නය - ඔවුන් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න කියලයි?   


පිළිතුර - ඔව්. නැන්නම් අගමැති ධුරයේ හිටියේ රනිල් වික්‍රමසිංහනේ. මෙයා එපානම් එයාව එපැයි ගේන්න.   


ප්‍රශ්නය - ඔය 122 අතර ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර ඇතුළු මහත්වරුන් හය දෙනාත් ඉන්නවා.   


පිළිතුර - ඔව්! ඔව්! අනුර කුමාර මන්ත්‍රීතුමානේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේත්?   


ප්‍රශ්නය - එතකොට ජවිපෙ ඉල්ලන්නෙත් අගමැති හැටියට රනිල්ව?   


පිළිතුර - ජනතා විමුක්ති පෙරමුණ විතරක් නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ හැමෝම ඉල්ලන්නේ ඒක තමයි. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගන්නා වූ මන්ත්‍රීවරයා තමයි අගමැති හැටියට පිළිගන්නේ. ඒ අගමැතිවරයා පත් කරන්නේ ජනාධිපතිවරයා. ඒක හරි. ඒත් ඒක අනුමත කරන්නේ පාර්ලිමේන්තුව.   


ප්‍රශ්නය - ජවිපෙ අනුර කුමාර ගෙනාපු විශ්වාසභංග යෝජනාව සම්මත වීම වුණේ සම්ප්‍රදායට හා ව්‍යවස්ථාවට අනුව නොවෙයි කියලා ආණ්ඩුව කියනවා?   


පිළිතුර - ඒ අය විවාදයක් ඉල්ලුවේ නැහැනේ. විවාදයක් ඉල්ලුවොත් තමයි විවාදයක් දෙන්නේ. නැත්නම් බොහෝ අණපනත් තියෙනවා ඒ වෙලාවෙම ගෙනල්ලා විරෝධයක් නැතිව සම්මත කරගන්නවා. ඒගොල්ලෝ විවාදයක් ඉල්ලු​ෙවත් නෑ. ඒගොල්ලන්ගෙන් ඇහුවම මේකට විරුද්ධද කියලා විරුද්ධයි කියලා කෑගැහුවෙත් නෑ. එතකොට පාර්ලිමේන්තුවට ඕනෑම පනතක් ගෙනාවම ඉස්සල්ලාම අහන්නේ කැමතිද අකැමැතිද කියලයි. එතකොට ඉංග්‍රීසියෙන් නම් ‘‘ආයි’’ කියලා කියනවා. අකමැතිනම් ‘‘නෑයි’’ කියලා කියනවා. එදා ආයි කියලා කිව්වම අනික් පැත්තෙන් ‘‘නෑයි’’ කියලා කිව්වේ නැහැ. කතානායකතුමා කීපවතාවක් ඇහුවා. කවුරුවත් කතා කළේ නැහැ. ඒ අනුව විශ්වාසභංග යෝජනාව සම්මත වුණා. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය.   


ප්‍රශ්නය - ස්ථාවර නියෝග කඩ කරමින් ඇයි මේ විදියට වැඩ කරන්නේ?   


පිළිතුර - මොන ස්ථාවර නියෝගද? මොන ස්ථාවර නියෝගද කඩ කළේ?   


ප්‍රශ්නය - විශ්‍වාසභංගයක් ගෙනාවම ඒක න්‍යාය පත්‍රයට යා යුතුයි. න්‍යාය පුස්තකයට යා යුතුයි. පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවලා දිනයක් තීරණය කරලා විවාද කරලයි ඡන්ද විමසීමකට යා යුත්තේ. එදා ඒවා මුකුත් වුණේ නෑ?   


පිළිතුර - නෑ නෑ. එහෙම ඕන නැහැ. හදිසි අවස්ථාවලදී ඕනෑම යෝජනාවක් මේ විදියට ගේන්න පුළුවන්.   


ප්‍රශ්නය - කථානායකගේ හැසිරීමත් විවිධ චෝදනාවන්ට ලක්වෙනවා?   


පිළිතුර - ඉතින් ජනාධිපතිවරයා අපක්ෂපාතීවද වැඩ කරන්නේ? ඔය අගමැති ඇමැති මණ්ඩලය පත් වුණේ අපක්ෂාපාතී විදියටද? කථානායකවරයා ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව. එතුමා පෙන්නුවනේ ඒ ස්ථාවර නියෝග මොනවද කියලා. මේ වගේ අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය වරප්‍රසාද 142 යටතේ තිබෙනවා කතානායකවරයාට අවකාශයක් ඔහුට අවශ්‍ය පරිදි කටයුතු කරන්න. ඔහු ඒක කියලා තමයි තීන්දුව දුන්නේ.   


ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රී අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කළාම කථානායකවරයා මුලින්ම ඒක පිළිගත්තා.   


පිළිතුර - ඔව්. ඒක හරි?   


ප්‍රශ්නය - නමුත් දවස් තුනකට පස්සේ කිව්වා පිළිගන්නේ නෑ කියලා.   


පිළිතුර - නෑනේ. අගමැති හැටියට මහින්ද රාජපක්ෂ ගැසට් කළානම් පිළිගන්න සිදුවෙනවා. එතකොට ඒක පාර්ලිමේන්තුවත් පිළිගන්නවා. එතකොට පාර්ලිමේන්තුවේ වෙන කෙනෙක් කිව්වොත් මමයි අග්‍රාමාත්‍යවරයා මටයි බහුතරය තියෙන්නේ කියලා එතකොට ඒක කථානායකට පිළිගන්න වෙනවා. විශ්වාසභංගයේදී අපි බහුතරය පෙන්නුවා. ඒක පෙන්නුවාම කථානායකවරයාට පිළිගන්න වෙනවා.   


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ මුලින් පිළිගත්ත දේ දවස් තුනකට පස්සේ පිළිනොගත්​ෙත් ඇයි කියලයි?   


පිළිතුර- එහෙම එකක් වුණේ නැහැනේ.   


ප්‍රශ්නය - ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න සිදු වුණෙත් කථානායකවරයාගේ මේ දෙබිඩි පිළිවෙත නිසයි.   


පිළිතුර - මෙච්චර දවසක් ඔය ජනාධිපතිවරයා කථානායකත් එක්ක බොහෝම හොඳින් හිටියනේ. මෙච්චර දවසකට එහෙම කිව්වේ නැහැනේ. දැන් ඔය එකපාරටමනේ ඔහොම කියන්න පටන් ගත්තේ. ඔය ජනාධිපතිතුමා නීතිඥයන් හමුවෙලා තමයි තීන්දු ගන්නේ කියලා කියපු කතා ඔක්කොම බොරු කියලා ඔප්පු වුණානේ. ශ්‍රේ‍ෂ්ඨාධිකරණ තීන්දුවෙන් ඒක ඔප්පු වුණානේ. එතුමා කිව්වේ සියලු තීන්දු ගන්නේ නීති උපදෙස් අනුව කියලනේ. දැන් ශ්‍රේ‍ෂ්ඨාධිකරණය කිව්වනේ සම්පූර්ණයෙන්ම මේක ව්‍යවස්ථා විරෝධියි කියලා.   


ප්‍රශ්නය - තවම තීන්දුව දුන්නේ නැහැ. අතුරු තහනම් නියෝගයක් දුන්නේ?   


පිළිතුර - තීන්දුවක් දුන්නේ නැහැ කියන්නේ කොහොමද?   


ගැසට් එක කැන්සල් කළා. ඇයි කැන්සල් කරන්නේ? ගැසට් එක හරිනම් එහෙම කරන්නේ නැහැනේ. ඒකම තීන්දුවක් නොවෙයිද? අනික තහනම් නියෝගයක් දුන්නා. එතකොට මෙතෙක් කරපු සියලු දේවල් ශුන්‍ය වුණා. එතකොට විභාගය තියෙන්නේ එහෙම තීන්දුවක් දුන්නට පස්සේ ඒ පිළිබඳ සියලු නීති තර්ක අරගෙන සාකච්ඡා කරන්න. ඒ ක්‍රියා මාර්ගය තුළ අවසන් තීන්දුව දෙනවා. වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් වෙන්න එපැයි.   


ප්‍රශ්නය - මම ඔබෙන් ප්‍රශ්න කරන්නේ කථානායකවරයා වරින්වර තමන්ගේ ස්ථාවරය වෙනස් කිරීම මේ අර්බුදයට ප්‍රධාන හේතුවක් නේද කියන කාරණයයි?   


පිළිතුර - මොකටද කථානායක වෙන ස්ථාවරයකට යන්නේ? කථානායකට තියෙන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා කිරීමයි. එය ආරක්ෂා කරන්න එතුමා ක්‍රියා කළා. ​ඔය ඔබ කියන ගැසට් එක තමයි ශ්‍රේෂ්‍ඨාධිකරණයෙන් ශුන්‍ය කළේ. ඉතින් ඔබතුමා කියන්නේ තවදුරටත් මෙයාව පිළිගන්න කියලද? එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට මොකද වෙන්නේ? ඒ ගැසට් එක පිළිගන්න බෑ. ඒ මොකද පාර්ලිමේන්තුවෙන් විමසලා නොවෙයි අගමැතිවරයාව පත් කළේ. ඒ ගැසට් එක නිසා කථානායකතුමත් අගමැති හැටියට මහින්දව පිළිගත්තා. ඊට පස්සේ ශ්‍රේ‍ෂ්‍ඨාධිකරණයෙන් ඒ ගැසට් එක බල ශුන්‍ය කරලා තියෙනවා. අද පාර්ලිමේන්තුවේ 122ක් මහින්ද රාජපක්ෂ අගමැති හැටියට පිළිගන්නේ නෑ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඊට පස්සේ කොහොමද පිළිගන්නේ? අද මහින්ද රාජපක්ෂව පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එත​ෙකාට ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න තමයි කථානායකවරයාට සිද්ධ වෙන්නේ.   


ප්‍රශ්නය - නමුත් තවමත් අගමැති මහින්ද රාජපක්ෂයි?   


පිළිතුර - ඒක තමයි. එහෙම නම් ව්‍යවස්ථාවෙන් වැඩකුත් නෑ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය වැඩකුත් නෑ. එතකොට ඔබතුමාලා කියන්නේ රටක් ඒ විදියට ගෙනිච්චට කමක් නෑ කියලද? ඔබ මාධ්‍යවේදියෙක් විදියට එහෙම පිළිගන්නවද?   


ප්‍රශ්නය - මම කියන්නේ රටේ තියෙන තත්ත්වයයි?   


පිළිතුර - මේ රට ලෝකයට අන්තිම නරක පූර්වාදර්ශ දෙනවනේ. මේ වගේ ඒකාධිපති තත්ත්වයන් අනාගතයේදී නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පූර්වාදර්ශ දෙනවා, එතැනදී බලාගෙන ඉන්න මිනිස්සු ද වැදගත්, ඒවාට විරුද්ධව ක්‍රියා කරන මිනිස්සු ද වැදගත්.  


ප්‍රශ්නය - මේ අර්බුදය විසඳන්න ඔබගේ යෝජනාව මොකද්ද?  


පිළිතුර - අර්බුදය විසඳන්න මේක තමයි ක්‍රමය. පාර්ලිමේන්තුවත් අධිකරණයත් ක්‍රියා කරලා තමයි මේ අර්බුදය විසඳන්න වෙන්නේ.  


ප්‍රශ්නය - පාර්ලිමේන්තුව විසුරුවීමේ තීරණයට එරෙහිව ඔබලා අධිකරණයට ගියා. නමුත් අගමැති වෙනස් කළ වෙලාවේ අධිකරණයට ගියේ නෑ. ඒ ඇයි? 


පිළිතුර - ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ පාර්ලිමේන්තුව තුළයි. අගමැතිවරයෙක් පත් කරන්න බැහැ අධිකරණයෙන්. අගමැතිවරයා පත් කිරීමේ ක්‍රියාවලිය තියෙන්නේ පාර්ලිමේන්තුවට. හරි! බහුතර බලය තියෙන පුද්ගලයා තමයි අගමැති වෙන්නේ.  


ප්‍රශ්නය - දිගින් දිගටම මෙහෙම ගියොත් ජනාධිපතිවරයා යළිත් වරක් පාර්ලිමේන්තුව කල් තියයි.  


පිළිතුර - ඔව්! එයාට තියෙනවා ඒ බලය. නමුත් ඒක ඉතාමත්ම කැතයි. ඔහු ඒවගේ බලතල පාවිච්චි කිරීම ඉතාම කැතයි. ඔහු ආවේ ඒකට නොවෙයි. ඔහු විධායක බලතල අහෝසි කරන්න ආවේ. ඔහුගේ ධුර කාලයට විතරක් තාවකාලිකව තමයි මේ බලතල දුන්නේ. ඔහු ඒ බලතල පාවිච්චි කරනවා නම් ඒක කැත වැඩක් කියලා මම කියනවා.  


ප්‍රශ්නය - රටේ අගමැති හැටියට ඔබ පිළිගන්නේ?  


පිළිතුර - අපි පිළිගන්නේ රනිල් වික්‍රමසිංහයි.  


ප්‍රශ්නය - එතකොට ඇමැති මණ්‍ඩලය ඔබලයි?  


පිළිතුර - අනිවාර්යයෙන්ම.  


ප්‍රශ්නය - ඔබ මේ මොහොතෙ ඉන්නෙත් ගෙදර. අමාත්‍යංශවල ඇමැතිවරු වැඩ කරනවා?  


පිළිතුර - අද මේ යෝජනාව ගෙනත් තියෙන්නේ ඔක්තෝබර් 26 වැනිදා තිබුණ තත්ත්වයට රට යනවා කියලයි. ඒ තත්ත්වයට රට යායුතුයි.  


ප්‍රශ්නය - ඔබ කියනවා ඔබ ඇමැතිවරයෙක් කියලා. නැවත දිවුරුම් දීමක් කළ යුතුද?  


පිළිතුර - ඔක්තෝබර් 26 වැනිදා තත්ත්වය පිළිගන්න නිසා නැවත දිවුරුම්දීමක් අවශ්‍ය වෙන්නේ නෑ.  


ප්‍රශ්නය - නමුත් ජනාධිපතිවරයා කියන්නේ අගමැති මහින්ද රාජපක්ෂ කියලයි.  


පිළිතුර - ඒගොල්ලන්ට ඔය ඇමැතිවරුන්ට ඉන්න බෑ දැන්. එහෙම නම් මහජන බලය පාවිච්චි කරන්න වෙනවා. ජනාධිපතිවරයා මොකක්ද මේ කරන්නේ? රට විනාශයට ගෙනියනවනේ. මේ පාප කර්මයට අපිත් වගකියන්න ඕනැනේ.  


ප්‍රශ්නය - ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අතර මෙහෙම ගැටුමක් තිබුණා කියලා ළඟම හිටපු ඔබ දැනගෙන හිටියේ නෑ.  


පිළිතුර - මේ තරම් උග්‍ර ගැටුමක් තිබුණා කියලා දැනගෙන හිටියේ නෑ. දැන් එයා කාගෙන්ද මේ පළිගන්නේ. එයාව බලයට ගෙනාපු ජනතාවගෙන් මේ පළිගන්නේ. එහෙම පළිගන්නේ කාත් එක්ක එකතුවෙලාද? එතුමා බලයට පත් කිරීමට විරුද්ධ වෙච්ච අයත් එක්කනේ හිටගත්තේ. ඒක දේශපාලන වශයෙන් නොවෙයි මානුෂික වශයෙන් මොනතරම් අප්‍රියජනකද?  


ප්‍රශ්නය - ඔහු තමන් බලයට පත්කළ බලවේගවලට පිටුපාන්නේ ඒ තරමට බරපතළ ප්‍රශ්න තිබුණ නිසා?  


පිළිතුර - එතකොට එහෙම නම් එයාට ආත්ම ශක්තියක් නැහැනේ කට ඇරලා කියලා ඒවාට විරුද්ධව සටන් කරන්න. ආත්ම ශක්තියක් නැතිකමනේ මේ පෙන්වන්නේ. එහෙම කිව්වානම් අපිත් සහයෝගය දෙනවනේ.  


ප්‍රශ්නය - අගමැතිකම භාර ගන්න කියලා කරු ජයසූරියටයි සජිත් ප්‍රේමදාසටයි කතා කළා කියලත් ජනාධිපති මෛත්‍රී කිව්වා.  


පිළිතුර - ඒවා ඔක්කොම රහසේ කරපු දේවල්නේ. කැබිනට් එකක් තිබුණා. ඇයි කැබිනට් එකට ඇවිත් කතා කළේ නැත්තේ? පාර්ලිමේන්තුව කැඳවලා ඇයි කිව්වේ නැත්තේ? ඇයි එයා මේ තරම් බලතලවලට කෑදර? එයා මේ බලතල අයින් කරන්න නේ ආවේ. ඇයි එයාගේ බලතල ගැනම කතා කරන්නේ? එයා සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරිපිට ප්‍රතිඥා දුන්නේ බලතල අතහරිනවා කියලනේ. එහෙම නම් ඒ බලතල ගැන දැන් කතා කරන්න තියෙන අයිතිය මොකද්ද? සදාචාරය මොකද්ද?  


ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ අගමැතිකමෙන් අයින් කළාට පස්සේ ඔබ ගිහින් ජනාධිපති මෛත්‍රීව හමුවුණා?  


පිළිතුර - ඔව් එතුමා මට ආරාධනා කළා. මුලින්ම මම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ එතුමා කිව්වා විශේෂ පණිවිඩයක් දෙන්න තියෙනවා කියලා. ඊට පස්සේ මම අග්‍රාමාත්‍යතුමත් එක්ක කතා කරලා ජෝන් අමරතුංග මහත්තයවත් සාක්ෂියට තියාගෙන පැය දෙකක් කතා කළා! එතැනදී ඉතා සාධනීය තත්ත්වයකට ආවා.  


ප්‍රශ්නය - සාධනීය තත්ත්වයක් කිව්වේ?  


පිළිතුර - සාධනීය තත්ත්වයක් කිව්වේ නැවතත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමත් එක්ක කතා කරලා අර්බුදය විසඳාගන්න. දෙවැනි වටයේදී මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කත් කතා කරලා. තුන් වැනි වටයේදී තුන් දෙනාම එකට ඉඳගෙන කතා කරලා රටට උචිත ජාතික වැඩපිළිවෙළක් ගැන කතා කරන්න එකඟ වුණා. ඊට පහුවැනිදා රැස්වීමකුත් තිබ්බා.  


ප්‍රශ්නය - ඒ එකඟතාවට මොකද වුණේ‍?  


පිළිතුර - අපේම එක්කෙනෙකුගේ තියෙන දේශපාලන මෝඩකම නිසා ඒකට වෙන අර්ථකතන දාලා මහ ලොකුවට මාධ්‍යයේ කිව්වා. එයා කිව්වේ මොකද්ද මහින්දත් නැති රනිලුත් නැති අලුත් අගමැතිවරයෙක් එක්ක ආණ්ඩුව හදනවා කියලා. ඒ පුද්ගලයා කිව්වා එයා මාධ්‍යයට සම්බන්ධ මිනිහෙක්, ඇමැතිවරයෙක් හරහා ඒක මාධ්‍යයට දැම්මා. අන්න ඒ කරපු දේශපාලන කුපාඩිකම නිසා ජනාධිපතිවරයාට විශාල ප්‍රශ්නයක් ආවා මහින්ද රාජපක්ෂගෙන්. අන්තිමට ජනාධිපතිවරයා කිව්වා මට මේ පැත්තත් නැති වෙනවා, ඒ පැත්තත් නැති වෙනවා කියලා අන්තිමට ජනාධිපතිවරයා ඒ පැත්තටම හැරුණා.  


ප්‍රශ්නය - කවුද ඔය පුද්ගලයා.  


පිළිතුර - කියන්න ඕන නෑ. ඒක ඉතිහාසය විසින් හෙළි දරව් කරයි.  


ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රී කිව්වා ‘කාට අගමැතිකම දුන්නත් රනිල්ට නම් ආපහු අගමැතිකම දෙන්නේ නෑ’ කියලා?  


පිළිතුර - ඒක එයාට තීරණය කරන්න බෑ. මේ ව්‍යවස්ථාවෙන් ඒක කරන්න බෑ. ඒ කාලය ගියා. ඉස්සර ව්‍යවස්ථා​ෙවන් තමයි ජනාධිපති අගමැතිව තෝරන්නේ. මෙතැන ඉන්නේ බලයක් සහිත අගමැතිවරයෙක්. මේ අගමැතිවරයා එදා හිටපු දි.මු. ජයරත්නලා වගේ පියුන්ලා නොවෙයි. අද අගමැතිවරයට නිශ්චිත බලතල තියෙනවා. ඒ අගමැතිවරයාව අයින් කරන්න එතුමට පුළුවන්. හැබැයි ඒකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනෑ.  


ප්‍රශ්නය - නමුත් අගමැතිවරයා නම් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට?  


පිළිතුර - ඒ බලය තියෙනවා වගේම අනික් පරිච්ඡේදවල තියෙනවා අගමැතිවරයාව පත් කරන විදියම. 

 
ප්‍රශ්නය - යම් හෙයකින් රනිල් නැතිව එජාපයේ වෙනත් නායකයකුට අගමැතිකම දුන්නොත් ඔබ ඒ අගමැතිවරයාව පිළිගන්නවාද?  


පිළිතුර - පිළිගන්නේ නෑ. මේ වෙලාවේදී. මේ වෙලාවේදී පිළිගත යුතු නෑ. එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයා කවුද කියලා තෝරන්නේ මේ රජය මිසක් වෙනත් පුද්ගලයෙක් නොවෙයි.  


ප්‍රශ්නය - මේ අවුල් සහගත තත්ත්වය විසඳා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා ඔබ හිතනවද?  


පිළිතුර - මම හිතනවා පුළුවන් කියලා. දැනටමත් සෑහෙන්න විසඳලා ඉවරයි. ඒ පැත්තෙත් ඉන්නවා මධ්‍යස්ථ මතධාරින්. ඒ ගොල්ලොත් මාත් එක්ක කතා කළා. අපේ අයත් එක්ක කතා කළා. ඒ අයගේ කණ්ඩායම් රැස්වීමට යෝජනාවක් ගෙනාවා 113 නැත්නම් ඉල්ලා අස්වෙමු කියලා. ඒ පැත්තේ ඉන්නවා හදවතක් සහ මොළයක් තියෙන මිනිස්සු.  


ප්‍රශ්නය - ඔබේ ගමන් සගයා..... ජනාධිපති මෛත්‍රී මෙහෙම වෙනස්වීම ඔබට දරාගන්න පුළුවන් ද?  


පිළිතුර - බැහැ. කොහොමත්ම බෑ. එතුමගේ මේ වෙනස්වීමෙන් වැඩියෙන්ම කම්පාවට පත් වෙන්නේ එතුමගේ භාර්යාවවත් දරුවන්වත් නොවෙයි. මමයි. මම ඉන්නේ ඒ තරම්ම කම්පාවෙන්.  

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්