මේවට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ


විපක්ෂනායක මහින්ද රාජපක්ෂ

අප්‍රේල් 21 පාස්කු ඉරිද‌ා ප්‍රහාරයට මසක් කල් ඉක්ම ගියේය. රටේ තත්ත්වය කෙබඳු ද? 


ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි ද? මේ කලබලකාරී පරිසරය තුළ මැතිවරණවල ඉරණම කෙබඳු ද? මේ එ් ගැන විමසමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි. 

 

ප්‍රශ්නය:- රටේ දැන් තත්ත්වය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? 


පිළිතුර:- ඇත්ත වශයෙන්ම රටේ පහුගිය දිනවල ඇතිවෙච්ච සිද්ධිත් එක්ක මොනවා වුණා ද කියලා කාටවත් කියන්න බැරි තත්ත්වයක් භීෂණයක් රටේ ඇති වුණා. රටේ ආරක්ෂක තත්ත්වයේ දුර්වලකම බොහොම පැහැදිලිවම පෙනුණා. 


ප්‍රශ්නය:- ආරක්ෂක අංශ දුර්වල වීමට බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගැනීම හේතු වුණා කියන කාරණය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා? 


පිළිතුර:- ඔව්. ඒ ගොල්ලෝ පිළිගන්නේ මොනවද? බුද්ධි අංශ නිලධාරින් සියලු දෙනාම පාහේ විවිධ විදියට හිරිහැරයට ලක් කළා. සමහරුන්ව අත්අඩංගුවට අරගෙන හිරේ ද‌ාලා ඇප පිට නිදහස් කරලා තියෙනවා. තවමත් සමහරු හිරේ ඉන්නේ. මේ ආණ්ඩුව බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් තමයි කටයුතු කළේ. මේ ඇතිවෙච්ච සිද්ධිය තුළ රට බරපතළ විදියට අස්ථාවර වෙලා. ආරක්ෂාව මොනතරම් දුරට ගොඩනැගිල ද කියන එක ජනතාවගේ හදවත්වලින් තමයි අහන්න ඕනෑ. ඉතාම හොඳ තත්ත්වයට ගොඩ නැගිලා තියෙනවා කියලා මට නම් පේන්න නැහැ. මට එහෙම විශ්වාසයක් නෑ. 


ප්‍රශ්නය:-නමුත් හමුද‌ාපතිවරයා වගේම පොලිස්පතිවරයත් කිව්වා ‘ආරක්ෂක තත්ත්වය හොඳයි’ කියලා? 


පිළිතුර:- සීයට අනූවක්. සීයට අසූවක් හොඳයි කියලා කිය කියා ඉඳලා හරියන්නේ නැහැනේ. ආරක්ෂාව සීයට සීයක්ම තහවුරු විය යුතුයි. 

 

මේ රටේ සංස්කෘතිය මේගොල්ලෝ දන්නේ නෑ. හැමද‌ාම ප්‍රශ්න හද‌ාගන්නේ ඒ නිසයි.


ප්‍රශ්නය:- එහෙම නම් ඇයි ඔබ කිව්වේ ‘දරුවන්ට පාසල් එන්න. අපේ පොහොට්ටුවේ නියෝජිතයන් ආරක්ෂාව සපයනවා.’ කියලා. එහෙම ආරක්ෂාව දෙන්න පුළුවන් ද? 


පිළිතුර:- ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය රටේ තවදුරටත් ගියොත් රට මීට වඩා අගාධයකට යනවා. රටේ හමුද‌ාපතිවරයයි පොලිස්පතිවරයයි කියනවා නම් රටේ ජනාධිපතිවරයයි අගමැතිවරයයි කියනවා නම් රටේ ආරක්ෂාවක් තියෙනවා කියලා, ඔවුන් පුන පුනා කියනවා නම් අපි ඒක එක්තරා දුරකට පිළිගන්න ඕනෑ. අනික් අතට හැමද‌ාම ඉස්කෝල වහගෙන ඉඳලා, කන්තෝරු වහගෙන ඉඳලා රටක ආර්ථිකයක් දුවවන්න විදියක් නෑ. ඒකනිසා තමයි අපි හිතුවේ දරුවෝ ඉගෙන ගන්න ඕනෑ. දරුවෝ විභාගවලට වාඩිවෙන්න ඕනෑ. දරුවෝ ගෙවල්වල තියාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. ඒකනිසා දරුවන් ඉස්කෝලවලට යවන්න කියලා අපි ඉල්ලීමක් කළා. රටේ යථා තත්ත්වය ඇති කරන්න අපිත් ද‌ායක විය යුතුයි. ඒනිසා අපි වගකීමෙන් කටයුතු කරනවා. 


ප්‍රශ්නය:-අගමැති රනිල් කිව්වේ ‘මේක ගෝලීය ත්‍රස්තවාදයක්’ කියලා. ඔබේ දැක්මට අනුව ඒක එහෙම ද? 


පිළිතුර:- ගෝලීය හා දේශීය ත්‍රස්තවාදයක් මේක. ගෝලීය ත්‍රස්තවාදය සමග සම්බන්ධ වෙච්ච දේශීය ත්‍රස්තවාදයක් මේක. මොකද මේකට සම්බන්ධ වෙච්ච කිසි කෙනෙක් පිට අය නෙවෙයිනේ. මේ රට තුළම ඉන්න පිරිස් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. බෝම්බ අරන් ගිහින් තියෙන්නේ, මරාගෙන මැරිලා තියෙන්නේ ඔක්කොම ලංකාවේ අය. ඒ නිසා මේක ගෝලීය ත්‍රස්තවාදය සමග සම්බන්ධ වුණු දේශීය ත්‍රස්තවාදයක්. 


ප්‍රශ්නය:-මේ ප්‍රහාර පිටිපස ‘විදෙස් බලවේග ඉන්නවා. ඔවුන්ට තියෙන්නේ දේශපාලන අරමුණු කියලයි’ කියන්නේ? 


පිළිතුර:- ගෝලීය ත්‍රස්තවාදයෙ උපත කොතැන ද කියලා බැලුවොත් ඒ උපතට හේතු වුණු සාධක එක්ක මේ තත්ත්වයට පත්වෙලා තියෙනවා. 


ප්‍රශ්නය:-මේ මරාගෙන මැරෙන අන්තවාදී සංවිධාන බිහිවෙන්නේ ඔබේ ආණ්ඩුව කාලෙදි? 


පිළිතුර:- අපේ කාලයේ යම්තමට හැදීගෙන ආවා. එතකොට තමයි අපි ඔවුන් ගැන හොයන්න පටන් ගත්තේ. එහෙම හොයන්න පටන් අරගෙන ඔවුන්ගේ කණ්ඩායම්වලට අපේ අය ඇතුළු කරලා ඔත්තුකරුවන් ඇතුළු කරලා ඒ විදියට ඔවුන්ගේ තොරතුරු ලබාගන්න කටයුතු කරන්න පටන් ගත්තේ ඒ කාලේ. 


ප්‍රශ්නය:- ඔවුන්ට වැටුප් පවා ගෙවලා තියෙනවා? 


පිළිතුර:- ඔත්තුකරුවන් කරන්නේ රාජකාරියක්. ඒනිසා ඔවුන්ට ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. 


ප්‍රශ්නය:-නමුත් ආණ්ඩුවේ සමහරු නම් කියන්නේ ‘මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිරියේ දී ප්‍රයෝජනයට ගන්න විවිධ කල්ලි නඩත්තු කළා. මේ එවැනි කල්ලි කියලයි? 


පිළිතුර:- එහෙම නඩත්තු නොකළා නම් ඔත්තු ලබා ගන්නේ කොහොමද? ඔත්තු ගන්න ඒවා ඇතුළට කට්ටියව යවන්න ඕනෑ. එහෙම කරන්නේ නැතිව අපි දන්නේ නෑ. මොනවද වෙන්නේ කියලා. එහෙම එකක් තියෙනව ද කියලා දන්නෙත් නැහැ. ඒක ඇතුළට ද‌ාපු අය තොරතුරු ඔය විදියටවත් දීපු නිසානේ අපි ක්‍රියාත්මක වුණේ. අපි දන්නවා ඉන්දියාව අපිට මේ ප්‍රහාරය ගැන දැනුම් දුන්නා. එහෙම දැනුම් දුන්නේ දිව්‍යඥ‌ානයෙන් බලලා නොවෙයිනේ. එහෙමත් නැත්නම් පේන බලලා නොවෙයිනේ. ඔවුන්ගේ ඔත්තුකරුවන් ඔවුන්ට දන්වපු දේවල්. අපේ ඔත්තුකරුවොත් දිගටම ඒවායේ හිටියා නම් අපේ අයටත් ඒ තොරතුරු දැනගන්න තිබුණා. අපේ කාලයේ ඔවුන් හැසිරෙන ආකාරය අපි හොඳටම දැනගෙන හිටියා. මොනවද කෙරෙන්නේ කියලා අපි දැනගෙන හිටියා. මේ ආණ්ඩුව ඒවා ඔක්කොම නතර කළා. අන්තිමට ඒකට වන්දි ගෙවන්න වුණේ මුළු රටටමයි. 


ප්‍රශ්නය:-- මහින්ද රාජපක්ෂ දස අවුරුදු පාලනය තුළ දී සුළු ජාතීන් පීඩාවට පත්වුණා. මේ අන්තවාදී කල්ලි බිහි වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්? ඔබ ඒක පිළිගන්නව ද? 


පිළිතුර:- එහෙම පීඩනයට පත්වුණේ නෑ. මං හිතන්නේ සෑම ජන කොටසකටම නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව ලැබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට ඒ අවස්ථාව ලැබුණා. තිබුණ පීඩනය අපි නැති කළානේ. ඒ පීඩනය නැතිවෙලා ව්‍යාපාර ඇතිවෙලා. ඔවුන් අතට සල්ලි ඇවිල්ලා ඒ සියලු කටයුතු සිද්ධ වුණේ අපේ කාලයේ දී. පීඩනයක් කාටවත් ඇති වුණේ නැහැ. 

 

හදිසියෙන් හරි ප්‍රතිත්‍රස්ත පනත වැරැදියි කියලා අවබෝධ වෙච්ච එක හොඳයි. ඒ විදියට අපේ සටනට ආණ්ඩු පක්ෂයෙන් එහෙම සහයෝගයක් ලැබෙනවා නම් අපි බොහොම උනන්දුවෙන් ඒක බද‌ා ගන්නවා.


ප්‍රශ්නය:- අලුත්ගම හා දර්ගා නගරයේත් බේරුවල සිද්ධි අහම්බයක් නොවෙයි? 


පිළිතුර:- ඒ සිද්ධි දේශපාලන සිද්ධිනේ. ඒ දේශපාලන වශයෙන් නිර්මාණය කරපු සිද්ධි. එහෙම නිර්මාණය කරලා ඒක අපේ පිට උඩට ද‌ාලා සුළු ජාතීන්ගේ ඡන්ද ගන්න කළ උපක්‍රමයක්නේ. උද‌ාහරණයක් ගත්තොත් ඔය පාස්කු ඉරිද‌ා මරාගෙන මැරෙන ප්‍රහාරයට නායකත්වය දුන්න සහරාන් ගිය ජනාධිපතිවරණයේ දී මට විරුද්ධව කෙළින්ම ජනාධිපතිවරයා වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. සහරාන් එයාට වැඩ කළේ. ඒකට අවශ්‍ය මූලික පසුබිම හැදුවා ඒ කාලයේ හිටපු නායකයෙක්. බේරුවල, අලුත්ගම හා දර්ගා නගරයේ ඇතිකළ සිද්ධි සැලසුම් කරපු අය කවුද කියලා රටේ ජනතාව දැන් දන්නවා. 


ප්‍රශ්නය:- ඒ කවුද කියලා කියන්න ඔබ කැමැති නෑ? 


පිළිතුර:- අවශ්‍ය නෑනේ. මුළු රටම දන්නවා කවුද ඒවා සැලසුම් කළේ. කොහොමද ඒ සැලසුම් ක්‍රියාත්මක කළේ කියලා මුළු රටම දන්නවා. 


ප්‍රශ්නය:-- ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් විවිධ කල්ලි කණ්ඩායම් අවශ්‍ය වෙනවා? 


පිළිතුර:- නෑ එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. අන්තවාදී බලවේග අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අන්තවාදී බලවේග එක්ක කටයුතු නොකළ යුතුයි කියලයි මගේ විශ්වාසය. 


ප්‍රශ්නය:- ඇමැති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. සියලු පව් ඔහුගේ කරපිටින් යවන්නද හදන්නේ? 


පිළිතුර:- ඇත්තටම ඒක තමයි මටත් තියෙන බය. ආණ්ඩුව සියලු පව් ඔහුගේ කර පිටින් යවලා මේ ප්‍රශ්නය මගහරී කියලා. නමුත් අපි දන්නවා එයාගේ පිට උඩින් යවලා බේරෙන්න නොවෙයි අපි මේ ආණ්ඩුවත් එක්කම යවන්න ඕනෑ. මේ ආණ්ඩුවේ කොටස්කාරයෙක් එයා. මේකට සම්පූර්ණයෙන්ම ආණ්ඩුව වග කියන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම එයාට විරුද්ධව ද‌ාලා තියෙන චෝදනා පත්‍රය බැලුවම ඒවා හරිම සාධාරණයිනේ. අඩුම තරමින් එයාව ප්‍රශ්න කරන්නවත් ඕනෑ. එහෙම ප්‍රශ්න කරන්න අත්අඩංගුවට ගත්තෙවත් නැහැනේ. මෙච්චර චෝදනා තියෙන​ කෙනෙක්ව අඩුගානේ නිවාස අඩස්සියේ තියලා හරි ප්‍රශ්න කරන්න එපැයි. පොලිසියකට ගෙන්නලා ප්‍රශ්න කරන්න එපැයි. අත්අඩංගුවට ගත්ත තුන් දෙනෙක් නිදහස් කරන්න කියලා හමුද‌ාපතිට දුරකථනයෙන් කතා කරලා තියෙනවා. අපි නොවෙයිනේ කියන්නේ. හමුද‌ාපතිවරයම කියනවා. එවැනි තත්ත්වයට මේ කට්ටිය පත්වෙලා තියෙනවා නම් ඒක වැරදියිනේ. 

 

පාස්කු ඉරිද‌ා මරාගෙන මැරෙන ප්‍රහාරයට නායකත්වය දුන්න සහරාන් ගිය ජනාධිපතිවරණයේ දී මට විරුද්ධව කෙළින්ම ජනාධිපතිවරයා වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා.


ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය ඇමැති රිෂාඩ් විතර ද වැරැදි? 


පිළිතුර:- එයා විතරක් නොවෙයි. තව ඉන්නවා මේ සිදුවීම්වලට සම්බන්ධ අය. නොයෙක් විදියෙන් සම්බන්ධ අය ඇති. ඒ ගැන සොයලා බලලා දඬුවම් කළ යුතුයි. කිසිම කෙනෙකුට මේකෙන් ගැලවිලා යන්න බෑ. අනික අපට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගැඹුරු වගකීමක් තියෙනවා. අපි මේ රට නිදහස් කරලා දුන්නා. තිස් අවුරුද්දක් යුද්දෙ තිබුණා. අපි අවුරුදු තුනෙන් රට නිදහස් කළා. අවුරුදු දහයක් මේ රටේ බෝම්බ පිපුරුණේ නැහැ. බොහොම බලගතු සාමයක් රටේ තිබුණේ. ඒ තත්ත්වය නැති කරපු සියලු දෙනාට දඬුවම් කළ යුතුයි. 


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නයත් ඒකම තමයි. එහෙම නම් ඇයි එක් පුද්ගලයෙකුට විතරක් මේ විශ්වාසභංගය ගේන්නේ? 


පිළිතුර:- ඒක දේශපාලන බලවේග ඉතාම නිවැරැදි විදියට කළමනාකරණය කිරීමක්. දැනටම ආණ්ඩුව ඇතුළේ පිපුරුමක් ඇතිවෙලා තියෙනවනේ. රාජ්‍ය ඇමැතිවරු මන්ත්‍රීවරු කියනවනේ අපි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙනවා කියලා. 


ප්‍රශ්නය:- නමුත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් භාර දීලා තියෙනවා? 


පිළිතුර:- ඒ ගොල්ලෝ දිගටම හිටියේ ආණ්ඩුව එක්කනේ. 


ප්‍රශ්නය:-ඔබේ විශ්වාසභංගයට පොහොට්ටුවෙන් පූර්ණ සහයෝගය නෑ නේද? 


පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්තරයක් තවම දීලා නෑ. නමුත් අනික් අයට අත්සන් කරලා තියෙන්නේ. 

ප්‍රශ්නය:- ඔබේ පොහොට්ටුවේ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා කියලා තිබුණා ‘දිනන්න බැරි නම් විශ්වාසභංග ගෙනල්ලා වැඩක් නෑ’ කියලා? 


පිළිතුර:- එහෙම මත තියෙනවා. විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කරන දෙයක් බහුතර බලය තියෙන ආණ්ඩු පක්ෂය පරාජය කරනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. නමුත් මම මුලින් කිව්වා වගේ රට දැනගන්නවා. අපේ විවාදය තුළ රට දැනුම්වත් වෙනවා. 


ප්‍රශ්නය:- මෛත්‍රී පාර්ශ්වය කුමක් කරයි ද? ඒ ගැන ඔබේ නිගමනය? 


පිළිතුර:- මං විශ්වාස කරනවා ඒ අයත් අපිත් එක්ක ඡන්දය දෙයි කියලා. මට එහෙම විශ්වාසයක් තියෙනවා? 


ප්‍රශ්නය:- නමුත් ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති මෛත්‍රියි? 


පිළිතුර:- ඒ වුණාට ඉතින් මම හිතනවා ජනාධිපතිවරයා කෙළින් පියවරක් ගනී කියලා? 


ප්‍රශ්නය:- කෙළින් පියවරක් කියලා කිව්වේ? 


පිළිතුර:- එක්කෝ පක්ෂව ඡන්දය දෙයි. එහෙම නැත්නම් මධ්‍යස්ථව ඉඳියි. 


ප්‍රශ්නය:-ඉතිහාසය ගත්තොත් සටන්වල තීරණාත්මක අවස්ථාවල දී ජනාධිපති මෛත්‍රී සටනින් කර ඇරියා? 


පිළිතුර:- ඔව් එහෙම වෙනවා. එහෙම වෙලා තියෙනවා. යම් යම් හේතු නිසා එහෙම වෙලා තියෙනවා. 


ප්‍රශ්නය:-පහුගිය අයවැයේදීත් මෛත්‍රී පිල දෙකට බෙදුණා? 


පිළිතුර:- ඔව්. ඒ අයවැයේ දී එයාගේ අයවැයත් තියෙන නිසා අයවැයට විරුද්ධව ඡන්දය දීමෙන් මග ඇරියා. ඒත් පස් හය දෙනෙක් කෙළින්ම මේ පැත්තට ඇවිත් ඡන්දය දුන්නා. 


ප්‍රශ්නය:- ආණ්ඩුව කියන්නේ මේ සියලු දේවල් ආරම්භ කරලා තියෙන්නේ ඔබේ කාලයේ කියලයි. ආණ්ඩුකාර හිස්බුල්ලාගේ ශරියා විශ්වවිද්‍යාලයත් එහෙම එකක්? 


පිළිතුර:- තමන්ගේ නොහැකියාව වහගන්න කාගෙ හරි එල්ලෙන එක මේ අයගේ සිරිතනේ. ඔය කියන විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාලයක් ද කියන්න මම දන්නේ නෑ. ඒක ඔය විදියට සංවර්ධනය වුණේ මේ ආණ්ඩුව කාලේ. මගේ ආණ්ඩුව කාලේ වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ බොහොම පුංචියට පටන් ගත්ත ආයතනයක් ඒක. මගේ ආණ්ඩුව තිබුණ නම් ඒක තවමත් පුංචියි. මේ වගේ ප්‍රශ්න ඇතිවෙන තැනට වර්ධනය වෙන්න අපි කීයටවත් ඉඩ දෙන්නේ නෑ. අපේ කාලයේ පාලනයක් තිබුණා. ඒ පාලනය නැති වුණාම තමයි මේ ප්‍රශ්න ඔක්කොම. 


ප්‍රශ්නය:-ප්‍රතිත්‍රස්ත පනත අවශ්‍ය නෑ කියලා ඇමැති සජිත් ප්‍රේමද‌ාස කිව්වා? 


පිළිතුර:- ඔව්. ඔව්. මමත් එහෙම එකක් දැක්කා. 


ප්‍රශ්නය:-ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව ඔබේ අතේ තිබුණ සටන ඇමැති සජිත් අතට ගත්තා? 


පිළිතුර:- වැඩේ කියන්නේ එහෙම අතට ගත්තා කියලත් කියන්න බෑ. අපේ සටනට ආණ්ඩු පක්ෂයෙන් එහෙම සහයෝගයක් ලැබෙන එක හොඳයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මෙයත් මේක ඉදිරිපත් කරන්න සහයෝගය දුන්නනේ. හදිසියෙන් හරි ප්‍රතිත්‍රස්ත පනත වැරැදියි කියලා අවබෝධ වෙච්ච එක හොඳයි. ඒ විදියට අපේ සටනට ආණ්ඩු පක්ෂයෙන් එහෙම සහයෝගයක් ලැබෙනවා නම් අපි බොහොම උනන්දුවෙන් ඒක බද‌ා ගන්නවා. එහෙම නැත්නම් අපි ඒකට හොඳින් ප්‍රතිචාර දක්වනවා. මොකද? ඒක හොඳයිනේ. මෙයා බලන්න. කැබිනට් එකේදී එකඟ වෙනවා. එළියේදී විරුද්ධ වෙනවා. 

 

බුද්ධි අංශ නිලධාරින් සියලු දෙනාම පාහේ විවිධ විදියට හිරිහැරයට ලක් කළා. සමහරුන්ව අත්අඩංගුවට අරගෙන හිරේ ද‌ාලා ඇප පිට නිදහස් කරලා තියෙනවා.


ප්‍රශ්නය:-ඔබ ඇමැති සජිත්ව සැක කරනවා? 


පිළිතුර:- මම කියන්නේ කැබිනට් එකේ දී මේකට පක්ෂ වෙනවා. එළියේ දී විරුද්ධ වෙනවා. ඒක මේ එයාගේ දේශපාලන වාසියකට හරි වෙන මොකක් හරි හේතුවකට එයා එහෙම කරනවා. කොහොම වුණත් ඒක ලොකු දෙයක්. ඒනිසා මගේ සටන එයා අතට පත්වුණා කියලා කියන්න බැහැ. අපේ කොඩිය එයත් උස්සාගෙන යනවා. අපිට ඕනෑ ආණ්ඩු පක්ෂයෙන් තව තව අය අපේ පැත්තට හරවගන්න. ඒක අපේ දක්ෂතාව. 


ප්‍රශ්නය:- ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරන්න නම් මේ ප්‍රතිත්‍රස්ත පනත අනිවාර්යයෙන්ම සම්මත කරගත යුතුයි කියලයි අගමැති රනිල් කියන්නේ? 


පිළිතුර:- එහෙම අවශ්‍ය නෑ. එහෙම අවශ්‍යමයි කියලා හිතෙනවා නම් දැනට තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන ගේන්න පුළුවන්. 


ප්‍රශ්නය:-ඔබ එහෙම යෝජනාවක් අගමැති රනිල්ට කළා ද? 


පිළිතුර:- පක්ෂ නායක රැස්වීම්වල දී අපේ කට්ටිය කියන්න යන්නේ ඒක. ප්‍රසිද්ධියේත් අපි ඒක කියලා තියෙනවා. ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවංක උවමනාවක් තියෙනවා නම් දැනට තියෙන ත්‍රස්තවාදය පරාජය කිරීමේ පනතට සංශෝධන ගේන්න. 


ප්‍රශ්නය:- එහෙම සංශෝධන ගෙනාවොත් ඔබේ සහයෝගය ලැබෙනව ද? 


පිළිතුර:- ඔව්. අනිවාර්​ෙ‌යන්ම අපි ඒක කියලත් තියෙනවා. මෙතැන මේ වෙලා තියෙන්නේ ඔය ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ ආණ්ඩුවේ උවමනාවට නොවෙයි. 


ප්‍රශ්නය:- එහෙම නම්? 


පිළිතුර:- විදේශ බලපෑමට. ඒකයි මේකේ තියෙන බරපතළකම. 


ප්‍රශ්නය:- ඒ විදේශ බලපෑම්වලින් මිදී සිටීමේ කලාව ඔබ නම් හොඳට ප්‍රගුණ කරලා තියෙනවා? 


පිළිතුර:- ඔව්. ඒවා කරන පිළිවෙළක් තියෙනවා. ඒවා කරන ක්‍රම තියෙනවනේ. අපිට වඩාත් වටින්නේ රටනේ. 


ප්‍රශ්නය:-පාස්කු ඉරිද‌ා ප්‍රහාරයෙන් පස්සේ හිටපු හමුද‌ා ප්‍රධානීන් කැඳවලා වාර්තාවක් හදලා ඔබ ඒක ජනාධිපති මෛත්‍රීට බාර දුන්නා. මොකද්ද ප්‍රතිචාරය? 


පිළිතුර:- ඒක බාර ගත්තා. එහෙම වාර්තාවක් හදලා බාර දුන්නාට බොහොම ස්තූතියි කිව්වා. මං දන් නෑ ඒක කොච්චර දුරට ක්‍රියාත්මක කළා ද කියලා. 


ප්‍රශ්නය:- ඇමැති මංගල සමරවීර කියනවා මේක සිංහල බෞද්ධ රටක් නොවේ කියලා? 


පිළිතුර:- ඒක තමයි මේ ගොල්ලන්ට වෙලා තියෙන්නේ. මේ රටේ සංස්කෘතිය මේගොල්ලෝ දන්නේ නෑ. හැමද‌ාම ප්‍රශ්න හද‌ාගන්නේ ඒ නිසයි. ඒ බෞද්ධ සංස්කෘතිය ඇතුළේ තමයි මේ රට නොඩනැගුණේ. හැම ආගමිකයෙක්ම සහජීවනයෙන් ජීවත් වුණේ ඒ බෞද්ධ පරිසරය තුළයි. මේ අය බටහිරට ඕනෑ විදියට තමයි හැමද‌ාමත් කටයුතු කරලා තියෙන්නේ. මේ වගේ අන්තවාදී ප්‍රකාශ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. 


ප්‍රශ්නය:- මේ කලබල අස්සේ මැතිවරණත් කල් යයි ද? 


පිළිතුර:- පළාත් සභා මැතිවරණ කොහොමත් කල් ගිහින්නේ. මේ ආණ්ඩුව ඡන්දවලට කොහොමත් බයයි. පළාත් පාලන ඡන්දය ගත්තෙත් කොච්චර සටනක් කරලද? ඡන්ද කල් ද‌ාන්න නම් දෙන්න බැහැ. අපේ සටන ඡන්ද කොහොම හරි පවත්වන්නයි. 


ප්‍රශ්නය:- එතකොට ජනාධිපතිවරණය? 


පිළිතුර:- ඒක කොහොමත් මේ අවුරුද්දෙ පැවැත්විය යුතුයි. ව්‍යවස්ථානුකූලව ඒක කල්ද‌ාන්න කොහොමටවත් බෑ. 


ප්‍රශ්නය:-ඒ වුණත් රටේ තත්ත්වය නිසා? 


පිළිතුර:- මං හිතන්නේ නෑ කොහොමටවත් ජනාධිපතිවරයා එහෙම කරයි කියලා. එයා කොහොමත් ආවේ එක පාරකට කියලනේ. ඒක නිසා එයා කොහොමත් ජනාධිපතිවරණය කල්ද‌ායි කියලා මම හිතන්නේ නෑ. 


ප්‍රශ්නය:- එතකොට කවුද පොහොට්ටුවේ අපේක්ෂකයා? 


පිළිතුර:- ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ අපේක්ෂකයා කවුරු වුණත් එයා අනිවාර්​ෙ‌යන්ම දිනනවා. 


ප්‍රශ්නය:-ඇයි ගෝඨාභය රාජපක්ෂගේ නම නොකියන්නේ? 


පිළිතුර:- පක්ෂය තාම අපේක්ෂකයා කවුද කියලා තීරණය කරලා නෑනේ. මම කියන්නේ අපෙන් ද‌ාන අපේක්ෂකයා කවුරු වුණත් එයා අනිවාර්යයෙන්ම දිනනවා. ඒක මේකෙන් තවත් ස්ථිර වුණා.

 

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්