මේ අයවැය නිකම්ම නිකම් හුළං බෝලයක්


 සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  

 

නව අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. අයවැය ගැන විපක්ෂය කියන්නේ කුමක්ද? මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධවය.   


ප්‍රශ්නය: කොහොමද අයවැය?   


පිළිතුර: විප්ලවීය අයවැයක් ගෙනෙයි කියලයි අපි හිතුවේ. නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ළිං මැඩි අයවැයක්. මේ අයවැය නිකන්ම නිකං හුළං බෝලයක්.   


ප්‍රශ්නය: ඔබ එහෙම කියන්නෙ   


පිළිතුර: මේ රට අද මුහුණ දෙන මූලික ප්‍රශ්න තුනක් තියෙනවා. ක්ෂණිකවම උත්තර සෙවිය යුතු කොවිඩ් ප්‍රශ්නය නිසා ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා තියෙන්නේ. මිනිසුන්ගේ රස්සා නැතිවෙලා.

සමහරුන්ගේ පඩි කැපිලා. සමහරුන්ගේ කඩවල් වැහිලා. ඒක තමයි එක.   


ඉස්සෙල්ලාම උත්තර හොයන්න ඕන ඒ ප්‍රශ්නයට. දෙවැනි එක තමයි අති විශාල ණය ප්‍රමාණයක් තියෙනවා ගෙවන්න. දේශීය ණය හා විදේශීය ණය වශයෙන් ගොඩක් ණය තියෙනවා. ඉදිරි මාස 120 අපිට ගෙවා ගන්න බැරි අපේ සංචිතවලට වඩා වැඩි ණය ප්‍රමාණයක් තියෙනවා. අපි ගිනි කන්දක් උඩ ඉන්නේ.   


තුන් වැනි ප්‍රශ්නය තමයි තිරසාරව මේ ආර්ථිකය ගොඩනගන්න නම් අපිට ‘‘අයිඩියො ලොජිකල් සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය වෙනවා. ඒක අපි බලාපොරොත්තු වුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයගෙන් එයි කියලා. නමුත් ලැබුණේ නෑ.   


 පළමු වැනි ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ට අමතක වෙලා. කොවිඩ්වලින් වැටිලා තියෙන ආර්ථිකයට උත්තරයක් තමයි රට බලාපොරොත්තු වුණේ. අඩුම ගානේ පරිච්ඡේදයක්වත් ඒකට වෙන් කරලා නෑ. අද අර KMPG එකේ අය කරනවනේ බජට් එකෙන් පස්සේ සෙමිනා එකක්. ඒකට අද උදේ අරගත්තේ අජිත් නිවාඩ් කබ්රාල්ව. එයාම කියනවා, ඒකේ සභාපති, බලන්නකෝ කොච්චර හොඳ අයවැයක්ද? මේ අයවැයේ කිසිම සිනි බෝල නෑනේ කියලා. එතකොට අජිත් නිවාඩ් කබ්රාල් කියනවා, ඔව් ඔව් මිනිසුන්ට සීනි බෝල අපි දීලා නෑ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සීනි බෝල. නමුත් අපි සීනි බෝල දීල නෑ කියලා.   


ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සීනි බෝල නොවෙයි. ගොඩ එන්න අත්වැලක්. වැටිල ඉන්න කර්මාන්තකරුවෝ, කුඩා ව්‍යවසායකයො, ස්වයංරැකියා කරන අය ගොඩ එන්න අත්වැලක් බලාපොරොත්තු වුණා. නමුත් ඒක ලැබුණේ නෑ. දෙවැනි කාරණාව ගත්තොත් කෙටි කාලීන ණය ගෙවීම ගැනවත් කතා කරලා නෑ මේ අයවැයෙන්   


ප්‍රශ්නය: විපක්ෂය බලාපොරොත්තු වුණේ උඩ දදා ගහන්න පුළුවන් අයවැයක්. නමුත් සැර විවේචනයක් ගේන්න බැරි අයවැයක් ආණ්ඩුව ගෙනාවා.   


පිළිතුර: මගෙ අයවැය කතාවේදි මම පෙන්වලා දුන්නා ලෝකයේ රටවල් සීයක පමණ සෘණ ආර්ථිකයක් තමයි තියෙන්නේ. අර කැලණි ගඟ දෙබෑවෙලා මණිඅක්ඛිත නාගරාජයා මතු වුණා වගේ මෙන්න අපේ රටේ ධන ආර්ථිකයක් තියෙනවා කියලා ආණ්ඩුව පෙන්වනවා. දත්ත එකිනෙකට වෙනස්. මහ බැංකුවේ තියෙන දත්තවලට වඩා වෙනස් මහා භාණ්ඩාගාරයෙ තියෙන දත්ත. එකම පොතේ එක තැනක තියෙන දත්තවලට වඩා වෙනස්, ඒ පොතේම තව තැන්වල තියෙන දත්ත.   


උදාහරණයක් හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අයවැය කතාවේ අවසානයෙ තියනවා රජයේ ආදායම එක්දහස් නමසිය හතළිහ ගාණක් කියලා. ලංකාදීප පත්තරේ පවා ඒක තමයි රිපෝට් කරලා තිබුණේ. නමුත් ඒ පොතේ ඊළඟ පිටුවේ වගුවක් තියෙනවා. ඒ වගුවේ තිබෙනවා ආදායම 2029 ක් කියල. ඒවා පොඩි පොඩි වෙනස්කම් කියලා කියමු. නමුත් මෙච්චර වැටිලා තියෙන ආර්ථිකය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් හංගලා තියෙන ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්න නොදෙන රටේ දෙවැනි කාර්තුවේ තුන් වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය කවුරුත් දන්නවා. ඒක සෘණ. හැබැයි ඒගොල්ලෝ ගණන් හදල තියෙන විදිහට 2020 නාමික වර්ධනය ධන හයයි දශම හතයි (+6.7)   


සාමාන්‍යයෙන් මේ දවස්වල උද්දමනය තියෙන්නේ සියයට 4 ක විතර. එතකොට උද්දමනය අඩු කළාම +2.7 ක තමයි වර්ධනය තියෙන්නේ. ඉතින් මේක විහිළුවක්. මේ අය කියනවා ජනතාවාදී අයවැයක් ගෙනාවා කියලා. නමුත් මේකේ අන්තර්ගතය ගත්තොත් අඩුයි. උඩින් බොරු සංඛ්‍යා ලේඛන දාලා රැපින් පේපර් එකකින් ඔතලා තියෙන්නේ.   


ප්‍රශ්නය: සංඛ්‍යා ලේඛන වෙනස් කරනවා කියලා ඔබලා හැමදාමත් රාජපක්ෂ ආණ්ඩුවට කරන චෝදනාවක්. නමුත් ඇත්ත කතාව සංඛ්‍යා ලේඛන වෙනස් කරන්න බැහැ නේද?   


පිළිතුර: මම පාර්ලිමේන්තුවේදී අභියෝග කළා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. අපි බොරුවට එකිනෙකාට චෝදනා කරගෙන වැඩක් නෑ. මම කිව්වා මූල්‍ය පිළිබඳ ප්‍රධාන වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා විගණකාධිපතිගෙන් සහතිකයක් ගන්න කියලා. මේ සංඛ්‍යා ලේඛන විකෘති කරලා නැහැ කියලා. මොකද පාර්ලිමේන්තුවට තමයි බලය තියෙන්නේ ණය ගන්න. 

 
උදාහරණයක් විදියට 2020 දී කරපු වියදම් මේ ගොල්ලෝ 2019 ට දැම්මා. එහෙම දාලා 2020 මහ ලස්සනට පෙන්නල 2019 මහා තැනට පෙන්නලා, එහෙම කරලා අපිට පුළුවන් වුණා ආර්ථිකය ධන අගයකට ගේන්න කියලා පෙන්නුවා. එහෙම කරන්න බෑනේ. මොකද අපේ රටේ තියෙන්නේ කෑස් බේසිස් එකවුන්ටින් හරිද? යම් අවුරුද්දක ආදායමක් ලැබුණා නම් ඒක ඒ අවුරුද්දට තමයි අයිති. යම්කිසි අවුරුද්දක වියදමක් තිබුණා නම් ඒක ඒ අවුරුද්දට තමයි ගණනය වෙන්නේ.   


යම් බද්දක් ගහනවා නම් ඒක ඒ අවුරුද්දට එකතු කළ යුතුයි. නමුත් එළහරකයි මී හරකයි වගේ තමන්ට ඕන විදියට ඒ පැත්තට දාන්නත් මේ පැත්තට දාන්නත් බෑ. ඒක වැරැදියි. කිසි දවසක එහෙම කරලා නෑ. මම මේකේ ඇතුලේ කතාව කියන්නම්. මම නම කියන්න කැමති නෑ. මුදල් අමාත්‍යාංශයෙ ඉහළම නිලධාරියෙක් මේකට විරුද්ධ වුණාම එයාව පන්නල. ආරංචි ඇතිනේ ඔයගොල්ලන්ට. ඉතිං එහෙමයි මේක කරලා තියෙන්නේ.   
මම මේක ලොකුවට පාර්ලිමේන්තුවේදි ගත්තා. මේ කරපු හොර වැඩේ රටට හෙළි කරන්න ඕන. ග්‍රීසියට වුණෙත් ඕකමයි. දත්ත හැංගුවා. අපිට මතකනේ ගිය පාර නඩුත් ගියානේ. දළ දේශීය නිෂ්පාදනය වෙනස් කළාට ඒකට නඩු ගියානේ. කස්ටම් එකේ ඩිරෙක්ටර් ජෙනරාල් කෙනෙකුට දත්ත වෙනස් කරන්න කිව්වා කියලා එයා නඩු ගියානේ. කොන්ද පණ තියෙන නිලධාරින් එහෙම වැරදි කරන්නේ නෑ.   


එදා කළා වගේම මෙදාත් එහෙම කරලා අවුරුදු විසි තිස් ගාණක් මුදල් අමාත්‍යාංශයෙ හිටපු ඉහළම නිලධාරියෙක්වනේ පන්නල තියෙන්නේ. ග්‍රීසියට වුණා වගේම අපේ රටටත් එහෙම වෙයි. කාට බොරු කරන්න පුළුවන් වුණත් මිනිසුන්ව අන්දන්න බෑ. වැඩි දවසක් නොයා මිනිසුන්ට මේක තේරෙයි. කාට හැංගුවත් විශ්ලේකයන්ට, ජාත්‍යන්තරයට, බැංකුවලට මේක හංගන්න බෑ. ආයෝජකයන්ට මේක හංගන්න බෑ.   
මේ අය වෙනත් අය රවටන්න ගිහින් තමන්ම රැවටෙනවා. හැබැයි අපි ඔක්කොම මුළු රටම වළට ඇදලා දානවා. ඒ නිසා විපක්ෂයෙ මන්ත්‍රීවරු හැටියට අපිට වගකීමක් තියෙනවා. මුදල් කාරක සභාවේ සභාපතිකම මගෙන් උදුර ගත්තට මගේ වගකීම මම ඉටු කරනවා. මම මේක නම් අතහරින්නේ නෑ.   


ප්‍රශ්නය:සමෘද්ධිලාභීන්ට සියයට 7 පොලියට සහන ණයක්, රාජ්‍ය සේවකයන්ට සියයට 7 ක නිවාස ණයක් දෙන්න අයවැය යෝජනාවල තියෙනවා. මේවා මහජනයාගේ ඇඟට දැනෙනවා?   


පිළිතුර: ලජ්ජා නැතිව ආණ්ඩුව ඔහොම කියනවා. අපි සියයට 107 කින් රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළා. රනුග්ගේ වාර්තාවේ තිබුණ තව යම් ප්‍රමාණයක් වැඩි කරන්න. නමුත් මේ ආණ්ඩුව ඒක නතර කළා. විශ්‍රාම වටුප වැඩි කරන එක නතර කළා.   


සමෘද්ධිය දෙගුණ කළේ අපිනේ. සියයයට 7 ක පොලියට ණයක් දීලා වැඩක් නෑ. ඒගොල්ලෝ කරන්න හදන්නේ සමෘද්ධි බැංකුවල තියෙන මුදල් ටික ඔක්කොම අරගෙන අලුත් බැංකුවක් හදලා ඒගොල්ලන්ගේ වැඩවලට ඒ සල්ලි ටික ගන්න හදනව. ඊ ළඟට මේගොල්ලො කරන්න හදන්නේ විශ්‍රාම යන වයස පනස් පහ හැට දක්වා වැඩි කරලා ඒ අවුරුදු 5ට ගෙවන්න තියෙන මුදල් ටික ගෙවන්නේ නැතිව අතේ තියාගෙන ඒවා දාන්න යනවා කොටස් වෙළඳපොළටයි, භාණ්ඩාගාර බිල්වලටයි. ඔන්න මම අද කියනව අපි මේදිහා හොඳට බලාගෙන ඉන්නවා. මේ කණ්ඩායම ඔය සෙට් වෙලා තියෙන්නේ ඔය වැඩේට තමයි. මුදල් අරගෙන ඒගොල්ලන්ගේ වැඩ කරගන්න යන්නේ.   


ප්‍රශ්නය: ඔබ මේ අයවැයේ කිසිම හොඳක් දකින්නේ නැද්ද?   


පිළිතුර: මෙහෙමනේ... මම පාර්ලිමේන්තුවේ මගේ කතාවේදී මම කිව්වා ලංකාව කියන්නේ පිටකොටුවේ තියෙන කඩ කාමරයක් වගෙයි කියල. පිටකොටුවේ කඩ කාමරයක් තියෙන මනුස්සයෙක් කවදාවත් දුප්පත් වෙන්නේ නෑ. ඒ මිනිහා කරන්නේ වෙ​ෙළඳාම.   


කවුරුහරි කිව්වොත් අර පිටකොටුවේ මුදලාලිට “මුදලාලි අපට කහ නැහැ. ඒ නිසා අපි මේ කඩය කඩලා කහ වවමු” කියලා. එහෙම කහ වවලා ඒ මනුස්සයාට දියුණු වෙන්න පුළුවන්ද. ඒ නිසා මේ අයවැය තුළ අපි න්‍යායාත්මක ප්‍රශ්නයක් දකිනවා. ලෝකය ඉස්සරහට යන්නෙ ලෝකයේ අනෙකුත් රටවල් සමග එකතු වෙලා. පිටකොටුවේ කඩේ කඩලා කහ වවන්න හදනව වගේ මේ අය කියනව, “අපි ලෝකයත් එක්ක එකතු වෙන්න අවශ්‍ය නෑ. අපි ආනයන ආදේශක ආර්ථිකයක් ගොඩනගමු.” ආනයන ආදේශක ආර්ථිකයක් කියන්නේ අති විශාල ලෙස බදු වැඩි කරලා බැරියර් දාලා බණ්ඩාරනායක මැතිනිය කළා වගේ තැනකට මේ රට තල්ලු කරන්න.   


හැබැයි අපි එහෙම කරන කොට නැගෙනහිර අාසියාවේ රටවල් ලෝකයත් සමග එකතු වෙනව. මීට දවස් පහ හයකට කලින් වියට්නාමය තවත් රටවල් පහළොවක් ලෝකයේ ලොකුම වෙ​ෙළඳ ගිවිසුමට එකඟ වුණා. ලෝක වෙ​ෙළඳාමෙන් සියයට 30 ක් ඒ රටවල් අතර තමයි බෙදිලා යන්නේ. අපි කොහේටද යන්නේ.   
ඒ ඒ රටවල් කලාපීය නිෂ්පාදන ජාලවලට එකතුවෙලා නොයෙකුත් දේවල් නිෂ්පාදනය කරනවා. හාවඩ් විශ්වවිද්‍යාලයෙ ගයිඩ් තුනක් මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මගේ කතාව ඉවර වුණාම දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මගෙන් ඒක ඉල්ලා ගත්තා. මට ඒක දීලා කිව්වා “මේක කියවල අධ්‍යයනය කරන්න” කියලා.   


ජනාධිපති ඉන්නවා, අගමැති ඉන්නවා, කැබිනට් එක තියෙනව. ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තියෙනව. පළාත් පාලන ආයතන තියෙනවා. තව මොනවද ඕනා. සියල්ලම මේ අයට තියෙනවා. දැන් තේරුම් ගන්න තියෙන්නේ ලෝකය කොහොමද දියුණු වෙන්නේ කියලා.   


ප්‍රශ්නය:අයවැය සම්මත කරන්න ඔබේ පාර්ශ්වයෙන් කී දෙනෙක් යයිද?   


පිළිතුර: කිසි කෙනෙක් යන්නේ නෑ.   


ප්‍රශ්නය:20 ගේන කොටත් කිව්වේ එහෙමයි   


පිළිතුර: එහෙම තමයි කිව්වේ. අපි හිතුවේ නෑ එහෙම කට්ටියක් යයි කියලා. ඒ වෙලාවේ එහෙන් මෙහෙන් කතා තිබ්බනේ. මේ පාර එහෙම කතා නැහැනේ. ඒ නිසා කවුරුවත් යන එකක් නෑ.   

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්