රට ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ ගැන කිසිම තර්කයක් නෑ


රාජ්‍ය පරිපාලන ඇමැති 
රංජිත් මද්දුම බණ්‍ඩාර

 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනැගීමට ගිය සන්ධානයට මොකද වුණේ? එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කවුද? මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්ද? මේ ඒ ගැන විමසමින් රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවකි.   


 ප්‍රශ්නය - පහුගිය 5 වැනිදා ​ගොඩනගන්න හිටපු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ එකවරම නතර වුණේ ඇයි? 

 
පිළිතුර - ඒ සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභිකයන් හැටියට අපිව දැනුම්වත් කරලා තිබුණේ නෑ. අපට උවමනා වුණා ඒක අධ්‍යයනය කරන්න. ඒ වගේම ඒ වගේ සන්ධානයක් හදද්දී අධ්‍යයනයකින් පස්සේ තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලය හැටියට අපිට ඡන්දයකට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කළා අධ්‍යයනයකින් පස්සේ... මේකේ මොනවා හරි තියෙනවා නම් වෙනස් කිරීම්... සංශෝධන ගේන්න තියෙනවා නම් ඒකට අවස්ථාව දෙන්න කියලා.   


 ප්‍රශ්නය - ඒ කියන්නේ සන්ධානයක් හදන්න ගියේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් හොරෙන්ද?   


පිළිතුර - පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්‍ඩලය සන්ධානයක් ගොඩනගන්න ඕනෑ කියලා තීන්දු කළා. නමුත් ඒ සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කරද්දී ඒකෙ තියෙන කාරණා කෘත්‍යාධිකාරී මණ්‍ඩලයේ සාමාජිකයන් හැටියට අපි දැනගෙන ඉන්න ඕනෑ. ඒක තමයි අපි එදා කිව්වේ. අපට ඒ කාරණා දැනගන්න ඕනෑ. ඒ කාරණා අධ්‍යයනයකින් පස්සේ අපි ඒකට අනුමැතිය දෙන්නම් කියලා.   


 ප්‍රශ්නය - සන්ධානයක් හදන්න තීන්දු කළා කිව්වට ඒ තරම්ම කැමතිත් නෑ වගේ?  


පිළිතුර - නෑ. නෑ. සන්ධානයක් හදනවට අපි විරුද්ධ නෑ. සන්ධානයේ අන්තර්ගතය ගැන අපට යම් යම් අදහස් තිබුණා.  

 

එක්සත් ජාතික පක්ෂයේ නොවන අපේක්ෂකයො දාලා එජාපයේ අපි නොයෙකුත් මදිපුංචිකම්වලට ලක්වුණා


 ප්‍රශ්නය - පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය කිව්වේ ‘සන්ධානය හදන්න කලින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න’ කියලා?  


පිළිතුර - කාරණා කිහිපයක් තිබුණා. ඔබ කියන එක හරි. එකක් තමයි සන්ධානයේ අන්තර්ගතය ගැන අපිට ප්‍රශ්න තිබුණා. අවබෝධතා ගිවිසුමේ අන්තර්ගතය අපි දැන ගන්න ඕනෑනේ. අනික් කාරණය තමයි ඇයි මේ සන්ධානය ගොඩනගන්නේ? සන්ධානය ගොඩනගන්නේ ජනාධිපතිවරණ සටන ශක්තිමත් කරන්න. ඒ නිසා අපේක්ෂකයා ඉදිරිපත් කරලා... අපේක්ෂකයා තෝරලා සන්ධානය ගොඩනගමු කියල අපි කිව්වා.  


 ප්‍රශ්නය - ඇයි අපේක්ෂකයා නම් නොකරන්නේ?  


පිළිතුර - එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධව කතා කළොත් අපේක්ෂකයන් තුන් දෙනෙක් ගැන කතා කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කතා කරනවා, කරු ජයසූරිය මැතිතුමා ගැන කතා කරනවා, සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන කතා කරනවා. මේ නම් තුන තමයි තියෙන්නේ. අපි කෘත්‍යාධිකාරී මණ්ඩලය හැටියට උඩින් කොහොම තීන්දු ගත්තත් ඡන්දෙ දෙන්නේ රටේ ජනතාව. ඉතින් අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා රටේ ජනතාව ඉල්ලන, දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් විය යුතුයි. අපි අපේ අපේක්ෂකත්වය දේවරක්ම පිටට දුන්නා. ඒ නිසා මේ සැරේ තීන්දු කළා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් තමයි ද‌ාන්න ඕනෑ, ජනතාව වැඩියෙන්ම කැමැති දිනන්න පුළුවන් අපේක්ෂකයාව තමයි ද‌ාන්න ඕනා කියලා.  


 ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයේ නොවන කෙනෙක් මෙවර අපේක්ෂකයා වෙන්නෙම නෑ?  


පිළිතුර - ඔව්! අපි ඒකට තරයේ විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂයේ නොවන අපේක්ෂකයෝ ද‌ාලා එක්සත් ජාතික පාක්ෂිකයා නොයෙක් මදිපුංචිකම්වලට ලක්වුණා. අපි ඡන්දය දීලා දිනවලා අපට විශාල වශයෙන් අසාධාරණකම් වුණා. අපියි ඡන්දෙ දීලා දිනෙව්වේ. ඒත් වෙන අයයි ප්‍රයෝජන ගත්තේ. ආණ්ඩුව පිහිටෙව්වේ අපි. ඒත් ආණ්ඩුවෙන් භාගයක් අනික් පැත්තේ. එහෙම දෙයකට තවත් පාරක් අපේ පාක්ෂිකයා කැමති වෙන්නෙත් නෑ. අපි කැමැති වෙන්නෙත් නෑ. අපි අනිවාර්යයෙන්ම කියනවා ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් විය යුතුයි කියලා.  


 ප්‍රශ්නය - ඔබ කිව්වා අපේක්ෂකයෝ තුන් දෙනෙක් ​ඉන්නවා. රට ඉල්ලන අපේක්ෂකයයි ද‌ාන්න ඕනෑ කියලා. ඔබට අනුව කවුද ඒ අපේක්ෂකයා?  


පිළිතුර - මේක මම බොහොම විවෘතව කියන්න ඕනෑ. රට ඉල්ලන්නේ සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා, ඒ ගැන කිසිම තර්කයක් නෑ.  


 ප්‍රශ්නය - සමහරු නම් කියන්නේ සජිත්ව ඉල්ලන්නේ රට නොවෙයි ගම කියලයි?  


පිළිතුර - ගම කිව්වට ගම විතරක් නොවෙයි. බස්නාහිරත් ගම් තියෙනවනේ. කොළඹ නාගරිකය හැරෙන්න කඩුවෙල, මහරගම, හෝමාගම, කැස්බෑව ඒවත් ගම්. ඒ ජනතාවත් වැඩිම ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් කරන්න කියලයි.  


 ප්‍රශ්නය - ඔබ සන්ධානගත වන්න යන්නේ සුළු ජාතික පක්ෂ සමගයි. ඔවුන් කියනවා “මුලින් අපේක්ෂකයා නම් කරන්න, එතකොට තීරණයක් ගන්නවා” කියලා.  


පිළිතුර - සුළු ජාතික පක්ෂවල අදහස් සම්බන්ධයෙන් මම මෙතැන කතා කරන්න අවශ්‍ය නෑ. ඒක ඉදිරියේ දී තීරණය කරමු. නමුත් මගේ අදහස නම් සුළු ජාතික පක්ෂවල සහයෝගය අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සුළු ජාතික පක්ෂත් කැමැති වෙන්නේ දිනන අපේක්ෂකයකුට සහාය දෙන්නනේ. සුළු ජාතික පක්ෂ කැමැති නෑනේ සන්ධානයකුත් ගහලා පැරදිලා විපක්ෂයේ ඉන්න. විශේෂයෙන්ම මේ රටේ සුළු ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක ඉන්න තමයි නිතරම බලන්නේ. ඒ නිසා සුළු ජාතික පක්ෂ කැමැති වෙන්නෙත් දිනන අපේක්ෂකයෙක් එක්ක සන්ධානගත වෙලා ඡන්ද කරන්න.  


 ප්‍රශ්නය - නමුත් එජාපයේම ඇතැම් පිරිස් කියන්නේ සජිත් ප්‍රේමදාස සුළු ජාතිකයන්ගේ විශ්වාසය දිනා ගත්ත නායකයෙක් නොවේ කියලයි.  


පිළිතුර - කවුද ඒ මතය ගේන්නේ? ඒක අහන්න ඕනෑ සුළු ජාතිකයන්ගෙන්. සුළු ජාතිකයන් එක්ක කතා කළ යුතුයි. මෙතැනදී කවුරු අපේක්ෂකයා වුණත් සියලු දෙනා සහයෝගයෙන් වැඩ කරන්න ඕනෑ. එකමුතුකම තියෙන්න ඕනෑ. සියලු දෙනා එකට ඉන්න ඕනෑ. මේ පක්ෂය කැඩෙන්න දෙන්න බෑ. සාකච්ඡා මාර්ගයෙන් අපි අපේක්ෂකයා තෝරා ගත යුතුයි.  


 ප්‍රශ්නය - නව ව්‍යවස්ථාවක් ගේන්න ඔබේ ආණ්ඩුව උත්සාහ කළා. සුළු ජාතිකයන්ට දෙන දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කළා. ඒත් සජිත් ඒ කිසිවකට සම්බන්ධ වුණේ නෑ කියලා තමයි කියන්නේ?  


පිළිතුර - ඕක අහන්න ඕන සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන්. සජිත් ප්‍රේමදාස මහත්තයා ඒවාට සම්බන්ධ නොවුණේ නෑනේ. අපේ පක්ෂයේ ඒකමතික තීරණත් එක්ක එතුමත් හිටියා. අලුත් ව්‍යවස්ථාව ගැන කවුරුත් විරුද්ධ වුණේ නෑ. කවුරුවත් අකමැති වුණේ නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් අහන්න ඕනෑ ඔබතුමා මොනවද සුළු ජාතිකයන් වෙනුවෙන් කරන්නේ කියලා. ඒක වැදගත් අදහසක්. එතුමා අපේක්ෂකයා නම් එතුමා ප්‍රකාශ කරන්න ඕනෑ සුළු ජාතිකයන් වෙනුවෙන් මම මොනවද කරන්නේ කියලා.  


 ප්‍රශ්නය - ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසට ස්ථාවරයක් නැහැ. ඒක නේද මෙතැන තියෙන ගැටලුව?  


පිළිතුර - ඔව්! සමහර විට මේ වේලාව ඒකට ගොඩාක් හොඳයි. ඡන්දයක් වෙලාවේ සුළු ජාතිකයන්ගේ ප්‍රශ්නවලට කොහොමද උත්තර දෙන්නේ කියලා ජාතික නායකත්වයට පත්වන කෙනා ප්‍රකාශ කළ යුතුයි. ඒක සජිත් නොවෙයි කවුරු ආවත් ප්‍රකාශ කළ යුතුයි.  


 ප්‍රශ්නය - ඔබ කියනවා ඔබේ අපේක්ෂකයා සජිත් කියලා. අගමැති රනිල් නුසුදුසු ඇයි?  


පිළිතුර - නෑ කිසිම නුසුදුසු කමක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයා හොඳ මහත්මයෙක්. එතුමා අවුරුදු 25ක් අපේ පක්ෂයේ නායකයා හැටියට කටයුතු කරලා තියෙනවා. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. අපේ පක්ෂයේ සාමාන්‍යයෙන් තියෙන්නේ ඔය වගේ තීන්දු ගනිද්දී කෘත්‍යාධිකාරී මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදී විදියට තීන්දු ගන්න ඕන කියලා.  


 ප්‍රශ්නය - පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම දිගු කාලීන ප්‍රශ්නයක්?  


පිළිතුර - මම එහෙම කියන්නේ නෑ. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා ඡන්දයකින් මීට පෙර කවදාවත් තීන්දු කරලා නෑ. මට මතකයි මේ වගේම 1989දී ප්‍රේමදාස මහත්තයා, ගාමිණි දිසානායක මහත්මයා, ලලිත් ඇතුලත්මුදලි මහත්මයා ජනාධිපති අපේක්ෂක සටනේ හිටියා. නමුත් අපේ පක්ෂය බොහොම හොඳට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කළා. ඔය ප්‍රශ්න අපේ පක්ෂයේ විතරක් නොවෙයි කොහෙත් තියෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ද‌ාද්දිත් ඔය ප්‍රශ්නය තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා ද‌ාද්දිත් ඔය ප්‍රශ්නය තිබ්බා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 2015දී ද‌ාද්දිත් තිබුණු ප්‍රශ්න කොහොමද? එතුමට සහයෝගය දෙන්න තීන්දු කළේ අන්තිම පැය 24 තුළදීනේ.  


 ප්‍රශ්නය - සීගිරි ගල වගේ හිටපු මහින්ද රාජපක්ෂ 2015 පරාජය කිරීමේ සටනේ නායකයා රනිල්. අද එජාප ආණ්ඩුවක් තියෙන්නෙත් රනිල් නිසා ඔහු දුර්වල නායකයෙක් කියලා කියන්නේ කොහොමද?  


පිළිතුර - ඔව්! එතුමගේ නායකත්වය ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ඔබ කියන විදියටම එතුමා 2015දී මේ ජයග්‍රහණය ලබන්න පුළුවන් විදියට සටනට නායකත්වය දුන්නා. එකම වැරැද්ද එතුමා නොඉල්ලපු එකයි. එතුමට ඉල්ලන්න තිබුණා. ඒක වෙන අපේක්ෂකයකුට දීපු එකයි ප්‍රශ්නය වුණේ.  


 ප්‍රශ්නය- ඇතැම් විට මේ රනිල් වික්‍රමසිංහගේ අවසන් ජනාධිපතිවරණ සටන විය හැකියි. ඔහුට අවස්ථාවක් දීම අසාධාරණ ද?  


පිළිතුර - මම හිතන්නේ මේ සම්බන්ධව ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි. මොනවා වුණත් මුලින්ම අපි දිනන්න ඕනෑ. අවුරුදු 25ක් තිස්සේ අපේ පක්ෂයට ජනාධිපතිවරයෙක් නැහැනේ. මේක පුද්ගලයන් ඉලක්ක කරලා තීන්දු ගත යුතු අවස්ථාවක් නොවෙයි. ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයාවයි ද‌ාන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාද...... සජිත් ප්‍රේමදාස මහත්තයාද..... කරු ජයසූරිය මහත්තයාද කියලා බලලා හරියන්නේ නෑ. ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා කවුද කියන පදනමේ ඉඳගෙනයි පක්ෂයක් හැටියට අපි තීන්දු ගත යුත්තේ. සාමූහික තීන්දුවක් ගත යුතුයි. පුද්ගලයන් මත පදනම් වෙලා මේ වෙලාවේ තීන්දු තීරණ ගන්න බෑ. ඒක සජිත් ප්‍රේමදාස මහත්තයා මත පදනම් වෙලා කරන්න ඕනැත් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මත පදනම් වෙලා කරන්න ඕනැත් නෑ. රටේ සමීක්ෂණයක් කරලා මහජන මත විමසලා මේ පාර අපේක්ෂකයා කවුද කියලා තෝරන එක වැඩිය හොඳයි.  


 ප්‍රශ්නය - 2015 ජයග්‍රහණය වෙනුවෙන් කැප කිරීම් කළ රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග වැනි චරිත මේ මොහොතේ හිතන්නේ කොහොමද? ඒ පිළිබඳ ඔබේ ගණන් බැලීම?  


පිළිතුර - මෙහෙමයි. ඒ නායකයන් අපිත් එක්ක සිටිය යුතුයි. මන් දන් නෑ එතුමන්ලා කාත් එක්ක ද ඉන්නේ කියලා. එතුමන්ලා පක්ෂයත් එක්කනේ ඉන්නේ. පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්කනේ ඉන්නේ. පුද්ගලයන් මත නොවෙයිනේ එතුමන්ලා ඉන්නේ. එතුමන්ලා එක්ක මේ ගැන සාකච්ඡා කරන්න ඕනෑ. මොකද එතුමන්ලා අපේ ජයග්‍රහණයට විශාල රුකුලක් වුණා. රාජිත සේනාරත්න මැතිතුමා, චම්පික රණවක මැතිතුමා, අර්ජුන රණතුංග මැතිතුමා අපි ඒ අයත් එක්කත් සාකච්ඡා කරලා වඩාත් සුදුසු තීන්දුවකට එන්න ඕනෑ. මම හිතන්නේ අපි බලමු....... කොහොමත් පොහොට්ටුවේ අපේක්ෂකයාත් තාම නම් කරලා නෑනේ. ඒ නිසා අපි කලබල වෙන්නත් ඕනෑ නෑ. අපි වෙලාවට වැඩේ කරමු.  


 ප්‍රශ්නය - ඔබේ පක්ෂයේ චමින්ද විජේසිරි, හේෂා විතානගේ වගේ මන්ත්‍රීවරු නම් කියන්නේ ‘අපි ත්‍රීවිල් පක්ෂවල නායකයන් ගණන් ගන්න ඕනෑ නෑ’ කියලයි?  


පිළිතුර - මම හිතන්නේ අපි ඊට වඩා කල්පනාකාරී විය යුතුයි. ඒගොල්ලන්ගේ සහාය අපට අවශ්‍යයි. හැබැයි ප්‍රධාන පක්ෂය අපි. ඒ නායකයන්ගෙන් අදහස් අරගෙන ඒගොල්ලන්ගේ සහයෝගයත් අරගෙන ප්‍රධාන පක්ෂය තීන්දු කරන්න ඕනෑ. කවුද අපේක්ෂකයා කියලා. මෙතැනදී අපි පැහැදිලිව කියනවා. අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් විය යුතුයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්‍ෂකයා තීරණය කිරීමේ අයිතිය එක්සත් ජාතික පක්‍ෂයට තිබිය යුතුයි. අනික් අයගෙත් කැමැත්ත ඒකට ගන්න ඕනෑ. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය කියපු කිසිකෙනෙක්ව අපි අයින් කරන්න හොඳ නෑ. ඔවුන් අපිට විශාල ශක්තියක් දුන්නා 2015දී බලයට එන්න. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තීරණය කිරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂයට තිබිය යුතුයි.  

 


 ප්‍රශ්නය - ඔක්තෝබර් 26 බල පෙරැළියේදීත් මේ ආණ්ඩුව රැක ගත්තේ අපි කියලා ඔවුන් කියනවා?  


පිළිතුර - අනිවාර්යයෙන්ම! එතුමන්ලා තමයි මේ ආණ්ඩුව රැක ගන්න අපට ශක්තිය දුන්නේ. නමුත් අනික් පක්ෂ බලන්නකෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරමුණු කීයක් ගැහුවද? පොදු පෙරමුණ හැදුවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය හැදුවා. මේ හැම එකේදීම ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්නේ. ඒ කියන්නේ..... ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂය නමැති ප්‍රධාන පක්ෂයට දෙන්නේ නැතිව ජනාධිපති අපේක්ෂකයා තෝරන්න සුළු පක්ෂවලට දෙන්න කියලද? එහෙම කියන්න පුළුවන්ද?  


 ප්‍රශ්නය - ඇමැති රාජිත වගේම ඇමැති චම්පික අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් ඉන්නවා කියලා කිව්වොත්?  


පිළිතුර - මං කියනවා. එහෙනම් ඒගොල්ලන්ට මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගන්න කියලා. සාමාජිකත්වය අරන් අපේක්ෂකත්වය ඉල්ලන්න.  


 ප්‍රශ්නය - ඇමැති රවී කරුණානායක කිව්වා ‘ජනාධිපති අපේක්ෂකයා සාමාන්‍ය පෙළ සමත් වෙලා සිටිය යුතුයි’ කියලා?  


පිළිතුර - මං හිතනවා. අපි අපි විවේචනය කරගන්න එක මේ වෙලාවේ හොඳ නෑ කියලා. පෞද්ගලික කෝන්තර පිරිමහ ගන්න මේ වෙලාව යොදා ගන්න අවශ්‍ය නෑ. රවී කරුණානායක හරි සජිත් ප්‍රේමදාස හරි කියන කතා නොවෙයි....... ජනතාව ඒ ගැන කල්පනා කරයි. මම ඒ ගැන කල්පනා කරන්න යන්නෙ නෑ. මට රවී කරුණානායකටවත් සජිත් ප්‍රේමදාසවත් විවේචනය කරන්න යන්නේ නෑ. මම කියන්නේ පක්ෂය ඇතුළේ විවේචනය නතර වෙන්න ඕනෑ. ඒකට අපි කැමති නෑ.  

 

පක්ෂය ඇතුළේ විවේචනය නතර වෙන්න  ඕනෑ. ඒකට  අපි කැමති නෑ


 ප්‍රශ්නය - අපේක්ෂකයා තෝරන්න ගිහින් දැනටම පක්ෂය බෙදිලා ඉවරයි?  


පිළිතුර - නෑ. පක්ෂයේ කිසිම බෙදීමක් වෙලා නෑ. අපේ පක්ෂය බොහොම ප්‍රජාතන්ත්‍රවාදීයි. සාකච්ඡා කරලා ප්‍රශ්න බේරා ගන්නවා. කිසිම බෙදීමක් නෑ.  


 ප්‍රශ්නය - පක්ෂය නොකඩා අපේක්ෂකයකු නම් කරන්න නම් ඔය කියන නම් වෙනුවට පක්ෂය තුළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුයි කියලත් අලුත් මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා.  


පිළිතුර - විවිධ උත්තර, විසඳුම් තියෙනවා. එහෙම අපේක්ෂකයෝ හැටියට කවුද ඉන්නේ?  


 ප්‍රශ්නය - ඇයි ඔබ ඉන්නවා. ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ඉන්නවා?  


පිළිතුර - ප්‍රධාන නම් තුනක් තියෙනවනේ. එහෙම නම් තුනක් උඩට ඇවිත් තියෙන්නේ ඒ තුන් දෙනා හොඳ නිසානේ. මටනම් කිසිම අදහසක් නෑ ඔය සම්බන්ධයෙන් කටයුතු කරන්න.  


 ප්‍රශ්නය - මේ මතය ඉදිරිපත් කරන අය කියන්නේ ඔය කියන නම් තුනෙන් කවුරු දැම්මත් පක්ෂය බෙදෙනවා කියලයි?  


පිළිතුර - කිසිම බෙදීමක් නැතිව මේ ප්‍රශ්නය විසදාගන්න අපි කටයුතු කරනවා. අපි හොඳ චේතනාවෙන් කරන්නේ. කාටවත් බනින්නෙත් නෑ. වෛර කරන්නෙත් නෑ. නමුත් නායකයන්ට වැඩිය පාක්ෂිකයා ගැන සිතිය යුතු වෙලාවක් මේක. පුද්ගලයා මත අපේක්ෂකත්වය තේරීමක් නොවෙයි මෙතැන කළ යුතු වන්නේ. ජයග්‍රහණය මතයි අපේක්ෂකයා තේරිය යුත්තේ.  


 ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂ තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා කියලා උපකල්පනය කළොත් ඒත් ඔබේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස?  


පිළිතුර - අපි දන් නෑ ගෝඨාභය රාජපක්ෂ ද වෙන කෙනෙක්ද එහෙන් එන්නේ කියලා. ගෝඨාභය කියන්නේ ඔය කියන නම්වලින් දේශපාලනය වශයෙන් අඩුම අත්දැකීම් තියෙන කෙනා. සමහර අය එක එක අංශවලට දක්ෂයි. සමහරු යුද්දය කරන්න දක්ෂයි. සමහර අය දක්ෂයි බිස්නස් කරන්න. සමහර අය දක්ෂයි කතා කරන්න. ඒ නිසා දේශපාලන දක්ෂතා දිහා බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ අපේ කඳවුරේ නම් කියැවෙන තුන් දෙනාටම පිටිපස්සේ ඉන්නේ.   


 ප්‍රශ්නය - ඔබේ කඳවුරේ ජයග්‍රහණය ගැන ඔබට කිසිම සැකයක් නෑ?  


පිළිතුර - කිසිම සැකයක් නෑ. අපේ අපේක්ෂකයා දිනනවා, ඒක ඒකාන්තයි.

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්