මේ ආණ්ඩුව හොරු අල්ලන්නෙත් නෑ අල්ල ගන්නත් බෑ


බැඳුම්කර ගනුදෙනුව ඔස්සේ පෙළගැසුණු දේශපාලන සිදුවීම් පෙළ රටම කළඹා ඇති මොහොතක මේ ප්‍රශ්නය පිළිබඳ සෘජු මැදිහත්වීමක සිටි කෝප් කමිටු සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සමග කළ සාකච්ඡාවකි.

 

 බැඳුම්කර ගනුදෙනුව ගියපු දුරක්. කෝප් කමිටු සභාපතිතුමා මොකද කියන්නේ දැන්?  
මේක රවී කරුණානායකගේ පුද්ගලික ප්‍රශ්නෙකට වඩා මේ දේශපාලනයේ තියෙන ජරාජිර්ණත්වයට පත්වීම සහ ආණ්‍ඩුවේ අර්බුදය ප්‍රකාශයට පත්වීමක් හැටියට තමයි මම දකින්නේ. මොකද මේ ආණ්ඩුව බලයට එන්නේම දූෂණයට එරෙහිව යහපාලනය ගේනවා කියලා. එහෙම සටන් පාඨයකට තිබුණු ජනවරම තමයි අද මේ ඇමැතිවරු අල්ලස් ගන්න තැනට පත්වෙලා, ඒවා හෙළිදරවු වෙලා ඉල්ලා අස්වෙන තැනට ඇවිත් තියෙන්නේ. එක පැත්තකින් ආසියාවේ හොඳම මුදල් ඇමැති කියලා සම්මාන ලැබෙද්දී අනෙක් පැත්තෙන් තිබුණු ඇමැතිකම මාරු කරලත් කරපු ගනුදෙනු බේරගන්න බැරි මට්ටමට ඒම සුළුවෙන් තකන්න බෑ. ඒක ලොකු අර්බුදයක්.  
මේ ආණ්ඩුවේ අද සංයුතියේ ස්වභාවය බවට පත්වෙලා තියෙන්නෙම හොරු අල්ලනවා වෙනුවට හොරු රකිමින් තව තවත් හොරකම් කිරීම. ජනවරමට අනුව මේ ආණ්ඩුව කටයුතු කළා නම් 2015 පෙබරවාරි මාසෙ විතර මහ බැංකුව ඇතුළේ මහ දවල් මේ වගේ කොල්ලයක් සිද්ධ කරන්න ඉඩක් ලැබෙන්නේ නෑනේ.  


කෝප් කමිටුව හරහා අපි මේ ගැන අනාවරණය කරගත් තොරතුරුවලට අනුවත් පැහැදිලි වෙනවා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා ඔහුගේ බෑනාගේ සමාගමයි අතර තිබුණු සමීපතාවයේ ස්වභාවය. අපේ විෂය පථයට අහුවුණේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවනේ. ඒක ඇතුළේ අල්ලස් ගනුදෙනු ගැන අපිට හොයන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඒත් දැන් ජනාධිපති කොමිසමට මේක යන්නේ සහ ඒ සඳහා පසුබිම හැදෙන්නේ කෝප් වාර්තාව හරහා. කෝප් කමිටුව හරහා අපි මේ තරම් දුර මේක ගෙනාවෙ නැත්නම් රවී කරුණානායකගේ සිදුවීම මේ විදියට අනාවරණය නොවෙන්න තිබුණා. මේ සිදුවීමේ දී රවී එක චරිතයක් පමණයි. තවත් චරිත ගණනාවක් ඉන්නවා.  

 


 රවී කරුණානායකගේ මේ සිදුවීම මේ විදියට ඇදෙයි කියලා ඔබලට අනුමානයක්වත් තිබුණේ නැද්ද කෝප් කමිටු වාර්තාව ගැන බලද්දී?  
දැන් මේ ගැන හිතද්දී තමයි ඒ සම්බන්ධතා ගැන සැක සංකා මතු වෙන්නේ. මේ රවී කරුණානායකගේ සිදුවීමෙන් පස්සේ මම ඒ ගැන ආපහු කල්පනා කළා. බැඳුම්කර සාකච්ඡාව යන අතරේ කෝප් කමිටුවේ ඉඳපු වේලුකුමාර් මන්ත්‍රීවරයා හදිසියේ ඉල්ලා අස්වෙලා ඒ තැනට සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා පැමිණීම ගැන දැන් මම කල්පනා කරනවා. වාර්තාව හදනකොට අපි ප්‍රශ්න ගොඩකට මුහුණදුන්නා. මේවා පිටිපස්සෙ වුණත් කළුසල්ලි කැරකෙන්න පුළුවන්.  

 


 ඔය කියන්නේ ෆුට්නෝට් කල්ලිය ගැනත් සැකයි කියලනේ?  
මම එහෙම නිශ්චිතව නම් කරන්නේ නෑ. මම එහෙම කියන්නේ මට එ්ක තහවුරු කරන්න බැරි නිසා. ඔවුන්ට ෆුට්නෝට් වැනි ආයතනයක් යොදාගන්න සිද්ධවීම ගැන නැවත හිතන්න පුළුවන්. මොකද අද මේ ගනුදෙනුව ආණ්ඩුවක ඉරණම තීන්දු වෙන එකක් බවට පත්වෙලා තියෙනවා. ඇයි එහෙම වුණේ කියලයි අපි කල්පනා කරන්න ඕනෑ.  

 


 දැන් රවී කරුණානායක දන්නෙ නෑ කියලා හරි ප්‍රකාශ කිරීම හරහා ඔප්පු වෙනවා මේක ඇතුළෙ කළු සල්ලි එහෙ මෙහෙ වුණා කියලා. රවී වගේ මේ ගැන නොකියන තව කී දෙනෙක් ඇද්ද?  


 දැන් බැඳුම්කර ගනුදෙනුව යට ගිහින් රවී කරුණානායක උඩට ඇවිත් මේක වෙනම පැත්තකට තල්ලු වෙයිද?  
එහෙම වෙන එකක් නෑ. මේක හරියට පොලිසියෙන් මිනීමැරුමක් ගැන හොයන්න යනකොට ඒ අහල පහළ ගෙදරක වෙච්ච ස්ත්‍රී දූෂණයකුත් අහුවෙනවා වගේ වැඩක්. ස්ත්‍රී දූෂණය ගැන හොයන්න ගිහින් පොලිසියට මිනිමැරුම අමතක කරන්න බෑ. දෙකම හොයන්න ඕනෑ.  


 දැන් එතකොට රාජපක්ෂ හොරු අල්ලනවා කියන එකට මොකක් වෙයිද?  
ඒක තමයි මේ ආණ්ඩුවට තියෙන අභියෝගය. එයාර්පෝට් වහලා හොරු අල්ලනවා කියලා ආපු ආණ්ඩුව පහුගිය ආණ්‍ඩුවේ හිටපු හොරු ටිකත් ආණ්ඩුවට එකතු කරගෙන ඇමැතිකම් පවාදුන්නා. අද යූ.එන්.පී. මන්ත්‍රීවරුන්ට කියන්න සිද්ධවෙලා තියෙනවා මේ ආණ්‍ඩුව හොරු අල්ලන්නෙත් නෑ අල්ලගන්නත් බෑ කියලා.  

 


 දැන් මේකෙ වාසියත් ගන්න රාජපක්ෂලාගේ කණ්ඩායම උත්සාහ කරනවා කියලත් සමහරු කියනවා?  
ඒක තමයි ලෝක විහිළුව. ඒ හොරු දැන් මේ හොරුන්ගෙන් අහනවා කෝ හොරු ඇල්ලුවද කියලා. රාජපක්ෂලා හොරකම් කරපු තරමට මේ ආණ්‍ඩුවට හොරකම් කරන්න බෑ. මොකද රාජපක්ෂලා මේ අයට හොරකම් කරන්න දෙයක් ඉතුරු කරලා ගියේ නෑ. ඒක නිසා තමයි මේ අයට සිද්ධවෙලා තියෙන්නේ හම්බන්තොට වරාය විකුණලා ඒකෙන් හොරකම් කරන්න. බැඳුම්කර නිකුත් කරලා ඒකෙන් හොරකම් කරන්න.  

 


 ඔබ රවී කරුණානායකගෙ සිදුවීම මහා ලොකු දෙයක් හැටියට ගත්තට රාජිත සේනාරත්න ඇමැතිතුමා නම් කියන්නේ ඒක ලූණු බිකක් තරම් දෙයක්නෙ කියලා?  
මේ ගැන අහපු ලොකු විහිළු කතාව තමයි ඕක. එක අතකට මේක විහිළුවකටත් වඩා භයානක ප්‍රකාශයක් මේ ප්‍රකාශය. හොරකමටත් වඩා බරපතළයි. කැබිනට් ප්‍රකාශක කියද්දී මේක ලූණු බිකක් කියලා අපි එතුමගෙන් අහන්නේ එහෙනම් ලූණු ගෙඩිය කෝ කියලා. එයා ලූණු ගෙඩිය පෙන්නන්න ඕනෑ එයා පෙන්නන්නෙ නැත්නම් අපි හොයන්න ඕනෑ. ලූණු ගෙඩියේ රාජිත ඇමැතිතුමා කොච්චර ප්‍රමාණයක ඉන්නවද කියලත් හොයන්න ඕනෑ. රාජිත ඇමැතිතුමාගේ කතාවේ යටි අදහස තමයි ‘‘අපි කොහොමත් හොරු තමයි. ඒක නිසා මේ වගේ පොඩි පොඩි හොරකම් ගැන දඟලන්නෙ නැතුව ඉදපල්ලා’’ කියන එකනේ. මේක ජනතාවටයි කියන්නේ.  


මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුවේ හොරු අල්ලන්නෙ නෑ වගේම මේ ආණ්‍ඩුව හොරකම් කරන එක නතර කරන්නෙත් නෑ. ඒක නිසා හොරු ගැන හොයන්න කියලා නම් වැඩක් නෑ. දැන් ඕනැ හොරු අල්ලන ආණ්‍ඩු පිහිටුවන එක නෙවෙයි. අවශ්‍ය වෙලා තියෙන්නේ හොරු නැති ආණ්‍ඩු.  


 ආණ්ඩු හදන්න එහෙම අය රටේ ඉන්නවද?  
ඕනෑ තරම් ඉන්නවා. විවිධ ක්ෂේත්‍රවල පිරිසිදු චරිත ඉන්නවා. ඒ අයගෙ බලවේගයත් අවශ්‍යයි. ජනතාව මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ. හොරුන්ට ඡන්දෙ දී ඡන්දෙ දීලා පස්සෙ අපිට කියනවා හොරු ගැන කතා කරන්න. ඒවා ගැන මොනවා හරි කරන්න කියලා. අපි ජනතාවට කියනවා මැතිවරණවල දී හොරුන්ට ඡන්දෙ දීලා අපිට කියන්න එපා හොරු අල්ලන්න කියලා. හොරුන්ට ඡන්දෙ නොදී හිටියම ඉවරයි.  


 හොරුන්ගෙන් තොර දේශපාලන පක්ෂයකුත් එපැයැ ආණ්ඩුවක් හදන්න. කෝ එහෙම එකක්?  
ඇයි ජනතා විමුක්ති පෙරමුණ. අපිට තියෙන චෝදනාවක් කියන්නකෝ පුළුවන් නම්. අපි ඒක භාවිතාවෙන් ඉර ගහලා පෙන්නලා තියෙනවා. අනික් පක්ෂයි අපියි වෙනස් වෙන්නෙ කොහොමද කියලා. ඒක නිසා අපි ජනතාවට කියන්නේ හොරුන්ට ඡන්දෙ දීලා හොරු අල්ලන්න කියලා අපිට කියන්නෙ නැතුව හොරු නොවන පිරිසකට බලය දෙන්න කියලා. එතකොට වැඩේ ඉවරයිනේ.  

සාකච්ඡාව
ප්‍රියන්ත කොඩිප්පිලි