මහවැලි මහ සෑ භූමිය භාරකාර මණ්ඩලයකින් පාලනය විය යුතුයි කියන මතයේ මම ඉන්නවා


 

පිං පෙට්ටි ප්‍රශ්නය ගැන ඇමැති නවීන් දිසානායක කතා කරයි

 

කොත්මලේ මහවැලි මහ සෑය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය ගැන වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි.  


මෙතන තියෙන්නේ සාම්ප්‍රදායික පූජා භූමියක් නොවෙයි  


ප්‍රශ්නය : මේ ආණ්ඩුවට සල්ලි නැති නිසා පන්සලේ පිං කැටයටත් විදිනවා කියලයි ජනතාව කියන්නේ?  
පිළිතුර : ඒක මම ප්‍රතික්ෂේප කරනවා. දඹුල්ල රාජමහා විහාරයේ ගැටලුවත් එක්ක තමයි ඔය ප්‍රශ්නය මතු වුණේ. ඒක අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමා පැහැදිලි කළ පරිදි යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් වශයෙන් හඳුනා ගෙන තියෙන තැනක්. එතැනදී යුනෙස්කෝව දාලා තියෙනවා කොන්දේසි ප්‍රමාණයක්. අපි ඒවා පිළිපදින්න අවශ්‍යයි. එ් නිසා එහෙම තැනක මුදල් පරිපාලනය විධිමත්ව තිබිය යුතුයි.

 


ප්‍රශ්නය : ඒක හරි. නමුත් වෙන විදියකට ඕක හැන්ඩල් කරන්න තිබුණා කියලා මම හිතනවා.
පිළිතුර : දැන් අගමැතිතුමත් එක්කත් සාකච්ඡා කරලා ප්‍රශ්නය විසඳලා තියෙන්නේ. එක සිද්ධියක් අරගෙන මේ ආණ්‍ඩුව පිං පෙට්ටියටත් විදින ආණ්ඩුවක් කියලා කියන එක වැරදියි.  


ප්‍රශ්නය : කොත්මලේ මහවැලි මහ සෑයේ පිං පෙට්ටිවල අයිතිය ඔබ ඉල්ලනවා කියලා කතාවක් යනවා.  
පිළිතුර : එහෙම කතාවක් පතුරුවන්න හදනවා. නමුත් ඇත්ත කතාව මේකයි. කොත්මලේ මහවැලි මහ සෑය රංගිරි දඹුල්ල පන්සල වගේ හෝ මේ රටේ අනෙකුත් සියයට 99ක් පන්සල් වගේ නොවෙයි මේ භූමිය ඒ කාටවත් අයිති නෑ. මේ භූමිය අයිති මහවැලි අධිකාරියට. විශාල දාගැබක් තියෙන්නේ. එතැන 2006 ඉඳලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේ කියනවා විහාරාධිපති වහන්සේ කියලා. ඒ ගැනත් අපට ප්‍රශ්නයක් තියෙනවා.  


ප්‍රශ්නය : මොකද්ද ප්‍රශ්නය?  
පිළිතුර : මෙතැන තියෙන්නේ අදහස් දෙකක ගැටුමක්. මගේ දර්ශනය, මගේ අරමුණ, මගේ වැඩපිළිවෙළ සමඟ කොත්මලේ සමස්ත විහාරස්ථාන හා බෞද්ධ ජනතාව ඉන්නවා.  


ප්‍රශ්නය : මොකද්ද මේ ඔබේ වැඩපිළිවෙළ?  
පිළිතුර : මේ භූමිය මේ චෛත්‍යරාජයාණන් වහන්සේ මගේ පියයි ආරම්භ කළේ. මමයි අවසන් කළේ‍. මේ භූමිය බාරකාර මණ්‍ඩලයකින් පාලනය විය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා. 2009 වෙනකම් පදනමකින් මේක පාලනය වුණේ. ඒ වෙනකොට මේකේ වැඩකටයුතු නටබුන් වෙලා තිබුණේ‍. ඒ පදනම පටන් ගත්තේ මගේ මව ඇතුළු කුලසිංහ මහතා ඇතුළු මේ චෛත්‍යරාජයණන් වහන්සේගේ වැඩ කටයුතු අවසන් කළ යුතුයි කියලා හිතපු පිරිසක් තමයි ඒ පදනම ආරම්භ කළේ. එතකොට මම හිටියෙත් විපක්ෂයේ. ඒ කාලේ කිසිම ආණ්‍ඩුවකින් අපට උදව් කළේත් නෑ. ඒ නිසා අපි පදනමක් හදලා ඒ පදනමින් මුදල් එකතු කරලා තමයි සුළු සුළු වැඩ කළේ.  


ප්‍රශ්නය : ඒ පදනම ඔබ භාරකාර මණ්ඩලයක් බවට පත් කළා.  
පිළිතුර : ඔව්. 2009 අංක 27 දරණ මහවැලි සංස්කෘතික පදනම භාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත යටතේ භාරකාර අරමුදලක් බවට පත් වුණා. මේ භාරකාර මණ්ඩලය කළුතර බෝධි භාරකාර මණ්‍ඩලය වගේ, දි.මු. ජයරත්න හිටපු අගමැතිතුමාගේ අම්බුළුවාව ව්‍යාපෘතිය වගේ භාරකාර අරමුදලකින් තමයි පාලනය වෙන්නේ. මේක එතකොට අර පරණ විහාර දේවාලගම් පනත යටතේ පාලනය වෙන පන්සලක වගේ විහාරාධිපති ආදී තනතුරු නෑ.  


ප්‍රශ්නය : දැන් මොකද්ද මෙතැන මතු වෙලා තියෙන ප්‍රශ්නය?  
පිළිතුර : මේ චෛත්‍යරාජයාණන් වහන්සේ විවෘත කළේ‍ 2016 අවුරුද්දේ. මේක විවෘත කළාට පස්සේ මෙතැන වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ ඇත්තටම මෙතැන පන්සලක් නෑ. විහාර මන්දිරයක්, ආවාස ගෙයක් නෑ. තියෙන්නේ මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිල්ලක් විතරයි. එතැන උන්වහන්සේ වැඩ සිටිනවා. මෙතැන පිං පෙට්ටි 8ක් තියෙනවා. එයින් පිං පෙට්ටි 5ක් උන්වහන්සේ ගන්නවා. ඒක තමයි මෙතැන මතු වෙලා තියෙන ප්‍රධානම ප්‍රශ්නය. ඊට පස්සේ ජනාධිපතිතුමා මහවැලි අධිකාරියට අයිති භූමිය අපට ඔප්පුවකින් ලබා දුන්නා. එතුමා ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා ඒ වැඩකටයුතු ඉදිරියට කරගෙන යනවා. මේකට විරුද්ධ වෙන අය විරුද්ධ වෙන්නේ ඒකට. එතැන වැඩඉන්න ස්වාමීන් වහන්සේත් ඒකට විරුද්ධයි. මම මුලින් කිව්වා වගේම මේක විහාර දේවාලගම් පනත යටතේ ඇති ස්ථානයක් නොවෙයි. මේක සාම්ප්‍රදායික පූජා භූමියක් නොවෙයි.  


ප්‍රශ්නය : ඔබ එහෙම කියන්නේ කොහොමද?  
පිළිතුර : මේක පටන් ගත්තේ 1983දී මහවැලි ජලාශය නිසා යටවුණු පන්සල් 16 වෙනුවෙන්. ඒ පන්සල් 16ට සෑම පාර්ශ්වයටම සෑම නිකායකටම අයිති පන්සල් තියෙනවා. ඒ පන්සල් 16ම සංකේතවත් වෙන්නයි මගේ පියා මේ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදි කළේ. ඒ නිසා තමයි අපි භාරකාර මණ්ඩලයක් හදලා මේ ආයතනය වඩාත් පුළුල්වත් විධිමත්වත් කරගෙන යන්න වැඩපිළිවෙළක් හැදුවේ.  


ප්‍රශ්නය : එතකොට දැන් වැඩ ඉන්න ස්වාමීන්වහන්සේ?  
පිළිතුර : උන්වහන්සේත් මේ භාරකාර මණ්ඩල ගොඩනැගිල්ලේ වැඩ ඉන්නවා. නමුත් උන්වහන්සේ අපේ රැස්වීම්වලට වඩින්නේ නෑ. ඒකට මට කරන්න දෙයක් නෑ. උන්වහන්සේ එතැන වැඩ ඉඳිමින් වෙනත් මත ප්‍රචාර කරනවා. මේ ප්‍රශ්නය මෙහෙම දුරදිග යන්න දෙන්න බෑ. මේකේ සමථයක් අවශ්‍යයි. අපි කැමැතියි උන්වහන්සේත් එක්ක මේ ගමන යන්න. උන්වහන්සේට අපි තනතුරකුත් ප්‍රදානය කරලා තියෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලා වෙත මේ ප්‍රශ්නය යොමු වෙලා තියෙනවා.  


ප්‍රශ්නය : මහානායක ස්වාමීන්වහන්සේලා දෙන තීන්දුව!  
පිළිතුර : ඔව්. කුමන තීන්දුවක් දුන්නත් අපි ඒක පිළිගන්නවා. නමුත් භාරකාර අරමුදල අපි කීයටවත් නවත්වන්නේ නෑ. ඒකට හේතුව තමයි අපි දැකලා තියෙනවා බොහෝ අවස්ථාවල වෙහෙර විහාර තනි පාලනයකට යටත් වුණාම ඒවායේ අරමුදල් ගැන විවිධ ප්‍රශ්න මතු වෙනවා. කොත්මලේ පන්සල් 16ටම අපි ආධාර කරන්න ඕනෑ. දහම් පාසල් තියෙනවා. ඊට අමතරව මේ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකරන්න අපි ගත්ත මිලියන ගණන් ණය තියෙනවා. ඒවා ඔක්කොම එන්නේ මේ භාරකාර අරමුදලට. එතකොට මේ ස්වාමීන් වහන්සේ ඒ වගකීම් කිසිම දෙයක් බාර ගන්නේ නෑ. උන්වහන්සේ අර පිං පෙට්ටිවල තියෙන සල්ලි ටික ගන්නවා. ඒ මුදල් පරිහරණය වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නෑ. මේ වැඩවලට උන්වහන්සේ කිසිම දායකත්වයක් ලබා දෙන්නෙත් නෑ. ඉතින් මං හිතන්නේ නෑ දිගටම මේ ප්‍රශ්නය තියාගෙන යන්න පුළුවන් කියලා.  


දැන් අවුරුද්දක් ගත වුණා. මට අවශ්‍ය කරන්නේ මේ පින්බිම ජාතික ආගමික මධ්‍යස්ථානයක් බවට පත් කරන්නයි. ප්‍රදේශයට පමණක් නොවෙයි රටටම ජාතියටම වැදගත් මහා සංස්කෘතික නිකේතනයක් බවට පත් කරන්නයි. ඒකට ජාතික මට්ටමේ විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. මම පෙනී ඉන්නේ ඒ වෙනුවෙන්. එහෙම මිසක් මේක පිං පෙට්ටි පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. දිසානායක පවුල ගැන කොත්මලේ ජනතාව විතරක් නොවෙයි මුළු රටම දන්නවා. ඒ නිසා නොසැලී මේ ගමන මම යනවා.

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්