මේ අවුල්කාරි තත්ත්වය නිම කරන්න පුළුවන් මහ මැතිවරණයක් ලබා ගැනීමෙනුයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන

රටේ දේශපාලන අර්බුද සුළිය තවමත් කැරකැවෙමින් තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ක්‍රියාමාර්ගය කුමක්ද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ මේ කතාබහ ඒ සම්බන්ධයෙනි.  


ප්‍රශ්නය:- මේ කෙටුම්පත් කරලා ඉදිරිපත් කරපු අගමැතිට එරෙහි විශ්වාසභංගයත් පරාදයි. ඒකාබද්ධය මෙතැනින් කොතැනටද?  


පිළිතුර:- මමම නොවෙයි මේක ඉදිරිපත් කළේ. ඒකාබද්ධ විපක්ෂයයි. ඔව් ඔබ කියපු විදියට පාර්ලිමේන්තුව තුළ ඔළුගෙඩිවලින් මේක පරාජයට පත් වුණත් ඒ විශ්වාසභංගය නිසා සමස්ත රටේ දේශපාලනයේ පුළුල් කම්පනයක් සහ නව දිශානතියකට මාර්ගය විවෘත වීමත් සිද්ධ වෙලා තියෙනවා.  


ප්‍රශ්නය:- මොකක්ද ඒ මාර්ගය?  


පිළිතුර:- ඒ මාර්ගය තමයි ප්‍රථමයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස ඉතාම හිතුවක්කාරි ලෙස තුනෙන් දෙකක බලයක් පාවිච්චි කරමින් රටට අහිතකර, රටේ ජාතික ආර්ථිකයට අහිතකර අණපනත් රාශියක් සම්මත කරගත්තා. ඉතින් මේ තුනෙන් දෙකේ බලය පවතිනවා කියන විශ්වාසය යටතේ බෙදුම්වාදීන්ට තෘප්තිය ගෙන දෙන ෆෙඩරල් ව්‍යවස්ථාවක් සැකසෙමින් පවතිනවා. මේ විශ්වාසභංග යෝජනාව නිසා ඉතාම නුදුරු කාලය වෙන විට පැහැදිලිවම තුනෙන් දෙකේ බලය රජයට නැතිවීමට තිබෙන ඉඩ ප්‍රස්ථාවක් තමයි විවර වෙලා තියෙන්නේ.  


ප්‍රශ්නය:- ඒකාබද්ධය කියන සංඛ්‍යාලේඛන නම් විශ්වාස කරන්න අමාරුයි?  


පිළිතුර:- මෙහෙමනේ. අපේ 54 ක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්න 16 දෙනාත් එක්ක අපේ ගාන 70 ක් වෙනවා. 75 ක් වුණොත් තුනෙන් එකයි. පහුගිය සතිය වෙනකොට පැවතුණ සාකච්ඡාව තමයි මේ 16 දෙනාට අතිරේකව තවත් 10ක් ​ෙහා් ඊට වඩා වැඩි පිරිසක් සමඟ තමයි 16 දෙනා විපක්ෂයේ වාඩි වෙන්නේ.  


ප්‍රශ්නය:- මම මතු කරන ප්‍රශ්නය තමයි ඔය ගණන් හිලව් හරිද? විශ්වාසභංගයේදීත් ඔයිට වඩා ගණන් හිලව් කිව්වා?  


පිළිතුර:- ඔය මම කියන සංඛ්‍යා ලේඛනවල සත්‍යතාවක් තිබිය හැකියි කියන සංඥාව තමයි මේ ඇතිවී තිබෙන දැවැන්ත ආරවුල් තත්ත්වය තුළ ජනාධිපතිවරයා විසින් පක්ෂයේ අභ්‍යන්තරයේ පවතින තත්ත්වය පදනම් කරගෙන එතුමා විදේශගත වෙලා ලංකාවට පැමිණෙන තෙක් සහ මේ ප්‍රශ්නය විසඳගන්න අවශ්‍ය කාලය ලබා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව කල් තැබුවේ.  


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව එසේ කල් තැබීම ඔබ අනුමත කරනවද?   


පිළිතුර:- නැහැ. එය කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නොවෙයි. රටක විධායකය, ජනාධිපති ක්‍රමය, ව්‍යවස්ථාදායකය, පාර්ලිමේන්තුව, අධිකරණය කියන ආයතන වෙන් වෙන්ව ස්වාධීන වූ කාර්ය භාරයන් කළ යුතු ආයතන. එතකොට මේ තමන්ගේ පක්ෂය තුළ පවතින දේශපාලන අර්බුදය තුළ ඇතිවිය හැකි තත්ත්වයන් වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුව කල් තැබීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. එය වැරදි ක්‍රියා පිළිවෙතක් හැටියට තමයි අපි දකින්නේ. නමුත් එසේ කිරීමේ බලය ව්‍යවස්ථා​වෙන් ජනාධිපතිවරයට දී තිබෙනවා.  


ප්‍රශ්නය:- ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගය ගෙනාවේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවට කියලා. ඒ කියන්නේ ඔබලා කළේ ජනාධිපති මෛත්‍රීගේ කොන්ත්‍රාත්තුවක්?  


පිළිතුර:- මෙහෙමයි අවශ්‍යතාව ඉතාම පැහැදිලිව පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිවම සමස්ත රටවැසියටම ප්‍රකාශ කළා. 2015, 2016, 2017 යන වර්ෂ තුළ රටේ කෘෂිකර්මාන්තය කඩා වැටුණේ, කර්මාන්ත කඩා වැටුණේ, ආර්ථිකය කඩා වැටුණේ එක්සත් ජාතික පක්ෂයේ නොහැකියාව නිසා කියල. ඔවුන්ට ආර්ථිකය මෙහෙයවීමට අවස්ථා දුන්නා. නමුත් ඔවුන්ගේ නොහැකියාව තුළ රට විනාශයට ගියා කියලා. එහෙම වුණ නිසා මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු වහාම ‘මම මේ ආර්ථික කළමනාකරණය කිරීමේ වගකීම අතට ගන්නවා.’ කියලා. එතුමා රටට කිව්වනේ. ඒ වෙන විට ඉතාම පැහැදිලිව ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අතර ප්‍රසිද්ධියේ කරගනු ලබන විවේචනයක් තිබුණා. රට ඉදිරියට ගමන් නොකිරීම ගැන. ඉතින් ඒ නිසා එම තත්ත්වය තුළත් දඩබ්බර ලෙස හිතුවක්කාරි ලෙස ඇතැම් විට ප්‍රචණ්ඩ ලෙස එක්සත් ජාතික පක්ෂය හැසිරෙන නිසා මේ විශ්වාසභංගයට සම්පූර්ණයෙන් ජනාධිපතිතුමාගේ අනුග්‍රහය ආශිර්වාදය හා එකඟතාව තිබුණ බව අපි දැනගෙන හිටියා.  


ප්‍රශ්නය:- නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය එයට අරන් දෙන්න ජනාධිපති මෛත්‍රී අසමත් වුණා.  


පිළිතුර:- ඔහු නොවෙයි අසමත් වෙන්නේ. ඔහු අවසාන දිනයේ අවසාන රාත්‍රියේදී පක්ෂයේ නායකයා වශයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගයට අවශ්‍යයෙන්ම ඡන්දය දෙන්න කියන නියමය පැනෙව්වේ නැහැ. ඒ නියමය නොපැනවීම තුළ පක්ෂය තුළ වෙනත් බලවේග ක්‍රියාත්මක වීමෙන් කොටසක් නිර්වින්දනය කිරීමත් කොටසක් මේ මතවාදයට විරුද්ධවීමත් යනාදිය තුළ බහුතරයක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියා. ඒ පණිවිඩය එදා රාත්‍රියේ නොයාම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය දෙන්න හිටපු කොටසක් අනෙකුත් ජනවර්ග නියෝජනය කරන පක්ෂත් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ නිසා නියත වශයෙන්ම තිබූ ජයග්‍රහණය ජනාධිපතිතුමාගේ ඇල්මැරුණු උද‌්යෝගිමත් නොවුණු ක්‍රියාමාර්ගය තුළ පරාජය වීමක් තමයි සිද්ධ වුණේ.  


ප්‍රශ්නය:- නමුත් සමහරුන්ගේ මතය තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තබන්නේ අගමැති රනිල් බේරාගන්න කියලයි. මොකද මේ හේතුව නිසා කෝප් කමිටුව එහෙමත් අහෝසි වුණා.  


පිළිතුර:- කෝප් කමිටුව විසුරුවා හැරීම නිසා බැඳුම්කර හොරකමට බලපෑමක් වෙන්නේ නෑ. දැන් කෝප් කමිටුවට එහා ගිය බැඳුම්කර කොමිසමෙන් සොයා ගත් කරුණ හා හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් දැන් තියෙන්නේ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමයි. අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිස අත්අඩංගුවට අරගෙන නීතිපති දෙපාර්තමේන්තුව මගින් නඩු පැවරීම තමයි කරන්න තියෙන්නේ. නමුත් රජය පුන පුනා සඳහන් කළේ කෝප් කමිටුව සහ අනෙකුත් කමිටුවල සභාපති ධුර නිරෝගි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විපක්ෂයට ලබා දුන්නා කියලයි. ඉතින් මේ විසුරුවා හැරීමෙන් පසු කලින් සඳහන් කරපු යහපාලන මූලධර්මවලට අනුව මේ ප්‍රධාන කමිටු සියල්ලේම සභාපතිත්වය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දිය යුතුයි.  


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 16 ක් කඩා ගැනීම ඒකාබද්ධ විපක්ෂය සලකන්නේ ජයග්‍රහණයක් හැටියටද?  


පිළිතුර:- ජයග්‍රහණයක්නේ. මොකද හේතුව අපි පසුගිය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරීමේ මහා මැතිවරණ සටන අපේ පැත්තෙන් සම්පූර්ණයෙන්ම නායකත්වය දීලා මෙහෙයැව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානේ. බුලත්කොළය යටතේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ. ඒ මැතිවරණ සටනට වචනයකින්වත් ජනාධිපතිවරයා සහයෝගයක් ලබා දුන් බවක් ඉතිහාසයේ කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැනේ. එතකොට අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබාගත් ජයග්‍රහණය තමයි 96 දෙනෙකුගෙන් යුත් සංයුතිය. ඒ සංයුතිය සම්පූර්ණයෙන්ම විපක්ෂයේ හිටියා නම් අද මුළු රටටම විපක්ෂ නායකයෙක් ඉන්නවා. එහෙම වෙන්නේ නැතිව කොටසක් රජයේ ඇමැතිකම් ලබා ගැනීම නිසා තමයි ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂයේ නිල නොවන භූමිකාව කරන්න සිද්ධ වුණේ. දැන් අපෙන් වෙන්වෙලා හිටපු කොටසින් කොටසක් තමයි මේ 16 දෙනාට අයත් වෙන්නේ. ඉතින් ඒ අපේ ජයග්‍රහණයක්. ඒ නිසා අපි ඔවුන්ව විපක්ෂයේ ගොඩට පැහැදිලිව පිළිගන්නවා.  


ප්‍රශ්නය:- එහෙම පිළිගන්නේ?  


පිළිතුර:- එහෙම පිළිගන්නේ ඒකේ අරමුණ වෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කරගත් ඊනියා යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමයි.  


ප්‍රශ්නය:- ඔබලා වසර තුනක් පුරා අනේකවිධ වද බන්ධන මැද්දේ පොහොට්ටුව හරහා දේශපාලනය කළා. දැන් ඔවුන් ආවම ආසන සංවිධායකකම් දෙන්න ඕනෑ. ඒකාබද්ධ විපක්ෂයේ මුල් පුටු පවා දෙන්න වෙයි.  


පිළිතුර:- ඒවා අපේ ප්‍රධාන දේශපාලන අරමුණට ද්විතියික ඒවා. මූලික කරුණෙදී රජය පෙරළීමේ කාර්ය සඳහා වෙනත් රජයක් බලයට පත්කර ගැනීමේ කාර්ය සඳහා අවශ්‍යයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ගොඩ ලොකු කරගත යුතු වෙනවා. ඒකට ඔවුන් කලින් කරපු අවලාද, උපහාස, අපහාස ආදිය මං හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සලකන්නේ ඒවා පෞද්ගලික න්‍යාය පත්‍රයට අනුව කෙරිච්ච ඒවා විදියටයි. දේශපාලන න්‍යාය පත්‍රය අනුව අවශ්‍ය කරන්නේ රජය පෙරළා ජනතාවාදී ආණ්ඩුවක් ගෙන ඒම නම් ඒ සඳහා කුමන තත්ත්වයන් යටතේ වුණත් ඒ අය පිළිගන්න අපි සූදානම් වෙන්න ඕනෑ අර මූලික අරමුණ කරා ළඟාවීම සඳහා. 

 
ප්‍රශ්නය:- නායකයන් එහෙම කිව්වට පාක්ෂිකයන් ඔය අර්ථයෙන්ම ඔවුන් පිළිගනීද?  


පිළිතුර:- පාක්ෂිකයන් අද ලංකාවේ ඉතා විශාල වශයෙන් තමන්​ෙග් බලාපොරොත්තු අපේක්ෂා ප්‍රාර්ථනාවන් ගොඩනගලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ චරිතය වටානේ. පළාත් පාලන මැතිවරණයේදී ඒ එ් කොට්ඨාසයට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයා පාක්ෂික මට්ටමෙන් තමන්ට නොගැළපුණත් ඔවුන් සම්බන්ධයෙන් රුචිකත්වයක් නැති වුණත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාක්ෂිකයා පොහොට්ටුවට ඡන්දය දුන්නා. මහරගම පාක්ෂිකයෝ බයිසිකලය දිනවීමෙන්ම පැහැදිලි වෙන්නේ ඔය මම කියපු කාරණයයි. විශේෂයෙන්ම මේ මැතිවරණ පරාජයෙන් පස්සේ ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලී පිලේ ඡන්දදායකයා විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ කියන නායකයා රටේ අනාගත පැවැත්මට රටේ සංවර්ධනයට අහිතකර තීන්දුවක් ගන්නේ නෑ, ඔහු වඩාත් හිතකර තීන්දු තමයි ගන්නේ කියන විශ්වාසය තමයි ජනතාව තුළ තිබෙන්නේ. ඒක හරියට ආගමික විශ්වාසයක් වගෙයි. කවුරු කුමන කරුණු සඳහන් කළත් බෞද්ධයා අදහන්නේ බෞද්ධ දර්ශනය තමයි. අනික් ආගමික බැතිමතුනුත් එහෙමයි. ලංකාවේ ජනතාව මහින්ද චින්තනය හා මහින්ද රාජපක්ෂ ආගමක් ලෙස අදහනවා කිව්වොත් වැරදි නෑ. මම හිටියා පළාත් පාලන මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් තෝරන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ. එතැනදී සමහර තරුණයන් තමන්ගේ කමිසය ඇරලා පපුව පෙන්වනවා. ඒ පපුවේ පච්ච කොටලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ. ජනතාවගේ ලේ මස් ඇට නහර තුළ එවැනි නායකත්වයක් විරුද්ධවාදීන් කැමැති වුණත් නැතත් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොකක්ද කියන්නේ ඒක අපේ බහුතර පාක්ෂිකයා පිළිගන්නවා. එ් සම්බන්ධයෙන් කිසිම තර්කයක් නෑ. ඒ නිසාම ඔබ කියන විදියේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ.  


ප්‍රශ්නය:- හොඳයි ඔබ කියන්න ඔය ආණ්ඩුව වට්ටලා අලුත් ආණ්ඩුවක් හදන්න යන්නේ කොහොමද කියලා?  


පිළිතුර:- වහාම මැතිවරණයකට යා යුතුයි. සෑම ක්ෂේත්‍රයකටම ජාතික ප්‍රතිපත්තිමය රාමුවක් හදලා එය ජයග්‍රහණය කරවීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එකතු කරගත හැකි සියලු සිංහල, දෙමළ, මුස්ලිම් බලවේග ප්‍රගතිශීලී බලවේග එකතු කරගෙන මහ මැතිවරණය ජයග්‍රහණය කරවීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා මහමැතිවරණයක් ලබා ගැනීමෙන් තමයි මේ අවුල්කාරී තත්ත්වය නිම කරන්න පුළුවන් වෙන්නේ.  


ප්‍රශ්නය:- ඒක හිතන තරම් ලේසි නෑ?  


පිළිතුර:- මේ ඊයෙ පෙරේදා අපේ ගැමියෙක් මේ ආණ්ඩුව ගැන හොඳ කතාවක් කිව්වා. ඔහු කියනවා මළ මිනියක් ගෙදර මැද සාලයෙ තියාගෙන මිදුලේ බූරුවා ගහනවා වගේ තත්ත්වයක් තමයි දැන් ඇතිවෙලා තියෙන්නේ කියලා. මොකද මේ වනවිට ලංකාවේ ආර්ථිකය මළ මිනියක් වෙලා තියෙන්නේ. සමාජ සංස්කෘතික හා ​ෙද්ශපාලන මළ මිනී බවට පත්වෙලා. නමුත් රටේ නායක කාරකාදීන් සියලු දෙනා රටම දාදු පිටියක් බවට පත්වෙලා එකිනෙකා ඔට්ටු තියමින් සූදු කෙළින තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දාදු කෙළියට විවිධ ආකාරයේ උපාය උපක්‍රම භාවිත කරමින් ඒ අය බල අරගලයේ යෙදෙනවා. එහෙම යෙදෙන කොට එක්සත් ජාතික පක්ෂය ඇතුළේ විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත්විය යුතුයි කියලා කියනවා.  


ප්‍රශ්නය:- එජාපයේ සාමාජිකයකු රටේ ජනාධිපති හෝ අගමැති නම් ඔහු පක්ෂයේ නායකයා විය යුතුයි කියා පක්ෂ ව්‍යවස්ථාවේ තියෙනවා?  


පිළිතුර:- ඒ ව්‍යවස්ථාවනේ. නමුත් ඒ ව්‍යවස්ථාවෙන් පිටත තමයි මන්ත්‍රීවරුන් එය කැරලි ගහන්නේ. ඒක නැහැ කියන්න බැහැනේ. ඔවුන් ප්‍රසිද්ධියේ මාධ්‍යයට කියලා තියෙනවා නායකත්වය වෙනස් විය යුතුයි කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ඇතුළේ කමිටු පත්කරලා තියෙනවා. ඒ අතර මේ මහ දවල් මහ බැංකුවේ මහ මුදල් මංකොල්ලය ඇතුළු බොහෝ ආර්ථික ක්‍රියාකාරකම්වල දැවැන්ත චෝදනා ලබා සිටින රවි කරුණානායක හිටපු ඇමැතිතුමා බලවත් ඇමැති  ධුර ඉල්ලමින් මහා ඝෝෂාවක් කරනවා. ඒ වගේම සම්ප්‍රදායික පැරණි එක්සත් ජාතික පාක්ෂිකයන් තුළ නවීන් දිසානායක, කරු ජයසූරිය වැනි මහත්වරු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා. ඒ, ඒ පැත්ත. මේ පැත්තෙන් අපට පක්ෂව ඡන්ද දුන්න 16 දෙනා අපට ප්‍රකාශ කරලා තියෙන්නේ අවම වශයෙන් දහ දෙනෙකුට වඩා කණ්ඩායමක් සමඟ ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී විප‌ක්ෂයේ වාඩි වෙනවා කියලා.  


ප්‍රශ්නය:- යූඑන්පී එකේ වගේම ශ්‍රී ලංකා එකේ නායකයෝ කියනවා අලුත් වැඩපිළිවෙළක් සමඟ අලුත් ගිවිසුමකින් ඉදිරියට යනවා කියලා?  


පිළිතුර:- එහෙම කරගෙන යන්න පුළුවන් රටේ ජනතාව ඒ සඳහා කැමැති නම් පමණක්. නමුත් එහෙම නෑ. මොකද මේ ඇති කරගෙන තියෙන දැවැන්ත ආර්ථික අර්බුදය තුළ මැයි 1 වැනිදා සිට තවත් තීව්‍ර වෙනවා. 

 
ප්‍රශ්නය:- ඔබ එහෙම කියන්නේ?  


පිළිතුර:- ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල දැන් ඉහළ යන්න පටන් අරගෙන තියෙනවා. රුපියල දිගින් දිගටම මස්ත බාල්දු වෙනවා. භාණ්ඩ මත පනවලා තියෙන බදු කිසි එකක් අඩු කරන්න රජයට බැහැ. ඒ නිසා පෙට්‍රල් මිල වැඩිවෙනවා. ඩීසල් මිල වැඩිවෙනවා. ගෑස් මිල වැඩිවෙනවා. පොහොර රසායනික ද්‍රව්‍ය මිල වැඩි වෙනවා. මේ සියල්ලෙහිම මිල පීඩනය එන්න එන්නම උග්‍ර වෙනවා. ආර්ථික කළමනාකරණයේ වැරැද්දෙන් රට සතු සම්පත් විශාල වශයෙන් විනාශ වෙලා.  


ප්‍රශ්නය:- මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ මහින්ද රජයේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා කියලයි ආණ්ඩුව කියන්නේ?  


පිළිතුර:- නෑ. මහින්ද රාජපක්ෂ යුගයේදී ඛනිජ තෙල් ආනයනය කරන්න වර්ෂයකට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 5 යි. කිසිම රජයකට නොලැබුණ වාසියක් මේ රජයට ලැබුණනේ. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල, ගෑස් මිල, යකඩ මිල අඩු වුණා. තෙල් මිල, රබර් මිල, කිරිපිටි මිල අඩු වුණා. මේ සියලු වාසි 2015 දී ඇති වුණා. මේ වන විට ඛනිජ තෙල් මිලෙන් පමණක් මහින්ද රාජපක්ෂ යුගයට වඩා රටින් පිටට යන්න තියෙන විදේශ විනිමය ඉතිරිවෙලා තියෙනවා ඇමෙරිකානු ඩොලර් බිලියන 6 කට වැඩියෙන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් බිලියන දාහක්, රුපියල් කෝටි ලක්ෂයක් විතර. ඒ සියලු මුදල් රටට ඉතිරි වුණා. ලෝක වෙ​ෙළඳපොළේ තෙල් මිල අඩු වීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් ඉතිරිවෙලත් මොනවද කළේ?  


ප්‍රශ්නය:- මහින්ද යුගයේ ගත් ණයවලට වාරික හා පොලිය ගෙවන්නවත් ජාතික ආදායම මදියි කියලයි ආණ්ඩුව කියන්නේ?  


පිළිතුර:- මෙහෙමනේ. මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවුරුදු 3කට ගත්ත ණය මුදල බිලියන 1.4 යි. ඒක ගන්න ඕනැ නැහැනේ අර බිලියන 6 හරි විදියට කළමනාකරණය කළා නම්. හම්බන්තොට වරාය විකුණලා ලබා ගත්ත මුළු මුදල ඩොලර් බිලියන 1.4 යි. අර ඉතිරි වෙච්ච 6 කළමනාකරණය කළා නම් හම්බන්තොට වරාය විකුණන්න ඕනැ නැහැනේ. මේ වගේ මහා දැවැන්ත කළමනාකරණ වැරැද්දක් මේ රජය කරගෙන මහින්ද යුගයට බණිනවා. මේ රටේ ඉතිරි වෙච්ච මහා විදේශ විනිමය සම්පත් ටික මහින්ද රාජපක්ෂ යුගයේදී ඉතිරි වුණා නම් 2015 ඉඳලා මේ වෙනකොට මේ රට තියෙන තැන ආර්ථික විද්‍යාඥයන්ට පවා හිතාගන්න බෑ. නමුත් අවාසනාවටම මේ ආර්ථික කළමනාකරණය තුළ මේ ඩොලර් ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණයක් නිකම් පිච්චුවා. වාෂ්ප කරලා දැම්මා රුපියල කඩා වැටීම නැවැත්වීම සඳහා සංචිතය වෙ​ෙළඳ පොළට මුදා හැරීම නිසා. මේ ආණ්ඩුවේ ඔය වැරදි ආර්ථික කළමනාකරණයම ප්‍රමාණවත් මේ ආණ්ඩුව ගෙදර යවන්න.  


ප්‍රශ්නය:- ආණ්ඩුව ගෙදර යවන්න දැනට තියෙන එකම මාර්ගය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කරගැනීම?  


පිළිතුර:- නෑ. ක්‍රම කිහිපයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේනවා කියලා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ අපේ නායකතුමා කිව්වා ‘හොඳයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක හොඳයි. අපිත් ඡන්දය දෙන්නම්. හැබැයි ඒ යෝජනාව සම්මත වෙන දවසට පාර්ලිමේන්තුව විසුරුවා හැරලා වහාම මහ මැතිවරණයකට යන්න ඕනෑ’ කියලා. ඒ ගැන ඉදිරියේදී ලොකු කතිකාවතක් ඇතිවෙයි. ඊළඟට නොවැම්බරයේ අයවැයක් එනවනේ. ඒ විදියට විවිධ ක්‍රම තියෙනවා.

 

 

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්