මේ පළාත් පාලන මැතිවරණයෙන් ලබන විජයග්‍රහණයත් එක්ක අපි ජනාධිපතිවරණ සටන පටන් ගන්නවා


මහ බැංකුවේ බැඳුම්කර නිකුතු පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මුල්කොට ගෙන ආණ්ඩුව අභ්‍යන්තරයේ මතුව ඇති අර්බුද, එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා වෙන සූදානම මේ ආදී කරුණු කාරණා රැසක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය.   

 


ප්‍රශ්නය:- ඇමැතිතුමා දැන් ආණ්ඩුවට මොකද වෙන්නෙ?   
පිළිතුර:- ආණ්ඩුවට මොකුත් වෙන්නෙ නෑ. ආණ්ඩුව ඉස්සරහට යනවා. මේ මැතිවරණය දිනුවට පස්සෙ අපි මීටත් වඩා වේගෙන් වැඩ කරනවා.   


ප්‍රශ්නය:- ආණ්ඩුව ඉස්සරහට යනවා කිව්වට ආණ්ඩුව ඇතුළෙ යූඇන්පී ශ්‍රී ලංකා සමගියක් නෑනෙ.   
පිළිතුර:- මැතිවරණයට ගියහම එහෙම තමයි. මොකද එතන තරගයක්නෙ තියෙන්නෙ. ගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා එකයි, ඒකාබද්ධ විපක්ෂයයි එකට එකතු වෙලා ඉල්ලුවත් බහුතර බලයක් ලැබුණෙ අපිට නෙ. මේ පුංචි ඡන්දෙට මේ දෙගොල්ලො බෙදිලා ඉල්ලන නිසා කොහොමත් මේ පාරත් අපිට තමයි වැඩි බලයක් ලැබෙන්නේ. කවදාවත් නැති විදිහට අපි මේ පාර බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනා ගන්නවා.   


ප්‍රශ්නය:- බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ වීමත් එක්ක යූඇන්පියේ සායම දියවෙලා කියලා සමහරු කියනවා. ඒක ඇත්තද?   
පිළිතුර:- බැඳුම්කර වාර්තාවෙන් තමයි එජාපයේ සායම ආරක්ෂා වුණේ. මොකද නැත්නම් වෙන්නෙ යන එන මං නැතිව ඉන්න පරාජිත දේශපාලනඥයො බැඳුම්කරේ ගැනම කියමින් එජාපයට වෙන ලේබලයක් අලවන එක. බැඳුම්කර වාර්තාවෙන් පෙන්නලා තියෙනවා අගමැතිතුමා නිර්දෝෂීයි කියලා. ඒකෙ එතුමට විරුද්ධව කිසිම චෝදනාවක් නෑ. ඇත්තටම මේ රිපෝට් එක ආපු එකෙන් වුණේ අපේ පක්ෂය නිර්දෝෂි වුණ එක.   

 

ප්‍රශ්නය:- බැඳුම්කර වංචනිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තමාට ශක්තිය ලබා දෙන්න කියලා ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලනවා.   
පිළිතුර:- ශක්තියක් දෙන්න දෙයක් නෑ. අපිත් ඉන්නෙ එතනනේ. අපිත් මේ වංචාව සම්බන්ධයෙන් ගන්න ඕනෑ ක්‍රියාමාර්ග ගත්තා. අගමැතිතුමා කොමිසම හමුවට ගිහින් සාක්ෂි පවා දුන්නා. මේ කොමිසමේ වාර්තාවෙන් අපේ පක්ෂයට හෝ නායකයාට කිසිම චෝදනාවක් එල්ල වෙලා නෑ.   


ප්‍රශ්නය:- කොහොම වුණත් මේ බැඳුම්කර වාර්තාව නිසා යූඇන්පියට ලොකු අවාසියක් වෙලා කියලා හිතෙන්නෙ නැද්ද?   
පිළිතුර:- නෑ. නමුත් එහෙම එකක් හදන්න හැදුවා. ඒ අයට වෙන කරන්න දේකුත් නෑනෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පහර දුන්නොත් තමයි යූඅන්පිය දුර්වල කරන්න පුළුවන් කියලා ඒ අය දන්නවා. එ් නිසා තමයි පහුගිය කාලෙ පුරාවටම මාධ්‍යයක් අල්ලගෙන මේ බැඳුම්කර සිද්ධියෙ වැරැද්ද අගමැතිතුමාගෙ කරේ එල්ලන්න උත්සාහ කළේ. කොමිසමේ වාර්තාව එළියට ආවත් එක්කම ඒක වැඩක් නැති දෙයක් බවට පත්වුණා. මේ බැඳුම්කර ගනුදෙනුවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් බිලියන එකොළහක අයුතු ලාභයක් ලබලා තියෙන බව මේ වාර්තාවෙන් හෙළි වුණහම අගමැතිතුමා මහබැංකුව අයිති විෂය බාර ඇමැතිවරයා හැටියට ඒ සමාගමේ රුපියල් බිලියන දොළහක වත්කම් රඳවා ගන්න කටයුතු කළා. ඒ අනුව උසාවියේදී නියමිත ක්‍රමවේදය අනුව ඒ සල්ලි අයකර ගන්න පුළුවන් කම තියෙනවා. හැබැයි දැන් ඔය කෑගහන රාජපක්ෂලගෙ කාලෙ කරපු බැඳුම්කර ගනුදෙනුවලින් රුපියල් බිලියන හාරදාහක් විතර ආණ්ඩුවට වංචා කරලා තියෙනවා. ඒවා ගැන මේ කිසිවෙක් උත්තර දීලා නෑ.   


ප්‍රශ්නය:- ඔය කියන විදියෙ වංචාවක් කරලා තියෙනවා නම් අවුරුදු තුනක් ගිහිල්ලත් ඒවා හොයන්න ආණ්ඩුව අසමත් ඇයි?   
පිළිතුර:- මේකට කරුණු කාරණා කීපයක් බලපෑවා. අධිකරණ අමාත්‍යාංශයෙ තිබුණු ගැටලුව තමයි ප්‍රධාන වුණේ. අධිකරණ ඇමැතිවරයා පවා තනතුරින් ඉවත් කරන්න අපිට සිද්ධ වුණා. අනිත් එක තමයි අපේ නීති පද්ධතියෙ තියෙන දුර්වලතා නිසා අපරාධ නඩු විභාග වෙන්න හුඟක් කල් යනවා. සමහර වංචාවල තොරතුරු හොයන්න විදේශ රටවලින් පවා සහාය ගන්න වුණා. මේ දේවල් හොයන එක ප්‍රමාද වෙන්න මේ හැමදේම බලපෑවා. ඒ නිසා තමයි අපි දැන් අලුත් මහාධිකරණ තුනක් පිහිටුවලා මේ පරික්ෂණ කඩිනම් කරන්න හදන්නේ. අපිටත් අවශ්‍ය පහුගිය කාලේ හොරකම් කරපු දූෂකයන්ට දඬුවම් දෙන්න.   


ප්‍රශ්නය:- පහුගිය ආණ්ඩුව කාලේ කරපු දූෂණ වංචා අල්ලනවා කියලා බලයට ආපු මේ ආණ්ඩුවේ දූෂණ දැන් එළියට ඇවිත් තියෙනවා. මේ ආණ්ඩුවට තවදුරටත් දූෂණ විරෝධය සටන් පාඨයක් කරගන්න පුළුවන්ද?   
පිළිතුර:- බැඳුම්කරය සම්බන්ධ චෝදනාවනෙ මේ ආණ්ඩුවට එල්ල වුණේ. අපි ඒ ගැන ක්‍රියාමාර්ග ගන්නවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට මේ කරන චෝදනා අසාධාරණයි. මොකද එතුමාගෙ අවුරුදු හතළිහක් වෙන දේශපාලන ජීවිතයේදී එතුමට විවිධ පැතිවලින් ගැහුවත් කවදාවත් වංචා දූෂණ චෝදනා එල්ල කරලා නෑ. හතළිස් එක් වැනි අවුරුද්දේදි එහෙම නරක නාමයක් දාගන්න එතුමට ඕනැ නෑ. ඒක අප​ හොඳටම දන්නවා. එතුමා දූෂණ කරනවා නම් කෝප් කමිටුවේ සභාපති තනතුර ජවිපෙ වගේ පක්ෂයකට දෙන්න ඕනෑ වෙන්නෙ නෑ. මේ අනුව පැහැදිලි වෙනවා එතුමා සත් පරමාර්ථයෙන් යුතුව කටයුතු කරලා තියෙනවා කියලා.   


ප්‍රශ්නය:- ඔච්චර හොඳ චරිත සහතිකයක් තියාගෙන ආපු අගමැතිතුමා මහ බැංකුවට අර්ජුන මහේන්ද්‍රන් ගෙනාපු එක වැරැද්දක් කියලා හිතන්නෙ නැද්ද?   
පිළිතුර:- නෑ. ඒක එතනින් නෙවෙයි ගන්න ඕනැ. අර්ජුන මහේන්ද්‍රන් කියන්නෙ සිංගප්පූරුවෙ මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරීව කටයුතු කරන කෙනෙක්. ඔහුට තියෙන හැකියාව හා ජාත්‍යන්තර සම්බන්ධතා මත අගමැතිතුමා ඔහුව මහ බැංකුවෙ අධිපති ධුරයට පත් කළේ යහපත් චේතනාවෙන්. කවුරු මොනවා කිව්වත් අපි අවුරුදු දෙකක් තිස්සෙ ආර්ථිකය ගොඩ දාගෙන ආව නෙ. මහින්ද රාජපක්ෂ අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණය තිබ්බෙත් ආර්ථිකය දුර්වල වෙලා තිබුණු නිසා.   


ප්‍රශ්නය:- මේ ආණ්ඩුව ආර්ථිකය ගොඩ දාගෙන ආවා කියලා ඔබතුමා කිව්වට ජනාධිපතිතුමා නම් පහුගිය දවසක කිව්වෙ ගෙවුණු අවුරුදු තුනේදී ආර්ථිකය හදන්න යූඇන්පිය අසමත් වුණු නිසා මේ අවුරුද්දෙ ඉඳන් තමන් ආර්ථිකය අතට ගන්නවා කියලා.  
පිළිතුර:- අපි බලමු. එජාපය ගෙනිච්ච ආර්ථික ප්‍රතිපත්තිය හරිද වැරදිද කියලා. මේ ඡන්දෙදි ජනතාව තීරණය කරයිනෙ. අපි බාරගත්තේ ආර්ථිකමය වශයෙන් බරපතළ විදියට කඩා වැටිච්ච රටක් නෙ. අහිමි කරලා තිබුණු ජීඑස්පී ප්ලස් බදු සහනය අපි ආපහු ගත්තා. අපේ මත්ස්‍ය අපනයනයට පැනවලා තිබුණු තහනම ඉවත් කරගන්නත් අපිට පුළුවන් වුණා. රාජ්‍ය සේවකයන්ගෙ වැටුප දහදාහකින් වැඩි කළා. පෙට්රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් මේ ඔක්කගෙම මිල අඩු කළා. අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ අපි පාසල් නවදාස් ගානකට සම්පත් දුන්නා. ඒ වගේම මේ රටේ ලක්ෂ 45 ක් වෙන පාසල් ශිෂ්‍යයන්ට රුපියල් ලක්ෂ දෙකක සුරක්ෂා රක්ෂණාවරණයක් දුන්නා. හෙට අනිද්දා වෙන කොට සාමාන්‍ය පෙළින් උසස් පෙළට එන හැම ළමයෙකුටම ටැබ් පරිගණකයක් දෙනවා. ඒ වගේම සෑම දරුවෙකුටම වසර දහතුනක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීමේ වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. ලබන අවුරුද්දෙ ඉඳන් සාමාන්‍ය පෙළ අසමත් වෙන සියලුම ළමයි උසස් පෙළට ගෙනියනව. තව ඖෂධ වර්ග හාරසිය ගාණක මිල අඩු කළා. මේ විදියට අපි විශාල වැඩකොටසක් කළා. අපි අවුරුදු දෙකහමාරක් තුළ ආර්ථිකය ගොඩදාන හැටි සැලසුම් කළා. ඊළඟ අවුරුදු දෙකහමාරෙදි අපේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.  


ප්‍රශ්නය:- ඔය තරම් දේවල් කළා කිව්වට ර​ෙට් බහුතරයක් මිනිස්සු ආණ්ඩුවට බණිනවනෙ. ඒ වැඩ සේරම බැඳුම්කර සිද්ධියට යට වුණා කියලා හිතන්නෙ නැද්ද?  
පිළිතුර:- ඒකට හේතුව මාධ්‍ය නිදහස. මීට අවුරුදු තුනකට කලින් මාධ්‍ය හැසිරෙච්ච විදියයි දැන් හැසිරෙන විදියයි බලන්න. පෞද්ගලික මාධ්‍යයෙන් විතරක් නෙවෙයි රජයෙ මාධ්‍යයෙනුත් දැන් ආණ්ඩුවට නැතිවෙන්න ගහනවා. ඒක තමයි මාධ්‍ය නිදහස. අපි ස්වාධීන කොමිෂන් සභා පත්කරලා තියෙනවා. කොටසකට ඕනෑවෙලා තියෙනවා. එයාලගෙ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න. මේ පාර අපේ පක්ෂය දිනන බව දන්න නිසා තමයි හැමෝම එකතු වෙලා අපිට ගහන්නෙ  


ප්‍රශ්නය:- ඉතිරි අවුරුදු දෙකේදී ආණ්ඩුව මේ විදියටම ඉස්සරහට යයිද?  
පිළිතුර:- කිසි ප්‍රශ්නයක් නෑ. මේ මැතිවරණයත් එක්ක අපි පක්ෂයක් විදියට තීරණය කරනවා මොකක්ද කරන්න ඕනෑ කියලා. තවදුරටත් එකට යනවද එහෙම නැත්නම් අපි තනි ආණ්ඩුවක් හදනවද කියලා. එන අවුරුද්දෙදි අපේ නායකතුමා ජනාධිපති කිරීමේ සැලැස්ම අපි ක්‍රියාත්මක කරනවා.  


ප්‍රශ්නය:- ජනාධිපතිතුමා තවමත් ඔබලත් එක්ක ඉන්නවා කියලා හිතනවද?  
පිළිතුර:- අපි ජාතික ආණ්ඩුවේ ඉන්නවා. ගිවිසුම පහුගිය දෙසැම්බර්වලින් ඉවර වුණාට මේ මැතිවරණය වෙනකන් එකට ඉන්න අපි කතා කරගෙන තියෙනවා. ඊට පස්සෙ තීරණයක් ගනියි. එතුමා එතකන් අපේ ජනාධිපතිතුමා හැටියට ඉන්නවා.  


ප්‍රශ්නය:- එහෙනම්, ජනාධිපතිතුමා දැන් එක දිගට ආණ්ඩුවේ වැඩ විවේචනය කරන්නෙ ඇයි?  
පිළිතුර:- එතුමත් දේශපාලනය​ෙන කරන්නෙ. ඒ නිසා එතුමත් මැතිවරණ ව්‍යාපාරය කරනවා. අපිත් අපේ මැතිවරණ ව්‍යාපාරය කරනවා.  


ප්‍රශ්නය:- එතුමගෙ ඒ ප්‍රකාශවලින් යූඇන්පියට හානියක් නැද්ද?  
පිළිතුර:- අවාසියක් වෙන්න නම් අපි ඒ බැඳුම්කර සිද්ධියෙ කොටස්කාරයො වෙන්න එපැයි. බැඳුම්කරය ගැන හොයපු කොමිසමට දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම අපි දුන්න. ගන්න ඕනෑ හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තා.  


ප්‍රශ්නය:- පුංචි ඡන්දයට එජාපයේ සූදානම කොහොමද?  
පිළිතුර:- අපේ මැතිවරණ ව්‍යාපාරය ඉතාම හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒක දිනෙන් දින ඉහළට යනවා. අපි ඉතාම ඉහළින් දිනනවා. ඒකෙ දෙකක් නෑ. සමික්ෂණ වාර්තා අනුවත් මීට සති දෙකකට උඩදී හිටපු තැන නෙවෙයි අපි දැන් ඉන්නේ. හුඟාක් ඉදිරියට ඇවිත්. කවුරුත් දන්නවා මේ පාර අපි දිනනවා කියලා. ඒ නිසා තමයි ඔක්කොම එකතු වෙලා යූඇන්පියට ගහන්න හදන්නෙ. ඒත් ඒක යථාර්ථයක් වෙන්නෙ නෑ.  


ප්‍රශ්නය:- ලබන අවුරුද්දෙ එන ජනාධිපතිවරණයට එජාපය සූදානම?  
පිළිතුර:- අපි සූදානම්. මේ පළාත් පාලන මැතිවරණයෙන් ලබන විජයග්‍රහණයත් එක්ක අපි ජනාධිපතිවරණ ඒ සටන පටන් ගන්නවා.  


ප්‍රශ්නය:- යුඇන්පියෙ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නායකතුමාද?  
පිළිතුර:- ඔව්. අනිවාර්යයෙන්ම. ඊළඟ අවුරුද්දෙ අවසානය වෙද්දී අපේ පක්ෂයේ නායකයා මේ රටේ ජනාධිපති කරනවා.

 සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ