මා වෙනුවට දාල තියෙන්නේ කොළපාට කමිස අඳින කෙනෙක්


 

ඒකාබද්ධ විපක්ෂයේ මාර්ග සිතියම කුමක්ද? නව දේශපාලන පෙළ ගැසීම් කෙබඳුද? මේ ඒ සම්බන්ධයෙන් විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය:- අන්තිමට ඔබට නාවලපිටිය ආසන සංවිධායකකමත් නැති වුණා?   
පිළිතුර:-
ඔව්   


ප්‍රශ්නය:- මොකද හිතෙන්නේ?   
පිළිතුර:
- අපි හදාපු, අපි ජීවිත කැප කරපු මේ රටේ සාමාන්‍ය මිනිහට හිටගන්න තියෙන දැවැන්තම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ පක්ෂයට සිද්ධවෙන දේ ගැන දැඩි කනගාටුවක් ඇති වෙනවා.   


ප්‍රශ්නය:- ඔබලා නියැලිලා ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ප්‍රවර්ධන කටයුතුවලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔච්චර ආදරේ නම් ඇයි වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කරන්නේ?   
පිළිතුර
:- නෑ.... මෙතැන තියෙන ප්‍රශ්නය 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පැරදිලා අපි අගෝස්තු මාසේ 17 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනවා. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්න. අපි එතැනදී ජනතාවට කිව්​ෙව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න අපට ඡන්දය දෙන්න කියලයි. අපට ඡන්දය දුන්න ජනතාවගේ අරමුණු වුණේ ඒක. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක ආණ්ඩු හදන්න ජනතාව අපට ඡන්දය දුන්නේ නෑ. ඒ නිසා අපට බෑ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු හදන්න. අපට ඡන්දය දීලා නෑ යූඑන්පියත් එක්ක ආණ්ඩු හදන්න. ඒ වගේම අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුවක් හැදුවොත් රටත් ඉවරයි. පක්ෂයත් ඉවරයි.   


ප්‍රශ්නය:- ඒ නිසාද අලුත් පක්ෂයක් හැදුවේ?   
පිළිතුර:-
පොඩ්ඩක් ඉන්න. අපි මේක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කිව්වා. අපි ඔක්කොම ගිහින් කිව්වා මේකෙන් රටත් ඉවරයි පක්ෂයත් ඉවරයි කියලා. අද එ්ක වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂය රැකගන්න ඕනෑ නිසාත් ශ්‍රී ලංකා කාරයා රැකගන්න ඕනෑ නිසාත් රට රැකගන්නත් ඕනෑ නිසා තමයි අපි ගිහින් වෙනම ඉඳගත්තේ.   


ප්‍රශ්නය:- අලුත් පක්ෂයක් හදල කොහොමද පරණ පක්ෂය රැක ගන්නේ?   
පිළිතුර:-
මෙහෙමයි. අපට අලුත් පක්ෂයක් හදන්න අවශ්‍ය වුණේ නෑ. අලුත් සන්ධානයක් හදන්න ඕනෑ වුණෙත් නෑ. අපි පාර්ලිමේන්තුව ඇතුළේ පසුගිය මාස 32 තුළදීම ආණ්ඩුව කරපු නරක දේවල්, රටට අහිතකර දේවල්වලට එරෙහිව ඇත්ත අරගලයක් කළා. ඔබ දන්නවා අද පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයක් නෑ. අද විපක්ෂනායක තුමා කට අරින්නේ කන්න විතරයි. විපක්ෂනායකතමා කිසිම ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන් කතා කරන්නේ නෑ. අද ජනතා විමුක්ති පෙරමුණ හැසිරෙන ආකාරය ඔබට දැනෙනවා. ඉතිහාසයේ කවුද හිතුවේ ජනතා විමුක්ති පෙරමුණ මේ වගේ ව්‍යවස්ථාවකට සහයෝගය දේවි කියලා. කවුද හිතුවේ ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද කල් දැමීමේ ආණ්ඩුවේ වුවමනාවන් එක්ක එකට හිට ගනී කියලා. ඒ නිසා ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබන, ආණ්ඩුවෙන් යැපෙන්නන් බවට ජනතා විමුක්ති පෙරමුණ පත්වෙලා.   


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ අලුත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම ගැනයි?   
පිළිතුර:-
මම මේ කියාගෙන ආවේ ඒක ගැන තමයි. ඒ නිසා සැබෑ විපක්ෂයේ කාර්ය භාරය කරන්න වෙලා තියෙන්නේ අපිට. රටේ ජනතාව වෙනුවෙන් සැබෑ විපක්ෂයේ කාර්යභාරය කරන අතරතුරේ මැතිවරණයක් එනවා. ඒ වෙනකොට රට තුළ ආණ්ඩු විරෝධී දැවැන්ත ජනතා බලවේගයක් අපි හදමින් යනවා. පහුගිය මාස 32 ක කාලය තුළ රටේ දැවැන්තම ජනතා බලවේගය ගොඩ නැගුවා. එතකොට මේ දැවැන්තම ජනතා බලවේගය කොහාටද යන්නේ. ඒ බලවේගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න බෑ. මේ බලවේගය ආණ්ඩු විරෝධියි. ඒ නිසා තමයි අපි දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කිව්වේ අපි 96 දෙනා එකට සිටගමු කියලා. අපිත් එක්ක සාකච්ඡා කරන්න ආපු අයට අපි කිව්වේ අපි 96 දෙනා එකට හිටගමු කියලා. අපි කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදමු කියලයි. හැබැයි ඒකට ඉඩක් නෑ. මගක් නෑ. ඉතින් ඒ නිසා අපට සිද්ධවුණා මේ වෙලාවේ ආණ්ඩුවට එරෙහිව ඉන්න සියලු බලවේග එකතු කරන්න.   


ප්‍රශ්නය:- පොහොට්ටුව ගෙනාවේ ඒකට?   
පිළිතුර:-
අපි පොහොට්ටුවේ වේදිකා​ විතරක් නොවෙයි විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ වේදිකාවලත් කතා කරනවා. අපි උදයගම්මන්පිල මන්ත්‍රීතුමාගෙ, වාසුදේව මන්ත්‍රීතුමාගේ, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාගේ රැස්වීම්වල කතා කළා. ජී.එම්.ඕ. එකේ වේදිකාවේ කතා කරනවා. මේ ආණ්ඩුවට විරුද්ධව කවුද හිටගන්නේ අපි එතැන හිටගන්නවා. දැන් මැතිවරණයක් එනවා කියනවා. මැතිවරණයක් ආවම අපි මොකෙන්ද තරග කරන්නේ? රටේ ජනතාව කොහේද ඉන්නේ? රටේ ජනතාව ඉන්නේ ආණ්ඩුවට විරුද්ධව. එතකොට ආණ්ඩුවට විරුද්ධව ඉන්න ජනතාව ආණ්ඩුවත් එක්ක ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙයිද? ඒ නිසා අපට සිද්ධ වෙනවා ආණ්ඩුවට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගමන යන්න සූදානම් නැත්නම් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ආණ්ඩුවට විරුද්ධව තරග කරන්න ලෑස්ති නැත්නම් අපට සිද්ධ වෙනවා ආණ්ඩුවට එරෙහිව පුළුල් ජනතා සන්ධානයක් ගොඩනගන්න.   


ප්‍රශ්නය:- එතකොට දෙකට කැඩෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඡන්ද?   
පිළිතුර:-
දෙකට කැඩෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද කියලා පිළිගන්නවා. හැබැයි සියයට 90 යි සියයට 10 හැටියට. ඒක තමයි යථාර්ථය. හැබැයි ඒ 10 අපෙන් කැඩුණාම 2015 ජනාධිපතිවරණයේදී අපෙන් ගිලිහී ගිය සියලු බලවේග දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඊට අමතරව යහපාලනයට ඡන්දේ දිපූ බහුතරයක් ආණ්ඩුවෙන් අයින්වෙලා අපිත් එක්ක හිටගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ඉන්නේ දැඩි කලකිරීමකින්. දහසක් බලාපොරොත්තු තියාගෙන හදපු ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ මහ දවාලේ හොරකම් කරනවා මිසක් කියලා. මේ රටේ ප්‍රබුද්ධ තරුණ පරම්පරාව, ජීවිතයෙ පළමු වරට ඡන්දය දීපු තරුණයන් දැඩි කලකිරීමකින් ඉන්නේ. ඒ නිසා අර අපෙන් ගිලිහෙන සියයට 10 ගැන ඇත්තටම අපට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා පැහැදිලි පුළුල් සන්ධානයක් හදලා පැහැදිලි ජාතික වැඩපිළිවෙළක් හදලා අපි මේ ආණ්ඩුව අපට ලැබෙන පළමු මැතිවරණයේදීම අන්ත පරාජයකට පත් කරනවා.   


ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබ පිළිගන්නවා බැසිල් රාජපක්ෂ තුන් කල් බලා අලුත් පක්ෂයක් හදපු එක හරි කියලා?   
පිළිතුර:-
බැසිල් රාජපක්ෂ මහත්තයා පක්ෂයක් හැදුවේ නෑ. අපි සියලු දෙනා​ෙගම එකඟතාවයෙන් තමයි මේ සියල්ල කෙරෙන්නේ. මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපට වෙනත් කාර්යභාරයක් පැවරිලා තියෙන නිසා බැසිල් රාජපක්ෂ මහත්තයා ඒ කාර්යභාරය කළා. ඇත්තටම ඒකේ නරකක් නෑ. අපට තරග කරන්න මොකක් හරි තියෙන්නත් එපැයි.   


ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ උතුරට ගිහින් හමුදාව යුද අපරාධ කළා කියලා කිව්වා කියලා ලොකු ඝෝෂාවක් මතු වුණා.   
පිළිතුර:
- එහෙම කිව්ව නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. එහෙම කිව්වා නම් ඒකාබද්ධ විපක්ෂය ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් එතුමා එහෙම ප්‍රකාශයක් කළේ නෑ කියලා ප්‍රසිද්ධියේම කියලා තියෙනවා.   


ප්‍රශ්නය:- ඔය අතරේ විමල් වීරවංශ යනවා ජනාධිපති මෛත්‍රි හමුවෙන්න. ඒකාබද්ධ විපක්ෂයේ එකඟතාවයෙන් ද ඒවා වෙන්නේ.   
පිළිතුර:-
පැහැදිලිවම ඔව්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හමුවෙන්න යන එක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව දැනුම්වත් කළා. අපේ සන්ධානය තුළ පක්ෂ ගණනාවක් තියෙනවා. ඒ ඒ පක්ෂවලට අනන්‍ය දේශපාලන න්‍යාය පත්‍ර තියෙනවා. විමල් වීරවංශ සහෝදරයාගේ පක්ෂයට තියෙන බරපතළම ප්‍රශ්නය තමයි මේ ගේන්න යන ව්‍යවස්ථාව. විමල් සහෝදරයා මේ රටට තියෙන බරපතළම අනතුර හැටියට දකින්නේ මේ ව්‍යවස්ථාව. ඒ නිසා එතුමා මේ ව්‍යවස්ථාව පරාජය කිරීමට ගන්න පුළුවන් හැම උපාය මාර්ගයක්ම අනුගමනය කරනවා. ඒක මේ මොහොතේ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.   


ප්‍රශ්නය:- ඔබ කියනවා අලුත් පක්ෂය හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට කියලා. ආණ්ඩුවට ගිය අයත් කියන්නේ ආණ්ඩුවට ගියෙත් පාක්ෂිකයා වෙනුවෙන් කියලයි. නැත්නම් ඔවුන් ගුටි කනවා කියලත් කියනවා.   
පිළිතුර:-
පාක්ෂිකයා වෙනුවෙන් ආණ්ඩුවට ගියා කියලා කොහොමද කියන්නේ? ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට අද සාධාරණයක් ඉටුවෙලා තියෙනවද? මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් අහන්න අද වැඩ කරන්න පුළුවන්ද කියලා. වැඩ කරන්න සල්ලි තියෙනවද කියලා අහන්න. අපි කො​ෙහාමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකතුවෙලා ආණ්ඩුවක් හදන්නේ? දැන් බලන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආර්ථික දර්ශනය වෙනස්. දේශපාලන දර්ශනය වෙනස්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික දර්ශනයයි, දේශපාලන දර්ශනයයි වෙනස්. මේ කැබිනට් එක ඇතුළේ ගහගන්නේ ඇයි? මැති ඇමැතිවරුන් විවේචනය කරගන්නේ ඇයි? අගමැතිවරයට විරුද්ධව බැඳුම්කර කොමිසමක් එන්නේ ඇයි? එහෙම වෙන්නේ මේ දෙක එකට යන්න බැරි නිසා. මේක අපි අගෝස්තු 17 වැනිදා රටට කිව්වා. මේක එකට යන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථීක වැඩ පිළිවෙල මොකක්ද පෞද්ගලිකකරණය, සහනාධාර කප්පාදුව, හොකම් කරන එක. ඉතිහාසයක් පුරාම යූඑන්පිය කළේ ඒක තමයි. මහවැලිය ගෙඩිය පිටින් කෑවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම ඒක නොවෙයිනේ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පන්ති පහේ බලවේගයෙන් සැදුම්ලත් පුංචි මිනිහගෙන් ආපු දුප්පත් මිනිහා නගා සිටුවන්න, ගමේ පාර හදන, ගමේ පඩිවපළ හදන, ගමට සංවර්ධනය ගේන, සහනාධාර දෙන එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ ප්‍රතිපත්තිය. ඉතින් කොහොමද මේ දෙක එකට යන්නේ? මහින්ද මහත්තයා දීපු සහනාධාර ඔක්කොම රනිල් වික්‍රමසිංහ මහත්තයා කපනවා. ඉතින් කොහොමද කියන්නේ ශ්‍රී ලංකා කාරයො වෙනුවෙන් ආණ්ඩුවට ගියා කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා රටට දායාද කරපු දේපොළ, සම්පත් ඔක්කොම ටික රනිල් වික්‍රමසිංහ මහත්තයා විකුණනවා. එතකොට කොහොමද ශ්‍රී ලංකා කාරයා රැකගත්තා වෙන්නේ?   


මහින්ද රාජපක්ෂ මහත්තයාට හොරා හොරා කියලා අපහාස කළා. මේ​ ගොල්ලෝ මහ දවාලේ හිටගෙන හොරකම් කරනවා. අපට අවුරුදු 14 පුරාම ආවේ නැති චෝදනා එක අවුරුද්දෙන් මේ ආණ්ඩුවට ආවා. ඉතින් ශ්‍රී ලංකා එක ගිහින් ආණ්ඩුවේ හිටගන්​ෙන් නෑ. අපි තමයි සැබෑ ශ්‍රී ලංකා පාක්ෂිකයන් වෙනුවෙන් හිටගෙන ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන නම තිබ්බට වැඩක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ අයිතිය තිබ්බට වැඩක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ​ෙය් ප්‍රතිපත්ති තියෙන්න ඕනෑ. පාක්ෂිකයා ඉන්න ඕනෑ. ප්‍රතිපත්ති තියෙන්නේ, පාක්ෂිකයෝ ඉන්නේ අපිත් එක්ක.   


ප්‍රශ්නය:- ඔබ හිතනවද යම් අවස්ථාවකදී ජනාධිපති මෛත්‍රී එක්ක එකඟතාවයකට යන්න පුළුවන් කියලා.   
පිළිතුර:
- මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක එකඟතාවයකට යන එක ඒ තරම් සුවිශේෂ කාරණයක් නොවෙයි. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතාම හොඳින් අවබෝධ කරගන්න ඕනෑ කාරණයක් තියෙනවා. අද ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂයට අවස්ථාවක් ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පත් කරන්න.   


ප්‍රශ්නය:- ඔබ කොහොමද එහෙම කියන්නේ?.   
පිළිතුර:-
දැන් නාවලපිටිය මගේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා හැටියට දාන්නේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට නැගපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් සාමාජිකත්වය ගත්ත කෙනෙක්.   


ප්‍රශ්නය:- ඔබ වගකීමෙන්ද කියන්නේ?   
පිළිතුර:-
ඔව්. මම ෆොටෝ ​ෙදන්නම් ඔබ පත්තරේ දානවා නම්. ඊයේ පෙරේදා තිබ්බ මැයි රැලියෙත් නාවලපිටිය කියන බැනර් එක ළඟ කොළපාට කමිසයක් ඇඳගෙන ගිය යූඑන්පී කාරයා තමයි අද නාවලපිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා. එතකොට යූඑන්පී සංවිධායකත් යූඑන්පී. ශ්‍රී ලංකා සංවිධායකත් යූඑන්පී. මෙහෙමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති රකින්නේ. මේක ගැලපෙන්නේ නැහැ. මෙහෙම යන්න බෑ.   


ප්‍රශ්නය:- කොහොම වුණත් ජනාධිපති මෛත්‍රී යාපනයට ගිහින් කිව්වේ ”මාව දුර්වල කළොත් ශක්තිමත් වෙන්නේ යක්ෂයා‘ කියලයි. ඔබ හිතන විදියට කවුදමේ යක්ෂයා?   
පිළිතුර:-
එතුමා යක්ෂයා කියලා හඳුන්වන්න ඇත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියලයි මම නම් හිතන්නේ. හැබැයි මම දන්න යක්ෂයා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා නොවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැනගන්න ඕනෑ යක්ෂයා වෙන කවුරුවත් නෙමෙයි රනිල් වික්‍රමසිංහයි. මට හිතෙනවා එතුමා යක්ෂයා කියලා කිව්​ෙව ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයාටද කියලා. මොකද අපි දන්න යක්ෂයා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයයි.   


ප්‍රශ්නය:- ඔබ එහෙම කියන්නේ ඇයි?   
පිළිතුර:-
හොඳින් මතක තියාගන්න. දැන් බලන්න අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ කවුද කියලා බලන්න. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්​ෙන් යූඑන්පියෙන් ආපු පැරිෂුට් කාරයෝ ටිකක්. පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කරපු කුජීත කරපු පිරිසක්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ පක්ෂයේ නායකයන්ට වෛර කරන පිරිසක්. මෙහෙම කොහොමද පක්ෂය ගෙනියන්නේ? එහෙම පිරිසක් තමයි අද පක්ෂයේ ඉතිරිවෙලා ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩිම මනාප ගත්ත ජ්‍යෙෂ්ඨයො සියලු දෙනා ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ. ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා කියනවා ‘වෙල්ගමයි, මහින්දානන්දයි අයින් කරපු එකට මම විරුද්ධයි.’ කියලා. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා මට පාර්ලිමේන්තුවේදී හම්බවෙලා කිව්වා. ‘මේකට අපි විරුද්ධයි.’ කියලා සුමේධා ජයසේන ඇමැතිතුමිය කිව්වා ‘ඔබතුමාලා ඉවත් කරනවා අපි දන්නේවත් නෑ’ කියලා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවවත් තීරණයක් ගන්නේ නැතිව මේ ව​ෙග් ඔලමොට්ටල තීන්දු ගන්න අය කවුද?   


ප්‍රශ්නය:- මම ඔබෙන් ඇහුවේ වෙන ප්‍රශ්නයක්?   
පිළිතුර:-
මම ​ෙම් එතැනට තමයි එන්නේ. මේක ඉතාම හොඳින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි. එතුමා දන්නවද නැද්ද දන්නේ නෑ. දැනගෙන නොදන්නාව ව​ෙග් ඉන්නවාද දන්නේ නෑ. මේ ලෑස්තිය 2020 දී රනිල් ජනාධිපති කරන්නයි. මේ මෙහෙයුම පිටිපස්සේ ඉන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය. මේක හොඳින් මතකතියාගන්න ඕනෑ. චන්ද්‍රිකා මැතිනිය තමයි මේකේ පිටිපස්සේ ඉන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල තනතුරු දීලා තියෙනවා චන්ද්‍රිකා මැතිනියට ඕනෑ අයට. ඒ අයත් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. ඒ අය ඉන්නේත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාව රකින්න නොවෙයි. චන්ද්‍රිකා මැතිනියගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරන්න.   


ප්‍රශ්නය:- ඔබ මොන පදනමින්ද ඔ​ෙහාම කියන්නේ?   
පිළිතුර:-
ඔව්. මේ අය බැලුවේ 2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරලා ඔහුව නාමික ජනාධිපති කෙනෙක් බවට පත් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ රට කරන්න දීලා චන්ද්‍රිකා මැතිනිය මේ පක්ෂයේ බලය ගන්නයි. ඒක තමයි සැලැස්ම තිබුණේ. නමුත් වුණේ වෙන දෙයක්.   


ප්‍රශ්නය:- වෙන දෙයක් කිව්වේ?   
පිළිතුර:-
වෙන දෙයක් කිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා රට කරන්න ගියා. රනිල් නිකම්ම නිකන් අගමැති වුණා. චන්ද්‍රිකා මැතිනිය පුස්සක් වුණා. ඒ වැරදුණ සැලැස්ම වෙනස් විදියකට 2020 දී කරන්න තමයි මේ උත්සාහය කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය චන්ද්‍රිකා මැතිනිය අතට ගන්න. 2020 දී රනිල් ජනාධිපති කරන්න.​ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නාමික කෙනෙක් කරන්න. මේ සැලැස්ම 2018 දී පටන් ගන්නවා. ඒක මතක තියාගන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ගහන්න පටන්ගන්​ෙත් 2018 මැද. අද කිව්වා කියලා ලියලා තියාගන්න. 2018 මැද වෙනකොට යූඑන්පීයයි චන්ද්‍රිකා මැතිනියයි දෙන්නම එකතු වෙලා ගහනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයට.   


ප්‍රශ්නය:- එහෙම තත්ත්වයක් ඇති වුණොත් ඔබලාගේ ස්ථාවරය?   
පිළිතුර:-
එදාට තමයි මහින්ද රාජපක්ෂ මහත්තයගේ, වෙල්ගමලාගේ, මහින්දානන්ද අලුත්ගමගේලාගේ වටිනාකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ.

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්