රටේ ජන අරගල වෙනුවෙන් මම මගේ විවාහ මංගල්‍යය අවුරුදු 11 ක් කල් දැම්මා


පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න

පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ චරිතයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න හැඳින්විය හැක. මේ ඔහු සමඟ ඒ පිළිබඳ කළ සාකච්ඡාවකි.  

පහුගිය දවස්වල බොහෝ දෙනා කතා කළා චතුර සේනාරත්නගෙ වෙඩින් එක ගැන. කොහොමද එච්චර ලොකු මඟුලක් ගත්තේ?  


මේක එහෙම රාජකීය මඟුලක් නෙවෙයි. මේ මඟුල් ගෙදරට තමයි මම හිතන්නේ මේ රටේ අන්තිම පහළ පොඩි මිනිහගෙ ඉඳන් විවිධ සමාජ ස්ථරවල ඉන්න විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිසක් සහභාගි වෙච්ච අවස්ථාව.  


වෘත්තීය සමිතිවල අය, සිවිල් සංවිධානවල අය, ගොවියො, කම්කරුවො ඇතුළු විවිධ පිරිසක් තමයි මේ මඟුලට සහභාගි වුණේ. ඒක නිසා මේක රාජකීය මඟුලක් නෙවෙයි. මේක මට සමීප ජනතාවගේ මඟුලක්. මට හිතවත් විශාල පිරිසක් එක්ක මේ දවස ගතකරන්නයි මට ඕන වුණේ. දැන් හැමෝටම ප්‍රශ්නෙ තියෙන්නේ මේ මඟුල අරලියගහ මන්දිරේ ගත්තු එක.  


හැබැයි මම හිල්ටන් එකේ හරි ෂැංග්‍රිලා එකේ හරි වෙඩින් එක ගත්ත නම් ඔය කවුරුවත් මොකුත් කියන්නේ නෑ. එහෙම නං ඒ විශාල මුදල ඒ හෝටල අයිතිකරුවන්ට යන්නේ. ඒ හෝටල්වලට වඩා විශාල මුදලක් ගෙවලා තමයි මම අරලියගහ මන්දි​ෙර් වෙන්කර ගත්තේ.  


ඇයි චතුරට අරලියගහ මන්දිර උන්මාදයක්ම හැදුණේ වෙඩින් එක ගන්න?  


2015 ජනවාරි 8 වෙනිදා අරගලයට අපිත් එක්ක විශාල පිරිසක් අත්වැල් බැඳගත්තා. ඉතින් ඒ අයගෙන් හැකිතාක් පිරිසක් මගේ ජීවිතේ සුවිශේෂම දවසේ කැඳවා ගන්න මට ඕන වුණා.  


මගේ ඉල්ලීමට අගමැතිතුමා කන්දීලා අරලියගහ මන්දිරේ මට ලබා දුන්නා. මට විවිධ චෝදනා එල්ල කරන අයට මම මතක් කරනවා අරලියගහ මන්දිරේ ගාවල අදාළ සියලුම මුදල් සතයක් අඩු නැතුව මම ගෙවලා තියෙන්නේ. ඒ හැම බිලක්ම මම ඕන වෙලාවක ඉදිරිපත් කරන්න සූද‌ානම්.  


මම අරලියගහ මන්දිරේ වෙන්කරපු කාලයට අමතරව ගෙවුණු හැම පැයකටම රුපියල් අසූද‌ාහ ගානේ ලක්ෂ ගණනක් ගෙව්වා. විසිඑක් ලක්ෂ අසූද‌ාහක් ඒ ශාලාවට ගෙවලා තියෙනවා.  


විශාල පිරිසකට සහභාගි වෙන්න පුළුවන් තැනක් මේ සඳහා අපිට ඕන වුණා. සාධාරණ හේතු කිව්වම මේ තැන ලබා ගන්න මට පුළුවන් වුණා. මම විශාල මුදලක් වියදම් කරලා හරි ජනවාරි 8 අරගලයේ අපිත් එක්ක ඉඳපු බොහෝ පිරිසකට පුංචි කළගුණ සැලකීමක් හෝ කළා කියලා සතුටක් තියෙනවා.  


චතුරට වෙඩින් එක ගන්න අරලියගහ මන්දිරේ දෙන්න තරම් අගමැතිතුමා පෙළඹුණේ ඇයි?  


මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කතා කරලා යුක්තිසහගත හේතු ඉදිරිපත් කළාම ඒ සඳහා එතුමාගේ අනුමැතිය ලබා දුන්නා. ඊට පස්සේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා මේ සඳහා සම්බන්ධීකරණ කටයුත්ත කළා. මම අගමැතිතුමාගෙන් මේ සඳහා ඉල්ලපු ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී නිල ලිපි ශීර්ෂයෙන්වත් නෙවෙයි ඉල්ලුවේ. රටේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වෙන පරිදි සිවිල් ජනතාව මේ මංගල උත්සවයට ආරාධනා ලැබුවා. සියලු චක්‍රලේඛ යටතට අද‌ාළ සියලු ගාස්තුව මට දන්වන්න ඒ සියල්ල මම ගෙවනවා කියලා මම මුලින්ම කිව්වා. පෙර සූද‌ානම් වීම සඳහා ගතවෙන කාලයටත් පැය ගාණට මම මුදල් ගෙව්වා.  


ඔබේ වෙඩින් එකට අරලියගහ මන්දිරේ ලබා ගන්න ඔබ ඉදිරිපත් කරපු යුක්තිසහගත හේතු මොනවාද?  


ජනතාව අතර ජීවත්වෙන පුද්ගලයෙක් හැටියට දේශපාලන භේදයකින් තොරව මේ රටේ විශාලම සිවිල් ව්‍යාපාර දෙකක් නියෝජනය කරපු නායකයෙක්. ඒ සමඟ සිටි පිරිස්වලට මම ආරාධනා කළා. ඒ වගේම තවත් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිත බව මම දැන්වූවා. පහුගිය ජනවාරි 8 විප්ලවයේ අපි ජීවිත පරදුවට තියලා වැඩ කළේ. අගමැතිතුමා ඒ බව දන්නවා. මගේ ඉල්ලීම සාධාරණයි කියලා අගමැතිතුමා තීන්දු කළා. ඒකයි මේ තැන මට ලැබුණේ.  


ශෘලාව විතරයි අපිට අරලියගහ මන්දිරෙන් ලැබුණේ. කෑම බීම සැරසිලි පුටු මේස ඇතුළු අනෙකුත් සියලු දේ අපි පිටින් තමයි අරගත්තේ.  

 

  • ශාලාව විතරයි අරලියගහ මැදුරෙන් ගත්තේ. කෑම බීම, පුටු මේස සැරසිලි සියල්ල ගත්තේ පිටින්
  • මේ රටේ අන්තිම පොඩි මිනිහගේ සිට විවිධ සමාජ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සහභාගි වූ විවාහ මංගල්‍යය මගේ විවාහයයි.  
  • මම විශාල මුදලක් වියදම් කරල හරි ජනවාරි 8 අපිත් එක්ක ඉඳපු බොහෝ පිරිසකට පුංචි කළගුණ සැලකීමක් හෝ කළා කියල සතුටක් තියෙනවා. 
  • රටේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සිවිල් ජනතාව මේ විවාහ මංගල්‍යයට ආරාධනා ලැබුවා.

 


 චතුරට වගේම රටේ ඕනැම කෙනෙකුට අරලියගහ මන්දිරේ මඟුලක් ගන්න පුළුවන්ද?  


මේකෙ මංගල උත්සවයක් ගන්න පුළුවන් මේ මේ අයට කියලා නිර්ණායක නෑ. ඕනෑම පුද්ගලයෙකුට යුක්තිසහගත හේතු දන්වලා අවශ්‍ය ගෙවීම් කරලා ලබාගන්න පුළුවන්. එකම කාරණය ස්ථානයේ ගෞරවය ඉතාම ඉහළින් ආරක්ෂා කළ යුතුයි. අපි ඒක තිතටම කළා. වෙන හෝටල්වල වගේ අනවශ්‍ය වැඩ බෑ. අපි දෙන්නා විවාහක යුවළ විදියට නර්ථනයකට වත් එකතු වුණේ නෑ. සම්පූර්ණයෙන්ම මතින් තොර මංගල්‍යයක් තමයි මම ගත්තේ. ස්ථානයට අගෞරවයක් නොවන ලෙස තවත් කෙනෙකුට මේ පහසුකම ලබා ගන්න බැරිකමක් නෑ. මේකෙන් රජයටත් ආද‌ායමක් ලැබෙනවා.   


අැත්තටම මේ ශාලාව පහුගිය කාලේ නඩත්තු කරගන්න බැරිව නාවික හමුද‌ාවට බාරදීලා තිබුණේ. කලින් ආණ්ඩුව කාලෙ පවත්වපු දන්සල් මේ ආණ්ඩුව යටතේ පැවැත්වෙන්නේ නෑ. ඒක නිසා ශාලාව නඩත්තු කිරීමට විශේෂ වැඩ පිළිවෙළක් අවශ්‍යයි. ඒක කළේ නාවික හමුද‌ාව. මෑත කාලේ මේ ශාලාවට වැඩිම ආද‌ායමක් ලැබුණෙ අපේ මංගල උත්සවයෙන්. ඒක ලැබුණේ රජයට. හිල්ටන් එකට හෝ ෂැංග්‍රිලා එකට ඒ මුදල දෙනවට වඩා සතුටක් දැන් මට තියෙනවා.  


මන්ත්‍රීවරයෙක් සහ සිවිල් ව්‍යාපාර නායකයෙක් විදියට මෙච්චර විශාල මුදලක් වියදම් කරල මඟුලක් කනවට වඩා ඒ මුදලින් සමාජ සුබසාධන වැඩක් කළා නම් හොඳයි කියල හිතුණේ නැද්ද?  


මේ සිවිල් ව්‍යාපාර වෙනුවෙන් රටේ ජන අරගල වෙනුවෙන් මම මගේ විවාහ මංගල උත්සවය අවුරුදු එකොළහක් කල් ද‌ාපු තරුණයෙක්. අවුරුදු එකොළහක් විවාහ උත්සවය ප්‍රමාද කරලා කැපවුණේ රට වෙනුවෙන්. රටේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් තමයි ඒ කැපකිරීම කළේ. ඒ නිසා රටේ ජනතාවගේ සුබසාධනයට මගේ යුතුකම් ඉහළින්ම ඉටුකරපු සහ ඉටුකරමින් ඉන්න පුද්ගලයෙක් මම. මගේ ජීවිතයේ වටිනාම දවසෙ මට සමීප පිරිසක් එක්ක ගත කිරීම වරදක් නෙවෙයිනේ ඉතිං.  


මගේ විවාහයට මට වියදම් වුණේ අත්‍යවශ්‍ය මුදල් ප්‍රමාණයක් විතරයි. අනෙක් සියලු දේ මගේ සමීපතමයින් සම්පාදනය කළා. අපිට වියදම් වුණු මුදලට බිරිඳගෙ පා​ර්ශ්වයේ අයගෙනුත් ද‌ායකත්වයක් ලැබුණා.  


 පහුගිය ආණ්ඩුව කාලේ අරලියගහ මන්දිරේ දන්සල් දැම්මා කියපු ඔබ ඔබේ මඟුල එතනම ගත්තම ඒ පිරිස ඔබට චෝදනා කළා නේද?  


ඒ අයට ඒ චෝදනා සියල්ල හකුළා ගන්න සිද්ධ වුණා. මම ඒ සඳහා මුදල් ගෙවපු සියලු බිල්පත් පෙන්නුවට පස්සේ. මහින්ද රාජපක්ෂ රජය කාලේ අරලියගහ මන්දිරේ විවාහ ලියාපදිංචි කිරීම් ඕන තරම් ගත්තා. තවත් උත්සව පැවැත්වූවා. එහෙම වෙලාවෙ කිරිබත් කැටේකට වියදම් කළේ රජයේ මුදල්. ඕවා ඒ කාලේ ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් පත්තරෙන් පවා හෙළිදරවු කළා. එද‌ා එහෙමයි වැඩ සිද්ධ වුණේ.  


 මහින්ද රාජපක්ෂගෙ කාලෙ අරලියගහ මන්දිරේ ලියාපදිංචි කරපු විවාහ ගණන කොච්චරද? ඒ කිසි එකක සංග්‍රහ කටයුතු විවාහ යුවළ ගෙව්වේ නෑ. ඒ කෝටි ගාණක මුදල් ජනතා මුදල්. අපි එහෙම කළේ නෑ. මටත් ඕන්නම් මේ ශාලාව නොමිලේ ලබාගන්න තිබුණා ඉල්ලුවා නම්. ඒත් මම එහෙම කරල නෑ. ඒක නිසා අපිට චෝදනා කරන්න රාජපක්ෂ පුත්තුන්ට කොහොමවත් ඉඩක් නෑ. අපි අරලියගහ මන්දිරේ බීල පිස්සු නැටුවෙ නෑ. ඒ දවස්වල මේක ඇතුළෙ කෙරුණු වැඩ අපි දන්නවනේ.  


ඔබේ විවාහ උත්සවයෙන් පස්සේ තවත් කාටවත් අරලියගහ මන්දිරේ මඟුල් ගන්න දෙන්නෙ නෑ කියලා අගමැතිතුමා කියලා තිබුණා නේද?  


අපි අරලියගහ මන්දරේ ගෞරවය රකිමින් උත්සවයක් ගත්තට තවත් කෙනෙක් ඒ ගෞරවය ඒ විදියටම රකිනව ද කියන ප්‍රශ්නාර්ථය උඩ ඒ තීරණය ගන්න ඇති. සමහර විට කුමන්ත්‍රණකාරී ලෙස මේ තැන වෙන්කරගෙන මෙතෙන්ට අගෞරව වෙන විදියට අසෝභන විදියට හැසිරෙන්න කාට හරි ඉඩ තියෙනවා. එහෙම දෙයක් වෙන්නත් බැරි නෑ. එහෙම වුණොත් ඒකටත් අගමැතිතුමාට තමයි රටෙන්ම චෝදනා එන්නේ.  


ඔබට ලැබුණු ඒ චාන්ස් එක රටේ තවත් තරුණ තරුණියන්ට නොලැබෙන එක අසාධාරණයි නේ?  


මම කළා වගේ ගෞරවනීය ලෙස අද‌ාළ සියලු ගාස්තු ගෙවලා යුක්තිසහගත හේතු දක්වලා තව කෙනෙක් මේ සඳහා ඉල්ලීමක් කළොත් මේ අවස්ථාව ලබා ගන්න බැරි වෙන එකකුත් නෑ. එහෙම නොවුණොත් නම් ඒ අයට යම්කිසි අසාධාරණයක් වෙනවා තමයි. ඒක අගමැතිතුමා සහ ඒ අද‌ාළ කාර්ය මණඩලය තීන්දු කරන්න ඕන දෙයක්.  


 හැබැයි, මම මගේ විවාහයට ආරාධනා කළ තරම් පිරිසකට ආරාධනා නොකරන අයෙකුට නම් මේකට වඩා කොළඹ නගරේ ප්‍රසිද්ධ හෝටලයක් ඒ සඳහා වෙන්කර ගන්න එකමයි වඩා හොඳ. ඒකට මේ තරම් මුදලක් යන්නෙත් නෑ.  


ඔබේ පියා සහ මහින්ද රාජපක්ෂලා හරි හිතවත් නේ. කිව්වේ නැද්ද ඔබේ වෙඩින් එක රාජපක්ෂලා කාටවත්?  


නෑ. ප්‍රතිපත්තිමය තීන්දුවකට අනුව ඒකාබද්ධ විපක්ෂයෙන් ආරාධනා කළේ ගෞරවනීය කීපදෙනෙකුට විතරයි. ඒ වගේම ආණ්ඩු පක්ෂෙත් හොරකම් දූෂණවලට නම් කියැවෙන ඇතැම් අයට ආරාධනා කළේ නෑ. මේ මඟුලට අපේ ඥාතීන් විසි දෙදෙනකුට පමණයි ආරාධනා කළේ. අනිත් සියලු දෙනා මේ රටේ සාමාන්‍ය ජනතාව.  


ඒකාබද්ධ විපක්ෂෙ අයට නොකියන ප්‍රතිපත්තියක හිටිය කිව්වට විමල් වීරවංශලගෙ පවුල ඔබේ අම්මා තාත්තලගෙ හොඳ හිතවතුන් කියලා කියවෙනවා. ඒ අයට කිව්වෙ නැත්තේ මොකෝ?  


මට විමල් වීරවංශලට කියන්න කිසිම ඕනකමක් නෑ. විමල් වීරවංශ වගේ පාස්පෝට් දෙකක් තියාගෙන ඉන්න කෙනෙකුගේ මඟුලට නෙවෙයි මගේ මරණයටවත් ඕන නෑ. අන්තිම කැමැති පත්තරෙත් මම ලියනවා පුළුවන් වුණොත් ඔය වගේ දූෂිතයො මරණගෙදරට ගන්න එපා කියලා.  


අපේ අම්මත් එක්ක විමල් වීරවංශගෙ බිරිඳ යම් හිතවත්කමක් තිබුණා අවුරුදු කීපයක ඉඳලා. ඒක පෞද්ගලික හිතවත්කමක් වෙන්න ඇති  ඒත් ඒ අයගෙ දූෂණ වහන්න අපේ අම්මවත් තාත්තවත් කිසිදු මැදිහත් වීමක් කරලා නෑ.   


හැබැයි එහෙම උදවු විමල් වීරවංශලට කරපු අය මේ ආණ්ඩුවේ ඉහළ තනතුරුවල ඉන්නවා. මම ඒකත් දන්නවා. එයාර්පෝට් එකට කෝල් කරලා මේ ගොල්ලො අත්අඩංගුවට ගන්න එපා කිව්වේ කවුද කියලත් අපි දන්නවා.  


කවුද ඒ?  


ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපි පහුගිය කාලේ මේවට විරුද්ධව හඬක් නැඟුවනේ. රටේ මිනිස්සු දන්නවා මේ ගැන.  


චතුරගේ තාත්තා සුවපති. ඒත් රටේ සමහර ඉස්පිරිතාලවලට බේත් පෙතිවත් නෑ.  


එහෙම කියන්න එපා. මේ ආණ්ඩුව යටතේ සෞඛ්‍ය සේවය විශාල විදියට වර්ධනයක් අත්කර ගත්තා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තම යම් යම් අඩුපාඩු තියෙනවා කියන එකත් මම පිළිගන්නවා. ඒවා පුළුවන් තරම් අඩු කරලා මේ රටේ ඉහළම සෞඛ්‍ය සේවයක් ස්ථාපිත කිරීම අපේ වගකීම.  


සුවපති සම්මානෙටත් තාත්තා නෙළුම් පොකුණේ ලොකු සංදර්ශනයක් දැම්මා.  


ඒ තරම් සම්මානයක් හම්බ වුණේ නිකන් නෙවෙයි නේ. ජාත්‍යන්තර කීර්තියක් ලැබුණේ කරපු වැඩ කොටසට. ඒත් ඒක අපේ රටේදි ඔය තරම් ලොකුවට උත්සව පවත්වල සැමරුවෙ නැතත් කමක් නෑ. මමත් හිතනවා ඒක අනවශ්‍ය දෙයක් කියලා. ලැබුණු සම්මානෙම ඇති.

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි