මේක ව්‍යසනයක් වුණේ දේශපාලකයන්ගේ අමන වැඩ නිසා


රට මුහුණ දුන් ආපදා තත්ත්වය ඇතුළු දේශපාලන මාතෘකා පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සමඟ කළ සාකච්ඡාවකි මේ.

 


රටේ ඇති වුණු ආපදා තත්ත්වය හමුවේ ජවිපෙ මැදිහත්වීම කොහොමද?
මෙතන ස්වාභාවික ව්‍යසනයක් තියෙන බව එක පැත්තකින් පිළිගන්නවා. නමුත් ඉතා පැහැදිලිවම මේක පහුගිය කාලය පුරාම අපේ රට කරවපු ආණ්ඩුවල තිබුණු වැඩපිළිවෙළේ තිබුණු වැරැද්දයි, ඒකටම ගොදුරු වුණු ජනතාව කරපු පාරිසරික හානි වගේ දේවල්වල එකතු වුණු ප්‍රතිඵලය විදියට තමයි හඳුනාගන්න වෙන්නේ.


මේ වෙලාවේ සිදුවුණු ගංවතුර ව්‍යවසනයත් එක්ක ජීවිත සිය ගණනක් අහිමිවීම සහ සිදුවුණු විනාශය නම් මේ ආණ්ඩුවේ හොරකම සහ ආකාර්යක්ෂමතාව නිසා සිදු වෙච්ච දෙයක්. කාලගුණය පිළිබඳව අනාවැකි හඳුනාගන්න පුළුවන් ඩොප්ල රේඩාර් යන්ත්‍රයක් 2003 ගංවතුරෙන් පස්සේ ලෝක කාලගුණ සංවිධානය ලංකාවට අනුමත කළා. ඒක 2007 අනුමත වෙලා 2013 දී ගෙන්නල සවි කළා. හැබැයි ඒකෙ දෝෂ කීපයක් නිසා වැඬේ හරියට කෙරෙන්නේ නෑ. ඒක ගෙන්වපු සමාගම ගැනත් ප්‍රශ්න තියෙනවා. ඒ යන්ත්‍රය නැවත හදන්න යවලා තියෙනවා මේ ළඟදී.


ඒක හරියට ක්‍රියාත්මක වුණා නම් මේ තරම් විනාශයක් නොවී මේ තත්ත්වය පාලනය කරගන්න ඉඩ තිබුණා. මේක ස්වාභාවික ව්‍යසනයක් කිව්වත් මේ තරම් විනාශයක් දක්වා වර්ධනය වුණේ මේ රටේ දූෂිත දේශපාලන නායකයන්ගේ අමන වැඩ පිළිවෙළ නිසා.
මේ ආපදා තත්ත්වයට අපේ මැදිහත්වීම මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්. මේ වගේ අවස්ථාවල සහන සේවා කටයුතු කරන්න අපිට ‘රතු තරුව’ නමින් වැඩපිළිවෙළක් තියෙනවා. මේක මුලින්ම පටන් ගත්තේ 1979 නැගෙනහිර පළාතේ සිදුවුණු ගංවතුර සහ සුළි සුළං අවස්ථාවේ. ඒ කාලේ මේක නම් කළේ “රතු ගැටවු” කියලා. අපේ පක්‍ෂයේ තරුණ අංශය තමයි මේකට වැඩිපුරම මැදිහත් වුණේ. පස්සේ ඒක “රතු තරුව” නමින් නම් කළා. අපි මේ අවස්ථාවේ දිස්ත්‍රික්ක හත පුරාම ක්‍රියාත්මක වෙලා විශාල වැඩකොටසක් කළා. අපි ආධාර බෙදලා හැරියා, එක කණ්ඩායමක් නෙවෙයි. දවස් ගණනක් ඒ ප්‍රදේශවල නතර වෙලා අසරණ වුණු, අවතැන් වුණු අයගේ ජන ජීවිතය යථාතත්ත්වයට පත්වෙනකම් අපිට කරන්න පුළුවන් උපරිම සේවය සලසලා තමයි අපි එන්නේ. තුන්දහසකට අධික සහන සේවා කණ්ඩායමක් අපි විවිධ පළාත්වලට යවලා තියෙනවා.


පනස් ගණන්වල හැට ගණන්වලත් ගංවතුර ආවා. එතකොට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියලා එකක් තිබුණෙ නෑ. ඒත් ඒ අවස්ථාවල මේක කොහොම හරි කළමනාකරණය කරගත්තා. අද අමාත්‍යාංශයක්, ආයතන කීපයක් නිලධාරීන් රොත්තක් ඉඳලත් කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.


අපේ රටේ දැන් ආපදාවලට අදාළ ආයතන නම් තියෙනවා. අමාත්‍යාංශ තියෙනවා. ඇමැතිවරු ඉන්නවා. නිලධාරීන් ඉන්නවා. හැබැයි මේ ආයතනවලට පණ නෑ. ආපදා වැළැක්වීම තමයි පළමුවෙනි කාරණය වෙන්න ඕනෑ. කාලගුණ දෙපාර්තමේන්තුවේ රාජකාරිය කාලගුණ අනාවැකි කියන එක. ඒක විද්‍යාත්මක කරුණු අනුව කරන වැඩක්. ඒවා හරියට කළේ නැත්නම් වෙන්නේ අනතුරක් වුණාට පස්සේ ඒවට පිළියම් කරන එක.


දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ අනාවැකිත් හරියට අපේ ජ්‍යෙතිෂ්‍යකාරයන්ගෙ අනාවැකි වගේ.
හරියටම හරි ඒක තමයි ඇත්තම කතාව. මේ සඳහා කෝටි ගණන් වියදම් කරලා, යන්ත්‍ර සූත්‍ර ගෙන්නලා ඒවා හරියට ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලය නිසා අද මේ ආයතන සල්ලි නාස්ති කරන තැන් බවට පත්වෙලා. හරියට අනාවැකි කියනව වගේම ඊට අදාලව ක්‍රියාත්මක වෙලා පෙරසූදානම් ඇතුළු වැඩ කෙරුවොත් ආපදාවලින් වෙන විනාශය අවම කර ගන්න පුළුවන්.


ජීවිත බේරගන්න පුළුවන්. කඳු නාය යන එක වළක්ව ගන්න බැරි වුණත් මිනිස්සු ඒ ප්‍රදේශවලින් අයින් වෙලා ජීවිත රැකගන්න පුළුවන්. දැන් මේකත් බැරිවෙලා තියෙනවා. කොටින්ම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියලා ඒවා තිබුණට ඒවයින් සිද්ධ වෙන දෙයක් ඇත්තෙ නෑ. මේ ආයතනවලට මේ වගේ ආපදා අවස්ථාවකවත් ඍජු තීරණ ගන්න පණ නෑ.


මේ වෙලාවේ නම් ආපදා කළමනාකරණ ඇමැති රටෙත් නෑ. එයා තමන්ගෙ විෂයට අදාළ සමුළුවක් මුවාවෙන් රට සවාරි දිග්ගස්සගෙන කියලත් චෝදනා එල්ල වෙනවා.


මට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේම නිලධාරියෙක් කියපු දෙයක් මම මේ කියන්නේ. ඉතා වගකීමෙන් තමයි මේ කතාව කියන්නේ. පහුගිය 24 වැනිදා ඉඳලා 26 වෙනකම් මෙක්සිකෝවෙ තිබුණු ඔහුගෙ විෂයට අදාළ සමුළුවට සහභාගි වෙලා තියෙනවා. ඒක ගැන ප්‍රශ්නයක් නෑ. 26 වැනිදා සමුළුව අවසන්. හැබැයි ඊටත් දවස් පහකට පස්සෙ තමයි ඇමැති ලංකාවට එන්නේ.
ඇමැතිවරයා මෙක්සිකෝවෙ ඉඳලා ඇමරිකාවෙ පුද්ගලික සංචාරයකට ගිහින් තියෙන්නේ. ඔහු ලංකාවෙන් යද්දී ආපදා තත්ත්වයක් නැති වුණා වෙන්න පුළුවන්. ඒත් ඒ අතරෙ සිදුවුණු ආපදාවට ඔහු ප්‍රතිචාර දක්වපු ආකාරය වගකිවයුතු ඇමැතිවරයෙක් වැඩ කරන ආකාරයට නම් නෙවෙයි කළේ. මෙහෙම ඇමැතිලා රටකට ඕනද. අගමැතිවරයා මේ තරම් ව්‍යසනයක් වෙලා තියෙද්දී පුද්ගලික සංචාරවලට ඇමරිකා යනවා. මෙහෙම නායකයෝ රටකට ඕනද. ජනතාව ගැන කිසිම හැඟීමක් නැති මේ වගේ අය නම් තවදුරටත් රට පාලනය කරන්නේ ඊට වඩා අපදාවක් නෑ රටට.

 


මේ අතරෙ ජවිපෙ රතු තරුව විවේචනය කරන අයත් ඉන්නවා නේද?
එහෙම කරනවා නම් කරන්නේ කුහකයො. වෙන කාටවත් අපිව එහෙම අසාධාරණ විදියට විවේචනය කරන්න බෑ. අපදාවලට ලක්වුණු අයගෙන් ඇහුවොත් අපි ගැන කියයි. අතිබහුතරය මේකට හොඳයි කියද්දී කීප දෙනෙක් තමන්ගේ බංකොලොත් කම වහගන්න හැම එකටම පහර ගහනවා වගේ මේවටත් එක එක කතා කියනවා ඇති. ඒවා අපිට අදාළම නෑ. අපි 1979 ඉඳලා මේ කටයුතු කරන්නේ ආදර්ශවත් විදියට. අපිට කිසිම දූෂණ චෝදනාවක් ඇවිත් තියෙනවද. කාටවත් එහෙම කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණේම නොවන බොහෝ අය රතු තරුව එක්ක එකතුවෙලා වැඩ කරනවා. විශේෂයෙන් වෛද්‍ය කණ්ඩායම් වගේ ඒවා.

 


ඔබ සහභාගි වුණු දේශපාලන වැඩසටහනකදී සිරස රූපවාහිනියේ නිවේදකයෙක් කිව්වා ජේවීපී එකේ කොන්ද ගැන, අනුර දිසානායකගෙ කොන්ද ගැන හෙළිදරවු කරන්නම් කියලා. ඔබලා මේ මීඩියා එක්ක ඩීල්වලට ගිහින් වගේ ඒ කතාවලින් තේරෙන්නේ?
ඒ මාධ්‍යවේදියාගේ පැත්තෙන් එවැනි අදහසක් ප්‍රකාශ වුණා. අපි වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන පිරිසක් නෙවෙයි. අපි පිරිසිදු දේශපාලනයක් කරන්නේ. කාගෙ හෝ වැරැද්දක් තියෙනවා නම් අපිට ඒ ඕන කෙනෙක් විවේචනය කරන්න පුළුවන්. සිරසේ වැරැද්දක් තියෙනව නම් සිරසට ගිහිල්ලම වුණත් අපිට ඒක කියන්න කොන්දක් තියෙනවා. ලංකාදීපෙ වැරැද්දක් තියෙනව නම් ඔබට කෙලින්ම ඒක කියන්න අපිට පුළුවන්කම තියෙනවා. අපිට සාකච්ඡාවලට ඉඩ දෙනවා කියලා ඒවා නොකියා ඉන්නෙ නෑ.


සිරසේ ඔය මාධ්‍යවේදියා කරපු කතාවට එවෙලෙත් මම ප්‍රතිචාර දැක්වූවා. මම අභියෝග කළා අපිට ඩීල් තියෙනව නම් කියන්න කියලා. අපි දේශපාලන පක්‍ෂයක් විදියට හැම මාධ්‍ය එක්කම ගනුදෙනු කරනවා. අපේ වැඩවලට සහයෝගය දෙන්න කියල ඉල්ලීම් කරනවා.


ඒවා ඩීල් නෙවෙයි. අපි ඉල්ලලා තියෙන්නේ අපේ පුද්ගලික වැඩවලට ප්‍රචාරය දෙන්න කියලා නෙවෙයිනේ. මේ සිදුවීමෙන් පස්සෙ සිරසෙ මාධ්‍ය ප්‍රධානීන් ඒ සිදුවීම පිළිබඳව ඔවුන්ගේ කනගාටුව ප්‍රකාශ කළා. ඒක අදාළ නිවේදකයාගේ ප්‍රකාශයක් මිස ආයතනයේ අදහස නෙවෙයි කියලා සිරසෙ ප්‍රධානීන් අපට කිව්වා. අපි ඒකටත් සතුටු වෙනවා. වැරැද්දක් වුණා කියලා කනගාටුව ප්‍රකාශ කරන්න සදාචාරාත්මක වීමත් හොඳ ලක්‍ෂණයක්.

 


මේ ගංවතුර අස්සේ ඇමැතිවරුන්ට සැප වාහන ගේන්නත් හැදුවා. ඔබ ඒක පාර්ලිමේන්තුවේදී විවේචනය කළා. ජනාධිපතිතුමා ඒක නම් නැවැත්තුවා කියලා කියන්නේ?
ඒක ජනාධිපතිතුමාගේ මාධ්‍ය සංදර්ශනයක් විතරයි කියලයි අපි නම් කියන්නේ. ගංවතුරෙන් මියගිය එක් පුද්ගලයෙකුට දෙන්නේ රුපියල් ලක්‍ෂයක්. මේ ඇමැතිවරුන්ගේ එක වාහනේකට ලක්‍ෂ තුන් හාරසීය වියදම් කරනවා. මේවයි ඉවරයක් නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලට අපරාදේ වියදම් කරන මුදල මාසෙකට කෝටි ගණනක්. මේවා සහගහන අපරාධ. ඒ අතරෙ ජනාධිපතිතුමා පොඩි පැලැස්තරයක් විදියට වාහන ගෙන්වන එක පස්සට දානවා. එහෙම නම් මේවා ගේන එක සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන්. එහෙම කරන්නේ නෑ. මේක තමයි සංදර්ශනය.


ජනතාවට සහන කොහොම වෙතත් තවත් රාජ්‍ය ඇමැතිකම් නියෝජ්‍ය ඇමැතිකම් දීලා ඇමැතිවරු සතුටු කරනවා.


මේකෙත් කෙළවරක් නෑ. රටේ මිනිස්සුන්ගෙ අවධානය ගංවතුරට යොමුවෙලා තියෙන වෙලාවේ ඇමැතිවරුන්ට තවත් තනතුරු දුන්න. ඉස්සර ක්‍රිකට් මැච් දිනන අතරෙ බඩු මිල වැඩි කරනවා වගේ වැඩක් තමයි මේක.


ඔබලා කියන විදියට ආණ්ඩුව මේ තරම් පිස්සු නටනවනම් ඔබලගෙ ආණ්ඩු විරෝධය ප්‍රමාණවත්ද?
අපි පහුගිය කාලය පුරා උපරිම ආණ්ඩු විරෝධයක් පළ කළා. හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකිණීමට එරෙහිව, සයිටම් එකට එරෙහිව අපි කරපු සටන නිසා තමයි ආණ්ඩුවට අඩිය පස්සට අරගෙන ඒ වැඩපිළිවෙළවල් අකුල ගන්න වුණේ. මේවා අතිදැවැන්ත විරෝධතා. ආණ්ඩුව මේවට බය වුණා. අපිට ස්ට්‍රයික් උණක් නෑ. අවශ්‍ය දේට අපි උද්ඝෝෂණ, වැඩවර්ජන ක්‍රියාවලට යනවා. ඒක නවත්වන්නේ නෑ. ජනතාවට අහිතකර දේවල් ආණ්ඩුව කරන හැම වතාවෙම අපි අපේ රාජකාරිය කරනවා. මේවයි අවසාන ප්‍රතිඵලය විදියට ආණ්ඩුවට ගෙදර යන්නත් වෙයි.


සාකච්ඡා කළේ
ප්‍රියන්ත කොඩිප්පිලි