මේ ආපු දේශපාලන ගමන්මග පුපුරුවා හැරීමට දැන් කාලය ඇවිත්


කාලීන දේශපාලනය පිළිබඳ මේ සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමඟයි.  


ගොඩක් දේශපාලන මාතෘකා යට ගිහින් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා සැඟවුණු අමුත්තා තෝරන තරගයක. ඒ නිසාම ජේ.වී.පී. එක ගෙනාපු විසිවෙනි සංශෝධනය විසිවෙලාම යයි ද?  


අපි විශ්වාස කරන්නේ නෑ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට යළිත් ජනාධිපතිවරණයක් මේ රටේ පවත්වන්න සාදාචාරාත්මක අයිතියක් තියෙනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවෙ වාඩිවෙන්නෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන පොරොන්දුව රට හමුවේ කියමින්. එත් ඒ අය ඒක දැන් නොසලකා හරිමින් තියෙනවා. ඒක නිසා තමයි අපි විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. දැන් ඒක ගැසට් කරලා තියෙනවා. අපි ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උපරිම උත්සාහයක් ගන්නවා.  


දැන් ඔය ජනාධිපති අපේක්ෂක කතාව කරළියට ඇවිත් ඔය කතාව කියන දේශපාලන කඳවුරු අතරෙ ප්‍රශ්න පැන නැගිලා තියෙන නිසා. ඔවුන්ට ඒවා බේරගන්න මොනව හරි කියන්න වෙනවා. ඔවුන්ට පළමු කොටම අවශ්‍ය වෙලා තියෙන්නේ මේක ජනතාව එක්ක බේරගන්න නෙවෙයි. තමන්ගේ කඳවුර ඇතුළෙ නාමයෝජනාව සකස් කර ගැනීමයි ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක ජනාධිපතිවරණය ඉලක්ක කරගත්තු දේකට වඩා තම කඳවුරේ අභ්‍යන්තර අවුල් ලිහාගන්න කරන වැඩක්.  


මේක ඇතුළෙ විස්ස විසිවෙන්න බැරි නෑ.....?  


ලෝකයේ රටවල් පාලනය වෙන ක්‍රම දෙකක් තියෙනවා. ජනාධිපති කේන්ද්‍ර කරගත් පාලනයක් සහ පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලනයක්. මේ දෙකේම අඩුවැඩි වශයෙන් හොඳ නරක අඩංගුයි. 1977 සිට 2018 දක්වා අවුරුදු හතළිහක් විධායක ජනාධිපති ක්‍රමය කියන පාලන ක්‍රමවේදය ඇතුළෙ අපි ගමන් කරනවා. අවුරුදු හතළිහකින් පසුවත් අපිට පේනවා සමාජ දේශපාලන, ආර්ථික ඇතුළු හැම ක්ෂේත්‍රයකම සිදුවෙලා තියෙන පරිහානිය. ඒකෙන් ඔප්පු වෙනවා මේ ක්‍රමය අපේ රටට කිසිසේත් ගැළපෙන්නේ නෑ කියලා. ඒකනිසා අපේ යෝජනාව පාර්ලිමේන්තු කේන්ද්‍රගත පාලන ක්‍රමවේදයකට අපි මාරු විය යුතුයි කියන එක තමයි අපේ යෝජනාව.  


අපේ රටේ විධායක ජනාධිපති ධුරය හොබවපු හැම කෙනාටම අත්වෙච්ච ඉරණම දැක්කම ඔප්පු වෙනවා එවැනි තනතුරක් උසුලන්න ඒ හැමදෙනාම පාහේ සංස්කෘතිකමය වශයෙන් දියුණු නෑ කියලා. ඒකයි අපේ යෝජනාව පාර්ලිමේන්තුව කේන්ද්‍රකරගත් පාලනයකට යායුතුයි කියලා. එ්ක අපි විතරක් නෙවෙයි වාර ගණනාවක දී රටේ ජනතාව අනුමත කරලා තියෙනවා. අපි දැන් මේ ගත්තු ප්‍රවේශය ආපස්සට හරවන්න අපි ඉඩ දෙන්නෙ නෑ.  


• මේ වෙද්දී ජනාධිපති සටනේ නම් කීපයක් අපිට අැහෙනවා. මේ කියැවෙන නම් ජනාධිපති සටනට ආවොත් ජවිපෙ මොකද කරන්නේ?  


අපි කිසිසේත්ම විශ්‍වාස කරන්නේ නෑ මේ තනි තනි පුද්ගලයන්ට මහා හාස්කම් කරන්න පුළුවන් කියලා. අපේ රටේ ඇති වී තිබෙන සමාජ දේශපාලන, ආර්ථික අර්බුදය හුදු පුද්ගල වෙනසකින් පරිවර්තනය වේවි කියලා අපි හිතන්නේ නෑ. අපට අද අවශ්‍ය වෙලා තියෙනවා 70 වසරක් ගමන් කරමින් තියෙන මාවත පුපුරුවා හරින්න.  


එ් වෙනුවට නවතම දේශපාලන මාවතක අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. ඒනිසා යම් ව්‍යාපාරිකයෙකුට හෝ යම් නිලධාරියෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුට හෝ මේ දේශපාලන ගමන් මගේම තව පියවරක් යනවා හැරුණුකොට මේ ගමන් කරමින් තිබෙන මාවත පුපුරවා හැරීමට ඔවුන්ට කිසිම හැකියාවක් නෑ. ඒක නිසා ඔය නම් කියවෙන කවුරු මොන ආකාරයට ආවත් ඒකෙන් රටට ප්‍රතිඵලයක් ලැබේවි කියලා හිතන්න බෑ.  
ඉතිහාසය පුරාම අපි දැක්කා මේ වගේ වෙලාවල්වල විවිධ මුහුණු එළියට එනවා. 77 ජේ.ආර්. ජයවර්ධන ආවේ ධර්මිෂ්ඨ සමාජයක් කියාගෙන. විවිධ සංකල්ප එක්ක අපේ අවුරුදු දහයක් රට පාලනය කරලත් ඔහු අසමත් පාලකයෙක් කියල පෙන්නුවා.  


ඊට පස්සේ රණසිංහ ප්‍රේමදාස ආවා දුප්පතාගේ හිතවතා ස්වරූපයෙන්. එයා ඇවිත් වසර කීපයක් රට පාලනය කළා. ඒකත් අසාර්ථකයි. ඊට පස්සේ නව මුහුණුවරක් කියලා 94 චන්ද්‍රිකා එනවා. අවුරුදු දහයකට විතර පස්සේ එයත් අසාර්ථකයි කියලා පෙන්නුවා. එයත් කතා කරපු සංකල්ප එකක්වත් සාර්ථක කරගන්න බැරි වුණා.  


2005දී මහින්ද රාජපක්ෂ ආවේ ‘‘මම ගමේ මිනිහා’’ කියාගෙන. විවිධ කතන්දර කිව්වා. ඒත් අපි දකිනවා කරපු දේවල්. 2015 දී වෙනසක් කියලා ලොකු බලාපොරොත්තු රටට දීලා මෛත්‍රීපාල සිරිසේන එන්නේ. ඒත් ගෙවුණු අවුරුදු තුන තුළ ඔහුත් පෙන්නල තියෙනවා ඔහුම කතා කරපු යහ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය රටේ නෑ කියලා. හොරු අල්ලනවා කියලා ආපු ආණ්‍ඩුව ඊට වඩා හොරකම් කරලා රට වට්ටලා තියෙන්නේ.  


තවත් කවුරු හරි මේ වගේම දේවල් ටිකක් කියාගෙන එයි. ඒ අයටත් ඒ ඉරණමම තමයි. මේ ක්‍රමය ඇතුළෙ වෙන දෙයක් නෑ. ඒකත් අර පරණ කතාවෙම දිගුවක් වෙන එක වළක්වන්න බෑ.  


ඒක නිසා රටේ ජනතාව ගෙන් අපි ඉල්ලන්නේ මේ ආපු දේශපාලන ගමන් මග පුපුරුවා හැරීමට දැන් කාලය ඇවිත්! ඒකට සූදානම් වෙන්න කියලා. ඇත්තටම දැන් මේ පාරත් වෙනස් කරන්න ඕන. බස් එකත් වෙනස් කරන්න ඕන. වැරදි බස් එකට තමයි අවුරුදු 70ක් තිස්සේ නැගලා තියෙන්නේ.  

 

  • වංචා දූෂණවලට හවුල් වෙච්ච අය කරන්නම දෙයක් නැති වුණාම කරන දේ තමයි අපිත් ඔවුන්ගේ ගොඩට දා ගන්න උත්සාහ කිරීම. වංචාවල යෙදෙන අයට එහෙම නොකරන අය තමයි ප්‍රධාන අභියෝගය. එදා පාර්ලිමේන්තුවෙ විවාදය බැලුව නම් තේරෙන්න ඇති ඒකෙදි වැඩිම ප්‍රහාරය එල්ල වුණේ ජනතා විමුක්ති පෙරමුණට.


• ජවිපෙ වටා එකතු වුණු විවිධ බලවේග එකතුවෙන් පහුගියදා පැවැත්වුණු සමුළුවට යහපත් ජනතා ප්‍රතිචාරයක් ලැබුණද?  


පැහැදිලිවම ඔව්. ඒ ගැන සතුටු විය හැකි මට්ටමේ ජනතා ප්‍රතිචාරයක් ලැබුණු බව කියන්න ඕන. ජනතාව ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි තියපු විශ්වාසය ගැන හොඳ ඉඟියක් ඒ සමුළුව හරහාත් ලැබුණා. ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට කියලා ජනතාව දන්නවා. ඒත් රට පාලනය කරන්න පුළුවන් තැනක අපි ඉන්නවා කියලා ජනතාවට තහවුරු වෙලා නෑ. ඒනිසා දැන් තියෙන අභියෝගය තමයි මේ රටට සිදුවෙලා තියෙන විනාශයෙන් රට මුදාගෙන රට ගොඩනැගිය හැකියි කියන දේ ජනතාව ඉදිරියේ තහවුරු කිරීම.  


ඒ සඳහා වූ මුල් පියවරක් තමයි මහරගම දී අපි පහුගිය දා කිව්වේ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකට රට ගොඩනගන්න බෑ කියලා ඔප්පු කරලා ඉවරයි. තවත් ඔවුන්ට තවත් අවස්ථාවක් දීලා බලමු කියලා ජනතාව හිතනවා නම් ඒක මහා මුළාවක්. දැන් එ්කට විකල්පය ජවිපෙ මූලික වූ ජනබලවේගය. අපි ජනතාවට ඒ බලවේගයේ ශක්තිය පෙන්නන්න ඕන. ජනතාව ඉදිරියේ ඒ විශ්වාසය තහවුරු කරන්න ඕන.  


• නිව්​ෙ‌යා්ක් ටයිම්ස් කතාව යට ගිහින් වගේ. ඔබලා කරුණු ඇතුව රාජපක්ෂලාගෙ වංචා හෙළි කරනවා කියලා මීට කලින් වගේම මේ ප්‍රශ්නයේදීත් කියනවා.  


එදා අපි මේ දේ ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කළා. තමන්ගේ දේශපාලනය වෙනුවෙන් විදේශීය සමාගම්වලින් මුදල් ලබාගැනීම වෙන රටක නම් තවත් ආන්දෝලනාත්මක තත්ත්වයක් වෙන්න පුළුවන්ද? ඒ පාලන කාලය තුළ රටේ කෙරුණු වැඩ රාජ්‍ය පාලනයට ලැබෙන පගාව මත නම් තීන්දු වුණේ‍ ඔහු කිසිසේත්ම රටට ජනතාවට වගකියපු පාලකයෙක් නෙවෙයි. ඔහු විදේශීය සමාගම්වල රූකඩයක් විදියට ක්‍රියාකරපු පාලකයෙක් බවට සැක නෑ.  


• මේ දේ වෙන රටක සිදු වුණා නම් කවර තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් ද?


 ඒත් ඒක මේ රටේ තවත් එක සිදුවීමක් බවට පත්වෙලා. වංචාව දූෂණය මොනතරම් ඉහවහා ගිහිල්ල ද කියලා ඒකෙන්ම පේනවා. ඒක නිසාම තමයි අපි උත්සාහ ගත්තේ සත්‍ය කරුණු ඉදිරිපත් කරන්න.  


නිව්​ෙ‌යා්ක් ටයිම්ස් පුවත්පතේ සාධක මතම නෙවෙයි අපේ තර්කය මෙතනදී ගොඩනැගෙන්නේ. අපේ තර්කය ගොඩනැගෙන්නේ අප ඉදිරියේ තියෙන සාධක මත. සාක්ෂි සහිතව මේ ගනුදෙනුවලට අදාළ තොරතුරු රාශියක් අප සතුව පවතිනවා.  


රටේ සෛවරීභාවය විදේශීය සමාගමකට විකිණීම බරපතළ කාරණයක්. ඒත් අපි එදා දැක්කා පාර්ලිමේන්තුවේදී මේ යෝජනාව ගෙනාපු එක්සත් ජාතික පක්ෂයට අඩුම තරමේ ඝනපූර්ණය පවත්වන්න බැරි වුණා. යූ.එන්.පී. එකේ එක කැබිනට් ඇමැතිවරයෙක් ඇරෙන්න වෙන කිසිම කැබිනට් ඇමැතිවරයෙක් මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළේ නෑ. හරි නම් මේ ගැන කතා කරන්න ඕන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා. ඒත් ඒ අය මේක මඟ ඇරියා. ඒකෙන් පේනවා මේ දෙගොල්ලො අතර තියෙන ඩීල් එක. මේ ගනුදෙනුව ඇතුළෙ කවුරු කවුරු විකිණිලා ද කියලා හොයල බලන්න ඕන.  


• ඒ විවාදයේ දී ඔබලටත් චෝදනා ආවා. එක එක ජාතියේ ඩීල් ගැන කියලා. මලික් සමරවික්‍රම එක්ක මොකක්ද මේ තියෙනවා කියන ඩීල් එක?  


වංචා දූෂණවලට හවුල් වෙච්ච අය කරන්නම දෙයක් නැති වුණාම කරන දේ තමයි අපිත් ඔවුන්ගේ ගොඩට දා ගන්න උත්සාහ කිරීම. වංචාවල යෙදෙන අයට එහෙම නොකරන අය තමයි ප්‍රධාන අභියෝගය. එදා පාර්ලිමේන්තුවෙ විවාදය බැලුව නම් තේරෙන්න ඇති ඒකෙදි වැඩිම ප්‍රහාරය එල්ල වුණේ ජනතා විමුක්ති පෙරමුණට. ඔවුන්ට ඕන අපිත් ඒ වගේ කියලා පෙන්නන්න. කිසිදු සාක්ෂියක් නැතුව අපිට බොරු අවලාද නගන විමල් වීරවංශගේ වංචා දූෂණ අපි නම් හෙළි කරලා තියෙන්නේ සාක්ෂි ඇතිව. අසූචි අැඟ පුරා ගාගෙන ඉන්න කෙනා කිසිම තර්කයක් පදනමක් සාක්ෂියක් නැතුව අපිට අවලාද ගැහුවට අපි සැලෙන්නේ නෑ.  


• එ් වෙලාවෙ ඔබ විමල් වීරවංශගෙ ඥාතීන් සම්බන්ධ කරලා කියපු දේවල් ඔබ විසින් නොකිව යුතුව තිබුණා කියලා සමහරු කිව්වා. ඇයි ඒ තැනට වැටුණේ.....  


මගේ කිසිම අරමුණක් තිබුණෙ නෑ ඔහුගේ ඥාතීන් මේකට ගාව ගන්න. ඔවුන්ට අපහාස කිරීමට වුවමනාවක් අපිට නෑ. ඒත් ඔහු මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියන එක ඔප්පු කරන්න මට ඕන වුණා. ඒ සඳහා මම සමහර කරුණු කිව්වා. ඒක කිසිසේත්ම ඔහුගේ ඥාතීන් අපහාසයට ලක්කිරීමක් නෙවෙයි. ඔහුගේ තැනට අපි නම් වැටෙන්නේ නෑ. අපි දැක්කා ඔහු පහුගිය කාලෙ පාර්ලිමේන්තුවෙ හැසිරුණු අවිනීත විලාසය.

 

 

 

 

සටහන : ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූප අන්තර්ජාලයෙනි.