මුළු රටේම අපේ පාක්‍ෂිකයන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවන්න වැඩ කරගෙන යනවා


ජනමාධ්‍ය ඇමැති හා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති 
රුවන් විජයවර්ධන   

 

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය කෙබඳුද? මේ ගැන විමසමින් ජනමාධ්‍ය ඇමති හා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.   

 

ප්‍රශ්නය - කොහොමද ඡන්ද ව්‍යාපාරය?   


පිළිතුර - ඉතාම හොඳ ප්‍රවර්ධනයක් තියෙනවා. මුළු රටේම අපේ පාක්‍ෂිකයෝ ඉතාම උනන්දුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවන්න වැඩ කරගෙන යනවා. ඒවගේම අනෙකුත් පක්‍ෂවල ඉන්න ජනතාවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පැමිණීමත් සමග ඒ පක්‍ෂවලින් ගැලවිලා අපේ කඳවුර වටා ඒකරාශී වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනවන්න කැපවෙන බවට ප්‍රතිඥා දෙනවා. ඒ සාකච්ඡා දැන් ආරම්භ වෙලා තියෙන්නේ.   


ප්‍රශ්නය - නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෝඨාභයට සහයෝගය දක්වන්න තීරණය කරලා තියෙන්නේ?   


පිළිතුර- ඔව්. පක්‍ෂයේ උඩ තට්ටුවේ මන්ත්‍රීවරුන් පොහොට්ටුවත් එක්ක සම්බන්ධ වුණාට බිම් මට්ටමේ සංවිධායකවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අපිත් එක්ක සාකච්ඡා කරනවා. එහෙම බැලුවාම රටේම ලොකු ඉල්ලීමක් තියෙනවා අලුත් තරුණ ශීලාචාර නායකත්වයකට. අලුත් ආකල්ප තියෙන, ජවයක් තියෙන තරුණ නායකත්වයක් අවශ්‍යයි කියන මතය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සුදුසුකම් සියල්ලම තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉහළින්ම ජයග්‍රහණය ලබන්න පුළුවන්කම තියෙනවා. 

 
ප්‍රශ්නය - ඔබ හිතනවද ඔබේ කඳවුරෙන් දාන්න පුළුවන් හොඳම අපේක්‍ෂකයයි මේ දැම්මේ කියලා?    


පිළිතුර - පක්‍ෂය තුළත් ගොඩාක් දුරට සාකච්ඡා කළා. විවිධ මතිමතාන්තර තිබුණා. විවිධ අදහස් තිබුණා. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණත් සමග ඉන්න සියලුම පක්‍ෂවල නායකයන් සමගත් සාකච්ඡා කරලා අන්තිමට අපි එකඟතාවකට ආවා මෙවර ජනාධිපතිවරණයට සුදුසුම අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා. එතැනදී පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීත් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදීත් සියලුම දෙනාම සාකච්ඡා කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යුතුයි කියන යෝජනාව ඒකමතිකව සම්මත වුණා.   

 

එක්සත් ජාතික පෙරමුණත් සමග ඉන්න සියලුම පක්‍ෂවල නායකයන් සමගත් සාකච්ඡා කරලා අන්තිමට අපි එකඟතාවකට ආවා මෙවර ජනාධිපතිවරණයට සුදුසුම අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා. 

 

ප්‍රශ්නය - සටන් කරලා අපේක්‍ෂකත්වය ගන්න වෙච්ච නිසා පක්‍ෂය තුළ බෙදීමක් ඇති වුණා කියලා මම කිව්වොත්? 

 
පිළිතුර - සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙම කිසිම බෙදීමක් ඇති වුණේ නෑ. අපේ පක්‍ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් නිසා යම් යම් මතිමතාන්තර සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා සමහර වෙලාවට උණුසුම් වෙනවා. නමුත් අන්තිමට පක්‍ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනාම සාමූහිකව හරි තීරණය ගන්නවා. පොහොට්ටුව ගත්තොත් එවැනි තත්ත්වයක් නෑනේ. එතැන තියෙන්නේ පවුලක්. පවුල වටා තමා හැම දේම එකතු වෙන්නේ. වෙන කෙනෙකුට ඒ පක්‍ෂයේ තැනක් නෑ. ගෙදර කෑම මේසයෙදි තමයි ජනාධිපති අපේක්‍ෂකයා තෝරන්නේ. අගමැති අපේක්‍ෂකයා තෝරන්නේ. කනානායකවරයා තෝරන්නේ. ආර්ථික කටයුතු ඇමැති තෝරන්නේ. තරුණ කටයුතු ඇමැති තෝරන්නේ. එහෙම තත්ත්වයක් නොවෙයි මෙතැන තියෙන්නේ. අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ඒක තුළ අපි සියලු දෙනාම සාකච්ඡා කරලා, වාද විවාද කරලා නිවැරදිම තීරණය ගන්නවා. ඒක උණුසුම් ක්‍රියාකාරීත්වයක්. නමුත් ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. පක්‍ෂයට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න බැරුව කොහොමද රටට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ? ඒ ආදර්ශය අපි අපේ අපේක්‍ෂකයා තෝරා ගැනීමේ ඉඳලම රටට දීලා තියෙනවා.   


ප්‍රශ්නය - ඔබ කිව්වා “රට ඉල්ලනවා තරුණ හා අලුත් සංකල්ප තියෙන නායකයෙක්” කියලා. නමුත් සජිත් ප්‍රේමදාස නම් කියන්නේ “මම පියා නතර කළ තැනින් පටන් ගන්නවා” කියලයි. ඒ කියන්නේ ඔහු අවුරුදු 30ක් පිටිපස්සෙන්?   


පිළිතුර - මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ එතුමාගේ පියා කරපු සේවය එතුමත් ඉදිරියට ගෙනියනවා කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ දවස්වල විවිධ ක්‍ෂේත්‍රවල ඉන්න ප්‍රධානීන් හමුවෙනවා. වෘත්තීයවේදීන්, ව්‍යාපාරික පංතිය, තාක්‍ෂණික වෘත්තීයවේදීන් ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රවල අය හමුවෙනවා. තොරතුරු අදහස් හුවමාරු කර ගන්නවා. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තව සතියකින් විතර ඉදිරිපත් කරනවා. එතැනදී එතුමාගේ දැක්ම පිළිබඳව අවබෝධයක් ජනතාවට ලබා ගන්න පුළුවන්. එතුමා තරුණයෙක්. එතුමා හොඳ අධ්‍යාපනයක් ලබලා තියෙනවා. පිටරට විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන තියෙනවා. ඒ ආකල්ප මේ රටේ අනාගතය සරසන්න අපට යොදා ගන්න පුළුවන්.   
ප්‍රශ්නය - ජනාධිපතිවරණයට තව තියෙන්නේ මාසයකටත් අඩු කාලයක්. ප්‍රතිපත්ති ප්‍රකාශනයක්වත් තවම එළියට දාගන්න බැරි වුණේ ඇයි?   


පිළිතුර - ඒක ඇත්තටම අපි ටිකක් හිතලම තමයි ප්‍රමාද කළේ. නියම වෙලාවට අපි ඒක ඉදිරිපත් කරනවා. මොකද සමහරුන් බලාගෙන ඉන්නවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිහා බලලා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් ඒ විදියට හදන්න. එහෙම සාකච්ඡා ඒ පක්‍ෂ ඇතුළේ වුණා කියලා අපි දන්නවා. ඒ නිසා අපි අන්තිම මොහොත වනතුරු හිටියා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන්න.   


ප්‍රශ්නය - ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඉතාම දියුණු පුළුල් බලගතු දේශපාලන සන්ධානයක් ගොඩ නගනවා කියලා කිව්වා. කෝ ඒ සන්ධානය?   


පිළිතුර - ඒ සන්ධානය ඇත්තටම අලුතෙන් හදන්න දෙයක් නෑ. 2015 පෙරැළියට දායක වුණ දේශපාලන පක්‍ෂ, බලවේග, සිවිල් සංවිධාන තවමත් අපිත් එක්ක ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අපිත් එක්ක එයි කියලා අපි හිතුවා.   


ප්‍රශ්නය- ඇත්තටම ඒක එහෙම නොවුණේ ඇයි?   


පිළිතුර - මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ බලපෑමට ජනාධිපතිතුමත් අහුවුණා. එතුමත් අතරමං වුණා වගේ කියලයි මං හිතන්නේ. නමුත් පොහොට්ටුවට සහයෝගය දීමට ගත්ත තීරණය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බිම් මට්ටමේ කිසිම ප්‍රසාදයක් නෑ. ඔවුන් ඒකට විරුද්ධයි. කොහොම වුණත් ඔය ඔබ කියපු විදිහේ පුළුල් සන්ධානයක් විදියට ආවේ නැති වුණත් ඒ අවශ්‍ය සහයෝගය අපේ සටනට ලැබෙනවා.   


ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාසගේ වේදිකාවෙන් පොරොන්දු වැසි වසිනවා. මේ පොරොන්දු ප්‍රායෝගිකද, යථාර්ථවාදීද කියන ප්‍රශ්නය මතු වෙනවා?   


පිළිතුර - එතුමා නිකම්ම පොරොන්දු දෙන නායකයෙක් නොවෙයි. එතුමා දක්‍ෂ, වැඩ කරන ඇමැතිවරයෙක්. සල්ලි හොයාගෙන වැඩ කරන ඇමැතිවරයෙක්. එතුමා විපක්‍ෂයේ ඉන්නකොටත් විශාල වශයෙන් සංවර්ධන කටයුතු කළ ඇමැතිවරයෙක්. “සසුනට අරුණ” වැඩසටහන වුණත් ගන්න. ඉතින් ඒ නිසා එතුමා දෙන පොරොන්දු එතුමාට ඉටු කරන්න පුළුවන්. එතුමාට හොඳ උපදේශක මණ්ඩලයක් ඉන්නවා. ඒ උපදේශක මණ්ඩලයෙන් එතුමාට හොඳ උපදෙස් ලැබෙනවා. එතුමා කිසියම් සැලැස්මක් ඇතිව තමයි එවැනි පොරොන්දු දෙන්නේ. මේවා ඡන්ද පොරොන්දු නොවෙයි. මේ රට ඉල්ලන වැඩපිළිවෙළවල්. ඒවා ඉටු කරන්න පුළුවන්.   


ප්‍රශ්නය - සියලු බදු අයින් කරනවා, ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනවා, සියලු පොහොර නොමිලේ ලබාදෙනවා. මේවා කරන්න රටකට ආදායම් මාර්ගත් තිබිය යුතුයි. නමුත් ඒක ගැන කිසිම කතාවක් නෑ?   


පිළිතුර - ඔබ කියන එකට ආදායම් මාර්ගයක් තිබිය යුතුයි. මම මුලින් කිව්වා වගේම එතුමාට හොඳ උපදේශක මණ්ඩලයක් ඉන්නවා. ආර්ථික විශේෂඥයන් ඇතුළු සෑම ක්‍ෂේත්‍රයකටම අයත් විශේෂඥයන් එතුමත් සමග ඉන්නවා. ඔවුන් සමග තමයි එතුමා වැඩ කරන්නේ. පොරොන්දු ඉටු කිරීමට සැලැස්මක්, වැඩපිළිවෙළක් නැත්නම් එතුමා එහෙම කියන්නේ නෑ. ඒ නිසා ඒ පොරොන්දු ගැන කවුරුවත් කලබල විය යුතු නෑ.   


ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාසගේ කතා අහගෙන ඉන්නකොට හිතෙනවා ‘ඔහු ඉන්නේ විපක්‍ෂයේද’ කියලා?   


පිළිතුර - සමහර අවස්ථාවල ආණ්ඩුව හැටියට අපිත් නිවැරදිම දේ කළා කියලා කියන්න බෑ. සමහර අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා ස්වයං විවේචනය කිරීම වැරැදි වැඩක් කියලා හිතන්න බෑ. අපිටත් කලකිරෙන්න වෙච්ච අවස්ථා තිබණා. නමුත් මොන අඩුපාඩු තිබුණත් ඒ අඩුපාඩු ඇති වෙන්න බලපාපු හේතුත් තිබුණා. මේක තනි පක්‍ෂයක ආණ්ඩුවක් නොවෙයි. විපක්‍ෂයේ භාගයක් ඉන්න පක්‍ෂයක් එක්ක කරපු හවුල් ආණ්ඩුවක්. එතකොට සාමූහික තීරණ ක්‍රියාත්මක කරනකොට ඒක හරියටම නොවිච්ච අවස්ථා තිබුණා. පහුගිය අවුරුදු හතරහමාර තුළ ඒ විදිහෙ බාධා කිරීම් මැද, කකුලෙන් ඇදීම් මැද ජනතාවට උපරිම සේවය අපි ආණ්ඩුවක් විදියට කළා. රජයක් හැටියට අපේ තිබුණ ලොකුම අඩුපාඩුව තමයි අපි කරපු සංවර්ධනය ගැන අපි කරපු සේවය ගැන හරියට ජනතාවට කිව්වේ නෑ. ඒක විශාල අඩුපාඩුවක්. පසුගිය රජය රුපියල් සීයක වැඩ කරලා දාහක ප්‍රචාරය ගත්තා. නමුත් අපේ රජය ඊට වඩා වැඩි සේවයක් හැම ක්‍ෂේත්‍රයකම කරලා තියෙනවා. නමුත් හරි විදියට ඒකට ප්‍රචාරය ගත්තේ නෑ. ඒක තමයි මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නය.   


ප්‍රශ්නය - ඔබ තමයි ජනමාධ්‍ය ඇමති?   


පිළිතුර- ඔව්. මම ජනමාධ්‍ය ඇමැති තමයි. නමුත් මේ වගකීම බාර දුන්නේ මේ මෑත කාලයේදී. ඒ හැරත් මටත් විවිධ ප්‍රශ්නවලට ගැටලුවලට මුහුණ දෙන්න වුණා. ඒ පරිසරය තුළත් පහුගිය මාස තුන හතර තුළ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මට කාලය ප්‍රමාණවත්ව තිබුණානම් හා බාධ කිරීම් නොතිබුණා නම් මීට වඩා වැඩි යමක් කරලා පෙන්වන්න තිබුණා.   


ප්‍රශ්නය - අඩුම තරමේ ඔබට රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ඉවත් කරගන්නවත් බැරි වුණා?   


පිළිතුර - එවැනි ගැටලුවලට තමයි මට මුහුණ දෙන්න වුණේ. ඇත්තටම ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. අපට අවශ්‍ය වුණේ රූපවාහිනී සංස්ථාවේ පරිපාලනය ඉතාම හොඳට කළමනාකරණය කරලා ආයතනයේ සේවකයන්ටත් ලොකු සේවයක් කරන්න. ඒ හරහා රූපවාහිනී සංස්ථාවේ අරමුණ වෙතට මේ ආයතනය මෙහෙයවන්න. නමුත් විවිධ බලපෑම් නිසා ඒක හරියටම කරගන්න බැරිවුණා.   


ප්‍රශ්නය - අන්තිමට ජාතික රූපවාහිනී සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශයට පවරා ගත්තා?   


පිළිතුර - ඔව්. එහෙමත් වුණා.   


ප්‍රශ්නය- ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිත් ඔබයි?   


පිළිතුර - ඔව්. ඔව්. ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිත් මමයි.   


ප්‍රශ්නය - පාස්කු ප්‍රහාරයට මාස හයයි. වින්දිතයෝ තවම විඳවනවා. එතැනදීත් ආණ්ඩුව හරි විදියට ක්‍රියාත්මක වුණේ නෑ. ඔබේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවත් ඒ ප්‍රහාරයේ ගොදුරු බවට පත්වුණා?   


පිළිතුර - ඇත්තටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම තවමත් වේදනාවෙන් හා කම්පනයෙන් ඉන්නේ. විපතට පත් ජනතාවට ඒ විපතෙන් ගොඩ ගන්න කළ හැකි, කළ යුතු හැම දෙයක්ම කළ යුතුයි. ඒ වෙනුවෙන් මම කැපවී ඉන්නවා. රජයක් හැටියටත් අවශ්‍ය සියලු දේ ක්‍රියාත්මක කළා. තවත් කළ යුතු දේවල් තියෙනවා. ඒවා ගැන පසුවිපරම් කරමින් මම නිරන්තර අවධානයෙන් ඉන්නේ. ඒ ජනතාවගේ මානසික තත්ත්වය යථා තත්ත්වයට පත් කළ යුතුයි. තුවාල ලැබූ ජනතාවට අවශ්‍ය ප්‍රතිකාර සඳහාත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ඒ මොනවා වුණත් ඒ ජනතාවගේ වේදනාව තවම තියෙනවා. ඒ වේදනාව නිවීම සඳහා කළ යුතු හැම දෙයක්ම අපි කරනවා.   


ප්‍රශ්නය - ප්‍රහාරකයන්ට උදව් කරපු දේශපාලනඥයන් ගැන ජනතාව විවිධ චෝදනා කළා. නමුත් ඒ දේශපාලනඥයන්ට අදාළව ක්‍රියාමාර්ගයක් ගැනුණේ නෑ. 

 
පිළිතුර - මේ දවස් ටිකේම ආරක්‍ෂක මණ්ඩලය සමගත් අපේ බුද්ධි අංශ සමගත් සාකච්ඡා කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සුමාන තුනක් යනකොට රහස් පොලිසිය, ත්‍රස්ත විමර්ශන අංශය විසින් ඒ සිද්ධියට ඍජුවම සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ අත්අඩංගුවට ගත්තේ ඒ ප්‍රහාරයට, ඒ ත්‍රස්තවාදීන්ට පිටින් උපකාර කරපු අය. ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ පිරිස් සුමාන තුනක් යනකොට අත්අඩංගුවට ගත්තා.   


ප්‍රශ්නය - දේශපාලනඥයන්ටත් චෝදනා එල්ල වුණා?   


පිළිතුර - එහෙම චෝදනා එල්ල වෙනවා. මේ සම්බන්ධයෙන් අපේ බුද්ධි අංශ විශේෂ විමර්ශන කළා. මමත් ඒ බුද්ධි අංශ නිලධාරීන් සමග සාකච්ඡා කළා. ඒ දේශපාලනඥයන් ත්‍රස්තවාදීන්ට උදව් කිරීමක් ගැන හෙළිදරව් වී නැහැ.   

 

කෙටිම කාලයක් තුළ වැඩිම වැඩකොටසක් කළ ආණ්ඩුවක් වගේම සෑම ජන වර්ගයකම විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් විදිහටයි අපි ජනතාව ඉදිරියට යන්නේ. ඒ නිසා අපට ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිම අවිශ්වාසයක් නෑ. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒකාන්ත ජයග්‍රහණයක් ලබනවා.


ප්‍රශ්නය - සහරාන් සමග සාකච්ඡා කරන ඇමැති හකීම්ගේ වීඩියෝවක් මාධ්‍ය ප්‍රචාරය කළා? 

 
පිළිතුර - හකීම් ඇමැතිතුමා පමණක් නොවෙයි හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරතුමන් සහරාන්ට අතට අත දෙන ඡායාරූප පළවුණා. එතුමන් කියන්නේ ඒ ප්‍රදේශයේ වැඩ කරනකොට විවිධ පිරිස් මුණ ගැහෙනවා මිසක් ඔවුන් සමග වැඩකළේ නැහැ කියලයි. රාවුෆ් හකීම් ඇමැතිතුමත් ත්‍රස්තවාදයට උදව් කරන දේශපාලනඥයෙක් නොවෙයි. එතුමා මේ රටට විශාල ආදරයක් තියෙන ජාතික සමගිය වෙනුවෙන් අවංකවම කැපවෙච්ච නායකයෙක්. කිසියම් උත්සවයක, සාකච්ඡාවක විවිධ පුද්ගලයන් ඉන්නවා. දේශපාලනඥයන් හමුවෙන්න විවිධ පුද්ගලයන් එනවා. ඒ තැන්වලදී ඡායාරූප ගන්නවා. වීඩියෝ කරනවා. අවුරුදු ගානකට පස්සේ ඒ ඡායාරූප එළියට දානවා. ඒකෙන් කියැවෙන්නේ නෑ එදා හමුවීමයි මෙදා සිද්ධියයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ආරක්‍ෂක අංශ මේ ගැන පුළුල් පරීක්‍ෂණ කළා. එයින් තහවුරු වුණේ එහෙම සම්බන්ධයක් නෑ කියලා තමයි.   


ප්‍රශ්නය- සජිත් ප්‍රේමදාසගේ ගෝල්ෆේස් රැලියේදී ඇමැති රිෂාද් බදුර්දීන්ට කතාවක් නොදුන්නේ කතාවක් දුන්නොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතලද?   


පිළිතුර - ඒක ගැන මම හරියටම දන්නේ නෑ. සංවිධායක මණ්ඩලයෙන් තමයි ඒ ගැන අහන්න ඕනෑ. නමුත් මම හිතනවා ඒ අවස්ථාවේදී රිෂාද් බදුර්දීන් ඇමැතිතුමාටත්, මනෝ ගනේෂන් ඇමැතිතුමාටත් කතාවක් දුන්නා නම් හොඳයි කියලා. නමුත් කිසියම් හේතුවක් නිසා ඒක වුණේ නෑ. ඒක සංවිධායක මණ්ඩලයේ වගකීමක්. අපි රැස්වීමට සහභාගී වුණා. නමුත් සංවිධාන කටයුතුවල හිටියේ නෑ. 

 
ප්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්‍ෂ පහක් ඉල්ලීම් 13ක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකක්ද එක්සත් ජාතික පක්‍ෂයේ ස්ථාවරය?   


පිළිතුර - දෙමළ සන්ධානය ඉදිරිපත් කරලා තියෙන යෝජනා ගැන පක්‍ෂය ඇතුළේ සාකච්ඡාවක් තියෙනවා. මොනවා වුණත් අගමැතිතුමාත්, සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඉතාම පැහැදිලිව කියලා තියෙන්නේ රටේ ඒකීය භාවයට තර්ජනයක් වෙන කිසිම යෝජනාවකට එකඟ වෙන්නේ නෑ කියලා. ඒ ගැන සාකච්ඡාවක් දෙමළ සන්ධානය සමග තියෙනවා. කිසියම් එකඟතාවකට එනවද නැද්ද කියලා ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන් වෙයි. රටේ ඒකීය භාවයටත් ජාතික ආරක්‍ෂාවටත් තර්ජනයක්වන මොනම යෝජනාවකටවත් අපේ එකඟතාවක් නෑ.   


ප්‍රශ්නය - ඔබ කිව්වා දෙමළ සන්ධානය සමග සාකච්ඡා කරනවා කියලා. ඒ සාකච්ඡාව කෙරෙන්නේ යෝජනා 13 ගැන ද? එකඟතාවක් ඇති කරගත හැකි මාර්ගයක් ගැන ද?   


පිළිතුර - ඒ දෙකම ගැන සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කෙරෙන්නේ පක්‍ෂයේ ඉහළ නායකයන් සමග. ඒ සාකච්ඡාවල යම් එකඟතාවකට ආ හැකි තැන් ගැන කතා කරනවා ඇති.   
ප්‍රශ්නය - මහින්ද රාජපක්‍ෂ නම් කිව්වේ මේ යෝජනා අතටවත් ගන්නේ නෑ කියලා?   


පිළිතුර - මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට එහෙම කියන්න පුළුවන්නේ. මොකද එතුමා දන්නවනේ එතුමන්ලා පරාදයි කියලා. ඒ වගේම දෙමළ ජනතාවගේ වගේම මුස්ලිම් ජනතාවගේ කිසිම සහයෝගයක් තමන්ට ලැබෙන්නේ නෑ කියලා එතුමා දන්න නිසා ඒ විදියට කියන්න පුළුවන්. නමුත් අපි එක්සත් ජාතික පක්‍ෂය හැටියට සියලුම ජාතීන් සමග සාකච්ඡා කරමින් ජාතික සමගිය තුළින් කොහොමද රට සංවර්ධනය කරා ගෙනියන්නේ කියන සංවාදය කරනවා. මොන සාකච්ඡාවක් කළත් මම මුලින් කිව්වා වගේම රටේ ඒකීය භාවයත් ජාතික ආරක්‍ෂාවත් මුල් තැන තියලා තමයි අපි ඒ සාකච්ඡාව කරන්නේ.   


ප්‍රශ්නය - අගමැති රනිල් යන රැස්වීම්වලට පාක්‍ෂිකයෝ හූ කියනවා. මොකක්ද මේ අලුත් සම්ප්‍රදාය?   


පිළිතුර - එක තැනකදී එක පුද්ගලයෙක් කරපු දෙයක් ගැනයි ඔය ඔබ අහන්නේ. මීඩියා එකේ කැමරා ඒ පැත්තට යොමු වුණාම ලොකු සිදුවීමක් වගේ පේන්න ඇති. නමුත් ඒ සිද්ධිය හුදකලා එක සිද්ධියක් විතරයි. ඒ සිද්ධියෙන් රැස්වීමේ කටයුතුවලට කිසිම බාධාවක් වුණේ නැහැ. විවිධ පුද්ගලයෝ ඉන්නවා. හැබැයි හූව ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපිට නොවෙයි පොහොට්ටුවටයි. පොහොට්ටුවේ වේදිකාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගොඩවෙන කොට පාක්‍ෂිකයෝ හූ කියනවා. මම ඒකයි කිව්වේ නායකයන් එකතු වුණා කියලා කිව්වට බිම් මට්ටමේ සාමාජිකයන් එකතු වුණේ නෑ කියලා. ඒ නිසා හූ කියා ගන්නවා.   


ප්‍රශ්නය - මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය දිහා බැලුවම දිනන්න ඉඩක් තියෙනවා කියලා හිතනවද?   


පිළිතුර - අනිවාර්යයෙන්ම. රට ඉල්ලන අපේක්‍ෂකයා අපි ඉදිරිපත් කළා. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තරුණයි. උගත්. ඒ වගේම වෙහෙස නොබලා වැඩ කරනවා. පාක්‍ෂිකයෝ ආදරෙයි. රටේ ජනතාව තුළ ඉහළ පිළිගැනීමක් තියෙනවා. ගෞරවයක් තියෙනවා. දේශපාලන පරිණත බව තියෙනවා. ඒ වගේම අපි වැඩකරපු ආණ්ඩුවක්. ජාත්‍යන්තරය තුළ කොන්වෙලා තිබුණ රටක් ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වුණු රටක් බවට පත් කළා. මාධ්‍ය නිදහස වගේම මානව හිමිකම් ඉහළින්ම ආරක්‍ෂා කරන රටක් බවට අපේ රට පත් කළා. සුදු වෑන් නැති, මැර කණ්ඩායම් නැති රටක් බවට අපේ රට පත් කළා. වංචාවෙන්, දූෂණයෙන් තොරව රට වේගවත් සංවර්ධනයකට යොමු කළා. කෙටිම කාලයක් තුළ වැඩිම වැඩකොටසක් කළ ආණ්ඩුවක් වගේම සෑම ජන වර්ගයකම විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් විදිහටයි අපි ජනතාව ඉදිරියට යන්නේ. ඒ නිසා අපට ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිම අවිශ්වාසයක් නෑ. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒකාන්ත ජයග්‍රහණයක් ලබනවා.

 

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්