මහින්ද සුළඟ විකුණාගෙන පාර්ලිමේන්තු ආ අය එතුමාටම ලජ්ජා කරන්න හදනවා


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්   

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ ජනාධිපති කෙමිසමේ වාර්තාව එළිදැක තිබේ. එයින් දේශපාලන ලෝකය ගිනියම් ය. මේ ඒ පිළිබඳවත් උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙනුත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග කළ සාකච්ඡාවකි.   
 
ප්‍රශ්නය:- ‘‘සර්​ ෆේල්’’ කියලා කිව්වට අන්තිමට ෆේල් වෙලා තියෙන්නේ විපක්‍ෂයයි.   
 
පිළිතුර:- ඒක ඔබතුමා දකින විදිය පිළිබඳ ප්‍රශ්නයක්.   
 
ප්‍රශ්නය:- විපක්‍ෂය බලාගෙන හිටියේ කොවිඩ් එකෙන් ආණ්ඩුව ඇන ගනී කියලයි. නමුත් දැන් ජනතාවට එන්නත ලබාදෙන තරමට ආණ්ඩුව ඉදිරියට ඇවිත්?   
 
පිළිතුර:- රට ෆේල් වෙනවට අපි කැමති නෑ. එන්නත ගෙන්න ගන්න බැරිව ආණ්ඩුව ෆේල් වෙන්න ඕනෑ කියලා කාලකන්නි ආශාවක් අපට තිබුණේ නෑ. නමුත් ආණ්ඩුව ෆේල් බව එන්නත ගෙන්වීමෙන්ම ආණ්ඩුව පෙන්නුවා. අපි මුල ඉඳලම කිව්වේ ‘‘විද්‍යාව පිටුපස යන්න, මිථ්‍යාව පිටුපස යන්න එපා’’ කියලයි. හැබැයි ආණ්ඩුව අපි කියපු දේ අහන්නේ නැතිව එක එකාගේ පැණී පිටුපස්සෙ ගිහිල්ලා අන්තිමට තේරුම් ගත්තා මිථ්‍යාව පිටුපස්සේ ගිහින් හරියන්නේ නෑ, විද්‍යාව පිටුපස්සේ තමයි යන්න ඕනෑ කියලා. ඉතින් ඒක පිළිබඳව අපි සතුටු වෙනවා, රටේ ජනතාවට යහපතක් වෙන නිසා.’’   
 
ප්‍රශ්නය:- කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින අඩු වෙමින් පවතිනවා. මේක යහපත් තත්ත්වයක්?   
පිළිතුර:- ආණ්ඩුව හත් පොළේ ගාගෙන තියෙන්නේ. දැන් එන්නත ගහන එකත් මුලදි අවුරුදු 60 ට වැඩි කට්ටියට ගහන්නේ කියලා. නමුත් අවුරුදු 60 ට වැඩි කට්ටියගේ නම් ලැයිස්තුව නැති වෙලා. දැන් එන්නත ගහන්නේ 30 ට වැඩි කට්ටියට. පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාණය වැඩි කළානම් ආසාදිතයන් 1500ට වැඩියෙන් වාර්තා වෙන්න තිබුණා. නමුත් ආණ්ඩුවට කඩේ යන පිරිසකගේ ප්‍රචාරක සැලසුම් හරහා තමයි මිනිස්සු අන්දන වැඩේ කළේ. නමුත් සමාජය තුළ වයිරසය වේගයෙන් පැතිරුණා. එන්නත ගෙන ඒම ගැන අපි සතුටු වෙනවා. කෝවිඩ් පාලනය වෙනවානම් ඒක ගැනත් අපි සතුටු වෙනවා. කොවිඩ් තුරන් වෙන්න ඕනෑ කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව.   
 
ප්‍රශ්නය:- කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘත දේහ ආදාහනය කළ යුතුයි කියන ස්ථාවරයේ තවම වෙනසක් නෑ.   

 

පිළිතුර:- ඔතන කාරණා දෙකක් තියෙනවා. පළමු වැනි කාරණය තමයි මේක මුස්ලිම් ප්‍රශ්නයක් නොවෙයි. භූමදානය කරන්න දෙනවද ආදාහනයකරන්න දෙනවද කියන එකේ අයිතිවාසිකම තියෙන්නේ මේ රටේ මුස්ලිම් මිනිසුන්ට විතරක් නොවෙයි. සිංහල බෞද්ධයන්ටත් පාංශුකූලය දෙන්න අවස්ථාව තියෙන්න ඕනෑ. කතෝලික ජනතාවටත් ආදාහනයද භූමදානයද කියන එක තීරණය කිරීමේ අයිතිය තියෙන්න ඕනෑ. මොකද මේ කිසිම ප්‍රජාවකට අයිතියක් නැහැ වයිරසය ජලයෙන් ව්‍යාප්ත වෙනවා නම් භූමදානය ඉල්ලන්න. ජලයෙන් මේ වයිරසය ව්‍යාප්ත නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මුල ඉඳලම කිව්වා. ඒ වගේම සෞඛ්‍ය ඇමතිවරිය පත් කරපු මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය ප්‍රමුඛ වයිරස් විද්‍යාඥයන් සහ අනෙකුක් විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුව ඒකමතිකව තීරණයක් දුන්නා භූමදානයට අවසර දෙන්න කියලා. ඒ තීරණය හැංගුවා. ඒ නිසා මේකෙන් සිංහල - මුස්ලිම් ප්‍රශ්නයක් හදන්න ඕනැ නෑ. ඒක අනවශ්‍ය දෙයක්. මේක මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒක තමයි පළමු වැනි එක.   
 
ප්‍රශ්නය:- ඔබ මේ ගැන අගමැති මහින්ද රාජපක්‍ෂගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා?   
 
පිළිතුර:- ඔව්, ඒක තමයි මෙතැන තියෙන දෙවැනි කාරණය. එතැනදි අගමැතිතුමා ප්‍රකාශ කළා භූමදානයට අවසර දෙනවා කියලා.   
 
ප්‍රශ්නය:- අගමැති මහින්දගෙන් ඔබ ඒ ප්‍රශ්නය අහන්නෙ පූර්ව එකඟතාවයකින්? 
 
පිළිතුර:- නෑ. නෑ... ඒ ඔබතුමා හිතන විදිය. එහෙම හිතන්න ඔබතුමාට තියෙන අයිතිය මම පිළිගන්නවා. නමුත් අගමැතිතුමාගෙන් මම ඒක අහපු හේතුව තමයි පරිණත දේශපාලනඥයකු හැටියට අගමැතිතුමා දන්නවා ලෝක දේශපාලනය හැසිරෙන්නෙ කොහොමද කියලා. මම එතුමාගේ දේශපාලනයට විරුද්ධයි. නමුත් එතුමාගේ අත්දැකීම් සම්බන්ධයෙන් මට අවබෝධයක් තියෙනවා. එතකොට අපි කැමති නෑ මානව හිමිකම් කොමිෂම හමුවේ අපේ ර​ට දඬුකඳේ ගහනවට. මැද පෙරදිග ඡන්ද ටික ඕනෑ බව අගමැතිතුමා දන්නවා. විශේෂඥ කමිටුව භූමදානයට අවසර දෙන්න කියලා අනුමැතිය දීලා තියෙනවා. අගමැතිතුමාගේ යටිහිත දන්නවා මහ මැතිවරණයට පෙර තුනෙන් දෙක ලබාගැනීම සඳහා සිංහල බෞද්ධ ජාතිවාදය  ව්‍යාප්ත කරන්න ඕනෑ නිසා කිසිම විද්‍යාත්මක පදනමක් නැතිවයි භූමදානයට අවසර නොදුන්නේ කියලා. ඒ නිසා මේ වෙලාවට තමයි ඒ කරපු වැරැද්ද නිවැරදි කරන්න හොඳම වෙලාව කියලා පරිණත නායකයෙක් හැටියට එතුමා දන්නවා. හොඳම වැඩේ කියන්නේ මේ හැම එක්කෙනාම මහින්ද සුළඟ හදාගෙන. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට තිබුණ ජනාදරය උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තුවට ආපු අය එතුමාටම ලජ්ජා කරන්න හදනවා.   
 
ප්‍රශ්නය:- රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කිව්වේ ‘‘තවම අවසන් තීරණයක් අරගෙන නෑ’’ කියලයි. විපක්‍ෂයට ඕනෑ මොකක් හරි ප්‍රශ්නයක්?   
 
පිළිතුර:- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරිය පාර්ලිමේන්තුවේදී කිව්වා ‘‘ජලයෙන් කොරෝනා ව්‍යාප්ත වෙන්නේ නෑ’’ කියලා. එතුමිය ප්‍රජා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂ වෛද්‍යවරියක් හැටියට මේ ඇත්ත පාර්ලිමේන්තුවේදී කිව්වා. පාර්ලිමේන්තුවට බොරු කියන්න බෑ. නමුත් අගමැතිතුමා කිව්වට පස්සෙ තමයි එතුමිය අරහෙම කිව්වේ. කමිටුව නිර්දේශ කරලා තිබුණත්, ඒ විශේෂඥ කමිටුවට එහා ගිය හොර කමිටුවක් තියෙනවා. ඒ හොර කමිටුවේ නිර්දේශයක් ගැන තමයි ඔය කියන්නේ. ඇත්තටම අගමැතිතුමා කියන එක කවුරුහරි නතර කරනවානම් ඊට උඩින් ඉන්නේ ජනාධිපතිතුමා. එහෙමනම් අපට හිතන්න වෙනවා අගමැතිතුමාට කිසිම බලයක් නෑ කියලා. ඒ මතය හදන්නේ ජනාධිපතිතුමා. 
 
ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව ආණ්ඩුව හංගනවා කියලා විපක්‍ෂය කිව්වත් ආණ්ඩුව ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා?   
 
පිළිතුර:- පාස්කු ප්‍රහාරය ගැන අපි කෑගහන්නේ මේගොල්ලෝ පාස්කු ප්‍රහාරයෙන් මියගිය දේහයන් විකුණලා, ඒ කඳුළු විකුණලා නේ බලයට ආවේ. උගත් විනිසුරුවන් දීපු නිර්දේශ මාල කැඩීම පිළිබඳ විශේෂඥයන්, එතනෝල් පිළිබඳ වි​ශේෂඥයන් දාලා පරීක්ෂණ කරන්න දෙයක් නෑ. ඒකයි අපි කිව්වේ. අපේ දැඩි විරෝධය හමුවේ තමයි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. දැන් තියෙන්නේ ඒ වාර්තාවේ තියෙන සාධනීය නිර්දේශ ක්‍රියාත්මක කරන්නයි. නමුත් අපට මේ මොහොත වෙනවිට දැනගන්න තියෙන විදියට පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ අය ගැන තමයි කතා කරන්නේ. ඒක හොඳයි. නමුත් ඒ වගේම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට දඬුවම් කරනවා වගේම පාස්කු ප්‍රහාරය​ මෙහෙයවපු මහ මොළකරුවන් ගැනත් හෙළි කරන්න ඕනා. ඔවුන්ටත් දඬුවම් දෙන්න ඕනෑ. මොකද හේතුව උදාහරණයකට බුද්ධි තොරතුරු ලැබිලා තිබුණා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මහ බැංකුවට ගහනවා කියලා. ඒවගේම හමුදාපතිට ගහනවා කියලා. ඒ වගේම ආරක්ෂක ලේකම්වරයාට ගහනවා කියලා. ඒ වගේම ගැහුවා. එතකොට රටේ ජනාධිපතිට හෝ ජනාධිපතිනියට ඒ වැරැද්ද පටවන්න බෑ. ඒක කරපු ත්‍රස්තවාදීන්ටයි දඬුවම් දිය යුත්තේ. ඒ විදියට පාස්කු ප්‍රහාරය මෙහෙයවපු මහ මොළකරුවන්ට දඬුවම් දිය යුතුයි. එහෙම නැතිව මේ හාල් කෑලිවලට විතරක් දඬුවම් දීලා හරියන්නේ නෑ.   
 
ප්‍රශ්නය:- සමගි ජන බලවේගයේ ඔබලා පාස්කු ප්‍රහාරය ගැන කතා කරන විදියට ඔබලා ඒකාලේ ආණ්ඩු පක්‍ෂයේ නොවේද හිටියෙ කියලා හිතෙනවා?   
 
පිළිතුර:- ඒ කාලෙත් අපි ආණ්ඩුවේ තමයි හිටියේ මහත්තයෝ හරිද? ඒ කාලෙත් අපි ආණ්ඩුව ඇතුළේ ඉඳන් සටන් කළා. ඔබතුමන්ලට අමතක වෙලා ඇති අපේ ආණ්ඩුව කාලයෙදි තමයි ඇමතිවරු තුන් දෙනෙකුට ඇමතිධුරවලින් ඉල්ලා අස්වෙන්න වුණේ. මහ බැංකුව නිසා එක්කෙනෙකුට ඉල්ලා අස්වෙන්න වුණා. ඇවන්ගාඩ් සම්බන්ධව දෙන්නෙකුට ඉල්ල අස්වෙන්න වුණා. අපිට ඒ කාලෙත් කොන්දක් තිබුණා. ඒවගේම ඒ නායකයෝ හරියාකාරව ක්‍රියා නොකරපු නිසා තමයි අපි පක්‍ෂය අතහැරලා එළියට ආවේ. අපට එහෙමත් කොන්දක් තිබ්බා හරිද?   
 
ප්‍රශ්නය:- හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහටත් පාස්කු වාර්තාවෙන් චෝදනා එල්ල වෙනවා?   
 
පිළිතුර:- ඇත්ත වශයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරක්ෂක මණ්ඩලය රැස් නොකිරීම හා ඒවගේම වැඩ බලන ආරක්ෂක ඇමති කෙනෙක් පත් නොකිරීම වැනි හිතාමතා කරපු පටු දේශපාලන වැරැදිවලට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදිය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙත් දුර්වල දියාරු වැඩ ගැන අපිට වෙනම මතයක් තියෙනවා. නමුත් අගමැතිවරයා හැටියට එතුමා කිසිම බලයක් නැතිව හිටියේ. ඒ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අදහසනම් ඒකයි.   
 
ප්‍රශ්නය:- ජමාතේ ඉස්ලාම් වැනි අන්තවාදී සංවිධාන වගේව බොදුබලසේනා සංවිධානය තහනම් කළ යුතුයි කියලා වාර්තාව කියනවා?   
 
පිළිතුර:- මම හරිම සතුටුයි ඒ සම්බන්ධව. මේ වාර්තාවේ මම දැක්ක ඒවායින් වැඩියෙන්ම සතුටුවෙන එක තමයි ආගමික දේශපාලන පක්‍ෂ මේ රටින් තුරන් කළ යුතුයි කියන එක. සමහර දේශපාලන පක්‍ෂ ආගම් විකුණගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා. ඒගොල්ලෝ තමයි මේ ආගම්වාදයයි, ජාතිවාදයයි ව්‍යාප්ත කරන්නේ. මොකද හේතුව ඒගොල්ලන්ට මේ ප්‍රශ්න එහෙම්ම තියෙන්න ඕනෑ. එතකොට තමයි ඒගොල්ලන්ගේ දේශපාලනය දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ. සමහර මුස්ලිම් දේශපාලන පක්‍ෂ තියෙනවා, ඒගොල්ලෝ භූමදානය සඳහා වීදී සටන් කරනවා කියලා. නමුත් ඒගොල්ලන්ගේ යටි අරමුණ ඒ ඉලක්කය ජයග්‍රහණය කිරීම නොවෙයි. පාරට බැහැලා භූමදානය නොලබා ගැනීමයි. එතකොට තමයි ඒගොල්ලන්ට නැගෙනහිර පළාතට ගිහින් ​දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඔය දේශපාලන පක්‍ෂ තහනම් කළ යුතුයි කියන එක ගැන මම අතිශයින්ම සතුටු වෙනවා.   
 
ප්‍රශ්නය:- ඒ පක්‍ෂ බොහොමයක් දැන් ඉන්නේ සමගි ජනබලවේගය සමගයි?   
 
පිළිතුර:- නෑ නෑ.. මෙහෙමයි. ඒ කාලෙත් මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්වා මේ අයව ගාව ගන්න එපා කියලා. ඒවගේම මම සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් පහුගිය මැතිවරණයේදී කිව්වා ‘‘ඒ අයට ඔය කියන තරම් ජන පදනමක් තියෙනවා නම් ඒ අයට වෙනම ඉල්ලන්න කියන්න කියලා. ආසන එකට දෙකකට වඩා ගන්න බෑ. අපි දැක්කනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉල්ලන කාලේ මුස්ලිම් ජනතාව ආවා. මේ අය මේ මුදලාලිලා ටිකක්. ඊළඟ මැතිවරණයේදී බලන්නකෝ මොකද වෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි කියපු දේවල් අහපු නැති එකේ ප්‍රතිඵලය තමයි අද එතුමාට පාර්ලිමේන්තුවත් නෑ, පක්‍ෂයත් නෑ, නිකම්ම ගෙදරට වෙලා ඉන්න එක. සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි කියන දේවල්වලට සාධනීය විදියට ඇහුම්කන් දෙනවා. ඊළඟ මැතිවරණයේදී බලන්නකෝ මොකද වෙන්නේ කියලා. 
 
ප්‍රශ්නය:- ඒ කියන්නේ රාවුෆ් හකීම්, රිෂාද් බදුර්දීන් මීට පස්සෙ සමගි ජනබලවේගය එක්ක නෑ?   
 
පිළිතුර:- මගේ මතය නම් ඒගොල්ලෝ අපිත් එක්ක ඉල්ලන්න බෑ. ඒගොල්ලෝ වෙනම ඉල්ලන්න. එක්සත් ජාතික පක්‍ෂය කියලා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා හැදුවේ සිංහල, දෙමළ, මුස්ලිම් නායකයෝ ඔක්කොටම එකට ඉන්න පුළුවන් විදියට. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දක්වාම ආවේ එහෙමයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සුළු ඡන්ද පදනම ඒ පක්‍ෂවලට වික්කා. ඒ නිසා එක්සත් ජාතික පක්‍ෂය සමග සමගාමීව යන පක්‍ෂ තමයි සමගි ජනබලවේගය. අපේ ප්‍රතිපත්තිමය කාරණය තමයි සිංහල, දෙමළ, මුස්ලිම ඔක්කොම එකට ඉන්න ඕනෑ. අන්තවාදී දේශපාලන පක්‍ෂවලින් තොරව අපේ මුස්ලිම් හා දෙමළ නායකයන් අපි හැදිය යුතුයි කියන එක.   
 
ප්‍රශ්නය:- ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හදා ගන්න උදව් කරපු මුස්ලිම් මන්ත්‍රීවරු යළිත් තමන්ගේ පක්‍ෂවලට ගියා?   
 
පිළිතුර:- ලජ්ජානැතිකම මහමුදලිකමට වඩා ලොකුයි කියනවනේ. එක පාරක් ගණිකා සේවයේ යෙදුණ කෙනෙකුට නැවත ඒ දේ කරන්න බැරි නෑ. ඒ අය ඔක්කොම දේශපාලන ගණිකාවෝ.   
 
ප්‍රශ්නය:- ඔබ කියපු විදියට හකීම් හා බදුර්දීන් වෙනම ඉල්ලිය යුතුයි වගේම චම්පික රණවකත් වෙනම ඉල්ලිය යුතුද?   
 
පිළිතුර:- නෑ.... චම්පික රණවක මැතිතුමා අපේ පක්‍ෂයෙ සාමාජිකයෙක් වෙලා ඉවරයි. චම්පික රණවක මැතිතුමාට හෙළ උරුමය හරහා වෙනම ජාතික ගමනක් යන්න බෑ කියලා එතුම තේරුම් ගත්තානේ. චම්පික රණවක කියන්නේ නිර්මාණශීලී දක්‍ෂ නායකයෙක්. එතුමාගේ පෙර යම් යම් අඩුපාඩුකම් තිබුණානම් ඒවා එතුමා අවබෝධ කරගෙන දැන් ජාතික තලයට ඇවිත් තියෙන්නේ.   

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්