මේ විසිඑක් වැනිදාට කලින් විශාල ප්‍රගතියක් දකින්න ලැබේවි


ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාංසා 

  • ජනාධිපතිතුමා සියයට සීයක්ම පාස්. ඇත්තටම මේ රටේ හැටනව ලක්ෂයක් ජනතාව එතුමාව තේරා ගත්තේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්. අද ඒ ජාතික ආරක්ෂාව සීයට සීයක්ම තහවුරු වෙලා ආරක්ෂා වෙලා තියෙනවා.
  • ඇත්තටම කාදිනල්තුමාගේ වේදනාව සාධාරණයි. ප්‍රහාරයට ලක්වෙලා මියගිය ජනතාවගේ පවුල්වල අය ඒ වගේම තුවාල වෙච්ච ජනතාව තමන්ගේ දුක කියන්නේ කාදිනල්තුමාට.

 පාස්කු ප්‍රහාරයට දෙවසරකි. වින්දිත ජනයාට සාධාරණය ඉටුවේද? මේ ඒ ගැන විමසමින් ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් ඇමැති නිමල් ලාංසා මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- පාස්කු ඉරිද‌ා ප්‍රහාරයට අවුරුදු දෙකයි. වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්න ආණ්ඩුවට තවමත් බැරිවෙලා.


පිළිතුර:- ඒ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් මාස හයක් ආණ්ඩු කළේ යහපාලන නඩයමයි. හිටපු ජනාධිපතිවරයා පත්කරපු ජනාධිපති කොමිසමක් තිබුණා. ඒකේ වාර්තාව එනතුරු අපට බලාගෙන ඉන්න වුණා. දැන් ඒ වාර්තාව ලැබිලා තියෙනවා. නීතිපතිතුමත්, නීතිපති දෙපාර්තමේන්තුවත් ඒ වාර්තාව අධ්‍යයනය කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයත් වෙන වෙනම පරීක්ෂණ කරගෙන යනවා. ඒ අනුව මේ වෙනතුරු හැංගිලා හිටපු සැකකරුවන් අත්අඩංගුවට ගන්න අපට හැකිවෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ 21 වැනිද‌ාට කලින් විශාල ප්‍රගතියක් දකින්න ලැබේවි කියලා.


ප්‍රශ්නය:- දැන් ප්‍රශ්නය තියෙන්නේ මහ මොළකරු ගැනයි. කෝ ඒ මහ මොළකරු?


පිළිතුර:- මහ මොළකරු කවුද කියලා අපට එක පාරටම කියන්න බෑ. විමර්ශන කටයුතු සිද්ධ වෙන්නේ ඒ වෙනුවෙන්. දැන් කවුද ඔය මහ මොළකරු ගැන අහන්නේ? සියලු තොරතුරු ලැබිලා තිබියදීත් ඒ ප්‍රහාරය වෙන්න ඇරපු... ඒ වගකීම පැහැර ඇරපු අද විපක්ෂයට වෙලා හතරගාතෙන් වැටිලා ඉන්න හොර නඩයයි. සහරාන්ගේ ලැප්ටොප් එක හොයාගන්න පුළුවන් වුණා නම් ඔය ඔක්කොම විස්තර හොයාගන්න තිබුණා. නමුත් ඒ ලැප්ටොප් එකත් අතුරුදන් කරපු අය තමයි මහ මොළකරුවන් ගැන අහන්නේ.


ප්‍රශ්නය:- ප්‍රහාරයෙන් දිවි බේරාගෙන ඉන්දියාවට පැන්නා කියලා කියන සාරා හොයාගන්න ආණ්ඩුව විශේෂ උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ ඇයි කියන එක බරපතළ ප්‍රශ්නයක්?


පිළිතුර:- ඇත්තටම සාරා කියන කාන්තාව ජීවතුන් අතර ද නැද්ද කියන එකත් තාම ප්‍රශ්නයක්. ඒක හොයන්න ඩී.එන්.ඒ. පරික්ෂණයක් කරනවා කියලා ඇමැති සරත් වීරසේකර මැතිතුමා ප්‍රකාශ කළා. මාධ්‍ය ඉස්සරහා නොපෙනුණාට ඒ පරීක්ෂණ කටයුතු බොහොම වේගයෙන් කෙරෙනවා. පරීක්ෂණ ගැන හැම දෙයක්ම මාධ්‍යයට කියන්න බෑ කියලා ඔබත් පිළිගන්නවා ඇති.


ප්‍රශ්නය:- කොළඹ අගරදගුරුතුමන් මාධ්‍යයට ප්‍රකාශ කළා. සාධාරණය ඉටු නොවුණොත් උද්ඝෝෂණ වේගවත් කරනවා කියලා.


පිළිතුර:- ඇත්තටම කාදිනල්තුමාගේ වේදනාව සාධාරණයි. ප්‍රහාරයට ලක්වෙලා මියගිය ජනතාවගේ පවුල්වල අය ඒ වගේම තුවාල වෙච්ච ජනතාව තමන්ගේ දුක කියන්නේ කාදිනල්තුමාට. ඉතින් ඒ වේදනාව උන්වහන්සේට බොහොම සමීපව දැනෙනවා. ඒ වේදනාව තමයි උන්වහන්සේගේ ප්‍රකාශවලින් පේන්නේ. හිටපු නායකයන්ට වගේම ඉන්න නායකයන්ටත් එතුමාගේ විවේචනය එල්ල වෙනවා. ඒ විවේචනය මම දකින්නේ බොහොම සාධාරණ හා යුක්තිගරුක විවේචනයක් විදියටයි. ඒ විවේචනවලට අපි හිස නැමිය යුතුයි. ඒවාට කෝප වෙලා හරියන්නේ නෑ. කාදිනල්තුමාගේ මුවින් පිටවෙන්නේ වින්දිත ජනතාවගේ වේදනාව. ඒක අපි තේරුම්ගත යුතුයි.


ප්‍රශ්නය:- හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රෙදි ඇඳගෙන ද ඡන්දෙට එන්න හදන්නේ කියලා කාදිනල්තුමා ප්‍රශ්න කළා?


පිළිතුර:- එතුමා එහෙම ප්‍රකාශයක් කරනවා මමත් දැක්කා. මේ ප්‍රහාරය ගැන සියලු තොරතුරු ලැබිලා තිබියදීත් ඒ මහා විනාශය වළක්වන්න කටයුතු නොකරපු යහපාලන රජයේ ප්‍රධානීන් සම්බන්ධයෙන් බරපතළ අප්‍රසාදයක් තියෙනවා. උන්වහන්සේගේ ප්‍රකාශවලින් පිටවෙන්​නේ ඒ අප්‍රසාදයයි. මිනිස්සු තුන්සිය ගාණක් මැරුණා. පන්සිය ගණනක් තුවාල වුණා. පවුල් පිටින් විනාශ වුණා. අවසානයේ දී බලනකොට මේ ප්‍රහාරය බොහොම පැහැදිළිව වළක්වා ගන්න තිබුණ එකක්. ඉතින් එහෙම වුණාම වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඒ මිනිස් ජීවිතවලට කවුද සාධාරණය ඉටු කරන්නේ?


ප්‍රශ්නය:-කොහොම වුණත් පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ගන්නේ පොහොට්ටුව?


පිළිතුර:- නෑ කිසිම වාසියක් ගත්තේ නෑ. කාටද එහෙම චෝදනා කරන්න පුළුවන්? මොකක්ද අපි ගත්ත දේශපාලන වාසිය?


ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරය පෙන්නලා ඔබලා ජනාධිපතිවරණය දිනුවා. මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක ආණ්ඩුවක් හද‌ාගත්තා?


පිළිතුර:- මහත්තයෝ පාස්කු ප්‍රහාරයෙන් පැහැදිලි වුණේ ජාතික ආරක්ෂාව බරපතළ විදියට බිඳ වැටිලා කියලයි. ඒ නිසා ජාතික ආරක්ෂාව ඇති කරන්න පුළුවන්, ජාතික නායකත්වයක් තමයි ජනතාව හෙව්වේ. ඒ ජාතික නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒනිසා තමයි එතුමව බලයට පත් කළේ. එහෙම නම් පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතනවලින් සියයට අසූවකට වැඩියෙන් අපි ජයග්‍රහණය කළේ පාස්කු ප්‍රහාරය හින්දද? ඒ ජයග්‍රහණය අපි වාර්තා කළේ පාස්කු ප්‍රහාරයට කලින්. ඒකෙන්ම පේනවා අපේ ජයග්‍රහන පිටිපස්සේ පාස්කු ප්‍රහාරය නැහැ කියලා.


ප්‍රශ්නය:- ඒ වගේ ප්‍රහාරයක් මගින් ජාතික ආරක්ෂාව බිඳ වැටිලා කියලා මතයක් හදන්න ප්‍රහාරය සැලසුම් කළා වෙන්නත් පුළුවන් කියලා ගණන් හදන අය ඉන්නවා?


පිළිතුර:- ජනතාව ඔය මනස්ගාත පිළිගන්නේ නැහැ. යහපාලන නඩය සංහිඳියාව කියලා ජාතික ආරක්ෂාව ගැන හොයලා බැලුවේ නැහැ. දැන දැන ඉඳලා සද්දෙ වහල ඉඳලා දැන් බහුබූත කියවනවා. මහ බැංකු බැඳුම්කර මහ මංකොල්ලයේ මහ මොළකරු රටින් පන්නලා පාස්කු මහ මොළකරු සහරාන්ගේ තොරතුරු හංගලා රෙදි ඇඳගෙන ද ඔහොම කතා කරන්නේ කියලා අපි අහනවා.


ප්‍රශ්නය:- කොහොම වුණත් මේ ආණ්ඩුව බලයට ගේන්න පෙරමුණ ගත්ත මහා සංඝරත්නයම කියනවා ‘ආණ්ඩුව යන්නේ වැරදි පාරේ’ කියලා?


පිළිතුර:- මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අපි හිස්මුදුනෙන් පිළිගන්නවා. උන්වහන්සේලා අපේ යම් අඩුපාඩුවක් පෙන්වලා දුන්නොත් අපි ඒක නිවැරැදි කරගන්නවා.


ප්‍රශ්නය:-තාම ආණ්ඩුව අලුත්. එහෙම වෙලත්?


පිළිතුර:- මෙහෙමයි, එක නමක් දෙනමක් විවේචනය කළාට පොදු මහ සඟරුවන ආණ්ඩුවත් එක්ක ඉන්නවා. ඔය විවේචනය කරන හාමුදුරුවරු ඉන්නේ එක නමක් දෙනමක් විතරයි. අපිට සහයෝගය දීපු හාමුදුරුවරු සියයට 99 ක්ම අපිත් එක්ක ඉන්නවා.


ප්‍රශ්නය:-ගැටඹේ පන්සලට ගිහින් එස්.බී. දිසානායක කියනවා ‘ජනාධිපතිතුමත් බොහොම කලකිරිලා ඉන්නේ’ කියලා?


පිළිතුර:- මමත් ඒක නිවුස්වල දී දැක්කා. නමුත් එහෙම තත්ත්වයක් නෑ. ජනාධිපතිතුමාට කලකිරෙන්නවත් වෙලාවක් නෑ. එතුමට ඒ තරමට වැඩ. එතුමා ගම සමග පිළිසඳරක් වැඩසටහන සමග ජනතාවගේ ප්‍රශ්න ජනතාව ළඟටම ගිහින් අහලා දැකලා විසඳනවා.


ප්‍රශ්නය:- එහෙම නම් එස්.බී. අරහෙම කියන්නේ?


පිළිතුර:- ඒක නම් ඉතින් එස්.බී. ගෙන්ම තමයි අහන්න ඕනෑ. එතුමා මොන අර්ථයෙන් එහෙම කිව්වද කියන්න මම දන්නේ නැහැනේ. වෙන කෙනෙක් කියපු දෙයක් ගැන මම කොහොමද උත්තර දෙන්නේ.


ප්‍රශ්නය:- කොහොම වුණත් ආණ්ඩුව ඇතුළෙන්ම එන හඬට අනුව ‘සර් ෆේල්’ නේද?


පිළිතුර:- නෑ. ජනාධිපතිතුමා සියයට සීයක්ම පාස්. ඇත්තටම මේ රටේ හැටනව ලක්ෂයක් ජනතාව එතුමාව තේරා ගත්තේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්. අද ඒ ජාතික ආරක්ෂාව සීයට සීයක්ම තහවුරු වෙලා ආරක්ෂා වෙලා තියෙනවා. ජනතාවට කිසිම බයක් සැකක් නැතිව රටේ ඕනෑම තැනකට යන්න පුළුවන් නිදහස ඒ වටපිටාව හදලා දීලා තියෙනවා. ඒ අර්ථයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සීයට සීයක්ම පාස්. අනික් අතින් බලන්න. ලෝකයේ බොහෝ බලවත් රටවල් පවා කොරෝනා වයිරසය පාලනය කර ගන්න අසමත් වෙලා තියෙනවා. නමුත් අපේ රටේ ඒ තත්ත්වය මැනවින් පාලනය කරලා තියෙනවා. බලන්න අලුත් අවුරුද්ද සමරන්න මිනිසුන් තුළ තිබිච්ච උද්යෝගය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අපේ රටේ කොරෝනා පාලනය සම්බන්ධයෙන් ප්‍රශංසා කරනවා. කොරෝනා මර්දන එන්නත නිෂ්පාදනය නොකරන රටක් වුණත් අපිට පුළුවන් වෙලා තියෙනවා තත්ත්වය පාලනය කරලා සාමාන්‍ය මට්ටමෙන් රට පවත්වාගෙන යන්න. ඒ මොන පැත්තෙන් බැලුවත් ජනාධිපතිතුමත් අගමැතිතුමා ඇතුළු මුළු ආණ්ඩුවත් ඔප්පු කරලා තියෙනවා අපිට ඉතාම දියුණු වැඩපිළිවෙළක් තියෙනවා වගේම ආර්ථික ගමනක අපි යෙදිලා ඉන්නවා කියලා.


ප්‍රශ්නය:-රට රැකගන්න ගෙනාව ආණ්ඩුවෙන් පරිසරය රැකගන්න වෙලා තියෙනවා?


පිළිතුර:- මට එක තැනක් පෙන්වන්න. එහෙම දෙයක් වෙනවා නම් අඩුම තරමේ පොලිසියකට පැමිණිල්ලක් ද‌ාන්න කියන්න. ඔය පරිසර විනාශය ගැන කතා කරපු එක්කෙනෙක් මම දැක්කා ඊයෙ පෙරේද‌ා සමගි ජන බලවේගයෙ සංවිධායකකමත් ගන්නවා. ඒ අයගේ න්‍යාය පත්‍රය මොකද්ද කියලා ඉතා පැහැදිළියි නේ. අපේ ආණ්ඩුව මේ කොරෝනා වයිරසය මැදත් රටේ සංවර්ධන කටයුතු නතර කරලා නෑ. රට පුරාම පාරවල් කිලෝ මීටර ලක්ෂයක් හැදෙනවා. අධ්‍යාපනය ඉතා විශාල ප්‍රගතියක් ලැබිලා තියෙනවා. නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. කොරෝනා නිසා කිසිම රටක රජයේ සේවකයන්ට සීයට සීයම පඩිය දුන්නේ නෑ. සීයට පනහයි දුන්නේ. නමුත් අපි සීයට සීයම දුන්නා. එහෙම කරපු ලෝකයේ එකම රට අපි වෙන්නැති. මුළු ලෝකයම ආර්ථික අර්බුදයක ගිලිලා තිබියදීත් සමෘද්ධි පවුල්වලට, අවුරුදු කන්න අපි රුපියල් පන්ද‌ාහක් දුන්නා. අපි යහපාලනය බාරදුන්නේ චීනයට පමණක් දෙවැනි වෙච්ච ආර්ථිකයක් තියෙන රටක්. හැබැයි අපි නැවත බාරගත්තේ ඇෆ්ගනිස්ථානයටත් යට තියෙන රටක්. එහෙම රටක් බාර අරගෙන තමයි අපි මේ ගමන යන්නේ. ඒ ගමනේ සාර්ථකත්වය නිසා තමයි හතර ගාතෙන් වැටිලා ඉන්න විපක්ෂය ඔය මනස්ගාත දොඩවන්නේ.


ප්‍රශ්නය:-පළාත් සභා ඡන්දයට මොකක් වෙයිද?


පිළිතුර:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් හැටියට පළාත් සභා වෙනුවෙන් පෙනී ඉන්නවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත දෙයක්. ඒක ජනතාවගේ සර්වජන ඡන්ද බලය. ඔය එක්කෙනෙක් දෙන්නෙක් කෑගැහුවට ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගන්න අපට බෑ.

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්