රාජපක්ෂ කල්ලියේ අනාථයෝ ආණ්ඩුවත් එක්ක හොරෙන් ඩීල් දානවා


වර්තමාන දේශපාලනය ගැන මෙම අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගෙනි.

 

පළාත් සභා කල් දාන්න ආණ්ඩුව කරපු කුමන්ත‍්‍රණයේදී ජේ.වී.පී. එක ආණ්ඩුව එක්ක හවුල් වුණු එකෙන් දෙගොල්ලො අතරෙ තියෙන ඩීල් එක රටටම හෙළිදරවු වුණා කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා.   


ඔය කතාව කියන්නේ ඒකාබද්ධ විපක්ෂ කල්ලිය විතරයි නේ. රටේ ජනතාව එහෙම දෙයක් කියන්නේ නෑනේ. ඩීල් කියන්නේ හොර රහසේ සිදුවෙන දෙයක්. අයුතු ලාභ ප‍්‍රයෝජන වෙනුවෙන් කෙරෙන දෙයක්. ජනතා විමුක්ති පෙරමුණේ කවුරු හරි මේ හරහා අයුතු ලාභ ප‍්‍රයෝජන අරගෙන තියෙනවද කියලා පුළුවන් නම් ඔය චෝදනා කරන අයට කියන්න කියන්නකෝ.   


අපි මේ ආණ්ඩුව එක්ක ඩීල් දාගෙන මොනවද අරගෙන තියෙන්නේ. ඔය රාජපක්ෂ කල්ලියේ අනාථයො නම් හොරෙන් හොරෙන් ඕනෑ තරම් ආණ්ඩුව එක්ක ඩීල් දාගෙන තියෙනවා. අපි පාර්ලිමේන්තුවට ගිහින් ති​ෙයන්නේ හැමදේම කඩාකප්පල් කරන්න නෙවෙයි.   
ඒකද ඒ වෙලාවෙ ආණ්ඩුවට දුන්නේ?   

මේක සම්පූර්ණයෙන්ම සාධාරණයි. පළාත් සභා සංශෝධන පනතේ කිසිම ගැටලුවක් අපට නෑ. නව ඡන්ද ක‍්‍රමය, මනාප ක‍්‍රමය අයින්වීම ආසනයට මන්ත්‍රී කෙනෙක් ඉඳීම, කාන්තා නියෝජනය වැඩිවීම වගේ කාරණාවලට අපේ කිසිම විරෝධයක් නෑ. ඒවා අපිත් එකඟ කාරණා. හැබැයි මේ පනත ගෙනාපු විදියෙ අවුලක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. මේක හරිම පිළිවෙළට කල්වේලා අරගෙන පැහැදිලිව ගේන්න තිබුණා. මේ ආණ්ඩුවට මහ බැංකුව හොරකම් කරන්න සැලසුම් තිබුණට මේ පනත පිළිවෙළකට ඉදිරිපත් කරන්න සැලසුමක් තිබුණේ නෑ. මේක ගෙනාපු විදියේ අවිධිමත් බව ගැන අපිට විවේචනයක් තිබුණට අඩංගු කාරණා ගැන විවේචනයක් නෑ. ගෙනාපු විදියේ අවුලට වඩා මේකෙන් ලැබෙන වාසි වැඩියි. ඒකයි අපි මේකට පක්ෂ වුණේ.   

 


මේක කොළේ වහලා ගැහැල්ලක් කියලනේ සමහරු කියන්නේ?   
අපි නම් කියන්නේ පළාත් සභා සියල්ල එක දවසක පැවැත්වීම සුදුසුයි. 2008 වෙනකම් මේ​ෙක ලොකු අවුලක් තිබුණෙ නෑ. මහින්ද රාජපක්ෂ තමයි 2008 ඉඳලා යුද්දෙ යද්දි යුද මෙහෙයුමෙන් යුද මෙහෙයුමට ඡන්ද තිබ්බෙ. මේක ඡන්ද හයකට කඩලා තිබ්බෙ. යුද්දෙ අස්සෙ වාසිම වෙලාවට ඡන්ද තිව්වෙ මහින්ද රාජපක්ෂ. මේ නිසා අපි දිගටම ඉඳපු අදහස තමයි සියලු පළාත් සභා ඡන්ද එක දවසක පැවැත්විය යුතුයි කියන එක. ඒක නිසා අපි මේ සම්මත කරපු පනතට සහය පළ කළා. අපි මේකට සහය දෙනකොට කොන්දේසි දාලා තමයි සහාය දුන්නේ. අපි කිව්වෙ ප‍්‍රාදේශීය සභා මැතිවරණය ලබන ජනවාරියේම අනිවාර්යෙන්ම පවත්වන්න එකඟ වෙනවා නම් පමණයි අපි මේ පනතට සහයෝගය දෙන්නේ කියලා. ඒකට පාර්ලිමේන්තුවෙ කතානායක සහ සියලු පක්ෂ නායකවරු එකඟ වුණා.   
ඔය දාපු කොන්දේසි කැඩුවොත් ...   


මේක පාර්ලිමේන්තුවෙ වැඩක් නෙ. පාර්ලිමේන්තුව දැන් එකඟ වෙලා තියෙන්නේ. අපි මේ කොන්දේසි දාපු ක‍්‍රමයට ඡන්දෙ කල් දාන්න බෑ.   

 


ආණ්ඩුව බොහෝ කාරණාවලදී ඔබලා සහ ඒකාබද්ධ විපක්ෂය එක වගේ විරුද්ධ වුණේ. මේ කාරණයේදී ඒකාබද්ධ විපක්ෂය, ඔබලා මේකෙ දැකපු හොඳ දැක්කෙ නැත්තෙ ඇයි එහෙනම්?   
ඒකාබද්ධ විපක්ෂය එක කණ්ඩායමක් නෙවෙයි. කෑලි කීපයක එකතුවක්නෙ ඒක. කුමාර වෙල්ගම කියලා තිබුණා මේකට විරුද්ධවෙලා ඒ අය කෙරුවෙ වැරැද්දක් කියලා. ඒකාබද්ධෙ අයටම එකඟතාවක් නෑ මේවා ගැන. මේ පනත සම්මත කරන වෙලාවෙ ඒකාබද්ධ විපක්ෂෙ 17 දෙනෙක් සහභාගි වුණේ නෑ. මේකට ඔය තරම් විරුද්ධ නම් ඇයි ඒ වෙලාවෙ පාර්ලිමේන්තුව මඟ ඇරියේ? එතකොට ඒ අයගෙ ස්ථාවරය ගැන ප‍්‍රශ්නයක් තියෙනවනේ. මහින්ද රාජපක්ෂවත් මේ අවස්ථාවෙ විරුද්ධ වෙන්න හිටියේ නෑ. බොරුවට එළියේ කෑ ගහනවා විතරයි. ඒ අය ඇත්තටම දුෂ්ට වැඩකදි නම් හනික ඉස්සරහට එනවා. රටට හොඳ දෙයක් වෙද්දි හැංෙඟනවා.   

 


අලූත් ව්‍යවස්ථාව ගැන රටම කතා කරනවා. ජේ.වී.පී. එක මොකද මේ ගැන කියන්නේ?   
ව්‍යවස්ථාවක් අලුතෙන් හැදිලා ඒක ජනතා බලයෙන් සම්මතවීම හොඳයි කියලා තමයි අපේ අදහස. අපි ව්‍යවස්ථා සංශෝධනයට හවුල් වෙන්නේ කාරණා කීපයක් මුල්කරගෙන. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, සාධාරණ ඡන්ද ක‍්‍රමයක් ඇතිවීම, පොදු මහජනතාවගේ සහ රටේ පීඩාවට පත්වෙච්ච ජනතාවගේ අයිතිවාසිකම් තව දුරටත් ශක්තිමත් විය යුතුයි කියන කාරණා මත තමයි අපි ව්‍යවස්ථා සම්පාදක කි‍්‍රයාවලියට හවුල් වුණේ. මේ විදියට වැඩේ කෙරෙනවා නම් අපි අපේ සහාය දෙනවා. දැනට අපි මේ කමිටු වාරවලට සහභාගි වෙලා අපේ අදහස් විවේචන අපි ලබාදීලා තියෙනවා.   

 


මේ අලුත් ව්‍යවස්ථා කතාවත් එක්ක ආපු කාරණයක් තමයි බුද්ධාගමට නිසි තැන අහිමි වෙනවා කියන එක. ඔබ පිරිස මේ ගැන දැනුම්වත්ද? 
මේකට පිළිතුර මල්වතු මහනායක හිමියන්ම දීලා තිබුණා. අපි නම් හිතන්නේ අපේ රටේ සියළු ආගම් අදහන අයටත් ආගම් අදහන්නේ නැති අයටත් සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුයි කියන එක. කිසිම කෙනෙක් බුදු දහමට තියෙන තැන නැති කරන්න කියලා නෑ. ඒක අලුත් ව්‍යවස්ථාවකදී වෙන්න ඉඩක් නෑ. මේක බොරු බියක්. දැන් මේ බුද්ධාගම රකින්න කතා කරන්නේ ජාතිවාදි ආගම්වාදි තක්කඩි රැළක් නේ. බෞද්ධ කොඩියෙනුයි ජාතික කොඩියෙනුයි නිරුවත වසා ගත්ත හොරු ටිකක් දැන් බොරු බිල්ලෙක් මවනවා. සිල් රෙදි හොරකමට සම්බන්ධ අය බේරගන්න පිණ්ඩපාතේ ගිය සිවුරු චෞර නිකායේ කෙනෙක් තමයි මේ කතාව කර තියාගෙන යන්නේ. මහනායක හාමුදුරුවරුවත් මේ වගේ කතාවක් කියන්නේ නෑ. මේක තාම අන්තිම ලියවිල්ල නෙවෙයි. මේක සාකච්ඡා පත‍්‍රිකාවක් මට්ටමේ තියෙන්නේ. රටට අහිතකර දෙයක් මේ හරහා සිද්ධවෙන්න ඉඩ දෙන්නෙ නෑ.  

 

සාකච්ඡා කළේ
ප්‍රියන්ත කොඩිප්පිලි