රටේ සමස්ත ජනතාවම පරාදයි


මැතිවරණයෙන් පසු දේශපාලනය ගැන මේ සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සමඟයි. 


ඡන්දෙත් ඉවරයි දැන් මොකද කරන්නේ? 

 
ඡන්දෙන් පස්සෙ අපි සුපුරුදු පරිදි දේශපාලන කටයුතුවල නියැළෙනවා. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත්වීම දිගටම කරගෙන යනවා. දේශපාලන පක්ෂයක් විදියට සුපුරුදු වැඩ කොටස රට වෙනුවෙන් කරගෙන යනවා.   


ඡන්දෙන් තේරීපත්වුණු පළාත් පාලන මන්ත්‍රීවරු නම් කරලා ඒ සියලු නම් ලැයිස්තු මැතිවරණ කොමිසමට දීලා ඉවරයි. මේ මැතිවරණ ප්‍රතිඵලයත් සමාලෝචනය කරල මේ රටේ තියෙන තත්ත්වයත් සළකා බලා රටේ ඉදිරි ගමන ගැන පක්ෂයක් විදියට අරගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා අපි තීන්දු ගන්නවා. 


ලැබණු ඡන්ද ප්‍රතිඵලය ගැන මොකෝ කියන්නේ?   


මේ ලැබුණේ ජනතාවගේ තීන්දුවනේ. ඒක අපිට භාරගන්න සිද්ධ වෙනවා. රටේ පැවැති සහ පවතින තත්ත්වය උඩ මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා අපිත් බලාපොරොත්තු වුණා.   


ඒත් ඒක එහෙම වුණේ නෑ. අපි පෙන්නලා දුන්නු සමාජ දේශපාලන යථාර්තය මිනිස්සු නිවැරැදිව තේරුම් ගනීවි කියලා අපි හිතුවා. ඒත් ඉතිහාසයේ සිදුවුණු පරිදිම ඒ යථාර්ථයට බහුතර ජනතාව සංවේදීවෙලා නෑ. ජනතාව තමන් කරගත්තු මෝඩකමේ ප්‍රතිඵල භුක්ති විඳිනකොට ජනතා විමුක්ති පෙරමුණ පෙන්නලා දීපු යථාර්ථය තේරුම් ගනීවි. එතකොට අපි හොයාගෙන ඒවි. හැමදාම වුණේ එහෙමයි.   


කොහොම වුණත් ලැබුණු ඡන්ද ප්‍රතිඵලය රට තව දුරටත් අර්බුදයට ගෙනයන එකත් කියන එක නම් ඉතාම පැහැදිලියි.   


මේ වතාවෙත් හැමදාම වගේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම්වලට සෙනඟ ආවා. ඒත් වෙනද වගේම තමයි ඒ අය ඡන්ද පොළේදිත් කටයුතු කරල තියෙන්නේ? ඔබල ජනතාවට කරුණු කියන විදියෙ අවුලක්ද මෙතන තියෙන්නේ?   


අවුල තියෙන්නේ අපි ළඟ නෙවෙයි. පරාජයට පත්වුණේ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි. රටේ සමස්ථ ජනතාවම පරාදයි. අපි කරුණු කියපු විදියෙ වැරැද්දක් නෑ.   


ජනතාව ඒ කරුණු අහපු විදියෙ වැරැද්දක් තියෙනවා. තව ටික දවසක් යනකොට ජනතාවට ඒක හොඳට අවබෝධ වේවි. දිගින් දිගටම සිද්ධවෙන මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. ඒකට ක්‍රමවේදයක් හොයා ගන්න ඕන. අපේ රටේ දේශපාලන සාක්ෂරතාව හොඳ මට්ටමක නැති එක ලොකු අඩුපාඩුවක්.   


අපේ තේරුම් අරගත්තු යථාර්ථයක් තියෙනවා. ඒ තමයි හොඳ දේවල් වේගයෙන් බෝ කරන්න අමාරුයි. හැබැයි නරක දේවල් වේගයෙන් බෝ කරන්න පුළුවන්. මේ දවස්වලින්ම උදාහරණයක් ගත්තොත් ජාතිවාදය ආගම්වාදය ඉතා වේගයෙන් අවුළුවන්න පුළුවන්.   


ඒත් ජාතික සමගිය සහජීවනය ඒ තරම් වේගයෙන් ව්‍යාප්ත කරවන්න අමාරුයි. බොරුව පැළ කරන්න ලේසියි. ඇත්ත පැළ කරන්න අමාරුයි. ඒත් සත්‍ය කවදාහරි ජය ගන්නවා. බොරුවට හැමදාම පැවැත්මක් නැ.   
පුංචි ඡන්දෙදි රටම බලාගෙන හිටියා බණ්ඩාරවෙල දිහා මොකක්ද ඒ වුණේ?   


ඒකත් අවාසනාවන්ත තත්ත්වයක්. උමා ඔය අරගලය අපි කරන්නේ අවුරුදු ගාණක ඉඳලා. ඒක අපි ඉතාම දුෂ්කරතා මැද ඉදිරියට අරගෙන ආවා. උද්ඝෝෂණ විතරක් 34ක් අපි කළා මේ වෙනුවෙන්. අපේ නම්වලට උසාවි තහනම් නියෝග 33ක් ඇවිත් තියෙනවා.   


අපි හතළිස් දෙවතාවක් උසාවියට කොළඹ ඇවිත් තියෙනවා. තවමත් මේ නඩු ඉවර නෑ. මිලියන ගානක් මේ ප්‍රදේශයට අපි සහන ගෙනාවා. ඒ ගෙනාවේ අපේ සටනේ ප්‍රතිඵලයක් විදියට. විවිධ සහන අපි මේ අනතුරට පත් ජනතාවට ලබාදෙන්න කටයුතු කළා.   


මේක පුංචි පහේ ඛේදවාචකයක් නෙවෙයි. අපි පහුගිය අවුරුදු ගණනාව පුරාම මේ ප්‍රශ්නෙ වෙනුවෙන් දිවා රෑ නැතුව අවධානයෙන් හිටියා. අපේ පුද්ගලික ජීවිතය පවා නොතකා මේ ප්‍රශ්නෙත් එක්ක හැප්පුනා.   


අපි ජනතාවට මේ මැතිවරණයේදීත් කරුණු කිව්වෙ මේ ප්‍රශ්නය ගැන සංවේදි වෙන්න කියලා. ඒත් බහුතර ජනතාව එහෙම සංවේදී වෙලා නෑ. හැබැයි මේ ඡන්ද ප්‍රතිඵලය මත අපි අපේ සටන අකුලගන්නේ නෑ. අනාගත පරම්පරාව වෙනුවෙන් අපි මේ සටන තව දුරටත් ඉදිරියට අරගෙන යනවා. අපි සටන් කළේ ජනතාව වෙනුවෙන් විතරක් නෙවෙයි. සතා සිවුපාවා ගහකොළ ඇළ දොළ වෙනුවෙනුත් එක්කයි අපේ මේ සටන අපි කළේ.   
ඒක නිසා මේක ජයග්‍රහණය කරන තුරු සටන අත අරින්න සූදානම් නෑ. මේක ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි.   


පහුගිය ආණ්ඩුව ගෙනාපු මේ ආණ්ඩුව තව දුරටත් අරගෙන යන ව්‍යසනයක් මේක. අපි කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව මීට වඩා තමුන්ගෙ ප්‍රශ්නෙ තේරුම් ගන්න තිබුණා.   

 

මේ ඡන්ද ප්‍රතිඵලය මත අපි අපේ සටන අකුලගන්නේ නෑ. අනාගත පරම්පරාව වෙනුවෙන් අපි මේ සටන තව දුරටත් ඉදිරියට අරගෙන යනවා. අපි සටන් කළේ ජනතාව වෙනුවෙන් විතරක් නෙවෙයි. සතා සිවුපාවා ගහකොළ ඇළ දොළ වෙනුවෙනුත් එක්කයි අපේ මේ සටන අපි කළේ.   


ඒක නිසා මේක ජයග්‍රහණය කරන තුරු සටන අත අරින්න සූදානම් නෑ. 


සමන්ත විද්‍යාරත්න මේ සටන තමන්ගෙ වැඩක් විදියටනේ අරගෙන ගියේ. ඒත් ඇයි මේ ප්‍රදේශයේ ජනතාව ඒ තරම් අකෘතඥ වුණේ?   


ඒක ඔබ මේ ප්‍රදේශයට ඇවිත් මේ ජනතාවගෙන්ම ඇහුවනම් වඩා හොඳයි කියලයි මං හිතන්නේ. අපිට තියෙන ප්‍රශ්නය ඡන්ද අඩුවෙච්ච එක නෙවෙයි. ඇයි මේ ප්‍රශ්නයට මිනිස්සු සංවේදී නොවුණේ. මේක මනුස්සකම පිළිබඳ ප්‍රශ්නයක්. අපි ජනතාවට කියනවා ජනතාවගේ ප්‍රශ්න ගැන මීට වඩා තම තමන්ම ගැඹුරින් හිතන්න කිලා. අවස්ථාවාදී දේශපාලන රැවටිලිකාරයින්ට අහුවෙනතාක් කල් ඒ අයට සත්‍යාවබෝධය ලබන්න බෑ.   
මේ ප්‍රශ්නයෙන් එකම මිනිහෙක්වත් අපි මැරෙන්න ඉඩ තිබ්බෙ නෑ. කවුරු හරි මේකෙන් මිය ගියානම් මේ ගැන මීට වඩා අවධානය යොමුවේවි.   


මේ අනතුරින් ජීවිත බේරගන්න අපි දිවා රෑ නැතුව වෙහෙසුනා ඒක මේ ප්‍රශ්නෙට මැදිහත් වෙච්ච ජනතාව දන්නවා.   


ඌවේ මහ ඇමැති එක්කත් සමන්ත පහුගිය කාලෙම හැප්පුණා. මහ ඇමැති නම් තාම යහතින් මහ ඇමැති පුටුවෙ වැජඹෙනවා නේද? රටටත් ඒ සිදුවීම් දැන් අමතකයි වගේ නේද?   


ඕක තමයි අපේ රටේ දේශපාලන යථාර්ථය. අපි මේ මහ ඇමැතිවරයාගේ මහා පරිමාණ වංචා දූෂණ ගැන හෙළිදරව් කළා. ජනාධිපතිතුමා මේ මහ ඇමැතිවරයට දඬුවම් දෙනවා කිව්වා. දුන්නද? නෑ. එයා හුරතල් කරනවා. මේ අයගේ තක්කඩිකම් ගැන අපිට කරන්න පුළුවන් හෙළිදරවු කරන එක විතරයි.   


ඒවට දඬුවම් කරන එක අදාළ පාර්ශ්ව අතේ තියෙන වැඩක්. ඡන්දෙ කාලේ ජනාධිපතිතුමා බොරුවට කඩුව වැනුවා විතරයි. හොරු දූෂිතයෝ ආරක්ෂා කිරීමේ ප්‍රතිඵලය මැතිවරණයේදී ජනාධිපතිතුමාට ලැබුණා. ඒක තාමත් තේරුම් ගන්නෙ නැත්නම් ඒකෙන් එතුමගේ දේශපාලන ඉරණම තීන්දුවේවි.   


වෙනදා පළාත් පාලන ඡන්දයක් ඉවර වුණාට වඩා වෙනස්ම තත්ත්වයක් තමයි මෙවර අපිට දකින්න තියෙන්නේ. ඉස්සරහට මොකද වෙන්නේ?   


ඇත්තටම මේක පුංචි ඡන්දයක් කිව්වට ඒක එහෙම වුණේ නැ. ජනතාවත් දේශපාලකයොත් මේ ඡන්දය හරියට තේරැම් ගත්තේ නෑ. දේශපාලකයා මේ ඡන්දෙදි විශාල වශයෙන් ජනතාව නොමඟ යැව්වා. මේක ගමේ නායකයෙක් තෝරගන්න ඡන්දයක් වෙනුවට අගමැතිවරයෙක් තෝර ගන්න ඡන්දයක් ආණ්ඩුව පෙරළන ඡන්දයක් කියන එක තමයි කිව්වෙ. මේ මතවාදවලට සමහර ජනතාව රැවටුණා. සුපුරුදු පරිදි ගමට මෙවරත් පත්වුණේ හොරු දූෂිතයො. මේක වෙනස් කරන්න ඕන. අපි මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් හැමදේම කරනවා. ඡන්දයේදී අවුළුවපු ජාතිවාදයේ ගිනි පුළිඟු අද මහා ගින්නක් වෙලා. රටේ තැනින් තැන ගිනි ගන්නවා. මේක ඡන්දෙම අතුරු ප්‍රතිඵලයක්.   

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි