මේ රටේ පුරවැසියො කියන්නෙ හොරු ටික හිරේදාන්න කියලයි


අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන්ම විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රකාශයට පත්විය. ඒ සටනේ නියමුවකු වන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා සමග මේ සාකච්ඡාවේ වැඩි අවධානය එම කාරණාව සම්බන්ධයෙනි.   

 


ප්‍රශ්නය - ආණ්ඩුව වගේම එක්සත් ජාතික පක්ෂයත් දැන් ඇතුළෙන් පිපිරෙන්න පටන් අරන්....?   
පිළිතුර - නෑ. එක්සත් ජාතික පක්ෂය ඉන්නේ එක මතයක. අපේ පක්ෂය ඇතුළේ බෙදීමක් නෑ. අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මතයත් අපේ පක්ෂයට ඡන්දය දුන්න මිලියන පහකට වැඩි ජනතාවගේ අභිලාෂයන්ට පිටින් යන පුද්ගලයන් කිහිපදෙනෙක් ගැන ප්‍රශ්න තියෙනවා. වෙනදාට ඉවසාගෙන ඉන්න අය දැන් හයියෙන් කතා කරනවා. ඒක යහපත් ලක්ෂණයක්. කතා නොකර පක්ෂයත් රජයත් විනාශයට යනවා වෙනුවට සටන් කරලා පාක්ෂිකයන්ගේ හා රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටුකර ගැනීම තමයි අද පක්ෂය තුළ තියෙන ප්‍රවණතාව.   

 


ප්‍රශ්නය - ඔය ඔබ කියන අභිලාෂයන්ට එරෙහිව කවුද ඉන්නේ පක්ෂය ඇතුළේ.   
පිළිතුර - මේ වෙලාවේ අපට බොහොම පැහැදිලිව එක්කෙනෙක් අඳුරගන්න පුළුවන්.   

 


ප්‍රශ්නය - කවුද ඒ එක්කෙනා?   
පිළිතුර - ඒ තමයි අපේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මැතිතුමා.   

 


ප්‍රශ්නය - ඇයි ඔබ ඔහුට එහෙම චෝදනා කරන්නේ?   
පිළිතුර - මාස 60න් අලුත් රටක් කියන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන අභිලාෂයන්ට එරෙහිව කටයුතු කරන බව අපට පෙනෙනවා ක්‍රියාවෙන් වගේම ප්‍රකාශවලින්.   

 


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ එහෙම චෝදනා කරන්න තියෙන සාධක මොනවද කියලයි.   
පිළිතුර - ඔහුගේ විෂය අධිකරණ විෂයයි. මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යංශය යටතේ තියෙන දෙපාර්තමේන්තුවක්. ඒ වගේම මේ රටේ අධිකරණ පද්ධතිය සඳහා අවශ්‍ය කරන පහසුකම් සැපයීම. නඩත්තු කිරීම, කාර්යක්ෂමතාව ඇති කිරීම ඔහුගේ වගකීමයි. ඒ වගේම මේ රටේ නීති ප්‍රතිසංස්කරණ සියයට සියයක්ම ඔහුගේ වගකීමයි.   

 


ප්‍රශ්නය - ඔබ කියන්නේ ඔහු එම වගකීම් ඉටු කරලා නෑ කියලද?   
පිළිතුර - අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉතාම පැහැදිලිව ඉදිරිපත් කළ කරුණු කිහිපයක්. එම කරුණු අතරින් ඉතාම මූලික වැදගත් කරුණු කිහිපයක් මම පෙන්වන්නම්. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා. සියලු අංශ ආවරණය වන ආකාරයේ දූෂණ විරෝධි හා අල්ලස් විරෝධී නීති හඳුන්වා දීම. ඊළඟ එක තමයි දූෂණ විරෝධි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව නීති හා පරිපාලන රාමුව අලුතෙන් සැකසීම. ඊළඟට තියෙනවා අධිකරණය, පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය පාලනයේ සියලු අංගෝපාංග දූෂණයට එරෙහිව බලගැන්වීම. ඊළඟට දැනට ඇති අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමටවත් බලය ඇති හොංකොං හි දූෂණ විරෝධි කොමිසම හා එක්සත් රාජධානියේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය ආදර්ශයට ගත් අලුත් ව්‍යුහයක් ඇති කිරීම. ඊළඟ කාරණය තමයි අපරාධ මගින් රැස් කරන ලද ධනය නැවත අත්කර ගැනීමේ නීති ප්‍රමුඛතාව දී සවිමත් කර ගැනීම. එතකොට මේ මූලික පොරොන්දු එකක්වත් ඉටු කරන්න විජයදාස රාජපක්ෂ මහත්තයා අසමත් වෙලා තියෙනවා. අසමත්වීම පමණක් නොවෙයි මෙහෙම ප්‍රතිපත්ති ප්‍රකාශන​ෙය් තියෙනවද කියලවත් එතුමට අමතකයි.   

 


ප්‍රශ්නය - විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා කියනවා මම විෂය පථය දන්නවා. මම නීතිය දන්නවා. මම අධිකරණයට ඇඟිලි ගහන්නේ නෑ. එහෙම ඇඟිලි ගහනවා නම් ඒක යහ පාලනය නොවෙයි කියලා?   
පිළිතුර - ඒක වැරදියි. ඔබ කවදාහරි අහලා තියෙනවද විජයදාස රාජපක්ෂ මහත්තයා කියනවා අල්ලස් හා දූෂණ විරෝධි නව නිති පැනවීම අවශ්‍යයි කියලා. එතුමා හොඳ කථිකයෙක්. නිරතුරුවම මාධ්‍ය ඉදිරියේ කතා කරනවා. ඔහුගේ ශබ්දකෝෂයේ මේ වචන නෑ. අපරාධ මගින් රැස් කර ගත්ත ධනය.... පහුගිය ආණ්ඩුව කාලේත් මේ ආණ්ඩුව කාලෙත් හොරකම් කරපු අයගේ ධනය අත්පත් කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ ජනතාවට. ඒ සඳහා අවශ්‍ය වන ශක්තිමත් නීතියක් අවශ්‍යයි. ඒ කාරණය ඔහුගේ ශබ්දකෝෂය තුළ නැහැ. අර මම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ කිසිවක්ම ඔහුගේ ශබ්ද කෝෂයෙ නෑ. ඔහුගේ එහෙම සංකල්පයක් වත් නෑ.   
ප්‍රශ්නය - නමුත් එෆ්.සී.අයි.ඩී. එක අලුතෙන් ඇති කළා. බරපතළ වංචා දූෂණ සොයන විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළා.   
පිළිතුර - ඒවා ඔහු අධිකරණ ඇමැති වෙන්න කලින්ම රජය බලයට පත්වෙච්ච මුල් අවස්ථාවේ හදපු එකක්. ඕවා සාර්ථකයි අපි කියන්නේ එතැනින් ඔබ්බට ගිහිල්ලා රටේ දේශපාලනඥයන්ට හා දේශපාලනඥයන් නොවන අයට.... මොකද අද මේ රටේ දූෂණවලට හා අල්ලස්වලට සම්බන්ධ වෙන්නේ දේශපාලනඥයන් විතරක් නොවෙයි. රාජ්‍ය නිලධාරීන් හා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයනුත් සම්බන්ධයි. අල්ලස් දෙන එකත් වැරදියි. ගන්න එකත් වැරදියි. එතකොට මේ තුන් හවුල මේ සියලුම දෙනා ආවරණය කරන ආකාරයේ ශක්තිමත් නීති සකස් කළ යුතුයි. එහෙම කළ යුතු බව මම පෞද්ගලිකව කියන එකක් නොවෙයි. එතුමත් ඡන්දෙ ඉල්ලපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ. මම ඔබට උපුටා දැක්වූයේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. එතකොට එහි ඇති කරුණු ඉටු කිරීම විජයදාස රාජපක්ෂ මහත්තයා පැහැර හරිනවා පමණක් නොවෙයි එහෙම වගකීමක් තියෙනවා කියලත් ඔහු දන්නේ නෑ.  

 

 
ප්‍රශ්නය - දන්නේ නෑ කියල ඔබ කියන්නේ ඇයි?   
පිළිතුර - මේ ගැන එතුමගෙන් ප්‍රශ්න කළාම කියනවා ‘‘මට ඇඟිලි ගහන්න බෑ’’ කියල.   

 


ප්‍රශ්නය - ඇයි ඉතින් ඇඟිලි ගහන්න කියන්නේ.   
පිළිතුර - නෑ. නෑ. අපි කියන්නේ නෑ ඇඟිලි ගහන්න කියලා. අපි කියන්නේ නෑ නඩු විභාගවලට ඇඟිලි ගහන්න කියලා. අපි කියන්නේ මේ දැනට තියෙන දැවැන්ත ප්‍රමාදය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න කියලයි. ඔබ දන්නවද නීතිපති දෙපාර්තමේන්තුවම කරපු සමීක්ෂණයකට අනුව පෙනී ගිහිල්ල තියෙනවා මහාධිකරණයේ විභාග වෙන නඩුවක් විභාගවීම සඳහා වැයවෙන කාලය සාමාන්‍යයෙන් අවුරුදු 10යි මාස 2යි. ඒ අභියාචනාවට යන කාලය නොමැතිවයි. එතකොට අවුරුදු 10යි මාස 2ක් යනවා නම් සාමාන්‍ය වශයෙන් මහාධිකරණයේ නඩුවක් විභාග කරන්න. ඒක හොඳයි කියලා මට පිළිතුරු දෙමින් විජයදාස රාජපක්ෂ මහත්තයා කිව්වනේ. ඊට වඩා මට කරන්න දෙයකුත් නෑ කියලත් කියනවනේ. නමුත් මේ ක්‍රමය හොඳ නෑ. එතකොට මේ දූෂිත දේශපාලනඥයන් හා නිලධාරීන් බලාපොරොත්තු වෙන්නේ එතරම් දීර්ඝ කාලයක් ගත වෙනවා දකින්නනේ. අපි ඒකට විරුද්ධයි. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. ඒ යන මගට අධිකරණය බාර ඇමැතිවරයා බාධා කරනවා නම් අපිට අහන්න තියෙන්නේ ‘‘වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද මේ අවනඩුව’’ කියලයි.   

 


ප්‍රශ්නය - ඇත්තටම අද ඔබලා මේ ප්‍රශ්න කිරීම කරන්නේ ඔබලාට අවශ්‍ය අයට නඩු දාලා හිරේ දැම්මේ නැති නිසා.   
පිළිතුර - මේක හරිම සරල දෙයක් නේ. දැන් අමතක කරන්න අජිත් පෙරේරාව. අපේ අගමැතිතුමා පහුගිය දවසක දළදා මාලිගාවට ගිහින් දළදා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කරනවා කියලා කිව්වම උපාසක අම්මා කෙනෙක් අගමැතිතුමාගෙන් ඇහුවේ මොකද්ද? ‘‘අගමැතිතුමනි හොරු ටික හිරේ දාන්නේ නැද්ද’’ කියලයි. ඒ තමයි මේ රටේ පුරවැසියෝ හිතන හැටි. ගම්වල ජීවත්වෙන ජනයා සමග දේශපාලනයට එන්න කලින් හිටපු විදියටම අදත් ඉන්න අය හැටියට පක්ෂ පාට භේදයක් නැතිව සාමාන්‍ය ජනතාවත් නීතිඥයන් ඇතුළු වෘත්තිකයොත් අ​ෙපන් අහන්නේ ‘‘අල්ලපු හොරු හිරේ දාන්නේ නැද්ද’’ කියලයි. ඇත්තටම හොරු ඇල්ලීමේ වැඩේ කෙරිලා තියෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙනකොට අපරාධ පරීක්ෂණ 104ක් අවසන් කරලා නීතිපතිවරයා වෙතට යවලා තියෙනවා. නීතිපති එයින් 14ක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරලා තියෙනවා. එතකොට මේ හා සම්බන්ධ නඩු කල් යද්දී මොකද වෙන්නේ? මේ ක්‍රමය තුළ නඩු කල් දා ගැනීමේ අවකාශ තියෙනවා. අවුරුදු 10ක් 15ක් 20ක් මේ නඩු ඇදගෙන යන්න පුළුවන්. එතකොට මේ හොරුන්ට මුළු ජීවිත කාලයම දඬුවම් විඳීමකින් තොරව ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ක්‍රමය හොඳ නෑ. මේක මේ රාජපක්ෂ කෙනෙක් හරි වෙන නිශ්චිත පුද්ගලයෙක් හෝ පවුලක් ඉලක්ක කර ගත්ත වැඩක් නොවෙයි. මේක රාජපක්ෂලාට සිල්වලාට පෙරේරාලට, ගුණපාලට, සිරියාවතීට මේ සියලු දෙනාට අදාළ නඩු කඩිනමින් විභාග කිරීමේ ක්‍රමයක්, දිනපතා නඩු අහන ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. ඇත්ත වශයෙන්ම මහාධිකරණයේ නඩු අහන සාමාන්‍ය ක්‍රමවේදය දිනපතා නඩු ඇසීම බවට පත්විය යුතුයි. ඒ ක්‍රමය භාවිතය තුළ තමයි වෙනස් වෙලා තියෙන්නේ. විජයදාස රාජපක්ෂ මහත්තයාට ​අපරාධ නඩු ගැන එච්චර දැනුමක් තියෙන කෙනෙක් නොවෙයි. අපරාධ නඩු කිහිපයක් මුළු ජීවිත කාලයටම කරලා ඇති. නමුත් මම අපරාධ නඩු දහස් ගණනක් මහාධිකරණයේ කරපු කෙනෙක්. මම සාමාන්‍යයෙන් මං ගැන කතා කරන කෙනෙක් නොවෙයි. නමුත් එතුමා මගේ පරිචය ගැන ප්‍රශ්න කරන නිසා මේ ගැන කියන්න එපැයි. මම දශක දෙකකට වැඩි කාලයක් අපරාධ නඩු දහස් ගාණක් මහාධිකරණයේ තර්ක කරපු නීතිඥයකු හැටියට මම දන්නවා මොකද්ද මෙතැන ක්‍රමය කියලා. නඩු අහනවා නම් අහන ක්‍රමයත් දන්නවා. කල් දා ගන්න ඕනෑ නම් ඒකත් දන්නවා, රටේ ජනතාව ඉල්ලන්නේ ඉක්මනින් නඩු අහන ක්‍රමයක්. ඒ නිසා දැනට රටේ තියෙන නීතියේ ප්‍රතිපදානවලට අනුව කටයුතු කරලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන විදියට පරිපාලන රාමුව වෙනස් කළොත් සාර්ථක ප්‍රතිපත්ති අත්පත් කර ගන්න පුළුවන්. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියන්න කැමැතියි. එක පුද්ගලයෙක් හෝ පවුලක් ඉලක්ක කරගන්න ඉල්ලීමක් නොවෙයි අපිට තියෙන්නේ. ඔබ කොහෙදි හරි අහලා තියෙනවද රාජපක්ෂවරුන්ව හිරේ දාන්න ඕනෑ කියලා මම කියනවා. නෑ. මම කියන්නේ දැනට අත්අඩංගුවට අරගෙන ඇප පිට ඉන්න හොරුන්ට නඩු විභාගයකින් පසුව සාක්ෂි ඇත්නම් හිරේ දාන්න ඕනෑ කියලයි. ඒ නඩු විභාගය සාධාරණ විය යුතුයි. දිනපතා නඩු විභාග කිරීම අසාධාරණ නෑ. ඒකට බාධා කරන්නේ අපරාධකරුවන් හා ​ඔවුන්ගේ මිත්‍රයන් පමණයි. යාපනයේ විද්‍යා දැරියගේ නඩුව විභාගය වසරක් වැනි කාලයක් තුළ ආරම්භ වුණා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. දැන් එම විත්තිකරුවන්ගෙන් ඇහුවොත් කියයි ඇයි මගේ නඩුව මෙච්චර ඉක්මනින් අහන්නේ, මෙයට වඩා පරණ මිනීමැරුම් නඩු මෙච්චර තියෙද්දී කියලා. ඒ විදියට ඒ විත්තිකරුවන්ටත් දුක් ගැනවිල්ලක් තියෙනවා.  

 

 
ප්‍රශ්නය - නඩු පමාවීම ගැන ඔබලා මෙච්චර උනන්දු වෙන්න පටන් ගත්තේ රවී කරුණානායකට අදාළ පරීක්ෂණය කඩිනම් වෙච්ච නිසා?   
පිළිතුර - සම්පූර්ණයෙන්ම බොරුවක්. මේ සටන මම අවුරුදු එක හමාරක් තිස්සේ කරනවා. ආණ්‍ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඇතුළේ එකක දෙකක ඇරෙන්න හැම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකම මම මේ ප්‍රශ්නය මතු කරලා තියෙනවා. ඒකට අන්තිම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමත් ඇතුළත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හැම රැස්වීමකදීම මම මේ ප්‍රශ්නය මතු කරලා තියෙනවා. රවී කරුණානායක මහත්තයාගේ ප්‍රශ්නය එන්න බොහොම කලින් ඒ.   

 


ප්‍රශ්නය - මොකද්ද ප්‍රතිචාරය?   
පිළිතුර - ඒ කිසිම වෙලාවක විජයදාස රාජපක්ෂ මහත්මය එයට ප්‍රතිචාර දැක්වූයේ නෑ. අගමැතිතුමා කීපවරක්ම අවවාද කළා, මමත් මගේ මතයට සහාය පළ කරන මන්ත්‍රීවරුන්ගේ අදහසට අනුව කඩිනමින් නඩු විභාග කරන්න කාර්යක්ෂම ක්‍රම වේදයක් සකස් කරන්න කියලා. අපිට හරිම පැහැදිලියි. එතුමා ඉතින් දැන් තියෙන ක්‍රමය හොඳයි කියල කියනවනේ. ඒ නිසා එතුමාගෙන් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.   

 


ප්‍රශ්නය - රවී කරුණානායකගේ ප්‍රශ්නයේදී නීතිපති දෙපාර්තමේන්තුව බොහොම කඩිනම් වුණා කියලා එජාපයේ මන්ත්‍රීවරුම කියනවා?   පිළිතුර - ඔව්. අනිවාර්යයෙන්ම! අපි තරුණ මන්ත්‍රීවරුන් බොහොම පැහැදිලිවම කියන දෙයක් තියෙනවා. ඒ වේගෙම අලුත් ආණ්ඩුවේ හොරුන් ගැන කටයුතු කරන වේගයටම පරණ ආණ්ඩුවේ හොරුන් ගැනත් කටයුතු කළ යුතුයි කියන එක බොහොම සාධාරණ තර්කයක්. මම මේ ප්‍රශ්නය මතු කරන කොට සංවේදී නොවිච්ච අයත් අද වඩාත් සංවේදී වෙන්න ඒක හේතුවක් වෙලා තියෙනවා. රවී කරුණානායක මහත්තයාගේ ප්‍රශ්නය මතු වෙන්න බොහෝ කාලයකට ඉස්සර ඉඳලම මම මේ ප්‍රශ්නය මතු කරපු නිසා මට සදාචාරාත්මක අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න. ඒ වගේම ජනාධිපතිතුමාටත් මම පෞද්ගලිකවම අවස්ථා ගණනාවකදීම මේ ගැන කතා කළා. අගමැතිතුමාටත් පෞද්ගලිකවම කිව්වා. එතුමන්ලා දෙන්නාටත් මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ඒ නිසා ඔය කාටවත් ‘අජිත් ඔහොම කතා කරන්න එපා, ඔබ කියන එක වැරදියි’’ කියලා කියන්න හයියක් නෑ.   

 


ප්‍රශ්නය - රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටින්න පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් තෝරාගෙන රවී ඔවුන්ව නඩත්තු කරනවා... ඒ හඬයි මේ නැගෙන්නේ කියලත් කියනවා.   
පිළිතුර - මම රවී කරුණානායක මහත්තයාගේ කණ්ඩායමේ කෙනෙක් නොවෙයි. එතුමා ගතයුතු ක්‍රියාමාර්ගය මොකද්ද කියලා මම එතුමාට කිව්වා. මම එතුමාගෙන් නඩත්තු වෙන කෙනෙකුත් නොවෙයි. එතුමා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කියන කාරණය හැරුණාම මට එතුමත් එක්ක වෙන සම්බන්ධයකුත් නෑ.   

 


ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය කියනවා ‘‘කොප්් කමිටුවේ ෆුට් නෝට් කල්ලියට බැඳුම්කර සල්ලිවලින් ගෙවල් ලැබුණා. නිවාස සංකීර්ණ පිටින් ලැබුණා.’’ කියලා. ඔබත් ෆුට් නෝට් කණ්ඩායමේ සාමාජිකයෙක්.   
පිළිතුර - ෆේස්බුක් එකේ තියෙන ඒවා කියන ගිරව් එහෙම කියනවා. මම පැහැදිලිව කියනවා. ‘‘ඔය ෆුට් නෝට් සහ සම්බන්ධ වෙච්ච කණ්ඩායම මොකද්ද කිව්වේ කියලා. ඒ වාර්තාව අරගෙන බලන්න. අර්ජුන අලෝෂියස්ට එරෙහිව අපරාධ පරීක්ෂණ පැවැත්විය යුතුයි කියලා වාර්තාවට ඇතුළත් කරලා මාධ්‍යවලට කිව්වෙත් මම. අර්ජුන ඇලෝෂියස් නමින් සඳහන් කරන්න එපා කියපු මිනිස්සු තමයි අද වීරයෝ වෙලා ඉන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. විගණකාධිපති වාර්තාවේ තියෙන තාක්ෂණික දෝෂ, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ආර්ථික විශේෂඥයන් නොමැතිකම, එයින් ඇති වෙලා තියෙන ගැටලු මම කෝප් කමිටුවේදී පෙන්වලා දුන්නා. ඒ හොරු ආරක්ෂා කරන්න නොවෙයි. හරියට පරීක්ෂණ නොකළොත් හොරු බේරෙන බව කියන්න. ඒ වගේම සමහරුන්ට සරලව ජනප්‍රිය නමක් දෙකක් විතරක් මතු කරන්න ඕනෑ වෙනකොට මම කිව්වා ‘මහ බැංකු බැඳුම්කරය පිළිබඳ වංචා රාජපක්ෂ පාලන කාලයෙන් ආරම්භ කරලා නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සහෝදරිය පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරියක් වශයෙන් ඉන්න කාලෙන් පටන් ගන්න, අලුත් ආණ්ඩුව ආවට පස්සෙත් අඛණ්ඩව සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් බව මම කිව්වා.  

 


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ?  
පිළිතුර - පොඩ්ඩක් ඉන්න. මම කිව්වා ‘‘මේ අය හොරු කල්ලියක්. මේ අය හොරු කල්ලියක් විදියට ක්‍රියා කරනවා’’ කියලා. කෙනෙකුට පුද්ගලයෙක්ගේ නමක් මතු කරන්න ඕනෑ වුණවිට මේකේ තියෙන බරපතළකම මම කිව්වා. අද ඒ මම මතු කරපු කරුණුම තමයි බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරු සාක්ෂිකරුවන්ගෙන් අහන්නේ. විගණකාධිපතිගෙන් අහන්නේ. කිසිම හොරෙක්ව ආරක්ෂා කරන්න මම වචනයෙන් වත් දායක වෙලා නෑ. ඒ නිසා ඔබ බලන්න අදටත් ඔය බැඳුම්කර පත්තරේ අපිට ඉන්ටර්විව් දෙන්නේ නැහැ. ඒ වගේම ඔය අර්ජුන ඇලෝෂියස් කියන පුද්ගලයාව මම ජීවිතේට ඇස්වලින් දැකලා නැහැ. ඒ කියන පුද්ගලයා එක්ක මම කතා කරලා නැහැ. අර්ජුන ඇලෝෂියස් කියන පුද්ගලයා පත්තරයකින් දකින ඡායාරූපයකින් මිස මම දැකලා නැහැ. ඒ නිසා කතන්දර හදන්න පුළුවන්. සමහරු මුදල් ගෙවපු දැන්වීම් දාලා ෆෙස් බුක් හරහා මඩ ගහනවා.  

 


ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ බැඳුම්කර වංචාවේ මහ මොළ තවමත් එළියේ කියලයි.  
පිළිතුර - ඔව්! බැඳුම්කර මගඩියේ තව පරීක්ෂණ කෙරෙන්න ඕනෑ තමයි. අනිවාර්යයෙන්ම කෝප් පරීක්ෂණයේදිත් හරියට මතු වුණේ නැහැනේ. අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහෝදරිය අධ්‍යක්ෂවරියක ලෙස ඉන්න කාලේ ලාබ ලැබීමේ තත්ත්වය ගැන. අපි නම් එක්ක ඒවා පෙන්වලා දුන්නා. නමුත් ඒ වාර්තාව සකස් කරන්න මූලික වෙච්ච අයට ඒක මතු කරන්න උනන්දුවක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපි සුළුතරයක් වුණේ. ඒ වගේම මේ ප්‍රාග්ධනය පිළිබඳ පාලනය තියෙන පුද්ගලයෝ ලංකා බැංකුව ඒ වගේම ඊ.පී.එෆ් දැවැන්ත අරමුදල පාවිච්චි කරලා කෝටි ප්‍රකෝටි ගණන් එක දිගට වසර කිහිපයක් තුළ උපයාගෙන තියෙනවා. ඉතාම වේගයෙන් ප්‍රකෝටිපතියන් බවට මේ පුද්ගලයන් පත් වුණා.  

 


ප්‍රශ්නය - ඔය බැඳුම්කර සල්ලි පහුගිය මහ මැතිවරණයේදී සිරිකොතට අරගෙන ඇවිත් යූඑන්පී සංවිධායකයන්ට ලක්ෂ 50 බැගින් බෙදුවා?  
පිළිතුර - සම්පූර්ණ බොරු. අපිට පක්ෂයෙන් දීපු සම්පූර්ණ මුදල ඔය කියපු ගානට වඩා බාගයකටත් අඩුයි. මට ඒක කොන්දේසි විරහිතව කියන්න පුළුවන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට ඇලෝෂියස්ගෙන් සල්ලි ගන්න ඕන කමක් නෑ. ජනාධිපතිවරණයේදී අපට ඇත්තටම සල්ලි තිබුණේ නෑ. ඒ වෙලාවේ ඇලෝෂියස් හිටියෙත් නෑ. එයා හිටියේ මහින්ද රාජපක්ෂ ළඟ. මම වගකීමෙන් කියන්නේ. අර්ජුන ඇලෝෂියස් යූඑන්පීකාරයෙක් නොවෙයි. මහ මැතිවරණය එනකොට අපට ඕනෑ තරම් සල්ලි දෙන්න පිරිස් හිටියා. මොකද අපි දිනන බව ස්ථිර නිසා. ඒ නිසා අර්ජුන ඇලෝෂියස්ගේ සල්ලිවල කිසිම වටිනාකමක් අපට තිබුණේ නැහැ.  

 


ප්‍රශ්නය - මන්ත්‍රී රවීගේ අනාගතය ගැන ඔබේ තක්සේරුව.  
පිළිතුර - සාක්ෂි අනුව ඔහුට මේ වරද හා සම්බන්ධව හෙළිදරව් වුණොත් ඒ අනුව ඔහුට නඩු විභාග​ කොට දඬුවම් කළ යුතුයි. අපි මේ යෝජනා කරන කඩිනම් ක්‍රියාවලිය තුළ අලුත් හොරුන්ටත් පරණ හොරුන්ටත් එක විදියටම කටයුතු කරන්න ඕන.  

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්