රට මේ තරම්වත් ඉතිරි වෙලා තියෙන්නේ අපි සටන් කරන නිසා තමයි


දේශපාලනය උණුසුම්ය. කුමකින් කුමක් සිදුවේදැයි කිව ​ෙනාහැකි දෙගිඩියාවකින් දේශපාලන ලෝකය පිරී තිබේ. මේ ඒ දේශපාලන පෙළ ගැසීම් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සමඟ කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය: මේ මොහොතේ රටේ දේශපාලනය ගැන ඔබේ කියවීම කොහොමද?  


පිළිතුර:- රටේ ආණ්ඩුවක් නෑ. ඒක තමයි එකම කියවීම.  


ප්‍රශ්නය:- එහෙම කියන්නේ ඇයි?  


පිළිතුර:- රටට ජනතාවට ආදරය කරන ආණ්ඩුවක් රටේ නැති නිසා. මේක ස්වජාතිකයන්ගේ ආණ්ඩුවක් නොවෙයි. විජාතිකයන්ගේ මනදොළ සපුරණ විජාතික බලවේගවල සිත් සතුටු කරන ආණ්ඩුවක්. ඒ නිසා රටේ දේශපාලනයක් නෑ. තියෙන්නේ විදේශ පාලනයක් විදේශ ගැති ප්‍රතිපත්තියක් තමයි මේ ආණ්ඩුව අනුගමනය කරමින් ආවේ. පසුගිය ඡන්දෙදි මේ ඉරණම ආණ්ඩුවට අත්වුණේ ඒ නිසයි.  


ප්‍රශ්නය:- කොහොම වුණත් ඡන්ද ප්‍රතිඵලය සැලකිල්ලට අරගෙන යම් යම් ප්‍රතිසංස්කරණ කරන්න සූදානම් බව කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් ආණ්ඩුව පෙන්නුම් කළා.  


පිළිතුර:- 2015 ජනවාරි 8 වැනිදාත් කිව්වේ ඔය කතාවමනේ. අය වැය ගෙනාවා. අතුරු අයවැය ගෙනාවා. විශේෂ ආර්ථික ප්‍රකාශ කළා. පංචවිධ ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. මාස 60න් අලුත් රටක් කියලා කිව්වා. ඒව ඔක්කොම සුරංගනා කතානේ.  


ප්‍රශ්නය:- ඔබ කියන්නේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමෙන් ප්‍රයෝජනයක් නෑ කියලද?  


පිළිතුර:- කැබිනට් මණ්ඩලය වෙනස් කළා කියලා අලුතෙන් හිතන්න පුළුවන් අය කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර ගත්තද? අපේ රටට ගැලපෙන නිර්මාණශීලි අදහස් තියෙන අය ඔය කැබිනට් මණ්ඩලයේ ඉන්නවද? ඒ නිසා මේ කැබිනට් සංශෝධනේ ගැන අර අන්තිමට කියන්න වෙන්නේ ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ දුක’ කියලයි.   


ප්‍රශ්නය:- රටේ නිර්මාණය වෙලා තියෙන දේශපාලන ව්‍යාකූලත්වයට ඒකාබද්ධ විපක්ෂයත් වගකිව යුතුයි.  


පිළිතුර:- ඔබ කොහොමද එහෙම කියන්නේ?  


ප්‍රශ්නය:- රට තුළ පටු බල අරමුණු ඉටු කර ගන්න ඒකාබද්ධ විපක්ෂය ගන්නා නොයෙක් ක්‍රියාමාර්ග?  


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. අපි අරගල කරන එක. සටන් කරන එක අපේ අයිතියක්. අපි මොකටද සටන් කළේ? සටන් කරන්නේ හේතුවක් තියෙන නිසානේ අපි සටන් කළේ. ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි සටන් කරමින් ඉන්න නිසා තමයි රටේ මේ තරමින් හරි යම්කිසි දෙයක් ඉතිරිවෙලා තියෙන්නේ.  


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ රටට යමක් ඉතිරි කිරීම ද මහින්ද රාජපක්ෂට අගමැතිකම අරන් දීමද?  


පිළිතුර:- ඔතන කරුණු දෙකක්නේ. රට ගැන කතා කිරීම තියෙනවා. අනික තියෙනවා ඔව්. ඔබ කියන විදියටම මහින්ද රාජපක්ෂ මහත්තයට අගමැතිකම අරන් දීම. ඒකාබද්ධ විපක්ෂය රට ගැන හිතලා ජනතාව ගැන හිතලා රටට ජාතියට ගැලපෙන සුදුසු පුද්ගලයෙකු අගමැති පුටුවේ වාඩි කරවීමේ සටනේ ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කමට සුදුසුයි කියලා අපි යෝජනා කරන්නේ ඇයි? ඒ පුටුවට ගැලපෙන සුදුසු වෙනත් කෙනෙකු ඉන්නවද කියලා පුළුවන් නම් මට කියන්න. ඕනෑම මන්ත්‍රීවරයෙකුට අගමැති වෙන්න ඉල්ලන්න පුළුවනි. නමුත් මේ රටේ අසීරුම යුගය පසු කරලා පියමන් ගණනාවක් රට ඉදිරියට රැගෙන ගියේ මහින්ද රාජපක්ෂ මහත්තයානේ. ඒ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂය යෝජනා කරන්නේ එක පැත්තකින්. රටත් ජනතාවත් බේරාගෙන රටට ඉදිරි ගමනක් යන්න පුළුවන් නායකයකු හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැතිකම දෙන්න කියලා. මම දකින්නේ නෑ ඒකේ වරදක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති පුටුවේ ඉන්නවට වඩා කෝටි වාරයක් වඩා හොඳයි මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති කිරීම කියන පණිවිඩය තමයි පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පවා කියැවෙන්නේ.  


ප්‍රශ්නය:- ඔය සටන්පාඨය නිසා ගමට නියෝජිතයෙක් පත්කර ගැනීමට තිබුණ අවස්ථාව ගිලිහී ගියා. මහින්ද රාජපක්ෂ අගමැති කරන්න කවුරුත් පොහොට්ටුවට ඡන්දය දුන්නා.  


පිළිතුර:- නෑ... නෑ... ඒකට මම ඒකඟ වෙන්නේ නෑ. ඒවා නිකම් මාධ්‍ය හරහා හදාගන්න සටන් පාඨ කියලා මම හිතනවා.  


ප්‍රශ්නය:- නමුත් ගමට සැබෑ නියෝජිතයෙක් මේ ඡන්දෙදි ලැබුණා.  


පිළිතුර:- ඇයි ගමේ නියෝජිතයෝ නොවෙයිද පත් වුණේ තව මොනවද වෙන්න ඕන?  


ප්‍රශ්නය:- මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කිව්වා ‘පොල්පිත්තක් දැම්මත් මහින්ද රාජපක්ෂ නිසා දිනනවා’ කියලා.  


පිළිතුර:- එහෙම කියන්නේ බන්දුල ගුණවර්ධන මහත්තයානේ. බන්දුල ගුණවර්ධන මහත්තයාගෙ විග්‍රහය ඒ. මෙතැන අපි දකින්නේ පහුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ රට පිළිබඳව ලොකු කතිකාවක් ඇති වුණානේ වේදිකාවල කතා කළේ රටට බලපාන ප්‍රශ්නය ජාතික ප්‍රශ්න ගැන තමයි මේ වේදිකාවේ කතා වුණේ. ජාතික ප්‍රශ්න එහෙම කතා කරන්න ඉඩ ප්‍රස්ථාව හදලා දුන්නේ වෙනත් කවුරුවත් නොවෙයි. ආණ්ඩුවේ දෙපාර්ශ්වයමයි. ඒ දෙපාර්ශ්වයම තමයි මේ කතිකාව ඇති කළේ. එතකොට අපි ප්‍රධාන විපක්ෂය හැටියට ඒකට නිසි උත්තර දෙමින් අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. රට ගැන හිතන්න මිනිසුන්ව පෙළඹෙව්වා. දෙවැනි සාධකය මහින්ද සාධකය. මේ මම හිතන විදියට විතරක් නොවෙයි. ර​ෙට් පොදු මහජනතාව හිතන්නෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ නායකයා හෝ පාර්ලිමේන්තුවේ නායකයා වෙලා හිටියා නම් මීට වඩා ඉදිරි ගමනක් රටට තියෙනවා කියලා. ඒක තමයි යථාර්ථය. ඊළඟට ආණ්ඩුවේ අදක්ෂභාවය. අකාර්යක්ෂම භාවය සහ හොරකම. බැඳුම්කර හොරකම ගන්න. ඔන්න ඔය නිසා තමයි රටේ මිනිස්සු බලාගෙන හිටියේ තමුන්ට අවස්ථාවක් එනකම්. මේ රටේ බරපතළ සාපයක් තමයි මැතිවරණ කල් දැමීම.  


ප්‍රශ්නය:- නමුත් පළාත් පාලන මැතිවරණය කල් යෑම මැතිවරණ කල් දැමීමක් හැටියට අර්ථ දක්වන්න බෑ.  


පිළිතුර:- ඇයි ඒ? එහෙම කියන්නේ කොහොමද?  


ප්‍රශ්නය:- මේ ඡන්දය කල් ගියේ සීමා නිර්ණ ප්‍රශ්න නිසා මිසක් වෙනත් හේතුවක් නිසා නොවේ කියලා ආණ්ඩුව කිව්වා.  


පිළිතුර:- නෑ... නෑ... ඒ සීමා නිර්ණයට මුවාවෙලා තමයි ඡන්දය කල් දැම්මේ. එහෙම කල් දැම්මේ මේ ප්‍රතිඵලය එන බව දන්න නිසයි. මොන හේතුව උඩ වුණත් ඡන්ද කල් දැමීම මේ රටේ බරපතල දේශපාලන පාප කර්මයක්. 1970 දී තුනෙන් දෙකක බලයක් සහිතව සමගි පෙරමුණ බලයට එනවා සිරිමාවෝ මැතිනියගේ නායකත්වයෙන්. 1972 දී අලුත් ජනරජ ව්‍යවස්ථාව ගෙනාවා. 1975 දී පවත්වන්නට තිබුණ මැතිවරණය අවුරුදු දෙකකින් කල් දැම්මා. 77 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8 ට බහිනවා. සමගි පෙරමුණේ හවුල් කාරයන්වෙලා හිටපු සමසමාජ පක්ෂයට හා කොමියුනිස්ට් පක්ෂයට එකම ආසනයක්වත් ලැබෙන්නේ නැහැ. ඒ තමයි මැතිවරණ කල් දැමීමේ පල විපාක. ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මැතිවරණ සිතියම අකුලනවා. 94 ඉඳන් මේ දක්වාම ජනාධිපතිවරණයක් ජයගන්න ඒ පක්ෂයට බැරිවෙලා. එතැන් පටන් අවුරුදු දෙකයි මාස කිහිපයක් හැරුණ විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් නැති වෙනවා. මේ ආණ්ඩුව ගත්තෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා. අන්න ඒ බරපතළ දේශපාලන පඩිසන් දීමට තමයි මේ ඡන්දෙදි මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වුණේ.  


ප්‍රශ්නය:- මැතිවරණ ජයග්‍රහණය ගැන ප්‍ර‌ීතිඝෝෂා කළාට සියයට 50 ක ප්‍රතිශතයට යන්න බැරි වුණා කියලයි ආණ්ඩුව කියන්නේ?  


පිළිතුර:- ඒ තර්කය ගමු. නමුත් සභිකයන් කී දෙනෙක් පොහොට්ටුවෙන් පත් වුණාද? සභා කීයක බහුතර බලය පොහොට්ටුවට ලැබුණාද? ඒ වගේම සියයට 50 ට කිට්ටුවට ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද? එක්සත් ජාතික පක්ෂයද, එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද? බොරු තර්ක දාලා වැඩක් නෑ. පරාජය නිහතමානීව පිළිගන්න කියලා අපි ඒ මහත්වරුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.  


පිළිතුර:- 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරපු ද්‍රෝහි කමක් කියලා ඔබලා තවමත් විශ්වාස කරනවා.  


පිළිතුර:- නෑ. ඒක ඒ ඒ පුද්ගලයාගේ අභිමතය, මේ රටේ ඕනෑම කෙනෙකුට ඕනෑම පක්ෂයකින් ඉදිරිපත් වෙන්න. උදව් කරන්න පුළුවන්. ඒක තමන්ගේ අභිමතය. ඒ ගැන කිසිම ගැටලුවක් නෑ.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂයක් දිනවන්න කටයුතු කිරීමත් වැරැද්දක් නොවෙයි? ඔබලා මෙවර පෙනී සිටියේ පොහොට්ටුව වෙනුවෙන්?  


පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ ඇයි? එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්න බැරි නිසායි. බණ්ඩාරනායක මහත්තයා ඇතුළු කණ්ඩායමක් එළියට ඇවිත් පොදු ජනතාව වෙනුවෙන් මේ පක්ෂය බිහි කරන්නේ. වාමාංශික සටන්පාඨ අතට ගන්න තවත් කණ්ඩායම් ගණනාවක් හිටියා ඒ දවස්වල. නමුත් මේ රටේ මිනිසුන්ට උවමනා විදියට ප්‍රතිපත්ති මාලාවක් නිර්මාණය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒක යූඑන්පියට ඉඳුරාම පටහැනි ප්‍රතිපත්ති මාලාවක්. දැන් ද්‍රෝහි වුණේ අපිද? එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවල ඉඳුරාම එරෙහි කණ්ඩායමක් එක්ක කරට අත දාගත්ත අයද?  


ප්‍රශ්නය:- තිබුණේ පළාත් පාලන මැතිවරණයක්?  


පිළිතුර:- ඔව්. ඒක ඇත්ත. තිබුණේ පළාත් පාලන මැතිවරණය?  


ප්‍රශ්නය:- එහෙම නම් ඇයි අගමැතිකම ඉල්ලුවේ? අගමැතිකම ඉල්ලන්න ඕන මහ මැතිවරණයකින්?  


පිළිතුර:- කවුද අගමැතිකම ඉල්ලුවේ? බලන්නකෝ දැන් පත්තරවල යන ඒව? අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේනවලු. ගේන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්මයි. එතකොට අපිද අගමැතිකම ඉල්ලන්නේ.  


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය අගමැතිකම බලාපොරොත්තු වුණේ නෑ.  


පිළිතුර:- අපෝ නෑ. අපි කිව්වේ සහයෝගය දෙන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවකට. කිසිදා තනතුරු, වරප්‍රසාද නැතිව ඇමැතිකමක් අගමැතිකම නැතිව අපි සහයෝගය දෙන්නම් කියලා. ඉතින් මොකක්ද ​මේ අගමැති කතාව. ඒක අපි ප්‍රසිද්ධියේ විවෘතව කියපු දේ.  


ප්‍රශ්නය:- ඔබ කියලා තිබුණා මේ මොහොතේ පක්ෂයේ සභාපතිකම මහින්ද රාජපක්ෂට දිය යුතුයි කියලා?  


පිළිතුර:- ඒ මගේ මතයනේ. මම තාමත් හිතන්නේ මේ සියලු දෙනාම එකතු කරගන්න ඕනැ. එහෙම එකතු කරගන්න නම් වැඩක් කරන්න පුළුවන් යථාර්ථය තේරෙන ජනප්‍රිය නායකයෙක් අපේ පක්ෂයේ සභාපති ධුරයට එන්න ඕනෑ. මේ පාර්ශ්ව දෙක එකට එකතු කරනවා කියන්නේ ඒකටනේ. ඒක කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මම යෝජනා කළේ.  


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා එකෙන් ඒකට ලැබුණු ප්‍රතිචාරය?  


පිළිතුර:- ඒක ඉතින් මට අදාළ දෙයක් නොවෙයිනේ. අපේ මතයනේ අපි ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ ඇති. නමුත් මහ පොළොවේ යථාර්ථය වෙන එකක්නේ. අපිට ඡන්දය දුන්නේ කවුද කියන්නකෝ. සියයට 85 ක්ම අපිට ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයොනේ. පොදුවේ බැලුවම ඕනෑම සමීකරණයකින් බැලුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිමහත් බහුතරයගේ කැමැත්ත තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයට. ඒ නිසයි මම එහෙම යෝජනා කළේ. මේ වෙලාවේ සියලු කණ්ඩායම් සමගි කරගෙන පක්ෂයත් ආරක්ෂා කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙල තමයි ඕක. ඇත්තටම මම යෝජනා කළේ නෑ මහින්ද මහත්තයාගේ නම සභාපති ධුරයට.  


ප්‍රශ්නය:- එහෙම නම් ඔබ යෝජනා කළේ?  


පිළිතුර:- මම ලේකම් ධුරය ගැන කීවා. සාකච්ඡා වට කිහිපයක් තිබුණා. ඒවට අපි සම්බන්ධ වුණා. දෙවතාවක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හමුවුණා. පාන්දර එක හමාර වෙනකම් එතුමත් එක්ක අපි කතා කළා. අපි යෝජනා කළා මෙන්න මේ ක්‍රියාමාර්ග ගන්න. නැත්නම් එතුමත් පක්ෂයත් ඉතාමත් කනගාටුදායක තත්ත්වයට පත්වෙනවා කියලා. එතුමන්ලා ඒවා ඇහුවේ නෑ. නායකයෙක් වුණාම හොඳ නායකයෙක් නම් සවන් දීමේ හැකියාවක් තියෙන්න ඕනෑ. සවන් දුන්නාට මදි. ඒ හරහා යම් යම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට එළැඹෙන්න ඕනෑ. එක කණ්ඩායමක් නොවෙයිනේ. අපි එදත් ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට. අදටත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්.  


ප්‍රශ්නය:- නමුත් ආසන සංවිධායක ධුරය ​ගැලෙව්වා.  


පිළිතුර:- ඒක ප්‍රශ්නයක් නෑ. ආසන සංවිධායක ධුර දීම හෝ අහිමි කිරීම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අයිතියක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට අපි ගරු කරනවා. මම ඔය සංවිධායක ධුරයෙන් හම්බ කරගෙන කාපු කෙනෙක් නොවෙයිනේ. මම සතුටු වෙනවා. අලුත් සංවිධායකතුමාට. මම එතුමට සුබපැතුවා. මේ ඉතිහාසයේ කවුරුවත් එහෙම කරලා තියෙනවද? තමුන්ගේ සංවිධායකකම තවත් කෙනෙකුට දුන්නට අහිමි වෙච්ච කෙනා එහෙම සුබ පතපු ඉතිහාසයක් තියෙනවද? නෑ.. නමුත් අපි එහෙම කළා. ඒ තරම් විවෘත වූ මනසකින් තමයි අපි දේශපාලනය කරන්නේ. අන්න ඒ නිසයි මටත් කනගාටුවක් තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද අත්වෙලා තියෙන ඉරණම ගැන. හොරණ නගර සභාවේ හතරවැනි තැන. හොරණ ප්‍රාදේශීය සභාවේ තුන්වැනි තැන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙහෙම ඉරණමක් කවදාවත් හොරණ ආසනයේදී අත්වුණේ නෑ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්තයක් හැටියට අද හතරවැනි ද තුන්වැනිද කියන පොරයට තමයි වැටිල තියෙන්නේ. දැන් ඒක බලවේගයක් නොවෙයි. ආණ්ඩුවේ ති​ෙයන්නේ බලවේග කට්ටලයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය කියන බලවේග කට්ටලයකින් තමයි මේ ආණ්ඩුව දිව්වේ. ප්‍රතිඵලයත් එක්ක බොහොම පැහැදිලි වුණා මේ බලවේග කට්ටලය මොන තරම් දුර්වලද? පීලි පැන්නද කියලා. ඒවා බලලා තමයි මේ රටේ ජනතාව තීන්දුව දුන්නේ. ඔය කවුරුවත් කියන්නේ නෑනේ. මේ පක්ෂය අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළදී මේ තරම් විශාල ජයග්‍රහණයක් ලැබුවා කියලා. කවුරුවත් කියන්නේ නැහැ. අපට සංවිධාන ජාලයකුත් නැහැනේ. ශාඛා සංවිධාන නෑ. මධ්‍ය සංවිධාන නෑ. එහෙම නැතුවනේ දිනුවේ. අපට කියලා මන්ත්‍රීවරුත් නැහැනේ පාර්ලිමේන්තුවේ.  


ප්‍රශ්නය:- ඇයි ඒකාබද්ධ විපක්ෂය?  


පිළිතුර:- ඒ අප නිල වශයෙන් ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරපු අය හැටියටනේ. අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයවත් අරගෙන නෑනේ.  


ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ පක්ෂය හදලා තිබුණේ නැත්නම් මේ පාර අනාථයි නේද?  


පිළිතුර:- එහෙම නම් ඉතින් වෙන එකක් හරි හැදෙයිනේ. අඩු තරමින් ස්වාධීනව හරි තරග කරයි. මහරගම වගේ. පක්ෂ හදන එක ගැන හෝ පක්ෂ හැදෙන එක ගැන ඒතරම් වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය නෑ. මේ තරම් සුළු කාලයකින් එවැනි පක්ෂයක් මේ වගේ තැනකට ගේන්න පුළුවන් වුණා නම් ඊළඟ මැතිවරණයේදී කුමන තැනක තියෙයිද?  


ප්‍රශ්නය:- සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව කියැවෙනවා. මොකක්ද ඔබලාගේ ස්ථාවරය?  


පිළිතුර:- මේ දේශපාලනය තුළ විවිධ තීන්දු තීරණ ගන්නවා. තව සතියකින් වෙනස් තීරණ එන්න පුළුවන්. තව මාසයකින් වෙනස් තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වෙලාවට අපි බලමු ඒක. ගඟ ළඟට ගියාම තමයි එගොඩවෙන හැටි ගැන හිතන්න ඕනැ. ඒක මම හැමදාම කියන දෙයක්.    

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්