රටට ආදරය කරන සියලු බලවේගවල එකතු වීමක් අවශ්‍යයි


ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික   
කේ.ඩී. ලාල් කාන්ත

 

  • විමල් තාම ඉන්නේ පක්ෂයේ ඉන්න කාලේ දරපු මතයෙමයි. අපියි වෙනස් වුණේ.

රටේ අලුත් දේශපාලන තත්ත්වයකි. මේ අලුත් දේශපාලන පරිසරය තුළ ජනතා විමුක්ති පෙරමුණ ඉටු කරමින් සිටින කාර්යභාරය කුමක් ද? මේ ඒ සම්බන්ධයෙන් විමසමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සමග කළ සාකච්ඡාවකි.

 

 ප්‍රශ්නය:- දැන් රටේ තියෙන්නේ අලුත් දේශපාලන තත්ත්වයක්. මුස්ලිම් නායකයන් මැති ඇමැතිකම්වලින් ඉවත් වුණා. මේ තත්ත්වය ඔබේ පක්ෂය දකින්නේ කොහොමද?   


පිළිතුර:- අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ රටේ දේශපාලනය පරණ එක නොවෙයි. අලුත් දේශපාලන තත්ත්වයක් තියෙන්නේ. මෙවැනි දේශපාලන තත්ත්වයක් ඇති වුණාම බොහෝ වෙලාවට වෙන්න පුළුවන් දෙයක් මේ වෙලා තියෙන්නේ. දැන් මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයත් එක්ක මුළු රටම වෙළාගත්ත භීතියක් නිර්මාණය වුණා. පීඩිත භාවයට පත් වුණා මුළු රටම. එතැන් සිට සිදුවෙච්ච ක්‍රියාවලියේදී මුස්ලිම් ඇමැතිවරුන් සියලු දෙනාම තනතුරුවලින් ඉවත්වීම මගින් සමස්ත මුස්ලිම් සමාජයම එක මිටකට එකතු වෙච්ච බවක් පෙන්නුම් කරනවා. එක ජාතිවාදයක් එක ආගම්වාදයක් මතුවෙලා උඩට එනකොට ඒකට ප්‍රතිවිරුද්ධව අනෙකුත් ජාතිවාදි ආගම්වාද එකට එකතු වෙනවා.    


 ප්‍රශ්නය:- මේ තත්ත්වය යහපත් නෑ?   


පිළිතුර:- අතිශයින්ම භයානකයි. ඒ භයානක තැන ඉඳගෙන දැන් අපි බලන්න ඕනෑ කොහොමද මේ ජනවර්ග විවිධ ආගමික අනන්‍යතාවන් ජාතික සමගියක් කරා අරගෙන එන්න වැඩකටයුතු කරන්නේ කියන එක. ඒක තමයි රට ඉදිරියේ තියෙන අභියෝගය.   


 ප්‍රශ්නය:- එහෙම වැඩපිළිවෙළක් රට තුළ ඔබ දකිනවද?   


පිළිතුර:- ආණ්ඩුවක් නැති තත්ත්වයක් තුළ ආණ්ඩුව පැත්තෙන් කිසිම ආකාරයක ජාතික සමගියක් ගොඩනගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියලා ​ෙප්න්න නැහැ.   


 ප්‍රශ්නය:-- ජවිපෙටත් නෑ?   


පිළිතුර:- ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් උත්සාහ කරන්නේ අන්න ඒ හිඩැස පුරවන්න. ජනවර්ග මුහුණට මුහුණලා හිටගත්තොත් ඉතාම නරකයි. දැන් එවැනි තත්ත්වයකට රට පත්වෙලා තියෙන්නේ. එක සමාන්තරව ගමන් කරන ජාතික උවමනාවන් මත පදනම් වෙලා ගමන් කරන තත්ත්වයකුයි හද‌ාගන්න ඕනෑ. දැන් ඉන්නේ මුහුණට මුහුණලා. අපි වගේ පක්ෂ සහ තවත් මේ අනතුර දකින අයට එකට එකතුවෙලා මේ තත්ත්වය වෙනස් කරගත යුතුව තිබෙනවා.   


 ප්‍රශ්නය:- 94න් පස්සේ ගත්තොත් රටේ තීරක බලය වුණේ ජවිපෙයි. ඕනෑම අර්බුදයක් රටට සුබද‌ායි ලෙස කළමනාකරණය කරන්න ජවිපෙ සමත් වෙනවා. මේ වගේ මොහොතක ඇයි ජවිපෙට ඒ භූමිකාව මග හැරෙන්නේ?   


පිළිතුර:- ලංකාවේ සිංහල බෞද්ධ ජන ප්‍රජාවගේ දේශපාලනයේ එක උච්ඡස්ථානයක් තමයි 1956 කියන්නේ. බණ්ඩාරනායක මහත්තයාගේ ඝාතනයත් සමග හා ඉන් අනතුරුව ඇතිවෙච්ච තත්ත්වය තුළ එය බිඳී ගියා. ඉන් අනතුරුව 2004-2005 අවදිය වෙනකොට සියලුම සිංහල බෞද්ධ සංවිධාන, සිංහල ජාතිකත්වය මූලික කරගත් දේශපාලනික අනන්‍යතාවන් සහිත උගතුන්, බුද්ධිමතුන් ඔක්කොම එකම පෙරමුණකට ආවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි වාමාංශික අනන්‍යතාවත් රැක ගනිමින් සමත් වුණා එම පෙරමුණ ගොඩනගන්න. නමුත් යම් මොහොතකදී එම පුළුල් බලවේගය තුළින් වාමාංශික කොටස් වෙච්ච අපට ඉවත් වෙන්න සිදුවුණා. ඒ ඉවත්වෙන මොහොත වෙන විට අර ගොඩනගපු බලවේගය මහින්ද රාජපක්ෂ මහත්තයාට සින්න වුණා. ඉතින් ඊට පස්සේ අපට දේශපාලනය කරන්න සිද්ධ වුණේ එම බලවේගයට පිට ඉතිරි වෙච්ච බලවේගත් එක්ක.   


 ප්‍රශ්නය:- ඔබ පිළිගන්නවා ජවිපෙ, ජාතික අභිලාෂයන්ට පිටුපෑවා කියලා?   


පිළිතුර:- ජාතික අභිලාෂයන්ට පිටුපෑවා කියන එක නොවෙයි. ඒක වැරදියි. අපි නොමැතිව මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉතුරුවෙච්ච කොටස තුළ වාමාංශික බලවේග දුර්වලවෙච්ච නිසා අපි ඉවත්වීමත් එක්ක ඒ කොටස දුර්වල වුණා. වම වෙනමයි සිංහල බෞද්ධ අනන්‍යතාව සහිත බලවේගය වෙනමයි ගමන් කරන තත්ත්වයක් තමයි නිර්මාණය වුණේ. ඉතින් ඒක ඇතුළේ අපි දේශපාලනය කරගෙන එනකොට එම බලවේගය අපි විසින් හසුරුවන තත්ත්වයක නොවෙයි දැන් තියෙන්නේ. අනික් සමාජ ස්ථර අතර ඉන්න වමේ කණ්ඩායම් විවිධ විමුක්ති අරගල කරන කණ්ඩායම්. පුද්ගලයෝ, මහින්ද රාජපක්ෂ ව්‍යාපෘතියට එකතු නොවිච්ච විවිධ බලවේග සමග තමයි දැන් අපි එක්තරා ආකාරයකට දේශපාලනය කරමින් යමින් තිබෙන්නේ. ඒ නිසා එද‌ා සිංහල බෞද්ධ මහා ජාතික බලවේගයක් වමේ ව්‍යාපාරයක නායකත්වයකින් හසුරුවන තත්ත්වයක් තුළ දැවැන්ත කාර්යභාරයක් කරන්න පුළුවන්කම තිබුණට අපි මේ වෙලාවේ එවැනි මහා බලවේගයක් එකතු කරගන්න එම බලවේගය අපි අත්හැරලා තියෙන නිසා අපිට හැකියාවක් නෑ. 94න් පස්සේ 2005 කාලයක් දක්වා රට සමාජය මෙහෙයවපු බරින් ශක්තියෙන් රට මෙහෙයවන්න.   


 ප්‍රශ්නය:- ඒ කියන්නේ ජවිපෙ මහින්ද කඳවුරෙන් ඉවත්වීම දේශපාලන වැරැද්දක් වශයෙන් ඔබ ස්වයං විවේචනාත්මකව දකින බවද?   


 පිළිතුර:- ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය ලබාගන්න ගමන් කරන ව්‍යාපාරයක්. රාජ්‍ය බලය සඳහා සිංහල බෞද්ධ සංස්කෘතියකින් හෙබි ඒ බලවේගය අත්‍යවශ්‍යයි. නමුත් එය ජාතිවාදයක් හා අන්තවාදයක් කරා ගමන් කිරීම වැළැක්වීමත් අත්‍යවශ්‍යයි. එතකොට වමේ ව්‍යාපාරයක් තුළ එම බලවේගය ගමන් කරද්දී එවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ නෑ. ඒ බලවේගය සමගම තමයි අපි එළියට ආ යුතුව තිබුණේ. නමුත් රටේ පෙළගැහිච්ච ඊළාම්වාදී අරගලයේ ස්වරූපයත්, රනිල් වික්‍රමසිංහ ප්‍රභාකරන් එක්ක අත්සන් කරපු ගිවිසුමෙන් රට පාවලා දීලා තිබීමත් ඊළම නිර්මාණය වෙන්න ඔන්න මෙන්න කියලා තිබුණු තත්ත්වය මත අපිට බලපාපු කාරණා තුළ අපි එළියට බහිනකොට අර බලවේග ඒ මොහොතේ හිටපු තැන නතර වුණා. අපිටත් එළියට එන්න සිද්ධ වුණා. මොකද චන්ද්‍රිකා කුමාරතුංග ​ඒ වෙලාවේ සුනාමි සහන මණ්ඩලය නමින් රනිල් වික්‍රමසිංහට කරන්න බැරිවෙලා තිබ්බ ඊළම බිහි කිරීමට අවශ්‍ය කරන ඉතුරු කාර්යයක් කරලා දෙන්න සූදානමක හිටියා.   


 ප්‍රශ්නය:-නමුත් ඊට පස්සේ තමයි 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න ජවිපෙ මැදිහත් වෙන්නේ?   


පිළිතුර:- ඔව්. අපි ඉවත් වුණත් අනතුර තිබුණා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා විදියට එනකොට සහාය දෙන්න අපට සිද්ධ වෙන්නෙත් ඒ අනතුර තිබුණ නිසාමයි. නමුත් අපි පිටින් ඉඳන් සහයෝගය දුන්නේ. අපි ඇතුළට ගියේ නෑ. පිට හිටපු එක අපි දිගටම පිට හිටියා. ඒ තත්ත්වය තුළ නොවැළැක්විය හැකි ලෙස තමයි අපි එළියට එන්නේ. එහෙම තමයි අපිට මේක දකින්න පුළුවන්කම තියෙන්නේ.   


 ප්‍රශ්නය:- ඔය ඔබ කියපු බලවේගය ජවිපෙ අතහැරියම විමල් වීරවංශ ඒ බලවේගත් එක්ක හිට ගත්තා?   


පිළිතුර:- ඔහු නතර වුණේ නැහැ. ඔහුත් පක්ෂය ගත්ත තීරණය මත පක්ෂයත් එක්ක හිටියා. පසුව තමයි ඇතිවුණ යම් යම් සංවාද අරගල, මතවාද විසින් ඇතිවෙච්ච තත්ත්වය තුළ විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඒ බලවේගයට එකතු වුණේ. ඒ එකතු වීම තාමත් දිගටම යනවා. අපේ වෙන්වීමත් තාමත් දිගටම ගමන් කරනවා. යම් මොහොතක රටේ සිංහල බෞද්ධ බලවේගය වමේ ව්‍යාපාරයත් එක්ක ඒකාබද්ධ වීම තුළ අන්තවාදී හෝ ජාතිවාදී අන්තයට ගමන් නොකර ජාතික උවමනාවන් ඉෂ්ට කරගන්න පෙළගස්වන මොහොත දක්වා අපිට උත්තරයක් ලැබෙන්නේ නෑ. ඇත්ත වශයෙන්ම ඕනෑ කරලා තියෙනවා ශ්‍රී ලාංකේය ජාතික ව්‍යාපාරයක්. ඒක සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයකුත් නොවෙයි. මුස්ලිම්වාදී ජාතික ව්‍යාපාරයකුත් නොවෙයි. දෙමළවාදී ජාතික ව්‍යාපාරයකුත් නොවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් වාමාංශික ශ්‍රී ලාංකේය ජාතිකවාදී ව්‍යාපාරයක්. මේ වෙනකොට වෙන්වෙලා තියෙන තත්ත්වය එසේම තිබියදී ඒක වෙන්නේ නෑ. අපිට තියෙන අභියෝගය මේක එකතු කරගන්න එකම තමයි. එහෙම නැතිව මේක රටේ ඉන්න වාමාංශික කණ්ඩායම් විතරක් එකතු කරලා කරන්න පුළුවන් වැඩක් නොවෙයි.   


 ප්‍රශ්නය:-ඔබ මේ ඉඟි කරන්නේ මහින්ද - විමල් එක්ක ආපහු එකම දේශපාලන ගමනක් යන්න ජවි​ෙප සූදානම් බව ද?   


පිළිතුර:- ඒක බලවේගවල එකතුවකුයි වෙන්න ඕනෑ. ඒකේ මේ මොහොතේ තියෙන නාමකරණයන් නොවෙන්න පුළුවන්. එසේම වෙන්නත් පුළුවන්. දේශපාලනයේ අනන්තවත් වෙනස්කම් සිද්ධ වෙනවා. කියමනක් තියෙනවනේ. දේශපාලන තත්ත්වයන් වර්ධනය වෙනකොට ඒ තත්ත්වයන් ඇතුළේ තමයි උත්තර හොයන්න වෙන්නේ කියලා. ඇත්තටම ගත්තොත් එක්තරා ප්‍රමාණයකට මහින්ද රාජපක්ෂ මහත්තයාගෙනුත් සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලන බලවේගය ගැලවෙමින් තිබෙනවා ද කියන තත්ත්වයකුත් දැන් මතුවෙමින් තියෙනවා. ඔහු රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් කළේ නෑ. අපි හිතනවා ඒ මුස්ලිම් ජනතාවගේ ඡන්ද දිහා බලාගෙන තමයි එහෙම කළේ කියලා. ඒ වගේම ඥ‌ානසාර හාමුදුරුවෝ සිරගත කරන මොහොත වන විට මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ උන්වහන්සේ නියෝජනය කළා යැයි සමාජය සිතූ බලවේගය උන්වහන්සේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කළ බවක් පේන්න තිබ්බෙත් නෑ. ඒත් මුස්ලිම් ඡන්ද දිහා බලාගෙන කියලා තමයි සමාජ මතය ගොඩනැගිලා තිබුණේ. ඥ‌ානසාර හාමුදුරුවෝ වුණත් නිදහස් වෙලා ආවට පස්සේ උන්වහන්සේගේ මතවාදය ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කළොත් මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ කණ්ඩායමට විවේචනයක් තිබෙන බව ඉතා පැහැදිලිව පේන්න තියෙනවා. ඒ නිසා සිංහල බෞද්ධ ජනතාවගේ අග්‍රගණ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහත්තයා මෑතක් වනතුරුම සිටියත් මේ වෙනකොට ඒ බලවේගය ඔහුගෙනුත් විතැන් වී වෙනම ගමන් කරන ස්වරූපයකට එකතු වන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා මෙවැනි වෙනස්කම් දිහා බැලුවම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් සහිත ජනතා ව්‍යාපාරයකට ඉඩක් තියෙන බව ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා. ඒ නිසා පුද්ගලයා මහින්ද රාජපක්ෂද, විමල් වීරවංශ ද ඥ‌ානසාර හාමුදුරුවොද කවුද කින්ද මන්ද කියනවාට වඩා සිංහල බෞද්ධ සමාජයත් සමඟ වාමාංශික අනන්‍යතාව සහිත ප්‍රගතිශීලී මුස්ලිම් කොටස් ප්‍රගතිශීලී දෙමළ කොටස් ඒකාබද්ධ කරගත්ත උත්තරයක් හැර වෙන උත්තරයක් නැහැ. අවුරුදු 71ක දේශපාලනයේ භූමිකාව තුළින් පෙන්වන තත්ත්වය ඒක. කියමනක් තියෙනවා ‘සත්‍යයේ මිණුම් දණ්ඩ භාවිතාවය’ කියලා. දැන් ඉතිහාසය ගත්තොත් අපි දිනලා නෑ. එහෙම නම් අපේ භාවිතාවෙත් ගැටලුවක් තියෙනවා. රට දිනලත් නෑ. එහෙම ගත්තම අපි කාගෙ කාගෙත් භාවිතාවන්වල අවසානය රට කඩා වැටීමයි.   


 ප්‍රශ්නය:- ඔබ කියන විදියට ජවිපෙට අද අලුත් පාරක් හොයන්න වෙලා තියෙන්නේ. රෝහණ විජේවීර පෙන්වපු ‘ජාතිකවාදයෙන් සමාජවාදයට කියන ගමන් මගෙන් පීලි පැන්න නිසා?   


පිළිතුර:- ජනතා විමුක්ති පෙරමුණේ විජේවීර සහෝදරයගේ නායකත්වය හා මෙහෙයුම තුළ බලය සඳහා කටයුතු කරද්දී ඒ සඳහා අවශ්‍ය කරන සමාජ කණ්ඩායම් හරවා ගනිමින් එක්රැස් කරගනිමින් ඒවත් එක්ක ගැටෙන්නේ නැතිව වැඩ කළ බවක් පේන්න තියෙනවා. දැන් මාක්ස් ගත්තොත් කම්කරුවා හිටියා. ඒක ලෙනින්ට එනකොට ගොවි කම්කරු කියන තැනට මේක පත්කර ගත්තා. මාඕට එනකොට බලය සඳහා ඔහු වෙනම විග්‍රහයක් කරගත්තා. වියට්නාමයට එනකොට ඒක දැවැන්ත දේශප්‍රේමි අරගලයක් බවට පත් වුණා. ඒක අපේ රටට එනකොට විජේවීර සහෝදරයා මාක්ස් ලෙනින්වාදී විග්‍රහය මත පදනම් වෙමින් ශ්‍රී ලංකේය සංස්කෘතියෙ මහා සාධකය සම්බන්ධ කර ගනිමින් අනෙකුත් සාධකවලට එ​රෙහිව නොයමින් දේශපාලන බලය පෙළගැස්සුවා. ඒක නිවැරැදියි. අප කළ යුතුව තිබෙන්නේ වමේ අනන්‍යතාව තබා ගනිමින් දේශපාලන බලය ලබා ගැනීම ඉලක්ක කරන ව්‍යාපාරයක් විදියට රටේ බහුතර ජනතාව සම්බන්ධ කරගනිමින් ගොවි-කම්කරු පදනම් සහිත බලවේගත් එකතු කරගෙන දෙමළ-මුස්ලිම් සමාජයේ තියෙන ප්‍රගතිශීලී බලවේගත් සම්බන්ධ කරගත්ත වැඩපිළිවෙළක් තුළින් ඉදිරියට යන එක තමයි. වෙන විකල්පයක් නෑ.   


 ප්‍රශ්නය:-- මගේ ප්‍රශ්නය වුණේ ඇයි මේ අලුත් පාරක් හොයන්න වුණේ කියන එකයි. උපාය මාර්ගික විශේෂඥයන්ගේ හිඟකම නිසාද?   


පිළිතුර:- අප්‍රේල් 21 න් පස්සේ ජනතාව පෙළගස්වන ආණ්ඩුවේ දැවැන්ත ක්‍රියාකාරකමකුත් නෑ. ඉදිරියට ඇවිත් තියෙන්නේ ආගම හා ජන වර්ගය මූලික කරගත් දේශපාලනයක්. එහෙම තත්ත්වයක් නිර්මාණය වෙනකොට වෙන මුකුත් ඉතුරු වෙන්නේ නැහැ සමාජයේ. ඉතින් අපි මේ වෙනකොටත් මේ තත්ත්වය වෙනස් කරගන්න උත්තරයක් විදියට වැඩපිළිවෙළක් එළියට ද‌ාලා තියෙනවා. ඒ වැඩපිළිවෙළ වටා එකතු කරගෙන මේ ආණ්ඩුව ගෙදර යවන සටනත් ආරම්භ කළ යුතුයි. නමුත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේගයට ඉඩ නොතැබීමත් අත්‍යවශ්‍යයි. එතකොට මොකක්ද ඉතුරු වෙන්නේ කියලා බැලුවොත් යූඑන්පිය පරාද කරන්න ඕනෑ. කලින් තිබුණ තත්ත්වයට රට පත්වන එක වළක්වන්නත් ඕනෑ. අලුත් ආණ්ඩුවක් හදන්නත් ඕනෑ. ඒ අලුත් ආණ්ඩුව හදනකොට ඔය ඔක්කොම අත්හරිනකොට මොනවද ඉතුරු වෙන්නේ කියලා හිතුවොත් අත්හැර ගන්න ඕනෑ ඒ නායකයො. මූලිකත්වය දෙන ජනතාව නොවෙයි එ් නායකත්වයි අත්හරින්න ඕනෑ. ඒක අභියෝගයක්. ඒ අභියෝගය ජයගත යුතුයි.   


 ප්‍රශ්නය:-මෙහෙම ගිහින් ඒ අභියෝගය ජයගත හැකියි කියලා හිතනවද?   


පිළිතුර:- 40 දශකයේ දේශපාලනඥයන්ට ඔය වැඩේ කරන්න බෑ. පනහ දශකයේ අයටත් බැහැ. ඒක දැන් ඉවරයි. රට තුළින් තරුණ හැටේ දශකයෙ ජනබලවේග මූලික කරගනිමින් ඒ අය නායකත්වය ගනිමින් ඉන් පහළ ජන බලවේග එකතු කර ගැනීම මේකට අත්‍යවශ්‍යයි. දැන් ගත්තොත් රටේ සෑම තැනකම ඉහළ නිලධාරින් වගකිවයුතු තැන්වල ඉන්නේ වැඩි පිරිසක් හැටේ දශකයේ ඉපදිච්ච බලවේගය එහෙම බැලුවම රනිල් වික්‍රමසිංහ යන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ යන්න ඕනෑ. මෛත්‍රීපාල සිරිසේන යන්න ඕනෑ. චන්ද්‍රිකා කුමාරතුංග දැන් ගිහිල්ලා ඉන්නේ. ඉතුරු ටිකත් යෑම අත්‍යවශ්‍යයි. 

 ප්‍රශ්නය:-පාස්කු ඉරිද‌ා ප්‍රහාරයට හමුද‌ා බුද්ධි අංශ අඩපණ කිරීම පහසුවක් වුණා. ජවිපෙත් එහෙම පිළිගන්නවාද?   


පිළිතුර:- මේකේ ජාත්‍යන්තර සාධයකුත් තියෙනවා. අයිඑස්ලා ජාත්‍යන්තර වශයෙන් බිඳ වැටීමක් තිබෙන අතර ඔවුන්ට යළි නැගී සිටීමේ උවමනාවක් සහිතව ඔවුන් වැඩ කරගෙන යනවා. ඊළඟට රට තුළ ආණ්ඩුකරණය දුර්වල කරගන්න පාලනයකුත් තියෙනවා. ඒ තුළ මුළු රටම අරාජිකයි. ආර්ථිකය කඩා වැටිලා. සමාජය කඩා වැටිලා. ඔක්කොම කඩා වැටිලා. ආරක්ෂක මණ්ඩලයවත් හරියට කැඳවගන්න බැරි රටක් නිර්මාණය වෙලා තිබුණා ඔය වෙනකොට. ඊට අමතරව රට ඇතුළේ විවිධ විදියට අන්තවාදී දේශපාලන ක්‍රියාකාරකම් සහිතව පැවතුණා. මාවනැල්ලේ සිද්ධිය ගත්තත් දිගන සිද්ධිය ගත්තත් එවැනි දෙපැත්තක ක්‍රියාකාරකම් අන්තවාදීව මතුවෙච්ච තත්ත්වයකුත් තිබුණා. එක අන්තවාදයක් තව අන්තවාදයක් පෝෂණය කරනවා. ඔය තත්ත්වයන් ඔක්කෝමගේ ප්‍රතිඵලය තමයි අප්‍රේල් 21 ප්‍රහාරය. මැරිච්ච ජනතාව ගැන කනගාටු වෙන ගමන්ම 21 මේ වෙච්ච හෙළිදරව්ව අතිශයින්ම වැදගත්. මේක තව ටිකක් ඉදිරියට ගියා නම් රට මොනවගේ තත්ත්වයට පත්වෙලා රටම ලේ විලක් බවට පත්වෙලා මේ පිපිරීම වෙන්න පුළුවන්කම තිබුණා. මේ සිද්ධියෙන් පස්සේ ලැබෙන තොරතුරු අත්අඩංගුවට ගැනීම් ඒ සියල්ල සැලකිල්ලට ගත්තාම මීට වඩා භයානක දෙයකට සූද‌ානමින් සිටි බව නම් ඉතාම පැහැදිලියි. වරද කොතැනද වැරදිකාරයා කවුද කියන එක සංකීර්ණයි. ඒක සරල නැහැ.   


 ප්‍රශ්නය:-මේ තත්ත්වයට රට හෙළීම සම්බන්ධයෙන් ජවිපෙටත් ගැලවීමක් නැහැ. ජවිපෙත් මෙහි වගඋත්තරකරුවෙක්?   


පිළිතුර:- මේ රටේ දේශපාලනය කරපු සියලු කණ්ඩායම් මේකට වගකිව යුතුයි. අපේ කොටසකුත් තියෙනවා. අපිට බැරිවුණා 87-89 අරගලය ජයග්‍රහණයකින් කෙළවර කරගන්න. 94න් පස්සේ අපි වාමාංශික බලවේගත් එක්ක එකතු වෙලා ජාතිකවාදී බලවේගත් ඒකරාශී කරගෙන දැවැන්ත දේශපාලන ගමනක් ආවා. ඉතින් අපිට බැරි වුණා අපේ පක්ෂයේ අභ්‍යන්තර සමගිය තියාගන්න. කල්ලි කණ්ඩායම් බිහි වුණා. පක්ෂය කැඩුණා. බිඳුණා. අපිට බැරි වුණා අපි විසින්ම ගොඩනගාගෙන ආපු අතිවිශාල බලවේගයක් වෙනත් තැනකට ගමන් නොකර තබා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග, උපක්‍රම තෝරාගන්න. අවුරුදු 70ක් රට පාලනය කරපු අයටත් බැරිවෙලා තියෙනවා. ඔය ඔක්කෝටම අමතරව දැවැන්ත මුස්ලිම් ජාතිවාදයක් දැවැන්ත දෙමළ ජාතිවාදයක් දැවැන්ත සිංහල ජාතිවාදයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වයන් වෙනස් කරගෙන ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනගා ගැනීම සඳහා වන වමේ දේශපාලන භූමිකාව සාර්ථක කරගන්න අපිත් අසමත් වෙලා තියෙනවා. මේකේ ගැලවුම්කරුවෝ කවුරුවත් නැහැ. අපි හැමෝම මෙකේ කොටස්කාරයෝ. එ් නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපිටත් මේ තත්ත්වය සම්බන්ධයෙන් දැවැන්ත වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න තමයි අපට සිද්ධ වෙන්නේ ජාතිවාදී, ආගම්වාදී තැනට යන්න නොදී අර අපි කලින් කතාකරපු යහපත් තත්ත්වයට රට ගන්න දැවැන්ත අලුත් වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුයි.   


 ප්‍රශ්නය:- පාස්කු ඉරිද‌ා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන ඊබ්‍රාහිම් ජවිපෙට සල්ලි දීලා ජාතික ලැයිස්තුවට නම ද‌ාගන්නවා. ජවිපෙ එතැනට පත්වෙන්නේ?   


පිළිතුර:- ඇත්තටම ඔහු අපට සල්ලි දුන්නා කියන එක අපේ දේශපාලන හතුරන් විසින් ගොඩ නගන පට්ට බොරුවක්. ගිය මහ මැතිවරණය වන විට අපට අවශ්‍ය වුණා රටට දැවැන්ත ආදර්ශයක් සහිත ජාතික ලැයිස්තුවක් නිර්මාණය කරන්න. අපි ඒක කළා. සිංහල-දෙමළ-මුස්ලිම් ජනතාව සම්බන්ධ කරගත්ත එක එක සමාජ බලවේග, ව්‍යාපාරික බලවේග, කලාකරුවෝ, නීතිඥ ප්‍රජාව සම්බන්ධ කරගත් ආදර්ශවත් ජාතික ලැයිස්තුවක් අපි හැදුවා. ඊබ්‍රාහිම් මහත්තයාව අපි තමයි කතා කරලා ජාතික ලැයිස්තුවට ගත්තේ. එතුමා අපේ ජාතික ලැයිස්තුවට ආවා නොවෙයි. ඔහු ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කළා. නමුත් මුස්ලිම් සමාජය තුළ දන්නකියන පිළිගත් ව්‍යාපාරික මහත්මයෙකු විදියට අපි ඔහු ගත්තා. ඒකේ වැරැද්දක් අපි දකින්නේ නෑ. තවත් අපි ගත්ත අය ඉන්නවා. සමහර අය මේ වෙනකොට අපත් එක්ක දේශපාලනය කරන්නෙත් නෑ. මායාදුන්නේ මහත්තයා ගත්තොත් ඔහු ප්‍රගතිශීලීයි. එතුමා සමාජ කාර්යයක නිරත වෙනවා දැනුත්. එහෙම විවිධ අය අපි සම්බන්ධ කරගත්තා. අපිට ඕනෑකමකුත් තියෙනවා අපේ පක්ෂයට දෙමළ ප්‍රගතිශීලි උදවිය, මුස්ලිම් ප්‍රගතිශීලී උදවිය වැඩි වැඩියෙන් සම්බන්ධ කරගන්න. එක්තරා අවස්ථාවක අපි අන්ජාන් උම්මා සහෝදරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කළා. මොහොමඩ් මුසම්මිල් සහෝදරයාව අපි මන්ත්‍රී කෙනෙක් කළේත් මුස්ලිම් ප්‍රජාව සමග අපේ සම්බන්ධය තවදුරටත් ශක්තිමත් කරන්න. එතකොට ඊබ්‍රාහිම් මහත්තයාව අපි සම්බන්ධ කරගත්තෙත් ඒ උවමනාවෙන්. ඒකේ කිසිම වැරැද්දක් මම දකින්නේ නෑ. ඔහු මුස්ලිම් සමාජයේ යම් යම් පිරිස් අපිට සම්බන්ධ කරලත් දීල තියෙනවා.   


 ප්‍රශ්නය:-මේ තියෙන පරිසරය තුළ යම් හෙයකින් ඔහු පාර්ලිමේන්තුවට ගියා නම්?   


පිළිතුර:- ඒක වෙනම තත්ත්වයක්. එතුමා සෘජුව ජාතික තව්හිත් ජමාත් එකට සම්බන්ධ ද නැද්ද කියලා අපි තාම දන්නේ නෑ. ඒක මේ රටේ පරීක්ෂණ කරන ආරක්ෂක අංශ විසින් හෙළිකළ යුතුව තිබෙනවා. එක්තරා ප්‍රමාණයකට මේ දරුවෝ තරුණ අය වෙන ආකාරයක ක්‍රියාවලියක නිරත වෙනවා කියන එක ඔහු දැනුම්වත්ව සිටිය යුතුයි කියලා අපි හිතනවා. නමුත් මේ විදියේ ප්‍රහාරයක් ගැන ඔහු දැන සිටියාය කියලා අපි තවමත් විශ්වාස කරන්නේ නෑ.   


 ප්‍රශ්නය:-නමුත් ඔහුගේ නිවස තුළත් බෝම්බ පුපුරවාගෙන මරාගෙන මැරෙනවා?   


පිළිතුර:- ඔව්. එහෙම වෙන්න පුළුවන්. මම ජේවීපී කරන කාලයේත් අපේ ගෙදරත් එක එක ජාති තිබුණා. ඒවා අපේ අම්මලා තාත්තලා දන්නේ නැහැ.   


 ප්‍රශ්නය:-නමුත් පක්ෂය දන්නවනේ?   


පිළිතුර:- පක්ෂය දන්නවා. මම ​ෙම් කියන්නේ දැන් මගේ ගෙදරත් මොනවද තියෙන්නේ කියලා මගේ නෝනා මගේ දුව නොදැනුවත්වන්න පුළුවන්. මට පුළුවන් මගේ ගෙදර ඇතුළේ හොරෙන් කරන්න. අපි ඒක පිළිගන්න ඕනෑ. ඔබේ ගෙදරදි ඔබටත් එහෙම කරන්න පුළුවන්. මම මේ ඔහුව ශුද්ධ කරන්න යනවා නොවෙයි. ඔහු මේ වරදට සම්බන්ධ නම් ඔහුට එරෙහිව ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න ඕනෑනේ. ඒකට අපිත් සහාය දෙන්න ඕනෑනේ. ඒ සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නෑ. එකක් අපි දැනුම්වත්ව හිටියේ නෑ. මේ ජාතික තවුහිත් ජමාත් සංවිධානය මේ වගේ එකක් කියලා මං හිතන්නේ කවුරුවත් දැනගෙන හිටියෙ නෑ.   


 ප්‍රශ්නය:-ජවිපෙ කියන්නේ මේ රටේ තියෙන විප්ලවවාදී ව්‍යාපාරය. සන්නද්ධ අරගල දෙකක අත්දැකීම් තියෙන පක්ෂයක්. ඒ පක්ෂයේ නොදැනීම බරපතළ වරදක් කියලා මම යෝජනා කළොත්?   


පිළිතුර:- එසේ දැන හිටිය නොහැකියි කියන කාරණය මේ සිද්ධියෙන්ම පේනවනේ. දැවැන්ත ජාලයක් තියෙන ආරක්ෂක අංශවලටත්, තොරතුරු ලැබිලා තියෙද්දිත් මොකක්වත් කර ගත්තේ නැති එකේ අපි වගේ පක්ෂයකට මේ වගේ තත්ත්වයක් අවබෝධ නොවී තියෙන්න පුළුවන්. දැනුත් අපේ අවබෝධයෙන් පිට බොහෝ දේවල් වෙන්න පුළුවන්.

   
 ප්‍රශ්නය:-ජවිපෙ සාමාජිකත්වය හැමෝටම ගන්න බෑ. ඒකට පරීක්ෂණ ගණනාවක් තියෙනවා. නමුත් දැන් බෝම්බකරුවන්ට ඔත්තුකරුවන්ට පක්ෂය ඇතුළට රිංගන්න පුළුවන්?   
පිළිතුර:- බැහැ. කිසිසේත්ම බැහැ.   


 ප්‍රශ්නය:-නමුත් ජවිපෙ වේදිකාවේ දැන් ඉන්න සමහර චරිත ගත්තොත් ඉතිහාසයේ බරපතළ විවේචන තිබුණ අය? මම ප්‍රශ්න කරන්නේ ජවිපෙ හෘදය සාක්ෂිය?   


පිළිතුර:- ඒක මෙහෙමයි. දැන් නව ලිබරල් ධනවාදයේ කෙළවරට ඇවිත් තියෙන්නේ. මතවාදය තුළ සිද්ධවෙන සියලුම විනාශ ලෝකයටම වෙමින් තියෙන්නේ. ඉතිහාසයේ විවිධ තැන්වල හිටපු අය එතැනින් ගැලවිලා අපේ වේදිකාවට එනවා නම් නොගත යුතුයි කියලා කාටවත් කියන්න බෑ. එහෙම අය අපේ වේදිකාවට එකතු වෙනවා නම් අපි කැමැතියි. ඒක හොඳ තත්ත්වයක්. මම කලින් ප්‍රශ්නයකදිත් උත්තර දුන්නා අපෙන් කැඩිලා ගිය පිරිස් සහ තවත් එවැනි අයත් අපේ වේදිකාවට එනවා නම් අපි කැමැතියි. අපේ ඕනෑකමත් ඒක. සමාජය ඉල්ලන දේ ජවිපෙට තනියම කරන්න බැහැ. ඉතිහාසයේ අපිත් එක්ක ගැටුණ අය අද අපේ වේදිකාවේ ඉන්නවා.   


 ප්‍රශ්නය:-පක්ෂයෙ අරමුණු වෙනුවෙන් හැට දහසක් දිවි පිදුවා?   


පිළිතුර:- ඔව් ඇත්ත. ඒ අරමුණු ඉටු කිරීමේ උවමනාවෙන්ම තමයි අපි එකට වැඩ කරන්න ඕනෑ. එද‌ා දේවල් වෙච්ච දේවල් අපි ස්වයං විවේචනාත්මකව දකිමින් ඉදිරි දේශපාලන ගමනකට කට්ටිය එකතු කරන්නම ඕනෑ. නැතිව මේක කරන්න බැහැ. මොකද අපේ හැටද‌ාහක් මැරුණ වගේම අපේ ක්‍රියාකාරකම්වලින් පීඩාවට පත් වූ පිරිසකුත් ඉන්නවා. ඒකත් අපි පිළිගන්න ඕනෑ. එවැනි පිළිගැනීමක් ඇතිව අදට සරිලන දේශපාලනයක් සඳහා එකතුවන බලවේග අපි එකතු කරගන්න ඕනෑ.   


 ප්‍රශ්නය:- ඔවුන් දිනාගන්න ජවිපෙ සමත් වෙනවද? එහෙම නැත්නම් ජවිපෙ දිනාගන්න ඔවුන් සමත් වෙනවද?   


පිළිතුර:- නෑ. අපි ඔවුන් දිනා ගන්නවා හෝ අපව ඔවුන් දිනාගන්නවා නොවෙයි. රටේ අවශ්‍යතාවක් තියෙනවා. ඒක දේශපාලනික අවශ්‍යතාවක්. අපට ඔවුන් දිනාගන්න අවශ්‍යත් නෑ. ඔවුන්ට අපව දිනා ගන්නත් බෑ. මේක විශ්වාසය අවිශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. අවශ්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක්. රටට උත්තරයක් අවශ්‍යයි. ඒ උත්තරයට එකඟ අය එකතු කළ යුතුයි.   


 ප්‍රශ්නය:- රටේ ලොකු සංවාදයක් තියෙනවා ‘මේක සිංහල බෙද්ධ රටක්ද නැද්ද? කියලා. ඔබ ඉන්න ස්ථාවරය?   


පිළිතුර:- මමත් අපේ පක්ෂයත් හැමද‌ාම පිළිගත්ත දෙයක් තියෙනවා. ශ්‍රී ලංකාව තුළ ජීවත්වෙන සිංහල බෞද්ධ ජනයාගේ රට මේක. මුස්ලිම් ජනයාගේ රට ලෝකයේ වෙන කොහේවත් නොවෙයි මේක. දෙමළ අයගේත් මේක. ඒ පිළිගැනීම සහිතව සමානාත්මතාවය සහිත පදනමකින් අපි ශ්‍රී ලංකේය ජාතියක් ගොඩනගන්න කටයුතු කරන්න ඕනෑ. කවුරුහරි මේක සිංහල බෞද්ධ රට මේක නොවෙයි කියලා මුස්ලිම් අයගෙත් දෙමළ අයගෙත් රට මේක නොවෙයි කියලා කියනවාට වඩා අපි ප්‍රකාශ කළ යුත්තේ සිංහල බෞද්ධ රට මේක. ඉස්ලාම් අයගේ රට මේක. දෙමළ අයගේ රට මේක. ඒක තමයි නිවැරැදිම අර්ථ දැක්වීම. මංගල සමරවීර කියන විදියට මේක සිංහල බෞද්ධයන්ගේ රට නොවෙයි. ශ්‍රී ලාංකිකයන්ගේ රට කියලා කියනකොට ‘නොවෙයි’ නම් ශ්‍රී ලාංකිකයන්ගේ කොටසට ඇතුළුවෙන්න බෑ. ඒකේ සිංහල වැරැදියි.   


 ප්‍රශ්නය:-ඇමැති මංගල විතරක් නොවෙයි ඔබේ පක්ෂයේ බිමල් රත්නායකත් කිව්වා ‘මේක සිංහල බෞද්ධයන්ගේ රට ​ෙනමෙයි’ කියලා?   


පිළිතුර:- ඒ ප්‍රකාශයෙ අන්තර්ගතය ගත්තොත් මොන මොන විදියට ප්‍රකාශ කළත් එකයි. ශ්‍රී ලාංකික අපි හැමෝගෙම රට කියලා තමයි මේ කියන්නේ. නමුත් ශ්‍රී ලාංකික අපි හැමෝගෙම කියලා කියන්න බෑ. ‘මෙයා නෑ. මෙයා නෑ’ කියමින්. මේක භාෂාව හැසිරවීමේ ප්‍රශ්නයක්.   


 ප්‍රශ්නය:- 94න් පස්සේ ජවිපෙ මැතිවරණ පොර පිටියෙ හාස්කම් පාමින් පෙරට එන්න නායකත්වය දුන්න සෝමවංශ අමරසිංහ පක්ෂය හැරද‌ා යනවා. ඒක අහම්බයක් ද? තාර්කික අන්තයද?   


පිළිතුර:- සෝමවංශ සහෝදරයට ලොකු මතවාදී ගැටුමක් තිබුණෙත් නැහැ. විමල් වීරවංශ මන්ත්‍රීතුමාට මතවාදී ගැටුමක් තිබ්බා. විමල් එද‌ා හිටපු ඒ මතවාදයෙම තමයි දැනුත් ඉන්නේ. පක්ෂය තුළ ඔහු දරපු මතවාදය තුළ තමයි ඔහු තවමත් ඉන්නේ. ඔහු වෙනස් වුණේ නැහැ. ඇත්තටම අපියි වෙනස් වුණේ. සෝමවංශ සහෝදරයා එහෙම ප්‍රශ්නයක් මතු කළේ නැහැ. මම හිතනවා අනුර සහෝදරයා නායකත්වයට පත් වුණාට පස්සේ අලුත් නායකත්වය යටතේ ඔහුට වැඩ කරන්න බැරි කුමන හෝ මානසික තත්ත්වයකට ඔහු පත්වුණා කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔහු පක්ෂයෙන් ගියා කියලා තමයි මම කල්පනා කරන්නේ.   


 ප්‍රශ්නය:-ඔබේ පක්ෂයේ නායක අනුර කුමාරට මුලින්ම ‘රතු අලි පැටියා’ කියලා කිව්වේ සෝමවංශ අමරසිංහ. එයත් අහම්බයක් ද?   


පිළිතුර:- සම්පූර්ණයෙන්ම ඒ අදහස ප්‍රතික්ෂේප කරනවා. අනුර සහෝදරයා පක්ෂය ගනු ලබන තීන්දු තීරණ මත තමයි හැම දෙයක්ම කරලා තියෙන්නේ. අනුර සහෝදරයා කරපු හැම දෙයක් සම්බන්ධයෙන්ම අපි පක්ෂයක් විදියට වගකීම බාර ගන්නවා. අනුර සහෝදරයට රතු අලි පැටියා කියලා කවුරු හරි කියනවා නම් ජනතා විමුක්ති පෙරමුණටම රතු අලි පැටියා කියලා කියන්න වෙනවා. මොකද පක්ෂයක් හැටියට අපි ගත්ත තීරණ මත තමයි අනුර සහෝදරයාගේ සියලු ක්‍රියාකාරකම් ප්‍රකාශයන් සිද්ධ වෙලා තියෙන්නේ. අපි එකිනෙකා ප්‍රකාශ කරන ආකාරයේ යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක භාෂාව හැසිරවීම සම්බන්ධ ප්‍රශ්නයක්. අනිත් එක අපිට පක්ෂයක් එක්ක ජනතාවට හොරෙන් ගනුදෙනුවක් කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඉතිහාසයේ කරලත් නෑ. වාමාංශික ව්‍යාපාර එහෙම කරන්නෙම නෑ. ඒ නිසා අපි ඉතාම නිවැරැදිව දේශපාලන කටයුතුවල නිරත වෙලා ඇවිත් තියෙන්නේ. ඔය ප්‍රශ්න එකක්වත් නෑ අපි හෙට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිලේ හිටගත්තා නම්. ඔය මඩ ගැහිලි ඔක්කොම ඉවරයි. දැන් ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිලත් දෙකට බෙදිලා නිසා මහින්දගේ පිලේ හිටගත්තාම ගෝඨාගේ පිලේ අයගෙන් ප්‍රහාරයක් එන්න පුළුවන්. මහින්දගේ ඩොලර් කාලා තමයි දැන් ජේවීපී එක වැඩ කරන්නේ කියලා.

 

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්