මිනිස්සු ඉල්ලන්නේ ගෝඨාභයයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව හා හවුල්කාර පක්ෂ අතර මත ගැටුම් ද? ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි ද? මේ ආදී කරුණු විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි.

 

• ප්‍රශ්නය :- ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කියලා කිව්වා. ඒත් දැන් කියනවා අපේක්ෂකයා නිල වශයෙන් දැනුම් දෙන්නේ ජූනි මාසයේ කියලා. මොකක්ද මේ කඹ ඇදිල්ල? 


පිළිතුර :- කඹ ඇදිල්ලක් තියෙනව ද නැද්ද කියලා නම් මට පැහැදිලිකමක් නෑ. නමුත් මුළු රටම පක්ෂ බේදයකින් තොරව පන්ති බේදයකින් තොරව ආගමික හෝ ජාතිකත්ව බේදයකින් තොරව අද බලාපොරොත්තු වෙන්නේ මීළඟ ජනාධිපතිවරණයෙන් යම්කිසි නිර්භයව තීන්දු තීරණ ගන්නා නායකයෙක්. මහින්ද රාජපක්ෂ. වර්තමාන විපක්ෂනායකතුමාට ජනාධිපතිවරණයට නැවත ඉල්ලන්න බැරි නීතිමය බාධාවක් තියෙන නිසා රටේ ජනයාගෙන් අති බහුතරයක බලාපොරොත්තුවක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ තමයි ඒ නායකයා විය යුත්තේ කියලා. ඉතින් මිනිසුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන නායකයෙක් හැටියට මහින්ද රාජපක්ෂ විපක්ෂනායකතුමා නිසැක වශයෙන්ම රටට හිතවාදී මේ කඳවුරේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව පත්කර ගනීවී කියලා විශ්වාසයක් අපට තියෙනවා. 


• ප්‍රශ්නය :- ඇයි අපේක්ෂකයා මැදමුලන වලව්වෙන්ම ඉල්ලන්නේ? වෙන අපේක්ෂකයෝ නැද්ද? 


පිළිතුර :- අපේක්ෂකත්වයට සුදුසුකම් තියෙන අය තව ඕනෑ තරම් ඉන්න පුළුවන්. නමුත් මිනිසුන්ගේ තේරීමනේ අපි බලන්න ඕනෑ මහජනයා පක්ෂ බේදයකින් තොරව ඉල්ලනවා ගෝඨාභය රාජපක්ෂ මේ රටේ මීළඟ ජනාධිපතිවරයා විය යුතුයි කියලා. ඒ මතය කවුරුවත් කෘත්‍රිමව ඇති කරපු දෙයක් නොවෙයි. ස්වභාවිකව ඇතිවෙච්ච දෙයක්. මේ වර්තමාන ආණ්ඩුව යටතේ අනාරක්ෂිත බවක් දැනෙන කොට මිනිසුන්ට පේනකොට උතුරේ ආවා කල්ලිවල නැගීසිටීමක්. උතුරේ ජනතාව බියෙන් ජීවත්වෙන කොට රෑට ඇවිල්ලා කපලා කොටලා යනකොට ඒවා දකිනකොට නැගෙනහිර පළාතේ නාවික හමුද‌ාවට නීතියට පිටින් වැලි ගොඩ ද‌ාන ජාවාරම්කරුවන් ප්‍රහාර එල්ල කරන කොට වාලච්චේන ඛනිජ වැලි නිධිය වටකරලා වැටක් ගහන්න යන නාවික හමුද‌ා නිලධාරින්ට ගහලා පන්නන කොට මේ දර්ශන දකිනකොට මේ රටේ මිනිසුන්ට අනාරක්ෂිත බව පිළිබඳ ලොකු හැඟීමක් ඇතිවෙලා තියෙනවා. ජාතියක් වශයෙන් තමන් අසරණ භාවයේ පතුළ කරා ඇදගෙන යන බවට හැඟීමක් වර්ධනය වෙලා තියෙනවා. ආර්ථිකමය කඩාවැටීම විසින් රට තමන්ට අහිමි වෙයි ද කියන බිය ඇතිවෙලා තියෙනවා. මේ සියල්ල විසින් මිනිස්සු මේකට උත්තරය හැටියට ගෝඨාභය රාජපක්ෂ නම යෝජනා කරලා තියෙනවා. ඒ මිනිසුන්ගේ ඉල්ලීමට අනුව තීරණ ගන්නවා විනා ඊට පිටින් තීරණ ගන්න අපි කාටවත් අයිතියක් නෑ. 


• ප්‍රශ්නය :-ජනතා අපේක්ෂාව ​ගෝඨාභය නම් ඇයි ඒක කියන්න ජූනි වෙනකම් ඉන්නේ? 


පිළිතුර :- ප්‍රකාශයට පත් කිරීම ගැනනේ ඔය කියන්නේ. කවුද අපේක්ෂකයා කියන වාදය නොවෙයිනේ මෙතන තියෙන්නේ. නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ගැනයි ඔය කියන්නේ. මාසය මොක වුණත් අපේක්ෂකයා කවුද කියන එක ගැන විසංවාදයක් නෑ. 


• ප්‍රශ්නය :-ජනාධිපති මෛත්‍රී මොකක් කරයි ද? මොකක්ද ඔබ ඒ ගැන තබා තිබෙන තක්සේරුව? 


පිළිතුර :- එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරනවා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ගන්න. ඒ වගේම ජනාධිපතිවරණයට පුළුල් පෙරමුණක් හදන්න. අපිට තියෙන තොරතුරුවලට අනුව අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණකින් තමයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ. එහෙම තත්ත්වයක් යටතේ අපිට පුළුවන් වෙන්න ඕන ඊට ප්‍රතිවිරුද්ධව ගොඩනැගිය හැකි පළල්ම පෙරමුණ ගොඩනගන්න. මෛත්‍රීපාල සිරිසේන සාධකය වැදගත් වෙන්නේ මෙන්න මේ පළල්ම පෙරමුණ ගොඩනැගීමේ කාරණාවේදි. අපි සමගි වු​ණොත් තමයි ජයග්‍රහණය නියත. අසමගි වුණොත් අසමගි වෙච්ච හැම වෙලාවකම වැපිරෙන්නේ පරාජයේ බිජුවට. 2015 ජනවාරි 8 ට කලින් අසමගියේ බිජු වැපුරුවා. ප්‍රතිඵලය වුණේ ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් එළියට ගියා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එළියට ගියා. තවත් ඇමැතිවරු කණ්ඩායමක් ගියා. ඒ අසමගිය පිපුරුණා. ඒ වෙනුවට සමගියේ අත්තිවාරම වඩාත් හොඳින් ශක්තිමත්ව තිබුණා නම් ඒ පිපිරීම සිද්ධ වෙන්න තිබුණ සම්භාවිතාව අඩුයි. ඒ පිපිරීම විසින් තමයි මහා බලසම්පන්න නායකයෙක් වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් කළේ. දැන් අපි යන්නේ දිනන්න. මේ රටේ මිනිසුන්ට නැවතත් පරාජයට පත්වෙන්න බෑ. එහෙම පරාජය වුණොත් මේ රට මේ රටේ මිනිසුන්ට අහිමිවෙන එක වළක්වන්නත් බැහැ. ඒ නිසා දිනන්න ඕනෑ. දිනන්න නම් දිනුම සහතික කරන සමගිය නිර්මාණය වෙන්න ඕනෑ. සමගියෙ කොඩිය වනන්නවුන් ජයග්‍රහණයෙ පියවරු. අසමගියේ කොඩිය වනන්නවුන් පරාජයේ පියවරුන්. 


ඉතින් සමගියේ කොඩිය නම් වනන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන සාධකයත් අපි නිවැරදිව කළමනාකරණය කරගෙන ඒ පළල් පෙරමුණ ගොඩනඟා ගෙන අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රාහීව ගේන්න අපිට පුළුවන් වෙන්න ඕනෑ. ඒකට අපි උත්සාහ කරන්න ඕනෑ. ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන සාධකය වෙනත් පැත්තකට පෙරළන තත්ත්වයකට අපි කටයුතු කරනවා නම් ඒක උපාය මාර්ගිකව වැරදියි. 


• ප්‍රශ්නය :- දැන් කවුද ඔය ඔබ කියන අසමගියේ කොඩිය වනන්නේ? 


පිළිතුර :- මෙහෙමයි. අසමගියට හේතු ද‌ාහක් වුණත් ​ෙහායන්න පුළුවන්. සමගියට හේතුයි හොයන්න ඕනෑ. අසමගියට හේතු හොයන්න කාලය වැය කරන්නේ විනාශය පිණිසයි. සමගියට හේතු සොයන්නවුන් කාලය වැය කරන්නේ ජයග්‍රහණය වෙනුවෙන්. 


• ප්‍රශ්නය :- මෙතන පෞද්ගලික ඉලක්ක තියෙන අයත් ඉන්නවා ද? 


පිළිතුර :- ඕනෑම කෙනෙකුට පෞද්ගලික අවශ්‍යතා තියෙන්න පුළුවන්. හැබැයි ඒ පෞද්ගලික න්‍යාය පත්‍ර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පොදු න්‍යාය පත්‍රයක් එක්ක ගැටෙන්නේ නැති තාක් කල්. යම්කිසි කෙනෙකුගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ගැටෙනවා නම් පොදු න්‍යාය පත්‍රයක් එක්ක අපි ඒ පෞද්ගලික න්‍යාය පත්‍රයට ගොදුරු විය යුතු නෑ. අපට වැදගත් වෙන්නේ පොදු න්‍යාය පත්‍රයයි. ඒ කියන්නේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීමයි. ​ෙගා්ඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතර තියෙන පෞද්ගලික සම්බන්ධයත් නරක සම්බන්ධයක් නොවෙයි. ඒ නිසා සිරිසේන ජනාධිපතිවරයත් දෙවැනි වරටත් ජනාධිපති වෙන්න ස්වභාවයෙන්ම කැමැති ඇති. නමුත් ඒකට සුදුසු වාතාවරණයක් නැත්නම් එතුමාට යථාර්ථය අනුව කටයුතු කරන්න වෙනවා. ඒක තේරුම් බේරුම් කරගෙන ඒකට ගැළපෙන උත්තරයක් හද‌ාගෙන ඒ සමගිය හද‌ා ගැනීමයි මෙතැනදී වැදගත්. 


• ප්‍රශ්නය :- ජනාධිපති මෛත්‍රී තවම කියලා නෑ ඔහුගේ තීරණය. නමුත් පොහොට්ටුව තීරණය කරනවා ගෝඨාභයවයි ද‌ාන්නේ කියලා. මෙහෙම කරලා ඔබ ඔය කියන සමගිය හදන්න පුළුවන් ද? 


පිළිතුර :- අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් තියෙන දේශපාලන බලවේගය විසින් නම් කරන අපේක්ෂකයා විය යුතුයි කියන එක තමයි අපි ඉදිරිපිට තියෙන යථාර්ථය. ඒක සිරිසේන ජනාධිපතිවරයාට පළ නොකියා පලා බෙදීමක් නොවෙයි. අර තාවකාලික ආණ්ඩුවක් පිහිට වූ පමණින් සිරිසේන ජනාධිපතිතුමා කෙරෙහි ගතවූ වසර කිහිපය තුළ ඇතිවෙච්ච සෘණාත්මක ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම සුවපත් වුණා කියලා කවුරුවත් විශ්වාස කළ යුතු නෑ. ඒ නිසා අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් පවතින ඒ දේශපාලන කඳවුරෙන් කෙනෙකු වීම ගැන අපි ගැටුමක් ඇතිකර ගැනීම වැදගත් නෑ. ඒක පිළිගත යුතු යථාර්ථයක්. ඉතින් මම හිතනවා සිරිසේන ජනාධිපතිතුමාට එ් යථාර්ථය පිළිගන්න පුළුවන් වෙයි කියලා. ඒ යථාර්ථය පිළිගන්න ගමන්ම ඊට ගැළපෙන වෙනත් විසඳුම් අපි අපේ පැත්තෙන් හිතලා යෝජනා කරන්න ඕනෑ. 


• ප්‍රශ්නය :-පහුගිය පුංචි ඡන්දෙදි ජනාධිපති මෛත්‍රීට ඡන්ද ලක්ෂ 13 ක් ක් විතර තිබුණා? 


පිළිතුර :- ඔව්. නමුත් අපි හිතමු දැන් ලක්ෂ 13 ම නැහැ කියලා. අපි හිතමු තියෙන්නේ ඡන්ද ලක්ෂයයි කියලා. ඒ ලක්ෂයත් අපට ඕනෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදුණේ ඡන්ද ලක්ෂ හතරකින්නේ. තව ඡන්ද ලක්ෂ දෙකක් තිබුණා නම් දිනනවනේ. ඇයි චන්ද්‍රිකා මැතිනිය 94 දී නිහාල් ගලප්පත්තිට ලියුමක් දුන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. ඇයි ඒ? නිහාල් ගලප්පත්ති ගාව තියෙන්නේ ඡන්ද තිස් හතළිස්ද‌ාහක් වුණත් ඒකත් ඕනෑ. එක ඡන්දෙත් ඕනෑ. ඉතින් කවුරුහරි හිතනවා නම් අපිට ඕවා වැඩක් නෑ, අපිට තනියෙන් පුළුවන් කියලා ඒ ඉතින් දේශපාලන තොත්ත බබාලා තමයි. අච්චර අර රදළ වලව්කාර ඒ වගේම තමන්ගේ ස්වාමිපුරුෂයා මැරුවා කියලා පෞද්ගලික කේන්තියකුත් තියෙන ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අර ලියුම දීලා ඒ ඡන්ද ටික තමන්ගේ ගොඩට ද‌ාගන්න හිතුවේ දිනුමට ඒකත් වටිනා නිසයි. ඒ නිසයි අපේ කවුරුහරි හිතනවා නම් ඔය කවුරු නැතත් අපි දිනනවා කියලා ඒක ස්වයං මෝහනය වීමක්. ඕකට වන්දි ගෙවන්න වෙන්නේ ස්වයංව මෝහනය වෙච්ච අයට විතරක් නොවෙයි. මෝහනය නොවිච්ච අයටත් වන්දි ගෙවන්න වෙනවා. ඒකයි මෙතැන තියෙන ඛේදවාචකය. 


• ප්‍රශ්නය :- උපාය මාර්ගිකව ගත්තොත් අපේක්ෂකයා නම් කිරීම කල් වැඩි නැද්ද? 


පිළිතුර :- තාම නිල වශයෙන් එළිදක්වලා නෑනේ. 


• ප්‍රශ්නය :- නමුත් කවුරුත් දන්නවා? 


පිළිතුර :- මෙහෙමයි. ඒ පිළිබඳව අදහස් හුවමාරු වෙනවා. මම දැක්කා ඔබේ පත්තරයේ බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා මේ කඳවුරෙන් ඉදිරිපත් කරන්නේ රාජපක්ෂ කෙනෙක් නම් ඒ කොයි රාජපක්ෂ ද කියලා පවුලේ අය තීරණය කළා කියලා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා. ඒකෙන් අනික් පැත්තට කියන්නේ රාජපක්ෂ කෙනෙක් නොවේ නම් වෙනත් අපේක්ෂකයෙක් කියලයි. තාම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමක් වෙලා නෑ. ඒ පිළිබඳ සාකච්ඡාවක් යනවා. 


• ප්‍රශ්නය :-ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා? 


පිළිතුර :- ඒ පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අවශ්‍ය සියලුම ලිපි ලේඛන කොළඹ තියෙන ඇමෙරිකානු තානාපති කාර්යාලයට බාර දීලා තියෙනවා එතුමා. මම විශ්වාස කරනවා අප්‍රේල් මාසය වෙනකොට ඒ ප්‍රශ්නය තුරන්​ වෙයි කියලා. ඒකෙනුත් පේන්නේ එතුමා ඒ සටනට සූද‌ානම් බව. මිනිස්සු ඉල්ලන්නේ ගෝඨාභයයි. ඒ නිසා ගෝඨාභය වෙනුවෙන් ඔව්, එහෙම ප්‍රවණතාවක් තියෙනවා. 


• ප්‍රශ්නය :- ජනාධිපතිවරණයේදී සුළු ජාතික ඡන්ද තීරණාත්මකයි. ඒ ඡන්ද දිනා ගැනීමේ වැඩපිළිවෙළක් ඔබේ කඳවුරට තියෙනව ද? 


පිළිතුර :- මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 දී පැරදුණේ සුළු ජාතික ඡන්ද අහිමි වීමටත් වඩා ඒකත් එක්තරා විදියක බලපෑමක් තමයි. නමුත් සිංහල ඡන්දත් බොහෝ සෙයින් අඩුවුණා. විශේෂයෙන්ම එද‌ා පුළුවන් වුණා විවිධාකාරයෙන් අභූත චෝදනා එල්ල කරලා ඒවා සත්‍ය ලෙස පෙන්නලා මේ රටේ යම්කිසි වෙනසක් කරන්න. කොළඹ දිස්ත්‍රික්කයෙන්, ගම්පහ දිස්ත්‍රික්කයෙන්, කුරුණෑගල, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවලින් ඡන්ද අඩුවුණා. ඒ දිස්ත්‍රික්කවල අඩු වෙච්ච ටික බේරාගන්න පුළුවන් වුණා නම් බොහෝ විට මහින්ද රාජපක්ෂ අදත් මේ රටේ ජනාධිපති. ඉතින් සුළු ජාතික ඡන්ද කියන කොට ජාතිවාදී කෝණයෙන් බලන සුළු ජාතික ඡන්දද‌ායකයන් ඉන්නවා. ඒ වගේම එසේ නොවන සුළු ජාතික ඡන්ද අ​ෙප්ක්ෂකයකුත් ඉන්නවා. එසේ නොවන සුළු ජාතික ඡන්ද ද‌ායකයන් මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ වැනි කෙළින් තීන්දු ගන්න නායකයෙක් එක්ක පෙළගැසෙන ප්‍රවණතාවක් තියෙනවා. ඒ ප්‍රවණතාව දැන් තියෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් සමාජය ගත්තොත් ඔවුන් දැන් දන්නවා දර්ගා නගරයේ ඇතිවෙච්ච ඛේදවාචකය කොහෙන්ද වුණේ කියලා. ඒ අවබෝධය ඔවුන් ලබලා තියෙනවා. ඒ නිසා නැවත ඒ විදියෙ රැවටීමකට ඔවුන් හසුවෙන්නේ නෑ. අපේ සතුරු බලවේග විවිධ කුමන්ත්‍රණකාරී සිද්ධි හදලා නැවතත් ඒ වගේ බේදයක් හදන්න ජනාධිපතිවරණය ආසන්න කාලයේදී උත්සාහ කරන්න පුළුවන්. නමුත් ඔය සියලු කුමන්ත්‍රණ මධ්‍යයේ අපට විශ්වාසයි අපේක්ෂකයා ගෝඨභය නම් ජයග්‍රහණය ස්ථීරයි කියලා. 


• ප්‍රශ්නය :- 2010 දී සරත් ෆොන්සේකාට එල්ල කරපු ප්‍රධානම චෝදනාව තමයි ඔහු හමුද‌ාපති කෙනෙක්, ඔහු එ්කාධිපතියෙක් කියලා. ගෝඨාභයට ඒ චෝදනාව එල්ල කරන්න බැරි ඇයි? 


පිළිතුර :- නෑ. මේ දෙක දෙකක්. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ හමුද‌ාවේ ඉඳලා ඒකෙන් ඉවත් වෙලා සිවිල් ජීවිතයක් ගත කරන තමන්ගේ රැකියාවක ඇමෙරිකා එක්සත් ජනපදයේ නියැළුණ ආරක්ෂක ලේකම්වරයා හැටියට සිවිල් නිලධාරි වගකීමක් ඉටුකරපු කෙනෙක්. සරත් ෆොන්සේකා කියන්නේ හමුද‌ා නිල ඇඳුම ගලවපු ගමන් ජනාධිපති අපේක්ෂකයෙක් වෙච්ච කෙනෙක්. අවුරුද්දක එක හමාරකවත් සිවිල් ජීවිතයක අත්දැකීම් ඔහුට තිබුණේ නැහැ. ඒ නිසා ඔය චරිත දෙක සන්සන්දනය කිරීම සාධාරණ නැහැ. 


• ප්‍රශ්නය :- තේරුම් ගන්න බැරි ඇයි ඔබ ගෝඨාභයම ඉල්ලන්නේ කියලා? 


පිළිතුර :- අපි ඉන්නේ පරිවර්තන අවදියක. මොකද මේ රටේ තරුණ පරම්පරාව ඇතුළු මුළු මහත් ජනතාව ගෝඨාභය රාජපක්ෂව ඉල්ලන්නේ නිකම් වැඩකට නොවෙයි. සරළ වැඩකට නොවෙයි. ඒ මිනිස්සු ඉල්ලන්නේ පරිවර්තනයක්. ඒ පරිවර්තනය කියලා කියන්නේ ව්‍යවස්ථා ගෙනල්ලා මේ රට ආරාජික කරන්න හදන වෑයම නතර කරන විදියෙ පරිවර්තනයක්. ඒ වගේම අපේ රටේ මහජන පරමාධිපත්‍යයෙ බලය තව බලගන්වන විදියෙ පරිවර්තනයක්. ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම හා අවංක රාජ්‍ය සේවයක් බවට පරිවර්තනය කිරීමේ පරිවර්තනයක්. විනයානුකූල සමාජයක් ගොඩනගන විදියෙ පරිවර්තනයක්. ඒ වගේම නොරටුන්ට ඕනෑ විදියට නැටවෙන්නේ නැති රටත් ගොඩනගන විදියෙ පරිවර්තනයක්. පරිසරයට ආදරය කරන වැඩපිළිවෙළක් ඇතුළේ පරිවර්තනයක්. එහෙම පරිවර්තන න්‍යාය පත්‍රයක් වෙනුවෙන් තමයි මහජනයා ගෝඨාභය රාජපක්ෂ චරිතය ඉල්ලන්නේ. මිනිසුන්ට එහෙම පරිවර්තන න්‍යාය පත්‍රයක් නැත්නම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවට ඒ අයට වෙනත් කෙනෙක් තේරා ගන්නත් පුළුවන්. 


• ප්‍රශ්නය :- ආණ්ඩුවේ සෑම දෙයකටම විරුද්ධ වීම විපක්ෂයේ කලාවක් වෙලා. ආර්ථික ගිවිසුම්වලට යනකොට “රට පාවා දෙනවෝ’ කියලා කෑගහනවා. එහෙම කොහොමද රටක් සංවර්ධන කරන්නේ? 


පිළිතුර :- මම ඔබට එක උද‌ාහරණයක් කියන්නම්. 2016 දී ආවා ඇමරිකානු එක්සත් ජනපදවාදී මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන රාජ්‍ය සංවිධානය. ඒ ගොල්ලෝ ලංකාවට ඇවිත් ඒ ගොල්ලෝ තමන්ගේ කාර්යාලය පිහිටුවා ගත්තේ අරලියගහ මන්දිරය ඇතුළේ. 


• ප්‍රශ්නය :- ඔය චෝදනාව ඇමැති සාගල ප්‍රතික්ෂේප කළා? 


පිළිතුර :- මම ඒක ලිපි ලේඛන සහිතව ඔප්පු කළා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක වෙනුවෙන් වැඩකරන සම්බන්ධීකාරකයෙක් ඉන්නවා. ඔහු ශ්‍රී ලාංකිකයෙක්. ඔහු ඉඩම් අමාත්‍යාංශයෙ ලේකම්ට යවපු ලිපියක් මම රටට පෙන්නුවා. ඒකේ ලිපිනය වශයෙන් තියෙන්නේ අරලියගහ මන්දිරයයි. එතකොට හොඳටම පැහැදිලියි ඇමෙරිකානු රාජ්‍ය ආයතනයක් ඒ විදියට අරලියගහ මන්දිරයෙ ඉඳගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ ගොල්ලෝ දැනට රාජ්‍ය ඉඩම් විදේශිකයන්ට වේගයෙන් මිලදී ගන්න පුළුවන් විදියට තියෙන බාධා ඉවත් කරන්න නීති සම්පාද‌නය කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ අනුව ඉඩම්, රාජ්‍ය බැංකු පනත එන්න නියමිතව තියෙනවා. ඉඩම් විශේෂ විධි විධාන පනත එන්න ඉඩ තියෙනවා. තනි පුද්ගලයෙකුට අක්කර 50 කට වැඩියෙන් තියාගන්න බැරි සීමාව නැති කරන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලය වරායත් කොළඹ වරායත් එකට පූට්ටු කරලා දිස්ත්‍රික්ක හතක් පුරා දිවෙන විශේෂ ආර්ථික කොරිඩෝවක් හදන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ කිලෝ මීටර 200 ක් පමණ දිග අක්කර ලක්ෂ 12 ක් අයත්වන මෙම විශේෂ ආර්ථික කොරිඩෝවේ බල පැවැත්වෙන්නේ ලංකාවේ නීතිය නෙවෙයි. මේ ව්‍යාපෘතිවලට අද‌ාල ගිවිසුම් දැන් අත්සන් කරන්න ලෑස්ති වෙනවා. සකස් කරලා තියෙන ගිවිසුමේ තියෙනවා ඒ විශේෂ ආර්ථික කොරිඩෝවේ වැඩවලට වෙන්න පුළුවන් නැත්නම් ​ආයෝජකයෝ හැටියට එන වෙනත් විදේශිකයෝ වෙන්න පුළුවන් ඒ අය ලංකාව තුළ වරදක් කළොත් ඒ අයට එරෙහිව පියවර ගන්නේ ජාත්‍යන්තර නීතියක් අනුවයි. ලංකාවේ නීතියට අනුව ඔවුන් යටත් නෑ. මේ වගේ කොන්දේසි ඇතුළත් ගිවිසුමකට යන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා. මෙහෙම රටකයි මිනිස්සු මේවා දැක දැක මේවායින් හෙම්බත්වෙලා ඉන්න වෙලාවකයි මිනිස්සු ගෝඨාභයව ඉල්ලන්නේ මෙන්න මේ ඉරණමෙන් ගැලවෙන්න. 


• ප්‍රශ්නය :-ජවි​ෙප ගෙනා 20 ට සහාය දීලා විධායක ජනාධිපති ධුරය අහෝසි කළා නම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි? 


පිළිතුර :- ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ. එහෙම කළොත් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔළුවේ කැක්කුමකට බෙහෙත් දුන්නා වෙනවා. එතුමාගේ ඔළුවෙ කැක්කුම තමයි ජනාධිපතිවරණය ආවම එතුමා බලනවා අපේක්ෂකයා වෙන්න. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ වැඩි දෙනෙක් ඒකට එකඟ නෑ. එතකොට වෙන කෙනෙක් ද‌ාන්න වෙනවා. එහෙම වුණාමත් නැති ප්‍රශ්න ඇතිවෙනවා. හොඳම දේ තමයි ඒ ප්‍රශ්නයෙන් බේරෙන්න ජනාධිපතිවරණය නැතිවෙන එක. ඒක තමයි අගමැතිවරයාගේ අවශ්‍යතාව. අගමැති රනිල්ට තියෙන ඒ ඔළුවෙ කැක්කුමට ඕනෑ කරන තෙල් ටික තමයි 20 වැනි සංශෝධනය හැටියට ජනතා විමුක්ති පෙරමුණ ගේන්නේ. 


• ප්‍රශ්නය :- විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවට ඔබ විරුද්ධයි? 


පිළිතුර :- මෙහෙමයි. 13 වැනි සංශෝධනයට අද‌ාළව එද‌ා නඩුවක් විභාග වුණා. එතැනදී විනිශ්චයකාරවරුන් හතර දෙනෙක් කිව්වා 13 වැනි සංශෝධනය ඒකීයයි කියලා. තව හතර දෙනෙක් කිව්වා නෑ මේක ෆෙඩරල් කියලා. එක විනිශ්චයකාරතුමෙක් කිව්වා රටේම ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයාට මහජනයාගේ විධායක බලය කේන්ද්‍රගතව පවතින නිසා ඒ හේතුව මත 13 ක්‍රියාත්මක වෙනකොට ලංකාව ෆෙඩරල් වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ජනාධිපති ක්‍රමය නොතිබුණා නම් ඒ විනිශ්චයකාරතුමා මේක ෆෙඩරල් කියලා එහෙම නම් ජනමත විචාරණයකට යන්න වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය විතරක් ගලවන්න බැහැ. ඒක ගැලවෙනවා නම් ගලවන්න ඕනෑ සමස්ත ව්‍යවස්ථාව තුළම කරන පරිවර්තනයක් ඇතුළේ. අන්න ඒ සමස්ත පරිවර්තනයට අපි එකඟයි. එහෙම තැනකදී විධායක ජනාධිපති ධුරය අහෝසි වෙලා රට බෙදෙන දිශාවන් වැහිලා රට සුරක්ෂිත විය යුතුයි. එසේ නොකර මේ සියල්ල එසේ තිබියදී විධායක ජනාධිපති ධුරය විතරක් ගලවන්න එන්නේ ​ෙද්ශපාලන තක්කඩින්. මං දන්නේ නැහැ 13 වැනි සංශෝධනය එන වෙලාවේ පළමුව මව්බිම දෙවැනුව පාසල, මව්බිම නැත්නම් මරණය’ කියන සටන් පාඨ හඳුන්වා දෙමින් සටන් කරපු ඉතිහාසයක් තියෙන දේශපාලන ව්‍යාපාරයකට අවුරුදු කිහිපයකට පස්සේ 13 ට මෙහෙම උත්තේජන දෙන ව්‍යවස්ථා සංශෝධන ගේන්න හිතෙන්නේ මොන වගේ හේතු මතද කියලා ජනතාව ගැඹුරින් සිතිය යුතුයි. 

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්