මේ ආණ්ඩුව සමහර තැන්වලදී හොඳටම පිස්සු කෙළිනවා


මහා මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා   

රටේ දේශපාලනයේ කුමක් වෙයිද? මේ ඒ නව පෙළගැසීම් සම්බන්ධයෙන් මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවකි.   

ප්‍රශ්නය: රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය අනිවාර්යය යැයි කියන ආණ්ඩුවම එ්ක අකුලාගෙන තියෙනවා.   


පිළිතුර: මං හිතන්නේ 20 වැනි සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවද නැද්ද කියන කාරණයට වඩා.... ඔව්! ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවා කියලා කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදය හැකි​ෙළනවා කියලා. නමුත් එතැනදී බලාපොරොත්තු වුණේ එකම දිනයක පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභාවල කාලය දීර්ඝ කිරීමයි. එතැන තර්කයක් විදියට විය යුතුව තිබුණේ එකම දිනයේ පළාත් සභා ඡන්දය පවත්වනවාට වඩා මේ රටේ ජනතාව හැමදාම ඉල්ලපු දෙයක් තමයි මනාප ඡන්ද ක්‍රමය වෙනුවට වෙනත් ඡන්ද ක්‍රමයක් ගේන්න කියපු එක. මේ වෙනකොට පළාත් පාලන ඡන්දය තියන්න යන්නේ මනාප ක්‍රමයට නොවෙයි. කොට්ඨාස ක්‍රමය හා අනුපාත ක්‍රමය මිශ්‍ර වූ ක්‍රමයකටයි. ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අතුරු වාර්තාවේ තියෙන්නෙත් ඒ ක්‍රමයටයි. එතකොට රජය කළ යුතුව තිබුණේ ඒ තේමාව මත තමයි මේක කරන්නේ කියන එක අධිකරණයට කීමයි. එහෙම කිව්වානම් අධිකරණයත් ජනමත විචාරණයක් අවශ්‍යයි කියන එක නැවත සිතා බලන්න ඉඩ තිබුණා.   


ප්‍රශ්නය: නමුත් ඇමැති රාජිත කිව්වේ මුලින්ම එන්නේ ජනමත විචාරණයක්. අපි ඒකට ලෑස්තයි කියලයි.   


පිළිතුර: ජනමත විචාරණයක් රාජිත ඇමැතිතුමා එනවා කිව්වේ මේකට නොවෙයි. එතුමාට ජනමත විචාරණයක් ඕනෑ කරලා තිබ්බේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒක සම්මත කර ගන්නයි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ජනමත විචාරණය තීන්දු කරලා තියෙන්නේ රාජිත ඇමැතිතුමා කියන එකට නොවෙයි.   


ප්‍රශ්නය: මොකකට වුණත් බය නැත්නම් ජනමත විචාරණයකට යන්න පුළුවන්.   


පිළිතුර: එහෙම වෙනසක් විසඳුමක් තියෙනවනේ. මොකද මෙතැනදි ජනමත විචාරණයක් අවශ්‍ය වෙලා තියෙන්නේ පළාත් සභාවල කාලය දීර්ඝ කරනවා නම් විතරයි. රාජිත ඇමැතිතුමා කියන්නේ අලුත් ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලයි.   


ප්‍රශ්නය: ඇමැති රාජිත කියන ඒ ජනමත විචාරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නෑ.   


පිළිතුර: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපිත් ​ෙත්‍රෙනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාත් බහුතර ජනතාවත් දැන් කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් නොවෙයි ඕනෑ ව්‍යවස්ථා සංශෝධනයක් කියලා. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. බලය බෙදීමට අවශ්‍ය යම් යම් සංශෝධන ගේන්න. හැබැයි විධායක ජනාධිපති ධුරය තියා ගන්න කියන කාරණය මහානායක ස්වාමීන් වහන්සේලාත් කියනවා.   


ප්‍රශ්නය: නමුත් ජනාධිපති මෛත්‍රී කිව්වේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලයි.   


පිළිතුර: නෑ, එතැන ඔබට වැරදුණා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති ඡන්දෙදි අපි හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක. මහින්ද ජනපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශනයේත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශනයේත් මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා තිබුණා. ලක්ෂ 119ක්ම කිව්වේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා. ඒ නිසා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අපි මූලිකත්වය දෙන්නම ඕනෑ. විධායක ජනාධිපති ක්‍රමය ගැන මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන්නේ නැති ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා කියන කාරණයයි. ඒ නිසා පැහැදිලිවම අපට කියන්න පුළුවන් කාරණය තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නෑ කියන කාරණය. මොකද විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා නම් ජනමත විචාරණයක් ඕනෑ.   


ප්‍රශ්නය: නමුත් සෝභිත හමුදුරුවන්ගේ අදාහන පූජෝත්සවයේදී විධාවක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන්නා.

පිළිතුර: ඔව්, එහෙම ප්‍රකාශයක් එතුමා කටින් කිව්වා. නමුත් එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ එහෙම සඳහනක් තිබුණේ නෑ.  

 

ප්‍රශ්නය: එතකොට අර ප්‍රතිඥාව?  

පිළිතුර: මෙහෙමයි. එතුමගේ පෞද්ගලික මතය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඉන්නේ ඒ මතයේ නොවෙයි.   


ප්‍රශ්නය: නායකයා එක මතකය. සාමාජිකයෝ තව මතයක.   

පිළිතුර: ඒක මෙහෙමනේ වෙන්නේ. අපි ඉන්න ස්ථාවරය තමයි විධායක ජනාධිපති ධුරයේ අන්තතෝමතික බලතල දැන් නැහැ. 19 වැනි සංශෝධනයෙන් පස්සේ මේ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ සීමිත බලතල සහිත විධායක ජනාධිපති ධුරයක්. ඒ නිසා අපි හිතනවා අර ජනතාවට එපා වෙච්ච, ජනතාව එපා කිව්ව අත්තනෝමතික ඒකාධිපති විධායක බලතල දැන් නෑ. තිබිච්ච බලතල වලට අනුව දික්කසාද නඩුවකවත් ජනාධිපතිව වගඋත්තරකරුවෙක් කරන්න බෑ. ශිරන්ති රාජපක්ෂ මැඩම්ට මහින්ද මහත්තයාව දික්කසාද කරන්න ඕනෑ වුණත් ඒක කරන්න බෑ. මොකද ශිරන්ති මැඩම්ට මහින්ද මහත්තයාව උසාවි ගෙනියන්න බෑ. නමුත් දැන් 19 වැනි සංශෝධනයෙන් පස්සේ ඒ අත්තනෝමතික ඒකාධිපති විධායක බලතල නෑ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද හිතනවා මහානායක ස්වාමීන් වහ්නසේලා අද කියන්නෙත් ඒකමයි. විධායක ජනාධිපති ක්‍රමය තියෙන්න ඕනෑ යම් ප්‍රමාණයකට. තව තවත් බලතල අඩු කරනවද කියන කාරණය අපම හිතලා බලන්න පුළුවන්. නමුත් රටේම ජනතාවගෙ සෘජු ඡන්ද බලයෙන් පත්වන ජනාධිපතිවරයෙක් ඉන්න ඕනෑ කියල තැනයි අපි ඉන්නේ.   


ප්‍රශ්නය: මේ මොහොත වනවිට ඔබ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ප්‍රහාර එල්ල කරනවා. ඔහුගේ ස්වාධීනත්වය ප්‍රශ්න කරනවා.  

පිළිතුර: මම දන්න විදියට ලංකාවේ බිහිවෙච්ච හොඳම මැතිවරණ කොමසාරිස්තුමා තමයි මහින්ද දේශප්‍රිය මහත්තයා. ඒකේ අවුලක් නෑ. අත් දෙකම ඔසොවලා ඕනෑම තැනක මම ඒක කියනවා.   


ප්‍රශ්නය: එහෙම නම් මොකක්ද තියෙන ප්‍රශ්නය: ඇයි එහෙනම් ඔහුගේ ස්වාධීනත්වය ප්‍රශ්න කරන්නේ.  

පිළිතුර: මම ඔහුගේ ස්වාධීනත්වය ප්‍රශ්න කරනවා කියන කාරණය ගත්තොත් මම එහෙම කරන්නේ ඔබ හිතන විදියට එක පක්ෂයකට පක්ෂපාතියි කියලා හිතලා නොවෙයි. නමුත් මුළු රටේම ජනතාව ලක්ෂ 119ක් එපා කියපු මනාප ඡන්ද ක්‍රමයට මං හිතනවා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පක්ෂපාතියි කියලා.   

 

ප්‍රශ්නය: ඇයි ඔබට එහෙම හිතෙන්නේ. ඡන්ද පවත්වන ක්‍රමය තීරණය කිරීමේ බලයක් ඔහුට නෑනේ. ඔහු කියන්නේ පිච් එක හදලා දුන්නොත් මැච් එක ගහන්නම් කියලයි.  

පිළිතුර: මම කියන්නේ ඒකයි. එතුමාට තීරණය කරන්න බෑනේ ඡන්ද ක්‍රමය මොකක්ද කියලා. ඒක තීරණය කරන්න ඕනෑ අපි. එතකොට අපි දැන් පිච් එක හදලා තියෙනවා. ඒ ඡන්ද ක්‍රමය මනාප ක්‍රමය නොවෙයි. පළාත් පාලන ඡන්දෙදි මනාප ක්‍රමය නෑ. ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයෙදී මනාප ක්‍රමය නෑ. ඉතින් එතුමා පළාත් පාලන ඡන්දෙට දින දැම්මා, ජනවාරි 6 කියලා. ඊට පස්සේ එතුමා කිව්වා මම දෙසැම්බර් 9 වැනිදාට පළාත් පාලන ඡන්දය තියන්න පුළුවන්කම තිබියදීත් මම ඒක නොතියා හිටියේ මනාප ක්‍රමයට පළාත් සභා ඡන්ද තුන තියන්න බලාගෙන කියලා. එතකොට ඕනෑම කෙනෙකුට තේරෙනවා එතුමා මනාප ඡන්ද ක්‍රමයට පක්ෂපාතියි වගේ, මනාප නැති ඡන්ද ක්‍රමයකට වඩා කියලා. එතුමා තමයි ලංකාවේ හිටපු හොඳම මැතිවරණ කොමසාරිස්තුමා. මීට වඩා හොඳ කෙනෙක් තවත් හම්බ වෙයිද දන්නෙත් නෑ. එතුමා කිසිම දේශපාලන පක්ෂයකට ගැතිකම් නොකරන කෙනෙක්. මම කිව්වේ එතුමාගේ ස්වාධීනත්වය පිළිබඳව එක මැතිවරණ ක්‍රමයකට එතුමා වැඩි කැමැත්තක් දක්වනවා වගේ. ඉතින් එතුමා පරිස්සම් වෙන්න ඕනෑ මේ වගේ ප්‍රශ්න මතු වුණයින් පස්සේ එතුමා වෙනුවෙන් උත්තර බඳින උදවිය බංකොලොත් රටේ ජනතාවට එපා වෙච්ච අය නොවන්න වගබලා ගන්න ඕනෑ.   

 

ප්‍රශ්නය: ඔබ කාටද ඒ චෝදනා කරන්නේ.

පිළිතුර: මෙහෙමනේ. සයිටම් ප්‍රශ්නය ගන්න. සයිටම් එක වෙනුවෙන් පෙනී ඉන්නේ කොන්දොස්තරලා ටිකක්නේ. ඒ කොන්දොස්තරලා දොස්තරලා වගේ පෙනී ඉන්නවා. කොන්දොස්තර කියනවා අපි තමයි සියල්ල දත් දොස්තරවරු කියලා. ඊළඟට තමාගේ රැකියාව හෙද වෘත්තිය. පිරිමි නර්ස් තමයි එයාගේ ‘අයිටම්’ එක. හැබැයි එයා පිරිමි නර්ස් කියන අයිටම් එක නොකර ඔහු හැම අයිටම් එක වෙනුවෙන්ම පෙනී ඉඳිමින් සයිටම් එක වෙනුවෙනුත් පෙනී ඉන්නවා. මේ අපි දැක්ක දේවල්. මේ නිසා අර දොස්තරලත් මේ කොන​්දොස්තරගේ ගානට වැටෙනවා. ඉතින් ඒ වගේම අපේ රටේ විශ්වවිද්‍යාලවල පැන්ෂන් ගිය සිකියුරිටිකාරයෝ හිතාගෙන ඉන්නවා උං මහාචාර්යවරු කියලා. උන් මේ විශ්වවිද්‍යාලවල ඉඳලා හොරකම් කරලා අහුවෙලා එළියට දාපු සිකියුරිටිකාරයෝ. එහෙම නැත්නම් ලිපිකාරයෝ. උන් විශ්වවිද්‍යාලයේ හිටපු නිසා උන් හිතනවා මහාචාර්යවරු කියලා. එහෙම හිතල උන් එනවා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ කාර්යභාරය කරන්න. ඉතින් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පරිස්සම් වෙන්න ඕනෑ මේ වගේ හොරකම් කරලා එළියට දාපු හිතේ පමණක් මවාගෙන ඉන්න මහාචාර්යවරුන් නොවන කිසියුරිටිකාරයන්ගෙන්.   

 

ප්‍රශ්නය: ඔබට බදුල්ලෙන් ඡන්දය ඉල්ලා දිනන්නත් බෑ කියලා ඔවුන් කියනවා.  

පිළිතුර: මේ කතා කරන්නේ මැතිවරණ ක්‍රමයක් ගැනයි. එතකොට ඒගොල්ලන්ට අමතකයි මම ඇවිල්ලා තියෙන්නේ ජාතික ලැයිස්තුවෙන් කියලා. හැබැයි මම ජාතික ලැයිස්තුවෙන් ඇවිත් තියෙන්නේ ඡන්දය ඉල්ලලා පැරැදිලා නොවෙයි, නාම යෝජනා බාරදෙන දවසෙම මගේ නම තිබුණේ ජාතික ලැයිස්තුවේ. ඒ නිසා නාම යෝජනා බාරදෙන දවසෙම රටේ ජනතාව දන්නවා ඩිලාන් පෙරේරා එන්නේ ජාතික ලැයිස්තුවෙන් කියලා. ඒ නිසා මම අයිති වෙන්නේ නෑ අර ඡන්දය ඉල්ලල පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ආපු ගණයටවත්, ජාතික ලැයිස්තුවේ නම කවරදාවත් නොතිබියදීත් ඇමරිකාවේ ඉඳලා කෙලින්ම ජාතික ලැයිස්තුවෙන් ආපු ලැයිස්තුවටවත්. මම අයිති වෙන්නේ මේ රටේ නීතිය අනුව නාම යෝජනා දිනයේදීම මගේ නම ජාතික ලැයිත්තුවේ තිබුණ කෙනෙක් හැටියටයි. අනික ජාතික ලැයිස්තුවෙන් හරි මම පාර්ලිමේන්තු ආපසු එක ගැන හුඟාක් අයට හරි ප්‍රශ්නයක්. එන්ජීඕකාරයෝ කියනවා ජාතික ලැයිස්තුවෙන් ආපු එකෙක් කියලා. මං ගැන කියන කොට යූඑන්පීකාරයෝ කියන්නේ ‘පිනට’ මම ආවා කියලයි. හැබැයි යූඑන්පීකාරයොත් පිනාවට ඇවිත් තියෙනවා. එහෙම නම් කරු ජයසූරිය මහත්තයත් පිනෙක්. එතුමා ආවෙත් ජාතික ලැයිස්තුවෙන්. හැබැයි යූඑන්පීකාරයන්ට පේන්නේ ඩිලාන් පෙරේරා ජාතික ලැයිස්තුවෙන් ආපු එක විතරයි. උන් කියන විදියට මං පිනා. කරු ජයසූරිය මහත්තයා පිනා නොවෙයි. ඒකාබද්ධයේ සමහරුන්ටත් මාව පේන්නේ ‘ආං පිං මන්ත්‍රී’ කියලා. හැබැයි ඒ කියන සමහර අය ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා තියෙනවා කෙලින්ම දැන් රාජ්‍ය නොවන සංවිධානවලට කහින ඩොලර්වලට පවුම්වලට ඕනෑම කැත වැඩක් කරන එවුන්ටත් පේන්නේ ඩිලාන් පෙරේරාව විතරයි.   

ප්‍රශ්නය: ඔබ හිතන විදියට ඒකට හේතුව කුමක්ද?   

පිළිතුර: ඒකට හේතුව තමයි ඒ හැම දෙනාටම රිදෙන ඒවා මම කියනවා. මට ඒකට කරන්න දෙයක් නෑ. මම කියන්නේ මට පේන සත්‍යය. මේ රටේ මිනිස්සු මනාප ඡන්ද ක්‍රමය එපා කිව්වා. ඒ නිසා අපි මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට කියන්නේ ඔබතුමා යම් ක්‍රමයකට කැමති ඇති. නමුත් ක්‍රමය හදන්නේ අපි. ජනතාව වෙනුවෙන් අපි හදන ක්‍රමයට ඡන්දය තියන්න. ඔව්... අපි ජනවාරි 6 වැනිදාට පළාත් පාලන ඡන්දය කියලා ඉතාම ඉක්මනින් පළාත් සභා ඡන්දයත් මනාප ඡන්ද ක්‍රමය නැතිව තියමු.   


ප්‍රශ්නය: නමුත් නොවැම්බර් වෙනකොට පළාත් සභා 3 ඡන්දය අනිවාර්යෙන්ම තියන්න වෙනවා.   

පිළිතුර: ඔව්. පළාත් සභා ඡන්දය තියන්න ඕන පළාත් සභා පනතට අනුව. පළාත් සභා පනතේ විධිවිධාන තියෙන්නේ මේ විදියට නම් ඔහුට වෙන කරන්න දෙයක් නෑ. ඔහුට දෙසැම්බර් හෝ ජනවාරියේ මනාප ක්‍රමයට ඡන්දය තියන්න වෙනවා. නමුත් පළාත් සභා පනත සංශෝධනය වුණොත් එතකොට ඔහුට ඒ ඡන්දය තියන්න වෙන්නේ සංශෝධිත පළාත් සභා පනතට අනුවයි.   


ප්‍රශ්නය: ඔය ඔක්කොම උප්පරවැට්ටි දාන්නේ ඡන්ද කල් දාන්න කියලයි ඒකාබද්ධ විපක්ෂය කියන්නෙ.  

පිළිතුර: කො​ෙහ්ද කල් දැමීමක් වෙන්නේ. ජනවාරි 6 ඡන්දයක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය තර්ක කරන්නේ රටේම ඡන්දය ජනවාරි 6 වැනිදා තියෙන බව අමතක කරල ජනවාරි 6 වැනිදා පළාත් තුනක නොවෙයි මුළු රටේම ඡන්දය මනාප ක්‍රමය නැතිව පැවැත්වෙනවා. ඓතිහාසික වැඩක් ඒක. ජනවාරි 6 එහෙම ඡන්දයක් තිබියදී ඊට සුමාන තුනකට කලින් පළාත් තුනක ඡන්දය යනුවෙන් කෑගහලා වැඩක් නෑ. ඒ පළාත් තුනේ ඡන්දයත් ස්ථිර වශයෙන්ම තියන්න ඕනෑ. නමුත් ඒක තියන්න ඕනෑ මනාප ක්‍රමය නැතිවයි.  


ප්‍රශ්නය: 2020 වෙනකම් මේ ආණ්ඩුව යනව කියලා ඔබ හිතනවද?  

පිළිතුර: 2020 වෙනකම් සම්මුතිවාදී ආණ්ඩුව යයිද කියලා මම දන්නේ නෑ. හැබැයි 2020 වෙනකම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුව යන්න ඕනෑනේ. එතුමාව ජනතාව වරමක් දුන්​ෙන් 2021 වෙනතුරු ජනාධිපති පුටුවේ ඉන්නයි. නමුත් 2020 වෙනකම් මේ සම්මුතිවාදී ආණ්ඩුව යයිද කියලා මට කියන්න බැහැ.   


ප්‍රශ්නය: ඒ කියන්නේ අවිශ්වාසයකුත් තියෙනවා.   

පිළිතුර: අවිස්වාසයක් කියන්නේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කරක සභාව රැස්වෙලා තීන්දු කරන්න ඕනෑ අපි මේ ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා.   

 

ප්‍රශ්නය: බස් එක හොඳයි නම් ඇයි මගින් බහින්නේ.  

පිළිතුර: මේ ආණ්ඩුව සමහර තැන්වල හොඳටම පිස්සු කෙළලා තියෙනවා. සමහර තැන්වල හොර වංචා වහන්න උත්සාහ කරලා තියෙනවා. බැඳුම්කරේ වගේ තැන්වලදී. සමහර තැන්වල අපි ලබන ජයග්‍රහණත් තියෙනවා. ඒ නිසා ඒවා ඔක්කොම තරාදියට දාලා බලල කිරල මැනල බලන්න ඕන අපි ඉන්නවද නැද්ද කියලා. අපි හිටියත් නැතත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජනවරමක් තියෙනවා 2021 වෙනතුරු මේ රටේ ජනාධිපති පුටුවේ ඉන්න. ඒ නිසා අපි එළියට ගියොත් යූඑන්පී හා ටීඑන්ඒ එක්ක ආණ්ඩුව කරගෙන යයි. එහෙම නැතිනම් එතුමා එක්සත් ජාතික පක්ෂයේ තනි සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යයි. එහෙම තැනිනම් අපට සුළු පක්ෂයකට ලැබුණොත් ජනවාරි මාසේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී රටේ බහුතරයක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරලා පෙන්වන්න එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අගමැති කෙනෙක් එක්ක ආණ්ඩුව කරගෙන යන්නත් බැරි නෑ.   


ප්‍රශ්නය: ඉදිරියෙ එන ඡන්දවලට ඔබලා ඉදිරිපත් වෙන්නේ ආණ්ඩුවක් විදියටද? පක්ෂ විදියටද?   

පිළිතුර: ස්ථිර වශයෙන්ම ඊළඟ පළාත් පාලන ඡන්දයේදී අපි යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් හැටියටයි. අපි තරග කරන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධවයි.   


ප්‍රශ්නය: එතකොට ජාතික ආණ්ඩුවට මොකද වෙන්නේ?   

පිළිතුර: ඒක එහෙම අපට දැනෙන්නේ මේ සම්මුතිවාදි ආණ්ඩු සංකල්පය අපට නුහුරු නිසයි. දැන් ජර්මනිය වගේ රටවල සම්මුතිවාදී ආණ්ඩුව ති​ෙයනවා. පළාත් ඡන්දවලදී ඒගොල්ලො වෙනම ඉල්ලන්නේ. මම කියන්නේ ජනවාරි මාසය වෙනකොට අපි පළාත් පාලන ඡන්දයේදී වෙනම තරග කරලා එක්සත් ජාතික පක්ෂය පරාජය කළොත් පාර්ලිමේන්තු මැතිවරණයේදී යූඑන්පියට බහුතරයක් ලැබුණ කියන ජනවරම නිශේධනය වෙනවනේ. මේ තර්කයම තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා යොදා ගත්තේ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී එතුමා දිනුවා. එහෙම දිනලා එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කළා. හැබැයි ඒ එයාට පාර්ලිමේන්තුවේ හිටියේ 44 දෙනයි. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න එතුමා ගත්ත තර්කය තමයි දැන් එකසිය ගණනක් හිටියට යූඑන්පී නොවන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සංවිධානයට තිබුණ ජනවරම ජනාධිපතිවරණයේදී වෙනස් වුණා කියන තර්කය.   


ප්‍රශ්නය: ඒක තර්කයකට වඩා පොදු අපේක්ෂකයා හැටියට රනිල් වික්‍රමසිංහට දුන්න පොරොන්දුවක්.  

පිළිතුර: ඔව්. එහෙම පොරොන්දු වෙන්නෙත් මේ තර්කය මත ඉඳලයි. ඔහු කියන්නේ ජනාධිපතිවරණයේදී මම දිනුවොත් සන්ධානයට පාර්ලිමේන්තුවේ තියෙන ජනවරම ජනාධිපතිවරණයේදී අහෝසි වෙනවා කියලයි. මම මේ කියන්නේ ඒ තර්කයේම අනික් පැත්ත. ජනවාරි මාසයේ තියන්නේ මුළු රටේම පළාත් පාලන ඡන්දය. ඒ ඡන්දයේදී අපට පුළුවන්කම තිබුණොත් අපේ තියෙන යම් යම් ප්‍රශ්න විසඳගෙන අපි පක්ෂයක් විදියට එකතුවෙලා මහා පුළුල් සංවධානයකින් ඉදිරිපත් වෙලා එක්සත් ජාතික පක්ෂය සුළු මුළු රටෙන්ම පරාජය කරන්න ඒ තත්ත්වයට අනුව අපිට ජනාධිපතිවරයාට කියන්න පුළුවන් 44ක් සමග රනිල් වික්‍රමසිංහට ඔබතුමා අගමැතිකම දුන්නානම් ප්‍රාදේශීය සභා මැතිවරණයේදීත් ජනවරම යූඑන්පියට විරැද්ධයි. ඒ නිසා ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් පත් කරගෙන ආණ්ඩුව අරගෙන යං කියලා.  


ප්‍රශ්නය: එහෙම දිනන්න මහින්ද රාජක්ෂ නැතිව පුළුවන් කියලා ඔබ හිතනවද?   

පිළිතුර: මහින්ද ඕනෑ. කිසි ගැටලුවක් නෑ. මහින්ද නැතිව අපට දිනන්න බෑ. මෛත්‍රීපාල නැතිව මහින්දට දිනන්නත් බෑ. ඒක දෙපැත්තටම වැඩ කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි අවසර දුන්නා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්න. ජනවාරි 8 ජනාධිපතිවරණය තිබුණා. අගෝස්තු මාසය වෙනකොට මහින්ද මහත්තයාගේ ආරාධනයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපේ පක්ෂයේ නායකයා වෙලා තමාට විරුද්ධව තරග කරපු අපේක්ෂකයන්ව තමන්ගෙම පක්ෂයෙන් තරගයට දානවා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එහෙම වෙයි කියලා කවුරුවත් හිතුවේ නෑනේ. ඒ ඡන්දය යනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තැන් කිහිපයක කතා කිහිපයක් කරනවා. මැතිවරණය ඉවරවෙලා ඒකාබද්ධ විපක්ෂය කියනවා ජනාධිපතිතුමා ඒ කතා පැවැත්වුවේ නැතිනම් සංධානයට ජයග්‍රහණය කරන්න පුළුවන්කම තිබුණා කියලා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සම්පූර්ණයෙන්ම සහයෝගය දුන්නා නම් සංධානය දිනුම් කියලනේ ඒ කිව්වේ.   


ප්‍රශ්නය: ඒකාබද්ධ විපක්ෂය එතැනදී කිව්වේ සහයෝගය දෙනවට වඩා නිශ්ශබ්දව හිටියා නම් හොඳයි කියලයි.   

පිළිතුර: ඔව්. සහයෝගය නොදී නිශ්ශබ්දව හරි හිටියානම් ඒත් දිනුම්නේ. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහයෝගය අවශ්‍යයි. නිශ්ශබ්දව ඉඳලා හරි කියලනේ ඒ නිසා මහින්ද මහත්තයාගේ සහයෝගයත් ඕනෑ අපට දිනන්න. ඒ වගේම මෛත්‍රී මහත්තයාගේ සහයෝගයත් ඕන දිනන්න. ඒ වගේම ඔබ දන්නවා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය අතර මහින්ද මහත්තයාට යම් ජනප්‍රියත්වයක් තියෙනවා. හැබැයි සුළු ජාතික ඡන්ද ඒ වගේම නගර හා නගරවලට යාබද තරුණ ඡන්ද මහින්ද මහත්තයට ඒ විදියටම ආවේ නෑ. ඒනිසා මහින්ද හා මෛත්‍රී කියන මේ සාධක දෙකම අපට ඕනෑ ඡන්ද දිනන්න.   


ප්‍රශ්නය: ඔබ චන්ද්‍රිකා ගැන කිව්වේ නැහැ?  

පිළිතුර: මම එතුමියව අමතක කළා නොවෙයි. එතුමියගේ සහයෝගයත් තියෙනවානම් හොඳයි. නමුත් එතුමියගෙන් ලැබෙන සහයෝගය ඡන්දය දිනීමට හෝ පැරදීමට මේ වෙලාවේ ලොකු බලපෑමක් කරන්නේ නැහැ.   


ප්‍රශ්නය: හැබැයි ඔබ කලින් කිව්වේ චන්ද්‍රිකාට අයින් වෙලා ඉන්න කියලයි.  

පිළිතුර: ඔව්. ඔව්. එතුමියත් අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නිශ්ශබ්දව සිටීම හොඳයි කියලා කිව්වා වගේ එතුමියත් නිශ්ශබ්දව සිටීම වඩාත් හොඳයි. එතුමියගෙන් ගන්න පුළුවන් සහයෝගය තමයි නිශ්ශබ්දව සිටීම.  

 

ප්‍රශ්නය: එතකොට දුමින්ද දිසානායක   

පිළිතුර: දුමින්ද දිසානායක මැතිතුමා මම හිතන්නේ පක්ෂයේ ලේකම් හැටියට මීට වඩා අත්දැකීම් සහිත ලේකම්වරයෙක් හැටියට හැසිරෙන්න පටන් ගන්න ඕනෑ. ඒ විදියට හැසිරෙන්න පටන් ගත්තාදෙන් කියලා මම හිතනව. ළඟදී ඉඳලා අපේ පක්ෂය ටිකක් ජ්‍යෙෂ්ඨයන්ට අන්ධ  භක්තියකින් ගරුකරන පක්ෂයක්. අපේ පක්ෂය යූඑන්පී එක වගේ නොවෙයි. යූඑන්පීය සමහර විට රටේම ජ්‍යෙෂ්ඨයෝ අභිබවලා කනිෂ්ඨයෝ දාලා තියෙනවා. ඉස්සරහට. ගාමිණි අතුකෝරළ, තිස්ස අත්තනායක පක්ෂයේ ලේකම්වරු වෙන්නේ ජ්‍යෙෂ්ඨයන් අභිබවලා. අපේ පක්ෂය ජ්‍යෙෂ්ඨයන්ට සලකලා තමයි කනිෂ්ඨයන්ට සලකන්නේ. අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයො දුමින්දව පුංචි කාලේ වඩාගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා අප අපේ ජ්‍යෙෂ්ඨයන්ට දුමින්දව පේන්නේ පක්ෂයේ මහ ලේකම් හැටියට නොවෙයි. ඒ නිසා දුමින්ද කියන සමහර දේවල් ලේකම් හැටියට ඔහුට කියන්න වෙනවා. හැබැයි ඒක දකින්නේ පක්ෂයේ ලේකම් හැටියට නොවෙයි අත දරුවෙක්, නොතේරෙන දරුවෙක් කියන දේවල් හැටියටයි. ඒ එක්කම දුමින්දත් සමහර දේවල් කියනකොට අපේ පක්ෂිකයන්ගේ හිත රිද්දල කියන්නේ. එතකොට ඒකෙන් චූන් වෙනවා යුඑන්පීකාරයෝ. ඒ නිසා දුමින්ද ඔහුගේ වයසත් එක්ක තව අවුරුදු 20කින් 25කින් මේ රටේ නායකයා වෙන්නත් පුළුවන්. හැබැයි ඔහු නායකයා වෙන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඔහුට යුඑන්පීයෙන් නායකයා වෙන්න බෑ. ඒ නිසා ඔහු හිතනවා නම් මේ රටේ නායකයා වෙන්න ඕන කියලා, එහෙනම් ඔහුගේ හැසිරීම් වෙනස් කර ගන්න ඕන. ඒ වගේම පක්ෂය අද මුහුණදීලා තියෙන අර්බුද දිහා බැලුවමත් ඔහු පක්ෂයේ ලේකම් නිසා පක්ෂයේ ලේකම් හා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ඇසින් ඔහු කනිෂ්ඨ​ෙයක් බව තේරුම් අරගෙන ඔහු යම් යම් ප්‍රකාශ කරනවා නම් ඒක ඔහුටත් හොඳයි. පක්ෂයටත් හොඳයි.   


ප්‍රශ්නය: මෛත්‍රී - මහින්ද කඳවුරු දෙක සමගි වෙයිද?   

පිළිතුර: කාලයක් සමඟ ප්‍රතිවිරුද්ධතා අවම වෙමින් තියෙනවා. මං හිතන විදියට පළාත් පාලන ඡන්දය තමයි ගල උඩ සටන. ඒ ඡන්දය එන්නේ කොට්ඨාස ක්‍රමයට. අපට ලේසියෙන් නිතරග ගිවිසුම් ඇතිකර ගන්න පුළුවන්. එතැනදි අපිට එකතු වෙන්න පුළුවන්. ඒ තුළ මම ති​ෙයන්නේ දෙපැත්තෙන් සිරිපාදය නැගලා සීත ගඟුලෙන් පිරිසිදුවෙන දිනය තමයි ජනවාරි 6 පළාත් පාලන ඡන්දය.   


ප්‍රශ්නය: ඔබ එහෙම කියන විටත් අර අන්දික ප්‍රනාන්දු ඇවිත් ඒකාබද්ධයේ වාඩිවෙනවා.   

පිළිතුර: ඔහු එහෙම වාඩි වෙන ගමන් මොකක්ද කියන්නේ. ඔහු කියනවා මම 2020 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රාජපක්ෂවරුන්ගේද ආශිර්වාද ඇතිව ආණ්ඩුවක් හදන්නයි මේ යන්නේ කියලා. ඒ නිසා අරුන්දික එක වෙනසයි කළේ අරුන්දික හැටන් පාරේ යන එක නවත්වලා ඔහු තීරණය කළා මම රත්නපුර පාරෙන් සිරිපාදේ නගිනවා කියලා. හැබැයි අපි ආපසු අරුන්දික මුණ ගැහෙනවා සීත ගඟුලේදී. මගේ ආදරණීය මිත්‍ර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා මීට මාසයකට කලින් කිව්වේ අනිමිස ලෝචනයෙන් බලා ඉන්නේ. තව දවස් 14කින් මන්ත්‍රීවරු 20ක් එනවා කියලා. ඒ නිසා මමත් අනිමිස ලෝචනයෙන් ඩලස් දිහා බලාගෙන ඉන්නවා. ඩලස් මගේ දිහා බලා​ගෙන ඉන්නවා. නල්ලතන්නිය පහු කරලා අපි සීත ගඟුලේදී හමුවෙන්න බලාගෙන ඉන්නවා.   

 

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්