මේ ආණ්ඩුව තවදුරටත් රකින්න හෘදය සාක්ෂියක් තියෙන ශ්‍රී ලංකාකාරයකුට පුළුවන්ද


රටේ උණුසුම් දේශපාලන වට පිටාව සම්බන්ධයෙන්  එක්සත් ජනතා නිදහස් සංධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ගිනියම් මතවාදය මෙසේ සටහන් කර තබමු. 


ප්‍රශ්නය: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කලින් කිව්වේ 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා. දැන් කියනවා තව වෙසක් පෝය දෙකකින් කියලා. ඒ කියන්නේ වැඬේ අවුල්?
පිළිතුර:
නෑ, වැඬේ කිසිම අවුලක් නෑ. ආණ්ඩුව 2017 දී පෙරළන්නත් පුළුවන්. 2018 දී පෙරළන්නත් පුළුවන්. ඒ  පිළිබඳ ගැටලුවක් නෑ. ආණ්ඩුව කියන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගාණ. පාර්ලිමේන්තුවේ 225 දෙකට බෙදුණාම පාර්ලිමේන්තුවේ බලය අල්ලනවා කියන එක මහ ලොකු දෙයක් නොවෙයි. 

 


ප්‍රශ්නය: ඒකාබද්ධ විපක්ෂය කියනවා මේ ආණ්ඩුව රට විනාශ කරනවා කියලා. එහෙම නම් බලය අල්ලන්න එපැයි. එහෙම නොකරන්නේ බැරි නිසයි? 
පිළිතුර -
ඇයි බැරි. දැන් බලන්න ශ්‍රී ලංකා  එකෙන් ඇමැතිකම් ගත්ත අය කියන කතා. ඒ සියලු දෙනා කියන්නේ අවුරුදු  දෙක ඉවර වුණාම එළියට බහිනවා කියලා. ඒ නිසා අපි 97 දෙනා එකට හිටියොත් ආණ්ඩුව පෙරළන එක මහ ලොකු කාර්යභාරයක් නොවෙයි. ඒ නිසා 2017 දී ද 2018 දී ද ආණ්ඩුව පෙරළනවා කියන එක නොවෙයි වැදගත් වෙන්නේ. ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය පසුබිම සැකසෙමින් යනවා.  ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා  කෙරෙමින් තිබෙනවා. නියම වෙලාවට නියම අවස්ථාවට  මහින්ද රාජපක්ෂ  මැතිතුමා ඒ වැඬේ කරයි. 

 


ප්‍රශ්නය: ඇමතිකම් ගත්ත ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන් කියන්නේ සැප්තැම්බරයේදී අවුරුදු දෙක ඉවරයි. එදාට තීරණයක් ගන්නවා කියලයි. දිගටම ඉන්න තීරණයක් ගත්තොත්? 
පිළිතුර:
පැහැදිලිවම ඔවුන්ට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න වෙනවා. මේ ආණ්ඩුව තවදුරටත් රකින්න හෘදය සාක්ෂියක් තියෙන ශ්‍රී ලංකාකාරයකුට පුළුවන්ද?  ඔවුන්ට එළියට එන්න වෙනවා. ඔවුන් එළියට එනවත් එක්කම අගමැතිවරයාට තමන්ගේ බහුතරය පෙන්වන්න වෙනවා. 

 


ප්‍රශ්නය: ඔබම කියනවා එකතු වුණත් ඔබට ඉන්නේ 97යි කියලා. කෝ බහුතරය? 
පිළිතුර:
ඔබම දන්නවා ආණ්ඩුවක් එක්ක ඉන්න පාර්ශ්ව සතුටෙන්ද  ඉන්නේ.  රිෂාද් බදුර්දීන් ඇමැතිතුමා ඉන්නේ මොනතරම් අසතුටෙන්ද කියලා අපි දන්නවා.  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් මොන තරම් කලකිරීමෙන් ද ඉන්නේ කියලා අපි දන්නවා. මාතලේ අළුවිහාරේ පවුලෙන් මේ ආණ්ඩුවට මොන තරම් ප්‍රහාරයක් එල්ල වුණාද කියලා මුළු රටම දැක්කා.   මුස්ලිම් කොංග්‍රසය  ඇතුළු ආණ්ඩුව ඇතුළෙ  ඉන්න පක්ෂ ආණ්ඩුවත් එක්ක ලොකු අර්බුදයක ඉන්නේ. ඒ නිසා ආණ්ඩුව ඔය කියන තරමේ සුන්දර ගමනක නෑ. ආණ්ඩුව ඇතුළේ අර්බුද සුළියක් තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය හරියට කළමනාකරණය කර ගන්න විතරයි අපිට තියෙන්නේ. 


ප්‍රශ්නය: ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියලා තිබුණා ආණ්ඩුවෙන් එළියට එන ශ්‍රී ලංකා ඇමැතිවරුන්ට ඒකාබද්ධ විපක්ෂයේ ඉඩක් නෑ කියලා. 
පිළිතුර:
නෑ, එහෙම වෙන්න බෑ.  ආණ්ඩුවක් හදන්න අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනෑ. එක එක්කෙනාට තම තමන්ගේ මත කියන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවක් හදනකොට  දැන් බලන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් කී දෙනෙක් ආණ්ඩුවට ගත්තද? කරු ජයසූරිය මැතිතුමා ඇතුළු කී දෙනෙක් ගත්තද? ඉතින් ආණ්ඩුවක් හදන්න යනකොට යම්යම් පාර්ශ්වයන් එකතු කර ගන්න ඕනෑ. එහෙම නැත්නම් අපි කොහොම ද ආණ්ඩුවක්  හදන්නේ. එහෙම අකමැතිනම් දිගටම විපක්ෂයේ ඉන්න වෙයි. ආණ්ඩුවක් හදනවා නම් සියලු පාර්ශ්ව අපි ගන්න ඕනෑ. 

 


ප්‍රශ්නය: ඔබ කිව්වා මේ අවුරුද්දෙ මැතිවරණ නෑ කියලා. නමුත් පළාත් සභා මැතිවරණ තුනක් අනිවාර්යෙන්ම මේ අවුරුද්දේ පැවැත්විය යුතුයි. 
පිළිතුර:
අනිවාර්යෙන්ම තැබිය යුතුයි. නමුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගෙන නොතියා ඉන්න පුළුවන්.  ආණ්ඩුවට තුනෙන් දෙක පාර්ලිමේන්තුවේ තියෙනවනේ. ඒක ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා දැන්ම කියන්න බෑ. ගත්තොත් මැතිවරණ නොතියා ඉන්නත් ආණ්ඩුවට පුළුවන්. හැබැයි ආණ්ඩුව තාම පැහැදිලිව කියලා නෑ ඡන්ද තියනව කියලා. පළාත් පාලන ගැසට් එක තාම ගහලා නෑ. ඉතින් අපිට මේ වසරේ මැතිවරණයක් එයිද නැද්ද කියලා ලොකු විශ්වාසයක් නෑ. කොහොම වුණත් මැතිවරණයක් ආවොත් අපට පෙන්වන්න පුළුවන් ජනමතය කොහේද තියෙන්නේ කියලා. ඒකත් එක්කම අපට බොහොම පහසුවෙන් ආණ්ඩුව පෙරළන්න පුළුවන්. 

 


ප්‍රශ්නය: මැතිවරණ  නොතියන්නේ නම් ඒක ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධියි. ඒකාබද්ධ විපක්ෂය මොකද කරන්නේ?
පිළිතුර:
මැතිවරණ ගෙන ඒම සඳහා අපි දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒකට කමිටු කිහිපයක් පත් කරලා තියෙනවා. පළාත් පාලන මැතිවරණය මේ වසරේ පැවැත්වූයේ නැතිනම් මේ සඳහා  අපි දැවැන්ත අරගලයක් දියත් කරන්න ඕනෑ. ඔබ කිව්වා වගේම පළාත් සභා මැතිවරණය මේ අවුරුද්දේ තියන්න ඕනෑ. ඉතින් පළාත් පාලන මැතිවරණයයි පළාත් සභා මැතිවරණයයි දෙකම කල් දාලා යන්න හැදුවොත් අනිවාර්යෙන්ම ජනතා හර්තාලයක් ඇති වෙනවා.  ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි ඒකට නායකත්වය දෙනවා. 

 


ප්‍රශ්නය: ඔබ එහෙම කිව්වත් ඒකාබද්ධ විපක්ෂය සටන් කරන්නේ පක්ෂ නායකයකු ගන්නයි. එහෙම පුවතක් මාධ්‍ය වාර්තා කළා? 
පිළිතුර:
ඇත්තෙන්ම ගත්තොතින් විපක්ෂ නායකකම සැබෑවටම ලැබෙන්න ඕනෑ අපටනේ. පාර්ලිමේන්තුවේ  සැබෑ විපක්ෂය අපි. ඒ නිසා විපක්ෂනායකකම ලැබෙන්න ඕනෑ අපට. අපි ඒකට දිගින් දිගටම සටන් කළා.  විපක්ෂනායකකම  අපට නැති නිසා පාර්ලිමේන්තුව තුළ අපට කතාකරන්න තියෙන්නේ ඉතාම සුළු මොහොතකයි.  ඒ නිසා ඒකාබද්ධ  විපක්ෂයේ සාකච්ඡාවක දී නැවත මේ ගැන  හඬ නගන්න ඕනෑ කියලා කතාබහ කළා. මේක අපේ අතට ගන්න ඕනෑ. මොකද වැඩි බහුතරයක් ඉන්නෙ අපිට. සම්බන්ධන් මහත්තයට 16යි. ජේ.වී.පී. එකට 6යි. අපිට 51යි. ඒ නිසා මේක විකෘතියක්. අනිත් එක ආණ්ඩුවට කඬේ යන ආණ්ඩුවට ඕන විදියට අත උස්සන විපක්ෂයක් තියෙන්නෙ. ඒ නිසා  සැබෑ විපක්ෂය සහ සැබෑ විපක්ෂනායක තෝරා ගත යුතුව තියෙනවා. ඒ සඳහා අපි දැනට වැඩපිළිවෙලක් සාකච්චා කරමින් යනවා. 

 


ප්‍රශ්නය: මේ ආණ්ඩුව පෙරලන්න ඕනෑ කියලා ඔබ කියන්නේ මේ ආණ්ඩුව දූෂිතයන්ට දඬුවම් දෙන නිසාද? 
පිළිතුර:
නෑ, මේක එහෙම තැනකට පටු කරන්න බැහැ. පළමු දේ තමයි මේ ආණ්ඩුවේ තියන දේශපාලන  අර්බුදය. මේ රට ඉස්සරහට යන්න බැරි ආණ්ඩුවේ තියෙන මේ දේශපාලන අර්බුදය නිසයි. 

 


ප්‍රශ්නය: ඔබ කියන ඔය දේශපාලන අර්බුදය මොකක්ද? 
පිළිතුර:
විධායකය හා ව්‍යවස්ථාදායකය අතර තිබෙන  ගැටුම මේ ගෙවුණු  අවුරුදු දෙකක කාලය තුළ වෙච්ච දේ බලන්න. හම්බන්තොටම අවුල් අයවැය යෝජනා ජනාධිපතිවරයා නවත්වනවා. ඒ  විදියට ගත්තාම රට තුළ දේශපාලන අර්බුදයක් තියෙනවා. ඒ වගේම බරපතළ මූල්‍ය අර්බුදයක් තියෙනවා. හම්බන්තොට විකුණලා  සල්ලි ගත්තේ  නැත්නම් අප්‍රේල්වලින් එහාට ආණ්ඩුවට  යන්න බෑ. ඒ නිසා ආණ්ඩුව  සීමාවන් ඉක්මවලා ණය ගන්නවා. ඒකට එරෙහිව මිනිස්සු  පාරට බහිනකොට මැතිවරණ කල් දාලා මිනිස්සු හිර ගෙවල්වලට  දාලා දඩයම් කරනවා.  ඒ විදියේ නින්දනීය මර්දනයක් එක පැත්තකින් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ ඉතාම භයානක අණ පනත් සම්මත කරගන්න හදනවා. ඒ නිසා ඉතාම අඳුරු අභාග්‍යසම්පන්න තත්ත්වයක් අප ඉදිරිපිට තියෙනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී ගත්තා... අගමැතිවරයා ඉදිරිපත් කරපු භයානක පනතක්.  යුද්ධයට අහුවෙලා ඉන්නා කියන ඕනෑම කෙනෙක්ව වෙනමම අධිකරණයක් හදලා අත්අඩංගුවට අරගෙන ඇප නොදී තියාගන්න පුළුවන්. 

 


ප්‍රශ්නය: ඒ පනත ගෙනාවේ යුද අපරාධ වෙනුවෙන් 
පිළිතුර:
‘හානා හීය පානා අඬහැරෙන් දැනේ’ කියලා කිව්වලුනේ. මොන නමින් ආවත් මේ දඩයම් කරන්න හදන්නේ කාවද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා මහින්ද රාජපක්ෂ මැතිතුමාව. එතකොට ඉතාම පැහැදිලිව මේකෙ බරපතළ තත්ත්වයකට රට තල්ලු වෙමින් යනවා. 


අනික් අතට රටේ සම්පත් දේපල ඔක්කොම විකුණනවා. ආණ්ඩුවට දැන් ණය ගන්න ක්‍රමයක් නැහැ. දැන් ආණ්ඩුවට කවුරුවත් ණය දෙන්නේ නැහැ. අගමැතිතුමා කියනවා ණය ගෙවන්න බැහැ කියලා. ණය ගෙවාගන්න බැරි වුණාම මොකක්ද වෙන්නේ? එතකොට අනිත් රටවල්වලින් අපිට ණය දෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අපිට ඉතිරි වෙන්නේ අයි.එම්.එෆ්. එක විතරයි.

එතකොට ආණ්ඩුවට ණය ගන්නම වෙනවානේ. අයි.එම්.එෆ්. එකත් එක්ක 2016 ජුලි මාසයේ අත්සන් කරපු ගිවිසුමෙන් මොකක්ද කියන්නේ. ඒගොල්ලෝ එකඟ වෙනවා. පෙට්‍රෝලියම් එකට විදුලිබල මණ්ඩලයට  ටෙන්ඩර් බෝඞ් එකට මිල සූත්‍රයක් ගේන්න.  පෞද්ගලික සමාගම් හැටියට තමයි එතකොට ඒවා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට  ඒගොල්ලෝ මේ පාර ගියේ ඒවා ඔක්කොම  කරනවා කියලා එකඟ වෙලා.  එතකොට ඔබ හිතන්න එක පැත්තකින් දේශපාලන අර්බුදයක් අනිත් අතට දැවැන්ත මූල්‍ය අර්බුදයක්. ඒකට උත්තරයක් වශයෙන් රටේ දේපොල විකුණා දැමීමේ ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක කෙරෙනවා. අනිත් අතට රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනල්ලා රට පෙඩරල් කරන්න හදනවා. ඒකට විරුද්ධව  කතාකරන අය හිරේ  දානවා. ඒ නිසා මේ රටේ ඉතිහාසයේ  රටක් විදියට අපි මුහුණ දී නැති අර්බුද පොකුරකට අපිට මුහුණ දෙන්න වෙනවා. විමල්ව එහෙම හිරේ දැම්මේ ඇයි. ගම්මන්පිලලාට නඩු දානවා. මේ වෙනකොට  ලොකුම  ටාර්ගට් එක වෙලා තියෙන්නේ අපි. මට ලක්ෂ 39කට අධිචෝදනා  බාර දුන්නා.

 සාමාන්‍යයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ 2013  ඒවාටවත් අධිචෝදනා බාරදීලා නෑ. මාස 3යි මගේ නඩුවට ගියේ. මාස තුනෙන් අරලියගහ මන්දිරයෙන් කිව්වා අපි චෝදනා බාර දෙන්න කියලා. උදයලා විමල්ලා අපි තමයි කෑගහන්නේ. අගමැතිතුමාට ලොකුම බරබරය! හිසරදය තමයි අපි. ඒ නිසා විරුද්ධව කතාකරන ඔක්කොම අය හිර කරනවා. එක්සත් ජාතික පක්ෂයේ අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයත් කිව්වනේ අගෝස්තු වෙනකොට මෙහෙම කරනවා. ඔය කතාවම රාජිතත් කිව්වා. ඒ නිසා මේගොල්ලෝ ලෑස්ති වෙන්නේ විපක්ෂය සම්පූර්ණයෙන්ම මර්දනය කරලා හිරේ දාලා භය කරලා  ඒකාධිපති පාලනයකට මේ රට ගෙනියන්නයි හදන්නේ. ඉතාම බරපතළ අවදානම් තත්ත්වය ඊට තියෙන්නේ. මේ  සැහැසි ඉරණමෙන් රට ගලවා ගන්න නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන පක්ෂ නොවෙයි මේ රටේ සියලුම උගතුන් බුද්ධිමතුන් විද්වතුන් වෘත්තියවේදීන් ගොවියන් කම්කරුවන් ශිෂ්‍යයන් එකමිටට එකඟවිය  යුතුයි කියලයි. 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්