මේ මැයි දින බොරු සංදර්ශන නවත්වන්න ඕනෑ


 

මැයි දිනය ඇතුළු කාලීන දේශපාලන මාතෘකා පිළිබඳ මේ අදහස් දැක්වීම සමාජ සුබසාධන සහ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙනි.

 


● මේ දවස්වල හතර වටෙන්ම ඇහෙන්නේ මැයි දින පුරාජේරු. යූඑන්පියේ මැයි දින සැමරුම ගැන මොකද කියන්නේ?
මම හැමදාම කියනවා වගේ තිත්ත ඇත්ත කතා කරන කෙනෙක් විදියට මේ මැයි දිනේ දේශපාලන පක්ෂ හැම එකක්ම පවත්වපු මැයි රැලිවල කතා කෙරුවෙ නැත්තෙම වැඩ කරන ජනතාව ගැන. කම්කරුවගේ ප්‍රශ්න මේ කවුරුවත් කතා කෙරුවෙ නෑ. මැයි දිනේ සැබෑ අර්ථය මේ දේශපාලන පක්ෂ එකක්වත් හරියට ක්‍රියාවට නැඟුවෙ නෑ. මැයි දිනේ දැන් යොදා ගන්නේ දේශපාලන පක්ෂවල බලය පෙන්නන්න. හරිම කනගාටුදායක තත්ත්වයක්. මම මොන පක්ෂයේ හිටියත් ඒක නම් කියන්න වෙනවා.


දැන් මැයි දිනේ සාර්ථක අසාර්ථකභාව මනින්නේ ඒවට එන මිනිස්සු සංඛ්‍යාවෙන්. ඒවට එන බස් සංඛ්‍යවෙන්. ආසන සංවිධායකවරුන්ගෙන් අහන්නේ කී දෙනෙක් ආසනේකින් එක්ක එනවද බස් කීයක් ගේනවද කියලා. කම්කරුවන්ට අදාළ සටන් පාඨයක් ගහගෙන එන්න කියලා පක්ෂ නායකයො කවදාවත් ආසන සංවිධාකයින්ට කියන්නේ නෑ. අනෙක් අතට ආසනවලින් මැයි පෙළපාළිවලට එන අයත් බලන්නේ අරක්කු දෙනවද බත් පැකට් දෙනවද අතට සල්ලි දෙනවද කියලා. මේ ක්‍රමයම වැරැදියි. කම්කරු අයිතිවාසිකම් ගැන දේශපාලකයොවත් මැයි සැමරුම්වලට එන ජනතාවත් හිතන්නේ නෑ. මේක හරිම ඛේදවාචකයක්. 
මේ මැයි රැලිවලට වියදම් කරන මුදල් වැඩ කරන ජනතාවගේ සුබ සිද්ධියට යොදවනවනම් ඒකයි වටින්නේ. කෝටි ගණනක මුදලක් හැම පක්ෂයක්ම වියදම් කරනවා. මම නම් යෝජනා කරන්නේ මේ මැයි දින සැමරුම කියලා සංදර්ශන බොරුව නවත්තලා ඇත්තටම වැඩ කරන ජනතාවගේ අභිවෘද්ධියට යමක් කෙරෙන වැඩ පිළිවෙළකට යන්න ඕනෑ කියලා දැන් තියෙන්නේ මැයි රැලි පවත්වන පිට්ටනිය පුරවගන්න එක පිළිබඳ තරගයක්.

 


● මැයි දින සංදර්ශන නතර කිරීම කෙසේ වෙතත් දැන් වැඩිම සෙනඟ ගේන වැඩිම බස් ගේන සංවිධායකයින්ට තෑගි දෙන්නත් පටන් අරගෙන.
ඒක නම් හරිම අසෝබනයි. කම්කරුවට යමක් ලැබෙන්න ඕන දවසේ කම්කරුවො මැයි රැලිවලට ගේන දේශපාලකයන්ටද තෑගි දෙන එක කොච්චර විකෘතියක්ද? කම්කරුවා දේශපාලකයට හුරේ දාලා ගෙදර ගිහින් පස්සෙන්දා ඉඳලා වැඩ කරනවා. ඒ අයට ලැබෙන දෙයක් නෑ. මේක ගැන පුළුල් සංවාදයක් රටේ ඇතිවෙන්න ඕන. 

 


● මොන විවේචන තිබුණත් ඔබත් මේ වැඬේමනේ කළේ. ඔබ සෙනඟ කොච්චර ගෙනාවද?
බස් පහයි මම නම් අරන් ආවේ. මම ඒ අයට සල්ලි දීලා නෙවෙයි එක්ක ආවේ. ඒ අයගෙ උනන්දුව නිසා තමයි ඒ තරම් පිරිසක් ආවෙත්. ආපු අයට කන බොන ටික දුන්නා. ඒක නොකර බෑනේ. අපිටත් මේක කරන්න වෙලා තියෙනවා. ඒක හැම දෙනාම එකතුවෙලා ගන්න ඕන දේශපාලන තීන්දුවක්. මට තනි තීරණයක් අරගෙන මැයි සැමරුම් වර්ජනය කරන්න බෑ. 

 


● මේ පිළිබඳව ඔබට තියෙන විවේචනය පක්ෂ නායකත්වයට ඉදිරිපත් කළේ නැද්ද?
තාම එහෙම කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ඇත්තටම මේක කතා කළ යුතු දෙයක්. පහුගිය ටිකේම මේ වගේ විවාදාත්මක අදහස් පළ කරන්න ගිහින් මම හොඳට පරිප්පු කාලා ඉන්නේ. ජනාධිපතිතුමයි අගමැතිතුමයි මඟුල් ගෙවල් මළගෙවල් වගේ ඒවට යන එක සීමා කළ යුතුයි කියලා. මම පහුගිය දවසේ කියපු කතාවටත් නොයෙක් විවේචන ආවා. මේක මම කිව්වෙ මේ වැඩෙන් කාලයත් මුදලත් නාස්ති වෙන නිසා ජනාධිපතිවරු අගමැතිවරු ඉන්නේ මළගෙවල් ගාණෙ යන්න නෙවෙයි. වෙන රටවල්වල නායකයෝ මේ වගේ මළගෙවල් කොටහළු ගෙවල් ගාණෙ යනවද මේවට වඩා රටේ කොච්චර වැදගත් වැඩ තියෙනවද කරන්න. රටේ නායකයන්ට මැයි දිනෙත් දේශපාලන සංදර්ශනයක් නොවිය යුතුයි කියන අදහසේ තමයි මම ඉන්නේ. අපි වගේ දිළිඳුකමින් බඩගාගෙන යන රටකට මේ වගේ දේවල් ඔරොත්තු දෙන්නෙ නෑ. කෝටි ගණන් ණයයි කිය කියා බොරු සංදර්ශනවලට වියදම් කිරීම විකාරයක්.

 


● දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් යනවා. ඒක එන්න එන්න වැඩිවෙනවා වගේ. අවුරුදු දෙක යද්දි යහපාලන ආණ්ඩුව එපා වෙලා වගේ.
මේක ජනතා විරෝධයක්ම නෙවෙයි. මේවා යම් පිරිසක් ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කරන වැඩ. සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් කරන වැඩ වර්ජනත් තියෙනවා. ඒත් බොහෝ වර්ජන එක එක කල්ලි බලතණ්හාවට උසි ගන්වන ඒවා. අසාධාරණ ඉල්ලීම් ඉල්ලගෙන රජය අපහසුතාවට පත් කරන ඒවා වැඩ වර්ජන නෙවෙයි කුමන්ත්‍රණ, දොස්තරලා තමන්ට ලැබෙන හැම පහසුකම්ම ලබාගෙන ඒත් වර්ජන කරනවා. එයාලගෙ ළමයින්ටම හොඳම ඉස්කෝල ටික ලැබෙනවා. වාහන බලපත්‍ර ලැබෙනවා. ඒ ඔක්කොම අරගෙන වැඩ වර්ජන කරනවා. ඒක එක දේශපාලන කල්ලි කණ්ඩායම් අතේ නැටවෙන රූකඩ සංගම් තමයි අද වැඩිපුර වර්ජන කරන්නේ. ඒවට ඉඩ දෙන්න බෑ.

 


● ජනාධිපතිතුමා සරත් ෆොන්සේකට විශේෂ ඒකකයක් භාරදෙන්න යනවා කියලා කතාවක් පැතිරිලා. ගියා. ෆෛාන්සේකා ඒක භාරගන්න එක පයින් කැමති වුණා. ඒ අතරෙ එස් බී. වගේ ඇමැතිවරු කියනවා ඒක ජනාධිපතිතුමා කරපු පොඩි ජෝක් එකක් කියලා. ආණ්ඩුවෙන් මාර ජෝක්නෙ තියෙන්නේ?
මම කැබිනට් ඇමැතිවරයෙක් නොවන නිසා ජනාධිපතිතුමා කියපු කතාව හරියටම දන්නේ නෑ. මමත් ඔය හැමෝම කියපු කතා දැක්කා. සමහරු කිව්වේ මේක ජනාධිපතිතුමා සීරියස් කියපු කතාවක් කියලා. තව සමහරු කිව්වේ ජෝක් එකක් කියලා. ඒ කතා කොහොම වුණත් මගේ අදහස නම් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා බලයට ආපු රජයක් හැටියට ජනතා හඬට ඉඩ දිය යුතුයි. සාධාරණ උද්ඝෝෂණවලට ඉඩ දිය යුතුයි. ඒවා කරන ක්‍රමයක් තියෙනවා. ඒවා කරලා ඉල්ලීම් දිනා ගන්න ක්‍රමයක් තියෙනවා. එහෙම නැතුව ඕන කෙනෙකුට හිතනෙ හිතෙන විදියට පිකට් කරන්න දුන්නොත් ඒක මාර ලෙඩක්. රටේ දේපොළවලට හානි කරමින් සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කරමින් මේවා කරන්න දෙන්න බෑ. දැන් පිකට් කරන අය ඒ වැඬේට පබ්ලිසිටි ගන්න මොකක් හරි අවුලක් නිර්මාණය කරගන්නවා. ඒ අයට කඳුළු ගෑස් ගස්සගන්නවා. මේක විකාරයක් වෙලා තියෙන්නේ දැන්. මේවට ඉඩ දෙනවද නැද්ද කියලා ආණ්ඩුවත් තීරණය කරන්න ඕන. ඒක සාධාරණ උද්ඝෝෂණයක් මර්දනය කිරීමක් නෙවෙයි.

 


● දැන් සයිටම් රකින්න ආණ්ඩුවේ ඇමතිවරු අමාත්‍යංශයට මුදල්වලින් දැන්වීම් පළකරනවා කියාල චෝදනාවක් එනවා.
කවුරු මොනවා කිව්වත් මොන මතයේ හිටියත් මම මේ ප්‍රශ්නයේදී ඉන්නේ කාලෝ ෆොන්සේකා මාමාගෙ මතයේ. මේ ප්‍රශ්නයත් හරියට කළමනාකරණය කරලා විසඳන්නෙ නැති එක තමයි ප්‍රශ්නය. මේක මේ තරම් ඔඬු දුවන්න දෙන්න ඕන එකක් නෙවෙයි. හැම දෙනාටම සාධාරණයක් වෙන තැනට මේක ගේන්න ඕන. මහින්ද රාජපක්ෂ මේක පටන් ගනිද්දී මේවට සද්ද නොකර ඉඳපු දොස්තර මහත්තයලා දැන් කෑ ගහන එකත් ප්‍රශ්නයක්. ඇයි මේ දෙබිඩි පිළිවෙතක්. මේක පිටිපස්සේ මොකක්ද තියෙන කාරණය කියලා හොයන්න ඕන.

 


● හොරු අල්ලන්න කියලා මහා හයියෙන් කෑ ගහපු රන්ජන්ගේ කට අද වැහිලා මොකද? 
ඒ ගැන නම් තියෙන්නේ හරිම කනගාටුවක්. අපේ ආණ්ඩුව හොරු ගැන කතා කරපු තරමට ඒක ක්‍රියාත්මක වුණා මදි. ඒකයි දැන් සමහරු කියන්නේ හොරු අල්ලන්න කියලා ආපු අණ්ඩුව හොරු ටිකත් අල්ලගෙන කියලා. තලංගම ජයසිංහ මට කියපු කතාවක් මම කියන්නම්. එතුමා කියනවා හොරු අල්ලන වැඬේ හොඳටම කරපු කෙනෙක් විදියට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සඳහන් කරන්න පුළුවන් කියලා. අපිටත් එතුමා ආදර්ශයට ගන්න පුළුවන්. එතුමා බලයට ගේන්න උදවු කරපු ඇමතිවරු දහදෙනෙකුට එතුමා දඬුවම් දුන්නලු. අන්තිමට එතුමා ළඟ ඉඳපු අය අතින් මැරුම් කන්න වුණා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් හිතපු විදියට හොරු අල්ලන වැඬේ කළා නම් හොඳයි. ඒක හරියට කරගන්න බැරි වුණා. ඒක අපි පිළිගන්න ඕන. අල්ලනවා කියලා ඉඳපු හොරුයි අපේ හොරුයි යාළු වුණු නිසා තමයි මේ වැඬේ හරියට කරගන්න බැරි වුණේ. හොරු අල්ලගෙන යද්දී ඩීල් දාගත්තා. ඩීල් නිසා වැඬේ මඟ නැවතුණා.

 


● සමහරු රාජ්‍ය නිලධාරීන්ට හෙණ ගහන්න ඕන කියලා කියපු රන්ජන් රාමනායක මේ ආණ්ඩුවේ හොරුන්ට දූෂකයන්ට හෙණ ඉල්ලන්නේ නැද්ද?
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වැරදි කරන අයට දඬුවම් ලැබිය යුතුයි. නීතියක් නැති රටක් ඉදිරියට යන්න බෑ. ආණ්ඩුවට සම්බන්ධ වුණාම හොරුන්ව බේරන්න හොඳ නෑ. ආණ්ඩුවට එකතු වුණාම දූෂණ චෝදනා තියෙන අයට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බෑ. මහින්ද රාජපක්ෂම කිව්වා එතුමාගේ කාලේ හොරකම් කරපු අයව කුපාඩිකම් කරපු අයව ආරක්ෂා කළා කියලා. මේ ආණ්ඩුවත් ඒ දේම කරනවා නම් ජනතාව තීන්දු කරයි මොකක්ද කරන්නේ කියලා. මේ ආණ්ඩු ආරක්ෂක නිල ඇඳුමටයි චීවරයටයි ඕනවට වඩා බයයි කියලා මට හිතෙනවා. වැරදි කළා නම් නිල ඇඳුම ප්‍රශ්නයක් වෙන්න බෑ දඬුව්ම ලැබෙන්න. ඒකත් මම කියන්න ඕන කාරණයක්.

 


● ජෝන් ද සිල්වා රඟහල මේ ආණ්ඩුව විකුණන්න යනවා කියාලා කලාකරුවෝ කලබල වෙලා. රන්ජන් රාමනායක මේ ගැන මොකද්ද දන්නේ?
මේක හුඹස් බියක්. අපි එහෙම හිතූ හිතූ හැටියට ආණ්ඩුවේ දේවල් විකුණන්නේ නෑ. මහින්ද රාජපක්ෂනේ රටේ දේවල් විකුණුවේ. කොළඹ ඉඩම් කොච්චර විකුණුවාද? අපි එහෙම කරන්නේ නෑ, ඇත්තටම මේ ආණ්ඩුව කලාව ගැන ප්‍රගතිශීලි අදහසක ඉන්නේ. ඒක නිසා බොරුවට කලබල වෙන්න ඕන නෑ.

ප්‍රියන්ත කොඩිප්පිලි