මේ මොහොතේ ආණ්ඩුව ඉන්නේ පිදුරංගල කන්ද මුදුනේ නිරුවතින්


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක 
ඩලස් අලහප්පෙරුම

 

රටේ දේශපාලනයට අදාළව දිනපතා අලුත් ගිනි පුපුරු දැල්වෙයි. කුමක් වෙයිද? මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය- ‘මගේ සහෝදරයා මීළඟ ජනාධිපති අපේක්ෂකයා’ මහින්ද රාජපක්ෂ ඉන්දියාවේදී කිව්වා?  


පිළිතුර- ආණ්ඩුව වගේම ඔබ හදන්නෙත් එතුමාගේ ප්‍රකාශය විකෘති කරන්න. කරුණාකර මුළු කතාවම අරගෙන කියවන්න. ඔබ ඔය කියන්නේ ‘එඩිටඩ් වර්ෂන්’ එක.  


ප්‍රශ්නය- එතකොට මොකද්ද ‘අන් එඩිටඩ් වර්ෂන්’ එක?  


පිළිතුර- එතුමා නිරවුල්ව කිව්වේ පවුලේ තේරීමක් තියෙනවා. නමුත් අවසාන තීරණය ගත යුත්තේ පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය කියලයි. එය මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදීද? ආණ්ඩුව මේක පටලවා ගැනීම තේරුම් ගන්න පුළුවන්. ඒත් ඇයි අපි මේක පටලවා ගන්නේ? කරුණාකරලා ආණ්ඩුවේ ලණු කන්න එපා. මම මේ කියන්නේ ඔබට පමණක් නොවෙයි, ආණ්ඩුවේ කඹ ගිලින හැමෝටම. ඔවුන්ට අවවාද පිණිස.   


ප්‍රශ්නය- යම් හෙයකින් අපේක්ෂකයා රාජපක්ෂවරයකු වීම පවුල්වාදය ලෙස ඔබ තේරුම් ගන්නේ නැද්ද?   


පිළිතුර- කිසිසේත්ම නැහැ. අනෙක් අතට රාජපක්ෂ කෙනෙකුවීම නුසුදුසුකමක් වෙන්නේ කොහොමද?   


ප්‍රශ්නය- මම නොවෙයි, ඔය මතය මුලින්ම කිව්වේ ඔබේ මිත්‍ර වෙල්ගම මන්ත්‍රීතුමයි?  


පිළිතුර- ඒක එතුමාගේ පෞද්ගලික මතය. අනික මතක තියාගන්න ඔය අයියලා මල්ලිලා එකතු නොවුණා නම් ඇමෙරිකානු තානාපති කාර්යාලයට අල්ලපු බිමේ අද තියෙන්නේ ඊලාම් දේශයෙ තානාපති කාර්යාලයයි. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන්නේ ඊලාම් රාජ්‍යයේ නායක අතිගරු වෙළුපිල්ලේ ප්‍රභාකරන් මැතිතුමයි. අපිට මොන අවයව නැතත් අඩුම ගණනේ හදවත තියෙන බව ලෝකයට පෙන්වමු.  


ප්‍රශ්නය- රාජපක්ෂවරුන්ට මීට පසු මේ රටේ කවදාවත්ම ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා තලතා අතුකෝරාළ ඇමැතිනිය වගකීමෙන් පවසා සිටියා. ඇය මේ රටේ අධිකරණ ඇමැතිනියයි?  


පිළිතුර- අධිකරණයේ සංකේතය වෙන්නේ ඇස් දෙකම බැඳ දැමූ නිරුවත් කන්‍යාවක්. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් කියන්නේ අධිකරණ ඇමැතිතුමිය දෑස් ගිනියම් වූ සේ නිරුවත්වීම සුදුසු නැහැ කියලයි.  


ප්‍රශ්නය- එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිව්වා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්වීම පෙර නොවූ විරූ ලෙස සිදුවෙලා කියලා?  


පිළිතුර- කිසිසේත්ම නැහැ. රටක ප්‍රජාතන්ත්‍රවාදය මනින ප්‍රධාන මිම්ම. ඒකකය තමයි මැතිවරණ පැවැත්වීම. අපේ රටේ පළාත් සභා මැතිවරණය කල් දාලා හරියටම අවුරුද්දක්. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා පළාත් සභා මැතිවරණය කල් දමන්න බැහැ කියලා. ඒත් කල් දමනවා. තව දින 12කින් තවත් පළාත් සභා තුනක් විසිරෙනවා. ජනාධිපතිවත් අගමැතිවත් මැතිවරණ කොමිසමවත් දන්නේ නැහැ කවද්ද මේක තියන්නේ කියලා. දූෂිත ආකාරයට තියන මැතිවරණයකටත් වඩා දූෂිතයි. භයානකයි, මාරාන්තිකයි මැතිවරණ නොපැවැත්වීම. ආණ්ඩුව හුස්ම ගන්නවලු. නමුත් ඡන්ද මරලා ප්‍රජාතන්ත්‍රවාදයෙ බෙල්ල මිරිකලා.  


ප්‍රශ්නය- කොහොම වුණත් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කල් දාන්න බැහැ?  


පිළිතුර- පාර්ලිමේන්තු මැතිවරණ කල් දැමීමේ නිර්ලජ්ජිත ඉතිහාසයක් එජාපයට තියෙනවා. ඒ නිසා එයම නැවත කිරීමට උත්සාහ කරාවි. නමුත් ජනාධිපතිවරණය කල් දමන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ හරහා 20 වැනි සංශෝධනයට මුවා වෙලා එයටත් ආණ්ඩුව ඉව කරන බව අපිට තේරෙනවා. ඒත් එය සිදු කළ නොහැකියි. හරියටම අද ඉඳලා දවස් 460කින් ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය නියම වෙලා තියෙන්නේ.  


ප්‍රශ්නය- නමුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගන්න පුළුවන් බව අමතක කරන්න එපා?  


පිළිතුර- කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. අගමැතිවරයා විශ්වාසභංගයෙන් බේරුණේ දෙමළ ජාතික සංධානයෙ ඡන්දත් අරගෙන. ප්‍රේමසර ඈපාසිංහ මහත්තයාගේ භාෂාවෙන් කියනව නම් ආසන්න දැවී යාමක්. මේ මොහොතේ ආණ්ඩුව ඉන්නේ පිදුරංගල කන්ද මුදුණේ නිරුවතින්.  

 

පාතාලය සහ පොලිසිය සම්බන්ධීකරණය කරනු ලබන්නේ පොලිස්පතිවරයා බව තහවුරු කරනවා. අදාළ නියෝජ්‍ය පොලිස්පති අනිවාර්ය නිවාඩු යවනවා. අගමැතිවරයා පාර්ලිමේන්තුවට විහිළු සපයනවා. පොලිස්පතිවරයා බෝධි පූජා පවත්වනවා. ඕවා නොවෙයිද අපට පේන්නේ?


ප්‍රශ්නය- ඔබ පිදුරංගල සිද්ධිය මතක් කළා. ඒ සිදුවීම සම්බන්ධයෙන් විශාල සමාජ සංවාදයක් මතුවෙලා ඔබ හිටපු තරුණ කටයුතු ඇමැති මොකද හිතන්නේ?  


පිළිතුර- මේ පිළිබඳව කියැවීම් රාශියක් සමාජයේ තියෙනවා. නමුත් ආණ්ඩුව හදන්නේ තමන්ගේ නොහැකියාව සහ දීනකම වසා ගැනීම සඳහා මේ සිදුවීම පාවිච්චි කරන්නයි.  


ප්‍රශ්නය- ඔබ එහෙම කියන්නේ?  


පිළිතුර- රාජ්‍ය නායක ඝාතන කුමන්ත්‍රණ ඉදිරිපිට ගොළුවුණ ආණ්ඩුවේ මාධ්‍ය හා ගොළුවුණ ආණ්ඩුවේ පොලිසිය බලන්න කොයි තරම් කාර්යක්ෂම වෙලාද? මහ බැංකු ගලේ පහරපු මහේන්ද්‍රන් ගැන දැන් කිසිම කතාවක් නෑ. දැන් පිදුරංගලේ පහරපු තරුණයන්ගෙන් වාද අවකාශය පුරවලා.  


ප්‍රශ්නය- මම අහන්නේ ඔබේ මතය?  


පිළිතුර- මේ දිහා හුදු සංස්කෘතික කෝණයකින් පමණක් නොබලා සමාජ විද්‍යාත්මක මානයක් ගත යුතු බවයි මගේ මතය. පළාත් සභාවේ එක් පුටුවකට හය ලක්ෂ පනස් දාහක් වැය කරන පාලනයකින් ‘උඹලා මේක’ තියන්නද අපේ දෙමාපියන්ට බදු ගහලා සල්ලි හොයන්නේ? කියලා ඇහුවා වෙන්න පුළුවන්. නගර සභාවේ වැසිකිළි කටකට ලක්ෂ 58ක් වැය කරන පාලනයකින් උඹලා මේක තියන්නද අපිට බදු ගහන්නේ කියලා ඇහුවා වෙන්න පුළුවන්. ඉදිරිපස සීගිරි ගලේ උඩුකය නිරුවත්ව සිටින ලලනාවන්ට යටිකය නිරුවත් කර පෙන්වීමේ රාගය මිශ්‍රිත උවමනාව මතු වුණා වෙන්නත් පුළුවන්. කවුද දන්නේ සීගිරිය සිරිකොත වගේ මේ තරුණයන්ට පෙනුණද කියලා. කොහොමත් දැන් මේක අසංස්කෘතික අසම්මත හා අසමත් රාජ්‍යයක්.  


ප්‍රශ්නය- ඒකාබද්ධ විපක්ෂය ඕක ඉතින් හැමදාම කියනවනේ?  


පිළිතුර- නැහැ. අද අපි කියන්නේ සමස්තය දිහා බලලා. ඇත්තටම අද රටේ පාලකයෙක් නැහැ. පාලනයක් නැහැ. ඇත්තටම ජනාධිපති කවුද? මෛත්‍රීපාල සිරිසේනද? පූජිත ජයසුන්දරද? ඇත්තටම අගමැති කවුද? රනිල් වික්‍රමසිංහද? අර්ජුන් මහේන්ද්‍රන්ද? ඇත්තටම නීතිය හා සාමය ඇමැති කවුද? රංජිත් මද්දුම බණ්ඩාරද? මාකඳුරේ මධුෂ්ද? ඇත්තටම කතානායක කවුද? කරු ජයසූරියද? රනිල් වික්‍රමසිංහද? මේ ප්‍රශ්න අපේ සමාජයෙ සෑම තීරුවකටම තියෙන බරපතළ ප්‍රශ්න. ඒ වගේම රාජ්‍ය නායක ඝාතන කුමන්ත්‍රණ, රුපියල අවප්‍රමාණවීම අසමත් බවේ ලක්ෂණ නොවේද?  


ප්‍රශ්නය- රාජ්‍ය නායකයා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියැවුණා. ඇත්තටම මේවා මාධ්‍ය බුබුළු නොවේද?  


පිළිතුර- ඒ තරම් සරළව මේක ගන්න එපා. අපේ රටේ රාජ්‍ය නායකයෝ දෙන්නෙක් ඝාතනය කරලා තියෙනවා. රාජ්‍ය විරෝධි කැරලි තුනක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරළලා තියෙනවා.  


ප්‍රශ්නය- ඔබ ඔය කියන තරම් තත්ත්වය බරපතළයි නම් ආණ්ඩුව නිසොල්මනේ ඉඳීවිද?  


පිළිතුර- හොඳයි මේක කාගේ හෝ නිර්මාණයක් නම් ඔහු අත්අඩංගුවට ගත යුතුයි. අදට මේක හෙළිදරව් වෙලා. දින 18ක් වෙනවා. ආණ්ඩුව ඇත්තටම නිසොල්මනේ ඉන්නේ නායකයන් දෙදෙනා එකිනෙකාට එරෙහි අප්‍රකාශිත බියකින් ඉන්න නිසයි.  


ප්‍රශ්නය- මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් බවත් කියැවෙනවා?  


පිළිතුර- ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගත් පමණින් අප ඉක්මන් විය යුතු නැහැ. ඒ වගේම අප එය ප්‍රතික්ෂේප කළ යුතුත් නැහැ.  


ප්‍රශ්නය- ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවා කියලා තිබුණ පොලිස්පතිවරයව ඉවත් කරන්න කියලා.  


පිළිතුර- ඇයි එහෙනම් ඒක නො​ෙවන්නේ? ඕක තමයි ප්‍රශ්නය. නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්පතිවරයව මෙහෙයවනවා. පොලිස්පතිව තව ප්‍රබල තැනකින් මෙහෙයවනවා.  


ප්‍රශ්නය- ඔය නාමල් කුමාර වෙනත් තැනකින් මෙහෙයවනවා වෙන්න බැරිද?  


පිළිතුර- වෙන්න පුළුවන්. නමුත් මූලික කාරණා ටික පෙළගස්වලා බලන්න නැවත. එතකොට අපේ පපුව අපට මොකද්ද කියන්නේ? සැප්තැම්බර් 12 වැනිදා මේ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය හෙළිදරව් කරන පුරවැසියා 13 වැනිදා නැවත පොලිස් මූලස්ථානයට ඇවිත් පැමිණිලි කරනවා. ඊට අදාළ සියලු හඬපට ඔහු සමාජගත කරනවා. අධිකරණයට ඉදිරිපත් කරනවා. අගමැතිවරයා පිම්බීම සඳහා මෙය ඉටුකළ යුතු බව හා පාතාල නායකයකු ලවා මෙම ඝාතන කළ යුතු බවට වූ නියෝග අපට ඇසෙනවා. පාතාලය සහ පොලිසිය සම්බන්ධීකරණය කරනු ලබන්නේ පොලිස්පතිවරයා බව තහවුරු කරනවා. අදාළ නියෝජ්‍ය පොලිස්පති අනිවාර්ය නිවාඩු යවනවා. අගමැතිවරයා පාර්ලිමේන්තුවට විහිළු සපයනවා. පොලිස්පතිවරයා බෝධි පූජා පවත්වනවා. ඕවා නොවෙයිද අපට පේන්නේ? නමුත් රාජ්‍ය අස්ථාවර වෙලා ආයෝජකයෝ බියට පත්වෙලා. නීතිය කඩා වැටිලා. රුපියල ගිලා බැහැලා.   


ප්‍රශ්නය- ඔබලා මොකද කරන්නේ? ගෙඩිය වැටෙනකම් බලාගෙන ඉන්න බවක් තමයි පේන්නේ?   


පිළිතුර- නෑ. කිසිසේත්ම නැහැ. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුව වහාම රැස් කරන්න කියලා ඉල්ලීමක් කළා. එහෙම ඉල්ලීමක් කළේ රටේ තත්ත්වය පිළිබඳව ඇති බරපතළකම හා අවදානම පිළිබඳව මනා අවබෝධයක් අපට තියෙන නිසයි.  


ප්‍රශ්නය- ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණවීමෙන් අපේ ආර්ථිකයට දරුණු බලපෑමක් සිදු නොවන බවයි ආණ්ඩුව කියන්නේ?  


පිළිතුර- මේ ආණ්ඩුවට හැමදාම තියෙන්නේ දියාරු මතයක්. ඒ වගේම අවිද්‍යාත්මක මතයක්. රාජපක්ෂ මුව හමට තැලීම හැර ආණ්ඩුව දන්න අන් කවර විසඳුමක් හෝ නැහැ. නමුත් රට තියෙන්නේ ඉතිහාසයේ දරුණුම අභියෝගය ඉදිරිපිට. ලොකුම ණය කන්ද පාමුල.   


ප්‍රශ්නය- ඔය ඔබ කියන ණය කන්ද ගිනි කන්ද නිර්මාණය කළේ රාජපක්ෂ පාලනය බවයි ආණ්ඩුව කියන්නේ?  


පිළිතුර- දැන බලන්න ජයවර්ධන ජනාධිපතිවරයාගේ වසර 10ක පාලනයේ ඩොලරයට සාපේක්ෂව රුපියල පහළට වැටුණේ වසරකට රුපියල් 1.57 ගණනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වසර 10 ක පාලනයේ ඩොලරයට සාපේක්ෂව රුපියල පහළ ගියේ වසරකට 2.87 බැගින්. වර්තමාන පාලනයේ වසරක රුපියල් 12 බැගින් අගය අඩුවෙනවා. වසර තුන හමාරට රුපියල් 38කින් අවප්‍රමාණය වෙලා. ඒ නිසාම ණය කන්දට අමතර ඩොලර් බිලියන 1400ක් එකතුවෙලා.  


ප්‍රශ්නය- ආණ්ඩුව කියනවා ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය නිසා මේක සිදුවුණා කියලා.  


පිළිතුර- ඒකෙන් යම් බලපෑමක් ඇති. නමුත් ප්‍රධාන සාධකය ඒක නොවෙයි. ආණ්ඩුවේ දුර්වල කළමනාකරණය හා නොහැකියාව. ඒ වගේම බැඳුම්කර මගඩියෙන් සිදුවූ බරපතළ මූල්‍ය හානි හා විශ්වාසය කඩවීම. අවම වශයෙන් පසුගිය වසර තුළ ආණ්ඩුව එක් වතාවක් හෝ රටට අනතුරු ඇඟෙව්වද ඩොලරය ශක්තිමත් වීම නිසා අපට අනතුරක් වේවි කියලා. අවදානමට පිළියමක් යෝජනා කළාද? ඒකයි මම කියන්නේ ආණ්ඩුව ඉන්නේ පිදුරංගල කන්දෙ පශ්චාත් භාගය පිරිමදිමින් කියලා. ජනාධිපති අගමැති පොලිස්පති හා රුපියල අතර තිබෙන්නේ අවප්‍රමාණය වීමේ තරගයක්. 

 
ප්‍රශ්නය- රටේ ප්‍රශ්න කොච්චර තිබුණත් ‘ජන බලය-කොළඹට’ අසාර්ථක ව්‍යාපෘතියක් වුණා.  


පිළිතුර- නෑ. එය අතිශයින්ම සාර්ථකයි. අප ඉතිහාසයෙ ඕනෑම ආණ්ඩුවකට එරෙහිව මතුවුණ බරපතළම උද්ඝෝෂණය එයයි.  


ප්‍රශ්නය- නමුත් ජන බලයේ බඩ එළිය ගිය බවයි ආණ්ඩුව කියන්නේ?  


පිළිතුර- ඔව්! ආණ්ඩුවේ ඇතැම් මුග්ධ දේශපාලනඥයන් උද්ඝෝෂකයන්ට විෂ යෙදූ කිරි පැකට් දීමෙන්ම ඒක පේනවනේ.  


ප්‍රශ්නය- ඔබ ආණ්ඩුවට එහෙම බරපතළ චෝදනාවක් කළත් අද වෙනතුරු කිසිවක් ඔප්පු වෙලා නැහැ.  


පිළිතුර- ඔව්! අදට දවස් 24ක්. වග උත්තරකරුවන් අදාළ වාහන අංක සියලු තොරතුරු ලබාදීලත් පොලිසිය නිහඬයි. මිල්කෝ ආයතනයත් කියනවා. නමුත් අවම වශයෙන් බ්‍රෙෂියර් එකට එරෙහිව මඩු වලිගය අතට ගත්තු, මයිලෝ පැකට්ටුවේ සීනි ගැන කතා කරපු අතිගරු ජනාධිපතිතුමාවත් මිල්කෝ පැකට්ටුවේ වස ගැන වචනයක්වත් කතා කළේ නැහැ. මේකෙන් පේන්නෙ මේ ආණ්ඩුව මොනතරම් වනචාරිද අසංවේදීද කියලයි.  


ප්‍රශ්නය- ඉදිරි අය වැයේදී ආණ්ඩුව ගෙදර යවන බවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් කිව්වා?  


පිළිතුර- කන්ද මොහොමඩ් ළඟට එන්නේ නැහැ. මොහොමඩ් කන්ද ළඟට යා යුතුමයි.   

 

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලියි. ඔහු හැමදාම ඉන්දියාවට සැළකුවෙ තම වැඩිමහලු සහෝදරයට සමානවයි. ඒ වගේම තම සමීපතම මිත්‍රයා විදියට චීනයටත් අවශ්‍ය ගෞරවය දුන්නා. මෙම තුළනය කිරීම කළේ සිරිමාවෝ බණ්ඩාරනායකත් මහින්ද රාජපක්ෂත් පමණයි.


ප්‍රශ්නය- ජනාධිපතිවරයා කිව්වා දූෂණ වංචාවලින් තොර අපේ සංස්කෘතිය අගය කරන අගමැතිවරයෙක් අවශ්‍යයි කියලා. මේ නොකිය කියන්නේ කුමක්ද?   


පිළිතුර- මට කුරුල්ලන්ගේ භාෂාවත් උරගයන්ගේ භාෂාවත් තේරුම් ගන්න පුළුවන්. ඒත් ජනාධිපතිතුමාගේ භාෂාව තේරුම්ගත නොහැකියි.   


ප්‍රශ්නය- ඔබට එහෙමනම් ඉන්දීය නායකයන්ගේ භාෂාවත් තේරුම් ගන්න පුළුවන්?  


පිළිතුර- ඔව්. යම් ප්‍රමාණයකට.  


ප්‍රශ්නය- එහෙමනම් කියන්න ඔවුන් දැන් කියන්නේ කුමක්ද?   


පිළිතුර- අපේ රටේ ඉතිහාසයේ ආණ්ඩු ගණනාවක් ගෙදර ඇරියෙත් ආණ්ඩු ගණනාවක් බලයට ගෙනාවෙත් ඔය මිහිරි හිංදි තනුවලින්. හැබැයි හැමදාමත් ඔවුන් තීන්දු ගන්නේ ඔවුන්ගේම වූ දේශපාලන මාර්ග සිතියමක් උඩ ඉඳගෙනයි. තමන්ගේ භූ දේශපාලන සැලැස්මට අනුවයි.  


ප්‍රශ්නය- මහින්ද රාජපක්ෂගේ ඉන්දීය සංචාරය තුළ සැඟවුණ අරුතක් තියෙන බව කියන අයත් ඉන්නවා?  


පිළිතුර- මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලියි. ඔහු හැමදාම ඉන්දියාවට සැලකුවෙ තම වැඩිමහලු සහෝදරයට සමානවයි. ඒ වගේම තම සමීපතම මිත්‍රයා විදියට චීනයටත් අවශ්‍ය ගෞරවය දුන්නා. මෙම තුළනය කිරීම කළේ සිරිමාවෝ බණ්ඩාරනායකත් මහින්ද රාජපක්ෂත් පමණයි.  


ප්‍රශ්නය- ඒකාබද්ධ විපක්ෂයෙ මීළඟ ආණ්ඩු විරෝධි පියවර කුමක්ද?   


පිළිතුර- පියවර රාශියක් තියෙනවා.  


ප්‍රශ්නය- ජන බලය නුවරට කියලා එදා කිව්වා. ඒත් අද මීක් නැහැ?  


පිළිතුර- අපි හොඳ සැලැස්මකට අනුව යන්නේ. පළමු පියවරේදී අපි ගමේ බලය මුළුමනින්ම අත්පත් කරගත්තා පෙබරවාරි 10 වැනිදා. දෙවනුව අපි ආණ්ඩුවට තිබුණ තුනෙන් දෙකේ බලය අහෝසි කළා. අපගේ තෙවැනි පියවර ඔබට දැක ගන්න පුළුවන් අද ඉඳලා දින 60ක් ඇතුළතදි. ඒ නිසා අනිමිස ලෝචනයෙන් බලාගෙන ඉන්න.  


ප්‍රශ්නය- ඔය දින 60 ඇතුළත ඔබේ නායකයන් කී දෙනකුට මහ උළු ගෙදරට යන්න වෙයිද? විශේෂ අධිකරණ ඉදිරිපිට නඩු 10ක් තියෙනවා.  


පිළිතුර- අපේ සියලු දෙනාම කූඩු කළත් ඔබ හිතනවද මේ ආණ්ඩුවට නිදහසේ ඉදිරියට යන්න පුළුවන් කියලා. මේ බලවේග ගොනුවෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ සාධකය වටා. ජාතික න්‍යාය පත්‍රය වටා, අස්ථාවර භාවයට එරෙහිව, ජාතික සම්පත් සුරැකීම සඳහා, විදේශ ප්‍රේමී න්‍යාය පත්‍රයට එරෙහිව. මේ ආණ්ඩුවට උපරිම ආයුෂ තියෙන්නේ තව දින 400යි. මිලියන 15ක ඡන්දදායකයෝ බලාගෙන ඉන්නවා 401 වැනි දවසේදි මේ පාලකයන් පිදුරුතලාගල ගල මුදුනෙදි නිරුවත් කර ලෝකයට පෙන්වන්න.  


ප්‍රශ්නය- ඔබ හීන මැව්වට අාණ්ඩුව කියනවා ‘අපි 2025 වෙනකම් ආණ්ඩු කරනවා’ කියලා   


පිළිතුර- වහාම එහෙම කියන අයව අක්ෂි විශේෂඥයෙක් ළඟට ගෙනියන්න. ඔවුන්ට තියෙන්නේ බරපතළ දෘෂ්‍යාබාධයක්. 

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්