මේ කරන්නේ ජනතාව ගොනාට ඇන්දීමයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
කෙහෙළිය රඹුක්වැල්ල

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තෝරන ඡන්දයට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු නොපැමිණියහ. ඒ ඒකාබද්ධයේ පිපුරුම ප්‍රකාශයට පත්වූ අවස්ථාවක්ද? බැඳුම්කර මුදල් ගත් බවට චෝදනා එල්ල වූ මන්ත්‍රීවරු 118 ක් සිටිති. ඔවුන් කවුද? සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග කළ සංවාදයකි.  


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැවන්ත ප්‍රතිසංවිධානයක් වෙලා තියෙනවා?  


පිළිතුර:- අපි සුබ පතනවා.  


ප්‍රශ්නය:- එච්චරයි?


පිළිතුර:- ඔය ප්‍රතිසංවිධාන සම්බන්ධව අවසානයේ තීරකයෝ වෙන්නේ ජනතාව. ප්‍රතිසංවිධාන ගැන රටේ ජනතාවගේ හැඟීම මොකක්ද? රටේ මතය බොහොම පැහැදිලියි. රටේ මතය තමයි මේ යහපාලනය කියන ලේබල් එකත් එක්ක මේ පක්ෂ දෙක කරන විනාශය හැකි ඉක්මණින් නතර කළ යුතුයි කියන එක. දැන් රනිල්ගෙත් ප්‍රතිසංවිධාන තිබුණානේ. විශ්වාසභංගයේදී අවසාන ඡන්දය ප්‍රකාශ වෙනකම් හිටපු රනිල් වික්‍රමසිංහ නොවෙයිනේ ඊළඟ මිනිත්තු 10 න් පස්සේ හිටියේ. අපි නම් මේක තේරුම් අරගෙන හිටියේ. මේ ප්‍රතිසංවිධානයත් එහෙම තමයි.  


ප්‍රශ්නය:- නමුත් ශ්‍රී ලංකා එකේ ප්‍රතිසංවිධානයයි යූඑන්පී එකේ ප්‍රතිසංවිධානයයි සමාන කරන්න බැහැ. ශ්‍රී ලංකා එකේ මහ ලේකම්කමින් ඇමැති දුමින්ද දිසානායක ඉවත් කරලා තියෙනවා?  


පිළිතුර:- දුමින්ද එක්ක මට පෞද්ගලික ගැටලුවක් නෑ. දුමින්දව අයින් කිරීම නොවෙයි දුමින්දව පත් කිරීමම සුදුසු නැහැනේ. තරුණ සමිතියක වගේ එහෙකට හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරුන් අරගෙන බලන්නකෝ. ඒ ලැයිස්තුව ගත්තාම දුමින්දගේ ප්‍රශ්නය මොකක්ද කියලා තේරෙනවනේ.  


ප්‍රශ්නය:- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පක්ෂයේ අනුශාසක ධුරයට පත් කරලා තියෙනවා. ඒ නම යෝජනා කරලා තියෙන්නේ ජනාධිපති මෛත්‍රියි?  


පිළිතුර:- ඒක සද‌ාචාරාත්මක නෑ නේද? සහභාගිත්වයක් නැතිව පට්ට යනකම් දෝෂාරෝපණය කර කර ඉඳලා එහෙම කරන එක හරිද? මහින්ද මහත්තයා නව දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය කරලා ජනතාව ඉදිරියේ ඔප්පු කරලා පෙන්නුවා. අපේ බන්දුල සූරීන් කිව්ව වගේ පොල් පිත්තක් දැම්මත් මහින්ද මහත්තයා නිසා දිනවන ජනතාවක් පෙළ ගැහිලා ඉන්න රටක සද‌ාචාරාත්මක යුතුකමක් තියෙනවනේ මහින්ද මහත්තයාගෙන් කතා කරලා අහන්න.  


ප්‍රශ්නය:- ඇයි අහන්නේ? මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා එකෙන් අයින් වෙලාවත්, පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙනත් නෑනේ?  


පිළිතුර:- ඒ වුණත් මේ කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීමයි.  


ප්‍රශ්නය:- ඇමැති දුමින්ද දිසානායකත් කිව්වේ ‘ඔන්න අපි දොරටු ඇරියා. ගිය අයට යළිත් එන්න පුළුවන්’ කියලයි. ඒක හොඳ සංඥාවක්.  


පිළිතුර:- ඕනෑම දෙයකට කාලයක් වෙලාවක් තියෙනවා. මට කෙටියෙන් කියන්න තියෙන්නේ ඒ සියලු දේවල් පහුවෙලා ඉවරයි කියලා.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ යළිත් ශ්‍රී ලංකා එකත් එක්ක කිසිම සංහිඳියාවක් නෑ?  


පිළිතුර:- මේ රටේ ජනතාව ඔප්පු කරලා පෙන්වලා තියෙනවා මේ රටේ ප්‍රබලම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා. දැන් තවදුරටත් කියන්න බෑ තුන් වැනි බලවේගයක්. අලුතෙන් දාපු දේශපාලන හපයක්. පරවෙච්චි පොහොට්ටුවක්. ඕවා දැන් වලංගු නැහැනේ. මේ රටේ දේශපාලන බලවේග හැදිච්ච ඉතිහාසයක් තියෙනවා. 1952 දී බණ්ඩාරනායක මහත්තය මැතිවරණයට ඉදිරිපත් වෙලා සියයට 13 ක් ගත්තා. ඊට පස්සේ ලලිත් - ගාමිණීලා රාජාලියා බිහිකරලා සියයට 14 ක් ගත්තා. ඒ තමයි රටේ තුන් වැනි බලවේගයක් මෙතෙක් ආපු වැඩිම දුර. හැබැයි පළමු වතාවට පරවෙන පොහොට්ටුව යැයි කියපු මාස ගානක් ළදරුවෙක් කියපු අපි සියයට 45 ක් ගත්තා. යූඑන්පිය ගත්තේ සියයට 31 යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තේ සියයට 12 යි. එතකොට යථාර්ථය මොකක්ද? කරුණාකරලා මේ යථාර්ථය තේරුම් ගන්න. යථාර්ථය තමයි මේ අලුත් දේශපාලන ප්‍රවාහය තුළ තමයි ර​ෙට් ඇත්ත බලය තියෙන්නේ. එපමණක් නොවෙයි අද රටේ පිළිගත් දේශපාලන පක්ෂ 58 ක් ද කොහේද තියෙනවා. එයින් ප්‍රධානම පක්ෂය අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එ්ක තර්ක කරන්න දෙයක් නැහැ. ඒ යථාර්ථය තේරුම් අරගෙන යම් දේශපාලන ව්‍යායාමයක් කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික දේශපාලන කඳවුරේ දේශපාලන පක්ෂයක් හැටියට යම් අවධානයක් යොමු කළ හැකියි. නමුත් ඒ අය හිතනවා නම් සියයට 45 ඉන්න අපි සියයට 13 ඉන්න ඔවුන් ළඟට බඩගායි කියලා ඒක ප්‍රායෝගිකද? නිකම් බැලූ බැල්මට කියන්න. එහෙම වෙන්න හේතුව මොකක්ද? ඒක විකෘතියක්නේ. හරියට මේ පාර්ලිමේන්තුව වගේ. මේ පාර්ලිමේන්තුව විකෘතියක් කියල මම කිව්වේ මේ පාර්ලිමේන්තුවේ මගේ පළමු වැනි කතාවේදීමයි. අවුරුදු තුන හමාරක් ගෙවුණා. මම ඒ කියපු දේ අද යථාර්ථයක්. මේ විකෘතිය මේ දේශපාලන පක්ෂ දෙක තුනකට සතුටු වෙන්න පුළුවන් යහපාලනය ලේබලය යටතේ. නමුත් ජනතාවට ඒකේ ප්‍රතිවිපාක දරා ගන්නත් බැහැ.  


ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් විපක්ෂයට ආවා කියලා කියපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ආණ්ඩුවේ පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා එකේ තනතුරු ගත්තා. ඒකත් විකෘතියක්?  


පිළිතුර:- ඔව්. සම්පූර්ණයෙන්ම විකෘතියක්. මේ ඔක්කොම විකෘතියක් වෙලානේ තියෙන්නේ. දැන් බලන්න. ඔය ඔබ කියපු එකත් විකෘතියක්? ඔවුන්ට අයිතියක් තියෙනවා ඔවුන්ගේ දේශපාලන ගමන විකෘති කරගන්න. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ විකෘති භාවය තුළ රටක්ම විකෘති කිරීම ගැන අපට තියෙනවා වේදනාවක්.  


ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් එළියට ආපු 16 දෙනා මහින්ද රාජපක්ෂ නායකත්වය පිළිගන්නවා කිව්වා?  


පිළිතුර:- විකෘති භාවයට පත්වෙච්ච අයම තමයි ඒ විකෘතිය ප්‍රකෘතියක් බවට පත් කරගත යුත්තේ. ‘මේ කවුද මොනවද කරන්නේ’ කියලා. ඔබ ඔවුන්ගෙන්ම ඇහුවොත් තමයි හොඳ.  

රටක ව්‍යවස්ථාව කෑලි කෑලි සංශෝධනය කරන්නේ කොහොමද? මේ අයම නේද කිව්වේ 18 වතාවක් මේක සංශෝධනය කරලා තියෙනවා, මේ 19 වැනි වතාවටයි සංශෝධනය කරන්නේ. ලෝකයේ කොහේද එහෙම වෙලා තියෙන්නේ කියලා. මම එතැනදී තර්කයක් ගෙනාවා ඉන්දියාවේ 157 වතාවක් ව්‍යවස්ථාව සංශෝධනය කරලා තියෙනවා. මොකටද මේ කෑලි කෑලි ගේන්නේ? කාගේ උවමනාවක් ද මේ. ජනාධිපති විතරක් වෙනස් කරන්න? පිස්සු? සමස්තයමනේ වෙනස් කරන්න ඕනෑ. මේක මේ කාගෙ හරි පගාවකට?


ප්‍රශ්නය:- අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකු ගැන කියැවුණා. දෙදෙනෙකු අනාවරණය වුණා. තව 116 දෙනෙක් ඉන්නවා. ඔබත් මුදල් ගත්තද?  


පිළිතුර:- ශත අලුක්කාලක් මම අරගෙන නෑ. මගේ දේශපාලන ව්‍යාපාරයේදී මගේ එක ප්‍රතිපත්තියක් තියෙනවා. මගේ දේශපාලනයට මට හුඟ දෙනෙක් උදව් කරනවා. ඒ මගේ සහෝදරයෝ, මගේ ඥාතියෝ, මගේ මිත්‍රයෝ. මිත්‍රයෙක් වුණත් බාර් එකක් කරන කෙනෙක් මට කෝටියක් දුන්නත් මම ගන්නේ නෑ. මොකද එයා දළදා මාළිගාව ඉස්සරහා බාර් එකත් අරින්න ලයිසන් එකක් අරන් දෙන්න කිව්වොත් මට ඒක දෙන්න බෑ. මට යම් යම් අය උදව් කරලා තියෙනවා. එහෙම උදව් කරන අය මගෙන් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන අයත් නොවෙයි. හැබැයි අර්ජුන් ඇලෝසියස්ව, කසුන් පලිසේනව මම දැක්කෙත් ඔය රූපවාහිණියෙන්. එහෙම නැතිව මම දන්නෙත් නෑ. මම දැකලත් නෑ. ඒ නිසා ඔය ප්‍රශ්නය මට අදාළත් නෑ. හාර හාර ‘මම ගත්තේ නෑ. මම ගත්තේ නෑ.’ කිය කියා ඉන්න අවශ්‍යත් නෑ. මට විශ්වාසයක් තියෙනවා ගත්ත අය හෙට අනිද්දම හෙළිවෙයි කියලා. මේකේ තියෙන විශාලම වරද තමයි කෝප් කමිටුවේ සාමාජිකත්වය දරමින් ඒ විමංශනය කරන අතරතුරේත් ඔවුන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගෙන් යම් යම් වරප්‍රසාද ගැනීම? එහෙම කරලා තියෙනවා නම් ඒක තමන්​ෙග් මිනීවළ තමන් විසින්ම කපා ගැනීමක්.  


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයෙන් කවුද සල්ලි අරගෙන තියෙන්නේ? ඔබ ඒ විස්තර දන්නවා ඇති?  


පිළිතුර:- ඒ ආරංචි ගැන මගේ විශ්වාසයක් නෑ. ඕවා ඔක්කොම ලේඛනගත වෙලා තියෙනවනේ. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මගේ හිතවතා. ඒත් මම ඔහු ගැන කනගාටු වෙනවා. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධව? අවුරුදු 30 ක් යනතුරු ගන්න බෑ වගේ කතා විකාර කතා. රටේම අණබෙර ගහලා පාර්ලිමේන්තුවේ ඩෙගා නටලා ගෙනාපු තොරතුරු දැනගැනීමේ පනත තියෙනවා. මම ජනමාධ්‍ය ඇමැති කාලේ ඔය පනත ගෙනාවේ නැහැ කියලා ගොඩක් දෙනෙක් මට බැන්නා. ඒත් ඒ කාලේ මීට වඩා තොරතුරු ගන්න පුළුවන් වුණා. ඒ කාලයේ ලංකාදීප පත්තරය ගත්තොත් ඒකේ මුල් පිටුවේම කොයිතරම් විස්තර රාජ්‍ය නායකයන්ට අද‌ාළව තිබුණද? දැන් තොරතුරු දැන ගැනීමේ පනත තියෙද්දීත් තොරතුරු ගන්න බෑනේ. ඒක විකාරයක්නේ.  


ප්‍රශ්නය:- මේ අලුත් ප්‍රවෘත්තිය නිසා බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ බරපතළම කරුණු යට ගියා. විශේෂයෙන්ම මහ මොළකරු ගැන දැන් කතාවක්ම නෑ.  


පිළිතුර:- මහ මොළකරු කියන කතාවත් මහා දියාරු කතාවක්නේ. සැබෑ මොළකරුවා රනිල් වික්‍රමසිංහයි. ඒ ගැන තර්කයක් නෑ. 2015 ජනවාරි 9 වැනිදා දිවුරුම් දෙනවා. 18 වැනිදා කැබිනට් එක පත් කරනවා. 19 වැනිදා විෂයන් නිර්දේශ කරනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඇන්. ඇම්. පෙරේරා මහත්තයා ඉවත් වෙලා ගිය වෙලාවේ සිරිමාවෝ අගමැතිතුමිය මහ බැංකුව බාර ගත්තා. ඒ හැර ඉතිහාසය පුරාම මහ බැංකුව තිබුණේ මුදල් ඇමැති යටතේ. නමුත් මේ පාර මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් පැහැරගෙන අගමැතිවරයා යටතට ගත්තා. ඊට පස්සේ තමයි හොරකම පටන් ගත්තේ. 23 වැනිදා භාණ්ඩාගාර ලේකම්කමට අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවා. 27 වැනිද‌ා මහා කොල්ලය කරනවා. මේකට ඉතින් ආයේ මහ මොළකරු පොඩි මොළකරු කියලා කියන්න දෙයක් නෑ. මේක සම්පූර්ණයෙන්ම සැලසුම් කළේ අගමැතිවරයා, රවි කරුණානායක, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් වගේ අය. ඒ හතර පස්දෙනා තමයි මහ බැංකුවට ගිහින් අර්ජුන් මහේන්ද්‍රන් හමුවුණේ. සී.සී.ටී.වී. එකෙන් ඒවා මැකුවට. එහෙ ගියා.  


ප්‍රශ්නය:- එහෙම ගියෙ මාර්ග සංවර්ධන අධිකාරියේ බිලියන 17 ක ණය ගැන කතා කරන්න කියලයි කිව්වේ?  


පිළිතුර:- ආණ්ඩුව පත්වෙලා දවස් කීයද? මාර්ග සංවර්ධනේ ණය ගෙවන්න ඔය තරම් කඩිකුලප්පුවක් මොකටද? ඒක පිළිගන්න පුළුවන්ද? ඩෙගා නටාගෙන නැට්ට උස්සගෙන ණය ගෙවන්න ඔහොම දුවනවද? අමූලික පට්ටපල් බොරුවක්. මේ හොරකම කළේ හොඳට සැලසුම කරලා. හොරකම කළාට පස්සේ රහ වැටුණා. ඊට පස්සේ නොකඩවා කරන්න පටන් ගත්තා.  


ප්‍රශ්නය:- නියෝජ්‍ය කතානායක තෝරන්න ගිහිල්ලා මොකද වුණේ? ඒකාබද්ධය නැවතත් ඇණ ගත්තා?  


පිළිතුර:- කිසිම ඇණ ගැනීමක් නෑ. ඒ නියෝජ්‍ය කතානායක තෝරන ඡන්දය හරහා ආණ්ඩුව තුළ විශාල පිපුරුමක් ඇති කරන්න අපට පුළුවන් වුණා.  


ප්‍රශ්නය:- එහෙම දෙයක් කොහේද වුණේ?  


පිළිතුර:- ඇයි දෙමළ ජාතික සන්ධානය වගේම ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දය දෙන්න ආවේ නෑ. එක්සත් ජාතික පක්ෂයේත් සමහර අය ආවේ නෑ.  


ප්‍රශ්නය:- ඒකාබද්ධයේ සමහරු ආවෙත් නෑනේ?  


පිළිතුර:- මේ ඡන්දය අපි එහෙම ලොකුවට ගත්තේ නෑ. අපෙන් අපේක්ෂකයෙක් දැම්මෙත් නෑ.  


ප්‍රශ්නය:- නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිව්වා ශ්‍රී ලංකා එකෙන් ද‌ාපු සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේට ඡන්දය දෙන්න කියලා?  


පිළිතුර:- නෑ. එහෙම නිශ්චිතව කිව්වේ නෑ. කැමැති තීරණයක් ගන්න මන්ත්‍රීවරුන්ට නිදහස දුන්නා. ඒ වගේම අපි ස්ථාවරයක හිටියා යූඑන්පියේ අපේක්ෂකයාට ඡන්දය දෙන්නේ නෑ කියලා.  


ප්‍රශ්නය:- ඇයි එහෙම වැනෙන තීරණයක් ගත්තේ? ආණ්ඩුවට බලය පෙන්නන්න තිබුණානේ?  


පිළිතුර:- වැනෙන තීරණයක් නොවෙයි. අපි මේක බැරෑරුම්ව ගත්තේ නෑ. මේක ආණ්ඩු පෙරළන ඡන්දයක් නොවෙයි. පාර්ලිමේන්තුවට ඇවිත් හිටපු අපේ මන්ත්‍රී කණ්ඩායම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීතුමියට ඡන්දය දුන්නා.  


ප්‍රශ්නය:- නමුත් ගම්පහ ප්‍රසන්නලා විරුද්ධ වුණා?   


පිළිතුර:- විවිධ මත තිබුණා. ඔබ කියනවා වගේම ප්‍රසන්න රණතුංගටත් ප්‍රසන්න රණවීරටත් ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා නිදහසේ ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට දුන්නා. ඒ මොක වුණත් ආණ්ඩුවේ ලොකු පිපුරුමක් ඇති කරන්න අපට පුළුවන් වුණා.  

 

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඇන්. ඇම්. පෙරේරා මහත්තයා ඉවත් වෙලා ගිය වෙලාවේ සිරිමාවෝ අගමැතිතුමිය මහ බැංකුව බාර ගත්තා. ඒ හැර ඉතිහාසය පුරාම මහ බැංකුව තිබුණේ මුදල් ඇමැති යටතේ. නමුත් මේ පාර මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් පැහැරගෙන අගමැතිවරයා යටතට ගත්තා. ඊට පස්සේ තමයි හොරකම පටන් ගත්තේ. 23 වැනිදා භාණ්ඩාගාර ලේකම්කමට අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවා.


ප්‍රශ්නය:- ඔබේ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ගැන ලොකු කතාවක් තියෙනවා. කවුද ඔබේ අපේක්ෂකයා?  


පිළිතුර:- අපේ පොදුජන පෙරමුණේ නායකත්වය දරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මගේ විශ්වාසය මහින්ද මහත්තයා වේදිකාවට නැගලා අත වැනුවම මහරගම බයිසිකලය දිනුවා නම්... නයා දිනුවා නම්... බො​හොම සරලයිනේ. මහින්ද මහත්තයාගේ නායකත්වය. ජනතාව තමන්ගේ නායකයා හැටියට පිළිගන්නේ කවුද කියලා පැහැදිලියි. ඕනෑම කෙනෙකුට ‘මමයි නායකයා’ කියලා කියන්න පුළුවන්. නමුත් ඇත්ත නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමයි. ඉතින් ඒ නිසා මේකට කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ. 2015 දී මෛත්‍රි මහත්තයාගේ ජයග්‍රහණයට ප්‍රධානම හේතුව කලින් දවසේ ආප්ප කාලා. මාසයක් ඇතුළත දී වැඩේ කිරීම. අවුරුද්දක් විතර කල් ගත වුණා නම් ඔය ප්‍රතිඵලය එයිද? ඒ නිසා ඔය වැඩේ අපට භාරදෙන්න. අපේ රටේ ජනතාව අපි ගැන විශ්වාසයක් තියලා තියෙනවා. ඒ විශ්වාසය උඩ අපි වැඩ කරනවා. රට යන මේ අරාජික ගමන කරන්න ඒ අවස්ථාවේදී සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන්, අපේ කණ්ඩායමේ එකඟතාවයෙන් සිද්ධ වෙයි.  


ප්‍රශ්නය:- හුඟාක් දෙනෙක් කතා කරන ගෝඨාභය රාජපක්ෂ ගැන ඔබ කතා කළේ නෑ?  


පිළිතුර:- එහෙම නොවෙයි. එක එක්කෙනාට එක එක අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකේ තර්කයකුත් නෑ ප්‍රශ්නයකුත් නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සුදුස්සෙක් වෙන්න පුළුවන්. හුඟ දෙනෙක් කතා කරනවා මම දන්නවා. කවුරු වුණත් අපේ අපේක්ෂකයා අපි ජයග්‍රහණය කරනවා. ඒ අපේක්ෂකයා තීරණය කිරීමේ පූර්ණ අයිතිය රටේ ජනතාව ආදරය කරන ජනතාව අදත් ඉල්ලන මහින්ද රාජපක්ෂ මැතිතුමාට. එතුමා පරාද වුණ දවසේ රටම මළගෙයක් වගේ. බස් අරගෙන එතුමව බලන්න මැදමුලනට ගිය හැටි මතකද? එදා සමහරු කිව්වා ‘පොඩ්ඩක් ඉන්නකෝ... අපේ යහපාලනය ආවම වැඩ කරගෙන යනකොට වෙනස මොකක්ද කියලා පෙන්වන්නම් කියලා. නමුත් මැදමුලනට බස් අරගෙන ගිය ජනතාව නිවැරැදියි කියලා මේ යහපාලන ආණ්ඩුව පත්වෙලා කිරනවා.  


ප්‍රශ්නය:- ඇමැති චම්පික රණවක කියනවා ‘ඔබලාට රාජපක්ෂ කල්ලියෙන් පිට එකෙක් හොයාගන්න බැරි වෙලා’ කියලා?  


පිළිතුර:- ඒක අපේ ප්‍රශ්නයක්නේ. චම්පිකටත් අදහසක් තියෙනවා කියලා කියනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. එහෙම සුරංගනා කතා කියනවා. එහෙම සිහිනවල ඉන්න අය කියන කතා ගැන අපි වැඩිය කලබල වෙන්න අවශ්‍ය නෑ. එහෙම භීතයක් දැනෙන එක සාධාරණයි. ගෝඨා ආවොත් මට ඇවිත් නැහැවෙයි කියලා හිතෙන එක සාධාරණයි.  


ප්‍රශ්නය:- රටට ශාපයක් වූ බව කියන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කදිම අවස්ථාවක් ජවිපෙ ලබා දුන්නා. නමුත් ඔබලා එය පාවා දුන්නා?  


පිළිතුර:- පට්ටපල් බොරුවක්නේ. රටක ව්‍යවස්ථාව කෑලි කෑලි සංශෝධනය කරන්නේ කොහොමද? මේ අයම නේද කිව්වේ 18 වතාවක් මේක සංශෝධනය කරලා තියෙනවා, මේ 19 වැනි වතාවටයි සංශෝධනය කරන්නේ. ලෝකයේ කොහේද එහෙම වෙලා තියෙන්නේ කියලා. මම එතැනදී තර්කයක් ගෙනාවා ඉන්දියාවේ 157 වතාවක් ව්‍යවස්ථාව සංශෝධනය කරලා තියෙනවා. මොකටද මේ කෑලි කෑලි ගේන්නේ? කාගේ උවමනාවක් ද මේ. ජනාධිපති විතරක් වෙනස් කරන්න? පිස්සු? සමස්තයමනේ වෙනස් කරන්න ඕනෑ. මේක මේ කාගෙ හරි පගාවකට? එන්ජීඕකාරයන්ගේ උවමනාවකට. එක්කෝ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ උවමනාවකට කරන කොන්ත්‍රාත් එකක් නේ මේ.  


ප්‍රශ්නය:- ඔබලාට තිබුණේ යෝජනා ඉදිරිපත් කරලා මේක හරි විදියට කරගන්න?  


පිළිතුර:- මෙහෙමනේ. 13 වැනි සංශෝධනය ඉදිරිපත් කරපු වෙලාවේ කණ්ඩායමක් ගියා උසාවි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමා සමග 9 දෙනාම වාඩි වුණා. රටේ වැදගත්ම තීන්දුවක් දෙන්න යන්නේ. හතර දෙනෙක් විරුද්ධ වුණා. හතර දෙනෙක් එකඟ වුණා. පස් වැනි එක්කෙනා අත්සන් කළා. එහෙම අත්සන් කළේ කොන්දේසියක් දාලා. රට කෑලි 9 කට කැඩීම වැළැක්විය හැකි එකම මෙවලම විධායක ජනාධිපති ධුරය තිබීමයි. එය මෙහි තිබෙන නිසා මම මෙයට අත්සන් කරනවා කියලයි අත්සන් කළේ. ඒක ඔප්පු වුණා. උතුරේ හිටපු මහ ඇමැති ඊළාම් කොඩිය ඉස්සුවාම විධායකය තිබුණු නිසා ඒක හරි ගියෙ නැහැ. ඉතින් ඕකට යෝජනා ගෙනල්ලා පැලැස්තර අලවලා හරියන්නේ නැහැ. පිස්සු කතානේ මේ. මේ රටේ මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ විධායක බලය නිසාද? මේ රටේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ පරිපාලනයක් කරගන්න බැරි, අහසයි පො​ෙළාවයි එක් කරන්න පුළුවන් වුණත් එකට එකතු කරන්න බැරි දේශපාලන ප්‍රවාහයන් දෙකක් එකතු කරලා මහා බොරුවක් කරලා ගත්ත දේශපාලන බලයයි අද රට විනාශ කරන්නේ?  


ප්‍රශ්නය:- වෙසක් පෝයවල් කිහිපයක් ගෙවිලා ගියා. ඒත් තවම ආණ්ඩුව තියෙනවා?  


පිළිතුර:- එහෙම තියෙනවා කිව්වට ලබන වෙසක් පෝය එනතුරු නම් මේ ආණ්ඩුවව තියෙන්නේ නෑ කියන එ්කනම් ස්ථීරයි.

 

 

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්