මුල ඉඳලම වැඩේ වරද්ද ගත්තේ ආණ්ඩුවයි


සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල   

පවතින දේශපාලන වටපිටාව පිළිබඳ මේ අදහස් දැක්වීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල.  


● කොවිඩ් එන්නතටත් දේශපාලනය ගාවගෙන විදගත්තද ඔබත්   


අපේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුව තුළ නිරන්තරයෙන්ම කතා කරපු දෙයක් ඕක. විද්‍යාත්මක නොවන දේවල් පස්සේ යන වෙලාවෙ මේ එන්නත් ලබාගැනීමට කටයුතු කරමු කියලා. අපේ දේශීය වෙදකමට ගරහනව නොවෙයි. ඒත් නිසි පරීක්ෂණවලටවත් ලක් නොකරපු දේවල් පස්සෙ දුවන්නෙ නැතුව විද්‍යාත්මකව තහවුරු කරපු එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාව එතුමා දිගින් දිගට පෙන්වා දුන්නා. මේක ලෝක වසංගතයක්. ඒ නිසා ඕන රටක් කටයුතු කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන උපදෙස් මාලාව අනුව. සැමට එන්නත් ලබාදීම රජයේ වගකීම. පහුවෙලා හරි අපිට දැන් යම් ප්‍රමාණයක් ලැබිල තියෙනවා. ඒක රජයක් හැටියට මේ රජය මේක ඒ තරම් බරපතළ විදියට ගත්තෙ නෑ. ඒක තමයි මේ තරම් මේක අර්බුදකාරී තැනකට ගියේ. සෞඛ්‍ය ඇමැතිතුමියම ජනතාවට පේන්න අර පැණියක් බිව්වා. එයාම ගිහින් මුට්ටියක් ගඟට දැම්මා. අන්තිමට මොකද වුණේ? එයාටත් කොරෝනා හැදුනා.  


දැන් පැහැදිලිනේ ඒව මිත්‍ය කියලා. විපක්ෂයක් විදියට අපි කොයි වෙලාවකවත් මේ ප්‍රශ්නයේදී දේශපාලනය ගාව ගත්තේ නෑ. ආණ්ඩුව තමයි වැඩේ වරද්ද ගත්තේ මුල ඉඳලම. ආණ්ඩුව ප්‍රමාද වෙලා හරි එන්නත දෙන්න කටයුතු කිරීම ලොකු දෙයක්, තවදුරටත් මිත්‍යාව පස්සෙ දුවන්නෙ නැතුව. මමත් එන්නත ලබා ගත්තා.   


● එන්නත් දීමේ ප්‍රමුඛතා ලැයිස්තුවෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුලින් හිටියේ නෑ නේද? කොහොමද එයාල උඩට ආවේ?   


ඒක සිද්ධ වුණේ කොහොමද කියන්න නම් මම දන්නේ නෑ. නමුත් මන්ත්‍රීවරුන් ජනතාව එක්ක නිතර ගැවසෙන අය. මහජනතාව අතරට නිතරම ඔවුන්ට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා දෙගොල්ලොගෙම ආරක්ෂාවට මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දීම වරදක් කියලා මම හිතන්නේ නෑ. සමහරු මේ ගැන විවිධ අදහස් පළ කරල තිබුණා. මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මේ වනවිට එන්නත ලබාගෙන තියෙනවා. අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට සියලු දෙනාටම එන්නත දෙන්න කියලා. සාමාන්‍ය ජනතාවටත් දැන් ලබා දෙමින් යනවා.   


● මේ එන්නත ෂුවර් නෑ වගේ කතාවක් විපක්ෂ නායකවරයා කියල තිබුණා. 

 
ඒත් මේ එන්නත දැන් ගොඩක් අය පාවිච්චි කරන එකක්.   
ආණ්ඩුවක් තිබුණට විපක්ෂයක් නෑ වගේ කියල මිනිස්සු කියනවා. 

 
විපක්ෂයක් තියෙනවා. විපක්ෂය ගොඩක් දේවල් කරනවා. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විපක්ෂයේ භූමිකාව අපි කරනවා. ආණ්ඩුවේම සමහරු කියනවා ඒ අය විපක්ෂයේ වැඩෙත් කරනවා කියලා. ඒවා ඉතින් ගැලරියට කියන කතා. ඇත්ත විපක්ෂයේ කාර්යය අපි කරනවා. ඒ ගැන ප්‍රශ්නයක් නෑ, ආණ්ඩුවේ අය ඔය කියන්නේ ඒගොල්ලන්ගෙ ඇතුළේ අර්බුද නිසා. අද ආණ්ඩුව දෙකට තුනට බෙදිලා. බල පොරොයක් දරුණු විදියට ක්‍රියාත්මක වෙනවා. රාජපක්ෂ පවුලෙම කණ්ඩායම් තුනක් විතර අද බෙදිලා තියෙනවා. ඒවට සහය දෙන්න අනිත් කට්ටියත් ඒ ඒ පැත්තට හේත්තු වෙලා. ඒක ආණ්ඩුවේ අර්බුදයක්. රටේ ජනතාව අද අසීරුම අඩියකට වැටිලා. ඒ ප්‍රශ්න අමතක කරවන්න ආණ්ඩුව විවිධ නාටක රඟදක්වනවා.   


● එතෙනදී තමයි විපක්ෂයේ ජොබ් එක තියෙන්නේ. ආණ්ඩුව අමතක කරවන්න හදන දේවල් මතක් කරල ජනතාව එක්ක ඉන්න ඕනැනේ?   


අපි ඒක කරනවා. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. දැන් ආණ්ඩුව වැඩ කරන්න බලය ඕනෑ කියල තුනෙන් දෙක ඉල්ලුවා. 20 සම්මත කරන්න ඕන කිව්වා. දැන් ඒ ඔක්කොම හරි. අයිය අගමැති මල්ලි ජනාධිපති තවත් මොනවද කියන්නේ? මෙයාලට තව මොනව දුන්නත් ඔච්චර තමයි. ඉතිහාසයේ ඉතාමත් වේගයෙන් පිරිහීමට ලක්වෙච්ච ආණ්ඩුව තමයි මේක. දීපු පොරොන්දු ඉටු කරන්න බැරි වෙලා. ඒක වහ ගන්න තව තවත් බොරු කියනවා. වැඩ කරන විරුවා කියාගෙන තමයි ආවෙ. ඒත් වැඩ නෑ සංදර්ශන විතරයි. ගෝඨාභය රාජපක්ෂ දිනුවට පස්සේ මිනිස්සු පාරවල් ගානෙ තියාගෙන කිරිබත් කෑවනෙ. එතකොට ඒ මිනිස්සු කැකුළු හාල් ගත්තේ රුපියල් 80ටත් අඩුවට. දැන් කීයද දැන් කැකුළු හාල් කිලෝ එකක් 110ට එහා. හැබැයි අද එදා වගේ ‘දැන් සැපද’ කියලා අහන්න කෙනෙක් නෑ. එහෙම අපහු අයටත් අද ඒව මතක නෑ. 

 
ජනතාවට තුන්වේල කන්න නැති තත්ත්වයක් අද ඇතිවෙලා තියෙන්නේ. අපි මේ ගැන නිතර ප්‍රශ්න කරනවා. ආණ්ඩුව රටේ සාමාන්‍ය ජනතාව ගැන වගේවගක් නැතුව ගජ මිතුරු ව්‍යාපාරිකයන් කීප දෙනකුට පොහොසත් වෙන්න ඉඩ දීලා තියෙනවා. සීනි ප්‍රශ්නය බලමුකො. එතන මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුව එයාලගෙ ගජ මිතුරු බිස්නස්කාරයකුට පොහොසත් වෙන්න අවස්ථාව සලසලා දීලා මෙතන ලොකු ජාවාරමක් සිද්ධ වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට උදවු කරපු ඉහළ පෙළේ ව්‍යාපාරිකයො ගැන මිසක් සාමාන්‍ය රටවැසියා ගැන බලන්න ආණ්ඩුවට ඕනෑකමක් නෑ.   


මේ ගැන ඇහුවම මහින්දානන්ද අලුත්ගමගේ ඇමැති නම් පාර්ලිමේන්තුවේදී කිව්වේ විපක්ෂය සීනි ඇටයක් අල්ලගෙන දඟලනවා කියලා.   


ඔය කියන ව්‍යාපාරිකයා ආණ්ඩුවේ ගජ මිතුරෙක්. වියත් මගේ රැස්වීම් තියන්න ශැංග්‍රිලා හෝටලයේ පහසුකම් ලබාදී ආණ්ඩුවේ නායකයන්ගේ යාළුවනේ. ඉතින් එයාව සුද්ද කරන්න මහින්දානන්දලට එහෙම දේවල් කියන්න වෙනවා. ඒක ගැන අපි පුදුම වෙන්නේ නෑ. මෙච්චර වංචාවක් සීනි ඇටයක් විදියට නොසලකා යන්න ආණ්ඩුවට පුළුවන් නම් මීට වඩා ආණ්ඩුව ගැන කතා කරල වැඩක් නෑ. මහින්දානන්දලා මහ බැංකුව ගැන එදා කතා කෙරුවෙ. එයාලා තමයි මේ මහා පරිමාණ වංචා සීනි ඇටයක් කියලා ලිස්සලා යවන්නේ.   
මේ ආණ්ඩුව බලයට ගේන්න විශාල සහයෝගයක් කරපු පිරිසක් තමයි විදෙස්ගත ශ්‍රමිකයො. කිව්වෙ රට විරුවා කියලා. ඡන්දෙට එනකොට එයාර්පෝට් එකට ගිහින් පිළිගත්තේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ අයත් ලොකු කැම්පේන් එකක් කෙරුවා මේ ආණ්ඩුව බලයට ගේන්න. විවිධ රටවල ඉන්නවා අපේ රටෙන් ගිය අය. ඇත්තටම එයාල රට විරුවො තමයි. ඒත් මේ ආණ්ඩුව ඒ ලේබල් එක ඒ අයට එල්ලුවෙ ඡන්ද ටික ගන්නකම් විතරයි. කොරෝන තත්ත්වය තුළ මේ රට විරුවො අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. ආණ්ඩුව මේ අය දිහා බැලුවෙ නෑ. මේ අය විදෙස් රැකියාවලට යන්නේ ගිවිසුම්ගතව. ඒ ගිවිසුම් කාලය ඉවර වුණාම රැකියාව අහිමි වෙනවා. එහෙම වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. මේ අය ඒ රටවල්වල අනාථ වෙලා වගේ. ආණ්ඩුවට මේ ගැන කිසිම අවබෝධයක් නෑ. කොහොම හරි එන පිරිසට මොකද කරන්නේ නිරෝධායන තත්ත්වය තුළ විශාල මුදල් අය කර ගැනීමක් කරනවා. නැවත ඒ මුදල් යන්නේ ආණ්ඩුවෙ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට. මේ විශාල අසාධාරණයක්. අමාරුවෙන් අවුරුදු දෙක තුනක් හොයාගත්ත මුදල මේකට දෙන්න සිද්ධ වෙලා. තානාපති කාර්යාල හරහා මේ අසරණ වෙච්ච රට විරුවො ගැන හොයා බලන්න ආණ්ඩුව පියවර ගත්තේ නෑ. මේ ප්‍රශ්නයේදී එක කාරණයක් ගැනවත් ආණ්ඩුව සංවේදී වුණේ නෑ. ඔන්න මේ ආණ්ඩුව රට විරුවන්ට සලකපු විදිය.   


● නැගෙනහිර ජැටියේ ප්‍රශ්නෙ ඉවර වුණෙත් ආණ්ඩුවට ලකුණු වැටිලා. ජැටිය බේර ගත්තේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි වගේ නේද? සමහර මාධ්‍ය වාර්තා පළ වුණා.   


ඇත්තටම ආණ්ඩුව දෙන්න හිතාගෙන හිටියෙම බටහිරද දන්නේ නෑ. බටහිර දෙන්න මුලින් නැගෙනහිරත් දාලා නාටකයක් නිර්මාණය කළාද කවුද දන්නේ.   


මේ ආණ්ඩුවෙ තියෙන්නෙම එහෙම නාට්‍යනේ. අපි කියන්නේ බටහිරද නැගෙනහිරද නොවෙයි කිසිම එකක් දෙන්න එපා කියලා. කොළඹ වරාය කියන්නේ අපේ ආර්ථික මර්මස්ථානයක්. නැගෙනහිර දෙන්න හිටියේ 49%ක් නේ. බටහිර 83%ක් දෙන්න හදනවනේ. ඒක කොහොමද සාධාරණීකරණය කරන්නේ.   


● විසඳුමත් එක්කම උද්ඝෝෂණකරුවෝ වැඩේ අකුල ගත්තනෙ. ඉතින්?   


ඔතන උද්ඝෝෂණ කළ විවිධ පිරිස් වරාය සේවකයො වගේම පිටින් ආපු අයත් හිටියා. එයාලටත් මේ ගැන හරි අවබෝධයක් තිබුණද කියල දන්නේ නෑ. කොහොම වුණත් මේ ගොඩක් වැඩ එක තැනකින් තිර රචනය ලියවිලා අධ්‍යක්ෂණය වෙලා දර්ශනය වෙන නාට්‍ය කියන එක පැහැදිලියි. දැන් හරිනම් බටහිරින් අහිමි වෙන 83% ගැන සටන පටන් ගන්න එපායැ.   


දැන් ඔය තවත් සටහන් කරළියට ඇවිත් තියෙන්නේ. විමල් - බැසිල් සටන කියලා. බටහිර ජැටිය දුන්නට පස්සෙ මේ නාට්‍යයත් ඉවර වේවි. රජය හිතනව නම් තවදුරටත් මේ විදියට ජනතාව රවට්ටන්න පුළුවන් කියලා ඒක තමයි ආණ්ඩුවෙ අවසානය. ආණ්ඩුව ෆේල් කියන එකට උදාහරණ ඕන තරම් තියෙද්දී, ආණ්ඩුව ඇරෙන්න හැමෝම ඒක පිළිගනිද්දි මේ ආණ්ඩුවට තවදුරටත් ගමනක් නෑ කියන එක ගැන සැකයක් නෑ.   


● ඡන්දෙ කට මුල තියාගෙන යූ.එන්.පීය දෙකට බෙදුණා. ඒකෙ වාසිය මේ ආණ්ඩුව ගත්තා. දැන් ඔබ කියනවා ආණ්ඩුව තුනට බෙදිලා කියලා. එහෙනම් වට්ටන්න හරිම ලේසියිනේ.  


එකට ඉන්න පිරිසක් දෙකට බෙදුනම ප්‍රතිවාදී පිළට වාසියි. ඒක ඕනෑම අවස්ථාවක එහෙම තමයි. මැතිවරණය වෙලාවෙ අපි බෙදීම තුළ අපි දෙගොල්ලන්ටම පාඩුවක්, අවාසියක් සිද්ධ වුණේ. අදටත් යූ.එන්.පී. මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවෙ නැත්තේ ඒ නිසා. මන්ත්‍රීවරු විසි පහක් විතර ඒ බෙදීම නිසා අපිට හිමි වුණා. ඒ කොහොම වුණත් ආණ්ඩුවේ මේ බෙදීම ඇතුළෙ ලොකු බල අරගලයක් තියෙන්නේ. ඒ වාසිය අපි අනිවාර්යෙන්ම ගන්න ඕනෑ. දේශපාලන වශයෙන් අපි ඒ වාසිය ගන්න ඕනෑ. ආණ්ඩුව ෆේල් කියන්නේ රටත් ෆේල් කියන එක. රට පාස් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් එක්ක අපි බලය ලබා ගන්න ඕනෑ.   


● යහපාලන ආණ්ඩුව කාලේ කරපු වැඩ ගැන සද්දෙ දැම්මෙ නෑ කියලා කියනවා. අද ගම සමඟ පිළිසඳර වගේ සද්දෙ දාලා කරන වැඩ තියෙනවා. ඔබලට ඒ නාඩිය නැති එක විපක්ෂයට යන්න හේතුවක් වුණානේ. අද සජිත් ප්‍රේමදාසත් ගමින් ගමට යනවා. හැබැයි ගම සමඟ පිළිසඳරට කලින් රජයේ කාර්යාලවලට ගියානේ. ආර්.එම්.වී. එකට ගියා. පාස්පෝට් ඔෆිස් එකට ගියා. ඒවයි ක්‍රමවේද හැදිලද? එතන ප්‍රශ්න නැද්ද? දැන් ජනතාවට කිසිම හිරිහැරයක් නැතුව වෙලාවට වැඩ කෙරෙන්නේද? ඒ ඔක්කොම සංදර්ශන ඒ තැන්වල තිබුණු ප්‍රශ්න එහෙමමයි. ඊටත් කලින් හාල් කඩවලට ගිහින් මිල ගණන් අහලා සංදර්ශනයක් දැම්මා. අද හාල් කීයද? අඩු කළාද හාල් මිල? ගම සමඟ පිළිසඳර කියන්නෙත් තවත් එවැනිම මාධ්‍ය සංදර්ශනයක් විතරයි.   


ඉස්කෝලෙකට කම්පියුටර් දෙක තුනක් දෙන්න, ගමේ පාරට බස් එකක් දෙන්න, ඉස්කෝලෙ පිට්ටනිය හමුදාව දාලා හදනව කියලා කියන්න විශාල වියදමක් දරල ඔය වගේ සංදර්ශන පවත්වන්න ඕනෑ නෑ. දැන් ඔය සංදර්ශනයකට යන වියදම කොච්චරද කියල ගණනය කරන්න ඕනෑ හරි නම්. රාජ්‍ය නායකයෙක් ගමට යන එක නරක නෑ. ඒත් රටේ ප්‍රශ්න විසඳන ක්‍රමය මේකයි කියල හිතනවා නම් ආණ්ඩුව ෆේල් කියන එක අපි අමුතුවෙන් කියන්න දෙයක් නෑ.   


සජිත් ප්‍රේමදාස ගමට ගියේ අද ඊයේ නොවෙයි. එතුමා කවදත් ගම එක්ක හොඳ ගනුදෙනුවක හිටියා. එතුමා ගමට යන්නේ ගමේ ප්‍රශ්න අඳුනගෙන. ඒවට නිසි වැඩපිළිවෙළක් සකස් කරගන්න මිසක් විශාල මුදලක් නාස්ති කරගෙන රාජ්‍ය නිලධාරීන් රොත්තක් එක්ක ගිහින් සංදර්ශන දාලා එන්න නෙවෙයි.   


● සමගි ජනබලවේගයේ පළමු කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පවත්වල තනතුරු එහෙමත් බෙදාහදා ගත්තා. කලින් යූ.එන්.පීයේ වෙච්ච වැරදි මේකෙ වෙන එකක් නැද්ද?   


සමගි ජනබලවේගය අලුත් පක්ෂයක්. අපි පළවෙනි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම තිබ්බා. බොහෝ දෙනාට වගකීම් බාර දුන්නා. ඒවා වගකීම් මිසක් තනතුරු කියලා අපි හිතන්නේ නෑ. මටත් පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක කමක් ලැබුණා. අපි වගකීම් බෙදාගෙන ඉදිරියට යනවා. පරණ අර්බුද සිද්ධ වෙන්න ඉඩක් නෑ මෙතන. උපරිම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක තමයි අපේ පක්ෂය ක්‍රියාත්මක වෙන්නේ.   


● සමගි ජනබලවේගය ඇතුලෙ සජිත් සහ පාඨලී චම්පික අතර බල අරගලයක් වෙන්න නියමිතයි වගේ දේශපාලන අනාවැකි පළ වෙනවා.   


ඇතුළෙ ඉන්න අපිට එහෙම එකක් පේන්නෙ නෑ. එළියේ එහෙම පොඩි කසුකුසුවක් තියෙනවා. ඒත් පාඨලී චම්පික මැතිතුමත් අපේ පක්ෂයේ කෙනෙක්. පක්ෂයේ ඊළඟ විධායක සභාවේදී එතුමටත් තනතුරක් හිමිවේවි. අපිට නම් එහෙම බල අරගලයක් පේන්න නෑ. එළියේ ඕනෑ කෙනෙකුට ඕනෑ ඕනෑ විදියට අනාවැකි කියන්න බැරිකමක් නෑනේ.   

 

 

සාකච්ඡාව
ප්‍රියන්ත කොඩිප්පිලි