රවි කරුණානායක බිල්ලට දීලා මේ පාපකර්මයෙන් ගැලවෙන්නයි එයාලා හදන්නේ


 

රටේ දේශපාලනය ඉහළට පහළට හිස් කොටු ඇති හරස්පද ප්‍රහේලිකාවක් බඳුය. මේ ඒ දේශපාලනය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- ඥාතීන්ට හා හිතවතුන්ට ආණ්ඩුවේ ගෙවල් කුණු කොල්ලයට දීපු ඔබට ඇමැති රවීට ගෙවල් ලැබීම ගැන කතා කරන්න අයිතියක් නෑ?  
පිළිතුර:-
පළමු කාරණය තමයි ආණ්ඩුවේ ගෙවල් කාටවත් කුණු කොල්ලයට දීලා නෑ. විමල් කුමාරද කොස්තාට ගෙයක් දුන්නේ මම නිවාස ඇමැති හැටියට ඉන්න කාලේ. ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබපු රංගන ශිල්පි ජගත් චමිලට ගෙයක් දුන්නේත් ඒ කාලෙමයි. ඒ වගේම මහජන දිනයේදී මාව හමුවෙන්න ආපු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තු දරුවකුට නිවෙසක් දුන්නෙත් ඒ කාලේ. ශිෂ්‍යත්වයෙන් පළමු වැනියා, දෙවැනියා, තුන්වැනියා වෙච්ච දක්ෂ දරුවන්ට ඉඩමක් නැත්නම් ගෙයක් නැත්නම් ඉඩමක් දීලා ගෙයක් හදලා දුන්නේ මම නිවාස ඇමැතිවෙලා හිටපු කාලේ, කැලණි පාලම යට අන්ත දුක් විඳිමින් වුණත් උසස් පෙළ උසස් ලෙස සමත් වුණු දියණියට නිවෙසක් දුන්නෙත් මම නිවාස ඇමැතිවෙලා ඉන්දැද්දී.  


ප්‍රශ්නය:- නමුත් ම​ෙග් ප්‍රශ්නය වුණේ ඥාතීන්ට හා හිතවතුන්ට...  
පිළිතුර:-
ඔහොම ඉන්න මම කියාගෙන ආපු ලැයිස්තුව තව දිගයි. මොරටුව කොරළවැල්ල, ප්‍රදේශයේ මුහුදු ඛාදනයට ලක්වෙන පවුල් සිය ගානකට නිවාස සංකීර්ණයක් හදලා දුන්නේ මම. ඔහොම කිව්වොත් ගොඩක් කියන්න පුළුවන්. ඔබ අහපු ප්‍රශ්නයට අනුව ඥාතීන් වුණත් ඔවුන් ගෙවල් අරගෙන තියෙන්නේ නියමිත ක්‍රියා පටිපාටියට අනුව වැරදි ක්‍රියා පටිපාටියක් අනුගමනය වෙලානම් මෙලහකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. එතැන නීතිය ක්‍රියාත්මක කරන්න වරදක් වෙලා නෑ කියලා ඔප්පු වෙලා තියෙනවා. බොරු අවලාදවලට යොදා ගැනීම පමණයි සිදුවෙන්නේ.  


ප්‍රශ්නය:- ඇමැතිවරයකුට යාළුවෝ ආශ්‍රය කරන්න බැරිද? ඔවුන්ගෙන් තෑග්ගක් ගන්න බැරිද?  
පිළිතුර:-
ඔය එකක්වත් නොවෙයිනේ මෙතැන වෙලා තියෙන්නේ. මෙතැන වෙලා තියෙන්නේ රවි කරුණානායක ඇමැතිවරයා මුදල් ඇමැතිවරයාව සිටියදී මුදල් අමාත්‍යාංශයේ බදු සහන වරප්‍රසාද යටතේ ඔය කියන අර්ජුන ඇලෝෂියස් මඩකළපුව කල්කුඩා ප්‍රදේශයේ අරක්කු නිෂ්පාදනාගාරයක් ආරම්භ කරනවා. ඒකට බදු සහන ලැබෙනවා. වෙනත් වෙනත් අනුග්‍රහයන් ලැබෙනවා. එතකොට ඒ ව්‍යාපෘතිය පටන් ගත්තු පුද්ගලයා මිලියන එක්දහස් ගාණක් වියදම් කරලා රවි කරුණානායක අමාත්‍යවරයාට නිවාසයක් අරන්​ දෙනවා. එතකොට මේක දිහා බලන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකට රවි කරුණානායක මහත්තයා ඒකට දීපු උත්තරය මොකක්ද?  


ප්‍රශ්නය:- ඇමැති රවි කියනවා ඔහු දන්නේ නෑ. බිරිය හා දියණිය තමයි මේ ගනුදෙනු කළේ කියලා. කාර්ය බහුල ඇමැතිවරයෙක් හැටියට එහෙම වෙන්න බැරිද?  
පිළිතුර:-
නමුත් මෙහෙමනේ. ඕක සාමාන්‍යයෙන් වෙන්න කලින් දන්නේ නැහැ කියලා පිළිගන්න පුළුවන්. නමුත් වුණාට පස්​ෙස් දැනගන්න පුළුවන්නේ. ඔහු නිකම්වත් අහන්නේ නැද්ද බිරියගෙන් මේ ගේ ගන්න සල්ලි කොහෙන්ද කියලා. ඒ නිසා දන්නේ නැහැ කියන කතාව පිළිගන්න පුළුවන් කතාවක් නොවෙයිනේ. අනික මේ අය ඔක්කොම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු හැමෝටම හොරු හොරු කියලා කියාගෙන ආපු අයනේ. අසාධාරණ අභූත චෝදනා එල්ල කරපු අයනේ. දැන් මේ දිට්ඨ ධම්මවේදනීය කර්මයනේ විපාක දෙන්නේ. මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා ලේකම් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක අහු​ෙවනවා පොලිසියට.  


ප්‍රශ්නය:- නමුත් පොලිසිය උසාවියට කිව්වේ ‘ඒ් වාහනයේ ඔවුන් හිටියා පමණයි.’ කියලයි.  
පිළිතුර:-
බලන්නකෝ මුලින්ම දීපු කට උත්තරවල මොනවද තියෙන්නේ කියලා. ඒ කට උත්තර විනාශ කරලා පොලිසියට ආපු බලපෑම් නිසා. එස්.ටී.එෆ් එකෙන් අල්ලන්නේ. ඇල්ලුවාම කියන්නේ මේ දේවල් අහවලාට ගෙනියන්නේ.’ කියලා එතකොට ඒ වෙලාවේ මංගල සමරවීර ඇමැතිවරයාගේ දුරකථනයෙන් කී පාරක් පොලිස්පතිවරයාට කතා කරලා තියෙනවද කියලා බලන්න. ඒකෙන් බලාගන්න පුළුවන් මොනතරම් බලපෑමක් වුණාද කියලා. අන්තිමට තුන් දෙනාම අත්අඩංගුවට අරන් ගල්කිස්ස පොලිසියට බාර දෙනවා. ගල්කිස්ස පොලිසිය පොලිස් ඇප මත මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරියාවයි තව කෙනෙක්වයි නිදහස් කරනවා. මේ රටේ ඕනෑම තරුණයෙක් දන්නවා ඒ වගේ මත්ද්‍රව්‍ය තොගයක් එක්ක අහුවුණා නම් කවදාවත් පොලිස් ඇප ලැබෙන්නේ නැහැ. ඒ වගේම උසාවියට ඉදිරිපත් කරලා රිමාන්ඩ් කරපු කෙනාටත් ඇප ලැබෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාජ චෝදනා වලින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගහපු අය අද මත්ද්‍රව්‍ය එක්කම අත්අඩංගුවට පත්වෙනවා. ඇත්ත හොරා, කුඩු කාරයන් කවුද කියලා ලෝකය හමුවේ අනාවරණය වෙමින් තියෙනවා. ඉතින් මේක ඇත්තටම දිට්ඨ ධම්මවේදනීය කර්මයක් තමයි.  


ප්‍රශ්නය:- බැඳුම්කර ගනුදෙනුව ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්නේ ජනාධිපති මෛත්‍රියි. මේ කරුණු අනාවරණය වුණේ ඒ නිසයි. ඒ ගෞරවය ඔබ ජනාධිපති මෛත්‍රිට දෙනවද?  
පිළිතුර:-
කිසිසේත්ම නෑ.  


ප්‍රශ්නය:- ඇයි ඒ?  
පිළිතුර:-
ඒකට හේතු තියෙනවා. මේ බැඳුම්කර වංචාව ගැන මුලින්ම අනාවරණය කරපු වෙලාවේ ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි මුලින්ම අගමැතිවරයා මොකක්ද කළේ ඔහුගේ පක්ෂය සම්බන්ධ නීතිඥයන් පිරිසක් දාලා වාර්තාවක් ගත්තා. ඒ වාර්තාවේ මුකුත් නෑ. මේ වංචාව ශුද්ධ කළා. ඊට පස්සේ අපි බලපෑම් කරල කෝප් සභාවට.. ඩිව් ගුණසේකර මහත්තයයි ඒ කාලේ සභාපති එතුමා යටතේ මේ පරික්ෂණය කළා. පරික්ෂණ කරල වාර්තාව එළිදක්වන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ජනාධිපතිවරයයි විසුරුවා හැරියේ. මහ මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරයා කියනවා. අගමැතිවරයාව බේරාගන්න මට කලින් පාර්ලිමේන්තුව විසුරුවන්න වුණා කියලා එහෙම විසිරෙව්වේ ඇයි. මේ හොරකම හෙළි කරන පළමු කෝප් කමිටු වාර්තාව එළිදක්වන එක වළක්වන්න. එහෙමයි මේ ජනාධිපතිවරයා මේ හොරකම හෙළිදරව් වන එක වළක්වන්න රනිල්ට උදව් කළේ. ඊට පස්​ෙස් දෙවැනි පාර්ලිමේන්තුවට දෙවැනි කෝප් කමිටුවට මේ ගැන හොයන්න කියලා යෝජනා කළේ මහින්දානන්ද අලුත්ගමගේ හා වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරුන්. ඒ අනුව ඒ පරීක්ෂණය කරලා ඒ වාර්තාව එළියට දැම්මා. ඊට පස්සේ ඒ වාර්තාවත් එක්ක තවත් කරුණු ගොඩක් තව එළියට එන්න පටන් ගත්තා. අන්තිමට මොකද වුණේ මේ ඔක්කොම එළියට ආවට පස්සේ අධිකරණයට මේ ප්‍රශ්නය ගෙනියන්න ඕන. නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. තව හොයන්න දෙයක් නෑ. තව හොයනවා නම් උසාවියේ ක්‍රියාදාමය ඇතුළේ ඒක හොයන්න පුළුවන්. තවත්  මේක  කල් අද්දන්න තමයි මේ ජනාධිපති කොමිසම දැම්මේ.


ප්‍රශ්නය:- ඒ කියන්නේ මෛත්‍රිගේ මල්ලේ සියඹලා තිබිලම නැහැ.? 
පිළිතුර:-
මෙහෙමයි. මේ කොමිසම දැමීමේ අරමුණ වෙන  එකක් වුණත් ප්‍රතිඵලය බලාපොරොත්තු නොවුණ දෙයක් වුණේ. හරියටම හොරකමක් ගැන හොයාගෙන යන කොට කරපු හොරකම් කරපු තොගයකුත් අහුවුණා වගේ වැඩක්. රවි කරුණානායකට වුණේ ඒ වගේ දෙයක්. කොහොම හරි මේ මහා හොරකමට එරෙහිව විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය අාරම්භයේ සිටම අල්ලස් කොමිසමට පැමිණිලි කරමින් විවිධ ආකාරයේ ක්‍රියාමාර්ග ගනිමින්, ඔබට මතක ඇති අපි එක පාරක් මහ බැංකුව වටලා ලොකු උද්ඝෝෂණයක් කළා. ඒ කරපු අරගලයේ ප්‍රතිඵලයක් තමයි කොමිසම ඇති වීම. කොමිසමක් නොදා වෙන කරන්න දෙයක් නැති තැනට ආණ්ඩුව තල්ලු වුනා. එතැනට අපි ආණ්ඩුව පත් කළා. දැන් කොමිසමෙන් බඩුත් එක්ක හොරා මාට්ටු වෙලා තියෙනවා. තව අදින්න දෙයක් නැහැ. ලංකාවේ ඕනෑම පුරවැසියකුට ක්‍රියාත්මක වන නීතිය දැන් ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.  

 


ප්‍රශ්නය:- ඔබ කොහොමද එහෙම කියන්නේ?  
පිළිතුර:-
එහෙම කියන්නේ. මේ ගොල්ලෝ දැන් බලන්නේ රවි කරුණානායක බිල්ලට දීලා මේ පාප කර්මයෙන් අත පිහදා ගන්න. රවි කරුණානායක බිල්ලට දීලා මේ පාප කර්මයෙන් අත පිහදාගන්න ලැබෙන්නේ නැහැ. බැඳුම්කරය කියන්නේ අගමතිතුමාගෙයි මලික් සමරවික්‍රමගෙයි මෙහෙයුමක්. ඊට අතිරේකව සම්බන්ධයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම්. එතකොට ඒ අය දිහාට මේ කොමිසම ගමන් කරනවද කියලා තාම පේන්නේ නෑ. එතැනටයි ප්‍රශ්නය යන්න ඕන. මම අර කලින් කිව්වා වගේම මේ අහුවුණේ වෙන හොර බඩු වගයක්. මඩකළපුවේ අරක්කු ෆැක්ටරිය දාන්න දීපු සහයෝගයට ලැබුණු සන්තෝෂම් මේ බැඳුම්කරය වෙනුවෙන් ගත්ත ඒවා නොවෙයි. බැඳුම්කරයේ සල්ලි ගියේ කාටද කියලා හොයන්න නම් කොමිසම ඒ දිශාවට හැරෙන්න ඕනෑ. එහෙම යයිද කියන සැකය තියෙනවා. මේ ගොල්ලො රවි කරුණානායක බිල්ලට දීලා අත පිහිදා ගන්න හදනවා. වගේ තමයි අපිට නම් පේන්නේ.  


ප්‍රශ්නය:- කොහොම වුණත් රවි කරුණානායක කියන්නේ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමන්න පුරෝගාමී වුණ නායකයෙක් වගේම මේ ආණ්ඩුවේ ප්‍රබලම ඇමැතිවරයෙක්. ඔහුට එරෙහිව චෝදනාවක් ආවා.ඒ ගැන හොයන්න කොමිසමක් පත් කළා. මෙහෙම දේවල් මීට පෙර වෙලා නෑ.  
පිළිතුර:-
රවි කරුණානායකට විරුද්ධව නොවෙයි බැඳුම්කර චෝදනාව ආවේ. ඒක ආවේ අගමැතිට විරුද්ධවයි. මොකද අගමැති යටතේයි මහ බැංකුව තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ නොවෙයි. අගමැති යටතේයි මහ බැංකුව තියෙන්නේ. අගමැතිගේ යාළුවව අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති කළේ බැඳුම්කර සෙල්ලම කරන්න තමයි. එතකොට එතැන චෝදනාව තියෙන්​ෙන් අගමැතිට. දැන් චෝදනාව වෙන පැත්තකට හරවලා. වෙන කෙනෙක්ව බිල්ලට දීලා තියෙනවා. ඒ නිසා රවි කරුණානායකට එරෙහිව නොවෙයි බැඳුම්කර චෝදනාව ආවේ. ඒක ආවේ අගමැතිට විරුද්ධව. ඒ නිසා බැඳුම්කර චෝදනාවෙන් ගැලවෙන්න බෑ රවීව බිල්ලට දුන්නා කියලා.  


ප්‍රශ්නය:- මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා එකෙන් අයින්වෙලා පොදු අපේක්ෂකයා වෙනකොට මහින්ද රාජපක්ෂ කිව්වේ ෆයිල් එක මගේ අතේ’ කියලයි. එහෙම ආදර්ශ තියෙන රටක මෙහෙම කොමිසම් පත් කිරීම අලුත් ආදර්ශයක් නොවෙයිද?  
පිළිතුර:-
එහෙම නම් ඉතින් මහ බැංකුවේ සල්ලිවලින් කරපු බිලියන ගාණක හොරකමක් ලොකු ආදර්ශයක්. මහින්ද රාජපක්ෂ යුගයේදී චෝදනා තිබිච්ච අය සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගත්තා. එහෙම නෑයි කියන්න බෑනේ. කොමිසම හමුවේ නොවෙයි. අධිකරණය හමුවේ කොමිසමකට දඬුවම් දීමේ බලය නැහැ. කොමිසමකට පුළුවන් වෙන්නේ වාර්තාවක් නිකුත් කරන්නයි, ඊට අමතරව නිර්දේශ නිකුත් කරන්නයි. නමුත් මේක දඬුවම් දෙන ක්‍රියාදාමයකටයි ගෙන යා යුතුව තිබුණේ. කොමිසමකට ගෙන යෑමෙන් ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ. ඒ කාලේ එහෙම ආපු චෝදනාවලට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනෙමින් තිබුණා. අනිත් එක මේ මිලියන ගාණක හොරකමක කරලා ඒකට සම්බන්ධයි කියලා එක හොරෙක්ව බිල්ලට දුන්නම අර හොරකමේ ශාපයෙන් ගැලවෙන්න පුළුවන්ද?. එහෙම බිල්ලට දෙන්නෙත් මේ ප්‍රශ්නය ඉවරයක් කරගන්න. වෙච්ච හානිය අවම කරගන්න. එහෙම නැතිව තමන්ගේ තියෙන වෙන මොකක් හරි උසස් ගුණාංගයක් ප්‍රදර්ශනය කරන්න නොවෙයි ඒකට එහෙම අර්ථ කථන දෙන්න හදනවා. මෙක අතේ පත්තුවෙලා තියෙනවා. හත්පොළේ ගාගෙන තියෙනවා. මේක නෑ කියන්න බෑ. දැන් තියෙන උත්තරය කාවහරි බිල්ලට දීලා අපි සුදනෝ කියලා පෙන්වන්න පුංචි උත්සාහයක් ගැනීමයි.  


ප්‍රශ්නය:- කොහොම වුණත් ඇමැති රවි ඉල්ලා අස්වුණා?  
පිළිතුර:-
ඔව්. වෙන කිසිම උත්තරයක් නෑ. වෙච්ච මහා විනාශය යම් පමණකට අවම කරගන්න නම් ඔය ව​ෙග් තීන්දුවකට අනිවාර්යයෙන්ම යන්න වෙනවා.  


ප්‍රශ්නය:- ඔබ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේ ආණ්ඩුව චෝදනා හදලා ඒවා විභාග කරලා ඔවුන්ට දඬුවම් දෙනවා. නමුත් කිසිම චෝදනාවක් ඔප්පු කරලා නැහැ. කියලා. ඇමැති රවීට ඒ සාධාරණය ඉටුවිය යුතු නැද්ද?  
පිළිතුර:
- දැන් අපේ ආණ්ඩුව තියෙන කාලේ අද කාගෙ අතින් හරි වරදක් වෙලා තියෙනවා නම් මේ ආණ්ඩුවට ​ෙම් 18 වැනිදාට අවුරුදු 2 යි. අපි ඒක හඳුන්වන්​ෙන් මූසල දෙවසර හැටියටයි. මේ මූසල දෙවසර ඇතුළේ ඕන් නම් ඒ අයට පුළුවන්කම තිබුණා. නීතියට පිටින් කවුරුහරි වැඩ කරලා තියෙනවා නම් අධිකරණයක් ඉදිරියේ ඔප්පු කරන්න. බලය තියෙන්නේ මේ අයගේ අතේ. අපේ අතේ නොවෙයි. නමුත් ඔබ දන්නවා. එහෙම කිසිම දෙයක් ​ෙම් අයට නීත්‍යානුකූල ආකාරයට සනාථ කරන්න පුළුවන් වෙලා නෑ. නමුත් චෝදානාවලින් දමලා ගහනවා. රවි කරුණානායක ඇමැතිවරයාගේ සිද්ධියේදීත් සැබෑවටම සිදු වූ දේ අධිකරණයක් ඉදිරියේ විභාග විය යුතුයි. මෙතැන මුදල් විශුද්ධිකරණ චෝදනාවකුත් තියෙනවා. ඔහුගේ නිවෙස ගනිද්දී ඔහුගේ සමාගමකින් ලොකර් එකක තිබුණ කෝටි ගාණක් මුදල් තමයි ගෙනත් දීලා තියෙන්නේ. එතකොට කෝටි ගණනක මුදලක් ලොකර් එකක තියාගෙන ඉඳලා අරගෙන දුන්නම කළු සල්ලි සුදු සල්ලි බවට පත් වෙනවා. එතැන මුදල් විශුද්ධිකරණයක් වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ අයට කිසිම පදනමක් නැතිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගන්නවා. රිමාන්ඩ් කරනවා. නමුත් මෙතැන මුදල් විශුද්ධිකරණයට අදාළව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. එතකොට ඒකෙන් පේනවා ආණ්ඩුව හත්පොළේ ගාගෙන ඉන්න හින්දා මේ කැත තත්ත්වයෙන් මිදෙන්න මොන මොනවා හරි කළත් කළ යුතු නියම දේ කරන්නේ නෑ. ඔය කියන චෝදනාවක් හරි විදියට ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙකුට තිබුණා නම් ඔය දේ නොවෙයි වෙන්නේ. එහෙම නම් කෙළින්ම වෙන්නේ අත්අඩංගුවට ගන්නවා. ඇප දීමට විරුද්ධ වෙනවා. රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා. බී වාර්තාව තියාගෙන නීතිපතිගේ වාර්තාවකුත් නැතිව තියාගෙන ඉන්නවා. ඒක මෙතැන වෙන්නේ නෑ. මෙතැන වෙන්නේ කොහොමින් හරි රැකගන්නයි. මංගල සමරවීරගේ ලේකම් කෙනෙක් මත්ද්‍රව්‍යයක් එක්ක කොටු වු්ණාම කොහොමද ඇප ලැබෙන්නේ. ඒකෙන් පේනවා නීතිය මේ අය නවාගෙන ඉන්නේ. ​ඔක්කොම අනාවරණය වුණාට පස්සේ රෙදි ගලවාගෙන වැඩ කරන්න බෑ. පුංචි ලස්සනක් පෙන්වන්න වෙනවා.ඒ ලස්සන ​ෙපන්වන ගමන් පොඩි සංදර්ශනයක් දානවා අද වෙන්​ෙන් ඒකයි.  


ප්‍රශ්නය:- සැප්තැම්බරයේදී ශ්‍රී ලංකා එකේ මැති ඇමැතිවරුන් පිරිසක් එළියට එනවා කියලා කිව්වා. ඒකේ අලුත්ම තත්ත්වය කොහොමද?  පිළිතුර:- අපිට පාර්ලිමේන්තුවේදී හමුවූ ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඇමැතිවරුන් කියන්නේ මේ මූසල දෙවසර අවසන් වීමත් සමග එළියට එනවා කියලයි.  


ප්‍රශ්නය:- ඔබේ පක්ෂය ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් ඉවත් වුණා. නමුත් සමහරු කිව්වේ එහෙම කළාට වැඩක් නැහැ. මන්ත්‍රීකමිනුත් ඉවත් වෙන්න ඕන කියලයි. ​ෙම්කත් ඔබේ තවත් එක් විගඩමක්?  
පිළිතුර:-
නෑ. අපිට මහජනයා ඡන්දය දුන්​ෙන් පාර්ලිමේන්තුවට එන්න. ඒකෙන් අයින්වෙන්න කිසිම අවශ්‍යතාවක් නෑ. ආණ්ඩුව තමයි මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් විදියටත් හැඳින් වූයේ. ඒ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කාර්ය සඳහා. නමුත් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් මේ අලුත් ව්‍යවස්ථාව ගෙන ඒම වහාම නතර කරන ලෙස ආණ්ඩුවට නියෝග කළා. ආණ්ඩුවට එබඳු නියෝගයක් උන්වහන්සේලා දීලා තිබියදී ඒ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේ තව දුරටත් රැදී සිටීමේ අයිතියක් අපට නෑ. ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්​ෙග ඒ විධානයට ගරුකරන නිසා ඒ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් අපි ඉවත් වුණා. ඒ නිසා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල​ෙය් අපි තවදුරටත් සාමාජිකයෝ නොවෙයි. මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ම නි​ෙයා්ජනය කරනවා. කියන පදනමින් තමයි පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් විදියට හඳුන්වන්නේ. හැබැයි එතැනින් අපි ඉවත් වුණාම ඒක ඒ නමින් හඳුන්වන්න බෑ. ඒ නිසා පාර්ලිමේන්තුව තවදුරටත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස හැඳින්වීම එසේ හඳුන්වමින් ඒ අනුව කටයුතු කිරීම නීත්‍යානුකූල වන්නේ නෑ කියන එකයි අපේ මතය.  


ප්‍රශ්නය:- රට මෙතැනින් කොතැනටද?  
පිළිතුර:-
මේ මූසල දෙවසර මූසල දෙවසරක් නොවිය යුතුයි. මූසල දෙවසරක් බවට මේක පත් වුණොත් රටේ කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නෑ. අද ගොවියෝ නියඟයෙන් බැට කනවා. වැව් සියයට 90 ක් හිදිලා. ඒ අතරම රටේ තව කොටසකට ගංවතුර ආවා. කුණු කඳු කඩා වැටෙනවා. නාය යාම් වෙනවා. වෙන්න තියෙන සියලු විපත් මේ රටට වෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි. යුද්​ෙද් කරද්දිත් මහින්ද රාජපක්ෂ යුගයේදී හැම අවුරුද්දකම 6, 8 කට උඩින් ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන ගියා. අද නිල සංඛ්‍යා ලේඛනවලට අනුවම එය සියයට 4 කටත් වඩා පහළට ආර්ථික වර්ධන වේගය වැටිලා. නීතියේ ආධිපත්‍ය පිළිබඳ ජාත්‍යන්තර දර්ශකවලිනුත් අපි ඇවිත් තියෙන්නේ පහළට. උතුරේ ආවා කල්ලි හිස ඔසොවලා. අද උතුරේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. පොලිසියට පොලිස් නිලධාරින් මහ මග මැරුම් කනවා. අනික් අතට රාජ්‍ය සේවකයන්ට කප්පරක් පොරොන්දු දුන්නා. අද ඒවා තූ තූ කරලා පැත්තකට දාලා මෙහෙම පොරොන්දු කඩ කරපු ආණ්ඩුවක් මේ ඉතිහාසයෙම තිබිලා නෑ. කරන ආකාරය වහගන්න බොරු කරන ආණ්ඩුවක් ඉතිහාස​ෙය් නෑ. ජනතාව දන්නවා තමන්ට වුණේ බරපතළ වරදක් කියලා. ජනාධිපතිවරණයෙන් පස්සේ ඔබේ පුවත්පතක් සමග මම කරපු මුල්ම සම්මුඛ සාකච්ඡාවට සිරස්තලය දාලා තිබුණේ මහින්ද නොවෙයි. පැරදුණේ රට කියලයි අද  බලන්න පැරදුණේ  කවුද කියලා. රටයි පැරදුණේ. ඒ බව මේ මූසල දෙවසරින් ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා මූසල දෙවසර මූසල තෙවරසක් වෙන්නට ඉඩ නොතබා මේ ගමන අාපිට හරවන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි අපට ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්නවා.  

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්