රටේ නීතියට අභියෝග කරන්නෙත් නැතුව මහණකමත් රැකගෙන සිර දඬුවම ටික දවසක් වින්දා


බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි

බුද්ධාගම පෝෂණය කරන බව නායකයන් කියා සිටින්නේ භික්ෂුන්ට ජම්පර් අන්දන එකදැයි ප්‍රකාශ කළ බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පොදුවේ භික්ෂුන් වහන්සේ ඇත්ත කතා කළා නම් තමන් තනි නොවන බව කීහ.   


ඉකුත් දිනවල සිරභාරයේ සිට ඇප ලබා සිටින ඥානසාර හිමියෝ ‘ඉරිදා ලංකාදීප’ සමග පැවැති සාකච්ඡාවේ දී මෙසේ ද කීහ.   


• ප්‍රශ්නය - ඔබ වහන්සේ බන්ධනාගාර ගත කළේ?  


• පිළිතුර - අපි එක සිද්ධියක් ගැන නොව ඒ ඒ අවස්ථාවල පැන නගින ජාතික, ආගමික සමාජයීය වශයෙන් ගැටලු ඇතිවෙන සෑම අවස්ථාවකදීම මැදිහත් වී තිබෙනවා. බොදු බල සේනා සංවිධානය ආරම්භ වීමට පෙර ජාතික සංඝ සම්මේලනය, ජාතික සංඝ සභාව ආදී නොයෙක් ව්‍යාපාරවල කටයුතු කළා. එකම අරමුණක ඉඳලා අපි කටයුතු කර තිබෙනවා. ඒ කටයුතුවලින් ලබපු අත්දැකීම්වලින් අමිහිරිම අත්දැකීම ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදය පරාජය කිරීමට මේ රටේ නායකයන් වරින් වර උත්සාහ නොගත්තා නොවේ. සමහරු සාම ක්‍රියාදාමය, සුනාමි සහන මණ්ඩලය ආදී වශයෙන් විවිධ ස්වරූපයෙන් ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට උත්සාහ කළා. නමුත් ඒවා අසාර්ථක වුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ සාහසික ක්‍රියා ප්‍රබල වුණා. මේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියා නිසා ​අපේ නායක හිමිවරුන්ගේ සිට කුඩා හිමිවරු පවා එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ යුතුයි කියන මතයේ හිටියා. 2005 ජනාධිපතිවරණයෙන් පසු එයට රටේ විශාල ඉල්ලීමක් තිබුණා. ඒ කාලයෙ ඇතිවූ ඇතැම් සංවිධාන එල්.ටී.ටී.ඊ.යට සහාය දක්වමින් රට දෙකඩ කිරීමට උත්සාහ කළා.   


යුද්ධ ජයග්‍රහණය වෙනුවෙන් පීඩාවට පත්වන සියලු ජාතිවල සියලුම වැසියන්ට නිදහසේ සිටිය හැකි පරිසරය ගොඩනැගීමට නායකත්වයට ධෛර්යය සැපයුවේ භික්ෂුන් වහන්සේ. අපි ඒ වෙලාවෙ යම් වැඩ කොටසක් කළා. ඒ වැඩ පිළිවෙළේ දිගුවක් මේ නඩු අවස්ථාව දක්වා දිග හැරෙනවා. උසාවියෙ තීන්දුව අභියෝගයට ලක් කිරීමටවත්, ඒ තීන්දුව පිළිනොගෙන ඉන්නවත් අපි නීතියට ගරු නොකරන පුද්ගලයන් නෙවෙයි. භික්ෂුන් වහන්සේලාට කියල නීතිය හමුවේ විශේෂ වරප්‍රසාද නැහැ. අපි කවුරුත් රටක නීතියට ගරු කළ යුතුයි. සියල්ලට ඉහළින් නීතිය තිබිය යුතුයි. නමුත් නීතියට ගරුකරන්න ඕනෑ. සියල්ලන්ම නීතියට යටත් කියල කිව්වට පසුගිය කාලයේ වූ සංසිද්ධීන් දිහා බලපුවම එක පැත්තකින් දේශපාලනඥයන් උසාවිවලට ගල් ගහනවා. නඩුකාරයන්ට විවිධ දේශපාලන බලපෑම් කරනවා. නීතිය පිළිබඳව විශ්වාසය බිඳ වැටිල​ා. නඩුකාරවරු සමහර නඩු අහන්න බැහැ කියනවා. රටේ සමස්ත පිරිහීම බොහෝ බරපතළයි. මේක අධිකරණය, නීතිය, දේශපාලනය, සාසනය, අධ්‍යාපනය, ආර්ථිකය, සදාචාරය මේ සියල්ල පිරිහී ගිය කාලයක්.   
හැම ක්ෂේත්‍රයකින්ම රටට ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි.   


• ප්‍රශ්නය - ඔබ වහන්සේ අමාරුවේ වැටුණෙත් බුද්ධි අංශ ගැන කතා කරන්න ගිහින්?   


• පිළිතුර - බුද්ධි අංශ ර​ෙට් හදවත හා සමානයි. 2002, 2003 කාලයේ එවකට පැවැති රජය මිලේනියම් සිටි බුද්ධි අංශය පාවා දුන්නා. ඒක රජයේ ආරක්ෂක අංශවලට බරපතළ ලෙස බලපෑවා. ඒ සියල්ල සමනය කරගෙන ඇවිත් මේ වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුත් විවිධ ප්‍රශ්න ඇතිවුණා.   


යුදමය වශයෙන් අප ත්‍රස්තවාදය පරාජය කළත්, එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදය විනාශ කළ නොහැකි වුණා. ඒ බෙදුම්වාදයට අදාළ කරුණු මේ මොහොත වෙද්දිත් රට තුළත්, ජාත්‍යන්තර වශයෙනුත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. යුද්ධය පැවැති කාලයටත් වඩා දැන් බුද්ධි අංශ ශක්තිමත් කළ යුතු වෙනවා. මා කතා කළේ ඒ ගැනයි.   


යම් සිදුවීමකට මට දඬුවම් ලැබුණා. බන්ධනාගාර ගත කළා. නමුත් මේ බන්ධනාගාර ගත කිරීම දක්වා සිදුවීම් මාලාව නිකම්ම නිකම් සිදුවීමක් වුණා කියල අප විශ්වාස කරන්නෙ නැහැ.   


• ප්‍රශ්නය - ඔබ වහන්සේ බන්ධනාගාර ගතවීම තුළින් ලැබූ අත්දැකීම   


• පිළිතුර - බොහොම නුහුරු අත්දැකීමක්.   


• ප්‍රශ්නය - ඔබ වහන්සේ කම්පාවට පත් වුණාද?   


• පිළිතුර - නැහැ, මම කම්පාවට පත්වුණේ නැහැ. මේක වැඩ කරන රටක් නෙවෙයි. කතා හදන රටක්. කයි කතන්දර හදනවා. කැලෑ පත්තර ගහනවා. සැබෑ නොවන දේවල් කතා කරන මිනිස්සු ඉන්න අමුතු රටක්. මට කිසිම වේදනාවක් නැහැ. අලුත් අත්දැකීමක් වුණා. නිලධාරින් මා සමග ගනුදෙනු කළ ආකාරය බොහොම යහපත්. ඔවුන් මට පීඩනයක් ඇති කළේ නැහැ.   


• ප්‍රශ්නය - ඔබ වහන්සේ ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කළා ද?   


• පිළිතුර - බන්ධනාගාර නිලධාරින් මට නීතිය ගැන කියා දුන්නා. ඒ අය කරන්නේ රස්සාවක් බව තේරුම් ගන්න පුළුවන්. රටේ නීතියට අභියෝග කරන්නෙත් නැතුව බන්ධනාගාර නීති පද්ධතියට ප්‍රශ්නයක් නොවන ලෙසටත් මගේ මහණකමත් ආරක්ෂා කරගෙන ඒ සිර දඬුවම ටික දවසක් වින්දා.   


• ප්‍රශ්නය - බන්ධනාගාර ගතවෙලා සිටියදී ඇමැතිවරයෙක් හා මන්ත්‍රීවරයෙක් ඔබ වහන්සේ බලන්න ගියා.   


• පිළිතුර - උදය ගම්මන්පිල මහතා අපි සමග සෑහෙන කාලයක් සම්බන්ධයි. දායක සම්බන්ධතාවක්. දේශපාලන මතිමතාන්තර මොනව වුණත් අපිට මිනිස්සු ආශ්‍රය කරන්න පුළුවන් නේ. අනිත් පැත්තෙන් අපි ජාතික වැඩ කරන්න ගිය අවස්ථාවල දී පැන නැඟුණ නීති කටයුතුවල දී උදය ගම්මන්පිල මහත්තය අපට උදව් කරල තිබුණා. මේ වෙලාවෙත් ඉස්සර වෙලාම මාව බලන්න එන්නෙ එතුමා කියල මම දැනගෙන හිටියා. ඒනිසා මම එතුමා හම්බවෙලා කතා කළා. දුමින්ද දිසානායක ඇමැතිවරයා මා බොහෝ කාලයක් ආශ්‍රය කළ කෙනෙක් නොවෙයි. නමුත් පසුගිය මාස 4ක පමණ කාලයෙදි අනුරාධපුරයෙ විශාල පිංකමක් පිළිබඳව කතා කරල එතුමා හඳුනා ගත්තා. ඒ සාකච්ඡාවෙන් පසු අවස්ථා හය හත්වතාවක් අපි හමුවුණා. එතුමා හිතන්න ඇති මේ දේශපාලන සන්දර්භය තුළ කතා කරන හාමුදුරුවො වෙනත් පුද්ගලයෙක් කියල මම බන්ධනාගාර ගත වෙනකොට එතුමා පිටරට ගිහිල්ල හිටියෙ. එතුමා ඇවිත් මට මොකද වුණේ කින්ද මන්ද කියල අහල ගියා. එච්චරයි. ඔහු කිව්වෙ මේක ඇප ගන්න පුළුවන් වරදක්. ලොකු දෙයක් නෙවෙයි. ඇප ලැබේවි කියල විශ්වාස කරන බවයි. ජයන්ත සමරවීර, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන් ඇවිත් තිබුණා. ඒ අය මුණ ගැහෙන්න මම එළියට ගියේ නැහැ.   


• ප්‍රශ්නය - දුමින්ද ඇමැතිවරයා ජනාධිපතිගේ පණිවිඩයක් රැගෙන ආවා ද?   


• පිළිතුර - නැහැ. දුමින්ද ඇමැතිවරයා කියල තිබුණා. රටේ නීතියක් තියෙනවා. ඥානසාර හාමුදුරුවොත් එක හාමුදුරු නමක්. නීතිය කාටත් පොදුයි. අධිකරණ කටයුතුවලට ඇඟිලි ගහන්න පුළුවන් කමක් නැහැ කියල. එහෙම කියල තිබුණ ඔහු ජනාධිපතිගෙ පණිවුඩයක් රැගෙන ආවෙ නැහැ.   


• ප්‍රශ්නය - ජනාධිපති සමාවක් ලබාගැනීම ගැන කතා කළා ද?   


• පිළිතුර - එහෙම දෙයක් කතා කළේ නැහැ.   


• ප්‍රශ්නය - බන්ධනාගාරයෙ ගත කළ කාලය කොහොමද?   


• පිළිතුර - අමුතු අත්දැකීමක්. ඒත් මම සැහැල්ලුවෙන් හිටියා. ඒ හිටපු අය මට හොඳින් සැලකුවා. පොත්පත් කියෙව්වා. මට කාලය ගත වුණා දැනුණෙ නැහැ. අපි බුද්ධ පුත්‍රයො. බුදුන්ගෙ ධර්ම දේශනාවලට අනුව, බන්ධනාගාරයෙදිත් මම බුදු දහම යළි යළි මෙනෙහි කරමින් සිටියා.   


• ප්‍රශ්නය - ජනාධිපතිවරණය ගැන යම් අදහසක් තියෙනවද?   


• පිළිතුර - 2015දි අපි මහින්ද පරද්දන්න වැඩ කළාලු, සරත් ෆොන්සේකට වැඩ කළාලු. මම දන්නෙ නැහැ. මොන අරමුණකින් මේ ප්‍රකාශ කරනවද කියලා. බොදුබල සේනාව ගෝඨාභයගෙ නිර්මාණයක් කියනවා. 2000, 2004 ගෝඨාභය මේ රටේ හිටියෙ නැහැ. හැම කාලයකදිම අපි රට වෙනුවෙන් විවිධ දේ කළා. කාගෙවත් හව්හරණක් තිබුණෙත් නැහැ. අපි රට ජාතිය වෙනුවෙන් කටයුතු කළා. දේශපාලනඥයො තමන්ගෙ වගකීම අමතක කරල ඉන්න නිසා භික්ෂුන් වහන්සේ ඒ ගැන කතා කරනවා. මේක දේශපාලනඥයන්ට හරිම ප්‍රශ්නයක්. උතුරේ දෙමළ දේශපාලන නායකයන් දෙමළ ජනතාවගෙ ප්‍රශ්න විසඳගන්න කටයුතු කරන කලාව බලන්න. ඒ අය ප්‍රකාශයක් කළොත් ඒක ජාතිවාදී වෙන්නෙත් නැහැ. ජාතිභේද වාදී වෙන්නෙත් නැහැ. ඒ දෙමළ සංස්ථාවෙන් හින්දු පූජකයො මතුවීමක් පෙන්නුම් කරන්නෙ නැහැ. පක්ෂ බැලුවත් ඒවා දෙමළ නමින් තියෙන්නෙ. ඒ අය මොන ආකාරයට ජාතිය ගැන කතා කළත් ඒව වැටෙන්නෙ සුළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන්. නැගෙනහිර මුස්ලිම් දේශපාලනඥයො වැඩ කරන්නෙත් එහෙමමයි. ඒ මදිවට දෙමළ මුස්ලිම් අයිතිවාසිකම් ගැන අපේ සිංහල දේශපාලනඥයොත් කතා කරනවා. සිංහල බෞද්ධයන්ගෙ ප්‍රශ්න ගැන මේ කවුරුවත් කෙළින් කතා කරන්නෙ නැහැ. ඒ නිසා ඒ සිංහල, බෞද්ධයන් ගැන කතා කරන්නෙ හාමුදුරුවරු. අපි මේ ඇත්ත පෙන්වා දෙන විට ඒ කරුණුවලින් හෙම්බත් වෙන පීඩා විඳින කල්ලි මේ රටේ කැරකැවෙනවා. ඒ අය සංස්කෘතිය අාක්‍රමණය කරමින් සිටින නිසා අපි ඇත්ත කතා කරනවිට ජනතාව ප්‍රසාදයට පත් වෙනවා. අපි වැලඳ ගන්නව.   


අපි කතා කරන ඇත්ත දේශපාලනඥයන්ට දිරවන්නෙ නැහැ. තම තමන්ගෙ දෘෂ්ඨිවල ඉඳගෙන ඔවුන් අපේ ප්‍රතිරූපයට ගහනවා. රටේ ආර්ථිකයට ගහනවා. අපි ප්‍රශ්නයක් කථා කළත් වැරැදියි. නිහඬව හිටියත් වැරැදියි. ජනප්‍රසාදය ඇති වෙනකොට තවත් දෙයක් කියනවා. මේ හදන්නෙ ගෝඨාභයගෙ ඡන්ද කඩන්නලු. තවත් පිරිසක් කියනවා මේ කරන්නෙ චම්පික රණවක ගේන්නලු. අපි මේවා කරනවා නම් හැංගි හොරා කරන්න අවශ්‍ය නැහැ. එළිපිට ඕනෑ දෙයක් කරන්න අපට පෞරුෂයක් තියෙනවා. අනිත් පැත්තෙන් කියනවා ඔය හාමුදුරුවො ඇවිත් කරන්නෙ ඡන්ද ලක්ෂයක් දෙකක් කඩන එකලු. මේ මිනිස්සුන්ට අපේ හිත් කියවන්න පුළුවන්ද? මේ සමාජයට බොරු මත කියල ජනතාවගෙ හිත් දූෂණය කරනවා. මේ රටේ දැන් අපහාස නීතිය නැහැ. එහෙම තිබ්බා නම් මේ වැඩි දෙනා ඉන්න ඕනෑ හිරගෙවල්වල. මයික් එකක් දැක්ක ගමන් කියවනවා. මේවායින් වෙන හානිය ගැන මේ පව්කාරයො කල්පනා කරන්නෙ නැහැ. මම ඉතාම වගකීමෙන් කියන්නෙ මේ රටේ දේශපාලනය කියන්නෙ කුණු ගොඩක්. මහා අපායක්. දේශපාලනය සූදුවක් කරගෙන. අවුරුදු 70ක් පුරා ඒක දකිනවා. නායකයෙක් ගැන කියනකොට හිතන්නෙ එක්කෝ දූෂිතයෙක්, එක්කො හොරෙක් ආදී වශයෙන්. මේ රට යහපත් රටක් කරන්න කතා වුණාට පාරක් දැක්කොත් මතක් වෙන්නේ ඒ පාර හදන්න කීයක් ගහන්න ඇත්ද කියලයි. අලුත් ගොඩනැගිල්ලක් දැක්කොත් හිතෙන්නෙ කීයක් කොමිෂන් ගහන්න ඇත්ද කියලයි. අපිව ඒ තත්ත්වයට වැටෙන්නෙ නැහැ. හාමුදුරුවරු කියන්නෙ රජකම් පතන අය නෙවෙයි. හැබැයි රට අරාජික වෙනව නම් ඒ වෙලාවෙ රජුන් හැදීමේ වගකීම භික්ෂුන් වහන්සේට හිමි වෙනවා. අපි ඉන්නේ එතන. මේ රට කරවන නායකයන්ට, භාරකරුවන්ට අනුශාසනා කරනවා මිස රජවෙන්න අපේ කිසිම අරමුණක් නැහැ. ඒක භික්ෂුන් වහන්සේගෙ කර්තව්‍යයක් නෙවෙයි. අපි පාලකයන්ගෙ ගෝලයොත් නොවෙයි.   


• ප්‍රශ්නය - භික්ෂුන් වහන්සේ නමක් වුණාට ඔබ වහන්සේ ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා. හික්මීමක් නැතිව කටයුතු කරනවා.   


• පිළිතුර - සමහර අවස්ථාවල අපි සීමාවන් ඉක්මවා ගිය බව පිළිගන්නවා. වරදක් වෙලා ඒ වරද පිළි අරගෙන ඒක නිවැරැදිකර ගැනීම බුද්ධිමත්කම. ඒ පරිසරයෙ හැටියට සමහර තැන්වලදි භික්ෂුත්වයට හානි වෙන ප්‍රකාශ ශිෂ්ට සමාජය අනුමත නොකරන ස්වරූපයක් තිබුණා. මම ඒකට උදාහරණයක් දෙන්නම්. 2001/2002 වසරේ චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ කොමිසමේ වාර්තාව 2002 දී එළි දැක්වූවා. ඒක ජනාධිපති බුද්ධ ශාසන වාර්තාව. ඒ වාර්තාවෙ දක්වල තියෙනවා නිදහසෙන් පසු මේ රට පුරාම සිංහල බෞද්ධයන්ට එරෙහිව පුරාවස්තු සංහාරය, සංස්කෘතික හානිය, අන්‍යාගමිකකරණය, කාන්තාවන් වඳ බවට පත් කිරීම, ඉස්ලාම්කරණය, ඉස්ලාම් ව්‍යාප්තිය, අන්තවාදය ගැන වාර්තාවෙ සඳහන් වෙනවා. එම කොමිසමේ වාර්තාවෙ සඳහන් කරුණු ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ. රටේ ආගමික කෝලාහල නිර්මාණය කරන අන්තවාදී ආගමික කල්ලි ගැන එම වාර්තාවේ පිටු පහක සඳහන් කර තිබෙනවා. රටේ ආගමික කෝලාහල නිර්මාණය කිරීමට රාජ්‍ය නොවන සංවිධාන හා ආගමික කල්ලි තිබුණා. අන්‍යාගමික පනතක් ගේන්න කියල අපි බුද්ධ ශාසන අමාත්‍යංශය වැටලුවා. හෙළ උරුමයත් බෞද්ධයන් ආරක්ෂා කර ගැනීමට අණපනත් හදන්න යෝජනා කළා. ගිහියො ඒක කරන්නෙ නැහැ කියල භික්ෂුන් වහන්සේ 9ක් පාර්ලිමේන්තු ගියා. ඒකත් දෙකට තුනට කැඩිලා බඩු මල්ලක් පොළොවෙ ගහනවා වගේ සී සී කඩ ගියා. 2009 දී බුද්ධශාසන කොමිෂන් සභා වාර්තාවක් එළි දැක්වුවා. 2001 දී වාර්තාවෙ කොටින්ට සහාය දෙන රාජ්‍ය නොවන සංවිධාන 110ක් ගැන සඳහන් වුණා. පියවරක් ගන්නෙ නැහැ. ඒකෙ ප්‍රතිඵලයක් ලෙසට 2001 දී 309ක් දක්වා වර්ධනය වෙලා. මහින්ද රාජපක්ෂ මේකට පිළිතුරක් හෙව්වෙ නැහැ. රනිල්-චන්ද්‍රිකා යුගයෙ ඒක කළෙත් නැහැ. වර්තමාන රජයෙත් වැඩපිළිවෙළක් නැහැ. නමුත් 2018 දී 455ක් දක්වා සංවිධාන ගොඩනැගිලා. අපි කෑගහල කිව්වෙ මොනවද? ‘බුද්ධ බාර්’ කියල බාර් එකක් හදලා රාත්‍රි පාටියක් සංවිධානය කර තිබුණා. අපි එතැනට ගිහිල්ල ඒක හෙළිදරව් කළා. එතැනදී අපි ආවේගශීලීවීම අස්වාභාවික තත්ත්වයක් නෙවෙයි. මම මගේ බුදු හාමුදුරුවන්ට කැමැතියි. ඉස්ලාමිකයා කුරානය ගැන පොඩි හරි දෙයක් කළොත් පාරට බැහැලා කෑගහනවා. ඒ වගේ රටක මගේ හැසිරීම ගැන විතරක් බලන්නෙ ඇයි?


මේ රට බොහොම සමගියෙන් තිබුණෙ, සියලු ජාතීන් එක මේසෙ කෑම කෑවා. ආගමික සලකුණක් බැලුවේ නැහැ. හලාල් කියල මඟුලක් ගෙනාවා. සාකච්ඡාවක් තිබුණේ නැහැ. අපි කෑගහන කිව්වා. මෙහෙම බෙදෙන්න එපා කියලා. අපි හැමෝම එක මේසෙ කෑවා. සමාජයට අනවශ්‍ය නීති ගෙනැල්ල ප්‍රශ්න නිර්මාණය කරන්න එපා කියල අපි කිව්වා.   


විල්පත්තුව ගැන අපි කතා කළා. භික්ෂුන් වහන්සේ අගතිගාමී වැඩ කරන විට අපි ඒවට නිර්දය ලෙස පහර දුන්නා. භික්ෂු වෙස්ගත් ප්‍රතිරූපකයෝ පනස් ගාණක සිවුරු ගැලෙව්වා. මේක සුමට මගක් නෙවෙයි. ලේසි දෙයක් නෙවි. මේක හරියට ගඟේ උඩට පීනනවා වගේ වැඩක්. ගඟේ උඩට පීනන කොට හෝන්දු මාන්දුවට වරල් ගහල හරි යන්නෙ නැහැ. වරල් සද්දෙට ගහන්න ඕනෑ. වරල් සද්දෙට ගහමින් උඩට පීනන්න උත්සහ කරන කෙනක්. රටේ ජනතාව මගේ හැසිරීමෙන් දැක්කා. අද අපේ භික්ෂුන් වහන්සේ ආරණ්‍යවාසි, වනවාසි කියල වැඩ වසනවා. කණ්ඩායමක් නිවන් දකින්න දක්කාගෙන යනවා. තවත් පිරිසක් පන්සල හදාගන්න ආධාර උපකාර ගන්න වැඩපිළිවෙළ හදනවා. ඔක්කොම ව්‍යාපෘති. කවුරුවත් කැප කිරීම් කරන්න යන්නෙ නැහැ. දේශපාලකයට බයයි. තමන්ගෙ අය තරහ වේවි කියල බයයි. දායක සභාව දෙකඩ වෙයි කියල බයයි. ඇත්ත දැක දැක මිනිස්සුන්ව අතහරින්න කිය කියා හාමුදුරුවරු මොකක්දෝ තපස් ව්‍රතයක් රකිනවා.   


උඩරටින් පහතරටින් හාමුදුරුවරු එක හඬින් ඇත්ත කතා කළා නම් මම තනි වෙන්නෙ නැහැ. හැමෝම නිහඬ පිළිවෙතක සිටිය දී ඥානසාර හාමුදුරුවො කතා කරන විට ඒක ටිකක් අමුත්තක් තමයි. මම මේ හයියෙන් කතා කරන්න හේතුව කුමක්ද? අපි නිදා වැටෙන ජාතියක්. මේ රට ගොඩගත් සිංහලයො ගැන අමුතුවෙන් පාරම්බාන්න අවශ්‍ය නැහැ. මේ රට සිංහලයො ගොඩනගපු බව පොතේ ලියල තියෙනවා. මහාවංශයෙ ඒ කතාව තියෙනව. ගල්වල කොටල තියෙනවා. නමුත් වර්තමානයෙ සිංහල ජනතාව ජීවත් වෙන්නේ අහිකුණ්ඨිකයො වගේ. උපනූපන් දරු පරපුර වෙනුවෙන් අපට ඉදිරිපත් වෙන්න සිදුවී තිබෙනවා. අක්මුල් සිඳගත් පක්ෂ දේශපාලනය නිසා විශ්වාසය බිඳ වැටුණු අරමුණක් නැති දූෂිත පිරිහීමේ දොරටු විවෘත කරගත් ජාතියකට සද්දෙට කතා නොකර බැහැ. බුදු හාමුදුරුවොත් ඒ වගකීම අපට පවරල තියෙනවා. ‘‘එම්බා මෝඩ පුරුෂය’’ කියල අමතලා තියෙනවා.   
අද මේ සංහිඳියාවන් ගැන මානව හිමිකම් ගැන කතා කරන අය ධර්මපාල තුමාටත් නඩු පවරන්න ඕනෑ. මිගෙට්ටුවත්තේ හාමුදුරුවන්ටත් නඩු පවරන්න ඕනෑ, හේන්පිටගෙදර හාමුදුරුවන්ටත් නඩු පවරන්න ඕනෑ. අපේ රටේ තිබෙන අවාසනාවන්තම තත්ත්වය නම් අපි විශ්වාස කරන්නෙ අතීතයයි අනාගතයයි. වර්තමානය ගැන හිතන්නෙ නැහැ. අපි වැඩ කරන්නෙ වර්තමානයෙ. අතීත විරුවො සමරනවා. ඒ සඳහා කැපවෙන අයගේ අත්පා සිඳලා චරිත විනාශ කරල බොහෝ කණ්ඩායම් අමුතු සතුටක් ලබනවා.   


කවදා හරි අපේ වටිනාකම තේරේවි. මේ හාමුදුරුවො කෑ ගැහුවෙ ඇයි කියල තේරෙන්නෙ තමුන්ගෙ බෙල්ලට තොණ්ඩුව වැටුණ දවසටයි. අද මා දිහා බලන්නෙ දඩබ්බරයෙක්ද, පාතාලයෙක්ද මේ මනුස්සය කියලයි.   


• ප්‍රශ්නය - දැන් කිසියම් වෙනසක් වෙලාද?   


• පිළිතුර - දැන් මම වෙනස්. අපිට වෙනස් වෙන්න පුළුවන්. මහා යතිවරුන්ගේ අවවාද අනුශාසනාවලට යටත්ව උන්වහන්සේලා අපට සීමාවන් පනවල තියෙනවා. ඒවට යටත්ව වචන සංවරයකින් වැඩ කරනවා. හැබැයි මම විශ්වාස කරනවා මේ ඇති කළ ප්‍රබෝධය නිසා රටේ ජනතාව කියන්නෙ මේ මනුස්සය කියන කරුණු ඇත්ත. ඒක කියන ස්වරූපය තමයි හරි නැත්තෙ කියල බැහැර කළේ නැහැ. එහෙම වුණේ බට අත්තයි මහණකමයි බණ පොතයි පැත්තකින් තියල මේ වැටෙන ජාතිය ගැන පෙන්වාදීම නිසයි. ජාතියෙ විනාශයට උඩගෙඩි දෙන බලලෝබි දේශපාලනඥයො අන්තවාදය පෝෂණය කළා. අපි ඒ අයට ඇඟිල්ල දික්කරල කතා කළා. එහෙම කළේ අපේ පිටුපසින් කිසිම දේශපාලන බලවේගයක් නැති නිසා.   


• ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ යුගයෙ ඔබ වහන්සේට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.   


• පිළිතුර - අපි ඒ කාලය තුළ බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාවෙන් දැක්වූ ප්‍රශ්න ගැන කෑගහල කිව්වා. 2002 දී මේ වාර්තාව ආවේ බොදු බල සේනා සංවිධානය පිහිටෙව්වෙ 2012 දී. අපිට කූරගල ගැන කතා කරන්න සිදුවුණා. පුරාවස්තු බිමක වැසිකිළිවළක් හෑරුවොත් උස්සාගෙන ගිහිල්ල හිරේ දාන නීතිය කූරගලට නැද්ද? විල්පත්තුව කපනවා. ඒවට නීතියක් නැද්ද? මේ රටේ ජනතාව නීතිය ගැන විශ්වාසයක් නැහැ. නීතිය උතුරේ අයට එක විදියක්. දකුණේ අයට තව විදියක්. හාමුදුරුවන්ට තව විදියක්. මේකෙ සමබර බවක් නැහැ. මේ වාර්තාවෙ තොරතුරු ප්‍රත්‍යක්ෂ වශයෙන් ඉටු කරන තැන්වලට ගිහිල්ල කතා කළා. මාධ්‍යයට කිව්වා. යහපාලනය, සහජීවනය, සර්ව ආගමික චිත්‍රයට මුවාවෙලා කුපාඩිකම් කරගෙන ගියා. ආරක්ෂක ලේකම්, ආරක්ෂක මණ්ඩලයට ගියාම අර හාමුදුරුවො ප්‍රශ්න ඇති කරනවා. විසඳුමක් ගන්නෙ නැද්ද? කියල ඇහුවම. ඒ අයට බොරුවට නඩු පවරන්න බැහැ. මේ හාමුදුරුවො කියන එක ඇත්ත. ඒක අපේ බුද්ධි අංශ සනාථ කර තිබෙනවා. ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්නෙ කොහොමද? කියල අහල තිබෙනවා. එහෙම නැතුව රාජපක්ෂලගෙ හව්හරණක් අපට ලැබුණේ නැහැ. අපි කතා කළේ ඇත්ත. ඒ ඇත්ත හෙමින් කතා කළත් කෑගහල කිව්වත් කතන්දරයක් ලෙස කිව්වත් නිසඳැසක් ලෙස කිව්වත් ඇත්ත ඇත්තමයි.   


• ප්‍රශ්නය - මින් පස්සෙ මොකද වෙන්නෙ.   


• පිළිතුර - ඉදිරියටත් එහෙමයි. මේ රටේ මිනිස්සු අපට ඡන්දය දෙන්නෙ දණ්ඩ නමස්කාරය කරන්නෙ ඇයි? ජනතාව විසින් ජනතාවගෙන් කොටසක් නඩත්තු කරන එකම රට මේකයි. මේ වගේ ලෝකෙ කිසිම රටක් නැහැ. පන්සල් හදනවා. ඉඩ කඩම් පූජා කරනවා. පැවිද්දෙ සිට අපවත්වීම දක්වා නෑදෑයො බලා ගන්නෙ නැහැ. ඒව කරන්නෙ මිනිස්සු. අපට ඉතිහාසයෙන් පවරපු කාර්ය භාරයක් තිබෙනවා. භික්ෂුවකගෙ ඓතිහාසික කාර්ය භාරයක් තියෙනවා. එහිදී අපි අගතිගාමී වෙන්නෙ නැහැ. ඇත්ත ඇති සැටියෙන් පාලකයන්ට පෙන්වා දුන්නා. ඒක ඊයෙත් කළා. අදත් කරනවා. හෙටත් කරනවා. පාලකයන්ගෙ පහසුවට සාම, දාන, භේද, දණ්ඩ කියන කරුණු හතර ක්‍රියාත්මක කරනවා. හොඳින් කතා කරනවා. වරදාන දෙනවා. ඒ විදියට මෙල්ල කරන්න බලනවා. පපට්ලා වගේ දොඩවන අය ඔය ඉන්නෙ. ඊළඟට භේද කරනවා. මාධ්‍ය යොදා ගන්නවා අපේ ආරථිකයට ගහනවා. මිනිස්සුන්ගෙ මනස විකෘති කරනවා. එහෙමත් බැරි වුණොත් දණ්ඩ නීති සංග්‍රහය ගෙනැල්ල ගැට ගහල හිරේ දානවා. මටත් ඒක වලංගුයි. දණ්ඩනය කොයි හැටි වෙතත් ඒ අභියෝගවලට මුහුණ දීල අත්දැකීම් තුළින් තවත් පන්නරය හදාගෙන මේ රටේ උපනූපන් දරුවන් වෙනුවෙන් රටක් ඉතිරි කිරීම අපේ උත්සාහයයි.   


• ප්‍රශ්නය - ඊළඟ පියවරේ දී අධිකරණ තීරණය ?  


• පිළිතුර - මම හිතන්නෙ සාකච්ඡාවට බඳුන් කළ යුතුයි. හැම තැනනකම දේශපාලනඥයන්ට සුවච කීකරු නිලධාරි රෙජිමයක් ඉන්නවා. ඒක හැම තලයකම තියෙනවා. මේ අය අවශ්‍ය නූල් සූත්තර ටික හදල දෙනවා. අපේ රටේ තියෙන්නෙ අච්චාරු නීතියක්. රෝම, ලන්දේසි, ඉංග්‍රීසි කවලන් නීතියක්. සුද්දට ඕනෑ විදියට නීති හැදුවා. නීති කියන්නෙ සම්මුතිය. සුද්දො නීතිය හැදුවා. ඒවා බොහොමයක් තවම එහෙමමයි. බුද්ධාගම පෝෂණය කරනව කියනවා. මොනවද කරල තියෙන්නෙ? බුද්ධාගම පෝෂණය කරනවා කියන්නෙ අපට ජම්පර් අන්දන එක ද? යළිත් සමගියක් නැති නිසා සංඝයාගෙ ප්‍රශ්න ටිකවත් විසඳගන්න බැරිවෙලා. සංඝාධිකරණයක් හදාගන්න බැරි වුණා. මුස්ලිම් ජනතාව ඒ අයගෙ නීති පද්ධතිය හදාගෙන තියෙනවා. අපි ගිහිල්ල අපරාධකාරයො එක්ක බංකුවල වාඩිවෙනවා. මුස්ලිම් කාති උසාවි 60ක් මේ රටේ හදාගෙන තියෙනවා. සිවුර ඇතුළෙ ඉන්නෙත් මනුස්සයෙක්. වැරැදි විය හැකියි. බන්ධනාගාරයට ගියාම වැරැද්දෙ හැටියට දඬුවම ලැබෙන්න ඕනෑ. වැරැද්දෙ ස්වභාවය බලන්න ඕනෑනේ. අපි හැමදාම හිතුවෙ සමස්ත රට ගැනමයි. බලාගෙන සිටියදි අපේ සංස්කෘතිය කොල්ල කනවා. ජාතියට විනාශයක් වෙනවිට අපි ඉදිරිපත් වෙනවා. ඒකට කියන්නෙ ජාතිවාදය කියල. දෙමළ, මුස්ලිම් දේශපාලනඥයො රට බෙදනවා. සිංහලයන්ට මෙහේ බැහැ කියනවා. ඒවට ජාතිවාදය කියන්නෙ නැහැ.   


මේ මොන නිවටකමක්ද? ජාතිය මේ නිවට කමින් නැගිට්ටව ගන්න අපි කතා කරනවා. ඒක කරදරයක දී පන්සලේ ගහන ගණ්ඨාරය වගෙයි. ජාතික ප්‍රශ්නවලදී බණ කියන ස්වරය පැත්තක තියලා තේරෙන භාෂාවෙන් කතා කරනවා.   

 

 

 

 

සාකච්ඡාව - දයාසීලී ලියනගේ   
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය