මේ අවුරුදු දෙක ගැන මට සීයට හැත්තෑ පහක් සතුටුයි


යහපාලන ආණ්ඩුවේ වසර දෙකක් ගෙවෙන මේ මොහොතේ ගෙවුණු වසර දෙකේ හොඳ නරක පිළිබඳව පක්ෂ විපක්ෂ මතය විමසන සාකච්ඡාවකි මේ.

 

යහ පාලනයට අවුරුදු දෙකයි. කොහොමද ගෙවුණු අවුරුදු දෙක?  
ඇත්තටම ගෙවුණු අවුරුදු දෙක ගැන මම නම් සීයට හැත්තෑපහක් විතර සතුටුයි. හොරු ඇල්ලීම යටතේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයගේ ආණ්ඩුවට පස්සෙ මම සතුටුවෙන ආණ්ඩුව මේක. මොකද මම දිගටම හොරු අල්ලන්න ඕනෑ කියලා ඒකත් එක්ක ඉඳපු කෙනෙක් නිසා.  


අද අපේ ආණ්ඩුවෙම මුදල් ඇමැතිවරයා කොමිසමක දුන්නු සාක්ෂියක් මත ඉල්ලා අස්වෙනවා. එහෙම ආදර්ශයක් මීට පෙර ආණ්ඩුවල අපි දැක්කෙ නෑ. තිලක් මාරපන මහත්තයා ඊට කලින් ඉල්ලා අස්වුණා. හොරු ඇල්ලීම සීයට හතළිහක් වගේ සාර්ථකයි. සංවර්ධනය පැත්තෙන් පියවර කීපයක් අරගෙන තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඕනෑතරම් තියෙනවා. අද සුදු වෑන් නෑ. මිනිස්සු අතුරුදන් වෙන්නේ නෑ. උද්ඝෝෂණ කරන අයට වෙඩි තියන්නේ නෑ. පිටරටින් එන විදේශිකයින්ට පහරදීලා මරන්නේ නෑ. සින්නක්කරව විදේශ රටවලට දීපු පෝර්ට් සිටිය වගේ ව්‍යාපෘති වෙනස් කරගන්න පුළුවන් වුණා. අද රගර් ක්‍රීඩකයෝ පාරවල්වල මැරෙන්නේ නෑ. මේ වගේ දේවල් එක්ක සීයට හැත්තෑපහක් විතර සතුටු වෙන්න පුළුවන්.   

 


එහෙනම් රාජිත සේනාරත්න ඇමැතිලා පාරවල්වල වාඩිවෙලා දීපු පෙරොන්දු ඉටු කරන්න කියලා ආණ්ඩුවට බල කරනව කියන්නේ. අනිත් අතට ඒ අයනේ ආණ්ඩුවෙ කෙරුම්කාරයෝ වගේ ඉන්නේ. කාටද මේවා කියන්නේ?   
ඒක තමයි නිදහස කියන්නේ. අද ආණ්ඩුවෙම මැති ඇමැතිවරුන්ට පුළුවන් එළියට බැහැලා මිනිස්සු එක්ක ආණ්ඩුවට බලපෑම් කරන සටන්වලට එකතු වෙන්න. පහුගිය ආණ්ඩුව කාලේ මේ වගේ දේවල් කළානම් ඇමැතිකම නෙවෙයි ජීවිතෙත් ෂුවර් නෑ. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙවෙයිද? මමත් මේ උද්ඝා්ෂණයට සහභාගි වෙන්නයි හිටියේ. ඒත් මට මඩු දේවස්ථානයේ මංගල්‍යයට යන්න වුණු නිසා උද්ඝෝෂණයට යන්න බැරි වුණා. ආණ්ඩුවෙ අයට ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්වීම ලොකු දෙයක්. අද රටේ තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩිද කියලත් වෙලාවකට හිතෙනවා. මේක වල් බූරු නිදහසක් කරගත්තොත් ඒකත් මාර ලෙඩක් වෙනවා.  
ස්වාධීන කොමිසන් සභා පිහිටෙව්ව නිසා කාටවත් මේවට ඇඟිලි ගහන්න බෑ. නීතියට අනුව හැමදේම වෙන්නේ. මේ උද්ඝෝෂණ හරහා කළේ දීපු පොරොන්දු ඉටු කරන්න කියලා ජනාධිපතිට අගමැතිට මතක් කරලා දීමක්.  


ඇයි දෙයියනේ අවුරුදු දෙකක් යන්න කලින් මේ අයට තමන් දීපු පොරොන්දු අමතක වුණේ.  


අමතක කරලා නෙවෙයි. පහුගිය ආණ්ඩු වගේ ඒකාධිපති ස්වරූපයෙන් හැම එකටම ඇඟිලි ගහලා තමන්ට ඕනෑ දේ කරන්න නොයෑම නිසා යම් යම් දේවල් ප‍්‍රමාද වෙනවා. විශේෂයෙන් හොරු ඇල්ලීම. ඒත් මේව මතක් කරලා පීඩනයක් දෙන එක හොඳයිනේ. මේ විපක්ෂය කරන්න ඕනැ වැඩ ආණ්ඩුවෙම පිරිසක් කරන්නේ. මම මේක 2015 ජනවාරිවල ඉඳන් දිගටම කළා.   


මට මේවට බැණුම් අහන්නත් වුණා. පක්ෂෙ අයත් බැන්නා. ඒත් දූෂණ විරෝධී පෙරමුණේ වසන්ත සමරසිංහ මට අද කතා කරලා කිව්වා කෝප් කමිටුවෙ සල්ලිවලට යටවුණේ නැති එකම යූඑන්පි මන්තී‍්‍රවරයා මමයි කියලා ප‍්‍රශංසා කළා.  


ඒ කියන්නේ අනිත් අයට ස්වීප් එක ඇදුණා කියලද  
මම කියන එකක් නෙවෙයි මේ. දූෂණ විරෝධී පෙරමුණේ වසන්ත සමරසිංහ කියන්නේ. ඒ අය සාක්ෂි සහිතව මේ ගනුදෙනු ගැන හෙළි කරන්න සූදානම් වෙනවලු.  

 


ඔබ කොහොම කිව්වත් සාමාන්‍ය ජනතාවට නම් ආණ්ඩුව ඇතිවෙලා වගේ?  
මම ඒ කතාව පිළිගන්නේ නෑ. ඕනෑම ආණ්ඩුවකට බෑ සීයට සීයක් සාර්ථක වෙන්න. අඩුපාඩු තියෙනවා. ඒවා නිවැරැදි කරගෙන යන්න ඕනෑ. ආණ්ඩුව අත ගහපු සංවර්ධන වැඩවල ප‍්‍රතිඵල තව ටික කාලයකින් ජනතාවට ලැබෙනවා. එතකොට ඔය කෑ ගහන අයගෙ කටවල් වැහෙනවා.   

 


අද ආණ්ඩුවෙ ඇමැතිවරු ප‍්‍රසිද්ධියේ බැණගෙන රණ්ඩු වෙනවා. මේකද අරමුලින් කියපු ලිච්ඡවී පාලනය?   
වාද විවද කර ගැනීම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ ප‍්‍රශ්න දුරදිග ගෙනියන්නේ නෑ. පක්ෂ දෙකක් ආණ්ඩුවක් කරද්දි මේ වගේ දේවල් වෙනවා. මමත් ආණ්ඩුවෙ ඇමැතිවරු විවේචනය කරනවා. ඒ කරන්නේ කිසිම වාසියක් බලාගෙන නෙවෙයි. ආණ්ඩුව හරි පාරට දාගන්න වාද විවාද කරන එක හොඳ දෙයක්. ඒත් පුද්ගල ඇජෙන්ඩාස්වලට රණ්ඩුවෙන එක නම් ටිකක් කැතයි තමයි.   

 


රවී කරුණානායක ගැන තීන්දු ගන්න තියෙන ඉක්මන රාජපක්ෂලගෙ පරීක්ෂණවලට නැත්තේ ඇයි?  
ඒ කාරණයේදී ඔබත් එක්ක මම එකඟයි. මටත් තියෙන ලොකුම ප‍්‍රශ්නයක් ඒක. අපි නෙවෙයිනේ මහින්ද රාජපක්ෂ හිරේ දාන්න ඕනැ කියලා කිව්වෙ. එහෙම කිව්වෙ හිටපු අගවිනිසුරු සරත් සිල්වා. එයා කිව්වෙ හිරේ යවන්න ඕනෑ මිනිහා රජ ගෙදර යැව්වා සමාවෙන්න මට සමාවෙන්න මට” කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුවත් හිටපු අගවිනිසුරු කියපු දේවත් ඇහුවෙ නැති ආණ්ඩුවක්. එතනදි නම් අපි වැරැදියි.  


ඒ කියන්නේ යහපාලනය යටතේ ඔබලට හොරු කියලා කෑ ගහපු රාජපක්ෂවරු රැකෙනවා.  


ඔබේ කතාවට මම යම් දුරකට එකඟයි.  

 


මේ අවුරුදු දෙකට රටේ ගොඩක් දේවල් විකුණුනා. මේ ආණ්ඩුව ඉතුරු අවුරුදු දෙක තුනට තව මොනවද විකුණන්නේ?  
 ඕක වැරැදි කතාවක්. සින්නක්කර විකිණීමයි බදුදීමයි කියන දෙකේ වෙනස දන්නෙ නැතුව කියන කතාවක් ඔය. රාජපක්ෂ ආණ්ඩුව කාලේ තමයි ශැන්ග්‍රිලා එකට යුද හමුදාවට අයත් ඉඩම් විකිණුවේ. පෝර්ට් සිටිය චීනයට විකුණුවෙ රාජපක්ෂලා. අපි ඒවා වෙනස් කළා. ඉතින් කොහොමද අපි රටේ දේවල් විකුණුවා කියන්නේ.  

 


ඉතුරු වසර දෙක තුන ඇතුළෙ ආණ්ඩුවේ ඉරණම තීන්දු වෙන්නේ කොහොමද?   
මේ ආණ්ඩුව රැකගන්න කියල තමයි මම නම් ජනතාවට කියන්නේ. නැත්නම් පසුතැවෙන්න වෙයි. මිනිස්සු කොච්චර දොස් කිව්වත් මේ ආණ්ඩුව රැක ගන්න ඉදිරිපත් වෙනවා. ඒක ගැන මට විශ්වාසයි. ඒ ආණ්ඩුවත් හරියට වැඩ කරන්න ඕනෑ. දීපු පොරොන්දු ටික ඉක්මනට ඉටු කරන්න ඕනෑ. එහෙම නැති වුණොත් ජනතාව අතේ තීන්දුව තියෙන්නේ. ඒ කොහොම වුණත් මගේ ගණන් හැදීමට අනුව නම් 2020 පස්සෙත් මේ ආණ්ඩුවට වැඩ කිරීමේ බැරිකමක් නෑ.