මේ එල්ල වෙලා තියෙන චෝදනා සැහැල්ලුවෙන් සලකන්න බෑ


මහ බැංකු බැඳුම්කර සිදුවීම තීරණාත්මක තැනකට පැමිණ ඇති මොහොතක කාලීන දේශපාලනය පිළිබඳ මේ සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සමඟයි. 


මහබැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ආවා. ජනාධිපති ඒ පිළිබඳ ප්‍රකාශයකුත් කළා. රටම බලාගෙන ඉන්නේ ඒ දිහා. කෝප් කමිටුව හරහා ඔබලත් මේ ගැන පරික්ෂණ කළා. දැන් මොකද කියන්නේ? 
කෝප් කමිටුවෙන් අපි ඉදිරිපත් කරපු කරුණුම තවදුරටත් තහවුරු කරල ඉදිරිපත් කිරීමක් තමයි සිද්ධවෙලා තියෙන්නේ. 


කෝප් කමිටු වාර්තාවෙන් අපි පැහැදිලිවම කිව්වා අර්ජුන් මහේන්ද්‍රන් මේකට වගකියන්න ඕනෑ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලාභ ලබාගෙන තියෙනවා. ඒවා රජයට අයකරගත යුතුයි කියලා. අපි ඒ කියපු කාරණා ටිකම තමයි මේ වාර්තාවෙනුත් තහවුරු කරලා තියෙන්නේ. 


 හැබැයි අපි දැන් කියන්නේ මේක වාර්තාවලින් විතරක් ප්‍රතිඵලයක් නෑ. මේ වාර්තාවෙ ප්‍රතිඵලයන් තියෙන්නේ මේ ගනුදෙනුවෙන් රටට වෙච්ච අලාභය අදාළ අයගෙන් අයකර ගැනීමෙන් තමයි. එහෙම නැතිවුණොත් මේකත් තවත් පොතක් විතරයි. මේකට සම්බන්ධ අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනෑ. 

 


එහෙම වෙයි කියලා ෂුවර් එකක් තියෙනවද? 
ඒ විශ්වාසය තමයි රටට තහවුරු කරන්න ඕනෑ. ඒ වගකීම තියෙන්නේ රජයට. ජනාධිපති කොමිසම පත්කරපු ජනාධිපතිට මේ ගැන වගකීමක් තියෙනවා. රටේ ජනතාවට තියෙන හැඟීම තමයි ඔය වගේ විවිධ කොමිෂන් දාලා වාර්තා අරගෙන ඊට පස්​ේස එතනින් ඒවා යටපත් වෙනවා කියන එක. මේ ආණ්ඩුවටත් තියෙන විවේචනය තමයි හොරු ආරක්ෂා කරනවා කියන එක. 


 දැන් මේ වාර්තාවෙන් බරපතළ කාරණා කීපයක් අනාවරණය වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මේකට අවිධිමත් විදියට මැදිහත් වෙලා තියෙනවා. රවි කරුණානායක මේකට සෘජුවම මැදිහත්වෙලා තියෙනවා කියලා මේකෙන් හෙළිවෙලා තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස්ලට එල්ල වෙලා තියෙන චෝදනා සැහැල්ලුවට සලකන්න බෑ. ඒ චෝදනා තහවුරුවෙලා තියෙනවා. සාමාන්‍ය මිනිහෙක් පුංචි හොරකමක් කළාම මොකද වෙන්නේ? ඒවට වාර්තා ඕන නෑ. පැමිණිල්ලට දඬුවම් ලැබෙනවා. අපි කියන්නේ මේ මහ බැංකු බැඳුම්කර හොරකමට සම්බන්ධ අයටත් ඉක්මනට දඬුවම් ලැබිය යුතුයි. 


දැන් තියෙන ප්‍රශ්​ෙන තමයි මේ අය මේ උපයා ගත්තු සල්ලි දැනටමත් රටින් පිටකරලද කියන එක. මේ පුද්ගලයො හෙට අනිද්දා රටින් පිටවෙන්න පුළුවන්. මේ අය දැනටමත් රටින් පැනලා වෙන්නත් පුළුවන්. මේ අයගේ පාස්පෝට් අත්හිටුවන්න ඕනැ. මේ සිදුවීම සම්බන්ධයෙන් කරළියට ආපු නම්වලට අමතරව මහ බැංකුවෙ තවත් නිලධාරින් ඉන්න පුළුවන්. ඒක නිසා මේක ඉක්මනට පාර්ලිමේන්තුවට දාලා මේ ගැන සාකච්ඡා කරලා මේ වාර්තා රටට හෙළිදරවු කරලා ගන්න ඕන නිශ්චිත ක්‍රියාමාර්ග ප්‍රමාණයක් තියෙනවා. 


 දැන් කට්ටියම ජනාධිපතිගෙ ප්‍රකාශයට හුරේ දදා ඉන්නවා. ඒ අතරෙ හොරු මාරුවෙන්න බැරි නෑ. 


ඒකට වැට බඳින්න ඕනෑ. මේක හුරේ දාන්න දෙයක් නෑ. ජනාධිපති අමුතු මැජික් එකක් පෙන්නුවෙ නෑ. ඒක තමයි රටේ නායකයාගේ වගකීම. මේ දේ කෙරුවෙ නැත්නම් ජනාධිපතිගෙ වගකීම පැහැරහැරියා වෙනවා. මේ පිළිබඳ හදිසි පාර්ලිමේන්තු කැඳවීමක් අවශ්‍යයි. අධිකරණ ක්‍රියාවලිය ඉක්මන් කළ යුතුයි. 

 


මේ සම්බන්ධව කෝප් කමිටුවෙ වගකීම මෙතැනින් ඉවරද? 
 ඉතාම හොඳ කාරණයක් ඒක. මම කෝප් කමිටුවට මහ බැංකුව කැඳවන්නේ නැතුව හිටියොත් ජනාධිපති විමර්ශන ක්‍රමවේදයක් යන අතරේ මේකට අපි මහබැංකුව කැඳවල ප්‍රශ්න කරපු එක හරි නෑනේ. ඒත් ඕනෑම වෙලාවක මහ බැංකුව පාර්ලිමේන්තුව හමුවට කැඳවන්න කෝප් කමිටුවට පුළුවන්. දැන් කෝප් කමිටුවෙන් ඉදිරිපත් කළ වාර්තාවේ නිගමන පිළිබඳව මහ බැංකුව ගන්න ක්‍රියාමාර්ග මොනවද ජනාධිපති කොමිසමෙන් තහවුරු කරපු නිගමන ගැන මහ බැංකුව ගත්ත ක්‍රියාමාර්ග මොනවාද කියලා පාර්ලිමේන්තුවට ඔවුන් කියන්න ඕනෑ. ඒක කරන්න වෙන්​ෙන් කෝප් කමිටුව හරහා. ඒක නිසා කෝප් කමිටුව ඉතාම නුදුරු දිනෙක මහ බැංකුව කෝප් කමිටුව ඉදිරියට කැඳවනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය කැඳවන්න ඕනෑ. ඉතාම ඉක්මනින් මේ වාර්තාව සාක්ෂි සටහන් සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ වගකීම තියෙන්​ෙන් ජනාධිපතිවරයාගේ අතේ. 

 


මේ වාර්තාව ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ඉල්ලුවා. ඒක ලැබුණොත් මොකද කරන්නේ? 
ලැබුණොත් නෙවෙයි ලැබෙන්න ඕනෑ. තොරතුරු දැනගැනීමේ අයිතිය හැම අමාත්‍යාංශයකටම අදාළයි. මුදල් අමාත්‍යාංශටත් ඒක එහෙමයි. දැන් මේ තොරතුරු නොදී ඉන්න බෑ. මේ තොරතුරු ලබාගත්ත පළවෙනි මොහො​ෙතම අපි කරන්නේ ඒවා හෙළිදරවු කරන එක. 

 


 ඔබ කිව්වා මහ බැංකුව කෝප් කමිටුව ඉදිරියට කැඳවනවා කියලා. එහෙම කරන්නේ මේ සිදුවීම යටගහන්න මරාගෙන මැරෙන ගේමක් දුන්නු කෝප් කමිටු සාමාජිකයොත් කෝප් කමිටුවෙ තවදුරටත් ඉදිද්දීමද? 
ඇත්තටම මේ ගැන දැන් රටට හෙළිදරව් වෙච්ච වාර්තාවලින් තහවුරු වෙච්ච කරුණුයි එක්ක ගත්තම මේක යටගහන්න කටයුතු කළ අයට රෙද්දක් ඇඳගෙන කෝප් කමිටුවේ ඉන්න බෑ. සදාචාරයක් තියෙනවා නම් මේ අය කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඉන්නව නම් ඒක ඒ අයගෙ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ අය දැන් තීරණයක් ගන්න ඕනැ මේ සා විශාල කොල්ලයක් කරපු පිරිසක් ආරක්ෂා කරන්න කටයුතු කරපු අය තමන්ගේ මහජන නියෝජිතයො විදියට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු එවපු ජනතාවත් මේ අය ගැන ඉදිරියේදී තීන්දු ගන්න ඕනෑ. 

 


ඡන්දයක් කටේ මේ වගේ දෙයක් සිදුවීමෙන් ජනාධිපතිතුමා වීරයා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාසියක් ගන්න උත්සාහ කරයිද? 
මේකෙන් කවුරුවත් වාසි ගන්න ඕනැ නෑ. මේක ජනාධිපතිතුමා​ෙග් වීර ක්‍රියාවකුත් නෙවෙයි. ඒක ජනාධිපතිතුමාගේ වගකීම. මේක හොරකමක්. වෙන ජයග්‍රාහී වැඩක් හෝ රටට කීර්තියක් ගෙනාපු වැඩක් නෙවෙයි. අපි මේවා ගැන හෙව්වෙ නැත්නම් අපේ පාර්ලිමේන්තු සාමාජිකත්වයෙන් වැඩක් නෑ. මේකෙන් කවුරු හරි දේශපාලන වාසියක් ගන්නව නම් ඒක බංකොළොත් දේශපාලකයින්ගේ වැඩක්. මේ ආණ්ඩුව ආවේ පහුගිය ආණ්ඩුවේ හොරු අල්ලනවා කියලා. එහෙම ආපු අය හොරකම් කරලා ඒවා හෙළිදරව් වෙද්දී ජනාධිපතිතුමා වීරයෙක් වෙන්නේ කොහොමද? මේ පක්ෂ දෙකම එකට තියලා පරාජය කරන්න ඕනැ. පක්ෂ දෙකේම ඉන්නෙ හොරු කියලා දැන් දෙ​ගොල්ලොම සැරින් සැරේට ඔප්පු කරලා ඉවරයි. යූඑන්පීය ආවම ආර්ථිකය හදන්න පුළුවන්, ඒකේ ඉන්​ෙන් ආර්ථික ඔස්තාද්ලා කියලනේ කිව්වේ. දැන් මොකද කියන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයට කිව්​ෙව් මිස්ටර් ක්ලීන් කියලා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? 


ජනතාවට දැන් තීන්දුවක් ගන්න පුළුවන් මේ පක්ෂ දෙක ගැනම. ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයේදී රටේ ජනතාව මේ දේවල් ගැන බුද්ධිමත්ව තීන්දු ගනීවි කියලා අපි විශ්වාස කරනවා. 

ප්‍රියන්ත කොඩිප්පිලි