මේ තරම් කෙටි කලකින් ජනතා අප්‍රසාදයට පත් වූ වෙනත් ආණ්ඩුවක් නෑ


සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී හා මෙහෙයුම් ප්‍රධානී 
හරීන් ප්‍රනාන්දු

රටේ උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී හා මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය - ඔබලාගේ සර් ෆේල්. සටන් පාඨය දැන් ෆේල්.   


පිළිතුර - නෑ. අපි නොවැම්බර් මාසේ පළමු වැනිදා තමයි ඕක පටන් ගත්තේ. අය වැයට ඉස්සෙල්ලා අපි ඒකෙන් කිව්වේ සර් අය වැයෙන් ෆේල් වෙනවා කියලයි. අද ඒක අපි කිව්වටත් වඩා උඩින් ඩබල් ෆේල් වෙලා තියෙන බව පේනවා.   


ප්‍රශ්නය -නමුත් පොදුවේ ගත්තොත් ආණ්ඩුව සමත් වෙලා තියෙනවා සර් ෆේල් නෑ කියලා පෙන්වන්න?   


පිළිතුර - ඒක සම්පූර්ණ මුලාවක්. ආණ්ඩුව කටක් ඇරලා ‘‘නෑ අපි ෆේල් නෑ’’ කියලා කියන්න උත්සාහයක්වත් ගන්නේ නෑ. සමාජය තුළ ආණ්ඩුව මහා පිරිහීමකට ලක් වෙලා තියෙනවා කියන එක සමාජ මාධ්‍ය ජාල දිහා බැලුවත්. සමාජයෙ කෙරෙන කතා බහ දිහා බැලුවත් හොඳටම පේන්න තියෙනවා. ආණ්ඩුව උත්සාහ කරනවා තමන්ට හිතවත් මාධ්‍ය අල්ලාගෙන ටික දුරක් හරි යන්න පුළුවන්ද කියලා බලන්න. නමුත් සමාජය ඇතුළේ විශාල කලකිරීමක් තියෙන්නේ. ඒක ආණ්ඩුව දන්නවා.   


ප්‍රශ්නය - දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා දුන්නා. සියලුම උපාධිධාරින්ට රැකියා දුන්නා. මේවා ගැන විපක්ෂයේ මැනීමක් නෑ.   


පිළිතුර - රැකියා දීම, ඔය වගේ වැඩ කිරීම, පාරක් හැදීම ගත්තොත් එහෙම නම් යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් පළමු දින 100 තුළ මොන තරම් වැඩ කළාද? සුව සැරිය ගිලන් රිය දුන්නේ ඒ අපේ ආණ්ඩුව නොමිලයේ බෙහෙත් වගේම අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කීයක මිල පහළ දැම්ම ද? ඉන්ධන මිල අඩු කළා. ජනතාව බලන්නේ කිව්ව දේවල් හරියටම කරනවද? කියලා මිසක් කරපු දේවල් දිහා නොවෙයි. හැට නව ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ සිස්ටම් චේන්ජ් එකකටයි. ක්‍රමයේ වෙනසකුයි මිනිස්සු බලාපොරොත්තු වුණේ. නමුත් දැන් ජනතාවට පෙන්වා ගජ මිතුරු සංකල්පයක් ඇවිත් ඒ අයට විතරක් හම්බ කරන්න දෙන ජනතාවට තාඩන, පීඩන, ගර්ජන හා මර්දන පමණක් මුදා හරිමින් මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා කියලා. මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා පහත් තත්ත්වයට පත් වෙලා කියන එක ඉතාම පැහැදිලියි. ඒනිසා මේ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය දිනෙන් දින අලුත් වෙමින් පුපුරා යමින් තියෙනවා. අපි දැක්කා කුරුණෑගල දී රජයේ ගුරුවරුන්ගේ විරෝධය මොන තරම් බල සම්පන්නව ප්‍රදර්ශනය වුණා ද කියලා. අපි යහපාලන ආණ්ඩුව ආපු හැටියට රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළා. තෙල් මිල ගෑස් මිල අඩු කළා. ඒවා සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ආවම කරන දේවල් ජනතාව බලන්නේ තමන්ට රටක් විදියට දැනෙන දේ ගැනයි. අද ජනතාවට දැනෙන දේ තමයි සර් ෆේල් කියන එක. ඒක වසන් කරන්න බෑ. ඒනිසා තමයි අපි කියන්නේ මේ තරම් කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට පත් වුණ තවත් ආණ්ඩුක් නෑ කියලා.   


ප්‍රශ්නය -විපක්ෂය කියනවා. මේ ආණ්ඩුව දැවැන්ත පරිසර විනාශයක් කරනවා කියලා. ආණ්ඩුව එකහෙලාම ඒක ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩුව ද බොරු කියන්නේ? විපක්ෂය ද බොරු කියන්නේ?   


පිළිතුර - ඒක ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව තේරුම් ගනී. අපට මාධ්‍ය සහයෝගයක් නෑ. අපට රුපවාහිනි නාළිකා නැතිව අපේ මතය සමාජගත කරන්න හරිම අමාරුයි. අපි ඇත්තටම සාර්ථක විපක්ෂයක්. ලංකාවේ විතරක් නොවෙයි මුළු ලෝකයේම සාර්ථක විපක්ෂය අපි. වන සංහාරය වගේම තුප්පහි දේශපාලනඥයන් රජයේ නිලධාරීන්ට කරන තර්ජන බිය වැද්දීම් සමාජ මාධ්‍ය ජාලාවල බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඒ සමාජ මාධ්‍ය ජාලා තියෙන නිසා තමයි ආණ්ඩුවේ හැම තක්කඩිකමක්ම වංචාවක්ම සමාජයට කාන්දු වෙන්නේ. සිංහරාජය ද වෙනත් ස්ථානයක්? කියන එක නොවෙයි. මහා වන විනාශයක් වෙනවා. දේශපාලන රැකවරණය, ආශිර්වාදය ඒකට ලැබෙනවා. පොලිසියත් අද දේශපාලනීකරණය වෙලා. නමුත් ජනතාවට හංගන්න බෑ.   


ප්‍රශ්නය -ඇයි? විපක්ෂයට බැරි ‘‘මෙන්න මෙතැන වන සංහාරයක් වෙනවා’’ කියලා නිශ්චිතවම තැනක් පෙන්වන්න? 

 
පිළිතුර - මේ වන සංහාරය වෙනවා කියන එක අපි කියපු කතාවක් නොවෙයි. මේ චෝදනාව ආවේ ඒ පිළිබඳ තමන්ගේම අත්දැකිම් තියෙන ජනතාවගෙන්. ඒ ජනතාවගේ සටන රටට ඇත්තටම ආදරය කරන ඒ ජනතාවගේ සටනට. අපි උපරිම සහයෝගය දෙනවා. සමගි ජන බලවේගය පක්ෂයක් හැටියට අපි හරිත පක්ෂයක් හැටියට කටයුතු කරන්න අපි තීරණය කරලා තියෙනවා. වන සංහාරය නොකරන බවට අපි ජනතාවට ස්ථිරසාර පොරොන්දුවක් දීලා තියෙනවා. ඒක පොරොන්දුවක් විතරක් නොවෙයි. ඇත්ත සජීවී ක්‍රියා මාර්ගයක්. ලෝක පරිසර සංවිධානයත් සමග එකතු වෙලා අපි දැනටමත් කටයුතු කරනවා.   


ප්‍රශ්නය - කොළඹ දී පාරවල් හදන්න කියලා උද්ඝෝෂණ කරන අය ගමට ගිහින් පාරක් හදන කොට මෙන්න කැලෑ කපනවා කියලා උද්ඝෝෂණය කරනවා.   


පිළිතුර - කොළඹ පාරවල් හදන එකවත් ගමේ පාරවල් හදන එකවත් නොවෙයි මෙතැන ප්‍රශ්නය තියෙන්නේ. ඒ මුවාවෙන් කරන මහා ජාවාරම් ගැනයි අපි මේ කතා කරන්නේ.   
මේ ආණ්ඩුව බුදුසරණයි. දෙවි පිහිටයි කියලා බෝඩ් ගහගෙන ඒ ලොරියෙන් තමයි හරක් ප්‍රවාහනය කරන්නේ. ඔබ කියන්නේ දේශපාලන හයිය අරගෙන කොතැනකවත් ගස් කපන්නේ නෑ කියලද? මේ රටේ තරුණ පරපුර ඉතාම බුද්ධිමත්. ඔවුන් දේශපාලන වහල්ලු නොවෙයි. ඔවුන් වෙනදටත් වඩා රට ගැන පරිසරය ගැන වගේම තමන්ගේ අයිතිවාසිකම් ගැන හිතනවා. ඒකම තමයි මේ ආණ්ඩුවට මාරාන්තික තර්ජනයක් වෙලා තියෙන්නේ.   


ප්‍රශ්නය -පිළිකා කාරක පොල් තෙල් ගෙන්වලා. හැබැයි ඒවා වෙළෙඳ පොළට නිකුත් කිරීම ආණ්ඩුව තහනම් කළා. ආණ්ඩුව ගත්තේ වෙළෙන්දාගේ පැත්ත නොවෙයි. ජනතාවගේ පැත්ත.   


පිළිතුර - ඒකත් මේ ආණ්ඩුවේ එක මායාකාරී රංගනයක්. ආණ්ඩුවට සම්බන්ධ එක මාධ්‍යයක් පොල්ගෙඩි අකුරෙන් දැම්මා පොල්තෙල් කතාව බොරුවක් කියලා. දෙවැනි දවසේ කිව්වා තියෙන්නේ සැකයක් කියලා. නමුත් තුන්වැනි දවසේ පිළිකාකාරක පොල් තෙල් තොග අහු වුණා. ආණ්ඩුව මුල ඉඳලම හිටියෙ මේක වහන්න දරපු උත්සාහයක. නමුත් සමාජය අවදියෙන් ඉන්නේ. අපි තාම කතා කරන්නේ පොල් තෙල් හා සීනි ගැන විතරයි. මම ඉතාම පැහැදිලිව පසුගිය දවසක දී කිව්වා ලංකාවට ගෙන්වන සෑම භාණ්ඩයකින්ම මෙහෙම අකටයුතුකම් වෙනවා කියලා. තාම අහුවුණේ සීනි හා පොල් තෙල් විතරයි. අහුනොවුණ ඒවා තව කොච්චර තියෙනවද? මිනිස්සු බලාගෙන හිටියේ රේගුව වගේම අනෙකුත් රාජ්‍ය ආයතන පිරිපහදුවට ලක් කරලා වංචාවෙන් දූෂණයෙන් තොර කාර්යක්ෂම ආයතන බවට පත් කරනවා කියලා. නමුත් එහෙම නොවුණ නිසා තමයි ජනතාව කියන්න පටන් ගත්තේ සර් ෆේල් කියලා.   


ප්‍රශ්නය - ජාතිවාදය පදනම් කරගෙන මෝදි ඉන්දියාවේ ඇගමැති වුණා කියලා ඔබ කිව්වා. මේවා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න?   


පිළිතුර - පාර්ලිමේන්තු​වේ දී යමෙකුගේ කරුණු දැක්වීම බොහොම පෞද්ගලිකයි. තමන්ගේ තර්කය ​ගොඩනැගීමේ දී ඒකට ගැළපෙන සාධක එකතු කරගත යුතුයි. එහෙම නැතිව කවුරුවත් අමාරුවේ දාන්න කිව්ව නොවෙයි. ඕක සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා නම් ගැටලුවක් තියෙනවා. නමුත් මම නැගී එන මන්ත්‍රීවරයෙක් හැටියට මගේ කරුණු දක්වීම තර්කානුකූලව ඉදිරිපත් කිරීමේ දී ​ලෝකයේ කතාවෙන දේවල් බලලා අහලා තමයි මම කතා කළේ. ඒකට තමයි පාර්ලිමේන්තුව තියෙන්​නේ. එහෙම නැතිව මම ඉන්දියාව ඉලක්ක කරගෙන කිව්ව කතාවක් නොවෙයි. අනික ඉන්දියාව කියන්නේ ​මෝදි නොවෙයි. ලංකාව කියන්නේ ගෝඨාභය නොවෙයි. මේ රටවල් අයිති මිනිසුන්ට. කවුරු හරි කියනවා නම් හරින් ඉන්දියාවේ මෝදි අගමැතිතුමාට විවේචනයක් කරලා තියෙනවා. ඒක මෝදිට දරා ගන්න බෑ කියලා... ඒක විහිළුවක්. ඉන්දියාවේ විපක්ෂය ලොකු වැඩියි මෝදි අගමැතිතුමාට වැඩිය. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ලංකාවේ අයිතිකාරයාද? නෑ. එයා භාරකාරයා. ඒ නිසා මතක තියා ගන්න ඕනෑ සියලු දේශපාලනඥයන් විවේචනවලට යට වෙන්න ඕනෑ. ඒක මටත් පොදුයි. මාව විවේචනය කරන කොට එක්කෝ මම ඒවා ගණන් නොගෙන ඉන්න ඕනැ. එහෙම නැත්නම් උත්තර දෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවේදී මම කිව්වේ ලංකාවෙත් 2019 දී ඒක ඒ විදියටම වුණා. අන්තවාදය පාවිච්චි කරලා ඡන්දය දිනුවා. මෝදිත් ඒ දෙය ඒ විදියටම පාවිච්චි කරලා ඡන්දය දිනුවා කියලා. ඒක මගේ කරුණු ගෙනහැර දැක්වීම. මට හිතා ගන්න බෑ මම පාර්ලිමේන්තුවේ කරපු කතාවකට ඇයි මාවම මෙහෙම ඉලක්ක කරන්නේ කියලා. නමුත් මම සතුටු වෙනවා මම කියපු දේ ගැන.   


ප්‍රශ්නය - සමගි ජන බලවේගය රාජපක්ෂලාට වඩා බෞද්ධ වෙන්නත් රාජපක්ෂලාට වඩා දේශප්‍රේ‍මි වෙන්නත් යනවා!   


පිළිතුර - මම එතැන නෑ. මම විශ්වාස කරනවා. මම සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානියා, උප සභාපති. ඒ නිසා මම වගකීමෙන් කියනවා. එහෙම දෙයක් නෑ කියලා. දේශප්‍රේමීත්වය කියන්නේ ඇත්ත දේශප්‍රේමීත්වය. තවරා ගත්ත අන්තවාදය පදනම් කර ගත්ත දේශප්‍රේමීත්වය නොවෙයි. රටට ආදරය කරන්න ඕනෑ දේශපාලනඥයන් හැටියට.   
ඒ නිසා ඔබ කියන තැන සමගි ජන බලවේගය නෑ. සමගි ජන බලවේගය ඉන්නේ ඒ තැන නම් මම එතැන ඉන්නෙත් නෑ.   


ප්‍රශ්නය - නමුත් ඉදිරි මැතිවරණවලදී හකීම්ට බදුර්දීන්ට සමගි ජන බලවේගයෙන් ඉල්ලන්න දෙන්නේ නෑ කියනවා.   


පිළිතුර - මම ඇත්තටම ඒක දැක්කේ නෑ. 

 
ප්‍රශ්නය -ඔබේ මන්ත්‍රීවරු එහෙම කිව්වා.   


පිළිතුර - මම විශ්වාස කරන්නේ එහෙම කතාවක් නොවෙයි. රාවුෆ් හකීම් මැතිතුමාලා බදුර්දීන් මැතිතුමාලා ඔවුන්ගේ ක්‍රියා කලාපය අනුව නායකතුමා, ඒ වගේම අපේ තියෙන මෙහෙයුම් මණ්ඩල ඒක තීරණය කරයි. ප්‍රශ්නයක් මතු වුණා පසුගිය 20 සම්මත කර ගන්න කොට ඔවුන්ගේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහයෝගය දීම නිසා. එතැනදී පුංචි අවුලක් ඇති වෙන්න ඇති. නමුත් ඒ සම්බන්ධව පක්ෂ නායකත්වය වගේම පක්ෂයේ ජ්‍යෙෂ්‍ඨයෝ නිවැරැදි තීන්දුවක් ගනීවි. ඔවුන්ට අපෙන් නාම යෝජනා නොදෙනවා කියන ස්ථාවරයක අපි නෑ. නමුත් අපි විශ්වාස කරනවා ඔවුන් අපේ න්‍යායට අනුගත වෙනවා නම් ප්‍රශ්නයක් මතු වෙන්නේ නෑ. වෙනත් පක්ෂවලින් ඇවිත් තර්ජන කරනවා නම් එහෙම නැත්නම් ඩිමාන්ඩ් කරනවා නම් අපි ඒවට යටත් වෙන්නේ නෑ. අපට ඕනෑ සමගි ජන බලවේගය තුළින්ම මුස්ලිම් නායකයන් බිහි කර ගන්න. සියලු ජාතීන්ට සමානවත් සාධාරණවත් සලකන පක්ෂයක් තමයි සමගි ජන බලවේගය කියන්නේ.   


ප්‍රශ්නය - හකීම් සහ බදුර්දීන් සමගි ජන බලවේගයේ කටයුතුවලට දැනටමත් සම්බන්ධ වෙන්නේ නෑ.   


පිළිතුර - පාර්ලිමේන්තු කටයුතුවල දී වගේම අපි සමගි ජන බලවේගය හැටිය රැස්වන ස්ථානවල දී අපි හමුවෙනවා. පාර්ලිමේන්තුව තුළ අපි එක ලයින් එකක් ඇතුළේ ඉන්නේ. ඒ නිසා දැනට අර්බුදයක් නෑ. අර්බුදය ආවේ 20 ට සහයෝගය දීපු අයට. අපි නාම යෝජනා දෙන්නේ නෑ කියන එක තමයි අපි ගත්ත ස්ථාවරය. ඒ වගේම අපේ කිසිම වැඩකට ඔවුන් සම්බන්ධ කර ගන්නේ නෑ කියලා අපි තීරණයක් ගත්තා. නායකතුමත් පක්ෂයේ ජ්‍යෙෂ්‍ඨයනුත් ඒ ගැන දීර්ඝව සාකච්ඡා කරාවි කියලා මම හිතනවා. 

 
ප්‍රශ්නය -පාඨලී චම්පික රණවක කෝ?   


පිළිතුර - ඔහු බොහොම සක්‍රීයව කටයුතු කරනවා. මම විශ්වාස කරනවා තව නොබෝ දිනකින් එතුමාගේ තනතුරත් බාරගෙන වගකීම් ඉටු කරනවා කියලා. පසුගිය කාලයේ නොයෙකුත් කටයුතු නිසා පුංචි ප්‍රමාදයක් සිදු වුණත් අපේ පළමු සංවත්සරය සමරපු මොහොතේ තමයි ඔහු පක්ෂය තුළට පිළි ගත්තේ. තව දින කිහිපයකින් සිදුවිය යුතු දේ සිද්ධ වේවි.   


ප්‍රශ්නය - චම්පික රණකවට අවශ්‍ය නායකත්වයයි.

   
පිළිතුර - ඔහු සමග විවෘතව සාකච්ඡා කරලා තියෙනවා. වත්මන් නායකයාට සම්පූර්ණ සහයෝගය දීමටත් වත්මන් නායකයා රටේ නායකයා කිරීමටත් එතුමා කැප වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඕනෑම කෙනෙකුට දේශපාලනයෙ ඉලක්ක තියෙන්න ඕනෑ. මටත් පක්ෂෙ නාගරික මන්ත්‍රී කෙනෙකුට වුණත් පක්ෂයේ නායකයා වීමේ ඉලක්කය තිබිය යුතුයි. ඉලක්ක නැතිව මිනිස්සු වැඩ කරන්න ඕනැ නැහැ.   


අපේ ඊළඟ ඉලක්කය මීළඟ ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මැතිතුමා රටේ නායකයා කිරීම හා අපේ ආණ්ඩුවක් ගැනීම. ඒකට අනුව ඔහු වැඩ කරන ආකාරය අනුව සියල්ල තීරණය වෙයි.   


ප්‍රශ්නය -චම්පික රණවක ඔබට අභියෝගයක් නිසා ඔබ චම්පිකට කැපිලි දානවා.   


පිළිතුර - කොතැනකවත් නෑ. ඔහු වෙනුවෙන් කතා කරන අයට ඉන්නේ මමත් තව කීප දෙනෙක්. ඔහු ඒක දන්නවා. මං කාවවත් ඉලක්ක කරන්නේ නෑ. මගේ ඉලක්කය මේ අදූරදර්ශී ආණ්ඩුව පලවා හැරීම පමණයි. ගම්පහ දී බලගතු රාජපක්ෂව පරාජය කරලා අපේ පක්ෂයට විශාල ජයග්‍රහණයක් ලබා දීම තමයි මගේ ඉලක්කය. වෙන ඉලක්ක නෑ මට.

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්