රටේ සංවර්ධනය සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට සහන සලසනවා


අයවැය 2019  

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න

 

රටේ සංවර්ධනය සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන් දෙකොටසටම සහන සැලසීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා කීය. 


අයවැය යෝජනාවලිය පිළිබඳව ‘ඉරිදා ලංකාදීප’ය කළ විමසුමට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය. 


‘‘අයවැය මගින් සිදු කරනු ලබන්නේ අය-වැය පරතරය පියවීම පමණක්ම නොවෙයි. රටේ සංවර්ධනයට මූලික තැන ලබාදීම ප්‍රධාන අරමුණයි. ඒ සඳහා අයවැය විශාල රුකුලක් ලබා දෙනවා. අයවැය යෝජනාවලිය පිළිබඳව මේ අවස්ථාවේ කරුණු සඳහන් කළ නොහැකි වුනත්, එකක් කිව හැකියි. ජනතාවට පීඩාකාරී ලෙස රජය කටයුතු කරන්නෙ නැහැ. රටේ විදේශ ණය පියවමින්, ජනතාවට සහන සලසමින් මේ ගමන යනවා. 


ප්‍රශ්නය - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි අයවැය සැකසෙන බවට චෝදනා තිබෙනවා. 


පිළිතුර - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි අයවැය සකස් කරන්නේ නැහැ. රටට ගැළපෙන පරිදි අයවැය සකස් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ණය වාරික දෙකක් අපට ලැබුණේ නැහැ. මේ රටේ පැවැති දේශපාලන කුමන්ත්‍රණය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම මුදල් ලබාදීම අත්හිටෙව්වා. 


ප්‍රශ්නය - අයවැය පරතරය අඩු කිරීමට ගනු ලබන පියවර මොනවද? 


පිළිතුර - අයවැය පරතරය 3.5 දක්වා අඩු කිරීමට අපි එකඟ වුණා. 7.7 සිට අයවැය පරතරය අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා. 


මේ වනවිට රජයේ ආදායම පහළ මට්ටමකට වැටිල තියෙනවා. හමුදාව, පොලිසිය නඩත්තු කිරීමට අධිකරණ පද්ධතිය පවත්වාගෙන යාමට රටේ ජනතාවට නිදහස් අධ්‍යාපනයක් ලබාදීමට අපි බැඳී සිටිනවා. නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වනවා. නැති බැරි අයට දීමනාවක් ගෙවනවා. අද එය සමෘද්ධිය වශයෙන් හඳුන්වනවා. රටේ ආදායමෙන් අපට මේවා ඉටු කිරීමට සිදු වී තිබෙනවා. බදුවලින් සමාජ සාධාරණත්වයක් ඇති වෙනවා. ගෙවන්න පුළුවන් අය බදු ගෙවිය යුතුයි. බදු ගෙවන්න බැරි ජනතාවට සහනයක් ලැබිය යුතුයි. බදු ප්‍රතිපත්තියේ මූලික කරුණ සමාජ සාධාරණත්වයයි. ඒ නිසා මේ ක්‍රියාවලියේ යෙදී සිටිනවා. 


ප්‍රශ්නය - රජයේ ආදායම බිලියන 150 න් වැඩි කරගන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියමයක් කර තිබෙනවාද? 


පිළිතුර - උදාහරණයක් ගන්න. පුද්ගලික අංශයේ සේවකයෙක් සේවක අර්ථ සාධක අරමුදල ඉතිරියක් ලෙස සලකනවා. අපි ඉතිරියක් කරගන්නෙ රටට. රටේ ඉතිරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා නෙවෙයි. ඒක අපිටමයි. නිවසක ආදායම වගෙයි. වත්කම් හා වගකීම් තියෙනවා. ඉතිරියෙන් ගොඩනැගෙන්නේ රටේ වත්කම්. ඒ වත්කම් අපිට. වසර 60කට පසු ප්‍රාථමික ඉතිරිය 2018දී වැඩි වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා අපිට විවෘත වෙළෙඳ පොළෙන් අවශ්‍ය නම් ණය ලබාගැනීමට හැකියාව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ම ණය ලබාගත යුතු යැයි නියමයක් නැහැ. වෙළෙඳ පොළෙනුත් අප ණය ලබා ගන්නවා. මේ මාසයේදී ඩොලර් බිලියන 2ක මුදලක් වෙළෙඳ පොළෙන් ණය ලබාගෙන තිබෙනවා. 


මෙහිදී සලකා බැලිය යුතු විශේෂ කරුණක් ඇත. එනම්, මෙහිදී ණයට ලබා ගන්නා මුදලට විශේෂිත කරුණක් ඇත. එනම්, ආර්ථික කළමනාකාරීත්වය යහපත් ලෙස පවත්වාගෙන ගියහොත් අපේ රටට හිමිවෙන ස්ථානයයි. ආර්ථික කළමනාකාරීත්වය යහපත් ලෙස පවත්වාගෙන ගියොත් එය අපේ රටට බෙහෙවින් වැදගත් ස්ථානයක් හිමිවීම වැළැක්විය නොහැකියි. එය රටේ කීර්තියට පැවැත්මට බෙහෙවින් හේතු වෙනවා. ණය ලබාගැනීම මෙන්ම ගෙවීමද සිදුවිය යුත්තක්. එවිට අපේ රට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රේණි ගත කිරීමේ දී ඉහළට යනවා. 


ශ්‍රේණිගත කිරීමේදී ඉහළට යාමෙන් අපේ රටට තවත් විශේෂ වාසියක් හිමි වෙනවා. එනම් ජාත්‍යන්තර වශයෙන් ලබා ගන්නා ණය සඳහා අඩු පොලියක් ගෙවීමට සිදුවීමයි. 
මුදලට වඩා පොලිය ගෙවීමට සිදුවීම බොහෝ බරපතළ කරුණකි. අපි එවැනි වැඩ පිළිවෙළක් සඳහා දීර්ඝ කාලීන සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙමින් සිටියා. 


නමුත් ශ්‍රේණිගත කිරීමේදී අපේ රට පහළට වැටුණා. ඒ තත්ත්වය ඇතිවීමට හේතු වූයේ, දේශපාලන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළයි. ඒ දින 53ක කාලය තුළ අපේ සැලසුම් සියල්ල විනාශ වුණා. දැන් අපිට යළි ඒ තත්ත්වය ගොඩනැගීමට සිදුවී තිබෙනවා. 


විපක්ෂය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිල්ලෙක් ලෙසට පෙන්වන්නට උත්සාහ කළත්, අයවැය යෝජනාවලියට එය අදාළ නැහැ. අයවැය යෝජනාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධයක් නැහැ. 


ප්‍රශ්නය - අයවැය යෝජනාවලිය සැකසීමේදී ඉදිරිපත් වූ යෝජනා සලකා බැලුවාද? 


පිළිතුර - ඔව්. විටින් විට අප හමුවුණා. සාකච්ඡා කළා. අදහස් ලබාගත්තා. ව්‍යාපාරික අංශ, ආයතන, පුද්ගලයන්, වෘත්තීය සමිති ආදී වශයෙන් ඉදිරිපත් කළ යෝජනා පුළුල්ව සලකා බැලුවා. ඉදිරිපත් වූ යෝජනා අතර කළ හැකි හා කළ නොහැකි වශයෙන් දෙවර්ගයක් තිබෙනවා. ඇතැම් යෝජනා ක්‍රියාත්මක කළ හැකියි. ඇතැම් යෝජනා ප්‍රායෝගික වශයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. තවත් ගැටලු ඇති විය හැකියි. ඒ නිසා බෙහෙවින් තෝරා බේරා ගෙන අයවැය යෝජනාවලිය සකස් කරනවා. මට මේ අවස්ථාවේ එම යෝජනා ගැන සඳහන් කළ නොහැකියි. ජනතාවට හැකිතාක් සහන ලබාදීමටත්, රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමටත් අවශ්‍ය යෝජනා ගෙන ඒවි. 


ප්‍රශ්නය - ගියවර ගෙනාවෙ, නීල හරිත අයවැයක්. මේ පාර? 


පිළිතුර - මේ පාරත් රට නීල හරිත විය යුතුයි. අපේ රට පරිසර හානියට මුහුණ දෙන රටක්. පරිසර හානියට පැමිණෙන රටවල් අතරින් ලංකාවට ප්‍රථම ස්ථානය හිමි වෙනවා. ජල ගැලීමක් හෝ නියඟයකට මුහුණපෑමට සිදු වෙනවා. නීල හරිත අයවැය කියන එක දිගටම කියන්න වෙනවා. පරිසරය ආරක්ෂා කිරීම අනිවාර්ය දෙයක් වෙලා. කළයුතුම දෙයක්. රට බේරා ගැනීමට පරිසරය ගැන විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවී තිබෙනවා. ඊට අමතරව අප ආර්ථික වර්ධනයට යා යුතු වෙනවා. ආයෝජනය අවශ්‍යයි. දේශීය ඉතිරිය මදි. සියයට 15ක් පමණ වන දේශීය ඉතිරිය ප්‍රමාණවත් නැහැ. ඉන්දියාවේ දේශීය ඉතිරිය 30%ක්. චීනයේ සියයට 50යි. අපට රට සීඝ්‍රයෙන් සංවර්ධනය කිරීමට නම් දේශීය ඉතිරිය සියයට 30ක් වත් දක්වා වැඩි විය යුතුයි. විදේශීය ආයෝජනයෙන් අපට ඒ අඩුව පියවිය හැකියි. විදේශ ආයෝජනයට සුදුසු පරිසරයක් සකස් කරනවා. 


ව්‍යාපාරිකයන්ට මෙරටට පැමිණ පහසුවෙන් ව්‍යාපාරයක් කර ගෙනයාමට සුදුසු පරිසරය පිළියෙල කරනවා. ප්‍රමාද වැළැක්විය යුතුයි. දීර්ඝ කාලයක් ආයෝජකයන් රැඳෙන්න කැමති නැහැ. නව ආදායම් පනතින් දේශීය විදේශීය ආයෝජකයන්ට බදු සහන ලබාදී තිබෙනවා. දේශීය විදේශීය දෙගොල්ලන්ටම එකම නීතිය ක්‍රියාත්මක වෙනවා. මේක අපේ බූදලයක් නොවෙයි. නීතිමය පදනමක් ඇති ආර්ථික පිළිවෙළක් දැන් හදා ගෙන යනවා. ආයෝජකයෝ 100%ක් ලාභ ලබන තෙක් බදු ගෙවිය යුතු නැහැ. යුද්ධය පැවැති පළාතක ආයෝජනයක් කරනවා නම් සියයට 200ක් බදු ගෙවිය යුතු නැහැ. දේශීය විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමට මේ සහන ලබාදී තිබෙනවා. 


ජනතාව වැඩිපිරිස වයසට යනවා. ශ්‍රම බළකායට නායකත්වය මදි. මෙහෙම ගියොත් පිටරටින් සේවකයන් ගේන්න වෙන තත්ත්වයක් උදා වේවි. අපේ කාන්තාවෝ ශ්‍රම බළකායට එකතු වෙනවා මදි. 2016දී ශ්‍රම බළකායට හිටපු කාන්තාවන් සංඛ්‍යාව සියයට 40ක් පමණ වෙනවා. අද ඒක සියයට 36ට බැහැලා. අධ්‍යාපනය පැත්තෙන් කාන්තාව ඉදිරියෙන්ම ඉන්නවා. නමුත් දරුවෙක් ලැබුණාට පසු, බොහෝවිට වැඩ නොකරන්න තීරණය කරනවා. අධ්‍යාපනය, දැනුම, හැකියාව තිබුණත් ආර්ථිකයට ලැබෙන දායකත්වය අඩුයි. කාන්තාවන් ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම පහසු කළ යුතු වෙනවා. ඒ සඳහා පියවර කීපයක් ගන්නවා. රාත්‍රී 8.30න් පසු වැඩ කරනවා නම් ඒක නතර කළ යුතුයි. වයස අනුව රැකියාවලට තෝරා ගැනීම නතර කළ යුතුයි. වැඩ කළ හැකි නම් රැකියාව දිය යුතුයි. විවාහ වී සිටින කාන්තාවකට නීතිමය බාධාවක් නැතුව යළි ශ්‍රම බලකායට ඇතුළත්වීමට අවස්ථාව ලබාදීමට සලකා බලනවා. මව්කිරි දීමට නීතියෙන් කාලය දිය යුතුයි. පහසු කාලය දිය යුතුයි. දරුවන් බලාගැනීමේ සේවාවන් රැකියා ස්ථානවල තිබිය යුතුයි. පුද්ගලික අංශයේ කාන්තාවට දින 84ක් නිවාඩු ලබාදී තිබෙනවා. කාන්තාවන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේවි. අපේ මූලික දැක්ම රටේ ජනතාවට සහන සැලසීමයි. 

 

 

දයාසීලි ලියනගේ