මේ අය අල්ලපු හොරෙකුත් නෑ රටත් ඉවරයි


රටේ දේශපාලනය සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර පළවෙමින් තිබෙන පසුබිමක ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ජනපති මෛත්‍රී පාර්ශ්වයට එක්වූ බවට පුවත් පළ විය. ඒකාබද්ධ විපක්ෂයට මොකද වෙන්නේ? ඔවුන් මොනවාද කරන්නේ? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ කළ සංවාදයකි. 

 

ප්‍රශ්නය:- සීගිරි ගල වගේ යැයි කියපු ඒකාබද්ධ විපක්ෂයෙන් දැන් පතුරු ගැලවෙන්න පටන් අරගෙන?  
පිළිතුර:- මොකක්ද ඒ කියන්නේ?  



ප්‍රශ්නය:- බදුල්ලේ ඒකාබද්ධයට හිටපු ‘විදාන ගමගේ සහෝදරවරු’ දෙන්නම ජනපති මෛත්‍රී ළඟට ගියා  
පිළිතුර:- මහ මුහුදෙන් බකට් එකක් ගත්තා වගේ. ඔබතුමා කිව්වා හරියට හරි. සීගිරියෙන් ඔය පතුරක් තමයි ගැලවුණේ. ඕවා කවුද ගණන් ගන්නේ. අපිට ඒක දැනිලවත් නෑ. මේ ඔය ඔක්කොම විකාර කෙරෙන්නේ සැප්තැම්බරය ඉලක්ක කරගෙනනේ. පැහැදිලිවම රටට ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හදවතින්ම ආදරය කරන ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු ඉන්නවනේ. ‘මේ කාලකණ්ණි මූසල ආණ්ඩුවේ ඉන්නවට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්න එක.’ කියලා උදේ හවා කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් ඉන්නවනේ. ඔවුන් කියනවනේ. ‘අපි අවුුරුදු දෙකකට ආවේ. දැන් අවුරුදු දෙක ඉවරයි. අපි යනවා’ කියලා ඔවුන් කියනවනේ. ඉතින් මේකට යම්කිසි විදියේ බලපෑමක් ඇති කරන්න තමයි ඔය වගේ සිල්ලර වැඩ කරන්නේ.  


ප්‍රශ්නය:- ඒකාබද්ධයෙන් මන්ත්‍රීවරුන් හය හත් දෙනෙක් ආණ්ඩුවට එක් වෙනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා.  
පිළිතුර:- එහෙම ගියාම බලමුකො ඔය ආණ්ඩුවට ගියා කියන තේනුක විදානගමගේ මන්ත්‍රීතුමා එදා ඉඳල හිටියෙ ඒ පැත්තෙනේ. මං උදාහරණයක් කියන්නම්. පාර්ලිමේන්තුවේ තීරණාත්මක වෙලාවක ඡන්දය දෙන්න යනකොට මේ රටේ ප්‍රබලම නායකයෙක් කතා කරලා ‘තමුසේ ඡන්දෙ දීලා නඩුවට එනවකො බලන්න’ කියලා තර්ජනයක් ආවා. එදා තේනුක මන්ත්‍රීතුමා ඡන්දය විමසන වෙලාවේ එළියට ගිහින් ඡන්දය මග ඇරියා. ඒ වගේම කඩවල් ඇමැතිකම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේවා මේ ඔය ඔක්කොමත් එක්ක ගැටගැහිච්ච දේවල්.

 


ප්‍රශ්නය:- ඔබ කියන්නේ ඒකාබද්ධයේ හය හත්දෙනෙක් යන්නේ නෑ කියලද?
පිළිතුර:- එක්කෙනෙක්වත් යන්නේ නෑ.  

 


ප්‍රශ්නය:- ඔබ යන්නේ කවදද? ඔබත් යනවා කියලා විවිධ ප්‍රචාර තිබුණා.  
පිළිතුර:- ඒ අය විටින් විට ඔය කතාව කියනවනේ. එහෙම වෙන්නේ මම හිතනවා මම හුඟක් ප්‍රබලයි කියලා. ඒ නිසාම තමයි ඔහොම ප්‍රචාර අරින්නේ. පොඩි අය නොවෙයි එන්නේ. ප්‍රබල අය එන්නේ කියලා අපේ නම් ප්‍රචාරය කරනවා. අපි කරන කියන දේවලුත් එක්ක සමාජය දන්නවා අපි කොතැනද ඉන්නේ කියලා.  

 


ප්‍රශ්නය:- ඇමැති රාජිත කියනවා ‘අගෝස්තුව තීරණාත්මකයි.’ කියලා. ඒක අපිට පේනවා. රාජපක්ෂ පවුලම දැන් විවිධ පරීක්ෂණවලට කැඳවනවා.  
පිළිතුර:- ඒක බොහොම හොඳයි. ඒකේ කිසිම වරදක් නෑ. හැබැයි රාජිත කියනවනේ ‘හිරේ දාන්න ඕනෑ’ කියලා. එහෙම නම් මුලින්ම හිරේ යන්න ඕනැ රාජිත, මොකද රාජිත කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක්. ඔහු අධිකරණ ක්‍රියාදාමය තුළ කිසිම සාධකයක් නොවෙයි. නමුත් ඔහු කියනවා ‘හිරේ දානවා’ කියලා. එහෙම කියන්න එහෙම නම් ඔහු මේ රටේ අග්‍රවිනිශ්චයකාරයා ​ෙවන්න ඕනා. ඔය නොදැනුම්වත්කම සහ අර සොහොන් ලකුණු පෙනෙන්න තියෙන නිසා හිතේ තියෙන වෛරයයි බයයි නිසා කියන කතානේ ඔය.  


ප්‍රශ්නය:- පහුගිය ආණ්ඩුවේ බරපතළ වංචා, දූෂණ, මිනීමැරුම් හොයන්න මේ අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ බොහොම මන්දගාමිවයි කියලා එජාප​ෙය් පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රබල විරෝධයක් මතු වෙලා.  
පිළිතුර:- ඇත්තනේ. ඒක සාධාරණයි. ඒ විරෝධය සාධාරණීකරණය කළ යුතුමයි. මොකද හේතුව, මැතිවරණ ව්‍යාපාරවලදී හැම වේදිකාවකදීම ඒ ආණ්ඩුවේ හිටපු අය හොරු කියලා කිව්වනේ. හොරා කියන එක ස්ථාවර කළානේ. ‘හෙලිකොප්ටර් හයක් ගෙනාවා, මහ රජාට එකයි, මහ රැජිනට එකයි. යුවරජවරුන්ට එකයි. කුමාරවරුන්ට තුනයි. ලැම්බෝගිනි හන්දි ගානේ තියෙනවා කියලා කිව්වනේ. ජනවාරි 8 වැනිදාට ඕවා ගෝල්ෆේස් එකට ගෙනත් මහජනතාවට ප්‍රදර්ශනය කරනවා කියලා කිව්වනේ. රත්තරන් අශ්වයෝ ඉන්නවා කිව්වා. කුමාරවරු යන්නේ රත්තරන් අශ්වයින්ගේ පිටේ කිව්වා. එහෙම කියන කොට රටේ තරුණ තරුණියෝ කට ඇරගෙන බලාගෙන හිටියේ. පැය බාගෙන් බාගෙට ටීවී එකේ දාපු ඇඩ් එක මතකද? අම්මා කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ අම්මා කියනවා ‘යහපාලනය ආවම මගේ දරුවා කුඩුවලින් බේරාගන්න පුළුවන්’ කියලා. අර රතු සහෝදරයා කිව්වනේ. ‘දැන් රටට කුඩු ගේන්නේ රොටි පුච්චන්න පුළුවන්’ තරමට කියලා. දැන් කුඩු ගෙන්වන විදියට සවලෙන් කොන්ක්‍රීට් දාන්න පුළුවන්නේ. ඒ නිසා මේ බොරුව සමාජගත කළා. අවාසනාවකට වගේ මේ රටේ ජනතාව ඒ බොරුව විශ්වාස කළා.   

 


ප්‍රශ්නය:- ඔබ කියන්නේ පදනමක් නැතිව එහෙම චෝදනා කළා කියලද?  
පිළිතුර:- මෙහෙමයි. මහින්ද රාජපක්ෂ පාලනය අවුරුදු 10 යි කිව්වට අපේ ආණ්ඩුවට අවුරුදු 21 ක් නේ. එතකොට වෙනස කියන වචනය බොහොම පහසුවෙන් අලෙවි කරන්න පුළුවන්නේ. ඒ වෙනස කියන එක අලෙවි කරන අතරතුරේ තමයි මේ බොරු ටික විද්දේ. යහපාලනයේ ජයග්‍රහණය සියයට 50 ක්ම අපිව හොරු කරපු නිසයි. නමුත් දැන් මිනිසසු ප්‍රශ්න කරනවනේ ‘කෝ හොරු’ කියලා. ඇත්තටම හොරු නැත්​ෙත අරවා බොරු නිසයි. අල්ලපු හොරෙකුත් නෑ. රටත් ඉවරයි. මහින්ද මහත්තයා රටට ඉතුරු කරපු දායාද විකුණගෙන කන එක​ෙන් ​ෙම් කාලකණ්ණියො කරන්නේ. ඉතින් ඔය කියන පසුපෙල මන්ත්‍රීවරුන්ට ගමට යන්න බෑ. ඒ නිසා කියනවා ‘හොරු අල්ලන්න අපිත් බැහැලා ඉන්නේ.’ කියලා. ගමේ එහෙම කියලා හවසට අපිත් එක්ක කියනවා. ‘මචං ගමේ යන්න බෑ. අපේ බොරු මිනිස්සු ප්‍රශ්න කරනවා. මෙහෙම හරි නොකිව්වොත් මිනිස්සු ගහලා පන්නනවා’ කියලා.  

 


ප්‍රශ්නය:- ඇත්තටම ගිය ආණ්ඩුවේ අයට එරෙහිව පරීක්ෂණ නොකෙරන්නේ සමහරුන් ජනපති මෛත්‍රී එක්ක ඩීල් දාගෙන ඉන්න නිසා හා සමහරුන් අගමැති රනිල් එක්ක ඩීල් දාගෙන ඉන්න නිසා.  
පිළිතුර:- හරිනේ. මේ ගොල්ලෝ නීතිපති දෙපාර්තමේන්තුවට පළුයන්න බණිනවා. එෆ්.සී.අයි.ඩී. එකටත් සීඅයිඩී එකටත් ටිකක් බණිනවා. විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිතුමා නීතිගරුකව ක්‍රියා කරනවා. එතුමට පළුයන්න බණිනවා. ‘එකට ඩීල් දාගෙන ඉන්න අපි ඉඩ දෙන්නේ නෑ.’ කියලා කියනවා. ඔය ඩීල් කතාව එන්නේ ඒ නිසයි. එහෙම කියලා අපිත් එක්ක කියනවා ‘වෙන මොනවා කියන්නද මචං. ගමට යන්න බෑ. ආණ්ඩුව ඇදගෙන නානවා’ කියලා. ඔයා එතැන හිටියත් මම එතැන හිටියත් කියන්​ෙන එහෙම තමයි. එහෙම නැතිව ‘අනේ අපි කිව්වේ බොරු, සමාවෙන්න’ කියලා කියන්නද?  


ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂයෙන්ම අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂට විශ්වාසභංගයක් ගේන බව කියනවා. ඒකාබද්ධ විපක්ෂයෙ ස්ථාවරය මොකක්ද?  
පිළිතුර:- එහෙම විශ්වාසභංගයක් ගේන්න හේතුවක් තියෙනවනේ. රාජිත එදා විහාර මහා දේවි උද්‍යානයේදී කියනවා. මේල් නර්ස් තව මොකක්ද එකක් කියනවා. අර අඩදබර හාමුදුරුවෝ තව මොකක්ද කියනවා. ‘කො​ෙහ් හරි ඉන්න නඩු කාරයෝ තුන් දෙනෙක් ගෙනල්ලා පුටුවක් මේසයක් තියලා නඩු අහන්නලු. ‘මුන්ව හිරකරන්න ඕනලු.’ මේ සොහොන් ලකුණු දැකලා කෑගහන්නේ. මාකෝස්ට වෙච්ච දේ දන්නවා. ඉඩි අමින්ට වෙච්ච දේ මතක් වෙනවා. පොල්පොට්ට වෙච්ච දේ මතක් වෙනවා. පෝලන්තයෙ රතු චතුරස්‍රයේ වෙච්ච දේවල් මතක් වෙනවා. එහෙම නපුරු හීන දකින කොට නැගිටලා මොනවා හරි කියනවා. එකිනෙකට සම්බන්ධ නෑනේ මේ කතා. බැඳුම්කර මහ හොරකම රවීගේ පිටින් අරිනවා වගේ ​ෙම්ක විජයදාස රාජපක්ෂගේ පිටින් අරින්න බලනවා. ඔහුට තර්ජනය කරනවා. ‘අපි තමයි උඹව දැම්මේ. අපි කියන එවුන්ව හිර කරපං’ කියලා. ඔහු ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. ජනාධිපති නීතිඥයෙක්. ඔහු හෘදසාක්ෂියට අනුව වැඩ කරන කෙනෙක් හැටියට අපිට පේනවා. වරාය ගැන ඔහු ඔහුගේ මතය ඉදිරිපත් කරනවා. ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඔහු පිළිගන්නා චරිතයක් බවට පත්වෙලා. ඒ නිසා ඔය සමහරු කියනවනේ ‘මම සුප්‍රිම් උසාවියට යන්නේ. නීතිය ඉගෙන ගන්න එන ළමයින්ට මම උගන්වනවා. මම නීති පනත දන්නවා.’ කියලා. නමුත් දන්න කෙහෙල්මලක් නෑ. ඔහු කියන දේවල්වලින් ඒ බව පේනවනේ. මේ අධීකරණ ඇමැතිට ගහන්නේ මේ කාලකණ්ණි පොරොන්දු ටික. රටේ ජනතාව මුළා කරපු මහා මුස්පේන්තු මූසල පොරොන්දු ටික ඔප්පු කරගන්න බැරිව ළතැවෙන කණ්ඩායමක් තමයි අධිකරණ ඇමැතිවරයාට ගහන්නේ. සමාවෙන්න ඕනැ ම​ෙග් භාෂාවට. ඒත් එහෙම කියැවෙන්නේ මේ රටට කරන විනාශය දැක දැක අපේ යුගයේ මේ කාලකණ්ණි වැඩ දිහා බලාගෙන හිටියා කියලා ඉතිහාසය තුළ ලියාගන්න අපි කැමැති නෑ.  

 


ප්‍රශ්නය:- විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභාංගයක් ආවොත් ඒකාබද්ධ විපක්ෂය මොකද කරන්නේ?  
පිළිතුර:- ඉස්සෙල්ලාම චෝදනා පත්‍රය බැලිය යුතුයි. නමුත් දැනට කියවෙන චෝදනා මොනවාද? නඩු ඉක්මන් කරන්​ෙන් නෑලු. අලුත් උසාවි හදන්නේ නෑලු. රාජපක්ෂලා හිරේට ගන්​ෙන් නෑලු. නීතිපති දෙපාර්තමේන්තුව නඩු ඉක්මන් කරන්නේ නෑලු. රනිල් වික්‍රමසිංහ කියනවා ‘විමර්ශන අවසන් කරපු ලිපිගොනු අසූ ගණනක් නීතිපති ගාවලු. ඒ කොමිසම ස්වාධීන නම් ඒ තොරතුරු අගමැතිවරයා දැනගන්නේ කොහොමද?  

 


ප්‍රශ්නය:- නමුත් අගමැතිවරයා සතු බලතල අනුව....  
පිළිතුර:- කොහේද එහෙම බලතල තියෙන්නේ. ඔය කොමිසම් සභා, අධිකරණය ස්වධීන විය යුතුයි අධිකරණ ඇමැතිවරයා ඒ බව දන්නවා. ඔහු අවශ්‍ය පරිපාලන ව්‍යූහය හදනවා. අධීකරණ ඇමැතිට බෑ ‘මේ නඩුව උන්ගේ ඒක ඉක්මන් කරපං. මේ නඩුව අපේ ඒක පස්සට දාපං’ කියන්න. ඒ නිසා නොදන්න කමට කියන බාලාංශ කතා ඕවා. ඒ නිසා ඔය විශ්වාසභංග යෝජනාව පරාජය කළ යුතුමයි.  

 


ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂයෙන්ම අැමැති ෆයිසර් මුස්තාපාට එරෙහිවත් විශ්වාසභංගයක් ගේනවලු.  
පිළිතුර:- ඒකෙත් බලන්න ඕනෑ චෝදනා පත්‍රය මොකක්ද කියලා. දැන් විජයදාසගේ චෝදනා නම් ප්‍රසිද්ධියේ කියනවනේ. මුස්තාපාගේ තාම චෝදනා මොනවද දන්නේ නැහැනේ. පාර්ලි​ෙම්න්තුවේ කෙසේ වෙතත් එයාට සමාජයෙන් නම් චෝදනා පත්‍රයක් තියෙනවා. ඒ හිතාමතාම පළාත් පාලන මැතිවරණය නොයෙකුත් උප්පරවැට්ටි දමමින් ජනතාවගෙන් වසන් කරමින් කල් දමමින් මහා කාලකණ්ණි මූසල ගමනක් යන බව ජනතාව කියනවා. ඒ නිසා එයා නම් දැනටමත් ජනතාවගෙන් පැරදිලා කුජීත වෙලා ඉවරයි.  

 


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය බැඳුම්කරේ එල්ලිලා හිටියා වැරදිකරුවෙක් ලෙස අධිකරණයෙන් ඔප්පු නොවුණත් රවි ඇමැතිකමින් ඉල්ලා අස්වුණා. දැන් ඒකාබද්ධයට යන එන මං නෑ.  
පිළිතුර:- එහෙමද හිතන්නේ. මේක ​ෙ​ම් මෙගා ටෙලිඩ්‍රාමා එකක්. මේ මෙගා ටෙලි ඩ්‍රාමා එක යන්නේ කොටස් වශයෙන්. පළමුවැනි කොටස රඟ දැක්වූවේ මීට කලින්. ඔබට මතකද ඇවන්ගාඩ් සිද්ධියේදී නිශ්ශංක සේනාධිපතිත් එක්ක පෞද්ගලික සම්බන්ධතා තිබුණා කියලා ඔහුගේ නීති උපදේශකවරයා විදියට හිටියා කියලා ඇමැති තිලක් මාරපන ඇමැතිකමින් ඉල්ලා අස්වුණා. හැබැයි ඇවන්ගාඩ් නඩුව තවම යනවා. නිශ්ශංක සේනාධිපති තවමත් නිදොස්කොට නිදහස් කරලා නෑ. නමුත් අද මාරපන යළිත් ඇමැති කෙනෙක් වෙලා. රවි කරුණානායකගේ ඉල්ලා අස්වීම එ්කේ දෙවැනි කොටස. තව කොටස් සීයක් විතර යයි. මට කියන්න තියෙන්නේ ඒකයි. දැන් රවි කරපු ඇමැතිකමනේ මාරපනට දෙන්නේ. ඇයි ඒක මාරපනටම දෙන්නේ. වෙන කෙනෙකුට දුන්නොත් ඒක ආපහු ගන්න අමාරුයිනේ. මාරපන ඉතින් යන්න කියනකොට යනවා. එන්න කියනකොට එනවා. බොහොම වැදගත් මනුස්සයෙක්නේ. එල්ලිලා ඉන්න දඟලන මනුස්සයෙක් නෙවෙයිනේ.  

 


ප්‍රශ්නය:- කොහොම වුණත් ඇමැති රවි ඉල්ලා අස්වීම හරහා අලුත් බලගතු දේශපාලන ආදර්ශයක් තිබ්බා කියලා ඔබට පිළිගන්න වෙනවා.  
පිළිතුර:- නෑ. මෙහෙමයි. ඔබ කියන විදියට ඒක හොඳ ආදර්ශයක්. ඒ ගැන ගැටලුවක් නෑ. හැබැයි ඒ ආදර්ශයේ තියෙන ව්‍යාජත්වය අබිරහස් කුමන්ත්‍රණශීලි බව අපිට අමතක කරන්න බෑ. ඒ නිසා ඒක ආදර්ශයක් විදියට සලකන්න බෑ.  

 


ප්‍රශ්නය:- ආණ්ඩුවේම ඇමැතිවරුන් කොමිසම් ඉදිරියට කැඳවනවා. පැමිණිලි විභාග කරනවා. ගිය ආණ්ඩුවත් එක්ක බලනකොට ​ෙම් වැඩ ‘මාරයි’ කියාල කියන්න පුළුවන්.  
පිළිතුර:- මම දන්න දේශපාලන ඉතිහාසයේ දූෂණ වංචා සම්බන්ධ චෝදනා කවදාවත් එල්ල වෙලා නෑ කියන එකත් ‘මාරයි’ නේද? මහ දවල් මහ බැංකුව මංකොල්ලකෑවා. සියයට 9ට 10ට තිබුණ පොලී අනුපාතය සියයට 17ට 18ට දැන් ගිහිල්ලා. පාලනය කරගන්න බැරි තැනට ගිහිල්ලා. බැඳුම්කර අවුරුදු 30 කට නිකුත් කරලා තියෙන්නේ. මේ ආණ්ඩුවේම මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලක්ෂ්මන් යාපා කියනවා ‘බැඳුම්කර පාඩුව ට්‍රිලියනයක්’ කියලා. ඒ කියන්නේ බිලියන දාහක්. මේ කියන්නේ අපි නොවෙයිනේ. අර රාජිතගේ පුතා. ‘මගේ ඇස් දෙකෙන් ඩුබායිවලදී දැක්කා කෝටි හතළිස් අටදාස් නවසිය හැටක්’ කියලා කිව්වා වගේ නොවෙයිනේ. මේවා විශ්වාස කරන්න පුළුවන්ද? එයා නම් ළදරුවෙක්නේ. නමුත් මුදල් රාජ්‍ය ඇමැතිවරයාම එහෙම කියනකොට කොමිසමක් හරි මොකක් හරි දාලා මොකක් හරි නොකළොත් ඒක ‘මාරයි’ නොවෙයි මාරාන්තිකයි. අද ග​ෙම් මිනිහා බඩු මිල ගැන කතා කරන්නේ නෑනේ. ජීවත්වෙන්නේ කොහොමද කියලා අහන්නේ නෑනේ. අහන්නේ එකම දෙයයි. ඒ තමයි ‘මහත්තයෝ කවදද ඡන්​ෙද තියෙන්නේ’ කියලා. මේ ආණ්ඩුව මාර ආණ්ඩුවක් තමයි. ඒ ඡන්ද නොතිය ඉන්නත් ව්‍යවස්ථාව සංශෝධනය කරන නිසයි.  

 


ප්‍රශ්නය:- මේ ඔක්කොම මැද්දෙ ඔබලා බලාගෙන ඉන්නවා ආණ්ඩුව ගන්න?  
පිළිතුර:- අනිවාර්යයෙන්ම. මේ රට ඉතාම නරකම තැනක තියෙන්නේ. අපේ ආණ්ඩු කාලයෙත් යම් යම් අඩුපාඩුකම් තිබුණා. නමුත් යුද්ධය නැති සාමකාමී රටක් බිහි කළා. ඇහැට පේන සංවර්ධනයක් කළා. මහින්ද මහත්තයා හදපු හම්බන්තොට වරාය ​ෙම් ආණ්ඩුව චීනයට දෙන කොට අනුර කුමාර දිසානායක කියනවා හම්බන්තොට වරාය ර​ෙට් ආර්ථික මර්මස්ථානයක්. ජාතියට දායාදයක්.’ කියලා. හැබැයි ඡන්දෙ කාලේ එයාලා මොනවද කිව්වේ. බොරුවේ තරම පැහැදිලියිනේ. අද ජනතාව මේ කාරණා හොඳින් තේරුම් අරගෙන තියෙන්නේ. මේ ආණ්ඩුවත් බොහොම උජාරුවෙන් කියනවනේ ‘මත්තල ගුවන් තොටුපළත් දෙනවා’ කියලා. වී ගබඩාවක් ගන්න එන්නේ කවුද දන්නේ නෑ. මත්තල තියෙනවා අක්කර 4000 ක්. මත්තල දෙනකොට ඔය අක්කර 4000ත් දෙන්න වෙනවා. උතුරු නැගෙනහිර දෙන්න ඕන ඒවා දීලා ඉවරයි. දැන් දකුණේ එහා කොණත් දෙන්න යනවා. රටේ අවාසනාවන්තම යුගයකට තමයි අපි පා තබලා තියෙන්නේ. රටේ ජනතාව දැන් ඉන්නේ අවස්ථාවක් එනකම්.  

 


ප්‍රශ්නය:- ඒ අවස්ථාව කවදා උදාවෙයි කියලද හිතන්නේ?  
පිළිතුර:- මාඕ සේතුං කිව්වා ව​​ෙග් ​ෙද්ශපාලනයට සතියක් කියන්නේ සෑහෙන කාලයක්. ඒ නිසා දේශපාලන අනාවැකි කීම අපහසුයි. අපි ඒ ගැන අවධානයෙන් ඉමු.

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්