මේ රටේ ජනවරම තියෙන්නේ ජනාධිපතිතුමාටයි


 

ජනාධිපතිවරයා දැන් රෙඞ් කාඞ් එක අතට ගත යුතු යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය. මේ කතාවේ අදහස කුමක්ද? මේ ඒ ගැන විමසමින් ඔහු සමග කළ කතාබහකි.

● ප්‍රශ්නය:- මොකද මේ ජනාධිපතිවරයාට රෙඞ් කාඞ් ගන්න කියල කියන්නේ?
පිළිතුර:- මම හිතුවා දැන් ඉතින් ජනාධිපතිතුමා යෙලෝ කාඞ් පෙන්නුවා ඇති කියලා.


● ප්‍රශ්නය:- දැන් කාටද රෙඞ් කාඞ් පෙන්වන්න ඕනෑ?
පිළිතුර:- මම ඒකෙන් අදහස් කළේ ආණ්ඩුව ඇතුළේ විතරක් නෙවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරි මණ්ඩලයේ සමහර අය ඒ රාජකාරි කටයුතු හරියට කරන්නේ නැත්නම් ඒ අයට දැන් යෙලෝ කාඞ් පෙන්නුවා ඇති. රෙඞ් කාඞ් පෙන්විය යුතු කාලය ඇවිත් කියලයි.


● ප්‍රශ්නය:- කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න රෙඞ් කාඞ් පෙන්විය යුතු නිලධාරින්?
පිළිතුර:- ඒක ජනාධිපතිතුමා තීන්දු කළ යුතු කාරණයක්.


● ප්‍රශ්නය:- ඇයි ඔබ කවුද කියලා කියන්නේ නැත්තේ?
පිළිතුර:- මම නොවෙයිනේ පක්ෂයෙ නායකයා. මට පේන විදිය නොවෙයි සීයට සීයක්ම හරි විදිය. හැබැයි ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නිලධාරින් ඒ වගේම සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්න අයත් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර අයත් දෙගොල්ලොම සමහර වෙලාවට වැඩ කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති මත නොවෙයි. ඉතින් ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම්පිටින්ම ජාතිවාදී ආගම්වාදී වැඩවසම්වාදී කල්ලියකට පාවා දෙන්න උත්සාහ කරනවා. සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්න සමහර අය, සමහර නෝනලා සහ සමහර මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ ඔඩොක්කු කුක්කෙක් කරන්න හදන්නෙ.

 


● ප්‍රශ්නය:- ඔය ඔක්කොම දන්න ඔබ ඇයි ඒ කවුද කියලා නොකියන්නේ?
පිළිතුර:- මම පෙන්වන්නෙ හඳ. ඔබ බලන්නෙ අත දිහා. මම කියන්නේ මේ දෙගොල්ලන්ටම රෙඞ් කාඞ් පෙන්වන්න ඕනෑ කියලයි.

 


● ප්‍රශ්නය:- යූඑන්පී එකට රෙඞ් කාඞ් පෙන්වන්න ඕනෑ නැද්ද?
පිළිතුර:- සම්මුතිවාදී ආණ්ඩුව ඇතුළෙත් සමහර කෙරෙන දේවල් දිහා බලනකොට සමහර මැති ඇමැතිවරු සහ සමහර ලොකු මහත්වරුන් ඉන්නවා ඒ අයට දැන් යෙලෝ කාඞ් පෙන්නුවා ඇති. ඒ අයටත් රෙඞ්කාඞ් පෙන්විය යුතු කාලය ඇවිල්ල.

 


● ප්‍රශ්නය:- ඔබ ඔය නොකියා කියන්නේ ජනාධිපති මෛත්‍රිට ආණ්ඩුවට නායකත්වය දෙන්නත් බෑ, පක්ෂයට නායකත්වය දෙන්නත් බෑ කියලද?
පිළිතුර:- ඒක ඔබට පේන විදිය. එක එක්කෙනාට පේන විදියනේ ඒ. මම කියන්නේ ඒකෙ අනික් පැත්ත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට විතරයි ආණ්ඩුවට හා පක්ෂයට නායකත්වය දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක සමහර අයට පේන්නේ අනික් පැත්තට. ඒ තමන් හිතන පතන විදිය අනුව. ඕකම තමයි තියෙන ප්‍රශ්නය. ජනාධිපතිතුමාට තමයි ජනවරම තියෙන්නේ. වෙන කාටවත් දීලා නෑ. ඒ ජනවරම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර අයට පේන්නේ අනික් පැත්තට. එහෙම පේන්නේ ඔළුවෙන් හිටගෙන බලනකොට. ඒකම තමයි එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නෙත්. ජනාධිපතිතුමාට තමයි ජනවරම ලැබුණේ. නමුත් හැදිලා තියෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක් මිසක් යූඑන්පී ආණ්ඩුවක් නොවෙයි. හැබැයි ඒ ගොල්ලො ඔළුවෙන් හිටගෙන ඉන්න නිසා ඒ ගොල්ලන්ට පේන්නේ මේක යූඑන්පී ආණ්ඩුවක් කියලා.  ඔබතුමා ඒ ප්‍රශ්නය අහපු එකට මම ස්තුතිවන්ත වෙනවා. ඕක තමයි තියෙන රෝගය. ඇත්තම කතාව ඕක නොවෙයි. හරියට හිටගෙන බැලුවොත් මේ රටේ ජනවරම තියෙන්නේ ජනාධිපතිතුමාට. ඒ වගේම මේ පක්ෂය ජනාධිපතිතුමාට බාරදුන්නේ සියලු දෙනාගේ සිීයට සීයක් කැමැත්තෙන්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ යෝජනාවට අනුව. කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. කැමැත්තෙන් රට පාලනය කරන්නත් කැමැත්තෙන් පක්ෂය පාලනය කරන්නත් බලය තියෙන්නේ එතුමට. ඒ නිසා එතුමා දැන් කළයුතුව තිබෙන්නේ ඒ බලය පාවිච්චි කරමින් ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණය ඉස්සරහට දාගෙන. ඕනෑ කෙනෙකුට අයිතිය තියෙනවා විරුද්ධ වෙන්න. ඒත් මම කියන්නේ දැන් යෙලෝ කාඞ් පෙන්නුවා ඇති. රෙඞ් කාඞ් පෙන්වන වෙලාව ඇවිල්ල කියලයි.

 


● ප්‍රශ්නය:- ජනාධිපතිවරයා රුසියාවේ ගිහින් ආවා විතරයි. මේ මොහොත වන විටත් අගමැතිවරයා ජපානයේ. නායකයෝ දෙන්නා තරගයට වගේ රට යනවා මිසක් රටට වැඩක් කරන බවක් පේන්න නෑ කියල ජනතාව කියනවා.
පිළිතුර:- ඒකත් ඔය ජනතාවට පේන එක්තරා විදියක්. හැබැයි පහුගිය අවුරුදු දෙකක කාලය තුළ වර්තමාන සම්මුතිවාදී ආණ්ඩුවට හා ජනාධිපතිතුමාට රටේ ආර්ථික ප්‍රශ්න ගැන කතා කරනකොට යම් යම් ආකාරයේ සංසන්දනාත්මකව අසමත්වීම් දකින්න ලැබුණත් කවුරුහරි කියනවා නම් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් කියල ඒ මිනිහට පිස්සු. පැහැදිලිවම හොඳටම පිස්සු. පිස්සෙකුට විතරයි එහෙම කියන්න පුළුවන්.

 


● ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ විදේශ ප්‍රතිපත්තිය ගැන නොවෙයි. විදේශ සංචාර ගැනයි. ලැබෙන ප්‍රතිලාභ ගැනයි?
පිළිතුර:- පොඞ්ඩක් ඉන්න. පහුගිය අවුරුදු දෙකක කාලය තුළ ජනාධිපතිතුමා මේ ආණ්ඩුවට විදේශ ප්‍රතිපත්තිය නිවැරැදි ලෙස නොබැඳි මාවතේ හිට ගත්තා. සිරිමාවෝ මැතිණියගෙන් පස්සෙ අපේ නොබැඳි පිළිවෙත ක්‍රියාත්මක වුණේ නෑ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ මේ රට සම්පූර්ණයෙන්ම බටහිරට හා ඇමෙරිකාවට ගැති විදේශ ප්‍රතිපත්තියක්.  ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙ එතකොට අපි කෙමෙන් කෙමෙන් බටහිරෙන් ඇමෙරිකාවෙන් විතරක් නොවෙයි ඉන්දියාවෙන් පවා ඈත්වෙච්ිච තවත් අතීතයක ප්‍රතිපත්තියකට ගියා. නමුත් මේ ජනාධිපතිතුමාගේ කාලය තුළ අපට හැකියාව ලැබිලා තියෙනවා රුසියාව, චීනය, ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව, බටහිර සියලු දෙනාගෙම මිත්‍රයෙක් බවට පත්වෙන්න. සැබෑම වූ විදේශ ප්‍රතිපත්තියකට යන්න. ඒ නිසා රාජ්‍ය නායකයා හෝ අගමැතිතුමා හෝ රට යෑම කියන කාරණය ඉස්මතු කරමින් පමණක්ම විවේචනය කිරීම එක්තරා විදියක පාට කණ්ණාඩි දාගෙන කරන විවේචනයක්. ඒ පිටරට ගිය ගමන්වලින් රටට ලබාගත්ත වාසි, ජයග්‍රහණ දිහා බැලුවාම. ඇයි ඒ ගැන කතා නොකරන්නේ කියන ප්‍රශ්නය මතු වෙනවා.

 


● ප්‍රශ්නය:- ආණ්ඩුවට වසර දෙකක් ගෙවුණා. ඒ විදෙස් ආයෝජන, චීනය ගෙන්න ගත්තෙත් හම්බන්තොට දීලා.
පිළිතුර:- ආයෝජනවලට කලින් විසඳගන්න බරපතළ ප්‍රශ්න මේ රටේ තිබුණා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ මම පවා කතා කළේ වේදිකාවේ විදුලි පුටුව ගැන. අපට බයක් තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමාව, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව මේ රටේ රණවිරුවන්ව විදුලි පුටුවට අරන් යයි කියලා. පපුවට ගහගෙන අපි කෑගැහුවා. විදුලි පුටුවට අරගෙන යන්න දෙන්නේ නෑ කියලා. ඒ විදුලි පුටු කතන්දර සියල්ලම අද මාතෘකාවක් බවටවත් පත්වෙලා නෑ.  ඒ නිසා ආණ්ඩුවට එරෙහිව විවේචනය කරන එක ඉතාම සාධාරණයි. මහ බැංකු බැඳුම්කරය ගැන කතා කරනකොට හම්බන්තොට වරායේ ඒ හදන්න ගිය ඔර්ජිනල් ගිවිසුමේ කාරණා ගැන කතා කරනකොට. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දීම ගැන කතා කරන කොට ජනාධිපතිතුමා හා අගමැතිතුමා රට යන කොට ඒක පෙන්වලා උඩ දාලා බෝලෙට ගහනවා නම් ඒක ඉතාම පව්. පහත් වැඩක්.

 


● ප්‍රශ්නය:- එල්ටීටීඊය යුද්ධ කරලා ගන්න හදපු දේ අලුත් ව්‍යවස්ථාවෙන් අරන් දෙන්න හදනවා. ජාත්‍යන්තරය බලහත්කාරයෙන් මේ රටට කරන්න හදපු දේ ආණ්ඩුවේම සහයෝගයෙන් කරන්න හදනවා කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා.
පිළිතුර:- පට්ටපල් බොරු. සිද්ධ වෙන්නේ ඔය කියපු දේට අනික් පැත්ත. පට්ටපල් බොරු. ඔබතුමාගේ ප්‍රශ්නයත් වැරැදියි. එහෙම හිතන එකත් වැරැදියි. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයේ ඉන්න නිසා ඒක පට්ටපල් බොරුවක් කියල කියන්න පුළුවන්. ඔන්න මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයේ නැත්නම් තියෙන්නේ යූඑන්පී ආණ්ඩුවක් විතරයි නම් ඔය කියන කාරණා දිහා අපට වෙන විදියකට බලන්න තිබුණා. නමුත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙලා එතුමා පළමුවරට එක්සත් ජාතින්ගේ සම්මේලනයට ගිය දවසේ ඉඳලා දිගටම ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන් කියන කොට විදේශීය විනිශ්චයකාරවරුන් මේ රටට ගෙන්වලා නඩු අහනවා කියලා, එතුමා කිව්වා එහෙම කරන්න දෙන්නේ නෑ කියලා. එතකොට අර හුසේන් කුමාරයද කවුද කුමාරයෙක් ඇවිල්ල අපට බණ දේශනා කරනකොටත් එතුමා කිව්වේ නෑ මොන කුමාරයා මොන කුමාරි කිව්වත් අපි ඒකට ඉඩ දෙන්නේ නෑ කියලා. මේ වෙනකොට ඒක දැන් ආණ්ඩුවේ මතය බවට පත්වෙලා.

 


● ප්‍රශ්නය:- ඔබ කොහොමද එහෙම කියන්නේ?
පිළිතුර:- විදේශ විනිශ්චයකාරවරු ගැන කතා කරපු අගමැතිතුමා ඕක කරන්නේ නෑ කියලා කියනවා.

 


● ප්‍රශ්නය:- නමුත් මෙවරත් මංගල සමරවීර...?
පිළිතුර:- නෑ මංගල සමරවීර ඇමැතිතුමත් දැන් කියන්නේ විදේශ විනිශ්චයකරුවන් අවශ්‍ය වෙන්නේ නෑ, දැන් තියෙන්නේ ස්වාධීන අධිකරණයක් කියලා. ඒ නිසා ඒ ගැන කතා කරපු මැති ඇමැතිවරුන් පවා කියන්නේ ජනාධිපතිතුමා කියන කතාවමයි.

 


● ප්‍රශ්නය:- නව ව්‍යවස්ථාව හරහා මේ රට ෆෙඩරල් කරන්න හදන බවට නැගෙන චෝදනාව?
පිළිතුර:- කොහොමද කියන්නේ අලුතෙන් හදන ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා කියලා. ඒ ව්‍යවස්ථාවේ කෙටුම්පතක්වත් නැතිව එහෙම කියන්නේ කොහොමද? මේකට හොඳ උත්තරයක් දුන්නා මල්වත්තේ මහානායක හාමුදුරුවෝ විමල්ට. සාදු...සාදු...සාදු... උන්වහන්සේට. උන්වහන්සේ කිව්වා කරුණාකරලා බිල්ලෝ මවන්න එපා කියලා. තාම එහෙම එකක් නෑනේ. බිල්ලෝ මැවීම කියන කාරණා දේශපාලනඥයන්ට වගේම මාධ්‍යයටත් අදාළයි. ඒක මම කෙළින්ම කියන්න ඕනෑ.

 

● ප්‍රශ්නය:- ව්‍යවස්ථාවේ කමිටු වාර්තාවල බොහෝ දේවල් තියෙනවා.
පිළිතුර:- කමිටු වාර්තා කියන්නේ මොනවාද? අන්න ඒකනේ තියෙන ප්‍රශ්නය. කමිටු වාර්තා කියන්නේ මොනවද...? මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව මීට පෙරත් ඔබ මගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. මුලින්ම ගෙනාවේ අගමැතිතුමා.  අගමැතිතුමාට ඕන විදියේ ක්‍රමවේදයක්. ඒ වෙලාවේ ඔබ අහපු  ප්‍රශ්නයකට මම කිව්වා. “දැන් ඒ ගෙනාපු එකට ගෙනාවා සංශෝධන 9 ක්. ඒ 9 න් 7 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. 2 ක් ඒකාබද්ධ විපක්ෂයෙන්. ඒ සංශෝධන 9 ත් එක්ක මුළු පාර්ලිමේන්තුවම සීයට සීයක් ඒකමතිකව අනුමත කළා. වර්තමාන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ 225 දෙනාම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ඉන්නවා. ඒ වෙනුවෙන් සියලුම පක්ෂවල සහභාගිත්වයෙන්. ඒකාබද්ධ විපක්ෂයද ඇතුළුව. ඒ හදපු මෙහෙයුම් කමිටුව විසින් උප කමිටු  හයක් හැදුවා. ඒ සියලුම පක්ෂවල නාම යෝජනා කැඳවලා. ඒ උප කමිටුවල සිද්ධ වෙච්ච දේ වාර්තා කරලා තියෙනවා. ඒ විවිධ කමිටුවලට ඇවිත් විවිධ දෙනා ඉදිරිපත් කරපු කරුණු යෝජනා වාර්තාගත කරලා තියෙනවා. එක කොමිටියක සභාපති කවුද? මුදල් අනු කොමටියේ සභාපති වෙනින් කවුරුවත් නොවෙයි. මෑතකදී ඔය බැඳුම්කර කොමිසන් සභාව විසින් බොරුකාරයෙක් කියලා චෝදනා ලබපු ලක්ෂ 20 ක් ගෝල්ෆේස් ගේනවා කියපු 2500 න් කන්න පුළුවන් කියලා කියපු මගේ ආදරණීය ගුරුවරයා බන්දුල ගුණවර්ධන.

ඔය කමිටුවල නාමල් රාජපක්ෂත් ඉන්නවා. මේ උප කමිටුවල තියෙන්නේ තීන්දු නොවෙයි. මම කියපුවා තියෙනවා ඩලස් කියපුවා තියෙනවා. නාමල් කියපුවා තියෙනවා. බන්දුල මහත්තයා කියපුවා තියෙනවා. දෙමළ පක්ෂවල අය, මුස්ලිම් පක්ෂවල අය කියපුවා තියෙනවා. ඒ අය කියපු අදහස් ඒ විදියටම තියෙනවා. එච්චරයි. ඒවා තීන්දු නොවෙයි. මේක වාර්තාවක්. ඉතින් ඒ වාර්තාවේ දිනේෂ් ගුණවර්ධන කියපු ඒවා නොකියා උතුරේ මහ ඇමැති කියාපු එක විතරක් කියනවා. ඉතින් ඒ සමහර කෑලි අල්ලගෙන, ඒ දේශපාලනඥයන්ට  හුළං ගහන සේලයින් දෙන මාධ්‍යයත් ඒවා ලොකුවට දානවා.

 


● ප්‍රශ්නය:- ව්‍යවස්ථාව හැදෙන්නේ ඔය වාර්තාවලින්?
පිළිතුර:- නමුත් තාම කෙටුම්පතක්වත් හදලා නැහැ. මෙහෙයුම් කමිටුවේ වාර්තාවක් එනවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකයි අර වාර්තා හයයි අරගෙන 225 දෙනාම එකතු වෙලා තමයි ඒවායින් ගන්නේ මොනවද? ගන්නේ නැත්තේ මොනවාද කියලා තීරණය කරන්නේ, ඒකයි ඇත්ත. ඉතින් එහෙම තියාගෙන. මේ කරන්නේ ගිනි තියන එක. නැති බිල්ලෙක් මවලා ගිනි තියන එක මේ ගිනි තියන එක නැවැත්තුවේ නැත්නම් නැවත වරක් අපේ රට අර අඳුරු මහා කාලකන්නි තැනකට ඇදගෙන යාමේ මූලික අඩිතාලම තමයි මේ දාන්නේ. ඒ අය විසඳුමක් දෙනකොට අපි බෑ කිව්වා. අපි විසඳුමක් ගේන කොට උන් බෑ කිව්වා. අන්තිමට වුණේ මුළු රටටම “උම්බෑ” කියන්නයි.

 


● ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය ඔන්න දැන් ගෝල්ෆේස් එනවා. 
පිළිතුරු:- ඔව්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට පින්සිද්ධ වෙන්න.

 


● ප්‍රශ්නය:- ඇයි ඔබ එහෙම කියන්නේ?
පිළිතුර:- ප්‍රේමදාස මහත්තයාගෙන් පස්සේ කවදාවත් ගෝල්ෆේස් එක ආණ්ඩු පක්ෂයේ මැයි දිනයක් තියන්නවත් යොදාගත්තේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයට පින්සිද්ධ වෙන්න මේ පාර ඒකාබද්ධයට ලැබුණා.

 


● ප්‍රශ්නය:- ඇයි ඔබ ඒකට අගමැති රනිල්ට පින් දෙන්නේ?
පිළිතුර:- මම හැමදාම කිව්වනේ බැසිල් රාජපක්ෂගෙයි යූඑන්පී එකෙයි තියෙන ඩීල් එක. ඒක මම කියනකොට ඒකාබද්ධ විපක්ෂයේ සමහරු කැමැති වුණේ නෑ මම එහෙම කියනවට.  සමහරු නම් අපට පාර්ලිමේන්තුවේදී හමුවුණාම පෞද්ගලිකව එහෙම දෙයක් දැනෙනවා කියලා කියනවා. සමහර මාධ්‍ය ඉතින් යූඑන්පීනේ. ඒ අයත් මගේ ඒ කතාවට කැමැති වුණේ නෑ. ඒ නිසා මට කාටුන්වලින්ම ඇරලා දැම්මා.

 


● ප්‍රශ්නය:- ඔබ කොහොමද එහෙම ඩීල් එකක් තියෙනවා කියලා කියන්නේ?
පිළිතුර:- ගිය සුමානේ වාසුදේව නානායක්කාර මහත්තයා කිව්වා අපට පේනවා ජනාධිපතිතුමා, අගමැතිතුමා අතර ඝට්ටනයක් එනවා කියලා. ඒක පිපිරීමකට ලක් වුණොත් අපි හිටගන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ පැත්තේ කියලා. පහුවදාම බැසිල් රාජපක්ෂ මහත්තයයි, ජී.එල්. පීිරිස් මහත්තයයි කිව්වා “නෑ අපි හිටගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පැත්තේ නොවෙයි” කියලා. ඒ කියන්නේ ඔවුන් හිටගන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්තෙ. එහෙම කියලා පැය විසි හතරක් යන්න ඉස්සරවෙලා. ගෝල්ෆේස් එක නිකම්  නොවෙයි, පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම් ඔක්කොමත් එක්ක ඒකාබද්ධ විපක්ෂයට ලැබෙනවා. ඒවා එහෙම වෙන්නේ කොහොමද?


සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්