රජයක් කරනකොට යම් යම් අඩුපාඩු වෙනවා


ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල 

රටේ නිර්මාණය වී ඇති දේශපාලන කාරණා සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විමසමින් කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය:- ‘කැවුම් බදින්න තෙලුත් නෑ. කිරිබත් හදන්න පොලුත් නෑ. පොල් හොයාගන්නත් නෑ. කොහාට ඉන්න ගහකුත් නෑ.’ මොකක්ද මේ රටට වුණේ?  


පිළිතුර:- යම් යම් අඩුපාඩුකම් තියෙනවා. නැතුවා නොවෙයි. රජයක් කරනකොට යම් යම් අඩුපාඩු වෙනවා. නමුත් මෙතැන යම් පිරිසක් ඉතාම සංවිධානාත්මකව ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න ක්‍රියාශීලීව කටයුතු කරනවා. ප්‍රශ්නයක් නෑ. ඒක විපක්ෂයේ භූමිකාව. හැබැයි හෙට අනිද්ද‌ා වෙනකොට ඔය පසුබිම හෙළිවෙයි.  


ප්‍රශ්නය:- ඔබ කියන්නේ එහෙම කිසිම දෙයක් නෑ කියල ද?  


පිළිතුර:- මම ඔබට එක උද‌ාහරණයක් කියන්නම්. විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට විශාල බෝඩ් එකක් ගැහුවා. ඇත්ත කතාව මොකක්ද? ඒකට සල්ලි වියදම් කළේ මංගල සමරවීර. ඒ චිත්‍රය නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහිව උසාවි ගිය චන්ද්‍රගුප්ත තේනුවර. ඒ කණ්ඩායමේම කට්ටිය තමයි එතැන හිටියේ. මම දැක්කා සජිත් ප්‍රේමද‌ාස එතැනට ඇවිත් සුබ පතනවා. ඒකට අවසර දෙන්නේ රෝසි සේනානායක. නගර සභාවේ රෝසිගේ මිනිස්සු ද‌ාලා ඒක ගැලෙව්වා. අන්තිමට බණින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඒ සිදුවීම ගැන ඔබතුමාලවත් කතා කළේ නෑනේ. මේ මුළු ක්‍රියාද‌ාමයම එක තැනකින් තමයි මෙහෙය වෙන්නේ. තිර පිටපත අනුව රඟන නළුවෝ ටිකක් වෙනම ඉන්නවා. සියයට 10ක් විතර ප්‍රශ්න තියෙනවා. සීනි 160 ට ගත්තේ. දැන් 110 ට ගන්නේ. 120 ට විකුණපු හාල් අද සතොසට ගියොත් සුපර් මාර්කට් එකට ගියොත් 98 ට ගන්න පුළුවන්.  


ප්‍රශ්නය:-නමුත් නාඩු හාල් කිලෝවක් කීය ද?  


පිළිතුර:- ඔව් 110 යි. 115 යි. මම පිළිගන්නවා පොල්තෙල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්ත විස්තරය අපි එළියට ද‌ාන්නම්. මේ තෙල් ගෙන්වන්නේ අද ඊයේ නොවෙයි. දිගටම වෙච්ච දෙයක්. තෙල්වලට බද්ද අඩුකරන කොට පාම් ඔයිල්වල බද්ද වැඩි කරනකොට මේ රැකට් එක ඉතිහාසයෙ දිගින් දිගටම සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපි මේ පාර ඇල්ලුවා. එහෙම ඇල්ලුවාමත් අපිට බණිනවා.  


ප්‍රශ්නය:-විපක්ෂය දිගටම කියාගෙන එනවා. ‘සර් ෆේල්’ කියලා. ඇත්තටම මේ ප්‍රශ්න ‘සර් ෆේල් නිසා නොවේද?  


පිළිතුර:- ඇත්තටම අපි ආරම්භයෙ ඉඳන්ම ගමුකෝ. ජනාධිපතිතුමා පත්වෙනවා. ඒ එක්කම කොවිඩ් වසංගතය ආවා. කොවිඩ් වසංගතයෙ පළමු රැල්ල ආවම ලෝකයෙ රටවල් 194 න් ප්‍රබලවම මේක පාලනය කරපු රට බවට අපේ රට පත්වුණා. සතියකට සැරයක් මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයම මුණ ගැහිලා තීන්දු තීරණ අරගෙන ඉතාම දක්ෂ ලෙස මේක පාලනය කළා. අපි මැතිවරණයක් තිබ්බා. තුනෙන් දෙකක බලයක් අපට ලැබුණා. එහෙම බලයක් අරගෙන පළමු මාසේදීම මිලියන දෙක ගානේ සෑම ග්‍රාමසේවා වසමකටම දුන්නා. මේ රටේ සාමාන්‍ය පෙළ සමත් දිළිඳු දරුවන් ලක්ෂයකට රැකියා දීමේ වැඩසටහන ආරම්භ කරලා දැන් හැටද‌ාහකට දීලා තියෙනවා. මාස හයකට පස්සෙ ඔවුන් පූර්ණ රාජ්‍ය සේවකයන් බවට පත්වෙනවා විතරක් නොවෙයි විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය සේවකයන් බවට පත්වෙනවා. සියලුම උපාධිධාරින්ට රැකියා දුන්නා. දැන් මේ නිසා ද ෆේල් කියලා කියන්නේ. මේක අසාර්ථකයි නම් මට කියන්න සාර්ථක මොකක්ද කියලා.  


ප්‍රශ්නය:- සමාජ මාධ්‍ය ජාලවල තිබුණා ‘හොඳ වෙලාවට ගෝඨාභය ජනාධිපති වුණේ. එහෙම නැත්නම් අපි තාමත් හිතනවා ගෝඨාභය වැඩකාරයෙක්’ කියලා.  


පිළිතුර:- ඔව්, ඒ ගැන තමයි මම මේ කියන්නේ. බිබිලේ ගෙයක් හැදුවම කොළඹ පෝස්ටර් ගහපු යුගයක් තිබුණා. අද ගෙවල් 14022 ක් හැම ග්‍රාමසේවා වසමකම හැදෙනවා. අහිංසක දුප්පත්ම පවුලකට ඒ ගෙය දෙනවා. අනික ඒ ජනතාව ණයකාරයෝ කරන්නේ නෑ. සජිත් ප්‍රේමද‌ාස නිවාස ඇමැති හැටියට දුන්නේ ලක්ෂ 3ක ණයක්. මුළු සමාජයක්ම ණයකාරයෝ කළා. අපි එහෙම ණය නොකර දුප්පත් මිනිහට ගෙයක් දෙනවා. ඉතින් සර් ‘ෆේල්’ ද? ඊගාවට මාර්ග ලක්ෂයක වැඩ ආරම්භ කරලා. මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කරන්න ළඟයි. ලක්ෂ 36ක් දෙනවා ගමක කාන්තාවකට ගමේ කඩයක් ද‌ාගන්න. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම මිලියන 200 ක් වෙන් කළා පුංචි පුංචි වැඩ කරන්න. මේකට නම් ‘අසාර්ථකයි’ කියන වචනය පාවිච්චි කරන්නේ ‘අසාර්ථකයි’ කියන වචනයට සාප කරයි මිනිස්සු. ඒ නිසා විපක්ෂයේ ඉතාම නිර්මාණශීලි තිර රචනා කාලයාගේ ඇවෑමෙන් අනාවරණය වෙයි. අපේ ගමන අපි යනවා.’  


ප්‍රශ්නය:-වන සංහාරය ගැන ඔබ කතා කළේ නෑ. දේශපාලනඥයන්ගේ ගෝල බාලයෝ රටේ කැලෑ ටිකට වැඩේ දෙනවා?  


පිළිතුර:- කරුණාකරලා මට කියන්න කවුරුහරි එක නඩුවක් ද‌ාලා තියෙනවද කියලා. එහෙම නඩුවක් දැම්මොත් ඒක අපරාධ නඩුවක්. එක නඩුවක් ද‌ාලා තියෙනවද කියලා බලන්න. ඒකත් අර තිර රචනයේම එක කෑල්ලක්. යම් යම් සිදුවීම් වෙනවා ඇති. සංවර්ධනය කරනකොට එහෙම දේවල් වෙනවා. මම දැක්කා අර එක නෝනා කෙනෙක් 1886 පනතකින් ගෙනාපු එකක් කියලා. ඒ කාලේ කොළඹ නුවර පාර කරත්ත පාරක්නේ. අපි දැනුත් යන්න ඕනෑ ඒ විදියටම නම් අපි ඒ ගැන තීන්දුවක් ගමු. මේවා වෙනස් විය යුතු නැද්ද? කාගෙ හරි පඩි පොතක ඉඳගෙන තමයි මේ කතා කරන්නේ.  


ප්‍රශ්නය:- ගම්පහ දිසා වන අඩවි නිලධාරි දේවානි ජයතිලක එක්ක මැති ඇමැතිවරු හැප්පෙනවා? රජයේ නිලධාරීන් බිය ගන්වන්න ද හදන්නේ?  


පිළිතුර:- නෑ කිසිම ගැටුමක් නෑ. මම ඒ සම්පූර්ණ කතාවම බැලුවා. ඔයා හිතනවා නම් ඒක හැප්පිල්ලක් කියලා ඒකට මට කරන්න දෙයක් නෑ. හැප්පෙනවා නොවෙයි කරුණු ඉදිරිපත් කරනවා. එයත් ටිකක් හයියෙන් කතා කරනවා. එහෙම කෑගහන්නේ ඔබතුමාලට මොනවා හරි දෙයක් ලබා දෙන්න. මාධ්‍යයට මොනවා හරි දෙයක් දෙන්න එතුමිය හොඳට දන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. නීතිය අකුරටම ඉටුකරන නිලධාරීන් අපි හොඳට දකිනවා. හැබැයි මෙතැන වෙනසක් අපි දකිනවා. ටෙලි නාට්‍යයක කෑල්ලක් මේක. හොඳ අධ්‍යක්ෂවරයෙක් පිටිපස්සේ ඉන්නවා. වැඩේ හොඳට යනවා.  


ප්‍රශ්නය:- රාජපක්ෂ පාලන සමයේ දී රජයේ නිලධාරීන් ගස් බැන්ද‌ා. දැන් ගස් බඳිනවා. 

 
පිළිතුර:- ගස් බැඳපු එකා අපි එළවලා දැම්මම ඒකව බද‌ාගත්ත එවුන්නේ එහෙම කියන්නේ. ඒකේ කිසිම තර්කයක් නෑනේ. මේකේ යම් සමානකමක් මම දකිනවා. මේ අය ෆේල් වෙච්ච තැන මම කියන්නම්. 2014 දී අනුර කුමාර දිසානායක කතරගමින් පටන් ගත්ත ‘මහ හොරා - මහ රජා මහින්ද රාජපක්ෂ’ කියලා. ඊගාවට සුජීව සේනසිංහ රූපවාහිනී විවාදයක දී කිව්වා ‘මම කොළඹින් පිටත් වුණා කතරගම යන්න. කිරුළපන හරියේ මාලිගාවක් වගේ ගෙයක් හදනවා. අහලා බැලුවම දන්න කෙනෙක් මට කිව්වා ‘ඒක ගෝඨාභයගේ’ කියලා. තව ටික දුරක් යනකොට තව ගෙයක් දැක්කා. ඒක කාගෙද කියලා ඇහුවම ඒක නාමල් බේබිගෙ කියලා කිව්වා. ඊට පස්සේ මල්වත්තක් වගේ අන්නාසි වත්තක් දැක්කා. ඒක ශෂීන්ද්‍ර රාජපක්ෂගේ කියලා කිව්වා. තව ටික දුරක් යනකොට ලස්සන පොල්වත්තක් දැක්කා. ඒක කාගෙද කියලා ඇහුවම ඒක චමල් රාජපක්ෂගෙ කියලා කිව්වා. ඔය අනුර කුමාර දිසානායකමනේ කිව්වේ ලැම්බෝ ගිනි ගෙනාවා කිව්වා. රත්‍රං අශ්වයෝ ගැන කිව්වා. 2014 දී තමයි ඔය බේගල් ප්‍රහාරය පටන් ගත්තේ. 2019 දී අපි ඡන්දයට ගියා. ඡන්දය පරාදයි. හැබැයි දැන් මේ කතා කරන්නේ 2025 ඡන්දයට තමයි දැන්ම කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ෆේල්. හොඳටම ෆේල්. අපට අවුරුදු හතරක් කල් දීලා තියෙනවා බොරුව නිවැරැදි කරන්න. 

 
ප්‍රශ්නය:-ආකේඩ් එකත් ජනාධිපතිවරයාගේ ගජ මිතුරකුට දුන්නා කියලා අනුර කුමාර කිව්වා?  


පිළිතුර:- මමත් ඒ කතාව අහගෙන හිටියා. ඔහු කියනවා තවමත් මේ රජයේ දේපළ ගජ මිතුරන්ට දෙන එක නතර වෙලා නෑ. මෙච්චර ලස්සනට හදපු ආකේඩ් අශෝක් පතිරගේ කියන තමන්ගේ ගජ මිතුරට දීලා’ කියලා. මේ කතාව අහගෙන ඉන්නකොට මටත් හිතුණා මේ මොකක්ද කියලා. මම ජනාධිපතිතුමා එක්කත් කිව්වා.  


ප්‍රශ්නය:-ඔබ කියන්නේ ඒ කතාවත් බොරුවක් කියලද?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම. ඊට පහුවැනිද‌ා නාලක ගොඩහේවා රාජ්‍ය ඇමැතිතුමා පාර්ලිමේන්තුවේ දී උත්තරයක් දුන්නා. ඒ උත්තරය පටන් ගත්තෙම ‘අප මිත්‍ර වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, එවකට දූෂණ මර්දන කමිටුවේ ප්‍රධානියෙකු හැටියට අරලියගහ මන්දිරයේ කාර්යාලයක් පවත්වාගෙන ගිය රනිල් වික්‍රමසිංහ එක්ක එෆ්.සී.අයි.ඩී. එක නිර්මාණය කරපු අනුර කුමාර දිසානායක මහතාට පිළිතුරු දෙමි.’ කියලයි පටන් ගත්තේ. පත්තර තුනක භාෂා තුනෙන් දැන්වීම් ද‌ාලා වැඩිම ලංසුව දීපු ආයතනයට තමයි ඒක දීලා තියෙන්නේ. ඉතින් මොකක්ද වැරැද්ද? ඒ උත්තරය දෙනකොට අනුර කුමාර පාර්ලිමේන්තුවෙන් පැනලා ගිහින්. තව ගෝලයෝ දෙන්නනෙ ඉන්නේ. ඒ එකෙක්වත් හිටියේ නෑ. ඔන්න කතන්දරය.  


ප්‍රශ්නය:- හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියනවා ‘ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙන්න’ කියලා?  


පිළිතුර:- ඒක ඉතින් හැමෝගෙම ආශාවනේ. ජේවීපී එක අවුරුදු 65ක් තිස්සේ ට්‍රයි කරනවනේ. කවුද ආණ්ඩුවක් පිහිටුවන්නේ නෑ කියන්නේ. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් පිහිටුවනවා කිව්වොත් පුදුම වෙනවද? නෑනේ. ඒක දේශපාලනයේ හැටිනේ.  


ප්‍රශ්නය:- ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන වෙනත් ආණ්ඩුවක් හදන්න ඕනැ කියලා කියනකොට තියෙන ආණ්ඩුව ‘අප්සෙට්’ වගේ දැනෙනවා?  


පිළිතුර:- එතුමා වෙනම පක්ෂයකනේ ඉන්නේ. පක්ෂ 11ක් විතර අපිත් එක්ක ඉන්නවනේ. ඉතින් ඔය පක්ෂයක් කිව්වොත් අපි ආණ්ඩුවක් හදනවා කියලා අපි ආශිර්වාද කරනවා. ආණ්ඩුවක් හදන වෙලාවට අපෙන් එළියට යයි.  


ප්‍රශ්නය:- පොහොට්ටුවේ හවුල්කාර පක්ෂවලට පයින් ගහන තත්ත්වයක් නේද දැන් තියෙන්නේ?  


පිළිතුර:- ඒක පුද්ගලයන්ගේ හැටියට. අපූරුවට ඉන්නවා කට්ටියක්. තව කට්ටියක් ඉන්නවා දෙපැත්තේ කොහේ හිටියත් ඉන්න බැරි අය. ඒ අයට බෑම තමයි.  


ප්‍රශ්නය:- ඇමැති විමල් වීරවංශට ‘යන්න’ කියලම කිව්වා?  


පිළිතුර:- පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකනේ. රනිල් වික්‍රමසිංහ එකට වැටුණේ ප්‍රජාතන්තවාදය පක්ෂයට දුන්නේ නැති නිසානේ. අපි එහෙම පක්ෂය විනාශ කරගන්නේ නෑ. අපි කියන්නේ තම තමන්ගේ මතවාද ඉදිරිපත් කරන්න. අපි ඒවා සකච්ඡා කරලා පොදු තීරණයකට ඇවිත් ඒක ක්‍රියාත්මක කරනවා. එකඟ අයට අපිත් එක්ක යන්න පුළුවන්. අනික් අයටය එළියට යන්න පුළුවන්.

 

 

සාකච්ඡා කළේ : 
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්