මේ සිද්ධිය මත අපට මඩගහන්න උත්සාහ කළා


බැඳුම්කර සිද්ධිය මත තමන්ට මඩ ගැසීමට ඇතැම් ​ෙද්ශපාලන පක්ෂ උත්සාහ කළ බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කීය. බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් කළ විමසීමට ඒ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.  


කෝප් කමිටු රැස්වීම්වල දී බැඳුම්කරය පිළිබඳව අපි විශේෂයෙන් කතා කළේ එතැන ලොකු වැරැද්දක් සිදු වෙමින් තිබූ නිසයි. කෝප් කමිටු පරීක්ෂණයේ මුල සිටම එ් වැරැද්ද සිදුවුණා. 2008 සිටම මේ බැඳුම්කර කටයුතු පිළිබඳව විමර්ශනය කළ යුතුව තිබුණා. නමුත් එහෙම කළේ නැහැ. අප ඉල්ලා සිටියේ ඒ පරීක්ෂණ මැදින් ආරම්භ නොකරන ලෙසටයි.  


මුල සිටම පරීක්ෂණ ආරම්භ කරන්න කියා ඉල්ලා සිටිය අප බොහොම පැහැදිලිවම ඒ ඉල්ලීම කළා. අප විශ්වාස කළේ දේශපාලන පළි ගැනීමක් ලෙසට කෝප් කමිටුව බැඳුම්කර පරීක්ෂණ මුල සිටම සිදු නොකළ බවයි.  


 දෙවැනි කරුණ නම් මේ සම්බන්ධ භෞතික පරීක්ෂණයක් කරන ලෙසට ඉල්ලුවා. සාමාන්‍යයෙන් මෙවැනි කරුණු සඳහා විශේෂ දැනුමක් ඇති නිලධාරින්ලවා විගණන කටයුතු කළ යුතු වෙනවා. බැඳුම්කරයට අදාළ කරුණු පිළිබඳ විගණකාධිපතිවරයා කරනු ලැබූ පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි. විගණකාධිපතිවරයා හෑල්ලු කිරීමත් හෝ එතුමා විෂය නොදන්නා බවක් එයින් අදහස් කරන්නෙ නැහැ. අපි කියා සිටින්නේ මේ විෂය පිළිබඳව ඔහු කරන පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකි බවයි. එතුමත් ඒක පිළිගත්තා. අපි කෝප් කමිටුවේදී කිව්​ෙව් විශේෂඥයෙක් ලවා පරීක්ෂණය කරන ලෙසටයි. ඒ ඉල්ලීම ඉටු වූයේ නැහැ.  


 මේ වාර්තාවෙ පැහැදිලිවම අප දක්වන ලද කරුණු දෙක සඳහන් වෙනවා. එක් කරුණක් නම් වර්ෂ 2008 සිටම විමර්ශන සිදුවිය යුතු බවයි. දෙවැන්න විශේෂ විගණනයක් අවශ්‍ය බවයි.  


 මෙහිදී තවත් විශේෂ කරුණක් සඳහන් කළ යුතුයි. අපි දුරකථනයෙන් කතා කළ බවට විශාල මඩ ව්‍යාපාරයක් ගෙන ගියා. අපේ දුරකථන කතා බහ සිදුවී ඇත්තේ මෙම විමර්ශනවලට පෙරයි. අපේ දුරකථන ඇමැතුම් මෙම ගනුදෙනුවට අදාළ වූයේ නැහැ.  


කිසියම්ම සම්බන්ධයක් මෙම ගනුදෙනුව හා දුරකථන සංවාද අතර පැවැතුණේ නැහැ. අපි ඒ ගැන එදත් බියක් නැතිව කතා කළා. අදත් බය නැතිව කතා කරනවා.  


 අප ඒ දිනවල දුරකථනයෙන් කතා බහ කළේ වෙනත් කාරණාවලටයි. බැඳුම්කරයට සම්බන්ධ කාරණාවලට නොවෙයි. කොමිසම ඒ ගැන පැහැදිලි අවබොධයකින් කටයුතු කරල තිබෙනවා. ඒ අය ඔය කියන දුරකථන සංවාද ගැන සඳහනක්වත් කරල නැහැ. නමුත් ඒ සිද්ධියට අපට කොයිතරම් මඩ ගැහුවද? බොහොම වැරදියි. වැරදි මතයක් පැතිරී ගියා. ඒක දේශපාලනඥයකුට කරනු ලබන විශාල හානියක්.  


සමහරු තවත් විරුද්ධව ඇති චෝදනාවලට ඇප ලබාගෙන නැවත පැමිණ අනෙකුත් අයට හොරු වංචාකාරයෝ වශයෙන් හඳුන්වනවා. එවැනි අය බහුතරයක් සිටියදී අපිට මඩ ගහනවා.  


 බැඳුම්කර කොමිසමේ වාර්තාව දැන් ජනාධිපතිතුමාට බාර දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ගැන එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුගේ විරෝධයක් නැහැ. ඒ සඳහා සියලු සහාය දැක්වීමට අප සූදානම්. අධිකරණයෙන් සියල්ල පිරිසිදු වෙනු ඇති. පාඩුව කීයද? අලාභය කීයද? එසේත් නැතහොත් අධිකරණය තීන්දු කරාවි. වැරැද්දක් තියෙනවද? යන්න ගැනත් අධිකරණය තීන්දු කරාවි.  
 
ඒ සඳහා අධිකරණයට පූර්ණ නිදහස ලබා දිය යුතු වේ. අධිකරණයට දැනටමත් පූර්ණ නිදහස ලබාදී තිබෙනවා. තවත් කරුණක් නම් පාර්ලිමේන්තුවේදී මේ ගැන සාකච්ඡා කළ යුතු වෙනවා. යම් වැරැද්දක් සිදුවී තිබෙනවා නම් ඒ වැරැද්ද හඳුනා ගතයුතු වෙනවා. එවැනි වැරැද්දක් සිදු නොවීමට වැඩ පිළිවෙළක් සකස් කළ යුතු වෙනවා.  


ඒ වෙනුවට ඇතැම් පක්ෂ කණ්ඩායම් කරන දේවල් බලන්න. මේක ඡන්දයක් අත උඩ පැමිණ තිබෙන අවස්ථාවක්. මේ බැඳුම්කර වාර්තාව පිළිබඳව සාකච්ඡා කරමු යැයි යෝජනා කරන්​ෙන් අවංක යහපත් චේතනාවකින් නොවෙයි. ජනතාවට මේ ගැන යහපත් ලෙසින් අවබෝධ කර දීමේ අදහසින් ද නොවෙයි.  


මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරමු යැයි යෝජනා කරන්නේ එමගින් එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසීමටයි. මේ දේශපාලන ක්‍රමවේදය අපේ රටින් තුරන් විය යුතුයි. පැහැදිලිවම අපි කළ යුත්​ෙත් ජනතාවට අවශ්‍ය දෙයයි. ජනතාවට වැදගත් වෙන දෙයක්.  


 පටලවා ගෙන කෑගැසීමට ඕනෑම අයෙකුට හැකියාව ඇත. අපි ඉදිරියට කළ යුතු දේ සාකච්ඡා කළ යුතුය. එය ඉතාම වැදගත් දෙයකි.  
 අධිකරණ තීන්දුව ලැබෙන තෙක් අපිට කිසිවෙකුට චෝදනා කළ නොහැක. වාර්තාවේ රවි කරුණානායක ඇමැතිතුමාගේ නම සඳහන් වෙනවා. මිලට ගත් නිවස ගැන කතා කරල තියෙනවා. බැඳුම්කරයට ඇති සම්බන්ධයක් ගැන කතා කරල නැහැනේ.  


 ජනාධිපතිතුමා කළ කතාවෙ පෙන්නුම් කළේ රවි කරුණානායක මහතා නිවස ගත්ත ක්‍රමවේදය ගැන ගැටලුවක් තිබෙන බව පමණයි. බැඳුම්කරයට ඒ සිද්ධිය සම්බන්ධයිද නැද්ද කියල තීන්දුවක් ගන්න බැහැ.  


මෙහිදී අධිකරණයට දෙපැත්තටම කරුණු විමර්ශනය කළ හැකියි. අධිකරණය විමර්ශනය කරන ආකාරය පිළිබඳව බලා සිටීමට සිදුවෙනවා. මහ බැංකුව ගත් තීන්දු තීරණ ක්‍රමවත් නොවන බවට චෝදනා තියෙනවා. ඒ ගැනත් අධිකරණයෙන් තීන්දුවක් ගත හැකියි. අධිකරණය ප්‍රශ්න අසන විට මේ වාර්තාවට සමාන වෙන්නත් පුළුවන්. වෙනස් වෙන්නත් පුළුවන්. අවසානයේ අධිකරණය දෙන තීන්දුවට අපි හැමෝටම එකඟ වෙන්න සිදුවෙනවා.  


ඒ තීන්දුවට පෙර දේශපාලන පක්ෂවලට තීන්දු තීරණ ගත නොහැකියි. ඒක ගැළපෙන්නෙ නැහැ. රටටම නොගැළපෙන ප්‍රශ්නයක්.  


 ප්‍රශ්නය:- මේ වාර්තාව පළාත් පාලන මැතිවරණයෙ ප්‍රතිපළවලට බලපෑම් කරාවිද?  
 පිළිතුර:- වාර්තාව මේ අවස්ථාවේ ලබාදීම හා මැතිවරණය පැවැත්වීම ගැන සම්බන්ධතාවක් තිබෙනවාද කියලා මම හරියටම දන්නෙ නම් නැහැ. මේ අවස්ථාවේ මෙවැනි කරුණක් මත එල්ලී සාකච්ඡා කිරීම සුදුසු නොවන බව මගේ පෞද්ගලික මතයයි. මුළු රට තුළ සාකච්ඡාවක් ඇති වෙනවා.  


මේක කලින් ඉදිරිපත් කරන්න තිබුණා. නැතිනම් පස්සෙ දෙන්න තිබුණා. ඡන්දයක් ඇතුළත මෙවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් වූ විට රටේ ජනතාවට මාධ්‍ය පාවිච්චි කරල ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවෙනවා. අනවශ්‍ය ලෙස මාතෘකා මත සාකච්ඡා ඇති විය හැකියි. මේ මැතිවරණයේ ජයග්‍රහණ හා පරාජයන් අධිකරණ තීන්දුවක් එක් වූ විට සියල්ල පිරිසිදු වී 2020 මැතිවරණය වන විට බොහොම යහපත් තත්ත්වයකට පත්වනු ඇතැයි විශ්වාස කරනවා.  


 ප්‍රශ්නය:- සාමාන්‍ය ක්‍රමවේදය මත යම් කරුණක් සඳහා අධිකරණමය ක්‍රියා මාර්ගයට වසර 10 ක් පමණ ගත වෙන බව කියනවා. එවිට ඉදිරි මැතිවරණයට මුහුණ දීමට සිදුවෙනවා.  
 පිළිතුර:- අධිකරණ ක්‍රමවේදය අපට සැකසිය නොහැකියි. අධිකරණයේ ක්‍රියා පිළිවෙත අපි දන්නවා. ඒ සඳහා යායුතු ක්‍රමවේදයක් පවතිනවා. මේක මැතිවරණයට අදාළම නැහැ. මහ බැංකු නිලධාරින් හරි දේ කර නොමැති නම් අඩුපාඩු සිදුවී තිබේ නම් ඒවා​ෙය් ප්‍රතිවිපාක බලා සිටීමට කාලයට බාර දීමට සිදුවෙනවා.  

 

සටහන -  දයාසීලි ලියනගේ