මැතිවරණ පවත්වන්න දෙන්නේ නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද ?


රටේ දේශපාලනයේ නව පෙළගැසීම් සම්බන්ධයෙන් සහ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්න විමසමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා සමඟ කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය: ඔබ දේශපාලනිකව නිහඬයි වගේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?   
පිළිතුර:
නෑ නෑ එහෙම නිහඬ බවක් නෑ. අපි අපේ වැඩ ටික කරගෙන යනවා.   


ප්‍රශ්නය: වැඩ කියලා කිව්වට ආණ්ඩුව තවම තියෙනවා. කිව්වේ නම් අද වට්ටනවා හෙට වට්ටනවා කියලයි.   

පිළිතුර: ඔව්. අණ පනත් හොරෙන් සම්මත කර ගන්න කොට කතානායක සහ පාර්ලිමේන්තුවේ තනතුරු දරණ සියලුම දෙනා එකම අරමුණක ඉන්න තත්ත්වයක්නේ තියෙන්නේ. පාර්ලිමේන්තුවේ අද අපට සටන් කරන්න වෙලා තියෙන්නේ තනතුරු දරණ සියලුම දෙනාට විරුද්ධව. ඒ පරිසරය තුළ අපි ඊළඟ මැතිවරණයට මුහුණ දෙන්න පොදුජන පෙරමුණ යටතේ සංවිධානය කරමින් යනවා. 

 

ප්‍රශ්නය: මැතිවරණයකට සූදානම් වෙනවා කිව්වත් පළාත් සභා මැතිවරණය කල්යන එක වළක්වා ගන්නවත් ඒකාබද්ධ විපක්ෂයට බැරි වුණා.   

පිළිතුර: ඒකාබද්ධ විපක්ෂයට ඒක කර ගන්න බැරි ​ෙවච්ච එක සාමාන්‍ය දෙයක්. අපට මන්ත්‍රීවරුන් 54 දෙනයි ඉන්නේ. ඒ වගේම එයට විරුද්ධව ඇති ඡන්දය නොවෙයි බලපාන්නේ. ඒ පනතට පක්ෂව ඡන්ද තුනෙන් දෙක නොලැබුණානම් ඇති. නමුත් කියන්න කණගාටුයි ඉතිහාසයේ පළමුවැනි වතාවට මැතිවරණ නොපැවැත්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද හය ලබා දුන්නා. ඒ ඡන්ද හය නිසා තමයි පනත සම්මත වෙලා පළාත් සභා ඡන්දය කල් ගියේ.   


ප්‍රශ්නය: ඒකාබද්ධය කියනවා ජවිපෙ රනිල් සමඟ ඩීල් එකක ඉන්නවා කියලා. ඒකාබද්ධයට මන්ත්‍රීවරු 54ක් ඉන්නවා කිව්වට එදා ඡන්දය දෙන්න ආවේ 43 දෙනයි. එතකොට ඒ ඩීල් එක මොකක්ද?   
පිළිතුර:
ඒකාබද්ධ විපක්ෂය ඡන්ද 43ක් මේ පනතට විරුද්ධව දුන්නා. අපේ සමහර මන්ත්‍රීවරුන් රෝගාතුර වෙලා රෝහල් ගතවෙලා සිටියා. තව සමහරු විදේශගත වෙලා හිටියා. නමුත් ඒක ප්‍රශ්නයක් නොවෙයි. මොකද ඒ මන්ත්‍රීවරු ටික හිටියත් ඒ පනත පරාජය කරන්න බෑ. ඒ පැත්තේ අය තුනෙන් දෙක නොදී හිටියානම් තමයි ඒ පනත සම්මත නොවන්නේ. තුනෙන් දෙක කියන්නේ 150යි. සම්මත වුණේ ඡන්ද 154කින්. එතකොට ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 6ක් තිබුණා. ඒ අය පනතට පක්ෂව ඡන්දය දුන්නා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ තමයි ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ කුමන්ත්‍රණයට සහය දුන්නේ. ඒ තරම් පාවාදීමක් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ.   

 


ප්‍රශ්නය: ඔබ එහෙම කිව්වත් අඩුම තරමින් මහින්ද රාජපක්ෂ මහතාවත් එදා පාර්ලිමේන්තුවට ආවේ නෑ.   

පිළිතුර: මම ඒකයි කිව්වේ අපේ ඡන්ද ඔක්කොම දැම්මත් පනත පරාජය වෙන්නේ නැහැ. පනත සම්මත කර ගන්න තුනෙන් දෙක අවශ්‍යයි. ඒ ඡන්ද ටික තිබුණේ ඒ පැත්තේ. ඒ තුනෙන් දෙක ගන්න රෑ 9 වෙනකම් පාර්ලිමේන්තුව තියාගෙන හිටියා කතානායකවරයා. පාර්ලිමේන්තු ඉතිහාසයේවත් එහෙම දෙයක් වෙලා නෑ. තු​ෙනන් දෙක හදා ගන්න බැරි නිසයි ඒ තරම් වෙලා පාර්ලිමේන්තුව තියාගෙන හිටියේ. ඒකාබද්ධය පක්ෂයක් හැටියට අපට පුළුවන් වුණා ආණ්ඩුවේ ඡන්ද 154ට බස්සන්න. ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දුන්නේ නැතිනම් සත්තකින්ම මේ පනත පරාජය කරන්න තිබුණා.   

 


ප්‍රශ්නය: ඔබ හිතන විදියට පළාත් සභා ඡන්දයට කුමක් වෙයිද?   
පිළිතුර:
බොහොම පැහැදිලිවම මේකෙන් වෙන්නේ පළාත් සභා ඡන්දය කල්යන එක. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව මහපාරේ බොරුවට සටන් කළාට පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුව වැටෙන්න යනකොට උස්සලා රැක යන්නවා. අපි හොඳටම අවබෝධ කර ගන්න ඕනෑ කාරණය තමයි පාර්ලිමේන්තුව අද තනිකරම විකෘතියක්.   

 


ප්‍රශ්නය: ඔබ එහෙම කියන්නේ?   
පිළිතුර:
එහෙම කියන්නේ ජනවාරි 8 වැනිදා එකම කඳවුරක එකට හිටිය කට්ටිය අගෝස්තු මහ මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ සියලු තනතුරු බෙදා ගත්තා. එක්කෙනෙක් මම කතානායක කියලා කතානායකකම ගත්තා. තව එක්කෙනෙක් නියෝජ්‍ය කතානායකකම ගත්තා. තව එක්කෙනෙකුට විපක්ෂනායකකම දුන්නා. තව එක්කෙනෙක් කිව්වා ‘ඔබතුමා තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියලා. තව කෙනෙක් ආණ්ඩු පක්ෂයේ සංවිධායක වුණා. මේ සියලුම තනතුරු එක පැත්තක ඉන්න අය තමයි බෙදා ගත්තේ. ඒක ඉතාම පැහැදිලි වුණා. පළාත් සභා ඡන්දය කල් දැමීමට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දීමෙන් ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් රටේ හදිසි තත්ත්වයක් නැති වෙලාවක. ඡන්දයක් කල්දාන්න කිසිම සාධාරණ හේතුවක් නැති වෙලාවක ඡන්දයක් කල්දාන්න අත උස්සයි කියලා අපට හිතා ගන්නවත් බෑ. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද තීරණාත්මක නැති වෙලාවට ඒ අය ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙනවා. හැබැයි ඒ අය ඡන්දෙ නිසා පරදින තත්ත්වයක් ආවම එ් අය ඡන්ද දීලා උස්සලා තියනවා. ඒ පනත සම්මත වුණේ නැතිනම් පසුගිය 28 වැනිදා උතුරුමැද නැගෙනහිර හා සබරගමුව පළාත් සභා විසිරෙනවා. ඒ පළාත් සභාවල ඡන්දය තියන්න වෙනවා. එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් හිමි වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැවැන්ත ජයග්‍රහණයක් ලැබෙනවා. එහෙම වුණානම් ආණ්ඩුවේ වැටීම එතැනින් ආරම්භ වෙනවා. ඒ ආණ්ඩුවේ වැටීම තමයි ජනතා විමුක්ති පෙරමුණ නතර කරලා දුන්නේ.    


ප්‍රශ්නය: කොහොම වුණත් ජනවාරි 6 වැනිදා පළාත් පාලන ඡන්දය තියන බව කියනවා.   
පිළිතුර:
ඔව්. ඒ අය කියන විදියටම තියනවා නම් හොඳයි. අවුරුදු තුනකට කිට්ටුයි දැන් පළාත් පාලන ඡන්දය නොතියා. මම දැක්කා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා 2018 දෙසැම්බර් වෙනකොටවත් පළාත් පාලන මැතිවරණය තියන්න බැරිවුණොත් එතුමා ඉල්ලා අස්වෙනවා කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීනයි නම් ඇයි මැතිවරණ කොමිසමේ සභාතිවරයාට මැතිවරණ පැවැත්වීම ගැන විශ්වාසයක් නැත්තේ. එතුමට කවුරුහරි බලපෑමක් කරනවද? ඒකනේ එතුමා කියන්නේ 2018 දෙසැම්බර් වෙනකොටවත් ඡන්දය තියන්න බැරිනම් ඉල්ලා අස්වෙනවා කියලා. එහෙම කියන්න වෙනව නම් ඒක ස්වාධීන වෙන්නේ කොහොමද? එතුමා ස්වාධීන නෑනේ. එහෙම මැතිවරණ කොමිෂන් සභාවක් අවශ්‍ය නෑනේ. මැතිවරණ පවත්වන්න කවුරුහරි දෙන්නේ නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද? මමනම් කියන්නේ නියමිත වෙලාවට මැතිවරණ තියන්න බැරිනම් 2018 දෙසැම්බර් වෙනකම් ඉන්න ඕනැ නැහැ දැන්ම යන්න කියලයි.  


ප්‍රශ්නය: ආණ්ඩුවෙන් 15ක් 20ක් එනවා කියලා කිව්වට අාවේ අරුන්දික ප්‍රනාන්දු විතරයිනේ.  
පි‌ළිතුර:
කිව්වේ කවුද කියලා නම් මම දන්නේ නැහැ. අපි ඒ ගැන කිසිම තැකීමක් නැහැ. ඒ අය ගැන විශ්වාසයක් තියන්න බැරි බව එදා පාර්ලිමේන්තුවේදි හොඳටම පැහැදිලි වුණා. පළාත් සභා මැතිවරණය කල්දාන්න ගෙනාපු පනතටත් ඒ අයගෙන් සමහරු ඇවිල්ලා බයට හෝ මොකක් හරි බලපෑමකට ඡන්දය දුන්නා. ඒ නිසා ඒ අය ගැන විශ්වාසයක් තියෙන්නෙත් නෑ. එයි කියලා බලාගෙන අපි කටයුතු කරන්නෙත් නැහැ. එනවා නම් කවුරුහරි ඒ අය එන්න ඕනෑ මේ රටට මේ ආණ්ඩුව කරන විනාශය දැකලා. එහෙම එන අයත් එක්ක අපි වැඩ කරන්න සූදානම්. නමුත් ඔවුන් එනකම් කියලා බලාගෙන ඉන්න අපි සූදානම් නැහැ.   


ප්‍රශ්නය: ඒ කියන්නේ ඔවුන් එක්ක කරපු සාකච්ඡා බිඳවැටිලා.   

පිළිතුර: එහෙම සාකච්ඡාවක් කොහොමත් තිබුණේ නැහැ. එනවා එනවා කියලා කිව්වේ ඔවුන්මයි. අපි සාකච්ඡා කරලා මොනවා දෙන්නද? අපිට තියෙන්නේ ආරාධනාවක් විතරයි. එනවා නම් රට ගැන හිතලා එන්න කියලා. ඒක ගැන සාකච්ඡා කරන්න දෙයක් නැහැ. දැන් අරුන්දික මන්ත්‍රීතුමා කිව්වනේ එතුමා ආවේ ඇයි කියලා.   


ප්‍රශ්නය: පොදුජන පෙරමුණ ගැන මුල් කාලේ අහනකොට ඔබලා කිව්වේ අපි දන්නේ නැහැ. ඒක අපේ එකක් නොවේ කියලයි. හැබැයි මම අද කියනවා ඊළඟට ඡන්දෙට එන්නේ පොදුජන පෙරමුණෙන් කියලා.   

පිළිතුර: අනික් අය කරපු ප්‍රකාශ ගැන මට මුකුත් කියන්න බෑ. මං කිසි දවසක කියලා නෑ දන්නේ නැහැ කියලා. ඒක අපි හදපු එකක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කලකිරුණු ප්‍රගතිශීලී ජනයා වෙනුවෙන් තමයි අපි මේ පක්ෂය හැදුවේ. අපි ඉදිරියේදී දිනවන්න කටයුතු කරන්නේ ඒ පක්ෂයයි.   

 


ප්‍රශ්නය: මෛත්‍රී පාර්ශ්වය හා මහින්ද පාර්ශ්වය අතර යම් සමගියක් ඇතිවේවි කියලා විශ්වාස කරන අයත් ඉන්නවා.   

පිළිතුර: එකඟතාවය ඇතිවිය යුත්තේ මේ කරන වැඩපිළිවෙළ නතර කිරීම සඳහායි. එහෙම එකඟතාවකට එනවා නම් අපිත් කැමතියි. හැබැයි මේ රටේ මේ සිද්ධවෙන සියලු විනාශයන්ට ඒ අය හවුල්. මැතිවරණ කල්දැමීමට හවුල්. රාජ්‍ය දේපල විකිණීමට හවුල්. මේ සිදුකරන මහා පරිමාණ වංචාවලට මේ සියලු දෙනා හවුල්. ඉතින් ඒ හවුලෙන් අයින් ​ෙවලා ඒවට විරුද්ධව සටන් කරන්න එතුමන්ලා සූදානම් නම් ඒ සාකච්ඡා අනුව අපට තීරණයක් ගන්න පුළුවන්.   

 


ප්‍රශ්නය: ඡන්දයකදී වෙනම ඉල්ලීම යූඑන්පියට වාසියක්. ඒකාබද්ධ විපක්ෂය කරන්නේ ඒ කොන්ත්‍රාත්තුව  
පිළිතුර:
ඕනෑම විදියකට චෝදනා කරන්න පුළුවන්. නමුත් යූඑන්පී කොන්ත්‍රාත් ඉටු කරන්නේ කවුද කියලා ඉතාම පැහැදිලියි. යූඑන්පියේ ශාඛාවක් බවට ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානය පත් කරලා තියන්නේ කවුද කියලා පැහැදිලියි. ඒක තමයි කොන්ත්‍රාත්තුව. මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූඑන්පියේ ශාඛා සමිතියක් බවට පත් කරලා ඉවරයි. කොන්ත්‍රාත් කරන්නේ අගමැතිවරයාගේ කැබිනට් එකේ ඉන්න අය මිසක් එළියේ ඉන්න අපි වෙන්නේ කොහොමද?   


ප්‍රශ්නය: මහින්ද රාජපක්ෂ ගිහින් රනිල් වික්‍රමසිංහ හමුවුණා. ලලිත් වීරතුංගලාට ඇප ලැබුණ කියලත් කියනවා.   

පිළිතුර: නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හමුවෙන්න ගියේ එහෙම දෙයකට නොවෙයි. ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැරිවෙන විදියට සංශෝධන ගෙනාවනේ. අපේ එහෙම හිටපු මන්ත්‍රීවරුන් අටසිය ගණනක් ඉන්නවා. නාම යෝජනා අහිමි වන ඒ අටසිය ගැන කතා කරන්නයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ගියේ. ඒ වෙලාවේ අගමැතිතුමා කියලා තිබුණේ ඒ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් මිසක් ඒ අයගේ යෝජනාවක් නොවෙයි කියලා.   


ප්‍රශ්නය: ඉදිරි මැතිවරණවලට ඔබලා ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ​ෙයන් නොවෙයිද? එහෙම නැතිනම් සංධානයකින්ද?   පිළිතුර: පොදුජන පෙරමුණ කියන්නේ මම මුලින් කියපු විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බැහැරව යන ප්‍රගතිශීලි ජනයාට සංවිධානය වෙන්න හදපු පක්ෂයක්. එක්සත් ජනතා නිදහස් සංධානය ගත්තම ඒකෙත් මන්ත්‍රීවරු 45ක් විතරයි ආණ්ඩුවට ගිහින් ඉන්නේ. සංධානයේ අනික් හවුල්කාර පක්ෂ ඔක්කොම ඉන්නේ ආණ්ඩුවට විරුද්ධවයි. ඒ නිසා ඒ පක්ෂත් ඇතුලත් සංධානයකින් තමයි මැතිවරණවලට යන්නේ.   

 

සාකච්ඡා කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්