රාජපක්ෂලගේ කාලෙ කුඩු ගෙනාවෙ පාතාලය ක්‍රියාත්මක වුණේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව අද එහෙම නෑ


මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති 
පාඨලී චම්පික රණවක

 

‘‘උප්පැන්න සහතිකයෙන් රාජ යෝග හදන ක්‍රමය වෙනුවට හැකියාව, කුසලතාව සහතිකයෙන් රාජ යෝග හදන රටක් අවශ්‍ය’’යැයි ඔහු සාකච්ඡාව අතරමගදී කීවේය. ඒ ඔහු මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාය. ඔහු සමග කළ කතාබහ මෙසේය.

• ප්‍රශ්නය - ඔබත් ඉන්න ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරියක් කියනවා ‘ප්‍රභාකරන් යළි ඕනෑ’ කියලා. සිහළ උරුමය හරහා මුලින්ම පාර්ලිමේන්තුවට ආපු ඔබට මෙහෙම ආණ්ඩුවක ඉන්න පුළුවන්ද?   


පිළිතුර - කොයි ආණ්ඩුවෙත් ඔය වගේ පිළිල තියෙනවා. පිළිල නොවෙයි නේ අපට වැදගත්. ගසයි වැදගත්.   


• ප්‍රශ්නය -  ඔබ ඒ තරම් සැහැල්ලුවෙන් ඒ ප්‍රකාශය බාර ගන්නවද?   


පිළිතුර - මෙහෙමයි, එතුමිය ප්‍රජාතන්ත්‍ර විරෝධි ත්‍රස්ත කල්ලියක් වීරාභිවාදනයට නගනවා නම් එතුමියගේ මියගිය ස්වාමියා ඇතුළු ඝාතනය වූ නව දහසකට අධික ආරක්ෂක අංශවල පිරිස් ඒ වගේම ලක්ෂ ගණන් අනාථ වෙලා දුක් විඳින ජනතාව ඒ වගේම දෙමළ සමාජය ආර්ථික සාමාජික වශයෙන් දශක කිහිපයක් ආපස්සට ගෙන ගිය ඒ ෆැසිස්ට් නාසි පාලනය පිළිගත්තා වෙනවා. ඉතින් මේ වගේ බාල ජනප්‍රියත්වයක් තුළින් තමන්ගේ ඡන්ද පදනම හදාගන්න යන හැමෝටම මට කියන්න තියෙන්නේ අමිර්තලිංගම්, යෝගේෂ්වරන් හිතුවෙත් ඔහොමයි 1974 දී. අර වැඩිහිටි නායකයෝ චෙල්වනායගම් ල, පොන්නම්බලම් ලා යම් මධ්‍යස්ථ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක ඉඳන්, යම් බෙදුම්වාදී රාමුවක ඉඳන් අදහස් ප්‍රකාශ කළත් ප්‍රචණ්ඩ තරුණ කල්ලියක හයියෙන් තමන්ට බලයට එන්න පුළුවන් කියලා එතුමන්ලා හිතුවා. නමුත් අවසානයේදී එතුමන්ලා ඝාතනය වුණේ සිංහල අන්තවාදයෙන්, සිංහල ජාතිවාදයෙන් හෝ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් නොවෙයි. එතුමන්ලව ඝාතනය කළේ එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන්. ඒක බිහිකරන්න අවශ්‍ය මතවාදී නායකයන් හැදුවෙත් එතුමන්ලාමයි. එනිසා ඔය එල්ටීටීඊය නැවත බිහිවීම ප්‍රාර්ථනය කරන විජයකලා වේවා වෙන කවුරුහරි වේවා ඒ අයට අපට කියන්න තියෙන්නේ ‘අපි ඕවට බය නෑ’ නමුත් අපට බය දෙමළ ප්‍රජාතන්ත්‍රවාදයේ පළමු ගොදුරු බවට පත්වෙන්නේ එල්ටීටීඊයට ආවඩන ඔය පිරිසමයි. අන්න ඒකට තමයි අපි බය.   


• ප්‍රශ්නය -  මේක විජයකලා මහේෂ්වරන්ගේ හුදකලා ප්‍රකාශයක්ද? එහෙම ප්‍රකාශයක් කරන්න ආණ්ඩුව ඇතුළේ යම් ඉඩක් තියෙනවා කියන එක බැහැර කරන්න බැහැ?   


පිළිතුර - නෑ. මේක තනිකරම ඇගේ හුදකලා ප්‍රකාශයක්. මේ ආණ්ඩුව කියන්නේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පැහැදිලි මතයක් තියෙන ආණ්ඩුවක්. රටේ ස්ථාවරයත්වය පිළිබඳ පැහැදිලි මතයක් තියෙන ආණ්ඩුවක්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අපි ආවේ. තිබුණ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගන්න. පුද්ගල නිදහස ආරක්ෂා කරන්න අපි ආවේ. සමාජ අාරක්ෂාව ආරක්ෂා කරන්න අපි ආවේ. ඒ නිසා එවැනි නිදහස් චින්තනය සහිත ආණ්ඩුවකින් නව නාසිවාදී අදහස්වලට ඉඩක් තියෙන්න විදියක් නෑ.   

 

මැතිවරණ නොතිබ්බොත් ඒ සඳහා වන වගකීම ආණ්‍ඩුවට එනවා බරපතළ විදියට. මැතිවරණ පරාජයන්ට විසඳුම මැතිවරණ කල් තැබීම නොවෙයි. ඒ පසුබැසීම්වලට නියම හේතු හොයලා ඒවට විසඳුම් හොයලා මැතිවරණවලට නිර්භයව මුහුණ දිය යුතුයි.


• ප්‍රශ්නය -  ඔබ එහෙම කිව්වත් උතුරේ කොටි නැගිටින සිදුවීම් වාර්තා වෙනවා. පුපුරන ද්‍රව්‍ය හමුවීම් කොටි සිතියම් ප්‍රදර්ශනය කිරීම් වගේම ඊයේ පෙරේදා තැනතැන කළු කොටි සැමරුමක් සිදු වුණා.   


පිළිතුර - මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු ඉතාම බරපතළ දේශපාලන වරදක් තමයි නිසි පුනරුත්ථාපනයකින් තොරව දොළොස් දහස් දෙසිය හැටක් එල්ටීටීඊ කාඩර්වරු නිදහස් කරපු එක. මේ පිරිස් අද විදේශගත වෙලා. සමහර අය ලංකාවේ විවිධ ස්ථානවල ස්ථානගත වෙලා. මේ පිරිස්වලත් සාතිශය බහුතරය ප්‍රජාතාන්ත්‍රික මාවතට පිවිසිලා තියෙනවා. නමුත් තවත් පිරිසක් තාමත් සිහින දකිනවා සන්නද්ධ ක්‍රියාදාමයක් සම්බන්ධයෙන්. ඒ වගේම ඇතැම් පිරිස් පටන් අරගෙන තියෙනවා නැවත වතාවක් එල්ටීටීඊ නාමයෙන් කප්පම් ගන්න. මිනිස්සු බියවද්දන්න. ප්‍රංශයේ පසුගියදා පවත්වපු හමුවකදී මාවෙයි සේනාධිරාජා මහත්තයා එතැනට ගිහාම එතුමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා එල්ටීටීඊයේ හිටපු සාමාජිකයෝ පිරිසක්. මේක හෙට වෙඩි ප්‍රහාරයක් බවට පත් වෙන්න පුළුවන්. හරි, ඒ වගේම පහුගිය ඊනියා විරු සැමරුම්වලදී දෙමළ දේශපාලන නායකයන් වන සම්බන්ධන්, සුමන්තිරන් ඇතුළු පිරිස්වලට කතා කරන්න එන්න එපා කියලා කිව්ව යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යයො. තරුණයෝ අතට මේක ගත්තා. විග්නේෂ්වරන්ට විතරයි කතා කරන්න දුන්නේ. මේ සියලු දේවලින් පේන්නේ ඒ බලහත්කාරි ප්‍රභාකරන්ගේ අංකුර බිහිවෙන්න දඟලන්න හදන බවයි. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ටීටීඊ සාමාජිකයන්ට අර ජවිපෙ සාමාජිකයන්ට වගේම ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ සංවිධානගතව දේශපාලනය කරලා ඉදිරියට යාමේ අයිතියක් තියෙනවා.   


• ප්‍රශ්නය - නමුත් කතා කරන්නේ ප්‍රභාකරන් නැගිටවන්න?   


පිළිතුර - ඒක තමයි මම කිව්වේ. ඔවුන්ට දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. නමුත් ඔවුන් සන්නද්ධ සෙල්ලමට ලෑස්ති වෙනවා. එහෙම පටන් ගන්නේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මරලා, බය කරලා, තර්ජනය කරලා. ඒකට කොහොමටවත් ඉඩ දෙන්න බැහැ. ඒ ප්‍රභාකරන්ගේ අංකුර අනුකම්පා විරහිතව මැඩලිය යුතුයි.   


• ප්‍රශ්නය -  නමුත් ආණ්‍ඩුව ඔහේ බලාගෙන ඉන්නවා. ඔබත් මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක්?   


පිළිතුර - ඔව්. ආණ්ඩුව අවශ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් බුද්ධි අංශ හරහා, එක පැත්තකින් විදේශීය රාජ්‍යතාන්ත්‍රික සබඳතා හරහා, අනික් පැත්තෙන් නීතිය හා සාමය ක්‍රියාත්මක කරන අංශ හරහා ක්‍රියාත්මක වෙනවා. පහුගිය කාලේ ඔය ඇති වෙච්ච සිදුවීම් එක්ක වහාම ඒක මර්දනය කරලා දහ දෙනෙක් අත්අඩංගුවට ගත්තා. හැබැයි මම කියන්න ඕනෑ මහින්ද රාජපක්ෂගේ කාලයෙත් 2009 ඉඳන් 2015 කාලය දක්වා හතර වතාවක් එල්ටීටීඊය සංවිධානය වෙලා හිස ඔසොවන්න කටයුතු කළා. වීර දිනයට පහන් පූජා කළා. උත්සව කළා. ඔය කතන්දර ඔක්කොම කළා. ඒ කාලයෙත් උතුර නිහඬව තිබුණේ නෑ. එක දිගටම ඕවා කෙරෙයි. ජවිපෙත් එහෙම නේ. නායකයෝ මැරුවා කියලා නතර වුණේ නැහැ නේ. හැබැයි අපිට තියෙන්න ඕනෑ එකම කාරණය මේ ක්‍රියාවලට දෙමළ සමාජය හෝ ශ්‍රී ලාංකේය සමාජය යට කරගෙන මතු වෙන්න මේ අංකුරවලට ඉඩ දෙන්න බැහැ.   


• ප්‍රශ්නය -  උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම. භට සංඛ්‍යාව සීමා කිරීම මෙන්ම හමුදා සෙබළුන් බලහත්කාරයෙන් විශ්‍රාම ගැන්වීම ආදිය හරහා උතුර අඩපණ වෙනව.....?   


පිළිතුර - හමුදාවේ කවුරුවත් බලෙන් විශ්‍රාම ගන්වලා නෑ. ඒක පට්ටපල් බොරුවක්. ඒ වගේම සාමකාමී වාතාවරණයක් තියෙන කොට හමුදා කඳවුරු හැමතැනම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවකුත් නෑ. ඒ වගේම උතුරේ සියලු හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා ඔය දෙමළ සන්ධානයේ ඇතැම් ජාතිවාදී පිරිස් කියන විදියට වැඩ කරන්නත් අපි සූදානම් නෑ. අත්‍යවශ්‍ය උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් තැන්වල හමුදා කඳවුරු පවතිනවා. ඒ වගේම අපේ බුද්ධි අංශ විසින් අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා අවශ්‍ය කරන වටපිටාව අවශ්‍ය ආකාරයට සකස් කරලා තියෙන්නේ. අපේ යුද හමුදාපතිවරයා බුද්ධි අංශය පැත්තෙනුත් ප්‍රහාරක අංශයෙනුත් ඉතා හොඳ දැනුමක් සහිත වැදගත් හමුදාපතිවරයෙක්.   


• ප්‍රශ්නය -  මනිරාසකුලම්වලදී ‘අවි තොපේය. බිම අපේය’ කියලා සටනට අවතීර්ණ වූ ඔබට මේ ආණ්‍ඩුව යටතේ එහෙම භූමිකාවකට ඉඩක් නෑ?   


පිළිතුර - මෙහෙමයි, ඒ වෙලාවේ ප්‍රභාකරන්ට කාල තුවක්කු තිබුණ නේ. අද ප්‍රභාකරන් විරෝධියෝ මුහුණු පොතේ ඉන්නේ. මොකද ප්‍රභාකරන් කෙනෙක් නෑනේ කාලතුවක්කුත් එක්ක අපි මනිරාසකුලමේ ‘අවි තොපේය, බිම අපේය’ කියලා ඉදිරියට යනකොට මාවිල්ආරුවේ අපි ඒ සේරුවිල ජනතාවගේ ජල අයිතිය ඉල්ලලා ඉදිරියට යනකොට කාලතුවක්කු ගත්ත ප්‍රභාකරන් කෙනෙක් හිටියා. අද ප්‍රභාකරන් විරෝධිව කතා පවත්වන අය ඉන්නේ ෆේස්බුක් එකේ. එදා අපි හිටියෙ මහ පොළොවේ. ඒ ගමන්වලට යන්න එඩිතර වෙච්ච පිරිස් බොහොමයක් හිටියෙ නෑ. ඒ වගේම මේ රට ෆෙඩරල් කරන්න හදපු අවස්ථාවේ ඒ කියන්නේ චන්ද්‍රිකා, මහින්ද ආණ්‍ඩුව කාලේ ජී.එල්. පීරිස් බෙදුම්වාදී පැකේජය ගේන වෙලාවේ මාරාන්තික උපවාස කරලා ඒක හැරෙව්වේ අපි. ඊළඟට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට සුනාමි සහන මණ්ඩලය ගෙන ආපු වෙලාවේ මාරාන්තික උපවාස කළේ අපේ ඕමල්පෙ සෝභිත හාමුදුරුවොනේ. වෙන කවුද?   


• ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ මේ ආණ්ඩුව යටතේ ඒ වගේ දේශප්‍රේමී වැඩ කරන්න ඔබට ඉඩක් නෑ කියලයි. ඉඩ තියෙන්නේ විජයකලා වගේ අයටයි.   


පිළිතුර - මෙහෙමයි, සටන් බිමේ තීරක අවස්ථාවල අපි සටන් කරපු අය. දැන් අපේ භූමිකාව වෙනස් වෙලා. සංවර්ධන භූමිකාව, ප්‍රජාතන්ත්‍රවාදය භූමිකාව හා නිදහස් සමාජයක් බිහිකිරීමේ භූමිකාව අපි අතට අරන් තියෙනවා. මනිරාසකුලමේ අරගලයේ තිබුණු ඒ ගැම්ම අපි දැන් වෙන තැනක ඒ විදියටම යොදවනවා. අපි ඉදිරි කාලයේ 2019දී මේ සමාජය මීටත් වඩා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක් බවට පත් කරන්න ඒ ගැම්ම පාවිච්චි කරනවා.   


• ප්‍රශ්නය -  ඡන්ද කෝ? කෝ එතකොට ඔය ඔබ කියපු ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධ භූමිකාව?   


පිළිතුර - පැහැදිලිවම කියන්න ඕනෑ. පළාත් සභා මැතිවරණ මහින්ද රාජපක්ෂ යුගයේ එකට තියන්නේ නැතිව කොටස් වශයෙන් තිබ්බා. ඒකට හේතුවක් තිබුණා. ඒ තමයි ආරක්ෂක ප්‍රශ්නය. හැබැයි දෙවැනි වතාවේ 2009න් පස්සේ කඩින්කඩ පළාත් සභා මැතිවරණ තිබ්බේ විරුද්ධ පක්ෂ දුර්වල කිරීම සඳහායි. ඒ වගේම දැන් පළාත් සභා මැතිවරණය සඳහා අලුත් ඡන්ද ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. ආසන ක්‍රමය හා අනුපාත ක්‍රමයෙ සම්මිශ්‍රණයක් විදියට. ඒකට තව අණ පනත් සම්මත වෙලා තව දුරක් යා යුතුයි. හැබැයි ඒක එහෙමයි කියලා ඡන්ද අයිතිය උදුරා ගැනීම සුදුසු නැහැ. එ් නිසා සියලු පක්ෂ කතා කරලා සියලු පළාත් සභා ටික එකට එකතු කරලා මේ වසර ඇතුළත පරණ ක්‍රමයට වහාම පැවැත්විය යුතුයි. ඒක තමයි අපේ ස්ථාවරය.   

 

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එන එක බැසිල් මහත්තය බලා ගනී. අපි ඔය පවුලේ වැඩ ගැන හොඳට දන්නවා. අද මේ රටේ ප්‍රශ්නය බැසිල් ද ගෝඨාභය ද කියන එක නොවෙයි


• ප්‍රශ්නය -  එහෙම නොතිබ්බොත් ඔබ මොකද කරන්නේ?   


පිළිතුර - නොතිබ්බොත් ඒ සඳහා වන වගකීම ආණ්‍ඩුවට එනවා බරපතළ විදියට. මැතිවරණ පරාජයන්ට විසඳුම මැතිවරණ කල් තැබීම නොවෙයි. ඒ පසුබැසීම්වලට නියම හේතු හොයලා ඒවට විසඳුම් හොයලා මැතිවරණවලට නිර්භයව මුහුණ දිය යුතුයි. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියා කරනවා, ඉදිරියේදී ඔබට පෙනෙයි. මේ සම්බන්ධයෙන් යම් යම් සන්නිවේදන ගැටලු තියෙනවා වෙන්න පුළුවන්. මෙතැන වුණොත් ඒකයි.   


• ප්‍රශ්නය - ඒක එහෙම වෙන්න පුළුවනි. නමුත් රට අයාලේ යනවා. ඒක එහෙම නොවෙයි කියලා කියන්න බැහැ.   


පිළිතුර - ඒක මේ ජන මාධ්‍ය වාර්තාකරණයෙන් පෙන්නුම් කරන දෙයක්. උදාහරණයක් හැටියට අපරාධ ගන්න. එදා 2010-2012 තිබුණ අපරාධ හා දැන් තියෙන අපරාධ දිහා බැලුවම සැලකිය යුතු අඩුවක් තියෙනවා. උද්ඝෝෂණවල සැලකිය යුතු වැඩිවීමක් තියෙනවා. ඒකට හේතුව නිදහස තිබීම. මෙතැන තියෙන ප්‍රශ්නය අපරාධ වාර්තා කරණයයි. ඒක බරපතළ විදියට උළුප්පා දක්වනවා. අනික් කාරණය තමයි ඔය ගෝඨාභය රාජපක්ෂ කියනවා වගේ ඒ කාලයේ බොහෝම විනයගරුක රටක් තිබුණේ නෑ.   


• ප්‍රශ්නය -  නමුත් අද කුඩු හා පාතාලය රජ කරනවා.   


පිළිතුර - ඒ කාලෙත් කුඩු ගෙනාවා. එහෙම ගෙනාවේ රාජපක්ෂලාට හිතවත් කුඩු කාරයෝ. අනික් කුඩුකාරයෝ මර්දනය කළා. උන් රටින් පැනලා ගියා. ඒ කාලයේ පාතාලයත් තිබුණා. ඒ තිබුණේ රාජපක්ෂලාගේ පාතාලය. අනික් පාතාලය මර්දනය කළා. උන් රටින් පැන්නා. එතනෝල් මාෆියාවක් තිබුණා. රාජපක්ෂ හිතවතුන්ට විතරක් ඒකට ඉඩ තිබුණා. එ් නිසා රාජපක්ෂලාට හැඟෙන දේ ඇත්ත. ඒ රාජපක්ෂලාගේ පැත්තෙන්. නමුත් රටේ ජනතාවගේ පැත්තෙන් රාජ්‍ය කුඩු කල්ලිය හිටියා. රාජපක්ෂ පාතාලය හිටියා. රාජපක්ෂ එතනෝල් කල්ලිය හිටියා. මේවා සාක්ෂි සාධක සහිතව වෙච්ච දේවල්. මහ පාරේ ඝාතන රැළි තිබ්බා. අද සිද්ධ වෙන්නේ මොකක්ද?   
ලසන්ත වික්‍රමතුංග පාරේ මැරුවා වෙන්න පුළුවන්. පොඩි සීයා මැරුවා වෙන්න පුළුවන්. මර්වින් සිල්වාගේ ගෝලයන් මැරුවා වෙන්න පුළුවන්. ඒව ඔක්කොම රාජ්‍ය අනුග්‍රහය යටතේ වුණේ. අද මේ සිද්ධ වෙන්නේ පෞද්ගලිකව. මේකට රජයේ මැදිහත්වීමක් නෑ.   


• ප්‍රශ්නය - ජනතාව ආරක්ෂා කරන්නත් රජය මැදිහත් වෙන්නේ නෑ?   


පිළිතුර - අනිවාර්යයෙන්ම මෙතැන තියෙනවා ප්‍රශ්න කිහිපයක්. එක පැත්තකින් පොලිසියට මේවට සෘජුව මැදිහත් වෙන්න පුළුවන්ද කියන කාරණය. පොලිසිය පන්වලා තියෙනවා පහුගිය යුද සමයේදීත් ඔවුන් ඉතා දක්ෂ පිරිසක් බව. අධිකරණය අපි නිදහස් කළා. ස්වාධීන කළා. අද අධිකරණයට දේශපාලන පත්වීම් දීල නෑ. අධිකරණයේ පඩි වැඩි කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ, විනිසුරන්ගේ පඩි සියයට 29කින් වැඩි කළා. නමුත් නඩු විභාග වෙන්නේ නෑ. හත් ලක්ෂ පනස්දාහක් නඩු ගොඩ ගැහිලා තියෙනවා. මේ රටේ මිනිසුන්ට අධිකරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් බලන්න? විදුලිබල මණ්ඩලය දූෂිතයි කියනවා. නමුත් ස්විච් එක දැම්මම ලයිට් පත්තු වෙනවා. ජල මණ්‍ඩලය දූෂිතයි කියනවා නමුත් ටැප් එක ඇරියම තාමත් වතුර එනවා. දුම්රිය දෙපාර්තමේන්තුව දූෂිතයි කියනවා. නමුත් ස්ටේෂමට ගියාම කෝචිච් තියෙනවා. ඒත් වෙලාවට උසාවි ගියාට නඩු අහන්නේ නෑ. ඒක කල් යනවා. අවුරුදු දාහතාමාරක් යනවා එක නඩුවක් විසඳන්න. ඉඩම් නඩුවක් අවුරුදු 33ක් යනවා. මේ ප්‍රශ්නය විසඳන්න ඕනෑ මේක ඇතුළේ. එහෙම නැත්නම් ජනතාවගේ සහභාගීත්වයෙන් මේක විසඳන්න ඕනෑ. එහෙම නොවුණොත් මිනිස්සු පාරට බැහැලා යුක්තිය ඉටුකර ගැනීමට උත්සාහ දැරීම සිය දහස් ගුණයකින් වැඩි වෙනවා. යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ජනතාවට තියෙනවා. ඒක මේ අධිකරණය අවබෝධ කර ගත යුතුයි. ඒ වගේම බලගතු පිරිස්වලට මේ අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ නෑ. හොඳම උදාහරණය ඇවන්ගාඩ්, පතුරමක් තියා ගත්ත මිනිස්සු ගිනි අවි ආඥා පනත යටතේ හිරේට ගන්නවා. ඒත් තුවක්කු තුන් දාහක් තුන් තැනක තිබිලා හමුවෙලා හැබැයි නඩු නැහැ.  

 

මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු ඉතාම බරපතළ දේශපාලන වරදක් තමයි නිසි පුනරුත්ථාපනයකින් තොරව දොළොස් දහස් දෙසිය හැටක් එල්ටීටීඊ කාඩර්වරු නිදහස් කරපු එක. මේ පිරිස් අද විදේශගත වෙලා. සමහර අය ලංකාවේ විවිධ ස්ථානවල ස්ථානගත වෙලා. මේ පිරිස්වලත් සාතිශය බහුතරය ප්‍රජාතාන්ත්‍රික මාවතට පිවිසිලා තියෙනවා. නමුත් තවත් පිරිසක් තාමත් සිහින දකිනවා සන්නද්ධ ක්‍රියාදාමයක් සම්බන්ධයෙන්.


• ප්‍රශ්නය -  ඒක අධිකරණ ක්‍රියාමාර්ගයක් මිසක් වෙනත් දෙයක් නොවෙයි?  


පිළිතුර - ඔව්. ඉහළ අධිකරණයෙන් පහළ අධිකරණයට බලපෑම් කරනවා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය, අගවිනිසුරුතුමා ඇතුළු පිරිස් මේ පිළිබඳව වහා පියවර නොගත්තොත් දැන් ජනතාවට අවස්ථාව ලැබෙනවා. ප්‍රධාන අධිකරණය පාර්ලිමේන්තුව නිසා ඊළඟ පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්යභාරය වෙන්නේ අධිකරණය අපක්ෂපාතී කිරීමත් අධිකරණය කාර්යක්ෂම කිරීමත්. මේකට උත්තරය ඒකාධිපතියෝ ගේන එකනම් නොවෙයි.  


• ප්‍රශ්නය - ඊළඟ ජනාධිපතිවරණයට ​ගෝඨාභය රාජපක්ෂ එන බව කියැවෙනවා. ඔබ ඒකාධිපති කියන වචනය පාවිච්චි කළේ‍ ඒකට විය යුතුයි.  


පිළිතුර - ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එන එක බැසිල් මහත්තය බලා ගනී. අපි ඔය පවුලේ වැඩ ගැන හොඳට දන්නවා. අද මේ රටේ ප්‍රශ්නය බැසිල් ද ගෝඨාභය ද කියන එක නොවෙයි. මේ රට දැන්වත් දැනගන්න ඕනෑ උප්පැන්න සහතිකයෙන් රාජ යෝග හදන ක්‍රමය වෙනුවට හැකියාව කුසලතාව සහතිකයෙන් රාජ යෝග හදන රටක් හදන්න. ඒක මේ රටට අත්‍යවශ්‍යයි.  


• ප්‍රශ්නය - ආණ්ඩුවේ ආතතියට පත්වෙලා ඉන්න විවිධ පිරිස් ඔබ සමග අලුත් බලවේගයකට සූදානමින් ඉන්න බවට පුවත් පළවුණා?  


පිළිතුර - මෙහෙමයි. පැහැදිලිවම අපි මේ රටට කරුණු කිහිපයක් මත දේශපාලන දැක්මක් ඉදිරිපත් කරනවා. මේ රටට අද අවශ්‍යයි පවුල් වාදයවත්, ගජමිතුරු වාදයවත් නොවන කුසලතාවයට මුල් තැන දෙන රටක් හැදීම. ඒ වගේම අද මේ රටට අවශ්‍යයි නවෝත්පාදනය පදනම් කරගත්ත නව ආර්ථික ගමනක් යන්න. අද මේ රටට අවශ්‍යයි යුක්තිය පසිඳලන සමාජයක් ඇති කරන්න. මෙන්න මේ කරුණු තුන මත අපි ඔය රාජපක්ෂලාගේ පොහොට්ටුව ගැන කතා කරන්නේ නෑ. ඒක වෙනම බල කඳවුරක්. ඒකේ ඉන්නේ දේශපාලනමය වහල්ලු රැළක්. ඒ වහල්ලු ගැන අපි අනුකම්පා කරනවා. නමුත් වහල්ලු නොවන නිදහස් මිනිසුන්ට නිදහස් වේදිකාවක් අවශ්‍යයි. ඒක අපි ගොඩනගනවා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ විතරක් නොවෙයි පක්ෂවල නැති සිංහල, දෙමළ, මුස්ලිම් නොයෙක් ආකාරයේ පිරිස් විශේෂයෙන්ම වෘත්තීයවේදීන් ඉදිරියේදී එකතුවෙයි.  


• ප්‍රශ්නය - රාජපක්ෂලාට එරෙහි පොදු අපේක්ෂක සූට් එක ඔබ මහගෙන ඉන්නේ?  


පිළිතුර - නෑ. අපි පොදු අපේක්ෂක සූට් මුකුත් මහගෙන නෑ. අපි ජනතාවගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කර ගැනීම සඳහා ඒ ක්‍රියාදාමයට නායකත්වය දෙනවා.

 

 

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්