මීට කලින් රෑ නිදියන්නෙ ඇමැති විදියට උදේට නැගිටින්නේ නිකම්ම නිකම් මන්ත්‍රී


රටේ නව දේශපාලන පෙළ ගැසීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග කළ සාකච්ඡාවකි. 


ප්‍රශ්නය:- ලංකාවේ මේ මොහොතේ දේශපාලනය ඔබට දැනෙන්නේ කොහොමද? 
පිළිතුර:-
බොහොම දීර්ඝව උත්තර දිය යුතු ප්‍රශ්නයක්. දැනට තියෙන දේශපාලන තත්ත්වය පිළිබඳව මට කියන්න තියෙන්නේ පක්ෂ දෙකක් එකතු වෙලා කරන ආණ්ඩුවක් තියෙනවා. යම් යම් මත ගැටුම් මැද මේ ආණ්ඩුව ඉදිරියට යනවා. අපට ජයග්‍රහණ කිහිපයක් දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා. පසුගිය වසර දෙක තුළ ඒ වගේම යම් යම් පසුබෑම් ටිකකුත් තියෙනවා. මේ අභියෝග මැද ආණ්ඩුවක් විදියට අපි ඉස්සරහට යන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ.්


ප්‍රශ්නය:- දේශපාලනයේ ප්‍රමිතිය, ගුණය ගැන හිතුවොත් මොනවද කියන්න තියෙන්නේ.
පිළිතුර:-
දේශපාලනයේ ගුණාත්මක භාවය, ගැන ප්‍රශ්න ගණනාවක් හැම ආණ්ඩුවක් කාලෙම ඇතිවෙලා තියෙනවා. ආණ්ඩු කරනකොට එහෙම තමයි. ගුණාත්මක භාවය ගැන ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඔබ මගෙන් නිශ්චිතවම මොකද්ද කියලා ඇහුවොත් මට උත්තරයක් දෙන්න පුළුවන්.


ප්‍රශ්නය:- උතුරු මැද පළාත් සභාව ගත්තොත් මන්ත්‍රීවරු දාහත් දෙනෙක් මහ ඇමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනවා. ආණ්ඩුකාරවරයා කිව්වලු “ඉහළින් ආපු නියෝගයක් නිසා ඒක භාරගන්න බෑ” කියලා.
පිළිතුර:-
මෙහෙමයි. මන්ත්‍රීවරුන්ගේ පක්ෂපාතීත්වය මත මහ ඇමැතිවරයා තීරණය කිරීමේ අයිතිය කාටවත් නෑ. ඒක තීරණය කරන්නේ පක්ෂය විසින්. ඔය කාරණාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් අපට ආවා. මෙයට පෙරත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව ඉතාම පැහැදිලියි. බහුතර මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවත් එක්ක නොවෙයි මේක තීරණය වෙන්නේ. මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයත් ඕනෑ නම් ගේන්න පුළුවන්. ඒත් පක්ෂය තමයි ඒක තීරණය කරන්නේ.

ප්‍රශ්නය:- ඉහළින් ආපු නියෝගයට අනුව භාරගන්නේ නැති වුණාම ප්‍රජාතන්ත්‍රවාදයට මොකද වෙන්නේ?
පිළිතුර:-
ඇත්තටම මම දන්නේ නෑ ඒ කාරණය. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සංධානයෙ මහ ඇමැති තීරණය කරන්නේ එක්සත් ජනතා නිදහස් සංධානය විසින්. මහ ඇමැතිට විරුද්ධව විශ්වාසභංග ගෙනල්ලා කරන්න පුළුවන් දෙයක් තියෙයි කියලා මම හිතන්නේ නෑ ව්‍යවස්ථාවට අනුව.


ප්‍රශ්නය:- උතුරු මැද ඇමැති කූට්ටම හිතුමනාපෙ අනනවා. ඇමැතිකම් දෙන්නේ දක්ෂයන්ටද? පාක්ෂික දාස භාවය සලකළාද?
පිළිතුර:-
ඒක තීන්දු කරන්න පුළුවන් පක්ෂ නායකයාට. මීට කලින් රෑ නිදියන්නේ ඇමැති විදියට. නැගිටින්නේ නිකම්ම නිකම් මන්ත්‍රී. එහෙම මාරු කරලා තියෙනවා. පක්ෂයෙ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පක්ෂයේ අර්බුදයක් තියෙනවා කියලා අපි දන්නවා. එහෙම වුණාම නායකත්වය විසින් තීන්දු ගන්න ඕනැ. නැත්නම් ඉතින් ඔහේ බලාගෙන ඉන්න වෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම නැටුමක් නටාගන්න කියලා. ඒකද වැඩිය වටින්නේ. විසඳුමක් ගන්න එකද වටින්නේ? තීන්දුවක් ගන්නකොට ඒක වැරැදි තීරණයක් වෙන්න පුළුවන්. නිවැරැදි තීරණයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් තීන්දුවක් අරගෙන පක්ෂය ඉදිරියට යා යුතුයි කියන ස්ථාවරයේ තමයි පක්ෂය හැටියට අපි ඉන්නේ. මොකද මෙහෙම අර්බුද ප්‍රශ්න ඇති වුණාම පක්ෂයක් ඇතුළේ හැම නායකයෙක්ම ඒ විදියට තමයි තීන්දු ගන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 දි තමන්ව බලයට ගෙනා මංගල සමරවීර මැතිතුමාවත් ශ්‍රී පති සූරිය ආරච්චි  මැතිතුමාවත් අයින් කළා එක පෑන් පහරින්. එළිවෙනකොට පක්ෂයෙනුත් එළියට දැම්මා. මේක තමයි දේශපාලනයේදි තීන්දු තීරණ ගැනීමේදී ඇතිවෙන තත්ත්වය.


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හැටියට ඉදිරිපත් වෙන්න ඔබ සූදානමින් ඉන්නවා කියලා ආරංචියි?
පිළිතුර:-
අනේ මගේ එහෙම බලාපොරොත්තුවක් නෑ. ඉදිරිපත් වෙන්න කියලා නම් කීපයක් ජනාධිපති තුමාට යෝජනා වුණා. ඒ වගකීම මට තාම භාර දුන්නේ නෑ. බාර දුන්නොත් එය වගකීමකින් නිවැරැදිව කරන්න මම සූදානම් කියලා මේ වෙලාවෙදි මම කියන්න ඕනෑ.


ප්‍රශ්නය:- කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගේ වගකීම කැබිනට් මණ්ඩලය ගත් තීන්දු තීරණ මාධ්‍යයට දැනුම්දීම
පිළිතුර:-
ඔව්! ඕක තමයි අරමුණ.


ප්‍රශ්නය:- නමුත් දැන් වෙන්න යන්නේ පක්ෂවල තීන්දු තීරණ කියන්නත් කැබිනට් මණ්ඩල තොරතුරු දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව යොදා ගැනීමයි.?
පිළිතුර:-
ඔව්! ඒක තමයි අපිත් කියන්නෙ. 


ප්‍රශ්නය:- ඔබ ඇවිල්ලත් කරන්න යන්නේ ඒකමනේ?
පිළිතුර:-
ඇත්ත වශයෙන්ම 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් පස්සේ ජනාධිපතිතුමා ඒ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ උප සභාපති වරයකුවූ රාජිත සේනාරත්න මැතිතුමා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් කළා. ඊට පස්සේ අගෝස්තු මහ මැතිවරණයෙන් පස්සේ වෙනස් කිරීමකින් තොරව රාජිත ඇමැතිතුමාම ඒ කාර්ය කරගෙන ගියා. හැබැයි පසුගිය කාලවකවානුවේදී සමහර තීරණවලදී කැබිනට් තොරතුරු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යම් යම් කාරණා පිළිබඳව කැබිනට් මණ්ඩලය ගත් තීරණවලටත් එහා ගිහිල්ලා කතා කිරීමේදී ඒවා පක්ෂයකට බලපානවා. මොකද මේක පක්ෂ දෙකක් එකතුවෙලා වැඩ කරන බොහොම දුර්ලභ අවස්ථාවක්. ඒ වගේම ඉතාම අභියෝගාත්මක අවස්ථාවක්. ඒ වගේ වෙලාවක කැබිනට් ප්‍රකාශකයකු හැසිරිය යුතු ආකාරය පිළිබඳව බොහොම කල්පනාකාරී විය යුතුයි. ඒ නිසා අහන ප්‍රශ්නවලට උත්තර දීමේදීත් මාධ්‍යවේදීන් සමග සාකච්ඡා කිරීමේදීත් මේ පක්ෂ දෙකේම ගෞරවය ආරක්ෂාවන පරිදිත් ආණ්ඩුවේ ගෞරවය ආරක්ෂා වන පරිදිත් කටයුතු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා.


ප්‍රශ්නය:- නමුත් එහෙම වුණේ නැහැ. 
පිළිතුර:-
ඔව්! එහෙම තත්ත්වයක් සිදු නොවිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් විරෝධතාවක හිටියා. ඒනිසා තමයි ජනාධිපතිතුමා මේ තීරණය ගත්තේ.


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ඇමැති රාජිත සේනාරත්න කියනවා ඔහු කතා කරන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම්වත්ව හා අවබෝධයෙන් කියලා?
පිළිතුර:-
ඒක වෙනමම කතා කරන්න ඕනැ කාරණයක්. කොහොම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි දැක්කා එහි යම් යම් අඩුපාඩු විශාල සංඛ්‍යාවක් තියෙනවා. එය කැබිනට් ප්‍රකාශකයකු තමන්ගේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරන එකටත් පොඞ්ඩක් එහාට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සිත් රිදවීම් වන ආකාරයේ ප්‍රකාශ ගණනාවකුත් එතුමා අතින් ප්‍රකාශ වෙලා තිබුණා.


ප්‍රශ්නය:- කැබිනට් මණ්ඩලයෙ වෙච්ච දේවල් කියන්න ඇමැතිවරුන්ට කොන්දක් තියෙන්න ඕනෑ කියලත් ඇමැති රාජිත කිව්වා.
පිළිතුර:-
ඒක ඉතින් කොහේ කියන්නද ඒ.


ප්‍රශ්නය:- එහෙම නියමිත තැනක් කිව්වෙ නෑ. නමුත් තොරතුරු දැන ගැනීමේ පනත ගැනත් ඇමැති රාජිත මතක් කළා.
පිළිතුර:-
ඒක වෙනම කියන එක වෙනම කාරණයක්. හැබැයි මාධ්‍ය ප්‍රකාශක ලෙස කතා කිරීමේදී මීට වඩා යම් වගකීමකින් කටයුතු කළ යුතුයි කියන කාරණය තමයි අපි විශ්වාස කරන්නේ.


ප්‍රශ්නය:- මේ කෙරෙන දේවල් යහපාලන ආණ්ඩුවකට තරම් වේද කියලා ඔබගෙන් ඇහුවොත්?
පිළිතුර:-
ඒක තමයි අපිත් කල්පනා කරන්නේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට වැඬේ කළානම් මේ වගේ තත්ත්වයක් ඇති නොවෙයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. 


ප්‍රශ්නය:- යහ පාලනය ගේනවා කිව්වට එහෙම ගේන්නෙ නෑ කියන එක නේද? මේවායින් පේන්නේ? 
පිළිතුර:-
නෑ යහ පාලනය ගෙනල්ලා තියෙනවා. යහ පාලනය තුළ ඇතිවන අර්බුද හා තනි ඒකාධිපති නායකයකු යටතේ ඇතිවන අර්බුද ගත්තොත් ඔළුව මේසේ අස්සේ ගසාගෙන ඉන්න ඇමැතිවරුන්ට වැඩිය මේකේ ඇමැතිවරුන්ට විශාල නිදහසක් ලැබිලා තියෙනවා. කැබිනට් මණ්ඩලය ඇතුළේ අපි අපේ අදහස් ඉදිරිපත් කරනවා. එන ඕන එකකට හෝයියා හෝයියා කියලා අත් උස්සන කැබිනට් මණ්ඩලයක් නොවෙයි දැන් ඉන්නේ. මේක වෙනස් තත්ත්වයක්. ඉතින් මම හිතන්නේ යහ පාලන රාජ්‍යයක් තුළ කැබිනට් මණ්ඩලය හොඳ නිදහසක් තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක හොඳ දෙයක් හැටියටයි මම දකින්නේ. 


ප්‍රශ්නය:- යූඑන්පියේ ඇමැතිකම්වලට අත තිබ්බොත් බලාගෙනයි කියලා යූඑන්පි එකේ පසුපෙළ මන්ත්‍රිවරුන් දැන් ගෝරනාඩු කරනවා.
පිළිතුර:-
ඒ ගොල්ලන්ට ඉතින් එහෙම කියන්න පුළුවන්. නමුත් තීන්දු ගත යුත්තේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් එකතුවෙලයි.


ප්‍රශ්නය:- අපි හදපු ආණ්ඩුවට ආවා නම් කට වහගෙන ඉන්න වගේ තර්ජනයක් තමයි ඒ ගෝරනාඩු ඇතුළේ තියෙන්නේ?
පිළිතුර:-
ඒක සම්පූර්ණයෙන්ම වැරැදි අදහසක්. යූඑන්පි ආණ්ඩුවක් මෙතැන නෑ. එක්සත් ජාතික පක්ෂයත් සමග එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටේ ජනාධිපති බවට පත් කළා. ඊට පස්සේ තිබුණ මහ මැතිවරණයෙන් කිසිම පක්ෂයකට බලයක් තිබුණේ නෑ ආණ්ඩුවක් හදන්න. ඒ තුළ ජනාධිපතිතුමත් අගමැතිතුමත් තීරණය කළා ආණ්ඩුවක් හදන්න. ඒ නිසා අපි පක්ෂයක් විදියට මේ ක්‍රියාදාමයට එකඟ වුණා එක්සත් ජාතික පක්ෂයත් පක්ෂයක් විදියට මේකට එකඟ වුණා. ඒ අනුව තමයි මේ පක්ෂ දෙක එකතුවෙලා ආණ්ඩුවක් හදාගෙන යන්නේ. ජනාධිපතිතුමා පත් කර ගැනීමේ ක්‍රියාදාමය වෙනයි. මේ ආණ්ඩුව හැදීමේ ක්‍රියාදාමය වෙනයි. ඒ නිසා කවුරුවත් හදපු ආණ්ඩුවක අපි රිංගලා ඉන්නෙත් නෑ. අපි හදපු ආණ්ඩුවකට කවුරුවත් රිංගලත් නෑ. පක්ෂ දෙක එකතුවෙලා හදපු ආණ්ඩුවක්. පක්ෂ දෙක තීන්දු කරන ආණ්ඩුව ඉස්සරහට යයි. එහෙම නැතිනම් වෙනත් විකල්පයක් ගන්න ඒ ගොල්ලන්ට හිතන්න පුළුවන්.


ප්‍රශ්නය:- කැබිනට් සංශෝධනය වෙයිද? 
පිළිතුර:-
ආණ්ඩුවට ඕනෑ වුණාම ඒක කරනවා. ඒ කාලයෙ කවුරුවත් ඇහුවේ නෑනේ. ඇයි දැන් මේක කරන්නේ. මේක පස්සෙ කරන්න බැරිද? එහෙම ඇහුවේ නැහැ. දැන් තමයි ඔය ප්‍රශ්නය අහන්නේ. අපි සතුටු වෙනවා ඔබට එහෙම ප්‍රශ්නයක් අහන්න ලැබීම ගැන. රටේ නායකයා හැටියට ජනාධිපතිතුමත් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා හැටියට අග්‍රාමාත්‍යතුමත් මේ තීන්දුව ගැනීම ගැන අපට ප්‍රශ්නයක් නෑ.


ප්‍රශ්නය:- ඔබ හිතනවද යූඑන්පී ඇමැතිකම් වෙනස්වෙයි කියලා.
පිළිතුර:-
ඒක මම දන්නේ නෑ ඕක තීරණය කරන්නේ ජනාධිපතිතුමයි. අගමැතිතුමයි.


ප්‍රශ්නය:- ගෝල්ෆේස් ආපු සෙනඟ දැක්කම ඔබට මොකද හිතුණේ.
පිළිතුර:-
මම ගියෙ නුවර මම දැක්කේ නුවරට ආපු සෙනඟ ගෝල්ෆේස් ආපු සෙනඟ පත්තරවලින් මම දැක්කා. ඉතින් මට හිතුණා මේ දෙක එකතු වුණා නම් කොච්චර හොඳද කියලා


ප්‍රශ්නය:- ඇයි එකතු කරන්න බැරි?
පිළිතුර:-
ප්‍රශ්න, වෙනස්කම් තියෙනවනේ. අපි බලමු ඉදිරියෙදි මොකද? වෙන්නේ කියලා.

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්