මිනිසුන්ට දැනෙන දෙයක් කරන්න වසර දෙකක් යනතුරුත් ආණ්ඩුවට බැරිවුණා


ආණ්ඩුව සිය දෙවැනි වසර සමරණ මොහොතේ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මෙසේ සිය විවේචනාත්මක අදහස් දක්වමින් ඉරිදා ලංකාදීපය සමඟ කළ සාකච්ඡාවකි මේ.

 

අාණ්ඩුවට අවුරුදු දෙකකුත් වුණා. එන්න එන්න ආරවුල් එහෙමත් වැඩිවෙනවා වගේ.   
ඇත්තටම මේවා නිර්මාණය කරගන්න අර්බුද. තියෙන අර්බුදවලට විසඳුම් දෙනවා වෙනුවට ආණ්ඩුව විසින් අර්බුද නිර්මාණය කරගන්නවා. ඒක තමයි අද සිද්ධවෙලා තියෙන්නේ. හැම ක්ෂේත්‍රයකම ව​ෙග් අද නොයෙකුත් ප්‍රශ්න. මේකට ප්‍රධාන හේතුව ආණ්ඩුවට දැක්මක් නැති එක. කිසිම විෂයක් නිසි පරිදි ක්‍රියාත්මක කරන්න සැලසුම් නෑ. අපි නම් අපිට පවරපු වගකීම හරියට කරනවා. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් හැටියට හිටියත් මම කැමැති නෑ බොරු කියලා ආණ්ඩුව ශුද්ධ කරන්න.   

 


එහෙම අවුල් නැවකට ඇයි නැග්ගෙ එහෙනම්?   
ඒක ජනාධිපතිගෙ ඉල්ලීම අනුව පක්ෂයක් විදියට ගත්තු තීරණයක්. ඒ වෙලාවෙ බහුතරය හදාගන්න මේ ව​ෙග් පක්ෂ දෙකක් එකතු වෙන්න ඕනෑ වුණා. අපිත් විශ්වාස කළා සැලසුම් සහගත ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ඒත් මිනිසුන්ට දැනෙන දෙයක් කරගන්න අවුරුදු දෙකක් යනතුරු ආණ්ඩුවට බැරි වුණා.   


 මේ පක්ෂ දෙක එකතුවෙලා ආණ්ඩුවක් කරද්දී මේ වගේ අර්බුද ඇති නොවෙයි කියල විශ්වාස කරන්න තරම් ඔබල දේශපාලන අතින් බොළඳ වුණාද කියලා කෙනෙක් අහවි.   


එහෙම අපි බොළඳ නෑ. අපිට හොඳ දේශපාලන අවබෝධයක් තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙකක් ආණ්ඩු කිරීමත් මේ ප්‍රශ්නවලට හේතුවක් තමයි. පක්ෂ දෙකක් එකතු වුණත් ප්‍රතිපත්ති ටික එකතු වෙලා හදාගන්න ඕනෑනේ. ඒකත් වෙලා නෑනේ.   


 අපෙන්ද අහන්නේ. ඔබලානේ ඒවා කරන්න ඕනෑ.   


ඒක කරන්න පක්ෂ දෙකේ නායකයෝ දැනගන්න ඕනෑ. කණ්ඩායම් දෙක හරියට මෙහෙයවලා ඒක කරගන්න ඕනෑ ඒ අය. මුදල් ඇමැතිවරයෙක් හිටියා සත පහකට ගණන් ගත්තේ නෑ අපි කියන ඒවා. අන්තිමට ඒ මුදල් ඇමැතිට මොකද වුණේ. කරපු ගනුදෙනු මතකත් නැතිලු. දන්නෙත් නැතිලු. කිසිම දෙයක් මතක නැති මුදල් ඇමැතිවරයෙක් එක්ක අවුරුදු දෙකක් මේ ආණ්ඩුව ආවා ඇති.   

 


 ඇමැතිතුමා කලකිරීමෙන් වගේ ඉන්නේ?   
 කලකිරීමක් තියෙනවා. අනික් අතට කොහොමද සෑහීමකට පත්වෙන්නේ. මොකද අපිත් ආණ්ඩුවල ඇමැතිකම් කරලා තියෙනවනේ.   


ලැබුණු අමාත්‍යාංශයේ අතපයදිග ඇරලා වැඩක් කරගන්න බැරිද?   
මේ අමාත්‍යාංශයේ මට ම​ෙග් වැඩ ටික කරගන්න පුළුවන්. මම ඒ ටික හොඳටම කරගෙන යනවා. අනිත් හැම අමාත්‍යාංශයකටම වඩා මම වැඩ පෙන්නලා තියෙනවා මේ වෙනකොටත්. තව ප්‍රතිපාදන ලැබෙනවා නම් තව වැඩ කරන්න පුළුවනි. හැබැයි මේ අමාත්‍යාංශයේ වැඩවල ප්‍රතිඵල රටට පේන්න අවුරුදු ගාණක් යනවා.   

 


 ලැබුණු අමාත්‍යාංශය මදිද?   
අපෝ නෑ. මම හරි ආසාවෙන් මේ අමාත්‍යාංශයේ වැඩ කරගෙන යන්නේ. මට බැණුම් අහන්න දේකුත් නෑ. මේ විෂය ගැන ගොඩක් අය දන්නෙත් නෑ. ඒ නිසා මේක ගැන හොයන්න එන්නෙත් නෑ. මම ආචාර්ය, මහාචාර්යවරු, විද්‍යාඥයෝ එක්ක වැඩේ කරගෙන යනවා.   

 


 ආණ්ඩුව ඔය තරමටම පීලි පැනල නම් ඒකෙම ඉන්න එකද එළියට බහින එකද වැඩිය හොඳ?   
ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන බලනව හරිගස්ස ගන්න පුළුවන්ද කියලා. කෙළින්ම තියෙන විවේචනය මම නම් මේ අවුරුදු දෙක ඇතුළත ඉදිරිපත් කළා. ප්‍රශ්න යට ගහගෙන ඇමැතිකම රැකගෙන හිටියට රටට වැඩක් නෑ.   

 


ඔය විවේචන කාටද කියල තියෙන්නේ. ජනාධිපතිතුමාට කිව්වද?   
ඔව්. මම කියලත් තියෙනවා එතුමට. ලියලත් දීලා තියෙනවා.   

 


ඒවාට සංව්දීවෙලා නැද්ද එතුමා?   
සංවේදීවෙලා නැති එකනේ ප්‍රශ්නේ. ඇතුළෙ කතා කළාම සංවේදී වෙන්නෙ නැත්නම්, කැබිනට් එකේ කතා කළාම සංවේදී වෙන්නෙ නැත්නම් එළියට ගිහිල්ලා කියන්න ඕනැ. සමහර ඇමැතිවරු දැන් ඒක පටන් අරගෙන.   


 ඔබ ඔය මේ ආණ්ඩුවට නෑ කියන දැක්ම වැඩ කිරීමේ හැකියාව රාජපක්ෂ ආණ්ඩුවට හොඳටම තිබුණද?   
නැතුව. හොඳට තිබුණා. මහින්ද චින්තනය කියලා ක්‍රියාත්මක වුණේ ඒක. යුද්දෙත් නිමා කරලා සංවර්ධන පැත්තෙනුත් ගොඩක් වැඩ කළා. ඊළඟ අවුරුදු පහටත් සැලසුමක් තිබුණා. ඒත් අවාසනාවකට අපි කියන දේ අහන්නෙත් නැතුව කලින් ඡන්දෙකට ගිහින් පැරදුණා. ඒක වෙනම කාරණයක්. එහෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයක්වත් මේ ආණ්ඩුවට නෑනේ.   

 


ප්‍රබල අමාත්‍යාංශවලට යූ.එන්.පී. අය පත්වෙලා ඉන්න එකද ඔබලගෙ ප්‍රශ්නෙ?
කවුරු හිටියත් කමක් නෑ. හරියට කරනවා නම්. හරියට කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ. කෝ ඔය යූඑන්පීය දීපු පොරොන්දු? එකක්වත් ඉටු කළාද? මම කියන්​ෙන ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන් අයට ඕන වගකීම් බාරදෙන්න. යූඑන්පීය ආවොත් රටේ ආර්ථිකය සුපිරියටම කෙරෙයි කියලනේ මතයක් හැදුවේ. දැන් මොකද වෙලා තියෙන්නේ. කවුද ආපු ආයෝජකයෝ.   

 


ආණ්ඩු​ෙව යූ.එන්.පී. භාගෙට ලොකු ලොකු විවේචන කරන ඔබ ශ්‍රී ලංකා භාගෙ ගැන කතා නැත්තේ මොකෝ?   
ඒ අය ගැනත් මම විවේචන කරනවා. මම කවුරුවත් රකින්නේ නෑ වැරදි නම්.   


 කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් මාධ්‍ය මගින් දිගින් දිගට හෙළි කළා. ඒ අමාත්‍යාංශය බාරව ඉන්නේ ඔබේ පක්ෂයේ මහලේකම්. ඔබල ඒවා ගැන කතා කරනවා අපි දැකලා නෑ.   


මොකද නැත්තේ අපි කතා කරනවා. ඒත් දැන් ඒ ගොල්ලොනෙ ප්‍රබල වෙලා ඉන්නේ. අපිව ලේකම් කම්වලින් දොට්ට දාලා. ඒ ගොල්ලන්ව පත්කර ගත්තේ පක්ෂය හරියට ගෙනයන්නනේ.  

 

 
 ඔබට තියෙන්නේ මහ ලේකම් කම නැතිවීමේ ශෝකයද?   

අනේ නෑ. නැති වුණේ නෑනේ. මම ඉල්ලා අස්වුනාණේ. මගේ ලේකම්කම තහනම් කළා. මම ඉල්ලා අස්වුණා. මට ඒකට උසාවි ගිහින් සටන් කරන්න තිබුණා.   


 එච්චර පීචං කරපු තැනකට ආපහු ගිහින් ඇමැතිකමකුත් අරගෙන දැන් දුක කියනවා කියලා කාට හරි හිතෙන්න බැරි නෑ.   
 මම කාගෙවත් පාමුලට ගියේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂ නායකයා කළෙත් අපි. අනුර යාපයි මමයි දෙන්න මධ්‍යම කාරක සභාව කැඳෙව්වේ නැත්නම් මොනව කරන්නද? එතුමගේ සාමාජිකත්වය තහනම් කරළනේ තිබුණේ. අපිනේ නැවත සාමාජිකත්වය දුන්නේ. ඒකටනේ අපිට ඔය කළගුණ සැළකුවෙ.   

 


මෛත්‍රීපාල සිරිසේන නායකයා ගැන කේන්තියෙන්ද කතා කරන්නේ?   
කේන්තියක් නෙවෙයි තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් අපිත් එකඟතාවයෙන් එතුමට පක්ෂ නායකත්වය ලැබුණෙ. මහින්ද රාජපක්ෂ තමයි අපිට කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක වැඩ කරන්න කියලා. ඕක ගොඩක් අය දන්නේ නෑ. ඒ අය හිතන්නේ අපි පක්ෂය පාවලා දීලා ගියා කියලා. ඔය ඒකාබද්ධ ඉන්න ගොඩක් අය ඒ තීන්දුවට අත උස්සපු අය.   

 


මෛත්‍රීපාල සිරිසේන යූඑන්පී යේ හිරකාරයෙකු වෙලාද?   
 එහෙම කියන්න බෑ. එතුමා ජයග්‍රහණය කළේ අපේ ඡන්දවලින් නෙවෙයිනේ. ඒවා ගැනත් එතුමා හිතනවා ඇති. එතනත් බැදීමක් තියෙනවා. එතුමාට ඒක නිසා අපි හිතන ආකාරයෙන් හිතන්න බෑ.   


 ඔබලා මහින්ද රාජපක්ෂට වැඩ කරද්දී යූඑන්පී සහායෙන් ජනාධිපති වුණු මෛත්‍රීපාල සිරිසේන යූඑන්පිය ගැන හිතන එක වැරදිද?   
එහෙනම් ඒ අය එක්කම කරගෙන ගියා නම් ඉවරයිනේ පක්ෂය බාර ගන්නේ නැතුව.   

 


 පක්ෂෙට කර ගහපු එකද අවුල?   
 පක්ෂෙ බාරගන්න කොට අපි විශ්වාස කළා පක්ෂයත් අපිත් රැකගෙන ගමනක් යාවි කියලා.

 

  
 අද ඒ විශ්වාසය කඩලද?   

 ඒ විශ්වාසය රකිනව කියල අපිට පේන්නේ නෑ. ඒක මම විවෘතවම කියනවා. මම ඒ ගැන ඕනෑ කෙනෙක් එක්ක තර්ක කරන්න ලෑස්තියි.   

 


දුමින්ද දිසානායක මහලේකම් කමට අප්සෙට්ද?   
 හිටපු මහලේකම්වරයා විදියට මම කවුරුවත් විවේචනය කරන්න යන්නේ නෑ. එ​්ත් තනතුරු ගන්න අය දැනගන්න ඕනෑ තනතුරු බබලවන්න. තනතුරෙන් තමන් බැබලෙන්න ගියාම ඒක අවුලක්. ජ්‍යෙෂ්ඨයිනට දිය යුතු ගෞරවය දෙන්න ඕනැ. දැනුම, බුද්ධිය, පළපුරුද්ද සියල්ල තියෙන්න ඕන ඔය ව​ෙග් තනතුරක කටයුතු කරන්න.   

 


ආපහු මහින්ද රාජපක්ෂ බලයට පැමිණෙයි කියන හීනයකද ඔබ ඉන්නේ?   
මට එහෙම හීන නෑ. කවුද බලයට ආපහු එන්නේ කියන එක ඒ වෙලාවට තීන්දු වෙයි. මම කියන්නේ රට එදා තිබුණු තැනටත් වඩා නරක තැනකට වැටිලා කියලයි.   

 


ඔබෙනුත් ඇහෙන්නේ රාජපක්ෂලගේ විවේචන, සටන් පාඨමනේ. ඔබේ මේ හඬ රාජපක්ෂලට නැවත පිටිය සකස් කිරීමකට උදවු වෙනවා?   
මම නෙවෙයි ඒක කරන්නේ. ආණ්ඩුවමනෙ. අපිට ලොකු දෙයක් කරන්න නෑ. ආණ්ඩුව දැනමටත් පිටිය සකස් කරලා දීලා ඉවරයි.   

 


 ආණ්ඩුවේ ඉන්නම බැරි නම් තීන්දුවක් ගන්න පුළුවන්නේ?   
තීන්දුව ගන්න ඕන. හරිම වෙලාවට ඒක ගන්නවා. රටට ඕන වැඩක් කෙරෙන්නෙ නැත්නම් මේක තේරුමක් නෑ.   

 


මොකක්ද ඔය තීන්දුව එළියට බහින එකද? ඒකාබද්ධ විපක්ෂයට යන එකද? එහෙම නැත්නම් වෙන මොකක් හරිද?   
ඒක වෙලාව ආවාම බලාගමු. මම ඉතිහාසයෙත් තීන්දු ගන්න පැකිලුනේ නෑ. හෙටත් එහෙමයි. දැන් මේ ආණ්ඩුව හරියට ‘මගේ නොවන මගේම එකක්’ වගේ. එහෙම යන්න බෑ.

ප්‍රියන්ත කොඩිප්පිලි